Thursday, June 18, 2020

රාවණාවාදීන්ගේ තුන්කල් දැක්ම



විවිධ තරාතිරම් වල විවිධ ස්වරූප වලින් රාවණාවාදී වුණ අය මම දැක තිබෙනවා මේ එයින් සමහරක්:-

1. රාවණා හිටියා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්, ඒත් හිටියනම් හොඳයි කියල හිතන අය.

2. රාවණා හිටියත් නැතත් හිටියා කියන්න ඕන කියල හිතන අය.

3. රාවණා හිටියා කියලා කියවෙන පොත්ම විතරක් කියවලා ඒක එහෙමමයි කියලා හිතන අය.

4. රාවණා ගැන යූටියුබ් එකෙන් ඉගෙනගත් අය.

5. නමේ මොකක් හරි "රා" ගතියක් හින්දා තමන් රාවණාගෙ මී මුනුබුරා කියලා හිතාගෙන ඉන්න අය.

6. රාවණා අද හෙටම නැගිටලා මේක හොල්ලලා දාලා එකලාසයක් කරනකල් බලා ඉන්න අය.

7. රාවණා ගැන තිබුණ පුස්කොල පොත් ටික සුද්දො අරන් ගිහින් ඒකෙ තියන විදියට රොකට් හදලා හඳට ගියා කියල හිතාගෙන ඉන්න අය.

8. රාවණා හිටියාමයි කියලා ඔප්පු කරන්න පර්යේෂණ කරන අය.

9. තමන් පර්යේෂණ නොකළත් අනික් අයගෙ හැම පර්යේෂණයකින්ම ඔප්පු වෙන්නෙ රාවණා හිටපු බව කියලා හිතන අය.

10. රාවණාවාදය සත්‍යවාදී වුණත් නැතත් ඒක සංකේතයක් ලෙස ස්ථාපිත කිරීමේ දේශපාලනික වැදගත්කමක් දකින අය.

මේ සටහන වැඩියෙන්ම අවධානය යොමු කරන්නෙ ඔය 10 වෙනියට කියපු කණ්ඩායමට. රාවණාවාදී බොහෝ දෙනෙක් එක්ක කතා කළාම ⁣ඔවුන්ගෙ තුන්කල් දැක්මක් ගැන තේරෙන්න ගන්නව. ඒක ඔවුන් දැනගෙන කරනවද ඉබේ හැදිලද කියන්න මම දන්නෙ නෑ. හැබැයි ඔවුන්ගෙ ක්‍රියා කළිපාය් එහෙම හැඩයක් තියන බව පේනව. ඒක වෙන්නෙ මෙහෙමයි.

1. අතීතය - මූලාශ්‍ර සියල්ල රාවණාවාදයට ගෑවීම

මේ හරහා සිදුකරන්නෙ ඓතිහාසික වාර්තා, සෙල්ලිපි, පුරාවස්තු, සමහරවිට පරණ නවකතා, කවි, ශ්ලෝක, ජනශ්‍රැති, ඇදහිලි විශ්වාස, නූතන නවකතා, යූටියුබ් චැනල්, ෆේස්බුක් පිටු ආදී මේ සියල්ලම රාවණාවාදය සනාථ වන ලෙස කියවීම. ඒ කොහොමද හැම එකම එහෙම කියවන්නෙ. පුළුවන්. ඒ සියල්ලෙ තියන පැහැදිලි කළ නොහැකි හෝ උත්කෘෂ්ට තැනක් අරන් ඒක රාවණාට ගාවන්න ලේසියෙන් පුළුවන්. එහෙම කරන හැටි මම මගේ "රාවණාවාදී පොතපතෙහි ස්වභාවය" ලිපියෙදි විස්තර කළා.

⁣ඒ අනුව සෑම දෙයක්ම තමන්ගෙ තර්කය පෝෂණය කරන ඒව විදියට හරවා ගන්නවා. ඒත් තවම කතාව සම්පූර්ණ වෙන්නෙ නෑ. ඓතිහාසික මූලාශ්‍ර ඔක්කොම ගෑව්වත් කතන්දරේ හිස් තැන් හිටිනවා. ඒව කොහොමද පුරවගන්නෙ? ඔය රාවණාවාදී යූටියුබ් චැනල් වල එහෙම රාවණා යතුරු කැරැල්ලක් ඉණේ ගහං හිටියනම් ඒ යතුරු වල හැඩය, හදපු ලෝහය පවා කියනවනෙ. ඒව කොහොමද දැනගන්නෙ. එතනදි කමයි වර්තමාන දැක්ම එන්නෙ.

2. වර්තමානය - විශ්වාසය හා පරිකල්පනය

රාවණාවාදය ගැන එය පිළිගන්නා බොහෝ දෙනෙකු එක්ක කරපු කතාබහ වලදි මට දැනුණ දෙයක් තමයි ඔවුන් "මේක හැම එකක් ගැනම ප්‍රශ්න අහ අහ කරන්න බැහැ. රාවණා කියන්නෙ හෙළයන්ගෙ හෘදය සාක්ෂිය. එය මතුකරගන්න මේ ගැන යම්කිසි විශ්වාසයක් තිබෙන්නට ඕනෑ. ඒ ගැන සැකයක් තියන කෙනෙක් නියම හෙළයෙක් වෙන්න බෑ" වගේ මතයක ඉන්න බව.

ඒ අනුව මේ තුන්කල් දැක්මෙ වර්තමානයේ මෙහෙවර තමයි රාවණාවාදයට ගාවලා රාවණාවාදී ඔස්තාර්ලා කියන ඕනෑම දෙයක් තර්කානුකූල සහ/හෝ පිළිගතහැකි වුණත් නැතත් ඒවා ප්‍රශ්න නොකර විශ්වාස කළ යුතුයි යන මතය ප්‍රචලිත කිරීම. ඒ හරහා බොහොම ලේසියෙන් හැකියාව ලැබෙනවා අර රාවණාගෙයි කියන මූලාශ්‍ර එකතු කළත් හැදෙන හිඩැස පරිකල්පනයෙන් පුරවන්න. මොකද විශ්වාස කළ යුතුයි කියන එක නියාමයක් විදියට ගත්ත කෙනාට යම් කරුණක පිළිගත හැකි නොහැකි බව අදාළ වෙන්නෙ නෑ. ඔහු ඒ පරිකල්පනමය හිස්තැන් පිරවීම් පිළිගන්නෙ හුදෙක්ම එක්කෝ රාවණට ඇති ⁣ගරුත්වය මත. නැත්නම් අර මුලින් කියපු විදියට රාවණාවාදය රොපණය කිරීමේ දේශපාලන වැදගත්කමක් දකින නිසා ඒ ගැන ඇසෙන කතාව සත්‍යවාදී වුණත් නැතත් එය පැළ කළ යුතු බව සිතීම.

මේ අතීත වර්තමාන හැසිරීමේ ඉලක්කය මොකක්ද? නිසැකවම අනාගතය.

3. අනාගතය - සියල්ලෝම පිළිගන්නා බලගතු සංකේතයක්

අද රාවණාවාදය ගැන පරිකල්පනය මත ලියැවෙන පොත් වලට ඒවායේ ඇති පදනම් විරහිත බව පෙන්වමින් ගොඩක් අය හිනා වෙනවා තමයි. ඒත් සැළකියයුතු පිරිසක් එය විශ්වාස කරනවාටත් වඩා අදහනවා. මේ අය ළමයින්ට කුඩා කාලෙදි කතාන්දර විදියට පවා රාවණා ගැන කියා දෙමින් තමන් අතින් අරන් පැලකරගත්තු රාවණාවාදය දරුවන් තුල උපතින් උරුම කරගත් දහමක් ලෙස පැළ කරාවි. එහෙම රාවණාවාදය උත්පත්ති විශ්වාසයක් වෙලා තව පරම්පරාවකට දෙකකට පස්සෙ බලද්දි අර සාධක නැතුව පරිකල්පනය මත ලියපු හිනාවට ඉලක්ක වුණු දැනුමට ඓතිහාසිකත්වයක් ආරෝපණය වෙනව. එවිට යම් කාලයක් තුල සමාජයේ බහුතරයක් ඉතිහාසය පුරාවිද්‍යාව කුමක් කිව්වත් රාවණාවාදය හදවතේ පුරාවෘත්තයක් ලෙස ගන්නව. එවැනි කාලෙක රාවණාවාදාය් සිදුරු පෙන්නන්න ගියොත් සමහරවිට මැරුම් කන්නත් වෙයි.

එහෙම බලද්දි මේක බොහොම සියුම් දේශපාලනික සැළැස්මක්. යුදෙව්වන්ට සොලමන් රජු, සුද්දන්ට ආතර් රජු වැනිව හෙළයන්ට ඉතා බලගතු යැයි කිව හැකි ඓතිහාසික සංකේතයක් හිතා මතා නිර්මාණය කරගන්නව.

ඕක ගැන මම ඔය විදියටම සෑහෙන දුරට උගත් රාවණාවාදය බොහොම බරක් ඇති දෙයක් ලෙස ගන්න කෙනෙකුගෙන් ඇහුව.

"මල්ලි. ජාතියකට සංකේතයක් හදාගැනීමේ කිසි වරදක් නෑ. ඔය දැන් සමහර ජාතීන් කරේ තියාගෙන යන සංකේත ඇත්තටම හැදුණ ඒවට වඩා හදපු ඒව. උන් එහෙම කළා නම් අපි මෙහෙම කළාම මොකද? අනික ඇයි රාවණා ගැන පිළිගන්න ඔප්පු වෙන්නම ඕන කියන්නෙ? ඔය මිනිස්සු අදහන ආගම් එකක්වත් ඔප්පු වෙලා තියනවද? නෑනෙ. ඒත් මිනිස්සු අපූරුවට ඒ පස්සෙන් යන්නෙ. අපූරුවට ඒවත් එක්ක ජීවත් වෙන්නෙ. ඉතින් රාවණා ගැනත් එහෙම විශ්වාස කළාම මොකද?"

Tuesday, June 16, 2020

මානසික රෝග සම්බන්ධ දුර්මත වල පදනම



මානසික රෝග යනු පුද්ගලයෙකුට වැළදිය හැකි ඕනෑම රෝගයක් මෙන් වූ තවත් එක්⁣ රෝගී තත්වයන් වි⁣ශේෂයකි. දියවැඩියාව, හෘදයාබාධ, නියුමෝනියාව, ඒඩ්ස්, ඩෙංගු වැනි ඕනෑම රෝගී තත්වයකට ඒවාට ආවේණික ලක්ෂණ සහ ප්‍රතිවිපාක ඇත. මානසික රෝග වලටද එසේමය.

ඇතැම් විට ශාරීරික වශයෙන් පෙනෙන ලක්ෂණ හා ප්‍රතිවිපාක මෙන්ම මානසික මට්ටමින් පුද්ගලයෙකුගේ හැසිරීමෙන් පෙනෙන ලක්ෂණ හා ප්‍රතිවිපාකද ඊට ඇත. එය මානසික රෝග වලට පමණක් සුවිශේෂී වූ තත්වයක් නොවේ. ඉහත සඳහන් කළ ඕනෑම රෝගයකද භෞතික ශරීරයෙන් නොපෙනෙන හැසිරීමේ වෙනස් වීම් සහ ප්‍රතිවිපාක ඇතිවිය හැකිය. උදාහරණයක් ලෙස අධික වේදනාව හේතුවෙන් පුද්ගලයෙකු සිහි විකල තත්වයට පත්වීමේ ඉහළ හැකියාවක් තිබේ.

නමුත් මානසික රෝග වෙනත් රෝගී තත්වයකට වඩා වෙනස් සුවිශේෂී රෝගී තත්වයක් වශයෙන් සමාජය හදුනාගනී. ඒ තුල මානසික රෝග අද්භූත කුලකයක ලා වර්ග කරති. නමුත් සත්‍ය තත්වය නම් ශාරීරික රෝගයක් හා මානසික රෝගයක් අතර ඇත්තේ හෘදයාබාධයක් සහ ඩෙංගු අතර ඇති වෙනස මෙන් වූ වෛද්‍ය විද්‍යාත්මක වෙනසක් පමණි. එම වෙනස මානසික රෝගයක් කිසිසේත්ම ශාරීරික රෝගයකට සාපේක්ෂව අද්භූත ලෙඩක් බවට පත් කරන්නේ නැත.

නමුත් මානසික රෝග සම්බන්ධයෙන් සමාජය තුල වෙනත් ලෙඩ රෝග වලට නොමැති අන්දමේ අනියත බියක් සහ පිළිකුලක් ඇති බව පෙනේ. මෙසේ සිදුවීමට හේතු රාශියක් ඇත. ඒ අතරින් පහත ඒවා විශේෂ කොට සැළකිය හැකිය:-

1. බැලු බැල්මට පෙනෙන අද්භූත බව

මානසික රෝගියෙකු බැලු බැල්මට අද්භූතය. ශාරීරිකව කිසිඳු දුර්වලතාවයක්, ආපදාවක් නොපෙනෙන පුද්ගයෙකු බොහෝ විට හිටි හැටියේ ඔහුගේ හුරුපුරුදු චරිත ලක්ෂණ වලින් වෙනස්ව හැසිරීම බිය උපදවයි. එය අහිංසක හැසිරීමක සිට අතිශය කළහකාරී බිහිසුණු හැසිරීමක් දක්වා විහිදිය හැකිය.

එවැනි බිහිසුණු හැසිරීමක් දකින, මානසික රෝගයක වෛද්‍ය විද්‍යාත්මක හරය නොදත් පැරැන්නෝ එය යක්ෂයා හෝ භූතයෙකු, පෙරේතයෙකු විසින් පුද්ගලයාගේ සිරුරට වැද එය බලහත්කාරයෙන් අත්පත් කරගැනීමක් ලෙස සැළකූහ. එම විශ්වාසය ඇතැම් පුද්ගලයන් තුල අද දක්වාම නොවෙනස්ව පවතින ආකාරය දැකිය හැකිය.

මේ හේතුවෙන් පුද්ගල ශරීරයට අරක්ගත් ඒ යක්ෂයා, භූතයා හෝ පෙරේතයා එළවා දැමීම හෝ එම ශරීරයට හැර යන ලෙස එම බලවේගයට ආයාචනා කිරීම හැර එවන් රෝග සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නොමැති බව පැරැන්නෝ ඇදහූ බව පෙනේ. ඒ අනුව එය නිසි විසඳුමක් නැති භයානක ප්‍රශ්නයකි. මානසික රෝග සම්බන්ධයෙන් සමාජයේ මුල්බැසගෙන ඇති අද්භූත ගුඪ ආකල්පයේ පදනම පෝෂණය කරන එකි කරුණක් ලෙස මෙය සැළකිය හැකිය.

2. මෘදුකාංග සංකල්පය

නූතන විද්‍යාව මනස යනු මොළයේ ජෛව රසායනික ක්‍රියාකාරීත්වය හේතුවෙන් උපදින මායාවක් යැයි හඳුනා ගත්තද, ඇතැම් දෘෂ්ටිවාද ශරීරය වෙනම ඒකකයක් ලෙසද මනස වෙනම ඒකකයක් ලෙසද ගන්නා බව පෙනේ. ඒ අනුව ශරීරය පුද්ගලයෙකුගේ දෘඪාංග (Hardware) කොටස ලෙසද, මනස ජීවය ඇතිවීමේදී පිටතින් පැමිණ අරක්ගන්නා මෘදුකාංග (Software) කොටස ලෙසද සැළකුණි. මෙය දීර්ඝ කාලයක් තිස්සේ සමාජයේ මුල්බැසගෙන තිබූ මතයකි.

ඒ අනුව මෘදුකාංග ස්පර්ශ කළ නොහැකිය. පියවි ඇසින් දැකිය නොහැකිය. සරළ දෘෂ්ටියෙන් මේ දෙස බලන මිනිසාට මනස යනු ඇත්තේත් නැති නැත්තේත් නැති අද්භූත යමක් ලෙස පෙනේ. එකී සිතිවිල්ල පදනම ලෙස ගෙන අද්භූත ඒකකයක් ලෙස විග්‍රහ කරගන්නා සිතේ ඇතිවන වෙනසක්ද අද්භූත ලෙස ගන්නා තැනට මිනිසා නිතැතින්ම තල්ලු වේ.

3. කර්මය හෝ දෙවියන්ගේ කැමැත්ත

අතීත වෛද්‍ය ක්‍රම මගින් ශාරීරික රෝගී තත්වයන්ට නිශ්චිත ප්‍රතිකාර හඳුනාගත්තද මානසික රෝග ලෙස හෝ ආවේශයන් ලෙස හඳුනාගන්නා රෝගී තත්වයන්ට තොවිල් පවිල්, යාග හෝම, ආගමික පූජා ආදිය මිස වෙනත් ප්‍රතිකාර හඳුනාගත් අවසථා දක්නට ඇත්තේ ඉතාම සුළු වශයෙනි. මෙකී යාග හෝම තුලින් ඇතැම් අයට රෝග සුව විය (එහි විද්‍යාත්මක පදනම වෙනත් ලිපියකින් විස්තර කෙරේ). ඇතැම් අයට සුව වූයේ නැත. ඒ අනුව පැරැන්නෝ එයට දිය හැකි පහසුම පැහැදිලි කිරීම ලබාදී හිත හදාගත්තෝය. එය රෝගියාගේ කර්මයයි, නැත්නම් දෙවියන්ගේ කැමැත්තයි. එතැනින්එ එහාට එය ප්‍රශ්න කිරීමට හැකියාවක් ඒ අනුව නොලැබේ.

ඉහත දක්වන ලද හේතු තුන ප්‍රධානව තවත් හේතු රාශියක් මත මානසික රෝග මහා අද්භූත, භයංකර, විසඳුමක් නැති, කිසිදා සුවකළ නොහැකි, පුද්ගලයෙකුගේ ජීවිතය පුරාවටම අඳුරු සෙවණැල්ලක් බවට පත්වන සංකල්පයක් ලෙස නාමකරණය විය. ඒ අනුව මානසික රෝගියෙකු සමාජ තලයෙන් හලන පිස්සකු බවට හඳුනා ගැනීම සිදුවිය. මානසික රෝග කිසිදා නිට්ටාවට සුවකළ නොහැකි ඒවාය, එක්වරක් පිස්සු හැදුණ අයෙකුට ජීවිතය පුරාම පිස්සුය (once a lunatic always a lunatic) යන මිත්‍යා විශ්වාසය මත මානසික රෝගයකට ප්‍රතිකාර ලබාගැනීම පවා ලෝක අපවාදයට, අපහාස ගැරහුම් ලැබීමට හේතුවක් බවට පත්විය.

බොහෝ දික්කසාද නඩු වලදී තමන්ගේ කලත්‍රයා කළකට පෙර විශාදය (depression) සඳහා ප්‍රතිකාර ලබාගෙන තිබේය යන පදනම මත නඩුව සඳහා උපදෙස් ලබාදීමේදී "ඔය මිනිහට/ගෑණිට මානසික ලෙඩක් සර්. ඇත්තටම බැලුවොත් පිස්සෙක්. කාලෙකට කලින් බෙහෙතුත් බිව්වා" යනුවෙන් ප්‍රකාශ කරන අවස්ථා ඕනෑ තරම් මට හමුවී තිබේ.

මෙම ප්‍රකාශය කරන්නේම මානසික රෝගයක් වරක් වැළඳෙන තැනැත්තෙකුට එයින් කිසිදා ගැලවීමක් නොමැති බවට වන විශ්වාසය මත පදනම්වය. සරළව ශරීරයෙන් වෙන්වූ ඒකකයක් වන මනසට ප්‍රතිකාර කළද එහි පලක නොමැති බවට විශ්වාසයක එල්බ ගැනීම මත පදනම්වය.

නමුත් සැබෑ තත්වය නම් බොහෝ මානසික රෝග නිට්ටාවටම සුව කිරීමට නිසි වෛද්‍ය ප්‍රතිකාර මගින් හැකිය. සුවකළ නොහැකි මානසික රෝග ඇත. සුවකළ නොහැකි ශාරීරික රෝගද ඇත. එබැවින් ඇතැම් මානසික රෝග සුවකළ නොහැකි වීම මානසික රෝගයක් අද්භූත ලෙඩක් බවට පති නොකරයි.

මෙම සාවද්‍ය පදනම් මත මානසික රෝග අද්භූත ඒවා ලෙස ගන්නා මිනිසුන් ඒවාට ප්‍රතිකාර ලබා ගැනීමෙන් වලකිති, ඊට අදිමදි කරති, ආගමික හෝ වෙනත් උපදේශන මගින් හෝ හිත ශක්තිමත් කිරීම හෝ ආත්ම විශ්වාසය වැඩි කිරීම මගින් ඕනෑම මානසික රෝගයක් සුවකළ හැකි බවට ව්‍යාජ විශ්වාසයක එල්බ සිටිති. මේ මත වසරකට විනාශ වී යන ජීවිත ප්‍රමාණය අතිවිශාලය.

සැබෑව නම් බෙහෙත් පෙත්තක් ලෙස ගන්නා ඖෂධ වලින් මිනිසෙකු සිතන පතන ස්වරූපය පවා වෙනස් කළ හැකිය. උද්‍යෝගිමත් පුද්ගලයෙකු උදාසීන කළ හැකිය. උදාසීන අයෙකු උද්‍යෝගිමත් කළ හැකිය. ඒ සියල්ල මොළයේ සෛල වල ජෛව රසායනික ක්‍රියාකාරීත්වය මත පදනම් වේ. එම ජෛව රසායනික ක්‍රියාවලිය කෘතිමව ඖෂධ මගින් වෙනස් කිරීමෙන් සිතුවිලි වල දිශානතිය පවා වෙනස් කළ හැකිය. මතක ශක්තිය වැඩි දියුණු කළ හැකිය. මොහන ප්‍රතිකාර ආදිය මගින් පවත්නා මතකයක් බොඳ කර දැමීම මෙන්ම ව්‍යාජ මතකයක් රෝපණය කිරීම පවා කළ හැකිය.

එබැවින් මානසික රෝග සම්බන්ධයෙන් ලෝකයේ මුල්බැසගෙන ඇති අද්භූත ගුඪ ආකල්පය බිඳ හෙළිය යුතුවේ. මානසික රෝගයක් වුවද සාමාන්‍ය රෝගී තත්වයක් ලෙස සළකා අනවශ්‍ය ලැජ්ජාවකින් බියකින් හෝ චකිතයකින් වහාම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන මට්ටමට ආකල්ප සකසා ගත යුතුය. එය එක් අතකින් ජීවිතය යථාර්ථවාදීව දැකීමකි. අනෙක් අතින් ජීවිත රාශියක් බේරා ගැනීමකි.

Monday, June 15, 2020

වසර 48000ක් පැරණි ඊතල කොටස් හමුවීම රාවණාවාදය පෝෂණය කරයිද?

පාහියන් ගල්ලෙනේ සිදුකළ කැණීම් වලින් වසර 48000ක් පමණ පැරණි බව සැක කෙරෙන දුනු ඊතල වල අවශේෂ කොටස් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත. මෙම සොයාගැනීම ලෝක ඉතිහාසය පිළිබදව පැහැදිලි චිත්‍රයක් ඇතිකරගැනීමෙහිලා අතිශයින් වැදගත් බවට විවාදයක් නැත. කෙසේ වෙතත් මෙම සොයාගැනීම ශ්‍රී ලංකාවේ විවිධ දෘෂ්ටිවාදී කණ්ඩායම් තමන් එල්බ සිටින දෘෂ්ටිවාද ඔප්පු වීමක් ලෙස ගන්නා බවක් පෙනෙන්නට ඇත. එබැවින් මේ පිළිබදව යථාර්ථවාදී කරුණු සොයා බැලීමක් කළ යුතු වේ. 

theconversation.com වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි පාහියන් ගල් ලෙනේ සිදුකරන ලද කැණීම් වලදී ගල්වලින් සත්ව ඇටකටු වලින් සහ සත්ව දත් වලින් නිපදවන ලද උපකරණ රාශියක් හමුවී ඇති අතර සත්ව අස්ථි වලින් සකස් කරන ලද අවුරුදු 48000ක් පමණ පැරණි යැයි සිතිය හැකි කුඩා ඊතල තුඩු ගණනාවක් හමුවී ඇත. එම වෙබ් අඩවියට සහ මයිකල් සී ලැංග්ලි, නොයෙල් අමානෝ, ඔෂාන් වෙදගේ, ශිරාන් දැරණියගල, එම්.එම්. පද්මමාල්, නිමල් පෙරේරා, නිකොල් බොයිවින්, මයිකල් ඩී. පෙට්‍රගිලා සහ පැට්‍රික් රොබර්ට්ස් යන අයවලුන් විසින් 2020 ජූනි 12 වැනි දිනැතිව එලිදක්වන ලද පර්යේෂණ වාර්තාව අනුව අප්‍රිකාවෙන් පිටත දුනු හී භාවිතය පිළිබදව මෙතෙක් සොයාගෙන ඇති ආදිතම සාධක මෙකී සොයාගැනීම් වේ. 

අප්‍රිකාවෙන් පිටත දුනු හී භාවිතය පිළිබදව මෙතෙක් සොයාගෙන ඇති ආදිතම සාධක මෙකී සොයාගැනීම් වේ. කේ. ක්‍රිස් හර්ස්ට් සදහන් කරන ආකාරයට අනුව මානවයා දුනු ඊතල භාවිතා කිරීම පිළිබදව මෙතෙක් හමුවී ඇති සාධක අනුව මධ්‍යතන ගල් යුගයේ එනම් වසර 71000කට පමණ පෙර දුනු ඊතල භාවිතා කරන ලද බව සිතිය හැකිය. හර්ස්ට්ට අනුව අප්‍රිකාවෙන් පිටත පැරණිතම දුණු ඊතල පිළිබදව සාක්ෂි හමුවන්නේ වසර 15000-20000 අතර අතීතයෙනි. 

නූතන මානවයාට පෙර හා ඇතැම් විට කියැවෙන පරිදි ඊට සමගාමීව විසූ බව කියැවෙන නියැන්ඩර්තාල් මානවයා විසුයේ වසර 40000කට පමණ පෙර බව කියැවේ. නියැන්ඩර්තාල් මානවයා විසින් ලී දඩු වලට මුවහත් ගල් කැබලි හෝ සත්ව අස්ථි කොටස් ගැට ගසන ලද පොරෝ වැනි ආයුධ භාවිතා කර තිබේ. 

ශ්‍රී ලංකාවේ මීට පෙර වාර්තා වූ බලංගොඩ මානවයා ජීවත් වූ බවට සැක කෙරෙන්නේ මීට වසර 38000කට පමණ ඉහතදීය. ඒ අනුව මෙම සොයාගැනීම මානව ඉතිහාසය සම්බන්ධයෙන් විප්ලවීය සොයාගැනීමක් වන්නේ අප්‍රිකාවට පිටතින් ශිෂ්ටාචාරගත ලක්ෂණ සහිත මානවයෙකු පිළිබදව වාර්තා වන ආදිතම අවස්ථාව වීම මත වේ. එය ලෝක මානව ඉතිහාසයේ පියමං සළකුණු ශ්‍රී ලංකාවේද සටහන් වී ඇති බවට සාධකයකි.

රාවණා රජු ජීවත් වූයේ නම් එසේ ජීවත් වූ බව සිතිය හැක්කේ ක්‍රිස්තු පූර්ව 5224 සහ 5104 අතර කාලයේදීය. කෙසේ වෙතත් රාවණා යුගයේ පැවතියේ යැයි ඇතැම් අය ප්‍රකාශ කරන අති දියුණු තාක්ෂණයක් පිළිබදව පිළිගත හැකි සාධක කිසිවක් තවමත් හමුවී නැත. මෙම සොයාගැනීම මත පවා හෙළිදරව් වන්නේ ලෝකය දැනටමත් දන්නා මධ්‍යතන ගල් යුගය පිළිබදව ශ්‍රී ලාංකීය කතාන්තරය මිස රාවණාවාදයට උදව් දෙන කිසිවක් ලෙස ගැනීම සම්පූර්ණයෙන්ම නොමග යවන සුළු වේ.  

එපමණක් නොව වසර 48000කට ඉහත අවි ආයුධ පිළිබදව සාධක හමුවන රටක වසර 7000කට ඉහත විසූ විභූතිමත් රජෙකුගේ සුපිරි රාජ්‍යයක් සනාථ කරන කිසිදු සාධකයක් හමු නොවීමෙන් රාවණාවාදය ප්‍රලාපයක් ප්‍රබන්ධයක් කොට පසෙකට තල්ලු කෙරෙන බවටද කෙනෙකුට තර්ක කළ හැකිවේ.





Sunday, June 14, 2020

සත්තුන්ට අවාසනාව කල් ඇතිව දැනෙනවාද?



"අහවලා මැරුණ දවසේ බස්සෝ කෑගැහුවා, නරි හූ කිව්වා, උලමා හැඬුවා, පූසෝ කෑගැහුවා. සත්තුන්ට අවාසනාවන්ත දෙයක් වෙන්න තියනකොට කලින්ම ඒවා දැනෙනවා. පැරැන්නෝ නිමිති කීවේ සොබාදහමේ ඔය සංඥා මත. බලන්න ඒක කොයිතරම් විද්‍යාත්මකද? ෂෝක්ද? මාරද?" කියන කතාව ගොඩක් දෙනෙක් අහලා ඇති.

මරණයක් වුණාම පරිසරයේ සාමාන්‍යයෙන් වෙන දේවල් අතරින් මූසල, අවාසනාවන්ත දේවල් highlight කරගැනීම මනෝ මායාවක්. හිත සතුටින් තියෙන වෙලාවක ලෝකයම හිනා වෙනවා වගේ පේනවා. දුකින් බයෙන් තියන වෙලාවට ලෝකයම අඬනවා ඔරවනවා වගේ පේනවා.

ඒත් ඇත්ත දේ සතුටුදායක දෙවල් සහ අසතුටුදායක දේවල් වෙනසක් නැතුව ලෝකෙ සිද්ධ වෙනවා. අපි ඒ මොහොතේ ඉන්න මානසික මට්ටම අනුව අපිට click වෙන්නේ අපේ මානසිකත්වයට සමගාමීව යන දේවල් පමණයි.

දුකින් ඉන්න වෙලාවක මහ සතුටින් හිනා වෙන කෑගහන කෙනෙක් දැක්කොත් ඒක අපි නොදැනීම කරදරකාරී සහ අවස්ථාවට නොගැලපෙන දෙයක් විදියට නාමකරණය කරගෙන බැහැර කරනවා.

ඕක තේරුම් ගන්න සරළ පර්යේෂණයක් අපටම කරගන්න පුළුවන්. රෝහලක උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයාගේ කාර්යාලයට ගිහින් බැලුවොත් උප්පැන්නයක් ලියාපදිංචි කරගන්න යන අය ඉන්නෙ ලොකු සතුටකින්. එයාලා එතන වැඩ කරන අයටත් හිනා වෙලා කතා කරල සතුට බෙදාගන්නව. ඇතැම් වෙලාවට බිස්කට් එකක්, බනිස්, බීම වගේ දේවලුත් ගිහින් දෙනව. රස්තියාදු නොවී වැඩේ කරගත්ත කියලත් හිතෙනව. නමුත් මරණයක් ලියාපදිංචි කරන්න යන අය එතන මහ හයියෙන් කවුරුහරි හිනා වුණත් බලන්නෙ තරහින්, නොරිස්සුමකින්. වැඩේට ගත කරන්න වෙන කාලය වුණත් මහා රස්තියාදුවක් විදියට එයාලට දැනෙනව. ඒක ඒ ඒ අවස්ථාවෙ චිත්ත ස්වභාවය අනුව සමාජයේ බාහිර හැසිරීම් අපි ගෝචර කරගන්න විදිය මිසක් අමුතු දෙයක් නෙමෙයි.

නමුත් වැස්සක් කුණාටුවක් එනකොට කුරුල්ලො ආදී සතුන්ගෙ හැසිරීම වෙනස් වෙනව. එයට හේතුව ඔවුන්ගෙ දෘෂ්ටි ශ්‍රවණ සහ ආග්රහණ ඇතුලු සංවේදන පරාසය අපිට වඩා පුළුල් එකක් වීම. අනෙක වැස්සකදි කුණාටුවකදි ඇතිවන උඩු සුළගේ වෙනස උන්ට ස්වභාවිකව දැනෙනව. ඒ නිසා ඔවුන් වැස්සෙන් කුණාටුවෙන් ඈතට පියාඹනව. රංචු වශයෙන් ඉන්න උන් එක පැත්තකට යද්දි අනිත් උනුත් ඒ පැත්තටම යනව. ඒක රංචුවාසී සතුන්ගෙ හැටි. අපිත් උඩු සුළඟ ඇගේ වදින දුර පේන තැනක හිටියනම් අපිත් එහෙම හැසිරේවි.

දැනටත් සාමාන්‍යයෙන් වැස්සකට දවස ලෑස්ති වෙනකොට ඇතිවෙන පාරිසරික වෙනස්කම් ගැන දන්න කෙනෙකුට වැස්සක් එනවා කල් ඇතිව කියන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම ස්වභාවික දෙයක් මිස අද්භූත මුකුත් නෑ. අනික එහෙම අනාවැකි වැරදුණත් වෙන හානියකුත් නෑ. "වැස්සක් එනවා" කියල වැස්සක් ආවොත් "මං කීවෙ" කීහැකි. නාවොත් 'වැස්ස හුළඟට වෙන පැත්තකට යන්න ඇති" කීමෙන් හෝ ඒ ගැන මුකුත් නොකියා සිටීමෙන් කතාව ඉවර වෙනවා.

ඒත් සත්තුන්ගෙ ඔය හැසිරීම මත සියල්ල සත්තුන්ට දැනෙනව කියල හිතීම වැරදියි. එහෙම එකක් නෑ. බල්ලන්ට පුරුදු ක⁣ළොත් පිළිකා සෛල ඉවෙන් හදුනාගන්න පුළුවන්. ඒ ඔවුන්ගෙ ආග්රහන ඉන්ද්‍රිය සුවඳින් දෙයක් හඳුනාගන්න හැඩ ගැහිලා තියන නිසා.

සමහරවිට බල්ලෙකුගේ තියුණු ශ්‍රවණ ඉන්ද්‍රියට තමන් ආදරය කරන ළඟ ඉන්න කෙනෙකුගෙ හදගැස්මේ අසාමාන්‍ය වේගවත් වීමක් හෝ මන්දගාමී වීමක් දැනෙන්න පුළුවන්. ඒත් ඒ අහලකවත් නැතුව ඈතක ඉන්න නරින්ට උළමාට ඒ සංවේදන දැනෙන්නෙ නෑ. නරි, උළමා ඇතුලු සත්තු ගොඩක් වෙලාවට කෑගහන්නෙ උන්ට ගොදුරක් ලැබුණාම සතුටට. එහෙමත් නැත්නම් විරුද්ධ ලිංගිකයාට පණිවිඩයක් විදියට. එහෙමත් නැත්නම් ලිංගික ක්‍රියාවලිය අතරතුරදි. විශේෂයෙන් පූසො ලිංගික ක්‍රියාවලිය අතරතුර මහා අප්‍රසන්න විදියට කෑගහනවා. ඒක ඒ සත්තුන්ගෙ සාමාන්‍ය හැසිරීමක් මිස මැරෙන්න යන මිනිහෙක් ගාවට මාරයා යනව දැකල නෙමෙයි. නමුත් ඥාතියෙකුගෙ මරණින් දුකට පත්වුණ කෙනෙකුට ඒ ඥාතියා මැරුණ රාත්‍රියෙ කෑගහපු බස්සෙකුගෙ හඬේ මතකය වුණත් යටි සිතේ තැන්පත් වෙලා මරණින් පස්සෙ මතක් වුණාම තමන්ගෙ ඥාතියාගෙ වියෝව සොබැදහමට දැනිලා සොබා දහම හැඬූ හැටි කියල මායාවක් හදාගන්නව.

ඔය වගේ පැහැදිලි කළ හැකි හේතු මත සතුන් යම් යම් දේවල් හඳුනාගත් පලියට ඔවුන්ට සියල්ල කල් ඇතිව දැනෙනවා වෙන්නෙ නෑ. කුණාටු වලට අහුවෙලා ඕන තරම් කුරුල්ලො ⁣මැරෙනවා. අපූරුවට හිටපු බල්ලෝ හිටි හැටියේ හෘදයාබාධ වලින් මැරෙන අවස්ථා තියනවා. සොබා දහමේ වෙනස් වීමක කාරණයක් දෙකක් උන්ගේ ඉන්ද්‍රියන්ගේ තියුණු බවට ගෝචර වූ පලියට උන්ට අවාසනාව කල් ඇතිව දැනෙනවා යැයි කීම වැරදියි.

The Personal History of DAVID COPPERFIELD (2019)


ඩේවිඩ් කොපර්ෆීල්ඩ් මම මුලින්ම කියෙව්වෙ 2000දි. ඒ අපේ අම්මා පොල්ගහවෙල ගොඩවෙල, ඈපාකන්ද බුවනෙකබා කණිෂ්ඨ විද්‍යාලයේ උගන්වන කාලෙ පාසල් නිවාඩු කාලෙක ඉස්කෝලෙ පුස්තකාලෙන් ගෙනත් මට දීල. පොත දෙන ගමන් අම්මා විස්තරයකුත් කිව්වා මට මතකයි. අම්මා කියපු විදියට ඩේවිඩ් කොපර්ෆීල්ඩ් කියන්නෙ ඒ පොත ලියපු චාල්ස් ඩිකන්ස්ගෙම කතාව. චාල්ස් ඩිකන්ස් තමන්ගෙ නමේ මුල් අකුරු දෙක වන C සහ D අරන් ඒක අග අකුර මුල නමටත් මුල අකුර අග නමටත් යොදල David Copperfield චරිතය නිර්මාණය කළා කියලයි අම්මා කිව්වෙ.

ඒ වෙනකොට චාල්ස් ඩිකන්ස්ගෙ ඔලිවර් ට්විස්ට් සහ Great Expectations කියවලා තිබුණ මම බොහොම ආසාවෙන් ඩේවිඩ් කොපර්ෆීල්ඩ් කියෙව්වෙ මිදුලෙ කෙළවරේ තිබුණ ගලක් උඩ ඉඳගෙන. යෞවනයට ආසන්න වෙමින් හිටපු මට මුලින්ම පෙම්කතාවක් හින්ද හිරිවැටිලා යන ගතිය දැනුණෙ ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ගෙ පෙම් කතා දෙක කියවද්දි. ඇග්නස් සහ ඩෝරා. නැත්නම් ඩෝරා සහ ඇග්නස් කියන්නත් පුළුවන්.

මේ චිත්‍රපටය මම බලන්නෙ හරියටම ඊට අවුරුදු 20කට පස්සෙ. ආපහු ඩේවිඩ් කොපර්ෆීල්ඩ් කියවන්නත් බැරිවුණා. නමුත් නම දුටු ගමන්ම ඒ පොත මා තුල ඇති කරපු වෙනස මතක නිසා ඒක බැලිය යුතුමයි කියල තීරණයකට ආව.

නමුත් වෙනසක් තියනව. මේ චිත්‍රපටයේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ් කළුයි. ඔහු ඉන්දියානුවෙක්. මම ආයෙමත් අන්තර්ජාලයේ පරික්ෂා කරලා බැලුවෙ බැරිවෙලාවත් චාල්ස් ඩිකන්ස්ට එහෙම කලවමක්වත තිබුණද කියල. ඒත් එහෙම දෙයක් හොයාගන්න බැරිවුණා. පේන විදියට නම් චාල්ස් ඩිකන්ස්ටත් තියෙන්නෙ අර තිස්ස ජනනායක මහත්තයට වගේ ශුද්ධ අමිශ්‍ර ජාන. මම ඒක හෙවිල්ල නවත්තල ආපහු චිත්‍රපටය නරඹන්න ගත්ත.



ඒකෙන් මම තවදුරටත් අවුල් වුණා. අප්‍රිකානු කළු ජාතික වංශාධිපතියො, සුදු ජාතික සේවකයො, චීන ජාතික පියෙකුට නීග්‍රෝ ජාතික දුවක්. ඔය වගේ නොගැලපෙන වර්ණ සංකලනයක් තමයි චිත්‍රපටයේ පුරාම තිබුණෙ.

චිත්‍රපටය නරඹලා ආයෙත් කියවලා බැලුවා. චිත්‍රපටය ගොඩනැගීමේදී පදනම් කරගෙන තියන තේමාව වර්ණභේදවාදයට විරුද්ධ එකක්. එතනදි හම සුදු හා හම කළු සියලු දෙනාම එක සමානව එකම සමා⁣ජයේ හිටපු විදියට තමයි චරිත වලට යොදාගෙන තියෙන්නෙ. ඒක යථාර්ථවාදී නැහැ තමයි. ඒත් බොහොම හිතට වදින වෙනසක්.

ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ගෙ චරිතය නිරූපණය කරන දේව් පටෙල් කියන විදියට චිත්‍රපටය ඉදිරිපත් කරන්නෙ වර්ණභේදවාදය මත පදනම් නොවූ සමාජ විෂමතා. ඒක ටිකක් ඔළුවට දාගන්න එක අමාරු දෙයක්. හරියට කොහොඹා කංකාරිය නෙළුම් පොකුණෙ කරනව වගේ. හැඩය සහ පසුබිම ටිකක් වෙනස්.

මේ ප්‍රවණතාවය ගොඩක් විවේචනයට ලක්වෙලත් තියන බව පේනව. ඒත් වර්ණභේදවාදය අහෝසා කරන්න ඉලක්ක කරද්දි මෙවැනි තේමාවක් යොදා ගැනීමේ ලොකු දේශපාලනික වැදගත්කමක් තියනව. ඕක ලංකාවෙදිත් කලොත් ටිකක් හිතල මතල ටෙලිනාට්‍ය චිත්‍රපටි බලන නරඹන්නාව ටිකක් සාධනීය විදියට අවුල් කරන්න පුළුවන්. හින්දු පියෙක්, මුස්ලිම් මවක්, සිංහල ⁣සීයෙක්, බර්ගර් ආච්චි කෙනෙක් එක්ක නිරාගමික පුතෙක් වගේ දාල බලන එක වටිනව.

දේව් පටෙල්. ස්ලම්ඩෝග් මිලියනර් චිත්‍රපටයෙන් දිනාගත් අවධානය දිගටම රඳවාගන්න සමත් වුණ සුපිරි නළුවා ඩේවිඩ් කොපර්ෆීල්ඩ් චරිතයට උපරිම සාධාරණයක් කරනවා. 

චිත්‍රපටයේ අධ්‍යක්ෂ Armando Iannucci මුලින්ම මගේ අවධානය දිනාගන්නෙ The Death of Stalin චිත්‍රපටයෙන්. ඔහු ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ව ප්‍රතිනිර්මාණය කරන ආකාරයත් නැවත නැවත කියවිය යුතුයි. ඒ සඳහා තුන් සැරයක්වත් මේ චිත්‍රපටය බලන්න වෙයි මං හිතන්නෙ.

Friday, June 12, 2020

පාතාලය - විමර්ශනාත්මක අධ්‍යයනයක් 3 (නීත්‍යානුකූල රාමුව තුල පාතාලය - ලීසිං)



පාතාලය පිටුදැකීම පොදු සමාජ දැක්මක් ලෙස බොහෝ දෙනා හඳුනාගනු ලැබුවද එය සමාජ අවශ්‍යතාවයක් ඉටුකරන ඒකකයාක් වීම තුල එය සම්පූර්ණයෙන්ම තුරන් කර දැමීම සිදුකළ නොහැක්කක් බව පෙර සඳහන් කරන ලදී. එහිදී සමාජ ඉල්ලුම උද්ගත වන්නේ සමාජයේ නීත්‍යානුකූල නොවන හෝ පිළිගැනීමකට ලක් නොවන ඒකක තුලින් යැයි මායාවක් ඇතිවීමට ඉඩක් තිබේ.

නමුත් සැබැවින්ම පිළිගත්, පිළිනොගත්, නීත්‍යානුකූල සහ එසේ නොවන ඒකක භේදයකින් තොරව පාතාලය අවශ්‍යතාවයක් ලෙස ගැනෙන අවස්ථා දක්නට ලැබේ.

ඒ සඳහා හොඳම උදාහරණය දින කිහිපයකට පෙර සිදුවූ සුනිල් ජයවර්ධනගේ මරණයයි. දැනට අනාවරණය වී යැයි සමාජගත වී ඇති තොරතුරු අනුව සුනිල් ජයවර්ධන මහමඟ පහර දී ඝාතනය කරන්නේ මූල්‍ය පහසුකම් ලබාදෙන ආයතනයකට සම්බන්ධ මැර පිරිසක් බව කියනු ලැබේ. එහිදී එම මූල්‍ය ආයතනය පිළිගත් ආයතනයක් නොවන බවත්, මහබැංකුවේ ලියාපදිංචි ආයතනයක් නොවන බවත් ඇතැමුන් ප්‍රකාශ කරනවා මම දුටුවෙමි.

නමුත් පිළිගත් හෝ ලියාපදිංචි මූල්‍ය ආයතන තමන්ගේ කටයුතු සඳහා මැර කණ්ඩායම් සම්බන්ධ කර නොගන්නා බවක් එයින් අදහස් වේද? කිසිසේත් නැත.

කල්බදු පහසුකම් යටතේ මිළදීගෙන වාරික නොගෙවන වාහන හෝ භාණ්ඩ අත්පත් කරගැනීම සඳහා නීතිය ඉදිරියේ පිළිගත් ක්‍රමවේදයක් තිබේ. එය මුල සිට අවසානය දක්වා සවිස්තරාත්මක ක්‍රමවේදයක් නොවේ. එනම් මෙම ක්‍රියාවලිය තුල බලහත්කාරය යෙදීමට සිදුවන අවස්ථාවක් උද්ගත වේ. එය ක්‍රියාත්මක කිරීම සඳහා පිළිගත් නොපිළිගත් මහබැංකු අනුමැතිය ඇති නැති සියළුම මූල්‍ය ආයතන එම රැකියා විස්තරයට ගැලපෙන පිරිස් එළිපිටම යොදාගනිති.

ඔවුන්ගේ රාජකාරිය වන්නේ මූල්‍ය සමාගමෙන් යම් භාණ්ඩයක් හෝ වාහනයක් අත්පත් කරගැනීමට නියෝගය ලද වහාම එය අත්පත් කරගෙන සමාගමට භාරදීමය. මෙම ක්‍රියාවලිය තුල ඉතාම සාමකාමී අත්පත් කරගැනීම් මෙන්ම කළහකාරී තර්ජනාත්මක අත්පත් කරගැනීම්ද වේ. ඒ සඳහා පුද්ගලයන්ට බලපෑම් කිරීමට, තර්ජනය කිරීමට අතපයේ සිට ගිනි අවි දක්වා භාවිතා වේ. තර්ජනයෙ ස්වභාවය "වාහනේ දීපං ගුටි නොකා" යන තැන සිට වාහන හිමිකරුට පහරදීම දක්වා පරාසයක විහිදේ. එය මරා දැමීම දක්වා විහිදිය හැකි බව සුනිල් ජයවර්ධන සිදුවීමෙන් පෙනී යයි. එම සියළුම ආකාර වල තර්ජනයන් සම්පූර්ණයෙන්ම නීති විරෝධී අපරාධ වැරදි වේ.

නමුත් "වාරික නොගෙවූයේ තමන්ය" යන හැඟීම තුල වාහන හිමියා ඒ නීති විරෝධී තර්ජනයන් පිළිබඳව පැමිණිලි කිරීමට ඉදිරිපත් වන්නේ නැත. එමෙන්ම එසේ පැමිණිලි කළහොත් වාහන අත්පත් කරගන්නා කණ්ඩායම විසින් වාහනයට විවිධ අලාභහානි කිරීමද, මූල්‍ය සමාගම නැවත වාහනය මුදා හැරීමේදී දක්වන සම්පූර්ණයෙන්ම අනම්‍ය, අනුකම්පා විරහිත ප්‍රතිචාරයට මුහුණ දීමට සිදුවීමද ඔය පිළිබඳව කවුරුත් දන්නා සාමාන්‍ය ප්‍රතිවිපාකයන් වේ. එබැවින් වාහන හිමියා තමන්ට සිදුවූ පහරදීම්, නින්දා අපහාස සියල්ල තනිව විඳ දරාගන්නා, එසේ කිරීමට සිදුවන තත්වයකට පත්වේ.

ලීසිං සමාගම් විසින් තමන්ගේ කල්බදු දේපල අත්පත් කරගැනීම සඳහා පාතාලය යොදාගන්නේ හොර රහසේ නොව එළිපිට ඔවුන්ට ගාස්තුවක් ගෙවීමෙනි. එය පාතාලයේ සමාජ ඉල්ලුම නිල මට්ටමින්ම ඉතා පැහැදිලිව පෙනෙන අවස්ථාවක් ලෙස දැකිවිය හැකිය.

එක් අවස්ථාවකදී වාහන හිමියෙකු වාහනය පදවාගෙන යමින් සිටියදී ඔහු පසුකරන යතුරුපැදිකරුවෙකු වාහනයේ පසුපස දොර විවර වී ඇති බවට සංඥා කරයි. වාහනය නවත්වා එහි දොර වැසීමට රියදුරු බසින සුළු මොහොතේ එතැනට කඩා වදින මැරවරයින් වාහනය රැගෙන පලා යයි.

තවත් අවස්ථාවක වාහනය ධාවනය වද්දී යතුරුපැදියක් එහි ගැටීමට සළස්වා අනතුරක් සිදුකරයි. අනතුර පරික්ෂා කිරීමට වාහනයෙන් බසින වාහන හිමියා ඉවතට තල්ලු කර වාහනය පැහැර ගනිති.

තවත් අවස්ථාවක එවන් මැරවර පිරිසක් හඹා එද්දී වාහන හිමියෙකු ආරක්ෂාව පතා කුරුණෑගල පොලිස් අධිකාරී කාර්යාලයේ ගේට්ටුවෙන් වාහනය ඇතුළු කර ඇත. එතැනට පැමිණි මැරවරයන්ට වාහනය අත්පත් කරගැනීමට එහි සිටි පොලිස් නිලධාරීන් ඉඩ දී නැත. එක් මැරවරයෙකු උඩඟු ලෙස එතැනදී පොලිස් නිලධාරියෙකුට පවසා ඇත්තේ අනවශ්‍ය ප්‍රශ්න වලට අත නොදා සිටින ලෙසත්, මේ වාහන අත්පත් කරගැනීමට සමාගමෙන් තමන්ට නියෝගය ලැබී ඇති හෙයින් පොලිස් භූමියෙන් වාහනය පිටවූ වහාම තමන් කොහොමත් එය පැහැර ගන්නා බවයි.

ඉහත දක්වන ලද ඔය උදාහරණ තුන ලීසිං සමාගමක් සම්බන්ධ නොවන වෙනත් වටපිටාවක සිදුවූවානම් ඒවාට සම්බන්ධ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇත. නඩුව අවසන් වීමට වසර 3ක් වත් ගතවනවා ඇත. නමුත් ලීසිං නාමයෙන් එම මැර ක්‍රියා සිදුවන විට ඒවා අපරාධ ලෙස නාමකරණය කිරීමට මැළි බවක් ඇතිවී ඇත.

පාතාලයක පැවැත්මේ මූලික හරය ප්‍රචණ්ඩත්වයයි, බියගැන්වීමයි. ඒ සඳහා සමාජ ඉල්ලුමක් පවතින විට ප්‍රචණ්ඩත්වය, බියවැද්දීමේ හැකියාව, අණක් ගුණක් නැති කම, නොසංඩාලකම ආදිය අලෙවි කළ හැකි භාණ්ඩ බවට පත්වේ. ඒවාට ඉතා ඉහළ මිළක් නියම වේ.

සමාජයක එක ස්ථරයක් නීත්‍යානුකූලව සාදාගත් රාමුවකම අත්‍යාවශ්‍ය කොටසක් ලෙස ප්‍රචණ්ඩත්වය මිළදී ගනිති. තවත් ස්ථරයකදී නීතියට පිටින් එයම සිදුවේ. නමුත් සමාජය සාකල්‍යයෙන්ම පිටු දැකිය යුතු ලෙස හඳුනාගන්නේ ඉන් එක ස්ථරයක් පමණි.

මේ පිළිබඳව සාකච්ඡාවේදී ඉදිරිපත් වන ප්‍රධාන තර්කයක් නම් ඉහත දැක්වූ ප්‍රචණ්ඩත්වය නොමැතිව වහාම එම දේපල අත්පත්කරගැනීමට වෙනත් ප්‍රායෝගික ක්‍රමයක් නොමැත්තේය යන්නයි. එය සත්‍යයක් නොවේ. නීතිමය රාමුව තුල එය සිදුකිරීමට හැකියාව ඇත. නමුත් එය අධික වියදම්කාරී මෙන්ම කාලය මිඩංගු වන ක්‍රියාවලියකි. එබැවින් වඩා ලාභදායී ඉක්මන් ක්‍රමවේදය ලෙස මිළදීගත් ප්‍රචණ්ඩත්වයක් තුලින් ප්‍රශ්නය විසඳාගැනීම තෝරා ගැනේ.

මෙයින් පෙනී යන්⁣නේ පාතාල ක්‍රියාකාරකම් සඳහා පවත්නා සමාජ ඉල්ලුමේ එක් පැතිකඩකි. පාතාලය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට නොහැකි වාතාවරණයක් උද්ගත වන්නේ පාතාල ක්‍රියාකාරකම් සඳහා පවත්නා මෙකී අනම්‍ය ස්වභාවයේ ඉල්ලුම හේතුවෙන් බව නැවතත් අවධාරණය වන්නේ ඒ නිසාය.


Thursday, June 11, 2020

රාවණාවාදී පොතපතෙහි ස්වභාවය


රාවණාවාදය සම්බන්ධයෙන් ඊයේ පළකල ලිපියට ලැබුණු ප්‍රතිචාර මත ඒ පිළිබඳව මගේ චින්තන ප්‍රවේශය තවදුරටත් පැහැදිලි කළ යුතුයැයි මම සිතනවා. මම කියන්නෙ රාවණා සම්බන්ද සියළු කතා ප්‍රබන්ද කියල නෙමෙයි. නමුත් හමුවන මූලාශ්‍ර මේ තරම් දැවැන්තව විස්තරාත්මකව රාවණා ප්‍රතිරූපය හදාගන්න ප්‍රමාණවත් නෑ කියන එකයි මම කියන්නෙ.

චක්‍රමය ස්වභාවය

එහෙම හමුවන මූලාශ්‍ර වලට අමතරව ලියැවුණු සාහිත්‍ය ඉතිහාස අධ්‍යයන යැයි කියන පොතපත හැමවිටම මූලාශ්‍රය විදියට ගන්නෙ කලින් කවුරුහරි ලියපු ඒ වගේම පොතක්, ඒ පොත අරන් බලපුවාම එයත් අරන් තියෙන්නෙ ඒ වගේම පොතක්. ඔය විදියට හොයාගෙන යද්දි චක්‍රයක් වගේ වටේට කැරකෙන ස්වභාවයක් රාවණාවාදී පොත්පත් වල තියෙනවා. ඒ අනුව රාවණාවාදී කතාවක් කියන්න සැබැවින්ම පදනම් කරගත් ඓතිහාසික මූලාශ්‍රය කුමක්ද හොයාගැනීම අසීරුයි. එහෙම අමාරුවෙන් හොයාගත්තත් පේන්නෙ ඒක ඔය පොත්පත්වල කියන තරම් ලොකු විස්තරාත්මක කතාවක් කියන්න ශක්තිමත් මදි බව.

ඕක උදාහරණයක් මගින් මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්:-

1.මගේ ජාතික හැඳුනුම්පත අනුරාධපුර නගරයේ වැටිලා තිබිලා හමු වෙනවා.

2. ඒක දකින කෙනෙක් අථිල අතාවුදගේ හැඳුනුම්පත අනුරාධපුරයේ වැටී තිබූ බව වාර්තා කරනවා.

3. ඒක මූලාශ්‍රය කරගෙන තව කෙනෙක් අථිල අතාවුද අනුරාධපුරයට ආවා වියහැකි බව කියනවා.

4. ඒක මූලාශ්‍ර කරගන්නා තවකෙනෙක් අතාවුද අනුරාධපුරයට ආව බව ඔප්පු වුණැයි කියනවා.

5. ඒක මූලාශ්‍ර කරගෙන මගේ වෘත්තිය කුමක්දැයි දන්නා තවත් කෙනෙක් අථිල අතාවුද අනුරාධපුරය අධිකරණයේ නඩුවක් සඳහා පැමිණියා විය හැකියයි ලියනවා.

6. ඊළඟ කෙනා මම ආවේ නඩුවකටමයි කියා ලියනවා.

7. ඊළඟ කෙනා මම අනුරාධපුරය ගොස් බෞද්ධයෙකු ලෙස ශ්‍රී මහාබෝධියට නොයා ආපසු නොයනු ඇතැයි කියා ලියනවා.

8. ඊළඟ කෙනා මම නඩුවක් සඳහා අනුරාධපුරයට පැමිණ ඒ ගමන් ශ්‍රී මහා බෝධියට ගිය බව නියතයක් සේ ලියනවා.

ඔය විදියට තව දුරට යද්දි මම අනුරාධපුරයට ආපු වාහනය, ඇවිත් කාපු කෑම, ඇඳගෙන ආපු ඇඳුම, හමුවූ අය, ආ ගිය තවත් තැන් යනාදී වශයෙන් ගොඩක් දේවල් ලියවෙනවා.
නමුත් හමුවී ඇති සැබෑ මූලාශ්‍රය මගේ ජාතික හැඳුනුම්පත අනුරාධපුරයේ තිබී හමුවීම පමණයි.

එහිදී මම ඇත්තටම අනුරාධපුරයට පැමිණි අවස්ථාවක එය වැටුණා වන්නටත් පුළුවන්, නැත්නම් මම කොළඹ අනුරාධපුර බස් රථයක පැමිණි මගේ හැදුනුම්පත බස් රථයේ වැටී මම කුරුණෑගලින් බැස්සා වන්නටත් පුළුවන්. නැත්නම් යම් කෙනෙකු යම් වංචනික කටයුත්තක් සඳහා මගේ හැඳුනුම්පත සො⁣රාගෙන එය අනුරාධපුරයේ දමා ගියා වන්නටත් පුළුවන්.

ජනවාර්ගික දේශපාලන ව්‍යාපෘතියක්

රාවණා ගැන විස්තර ගොඩක් ඉදිරිපත් කරන පොත්පත් වල ස්වභාවය ඕකයි. ඇයි එහෙම වෙන්නෙ? මම හිතන විදියට ඒක දේශපාලන ව්‍යාපෘතියක්. ජය කෙහෙළිය සඳහා උත්කෘෂ්ට සංකේතයක් නිර්මාණය කරගැනීම, උරුමය පිළිබඳව සෙලැවිය නොහැකි ජනමතයක් සමාජගත කිරීම වගේ අරමුණු එයට තිබෙනවා වෙන්නට පුළුවන්.

ඔය රාවණා ගැන පර්යේෂණ කරන උගතුන්ගේ කතා ඇසීමේදී ඔවුන් රාවණා ගවේෂණය හා සමගාමීව ඔය ඉහත කී අන්දමේ ජනවාර්ගික දේශපාලන අදහස්ද දරණ බව බොහොම පැහැදිලිව පේන දෙයක්. අපිට ලෝකයට පෙන්විය හැකි ශක්තිමත් මූලයකින් එන ඉතිහාස කතාවක් නිර්මාණය කරගැනීමේ දේශපාලනික වටිනාකම ඔවුන් කෙළින්ම කියනවා.

පර්යේෂණයේ ප්‍රවේශය

එතකොට ඔවුන් කරන රාවණා ගවේෂණ පුද්ගල නිහ්ශ්‍රිත (subjective) ගවේෂණ මිස වාස්තවික (objective) විග්‍රහයන් නොවේ. ඒ කියන්නෙ සරළව ඔවුන් ගවේෂණ කරන්නෙ රාවණා සිටි බව ඔප්පු කිරීම සඳහා. ඒ සඳහා උදව් නොදෙන සොයාගැනීම් ඔවුන් සම්පූර්ණයෙන්ම නොසළකා හරිනවා. පර්යේෂණයකින් විශ්වාසදායී ප්‍රතිඵලයක් ලබාගන්නට නම් ඒ පිළිබඳව විවෘත ප්‍රවේශයකින් පර්යේෂණ කළ යුතුයි. මෙතනදි නම් රාවණා හිටියද නැද්ද? හිටියත් ඔය කියන තරම් විභූතියක් තිබුණද නැද්ද? රාවණා ඇත්තටම ලංකාවෙ හිටියද නැද්ද? එහෙම විභූතියක් තිබුණත් නැතත් රාවණා සිංහලයන්ගේ ආදිතම මුත්තාද නැද්ද? යනාදී වශයෙන්.

එහෙම නැතුව රාවණා හිටියා කියලා ඔප්පු කරන්න පර්යේෂණ කරන කෙනෙක් ගෙනහැරපාන්නෙ විතරක් නෙමෙයි, බොහෝවිට ඔහුට පේන්නෙත් එහෙම හිටියා වියහැකියි කියන්න පුළුවන් සාධක පමණයි. හිටියෙ නෑ කියල ඔප්පු කරන්න පර්යේෂණ කරන කෙනෙක් කියන්නෙ හිටියෙ නෑ කියන මතයට උදව් වන දෑ පමණයි.

නමුත් ඔය ඉතාම වැදගත් ඓතිහාසික පර්යේෂණය එහෙම විවෘත ප්‍රවේශයකින් කෙරෙන එකක් නෙමෙයි. එයට හේතුව මම ඉහත සඳහන් කළ ජනවාර්ගික දේශපාලන අරමුණ ඒ තුල සැඟවී තිබීම.

රාවණාවාදයක නැගීම


ශ්‍රී ලංකාව විජයගේ ආගමනයත් සමඟ හදිසියේ පහළ වූවක් නොවේ. ඊට පෙර ශ්‍රී ලංකාවේ පැවැත්මක් තිබුණු බව පිළිගැනීමට සිදුවේ. ඒ ආදි ශ්‍රී ලංකාවේ ජනාවාසද පවතින්නට ඇත. එපමණක් නොව නෞකා ගමනාගමනය පැවැතියේයැයි කියන විජයාවතරණ සමයේ කිලෝමීටර් 44ක් පමණ දුරින් පිහිටි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඔරු පාරු මගින් හෝ ගමනාගමනය සිදුවිය නොහැක්කක් යැයි බැහැර කිරීමට නොහැක. ඒ අනුව විජයට පෙර ශ්‍රී ලංකාවේ ජනාවාස නොපැවතියේයැයි ඉඳුරා බැහැර කිරීම ඉතිහාසය විෂයෙහි අන්තයක එල්බ ගැනීමකි. මහාවංස කතාන්තරය සත්‍යක් ලෙස ගත්තද කුවේණිය (කළු අක්කා) සහ ඇගේ පරපුර ගැන ඇති සඳහන යම් අවම ශිෂ්ටාචාරගත සමාජයක සාධක කියාපායි.

කෙසේ වෙතත් එසේ වූ පමණින් අති දියුණු තාක්ෂණයක් සහිත රාවණා යුගයක් ශ්‍රී ලංකාවේ පැවතියේය යන මතයේ එල්බ ගැනීම තවත් අන්තයකි. ඉතිහාසය හැදෑරීමේ දෘෂ්ටිකෝණයෙන් විජයට පෙර යුගයක් ගැන සොයා බැලීම විමර්ශනය කිරීම අතිශය සාධාරණ අධ්‍යාපනික වටිනාකමකින් යුතු ව්‍යායාමයකි. නමුත් ඊට පාදක කරගන්නා මූලාශ්‍ර ආශ්රය කරගනිමින් පරිකල්පනය මෙහෙයවා සිදුකරන මවා ගැනීමක් සත්‍යයක් ලෙස ගැනීම යථාර්ථවාදීද යන්න ප්‍රශ්නයකි.

මූලාශ්‍ර  

රාවණා පිළිබඳව ගන්නා මූලිකම මූලාශ්‍රය වාල්මිකීගේ රාමායණයයි. රාමායණය සත්‍ය වෘතාන්තයකට වඩා එකල ඉන්දියාවේ පැවැති ඇදහිලි ගුරු කොටගෙන ලියූ ප්‍රබන්දාත්මක වීර කාව්‍යයක ලෙස හැඳින්විය හැකිය. රාමායණයට අමතරව රාවණා පිළිබඳව ජෛන කවි වල අන්තර්ගත වෙයි. ඒ අනුව දකුණු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වලද ඉන්දුනීසියාවේද රාවණා දේවත්වයට ගෙන වන්දනාමාන කිරීමද සිදුවේ. රාමායණය අනුව රාවණාගේ දේශය ලංකාද්වීපය ලෙස දැක්වීම හැරෙන්නට රාවණා පිළිබඳව විශ්වාසයන් ශ්‍රී ලංකාවට සම්බන්ධ කරන අන් පුරුකක් නැත. මහාචාර්ය සෙනරත් පරණවිතානගේ අදහසට අනුව රාමායණයේ එන ලංකාද්වීපය ශ්‍රී ලංකාව නොව රාමායණ රචකයාගේ සිතේ ඉපැදුණු මන:කල්පිත දේශයකි.

ශ්‍රී ලංකාවේ 11වැනි සියවසින් පසු

ශ්‍රී ලංකාවේ රචිත ඉතිහාසය තුල රාවණා පිළිබඳව සඳහන් වන්නේ 11 වන සියවසෙන් පසුව වේ. මාර්ටින් වික්‍රමසිංහට අනුව මහානාම හිමියන් මහාවංසය ලිවීමේදී එකළ ශ්‍රී ලාංකීය සමාජයේ මුල්බැසගෙන තිබූ ජනප්‍රවාද සියල්ලම පාහේ මහාවංසයේ අන්තර්ගත කැර තිබේ. එබැවින් ශ්‍රී ලංකාවේ රාවණ යුගයක් ගැන ජනප්‍රවාද පැවැතියේ නම් ඒ පිළිබඳව මහාවංශයේ ඇතුලත් නොවන්නට හේතුවක් නොතිබූ බවට වික්‍රමසිංහ තර්ක කරයි. ඒ අනුව රාවණා කතාන්තරය 11 වැනි සියවසෙන් පසුව ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සාහිත්‍යමය ලෙසින් පැමිණ එහි ලංකාද්වීපය යැයි සඳහන් වීම මතම තමන්ගේ කොටගත් සංකල්පයක් යැයි සිතිය හැකිය. පසුකාලීනව රාවණා පිළිබඳව සඳහන් වන ශ්‍රී ලංකාවේ රචිත කඩඉම් පොත් ආදිය මහනුවර යුගයෙන් එපිටට නොයයි.

තම තමන්ම ලියාගත් පරිකල්පනමය ප්‍රබන්ධ 

රාවණා පිළිබඳව ඇති ඓතිහාසික මූලාශ්‍ර ඔපමණය. නමුත් රාවණා ඇදහිල්ලක් ලෙස ගන්නා පිරිස් ඔය කී ඓතිහාසික මූල වලින් සපයන අංශු මාත්‍ර මඟපෙන්වීම පරිකල්පනය මෙහෙයවා අති දැවැන්ත විෂයක් බවට පත්කරමින් තිබෙන බවක් පෙනේ. එහිදී රාමායණය, ජෛන කවි, ඉන්දියාවේ ඇති මූර්ති කැටයම් සහ ඉන්දීය ජනප්‍රවාද ඔස්සේ සැපයෙන්නේ අසම්පූර්ණ චිත්‍රයකි. ඉතිරි කොටස රාවණා කතාව විශ්වාස කරන ස්ථාවරයක පිහිටා සිටින රචකයින් විසින් මන:කල්පිතව පුරවමින් තම තමන් විසින් රචනාකරගෙන තම තමන්ම විශ්වාසයට ගත් සංකල්පයක් බව රාවණාවාදී නූතන පොතපත ඇසුරු කිරීමෙන් ⁣පැහැදිලිව පෙනෙන දෙයකි.

රාවණාවාදය ගැන රාවණාවාදී ආකල්ප

රාවණාවාදය පිළිබඳව එය විශ්වාසයට ගන්නවුන් වෙතින් සොයා බැලීමේදී ඔවුන් ඒ පිළිබඳව දක්වන ආකල්ප කිහිපයක් රාවණාවාදය ව්‍යාප්තිය දාර්ශනික අර්ථයෙන් තේරුම් ගැනීමේදී අතිශයින් වැදගත් වේ.

විශ්වාසය නැතුව මේක කරන්න බෑ

එවන් එක් සාකච්ඡාවකදී රාවණාවාදියෙකු විචිත්‍ර ලෙස රාවණාගේ විභූතිය පිළිබඳව විස්තර කරගෙන යද්දී මම ඒ විභූතිමත් ප්‍රතිරූපය ගොඩනැගීමේදී ගුරුකොටගත් මූලාශ්‍ර පිළිබඳව අතුරු ප්‍රශ්න කිහිපයක් නැගීමි. එහිදී මූලාශ්‍ර ලෙස මෑතකාලීනව රාවණාවාදී ඉතිහාසඥයන් සහ සාහිත්‍යකරුවන් කිහිපදෙනෙකුගේ පොත් කිහිපයක් මට පෙන්වා සිටින ලදී. මම ඒවා අධ්‍යයනය කොට එම රචකයන් ගුරුකොටගත් මූලාශ්‍ර වල අපැහැදිලිකමත්, ඒ අපැහැදිලි මූලාශ්‍ර මත රාවණාගේ විභූතිය බරසාර ලෙස එතරම් සවිස්තරාත්මකව දැක්වීම යථාර්ථවාදී නොවන බවත් පෙන්වා සිටි කල, මෙය අපේ උරුමය බවත්, එය අධ්‍යයනය කිරීමේදී සියල්ල ප්‍රශ්න කිරීම නොව යම් විශ්වාසයක්ද අවශ්‍ය බවත් මදක් අප්‍රසාදයෙන් යුතුව මට ප්‍රකාශ කරන ලදී.

රාවණාවාදය හෙළයන් විසින් අත්පත් කරගැනීමේ දේශපාලන වැදගත්කම

තවත් අවස්ථාවක රාවණාවාදය අපේ කරගැනීමේ දේශපාලනික වැදගත්කම පිළිබඳව යථාර්ථවාදී විග්‍රහයක් අසන්නට ලැබුණි. එම සංකල්පය මත 11 වන සියවස දක්වාම රාවණා පිළිබඳව ශ්‍රී ලාංකීය වාර්තාගත ඉතිහාසයේ සඳහන් නොවීමද, සරළ ඉතාම දුරස්ථ ක්ෂුද්‍ර මූලාශ්‍ර කිහිපයක් මත රාවණාවාදය ශ්‍රී ලාංකීය ජනතාවට විශේෂයෙන්ම සිංහලයන් අදහන තත්වයට ගෙන ඒමට උගතුන් කිහිප දෙනෙකු දරණ උත්සාහයේ පදනමද පැහැදිලි වෙයි.

ඒ මතය මෙසේය:-

"රාවණා එක්කෝ දකුණු ඉන්දියානුවෙකු හෝ ශ්‍රී ලං⁣කාවේ සිටියෙකු විය හැකිය. ඔහුගේ විභූතිය වර්තමානය දක්වා වන්දනාමානයට ලක් වීමෙන් පෙනේ. රාවණාගේ ලංකාද්වීපය ශ්‍රී ලංකාව ලෙස ගැනීමට හෝ රාවණා සිංහලයන්ගේ ආදිතමයා ලෙස ගැනීමට පිළිගතහැකි මූලාශ්‍ර නැති බවද ඇත්තකි. නමුත් සිංහලයන්ගේ ආරම්භය විජයගෙන් යැයි ගතහොත් ඊට පෙර සිටි පදිංචිකරුවන් සිංහලයන් නොවන බවටද එයින් යෝජිතය. ඒ අනුව විජයට පෙර සිටි මුල් පදිංචිකාරයන් වැදි ජනතාව බවට පත්වූ බව එක් මතයකි. ශ්‍රී ලාංකීය දෙමළ ජනතාව එකී මුල් පදිංචිකාරයන්ගෙන් පැවතෙන්නේ යැයි කීම තවත් මතයකි.

දෙවනුව කී ඔය මතය දෙමළ නිජබිම් සංකල්පය සමඟ වරින් වර උඩ යට ගොස් තිබේ. එය සනාථ කිරීමට පිළිගතහැකි සාධක නැතිවා සේම බැහැර කිරීමට ශක්තිමත් හේතූන්ද නැත. දකුණු ඉන්දියාවේ රාවණ වන්දනාවට පාත්‍ර වීම මත රාවණ යනු ඔවුන්ගේ අතීත රජෙකි ඔවුන්ගේ දෙවියෙකැයි ද්‍රවිඩයන් විසින් පවසනු ලැබීමටද බැරිකමක් නැත. එහිදී රාවණගේ රට ලංකාද්වීපය ලෙස රාමායණයේ සඳහන් වීම මත ලංකාව ද්‍රවිඩයන්ගේ රටය කියා තර්ක කිරීමට පදනමක් සෑදේ.

එසේ හෙයින් ද්‍රවිඩයන් නිජබිම් සංකල්පය ඔප්පු කරනු පිණිස රාවණ කතාව ගුරු⁣ කොට ගැනීමට කලින්, විජයට පෙර ලක්වාසීන්ගේ එනම් රාවණයන්ගේ උරුමකරුවන් සිංහලයන් බව ස්ථාපිත කරගැනීම බලවත් අවශ්‍යතාවයක් වන්නේය. ඒ සඳහා පිළිගතහැකි මූලාශ්‍ර තිබීම අත්‍යාවශ්‍ය නැත. රාවණාවාදී හෙළ සාහිත්‍යයක් සහ ඒ ගැන දැඩි උද්යෝගිමත් කතාබහක් ඇතිවීම ප්‍රමාණවත් වේ. කාලයත් සමඟ සාහිත්‍යය ඉතිහාසය බවටද කතාබහ ජනප්‍රවාදය බවටද පත්වී රාවණා සිංහලයන්ගේ ආදිතමයා ලෙස ස්ථාපිත වනවා ඇත. එවිට නිජබිම් සංකල්පය පිළිබඳව ගැටලුවක් පැන නගින්නේ නැත. එබැවින් සෑම සිංහලයෙකුම තමන්ගේ ලේ වල වගකීමක් ලෙස සළකා රාවණවාදය පතල කළ යුතුය. එය ඉතිහාසය ලෙස ස්ථාපිත වන තුරු ප්‍රශ්න කිරීම, අඩුපාඩු පෙන්වීමට යාම නොකළ යුතුය."

මෙය රාවණාවාදය පැතිරවීම සම්බන්ධයෙන් මා ඇසූ ඉතාම යථාර්ථවාදී හේතු දැක්වීමයි. රාවණාවාදී අධ්‍යයන කණ්ඩායම් වල හැසිරීම දෙස බැලීමේදීද මෙකී අදහසේ සත්‍යතාවය මැනවින් පසක් වේ.

දැඩි ඇදහිල්ලක්

ෆේස්බුක්හි රාවණාවාදය ප්‍රචාරය කරන ෆේස්බුක් සමූහ සහ පිටු ගණනාවක් වේ. මේවායින් උපාසය පිණිස පිහිටවූ ඒවා අතහැරි විට සැබැවින්ම රාවණාවාදී සමූහ දෙකක් තුනක් පමණ හඳුනාගත හැකිය. ඒවායේ සිටින බොහෝ රාවණාවාදය පිළිගන්නා අයගේ මා දුටු ලක්ෂණය නම් ඉතිහාස අධ්‍යයන පරමාර්ථයෙන් ඒ දෙස බලන්නෙකු මෙන් නොව, ඔවුන් රාවණාවාදය දැඩිව අදහන බවයි.

ඇතැමෙක් ඉදිරි වසර 5 තුල රාවණා අනිවාර්යයෙන්ම අවදි වී ලංකාද්වීපය ලෝකයේ බලවත්ම රාජ්‍යය බවට පත් කරන බව දැඩි විශ්වාසයෙන් මට කීවේය. මා හට පෙනී ගියේ ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම, සිනාසීම වුවද ඔවුන්ගේ දැඩි කෝපයට හේතු වන බවයි. එය විහිළුවට කෝප ගැන්මක් ලෙස මුලින් සිතා සිටියද එය වැරදි බවත් රාවණා පිළිබඳව යමක් කියා සිනාසීම තම මව පියා ඈඳාගනිමින් අසභ්‍ය විහිළුවක් කිරීම තරම් බරපතළව මේ පුද්ගලයින් ගන්නා බවත් මට පසක් වුණි.

Haha Reactions බෑ

එවැනි එක්තරා ෆේස්බුක් සමූහයක් තම ආචාරධර්ම වලට ඇතුලත් කොට තිබුණේ එකී සමූහයේ සිදුකරන පළකිරීම් වලට උපහාසාත්මක ප්‍රතිචාර (comments) යෙදීම, සිනාසෙන ප්‍රතිචාර (HaHa reactions) දැක්වීම, රාවණාවාදය අවිශ්වාස කරන බව පෙනී යාම සමූහයෙන් ඉවත් කිරීමට හේතුවක් වන බවයි.

රාවණාවාදය ආගමක් වීම

ඒ අනුව තවදුරටත් මෙය වැළලීගිය ඉතිහාසය ගොඩගැනීමේ අධ්‍යාපනික මෙහෙවරක් නොවේ. එය සම්පූර්ණයෙන්ම ඇදහිල්ල මුල් කරගත් ආගමක ස්වරූපයට හැරෙමින් තිබේ. එම ප්‍රවණතාවයේ ප්‍රතිඵල නුදුරු අනාගතයේදීම පෙනී යනවා ඇත.

උපහාසය

කෙසේ වෙතත් රාවණාවාදය හුදු පදනම් විරහිත සිනා උපදවනසුළු ප්‍රවාදයක් ලෙස ගෙන ඊට සමච්චල් කරන උදවියද හිඟ නොවෙති. ඒ අතරින් මාර්ටින් වික්‍රමසිංහ එයට දක්වන දැඩි උපහාසය කැපී පෙනේ. ඔහුට අනුව "රාවණා හෙළයන්ගේ ආදිතම මුත්තාය කියන්නේ නම්, එලෙසම යම් රූමත් මිනිසෙකුගේ ආදිතම මුත්තා අනංගයා ලෙසද ගත හැකිය."

ශ්‍රී ලංකාවේ නගර හා ස්ථාන වල නම් රාමායනයේ එන ඇතැම් චරිත වලට ආසන්න හඬකින් යුතු වීම රාවණා ලංකාවේ සිටි බවට මූලාශ්‍රයක් ලෙස ගැනීමද එලෙසින්ම උපහාසයට ලක්වෙයි. ඒ න්‍යායට අනුව "බටදොඹලෙන" යනු බටකොලආච්චිගේ ආදි වාසස්ථානයක් ලෙස ගතහැකි බව මගේ මිතුරෙකු දක්වා තිබෙනවා මම දුටුවෙමි.

පැළ කර හමාරයි

කෙසේ වෙතත් රාවණාවාදය දැන් මහ පොළොවේ පැල කර හමාරය. එය පසුපස යන්නන් අතරින් වැඩිදෙනෙකු රාමායණය, ජෛන කවි, කඩඉම්පොත් ඇතුළු ආදිතම ⁣ඓතිහාසික මූලාශ්‍ර දේවත්වයෙන්ද රාවණාවාදී උගතුන් ඔවුන් ඔවුන්ම ලියාගත් පරිකල්පනමය ප්‍රබන්ධ පිරුණු මෑත කාලීන රාවණාවාදී සාහිත්‍යය දේව දූතයන් අත එවූ පණිවුඩ හා සමානව ගන්නා බව පෙනේ. ඇතැමෙක් දෙරණ රූපවාහිනියේ විකාශය වන රාවණා ටෙලිනාට්‍යය 100%ක් සත්‍යයක්ද යනුවෙන් විමසන අයුරුද මා දැක ඇත. 

ICCPR යටතේ නඩු දායිද?

දේශපාලනිකව ගත්කළ ජය කෙහෙළිය සඳහා සංකේතයක් නිර්මාණය කරගැනීමේ වරදක් නැත. එහෙත් එවැන්නක දැඩිව එල්බගත් විට එයට ඇතිවන අන්ධ භක්තිය මත පුද්ගලයෙකු එය දැඩිව බදා අල්ලාගනී. ඉන්පසු එහි තර්කයට ගෝචර කොටස් තර්කයෙන්ද එසේ නොවන කොටස් ඇදහීමෙන්ද විසඳා ගනී. එවිට එය ආගමක් මිස අන් කිසිවක් නොවේ. මේ පියමං සළකුණු අනුව බලන කල නුදුරු අනාගතයේදීම රාවණාවාදය ආගමක් ලෙස අර්ථනිරූපණය වී එයට අපහාස උපහාස කරන පිරිස් ICCPR පනත යටතේ උසාවියට කැඳවීමටද බැරි නැත. රාවණාවාදය එතරම් වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇත. 

මරණීය න්‍යාය


සුනිල් ජයවර්ධනගේ මරණය පිළිබඳව පූර්ව නිගමන ඇතිකරගන්න තවම කල් වැඩියි. ඒත් ඔතන තියන ප්‍රශ්නයේ හැඩය යම්තාක් දුරකට හඳුනාගැනීමේ හැකියාව පවතිනව. ඒ හැඩය හඳුනා ගන්නට වීරිය කළ යුතුමයි. මොකද ඒක පැති කීපයකින් සමාජයට බලපාන ගැටලුවක් වෙන හින්දා. දේශපාලනිකව ගත්තොත් ධනවාදී සමාජයේ පදාසයක් ක්ෂණිකව කඩාගෙන වැටිය හැකි න්‍යායක් ඒ තුල අන්තර්ගත වෙන හින්දා.

ඔය ලීසිං සමාගම් මූල්‍ය සේවා ගොඩක් සපයන ආයතන වුණාට ඔවුන්ගෙ ආදායමෙන් 90%කට වැඩිය එන්නෙ ලීසිං පහසුකම්වල පොලී සල්ලි වලින්. ආකර්ශනීය තැන්පතු පොලී එහෙම හඳුන්වා දුන්නත් මිනිස්සු පොදුවේ පෞද්ගලික මූල්‍ය ආයතනයකට තමන්ගෙ තැන්පතු ධනය හිර කරන්න බයක් තියනව. ඒකට ප්‍රමුඛ බැංකුව ඇද වැටීම,ගොල්ඩන් කී ප්‍රශ්නෙ, ETI අර්බුදය, ද ෆිනෑන්ස් අර්බුදය වගේ දේවල් වලින් මිනිස්සු උගත් පාඩම් හේතු වෙලා තියනව.

ඒ හින්ද ඔවුන් වැඩි දෙනෙක් කරන්නෙ අඩු පොළියකට කොහෙන් හරි ණය අරගෙන ඒක වැඩි පොළියට ලීසිං පහසුකම් සඳහා ණයට දීලා ඒ පොළී අනුපාත දෙක අතරේ වෙනස ලාභයක් ලෙස ලබා ගැනීම. ඒක සමාගම් විතරක් නෙමෙයි සල්ලි පොළියට දෙන ඕනෑම ආයතනයක වේවා පුද්ගලයෙකුගෙ වේවා සාමාන්‍ය ව්‍යාපාරික ස්වභාවය.

ඔය ලීසිං සමාගම් වලින් අදාළ පහසුකම දෙන වෙලාවෙ මොන කතා කීවත් අතරමැදදි සල්ලි හම්බ වුණාම එක පාර ණය පියවා දමන්න ගියොත් ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි එකපාර ණය පියවීම අධෛර්යමත් කරන ඒව වෙන්නෙත් ඔය තත්වය තුල. අද තියන මුදලට අද වෙනකල් පොළිය විතරක් අය කරලා ණය කැපුවොත් ඔවුන්ගෙ ආදායම අහිමි වෙනව. ඒ නිසා ලීසිං පහසුකමක් මත ගත්තු වාහනයක ණය එක පාර පියවනවට වඩා වාසිදායක වෙන්නෙ එහෙමම ගෙවාගෙන යන එක බවට පත්වන වාතාවරණයක් ඔවුන් හදල තියනව.

කොරෝනා හෝ වෙනත් යම් හේතුවක් මත නියමිත වේලාවට ඔවුන්ට වාරික නොලැබී ගියොත් වෙන්නෙ ඔවුන් අපිට ණය දෙන්න ණය ගත්තු තැනත් එක්ක හිර වෙන එක. මොකද ඔය සමාගම් ගොඩක් දුවන්නෙ ප්‍රමාණවත් ආරක්ෂක තැන්පතුවක් ඇතිව නෙමෙයි. බොහොම යන්තමට අඩ්ඩඩ්ඩාවට.

ඒ හින්දයි කොරෝනා නැති කාලෙක වුණත් ටිකක් වාරිකය පරක්කු වෙනකොට ණය ගත්තු කෙනාටයි ඇප කාරයින්ටයි ලියුම් පනහක් වාතර එවල දවස ගානෙ කෝල් කරල කොහොමහරි වාරිකය දම්මගන්න ඔවුන් උත්සාහ ගන්නෙ.

නමුත් කොරෝනා ප්‍රශ්නය මත මිනිස්සුන්ගෙ ආදායම් අහිමි වෙනකොට එතනදි මිනිස්සුන්ට සහනයක් ලබාදීම කළ යුතුම දෙයක් වෙනව. ඒ අනුව මහ බැංකුව නිකුත් කරන මඟ පෙන්වීම ගොඩක් ලීසිං සමාගම් තරහෙන්, කේන්තියෙන්, අසතුටින් භාරගත් බවට සැකයක් නෑ. ඒකට හේතුව ඔවුන් ඉන්නෙත් පොඩ්ඩක් ලිස්සුවොත් වැටෙන අඩ්ඩඩ්ඩා තැනක. මාස හයක් දක්වා සහන දෙනව කිව්වට ගොඩක් මූල්‍ය සමාගම් මාස 3කට ඒ සහන සීමා කරල තියෙන්නෙ ඒ නිසා.

ඔය අතරේ ඔවුන් තවත් අභියෝගයක් දකිනව. දැන් තියෙන්නෙ හැම එකටම කැම්පේන් ක්‍රියාත්මක වෙන සමාජයක්. සමාජ ජාලා අතර වුණත් හැම කැම්පේන් එකටම වගේ බොහොම බලවත් සමාජ ජාලා සමූහ හැදිල තියනව. ඒ වගේම ETI වගේ අත්දැකීමක් අරන් බලපුවාම පැහැදිලිවම පේන දෙයක් තමයි මූල්‍ය සමාගමක් කැම්පේන් එකකින් වට්ටන්න පුළුවන් බව. ඒ නිසා මූල්‍ය සමාගම් ගොඩක් එවැනි කැම්පේන් වලට බයයි.

තනි පුද්ගලයෙක් තමන් ගත්ත වාහනේ වාරිකය නොදා වාහනෙත් හංගගෙන හිටියොත් ලීසිං සමාගමට පුළුවන් නඩු දාන්න. ඒ සඳහා සැළකියයුතු වියදමක් යනව. ඒ වියදම පියවා ගන්නෙත් ඔවුන්ගෙ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලින්. ඒ කියන්නෙ පොලී සල්ලි වලින්. නමුත් ගණුදෙනුකාරයො රාශියක් වෘත්තීය සමිතියක ස්වභාවයෙන් සංවිධානය වෙලා පොදුවේ "අපි ගෙවන්නෑ" කියන ස්ථාවරයට ආවොත් සමාගමට අත්වෙන්නෙ අර කුඤ්ඤෙ ගලවපු වඳුරට අත්වෙන ඉරණම.

ගණුදෙනුකාරයො හැමෝටම නඩු දාන්න සමාගමට සල්ලි නෑ. නඩු දැම්මත් ඒවා ඉවර වෙනකල් සමාගම පවත්වාගෙන යන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ. නඩු ඉවර වෙලා සල්ලි හම්බ වෙනකල් ⁣සමාගමේ සේවක පඩිනඩි, ගොඩනැගිලි කුලී, ණය වාරික ගෙවන්න විදියක් නැතුව සටන අවසන් වෙන්න කලින් සමාගම වහන්නයි වෙන්නෙ. එතකොට තැන්පත්කරුවන්ගෙනුයි, ණය හිමියන්ගෙනුයි එන පීඩනයත් එක්ක සමාගම වැහුවත් අයිතිකාරයන්ට ගැලවීමක් නැති වෙනව. එහෙම වුණාම වෙන්නෙ එක්කො රට පනින්න, නැත්නම් වහ ටිකක් බීලා වනගත වෙන්න.

මේ හේතුව මත ලීසිං සමාගම් තමන්ට එරෙහි භයානකම සතුරන් විදියට හඳුනාගන්නෙ කැම්පේ්න්මය නැත්නම් වෘත්තීය සමිතියක ස්වභාවයෙන් තමන්ට අභියෝග කරන ගනුදෙණුකරුවන්. මොකද ගනුදෙණුකරුවන් වෘත්තීය සමිතියක හැඩයෙන් සංවිධානය වු⁣ණොත් ඒක ලීසිං සමාගමට කොහොමටවත් දිනන්න තියා දරාගන්නවත් බැරි සටනක් බවට පත්වෙනව.

ඒ නිසා සුනිල් ජයවර්ධන⁣ගෙ අභියෝගයේ ස්වභාවය ලීසිං සමාගම වල බොක්කටම වදින විදියේ රිදෙන දැනෙන එකක්. ඔහුගේ මරණය මේ න්‍යාය මත පදනම් වෙනව කියල මම කියන්නෙ නෑ. ඒත් ලීසිං සමාගම් ඔහුව බොහොම භයානක සතුරෙක් විදියට හඳුනාගැනීම පදනම් වෙන්නෙ ඔය න්‍යාය මත.

නිකම් හිතලා බැලුවොත් A සමා⁣ගමෙන් ණය ලබාගත්තවුන්ගේ සංගමය කියලා එකක් හැදිලා "අපි ගෙවන්නෑ" කියන ස්ථාවරයට පොදුවේ ඇවිත් ණය වාරික ගෙවීම එක කතාවට වර්ජනය කරන තැනකට ගියොත් A සමාගමට ක්ෂණික මරණයක් අත්වෙනවා.

රුසියාව 1918 රටක් විදියට ඔය තීරණේට එනවා. තවත් උදාහරණ පෙන්නන්න පුළුවන්. වර්තමානය වගේ දියුණු තාක්ෂණයක් සහිත යුගයක ඔහොම දෙයක් ඕන නම් එක රැයින් සංවිධානය කරලා සතියෙන් ඉවර කරන්න පුළුවන්. මේකට සමාගම් භය වෙන එක හරිම ස්වභාවිකයි. ඒක ඇත්තටම මරණ බය.

සුනිල් ජයවර්ධනගේ මරණය ගැන ඇති තතු ඉදිරියේදී හෙළිදරව් වෙයි. එය බොහෝවිට ඔය න්‍යායත් එක්ක නොගාවා සාමාන්‍ය මරණයක් ලෙස ඒත්තු ගන්වන්නට උපරිම උත්සාහයත් දරනවා ඇති.

Wednesday, June 10, 2020

ජීවිත එකහමාරේ කතාව


බුදු දහමේ ඉගැන්වීම් සමඟ යුද්ධයට හෝ යුද්ධයට යන යම් පිරිසකට සෙත් පැතීම තුලනය වන්නේද යන්න බොහෝ දෙනා කතා නොකර මගහරින මාතෘකාවක්. එය ප්‍රශ්න කරන විට "එසේ නම් පුරාණයේ අසවල් තැනදී එය සිදුකර තිබීමත් වැරදිය කියනවාද?" යනුවෙන් බොහොම කෝපාන්විත ප්‍රතිචාරයකට මුහුණ දෙන්නටයි බොහෝ විට සිදුවන්නේ.

මෙම යුද්ධයට සෙත් පතන යුද්ධයේ සිදුවන ජනඝාතන බුදුසමයේ සෙවනැල්ල යට සාධාරණීකරණය කිරීමේ සංස්කෘතියේ මූලාරම්භය කෙසේද යන්න වටහා ගැනීම සඳහා මහාවංශයේ පහත පාඨ මා උපුටා දක්වනවා. මේ පාඨයන් මා උපුටා ගන්නේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මහාවංශය සරළ සිංහල අනුවාදයේ පළමු මුද්‍රණයෙන්.

මේ පිළිබඳව මහාවංශයේ 25 වන පරිච්ඡේදයේ දැක්වෙන දුට්ඨගාමිණීවිජයෝ හෙවත් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ විජයග්‍රහණය පරිච්ඡේදයේ මෙසේ දැක්වෙනවා.

2. තිස්සමහාරාමයට ගොහින් මහා සංඝයා වහන්සේට වන්දනා කළා. 'ස්වාමීනී, ආක්‍රමණික මිසදිටුවන්ගෙන් කිළිටි වූ අනුරාධපුරයේ ආයෙමත් ශ්‍රී සම්බුද්ධ ශාසනය බබුළුවන්ට මං මහවැලි ගඟෙන් එහා පැත්තට යන්ට ඕනෑ

3. ඒ ගමනේදී දන්පැන් වලින් උපස්ථාන කරන්ට අපට භික්ෂූන් වහන්සේලා දුන මැනව. ඒකෙන් අපට භික්ෂූන් වහන්සේලා නිති දැකීම නැමති මංගල කාරණය සිද්ධ වෙනවා. නිතර කරන සංඝෝපස්ථානය නිසා ඒ පිනෙන් ආරක්ෂාවත් ඇති වෙනවා.

4. එදා තිස්ස කුමාරයාත් දුටුගැමුණු රජ්ජුරුවනුත් යන සහෝදරයන්ගේ කලහය සන්සිඳවන්ට සංඝයා මැදිහත් නොවීම නිසා ගෝධගත්තතිස්ස තෙරුන් වදාළේ සංඝයා ද දඬුවමට සුදුසු බවයි. ඒ වරද සිහිකොට එයට දඬුවම් පිණිස සංඝයා භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් රජ්ජුරුවන්ට දුන්නා. දුටුගැමුණු රජ්ජුරුවෝ ඒ භික්ෂූන් වහන්සේලා පන්සිය නමත් වඩම්මවාගෙන එතැනින් නික්මුනා.

ඔය කිව්වෙ යුද්ධයට පෙර අවස්ථාවක්. ඊට පස්සෙ යුද්ධය අතරතුර ⁣ජය ඉලක්ක කොට දුටුගැමුණු රජතුමා සම්බුද්ධ ශාසනයේ නමින් කළ සත්‍යක්‍රියාවක් ගැන සඳහන් වෙනවා.

16. තමන්ගේ සේනාව හඳුනාගන්ට බැරිවීම නිසා තම තමන් අතින් තමන්ගේ සේනාව මැරෙන බව දුටුගැමුණු රජ්ජුරුවන්ට දැනගන්ට ලැබුණා. එතකොට රජ්ජුරුවෝ සත්‍යක්‍රියාවක් කළා.

17. ' මාගේ මේ ව්‍යායාමය කිසිකලකත් රජසැප විඳින්ට නොවෙයි. මේ මාගේ ව්‍යායාමය ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසයි.

18. මේ සත්‍යානුභාවයෙන් මාගේ සේනාව කය පැළඳගෙන ඇති භාණ්ඩයන් ගිනිදැල් පැහැයට පත්වේවා!' කියලා සත්‍යක්‍රියාව කරනවාත් සමඟම එය එසේම වුණා.

19. ගංතෙරේ සටනට ආ සියලු දෙමළු මරණයට පත්වුනා. අනිත් දෙමළු සරණ සොයාගෙන පලා ගිහින් විජිත නැමති නගරයට පිවිසුණා.

යුධ ජයග්‍රහණයට පසු දුටුගැමුණු රජතුමාට ජනඝාතක යුද්ධය ගැන සිත් වේදනාවක් ඇතිවෙනවා. එය මහා පාපයක් යැයි දුකක් ඇතිවෙනවා. එහිදී රජතුමාව සනසන්නේ භික්ෂූන් වහන්සේලා. නිකම්ම භික්ෂූන් වහන්සේලා නෙමෙයි රහතන් වහන්සේලා බවයි මහාවශයේ කියන්නෙ.

103. සැතපී සිටින, මහා ශ්‍රී සම්පත්තියෙන් වාසය කරද්දී පවා මේ යුද්ධයක් නිසා ඇත්, අස්, රිය, පාබල, යන මෙයින් යුක්ත අතිවිශාල යුධ සේනාවක් මරණයට පත්වුණා නොවැ කියලා මතක් වෙන්ට ගත්තා. මේ නිසා සිතට කිසි සතුටක් ලැබුනේ නෑ.

104. පුවඟු දිවයිනේ වැඩවසන රහතන් වහන්සේලා අපගේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ මේ ශෝකාකූල අදහස් දැනගත්තා. රජ්ජුරුවන්ව අස්වසාලන්ට රහතන් වහන්සේලා අටනමක් ලංකාවට එව්වා.

107. 'රජ්ජුරුවෙනි, අපව එව්වේ පුවඟුදීපවාසී සංඝයා වහන්සේයි. අපි ආවේ ඔබතුමාව සංසිඳුවන්ටයි' එතකොට රජ්ජුරුවෝ උන්වහන්සේලාට නැවත මෙහෙම කිව්වා.

108. 'ස්වාමීනී, මට සන්සිඳීමක් ඇති වෙන්නේ කොහොමද? මේ යුද්ධෙ නිසා සිව්රඟ සේනාවේ අක්ෂෝහිනී ගණනින් කියා කිය යුතු අතිවිශාල සේනාවකගේ ජීවිත හානි වුනා නොවැ'

109. 'මහරජ්ජුරුවෙනි, යුද්ධයේදී සිදු වුන දෙයින් තොපට සුගතියෙහි උපදින්ට හෝ නිවන් අවබෝධයට හෝ අන්තරායක් වෙලා නෑ. මහරජ්ජුරුවෙනි, මෙහිදී ඔබ වගකිව යුතු වන්නේ මිනිසුන් එකහමාරකටයි.

110. එක්කෙනෙක් තිසරණයෙහි පිහිටා පන්සිල් ඇතිව සිටියා. තව කෙනෙක් පන්සිල් විතරක් ඇතිව සිටියා. අනිත් හැමෝම මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. දුස්සීලයි. ඔවුන් සතුන් වගේ නොවැ.

දැන් ඔය 110 වෙනි පාඨයේ සඳහන් ප්‍රකාශය කළාය කියන්නේ සාමාන්‍ය භික්ෂූන් වහන්සේලා නොව රහතන් වහන්සේලා විසින්. එතන සමහරවිට තිබෙන්නට ඇත්තේ මිත්‍යාදෘෂ්ටිකයින් මැරුවාට පව් නැත යන තර්කයක් ස්ථාපිත කරනවාට වඩා දුටුගැමුණු රජ්ජුරුවන්ගේ සිත සැනසවීම කියලා යථාර්ථවාදීව හිතන්නට පුළුවන්.

කෙසේ වෙතත් ඒ වනතුරු බුදු දහම යොදාගනිමින් යුද්ධයක ජනඝාතනය සාධාරණීකරණය කළ අවස්ථාවක් ඊට පෙර හමුවන්නේ නැහැ. ඒ අනුව එතැන් සිට බුදු දහමේ නව දේශපාලනික ආරක් නිර්මාණය වන බවක් පෙනෙනවා. එදා සිට මේ දක්වාම සම්බුද්ධ ශාසනය රැකීම යන්න ආදර්ශපාඨය කරගත් යුද්ධ සඳහා භික්ෂූන් වහන්සේලා සිටින්නේ ආශිර්වාදාත්මක ස්ථාවරයක.

එය දේශපාලනිකව ගත්තොත් වැරදි නැහැ. අනෙක් සෑම දහමක්ම පාහේ දහමේ ආරක්ෂාව සඳහා ජනඝාතන යුද්ධ සාධාරණීකරණය කරද්දී බුදු දහම පමණක් එයට එරෙහිව දේශනා කළහොත් යුධවාදී පාලකයන් බුදුදහම අතහැර යුද්ධයට සහය දෙන වෙනත් දෘෂ්ටිවාද වැළඳගන්නවා ඇති. එසේත් නැත්නම් යුධමය පරාජයකින් සමස්ථය අතුගෑවී යනවා ඇති.

නමුත් ඉතිහාසයේ කියැවෙන ඔය ස්ථානය ගුරුකොට ගනිමින් බොහෝ භික්ෂූන් අද රට,ජාතිය,ආගම වෙනුවෙන් ආවේගශීලි ස්ථාවර දරණ තත්වයට පත්ව තිබෙනවා.

එපමණක් නොවේ. ලොවේ වැඩියෙන්ම ප්‍රචලිත ආගම් සියල්ලම පාහේ වෙනුවෙන් ඒවායේ නමින් ලේ හැලී තිබෙනවා. ජනඝාතක යුද්ධ ඇතිවී තිබෙනවා. බෞද්ධ රජවරුනුත් යුද්ධයට යන්නට ඇති. නමුත් කෙළින්ම සම්බුද්ධ ශාසනය වෙනුවෙන්ය කියා ප්‍රකාශිතව කියමින් යුද්ධයට යන ඉතිහාසයේ පළමුවැනි රජ දුටුගැමුණු. ඒ මත "බුදු සසුනේ නමින් කිසිදා ලේ බිඳුවක් හැලී නැත" යැයි කිව හැකි යුගය තීරණාත්මක ලෙස නිමාවට පත්වෙනවා.

Tuesday, June 9, 2020

පාතාලය - විමර්ශනාත්මක අධ්‍යයනයක් 2 - පාතාලයට සුවිශේෂී මනෝභාවය සහ සමාජ හැසිරීම

පාතාල ලෝකයේ ඊටම සුවිශේෂී වූ සමාජ හැසිරීම් දක්නට ලැබේ. එනම් සාමාන්ය පාතාල හුරු පුරුදු ලෙස හැදින්විය හැකිය. එයට හේතුව පාතාල ලෝකය තුල සිටින්නේද සාමාන්ය මිනිසුන් වීමයි. කිසිදු පුද්ගලයෙකු සියයට සියයක් කළු හෝ සියයට සියයක් සුදු ලෙස වර්ගීකරණය කළ නොහැක. සෑම පුද්ගලයෙකු තුලම ආදරය, දයාව, කරුණාව යම් යම් ප්රතිශත වලින් අඩංගු වේ. එමෙන්ම වංචනිකබව. නපුරු බව වැනි ගුණාංගද තිබේ. මේ හේතුවෙන් පාතාල පද්ධති වලද එයටම ආවේණික වූ ආචාර ධර්ම පද්ධති සැකසී තිබේ. ක්රමවේද සැකසී තිබේ.
 
නාවල නිහාල් 
 
නාවල නිහාල් නමින් ප්රකටව සිටි පාතාල කල්ලි නායකයාගේ එක් ව්යාපාරයක් වන්නේ පුද්ගලයන්ගේ ණය අයකරවා දීමය. ඔහුට කොන්ත්රාත්තුව ලබාදුන් පසු ඔහු එම ණය මුදල අයකර දීමට ගාස්තුවක් නියම කරන බවත්, ඉන්පසු අදාළ ණයකරු කැදවා, ඔහුට ඉතා රසවත් ආහාරපානාදියෙන් සංග්රහ කර, ඔහුගේ බැරි අමාරුකම්ද සාවදානව අසා සිට, ඉන්පසු ඉතාම සුහදව ඔහු ණය මුදල ගෙවිය යුතු දිනය දැනුම් දෙන බවත් ඔහු පිළිබදව පවත්නා විවිධ ජනප්රවාද ඇසුරු කිරීමේදී දත හැකිය. මෙය පාතාල කල්ලි නායකයෙකු ලෙස සිතේ ඇදෙන චිත්රයට වඩා හාත්පසින් වෙනස් හැසිරීමකි.
 
කඩුවෙල වසන්ත 
 
කලකට පෙර කඩුවෙල වසන්ත නැමැති පාතාල නායකයා පිළිබදව පළවූ පුවත්පත් වාර්තාවක සදහන් වූයේ ඔහු ජීවතුන් අතර සිටි කාලයේ කඩුවෙල නගරය මැදි රාත්රී 12ට වුවද සුරූපී තරුණියකට නිරුපද්රිතව ඇවිද යාමේ හැකියාව තිබූ බවයි. ඒ හේතfුවන් පුවත්පත් ලියුම්කරුට එකී තොරතුර ලබා දුන් කාන්තාව කඩුවෙල වසන්තගේ මරණය සම්බන්ධයෙන් කම්පා වන බවක්ද පෙනේ. පාතාලය ලෙස සාමාන්යයෙන් නිරූපිත චිත්රයට මෙම හදුනාගැනීම පරස්පර වේ.
 
සොත්ති උපාලි 
 
සොත්ති උපාලි නැමති පාතාල නායකයා 1994ට පෙර පැවති එජාප ආණ්ඩුව සමයේ රජයේ කොන්ත්රාත් වැඩ සිදු කිරීම ප්රධාන ජීවනෝපාය කරගත් ඊට යටින් නොව එළිපිටම පාතාල ක්රියාකාරකම් සිදුකළ තැනැත්තෙකු බව කියවේ. සොත්ති උපාලිගේ බලපෑම මත අමරසිංහ පවුලට ඇතිවූ බලපෑමද, එයින් කිපුණු අමරසිංහ පවුලේ දෙටු පුත් චින්තක අමරසිංහ 1994 ආණ්ඩු පෙරළියත් සමග සොත්ති උපාලිට අභියෝග කරමින් නැගී සිටීමද, ඉන්පසු සොත්ති උපාලි චින්තක අමරසිංහගේ ගෝලයෙකු වූ කළු අජිත් යොදාගනිමින් චින්තක අමරසිංහ ඝාතනය කරවීමද, ඉන්පසු චින්තකගේ බාල සොහොයුරු ධම්මික අමරසිංහ පාතාලයේ අණ දෙන්නා බවට පත්වීමද, යනාදී වශයෙන් ශ්රී ලංකාවේ පාතාල ලෝකයේ කුතුහලය දනවනසුළු තොරතුරු රාශියක් අඩංගු ලිපි පෙලක් කලකට පෙර ප්රසන්න සංජීව තෙන්නකෝන් විසින් ලංකාදීප පුවත්පතේ දියත අතිරේකයට සම්පාදනය කරන ලදී. මෙම ලිපි පෙළ අධ්යයනය කිරීමේදීද පාතාල ලෝකයට ආවේණික ධූරාවලි හැසිරීම් රටා පිළිගත් වත් පිළිවෙත් ආදී කරුණු රැසක් දත හැකිය.
 
යාන්ත්රික පාතාල මිත්යාව
 
බොහෝදෙනා පාතාල ලෝකය ත්රස්තවාදී සංවිධාන ආදිය කෙරෙහි ඇතිකරගන්නා මිත්යා මතයක් වන්නේ ඒවා කිසිදු ක්රමවේදයක් නැති, ස්නානය නොකරන, කොණ්ඩය නොපීරන, දවස පුරා කෝපයෙන් තිරිසන් හැසිරීමක් දක්වන, පුද්ගලයන්ගේ එකතුවක් බවයි. ත්රස්තවාදී සංවිධාන වුවද ඔවුන්ට ආවේණික වත් පිළිවෙත් ක්රමවේද ආචාරධර්ම අනුව විධිමත්ව ක්රියාත්මක වන ඒවා මිස පිස්සෙකු පාරට දුවගොස් අසුවන පළමු තැනැත්තා මරා දමනවාක් මෙන් කටයුතු කරන සංවිධාන නොවන බව ඒවායේ ඇතුලාන්තය අධ්යයනය කිරීමේදී පෙනී යයි.
 
ආවේණික ආචාර ධර්ම
 
පාතාල කල්ලිද මෙවැනිම ආවේණික ආචාර ධර්ම හැසිරීම් රටා දක්වයි. ඇතැම් පාතාල නායකයන් ඔවුන්ගේ පාතාල ව්යාපාරික කටයුතු සම්බන්ධ කාරණා වලදී හැරෙන්නට ප්රචණ්ඩත්වය භාවිතා කිරීම ප්රතික්ශේප කරන අවස්ථා දක්නට ලැබේ. පිටත සිට බලන්නෙකුට පාතාල සාමාජිකයෙකු යනු කිසිදු සමාජ ආචාර ධර්මයකට නීතියකට අඩංගු නැති තමන්ට වුවමනා දෙය කෙසේ හෝ බලෙන් ලබාගන්නා කාන්තාවකට හිත ගියහොත් ඇය පැහැරගෙන යන යාන්ත්රික කෙනෙකු ලෙස පෙනිය හැකිය. නමුත් යථාර්ථය තුල ඔවුන්ද බලය භාවිත නොකොට ලබාගත් ආදරයක් දාරක ප්රේමයක් හිතවතුන් කෙරෙහි පක්ෂපාතීත්වයක් ඇතිව ජීවත් වන්නවුන් බව පරික්ෂාවෙන් බැලූ විට පෙනේ.
 
භක්තිමත්ව දෘෂ්ටිවාද
 
එමෙන්ම බොහෝ පාතාල සාමාජිකයන් සහ නායකයන් ඉතා දැඩි ලෙස භක්තිමත්ව දෘෂ්ටිවාද අදහන්නවුන් බව බොහෝ විට පෙනෙන කාරණාවකි. ඔවුන්ගේ වාහන වල දේවරූප, බුද්ධ රූප, පිළිම ආදියෙන් මෙන්ම අතේ කරේ පිරිත් නූල්, ජප නූල්, කුරුසි, ධර්මචක්ර ආදියෙන්ද හිගයක් නැත. ඇතැම් අය පුරුද්දක් වශයෙන් නිතිපතා තමාගේ ආගමට අදාළ පූජනීය ස්ථානයට යන ප්රවණතාද ඇත. අති විශාල මුදල් වලින් පූජනීය ස්ථාන වලට සහ දුප්පතුන්ට ආධාර උපකාර කිරීමට පෙළඹෙන අවස්ථාද ඕනෑ තරම් තිබේ. ඒ අනුව පාතාලයන් යනු ආගමක් දහමක් නැති අයයි යනුවෙන් පවතින අදහස සාවද්ය වේ. මෙහිදී ඔවුන් පෙන්වන දැඩි ආගමික භක්තිය තමන් සිදුකරන කෲර ක්රියාකාරකම් සදහා තමන්ගේම හෘදය සාක්ෂියෙන් ගැලවීමක් ලබා ගැනීම සදහා කෘතීමව එල්බ ගත් උපාසක බළල් ස්ථාවරයක් යැයිද කෙනෙකුට සිතිය හැකිය.
 
පාතාල පිරමිඩයේ ස්වායත්ත හා පරායත්තතා
 
පාතාලයද සමාජයේ විහිදෙන්නේ අනෙකුත් ඕනෑම සමාජ සංස්ථාවක් මෙන් පිරමීඩයක හැඩය ගනිමිනි. ඒ පිරමිඩයේ ඉහළ සිට පහළ දක්වා ස්වායත්ත බැදීමක්ද පහළ සිට ඉහළට පරායත්ත බැදීමක්ද ඇත. එනම් ඉහළ සිටින්නෙකුට බොහෝ විට පහළ සිටින අය අත්යවශ්ය නොවේ. එක් අයෙකුගේ ඉවත් වීම බොහෝ විට දෙදෙනෙකුගෙන් පිරවිය හැකිය. නමුත් පහළ සිටින්නාට සෑම විටම තමන්ගේ පැවැත්ම සදහා ඉහළ සිටින්නා අත්යවශ්ය වේ. ජීවත් වීමට වැටුප ලැබීමේ පටන් ආරක්ෂාව රැකවරණය ආදී කාරණා ගණනාවක් ඉහළ සිටින්නා අනුව තීරණය වේ. 
 
නමුත් ඉහළ සිට පහළ බැලූ කල පවත්නා බැදීමේ ඇති ස්වායත්ත ස්වභාවය හේතුවෙන් බොහෝ විට ඉහළ සිටින්නෙකු පහළ මට්ටමේ අයෙකු අහිමි වීම පොලීසියට හසුවීම ආදී කාරණා එතරම් තකන්නේ නැත. පිරමීඩයේ පහළම සිටින කෙනෙකුන් එක්කෝ මැරුම් කෑම හෝ පොලීසියට හසුවීම ඉහළ සිටින කිසිවෙකුට පාතාල ව්යාපාරමය වශයෙන් දැනෙන්නේ වත් නැත. ඔවුන් බොහෝ විට මහමග හදුනා නොගත් හේතු මත මියයති. නැත්නම් හරිහැටි නීතිඥ නියෝජනයක්වත් නැතිව අධීකරණය හමුවේ පෙනී සිට නිහඩවම සිරගත වෙති. කලකට පසු නිදහස් වී පැමිණි විට සිරගත වී සිට තිබීම පාතාල ලෝකයේ ජ්යෙෂ්ඨත්වයක්ද අතිරේක වෘත්තීය සුදුසුකමක්ද අත්කර දෙනවා ඇත.
 
පිරමිඩයේ ඉහළට යන්නට යන්නට ඉහළ සිටින්නා වෙනුවෙන් කුලියට සිරගත වීමේ ඇතැම් විට මරණීය අවදානමට මුහුණ දීමේ ප්රවණතාවයක්ද ඇතිවේ. ඒ අදාළ කුලියට සිරගත වන්නා සහ/හෝ ඔහුගේ යැපෙන්නන්ගේ නඩත්තුවට ප්රමාණවත් මූල්ය ලාභ ඉහලින් ලැබීමේ පදනම මත වේ.
 
සුදු කරපටි අණදෙන්නාගේ සුරක්ෂිතතාව
 
පිරමිඩයේ මුදුණේම සිටින්නා කිසිදු අවස්ථාවක පිරමිඩයේ පහළ සාමාජිකයන් ඍජුව ස්පර්ශ කිරීම අභ්යාස කිරීම නොකරති. බොහෝ විට පහළ මට්ටම් වල අය පිරමීඩයේ මුදුණ කුමක්ද යන්න පවා නොදනිති. පිරමිඩය මෙහෙයවීම සදහා යොදාගැනෙන්නේ විශ්වාසවන්ත හෝ පැහැර හැරිය නොහැකි පක්ෂපාතීත්වයක් සහිත තැනැත්තෙකු හෝ කිහිප දෙනෙකි. ඒ තැනැත්තා හෝ තැනැත්තන් කිහිප දෙනා කිසිදු අවස්ථාවක තමන්ට ඍජු අභියෝගයක් නොවන බවට සුදු කරපටි අණ දෙන්නා වගබලා ගනී. මෙම පිරමිඩය ක්රියාත්මක වන ආකාරයට පිරමිඩයේ පහළ කවරකු කවර ලෙසකින් නීතියේ රැහැණට හෝ වෙනත් පාතාල පිරමිඩයක් හෝ හමුදාව හෝ පොලීිය හෝ ක්රියාත්මක කරන පාතාල මර්දන ඝාතන රැල්ලකට හෝ හසු වන්නේ නැත. පාතාල පිරමීඩයේ සුවිශේෂී සැකැස්ම හැඩගැසී ඇත්තේ කිසිවිටෙක එසේ සිදු නොවන අයුරිනි.

Monday, June 8, 2020

විමර්ශනයේ අගය

ග්‍රීක දාර්ශනිකයෙකු වූ සොක්‍රටීස්ට ක්‍රිස්තු පූර්ව 399දී වස පානය කර මිය යන්නට සිදුවෙයි. ඒ එකල දේශපාලන අධිකාරියේ නියෝගය අනුවය. එයට විවිධ හේතු පැවතියද පොදු හේතුව වශයෙන් ගත හැක්කේ එකළ සමාජයේ මුල්බැසගෙන තිබූ විශ්වාසයන්ට වඩා වෙනස් මතයන් ඉදිරිපත් කිරීමය. 

ක්‍රිස්තුවර්ෂ 1450 - 1750 අතර කාල සීමාවේදී යුරෝපය පුරා යක්දෙස්සන් මර්දන රැල්ලක් පැතිර ගියේය. එහිදී පල්ලියේ ඉගැන්වීම් වලට පටහැණි යමක් ප්‍රකාශ කරන අධ්‍යයනය කරන සාකච්ඡා කරන ප්‍රචාරය කරන පුද්ගලයන් යක්ෂයා අදහන පිරිස් බවට නාමකරණය කොට ඔවුන් අල්ලා ප්‍රසිද්ධ ස්ථාන වල ඉදිකළ දර සෑයන් මත තබා පණපිටින් පුළුස්සා මරා දමන ලදී. මේ සම්බන්ධ කතාවක් සුප්‍රකට රොබින්හුඩ් රූපවාහිනී කතා මාලාවේ The Witch of Elsdon කතාංගයේ ඇතුලත් වේ. 

එහිදී ජෙනට් කාන්තාවකට විරුද්ධව නඩු විභාගයක් පැවැත්වේ. විනිශ්චයකාරවරයා නොටිංහැම්හි ප්‍රධාන පූජක හියුගෝ ද ඩුරේනෝ ය. අභිචෝදක ගිස්බන්ය. නඩු විභාගයේදී එක්තරා තැනක ජෙනට් නම් කාන්තාව එතැන සිටි තවත් කාන්තාවක් අමතමින් මම ඔබේ දරුවා සුව කළා නොවේද ඇයි මා වෙනුවෙන් කතා නොකරන්නේ වැනි යමක් කියයි. ගිස්බන් විසින් වහාම එය අර්ථ දක්වන්නේ රෝගී වූ දරුවෙකු සුව කිරීම දෙවියන්ගේ කැමැත්තට පිටින් යාමක් වශයෙනි. එම තර්කය පිළිගන්නා හියුගෝ ද ඩුරේනෝ පූජකවරයා එල්ස්ඩන්හි ජෙනට් නම් කාන්තාව යක්ෂයා අදහන තැනැත්තියක් බවත් ඒ අනුව වරදකරු බවත් තීරණය කරයි.

ඉතාලි ජාතික විද්‍යාඥයෙකු වූ ගැලීලියෝ ගැලීලිගේ (1564-1642) මතය වූයේ සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය පෘතුවිය නොව සූර්යයා බවයි. එය එකල පෘතුවියේ පිහිටීම පිළිබදව කතෝලික පල්ලියේ පැහැදිලි කිරීම සම ඍජුව ගැටුණු ස්ථාවරයකි. මේ හේතුවෙන් එදා දේශපාලන හා ආගමික බලයෙන් ආඪ්‍ය කතෝලික පල්ලිය සූර්ය කේන්ද්‍රවාදය (heliocentrism) බැහැර කරන ලෙස ගැලීලියෝට බලපෑම් සිදුකරන ලදී. කෙසේ වෙතත් පල්ලියේ බලපෑම මත සූර්ය කේන්ද්‍රවාදය බැහැර කිරීම ප්‍රතික්ශේප කළ ගැලීලියෝ සිරගත කරන ලද බවත් ඔහුව සූර්ය කේන්ද්‍රවාදය බැහැර කිරීමට බල කරමින් වධ බන්ධනයට පමුණුවන ලද බවත් කියැවේ.

ප්‍රංශ දාර්ශනිකයෙකු සහ හාස්‍යෝත්පාදක නාට්‍ය රචකයෙකු වූ වොල්ටෙයා (1694 - 1778) එකළ ප්‍රංශයේ පැවැති දූෂිත පාලක පැලැන්තිය හා පාලක පැලැන්තියට ආගමට මුවා වෙමින් ආවඩන ලද පූජක පැලැන්තිය උපහාසයට ලක් කරමින් නාට්‍ය රචනා කරන ලදී. ඒ හේත-ුවෙන් ඔහුට රට හැර යන්නට පවා සිදුවෙයි. 

ලෝකය සෑම විටම ඉදිරියට ගොස් ඇත්තේ පවත්නා විශ්වාස පදනම් ප්‍රශ්න කිරීමෙනි. ඒවා විවේචනාත්මකව විමසීමෙනි. නව අදහස් නව සංකල්පනා නව සොයාගැනීම් බිහි වීමට පවත්නා පිළිගත් දෙය ඇත්තද නැත්තද යනුවෙන් ප්‍රශ්න කරමින් විමසීම හැර අන් ක්‍රමයක් නැත. නමුත් විචාරාත්මක විමසීම තමන්ගේ පැවැත්මට අභියෝගයක් ලෙස කල්පනා කළ ගතානුගතිකත්වය ජීවන වෘත්තිය කර ගනිමින් ජීවත් වන්නෝ ගතානුගතික සංකල්ප විචාරාත්මකව විමසීමට සෑම අවස්ථාවකම පාහේ එරෙහි වී ඇත. ගතානුගතිකත්වය රැකගැනීම සදහා ප්‍රචණ්ඩත්වය මුදා හැර ඇත. ඝාතනයන් පවා සිදුකර ඇත. 21 වැනි සියවසේ ලෝකය එයින් උගත යුතු පාඩම වන්නේ සමාජයේ ගතානුගතික සංස්ථාවල පවත්නා සුවිශේෂී අහංකාර මනෝභාවයයි.  

ඔවුන් ප්‍රකාශ කරන යමක් වේද එය දේව සත්‍යය ලෙස ගත යුතු බව මේ පිරිස් විශ්වාස කරති. අදහති. එය අන් අයද ඇදහිය යුතු බව සිතති. එසේ නොඅදහන්නවුන් මිත්‍යා දෘෂ්ටිකයන් බවටද සමාජ විරෝධීන් බවටද නාමකරණය කරති. නමුත් නොඅදහන්නවුන් සමග විවෘත සංවාද වලට එළැඹීමද බොහෝවිට ප්‍රතික්ශේප කරති. එසේ ප්‍රතික්ශේප නොකර වාද විවාද වලට එළඹෙන අවස්ථා වලදී තමා උපතේ සිට විශ්වාස කළ ඇදහිලි විශ්වාසයන්ට තර්කානුකූල මතවාදී ප්‍රහාර එල්ල වන කල ඒවා අපහාසයන් ලෙස ගනිති. අපහාසයන් ලෙස ගෙන එම මතවාද වලට තර්කයෙන් පිළිතුරු දී බිද හෙළනවා වෙනුවට තමන් වෙත ආරෝපණය කැරගෙන ඇති සමාජ දේශපාලන බලය යොදා විකල්ප මතවාද තර්ක මර්දනය කිරීමට ක්‍රියා කරති. එවන් විකල්ප මතවාද නැවත ප්‍රසිද්ධ සමාජයේ ප්‍රසිද්ධියේ කතා බහට ලක් නොවන තැනට පත් කිරීමට කළ හැකි සියල්ල කරති.

මෙයින් පෙනී යන්නේ කුමක්ද ගතානුගතිකත්වය තුල එල්බ සිටින්නන් තමන්ට ඇති සමාජ පැවැත්මේ පාදම ප්‍රශ්න කිරීමේදී එම පදනම් බිදී ගොස් සමාජ ධූරාවලියේ තමන් වැජබෙන ස්ථාන අහිමි වෙතැයි මහත් බියකින් පසුවන බවය. නමුත් යථාර්ථය වන්නේ තර්කයට සංවාදයට විමසීමට එළැඹීමෙන් සහ කාලානුරූප සංශෝධනයන්ගෙන් ඔවුන්ගේ දර්ශනයන් යාවත්කාලීන කරගැනීම ඒවායේම දිගුකල් පැවැත්මට හේතු වීමයි.

ගතානුගතික ඇදහිලි විශ්වාස දේව භාෂිතයක් ලෙස ගෙන ඒවා ප්‍රශ්න කිරීම විමසීම මානව සමාජය මුල සිටම බැහැර කළේ නම් අදද සූර්යයා පෘතුවිය වටේ යයි, ලෝකය පැතලි පීරිසියකි, මිනිසා ශිෂ්ටාචාරගත නොවෙයි, ශාරීරික ශක්තිවන්තයා නායකත්වයට සුදුස්සා වෙයි, ගින්දර විනාශකාරී දෙයක් ලෙසම පවතී, විදුලිය අකුණු වලදී පමණක් දකින්නට ලැබෙයි, වස්ත්‍ර ඇදීමෙන් තොරව මිනිසා හෙලුවෙන් සිටියි.

ඉන්දික රත්නායක මීළග ශක්තික සත්කුමාරද?

මෙම ලිපිය අද ෆේස්බුක් සමාජ ජාලයේ සංසරණය වෙමින් තිබූ ලිපියකි. මා උපුටා ගන්නේ මෙම ලිපියේම නම සදහන් කොට ඇති ඉන්දික රත්නායකගේ ෆේස්බුක් පිටුවෙනි. එය සැබෑ ලිපියක්ද ව්‍යාජ ලෙස සකස් කළ එකක්ද යන්න පිළිබදව අදහසක් කීමට හැකියාවක් මේ මොහොතේ නැත. කෙසේ වෙතත් එය සත්‍ය ලිපියක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් මේ සටහන ලිවිය යුතුමය. 

ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීමෙන් වසරක් සම්පූර්ණ වූවා පමණි. දැන් නැවතත් අදහස් ප්‍රකාශ කිරීමේ හා මතයක් දැරීමේ අයිතිවාසිකමට එවැනි අභියෝගයකට මුහුණ දෙන්නට සිදුවී ඇති සෙයක් පෙනේ. 

ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගන්නේ ඔහු රචනා කළ අර්ධ නම් කෙටි කතාවක් හේතුවෙන් බුදු දහමට අපහාසයක් වී යැයි කියන පැමිණිල්ලක් මතය. එකී කරුණ පොලීසිය විසින් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලද්දේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනතේ 3 වන වගන්තිය යටතේ විකල්ප වශයෙනි. ඒ අනුව ශක්තිකට කුරුණෑගල මහාධිකරණයේ ඇප අයදුම්පතක් ගොණු කොට ඇප ලබාගන්නා තුරු දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නට සිදුවිය. මේ දක්වාම ශක්තිකගේ නඩුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවේ. 

මෙම නවතම අභියෝගයේ හැඩය ශක්තිකගේ නඩුවට වඩා මදක් වෙනස්ය. එහි පදනම ඉන්දික රත්නායක යන ෆේස්බුක් සමාජ ජාලා රචකයා විසින් බුදු දහම ජෛන දහමක්ය යනුවෙන් පවසමින් මිත්‍යා මත ප්‍රකාශ කිරීම බුදු දහමට අපහාස කිරීම හා බෞද්ධයන්ගේ සිත් රිදවීම බව මෙහිදී පලකෙරෙන ලිපියේ හෙඩිමේ දැක්වේ. එම ලිපියේ අන්තර්ගතය මගින් ඉල්ලා සිටින්නේ ෆේස්බුක් මාධ්‍ය ජාලය හරහා ඉන්දික රත්නායක හා තවත් පිරිසක් කළු කුහරය සහ හේතුවාදය නමින් ෆේස්බුක් සමූහ ගොඩනගාගෙන ඒ හරහා බුදුරජාණන් වහන්සේ හා බෞද්ධාගම පිළිබදව මිත්‍යා මත බෙදා හරිමින් ආගමිකයන් අතර වෛරය ඇතිකිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ හේතුවෙන් රට තුල බෞද්ධාගමික පිරිස් අතර නොසන්සුන්තාවයක් ඇති වෙමින් පවතින බවත් තරුණ පරපුර නොමග යමින් සිටින බවත් එසේ හෙයින් මොහු සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනතේ (ICCPR) ප්‍රතිපාදන ප්‍රකාරව පියවර ගන්නා ලෙසත්ය. 

ඒ අනුව මෙහිදී හෙඩිමේ දක්වන බුදු දහම ජෛන ආගමක් වශයෙන් දැක්වීම ලිපියේ අන්තර්ගතයේ විස්තර කර නැත. එමෙන්ම බුදු සමයේ ක්‍රමික විකාශනය පිළිබදව ලියැවී ඇති පතපොත මෙම ලිපිය ලියූ අය විසින් පරිශීලනය කර ඇත්ද යනුවෙන් දැඩි සැකයක් උද්ගත වේ.  

ලිපියේ අන්තර්ගතයේ විස්තර කරන "කළු කුහරය - The Black Hole" නම් ෆේස්බුක් සමූහයේ හැදින්වීමෙහි දැක්වෙන්නේ මෙසේය:-

"විද්‍යාව හා තාක්‍ෂණය පිලිබඳව දැනුම ඔබට ගෙන එන්නට ඔබට වෙන්වු සයිබර් අවකාශයේ ඔබේ පිටුව, ශ්‍රී ලාංකික​ සිංහල කතා කරන සිංහල දන්න අයට විද්‍යාව හා තාක්‍ෂණය පිලිබඳව නුතන ලොකයේ දැනුම ආකර්ෂණීය ලෙස ඔබට ගෙන එන්නට ඔබට වෙන්වු සයිබර් අවකාශයේ ඔබේ පිටුව"

එය විවිධ ස්වරූපයන්ගේ පර්යේෂණාත්මක විද්වත් ලිපි හුවමාරු වන ස්ථානයකි. ඒ අතර නිරාගමික, භෞතිකවාදී සහ හේතුවාදී ලිපිද ඇත. එම ලිපි පරිශීලනයෙන් පෙනී යන්නේ ඒවා කිසිදු ආගමික විශ්වාසයකට අපහාස කරන ඒවා නොව ආගමික හා වෙනත් ඇදහිලි විශ්වාස වල තර්කානුකූල වලංගුතාවය හා සත්‍යාසත්‍යතාවය ප්‍රශ්න කරන ඒවා බවයි. ආගමක් තුල ඇති ඇදහිලි විශ්වාස සමාජ විද්‍යාත්මකව හා දර්ශනවාදීව ප්‍රශ්න කිරීමය අයිතියක් කිසිවෙකුට නොමැති බව මෙම ලිපිය ලියූ අයගේ ස්ථාවරයදැයි ඒ අනුව ප්‍රශ්නයක් මතුවේ.  

"හේතුවාදය" නමින් ෆේස්බුක් සමූහයක් ඇත්දැයි සොයා බැලුවද එවැන්නක් මා හට හමු වූයේ නැත. එවැන්නක් තිබූ බවට උපකල්පනය කළද හේතුවාදය වනාහි දර්ශනවාදයකි. ඒ හරහා ආගම් පමණක් නොව ඕනෑම දෙයක අස්ථාන ඇදහිලි ප්‍රශ්න කිරීම සිදු කෙරේ. ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර්ගේ ආරම්භයෙන් පිහිටුවන ලද හේතුවාදී සංගමයක්ද ශ්‍රී ලංකාවේ තිබේ. එම සංගමය මගින් පර්යේෂණාත්මක අධ්‍යනයන් හරහා බොහෝ අද්භූත බලයන් මත සිදුවේ යැයි කියූ මිත්‍යා විශ්වාසයන්ගේ සැබෑ ස්වරූපය හෙළිදරව් කර ඇත. ගිනි පෑගීමේදී ගිනි පාගන්නාගේ දෙපා දැවී නොයන්නේ දේව බලයකින් නොව විද්‍යාත්මක හේතුවක් මත බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුලු පිරිසක් විසින් ඔප්පු කරනු ලැබීම එයට එක් උදාහරණයකි. 

ඒ අනුව කළු කුහරය යන සමූහයේ අඩංගු ලිපි මෙන්ම හේතුවාදය නමින් හදුන්වන සංකල්පයද විද්‍යාත්මක පසුබිමකින් යුතුව අධ්‍යයන අරමුණකින් එකතු වූවන්ගේ සමූහ වේ. ඒවා තුල අධ්‍යයන අරමුණින් කරන ලිපි පලකිරීම් වලදී සහ සංවාද වලදී ආගමික වේවා නොවේවා ඇදහිලි සහ විශ්වාසයන් සමාජ විද්‍යාත්මකව හා දර්ශනවාදීව ගනිමින් ඒවා සම්බන්ධයෙන් විමර්ශනාත්මකව විග්‍රහ කරමින් ඒවායේ සත්‍යතාවයක් තිබේද නැත්ද යන්න විමසා බැලීම, තර්ක විතර්ක කිරීම සාමාන්‍ය සංසිද්ධියකි. මෙවර මෙම කණ්ඩායමේ ඉලක්කය වී ඇත්තේ එවැනි තර්කානුකූල වාද විවාද කණ්ඩායම් වීම ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීම සහ මෙම සිද්ධියේ ඇති ප්‍රධාන වෙනසයි. 

මේ අනුව මෙම ආගමික කණ්ඩායම් වල ස්ථාවරය වන්නේ ආගමික විශ්වාසයන් පිළිබදව තාර්කික වාද විවාද නොකළ යුතු බව නම් ඒ අනුව දර්ශනය යන විෂය ක්ෂේත්‍රයම ශ්‍රී ලංකාවේ තහනම් කිරීමට සිදුවනවා ඇත. ඒ අනුවම වල්පොල රාහුල හිමියන්ගේ සත්‍යෝදය, මාර්ටින් වික්‍රමසිංහගේ බවතරණය, නිවන් මුහුණුවර හා බමුණු දිට්ඨිය, භව කර්ම විකාශය, බුදු සමය හා සමාජ දර්ශනය, ආචාර්ය ඊ. ඩබ්ලිව් අදිකාරම්ගේ පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය, මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ බුද්ධ චරිතය, ඒබ්‍රහම් ටී. කොවුර්ගේ සියලුම පර්යේෂණ වාර්තා පළවී ඇති පොත් පමණක් නොව බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමියන්ගේ ඇතැම් කෘතිද තහනම් කිරීමට සිදුවනවා පමණක් නොව නැවත එවැනි පර්යේෂණාත්මක රචනා සිදුකිරීමද, ඒවා ගැන කතා කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් කර නවත්වා දැමීමට සිදුවනවා ඇත. 

බුදු දහම විමර්ශනයට විරුද්ධ දහමක් නොවේ. බුදුන් වහන්සේ දේශනා කරන ලද කාලාම සූත්‍රයෙහි මනා කොට දක්වා ඇත්තේද බුදු දහමද ඇතුළුව සියළු දෑ මනාකොට විමසීමෙන් පසු මිස භාර නොගන්නා ලෙසයි. කාලාම සූත්‍රයේ ඉගැන්වීම සාරාංශගතව පහත පරිදි වේ:-

කාලාමයනි,
  • අහපු පමණින් ගන්න එපා (මා අනුස්සවේන).
  • පරම්පරාවෙන් ආ පමණින් ගන්න එපා (මා පරම්පරාය).
  • මෙහෙම මෙහෙම වුණා කියූ පමණින් ගන්න එපා (මා ඉතිකිරාය).
  • අපේ පොත්වල තියෙනවා කියූ පමණින් ගන්න එපා (මා පිටකසම්පදානේන).
  • තර්කයට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා තක්ක හේතු).
  • ගළපා ගත්තු න්‍යායට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා නය හේතු).
  • මෙහෙම වුණොත් මෙහෙම වෙයි කියා කල්පනා කර ගොඩනගා ගත්තු මතයට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා ආකාරපරිවිතක්කේන).
  • දෘෂ්ටියකට බැසගෙන ගන්න එපා (මා දිට්ඨි නිජ්ඣානක්ඛන්තියා).
  • බලාගෙන ගියා ම ඒකත් හරිනේ කියලා ගන්න එපා (මා භබ්බරූපතාය).
  • ඔය කරුණු කියන කෙනා අපගේ ගුරුවරයා හෙවත් අප ගරු කරන ශ්‍රමණයන් වහන්සේ කියා ගන්න එපා (මා සමණෝ නෝ ගරූ)

ඒ එකල අප මහා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේය. මේ මෙකල තර්කය අපහාසයක් ලෙස ගෙන ඊට විරුද්ධව පොලීසි යන භික්ෂුන් වහන්සේය. එය විවෘතව සිතා බලන කල මුවගට සිනාවක් නැගීම නොවැලැක්විය හැකිය.

කෙසේ වෙතත් දැන් මෙය සැබෑ අභියෝගයක් බවට පත්වී තිබේ. පොලීසිය ඉන්දික රත්නායකව අත්අඩංගුවට ගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනතේ 3 වැනි වගන්තිය යටතේ අධිකරණයට කරුණු වාර්තා කළහොත් මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු සම්බන්ධයෙන් ඇප සළකා බැලීමට බලයක් නැත. ඒ අනුව ඇප ලබා ගැනීමට සිදුවන්නේ මහාධිකරණයෙනි. ඒ සදහා යම් කාලයක් ගතවන අතර ඒ කාලය ඔහුට බන්ධනාගාරගතව සිටීමට සිදුවනවා ඇත. කුමක් කිරීම නිසාද? බුදුන් වහන්සේ දේශනා කළ කාලාම සූත්‍රය අනුව ජීවත් වීමට යාම බුදු දහමට හා ආගමික විශ්වාසයට අපහාසයක් වී යැයි භික්ෂූන් වහන්සේම කරන පැමිණිල්ලක් මත. පොලීසිය මේ සම්බන්ධයෙන් කුමන ක්‍රියාමාර්ගයක් ගනු ඇත්ද යන්න පිළිබදව තාර්කික චින්තනය ප්‍රිය සියලු දෙනා අවධානයෙන් බලා සිටිය යුත්තේ ඒ නිසාය. මෙය නිසැකවම නිදහස් විමර්ශනශීලී චින්තන ප්‍රවේශය විෂයෙහි අතිශය තීරණාත්මක සන්ධිස්ථානයකි. 




දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...