Showing posts with label Sri Lankan Politics. Show all posts
Showing posts with label Sri Lankan Politics. Show all posts

Tuesday, September 15, 2020

Suppression එකක් එන එක හොඳයි

 


මේ දවස්වල වර්තමාන ආණ්ඩුවට විරුද්ධ අය අතර ගොඩක් කතා වෙන දෙයක් තමයි ආණ්ඩුව 19 වැනි සංශෝධනය අහෝසි කරාවි, ඊට පස්සෙ ලොකු suppression එකක් එහෙම නැත්නම් මර්දනයක් එන්න නියමිතයි කියන එක. මම පුද්ගලිකව හිතන්නෙ නෑ එහෙම මර්දනයක් විශේෂයෙන් ඒවි කියල. මොකද එහෙම මර්දනයක් කරනවනම් දැනටත් ආණ්ඩුවට ඒක කරන්න හැකියාව තියනව. 19 අහෝසිකරල, 20 ගෙනල්ල, බැසිල්ව පාර්ලිමේන්තුවට ගෙනල්ල, බුලත් විටක් කාල, කෙළ පාරක් එහෙම ගහල ඉන්නෙ නෑ එහෙම කරනවනම්. අනික පහුගිය වතාවෙ එහෙම තැන් වලින් අත පුච්චගත්තු අත්දැකීමුත් එක්ක ආණ්ඩුව ගොඩක් උපක්‍රමශීලී වේවි මේ සැරේ.


හැබැයි හිතේ හැටියට අත දිග ඇරල ඕනම දෙයක් කරගන්න 19න් ඇති වෙලා තියන බාධා ටික නම් ඉවත්කරගනී කියල හිතන්න පුළුවන්. සල්ලි එහෙම ගද්දි double චෙක් වෙන තැන් එහෙම ගාණට ගලවල විසි කරයි. ඒත් ඒ 19 ගලවල 18 බලාත්මක වෙන විදියට නෙමේ. 18 ආපහු ආවොත් මහින්ද රාජපක්ෂ කියන්නෙ තවත් දි.මු ජයරත්න කෙනෙක් වෙනව. ඒ හින්ද 20 බොහෝවිට වෙනම හැඩයක් වේවි. බොහෝවිට ස්වාධීන කොමිසන් සභා අකර්මණ්‍ය කරල හිතේ හැටියට නටාගන්න පුළුවන් වෙන්න බලතල ඔක්කොම එක මිටට බොහෝවිට අගමැති අතට ගනීවි. ද්විත්ව පුරවැසියන්ට තියන සීමා ඉවත් කරයි. අනිත් දේවල් වල නම් ලොකු වෙනසක් වෙන එකක් නෑ. දැනට තියන අගමැතිකමේ බලය දශමෙකින්වත් අඩු කරයි කියල මම නම් හිතන්නෙ නෑ.

හැබැයි මම කැමතියි 19 ගලවල 18 ගෙනත් ඒත් එක්කම සමහරු ඔය ලොකු බියකරු බිල්ලෙක් මවන විදියට suppression එකක් එනවනම්. ඒකට හේතු දෙකක් තියනව. පළවෙනි එක ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස වගේ දේක අගේ තේරෙන්නෙ මර්දනයක් තුල විතරයි. මර්දනයක් නැති තැන ඒක බෙල්ලෙ පාළුවට තියන ඔලුවක් වගේ වෙනව.

දෙවනි හේතුව තමයි එහෙම මර්දනයක් ආවොත් බලවත් පොදු සතුරෙක් ඇතිවෙන නිසා අපේ රටේ විකල්ප මතධාරීන්ය කියන කොටස අතර දැනට තියන දෙකයි පනහේ භේද ටික තාවකාලිකව අකුලගන්න වෙන එක. ඇත්තටම උන් අතර තියෙන්නෙ දෙකයි පනහෙ භේද. අර "මුලින් ආවෙ කිකිළිද බිත්තරේද" වගේ වාද. සමහරවිට එකෙක් කියනව "උත්තරේ 100යි" කියල. අනික කියනව "නෑ. නෑ. උත්තරේ 99.999999යි කියල. ඔය සංවාදෙ හොඳයි දැනුම වැඩිකරගන්න නිවාඩු පාඩු වෙලාවට බුද්ධි කලම්භනයටනම්. හැබැයි අපේ උන් කරන්නෙ ඕක හින්ද ඇතිවන භේදය මුළින් න්‍යායාත්මක හෝ ප්‍රතිපත්තිමය පරස්පරතාවයක් බවටත්, ඊට පස්සෙ පුද්ගලික ඇරියස් එකක් බවටත් පරිවර්තනය කරගැනීම.

ඊට පස්සෙ වෙන්නෙ සැබෑ අරගලය පැත්තක තියෙද්දි අර කොහෙවත් නැති න්‍යායාත්මක කරුණක කෙස් ගහක වෙනසක් අල්ලන් මැරෙන්න හදන එක. ඇත්තටම විකල්ප මතධාරීන් අතරෙ හිටපු සමහර වටිනා අදහස් තියන මිනිස්සු ගණනාවක් ඒ වගේ දෙකයි පනහෙ වලි වලට ඔට්ටු වෙවී ජීවිත කාලෙම තමුන්ගෙම උන්ට බැණ බැණ ඉඳල මැරිලත් ගිහින් තියනව. ඊට පස්සෙ එහෙම භේද වෙන දෙන්නෙක් එක මේසෙ වාඩි කරවන්නම බෑ. තැන් තැන් වල බැණ බැණ යනවා. කින්ඩි දදා යනවා. ඇයි? අර දශම ගාණෙ අවුලට. ඒක තමයි විසම්මුතිකයන්ට විසම්මුතිය විසින්ම උරුම කර දෙන අගතිය.

ඒත් එහෙම භේද වෙන දෙන්නගෙම පැවැත්මෙ ⁣base එකටම වදින ටිකක් තද suppression එකක් පිටින් ආවොත් මොකද වෙන්නෙ? අන්න එතකොට උන් දෙන්න කුළල් කාගැනිල්ල පොඩ්ඩකට නවත්තල බලනව "මොකක්ද යකෝ මේ?" කියල. දරාගන්න බැරි තරම් බුද්ධිය වැඩි සමහරු නම් ඔළුව ගල් රෝලෙන් යට වෙන්න ගියත් දශම ගාණෙ වලියෙ ඉඳී. ඒත් ටිකක් common sense තියන පොළවෙ පය යන්තමට වගේ ගෑවෙන උන්ට suppression එකක් එනකොට ඒ අවුල පෙනෙයි. අර දශම ගාණ දාල දුවගෙන ඇවිත් එක කතාවට ඒ වැඩේට කර තියන්න යම් පෙළඹවීමක් එතන හැදෙයි. ඒක වෙන්න suppression එකක් එන්න ඕනමයි.

ඒත් බයවෙන්න එපා. මේ ආණ්ඩුව යටතෙ එහෙම හිතන තරම් බරපතළ suppression එකක් එන්නෙ නෑ.

පළාත් සභා සහ විල්පත්තුවෙ මුවා

 




පරිසර ප්‍රශ්න කතා කරද්දි සාමාන්‍ය විදිය තමයි ඒවට තියෙනවට වඩා අතිශයෝක්තියක් එකතු කරල කතා කරන එක. පරිසරය වෙනුවෙන් ඒ අතිශයෝක්තිය කමක් නෑ කියල සමහරු කියනව. මම නම් ඒකට එකඟ නෑ. ඕනම ප්‍රශ්නයක් අඩු හෝ වැඩි නොකර ඒකෙ ඇති සැටියෙන් ඇති බරෙන් කතා කළ යුතුයි.

රක්ෂිතයක් ගාව තියෙන මිනිස්සුන්ගෙ ඉඩම් කැලෑ වැවුණයි කියල හරි. චන්ද්‍රිකා ඡායාරූප වලට කැලෑ වගේ වැටුණයි කියල හරි රක්ෂිත බවට පත්වෙන්නෙ නෑ. රක්ෂිත ගාව පදිංචි මිනිස්සුන්ට එතන පදිංචි වෙලා හිටියයි කියල සංවර්ධනයට ඇති අයිතිය අහිමි වෙන්නෙත් නෑ. ඒක අද නෙමෙයි 2011 සිංහරාජය ගාව ඉලුබෙකන්ද ඉඳන් සූරියකන්දට පාර කපද්දිත්, විල්පත්තු ප්‍රශ්නෙදිත්, ලංකාගම ප්‍රශ්නෙදිත්, ආනවිලුන්දාව සහ වනාතවිල්ලුව ප්‍රශ්න වලදිත් මගේ නොවෙනස් ස්ථාවරය.

විල්පත්තු ප්‍රශ්නෙ වෙලාවෙ ඔය කතාව කිව්වම සමහරු කිව්ව "අයියෝ ඔයා නම් පරිසර නීතිය නෙමෙයි අප හා පරිසරයවත් ඉගෙනගෙන නෑ" කියල. තවත් අය ඇහුව "රක්ෂිතය වුණත් ඉඩම් වුණත් හුස්ම පොද දෙන ගස් ටික නේද කපන්නෙ?" කියල. විල්පත්තුවෙ මුවන්ගෙ එහෙම ෆොටෝ දාගෙන "රෂ්නෙද?" අහපු අය ගොඩක් හිටිය.

අද ඒ අයගෙන් ගොඩක් අය අහසෙ තරු ගණං කරනව. සිංහරාජෙ, ආනවිලුන්දාව, වනාතවිල්ලුව එයාලට පේන්නෙ නෑ. හන්තාන නම් යන්තමට පේනව. ඒකට හේතුව ඒ ඉඩම ලක්ෂ්මන් කිරිඇල්ලගෙ වීම.

විල්පත්තු කාලෙ දාපු පෝස්ට් වල හැටියට රෑට කොළ අතු ඇඳගෙන කැලේ ඉන්නව ඇති කියල හිතෙන තරමට පරිසරයට කිට්ටුයි වගේ පෙනුණ අය අද ලංකාගම මිනිස්සුන්ගෙ දුෂ්කරතා, ගමනාගමන අපහසුතා ගැන පෝස්ට් දානව. සමහර ඒවට මාවත් ටැග් කරල තිබුණ. සතුටුයි එහෙමහරි මේ ප්‍රශ්න දිහා කෝණ ගණනාවකින් බලන එක ගැන.

ඔය ආනවිලුන්දාව සහ වනාතවිල්ලුව ගැන අද වෙනස් විදියක මතයක් එනව දැක්ක. ඒකෙ කියන්නෙ මෙහෙමයි:-

1. ඔය දෙකම තියෙන්නෙ වයඹ පළාතෙ

2. වයඹ පළාතෙ පාරිසරික ප්‍රශ්න වැඩියි

3. වයඹ පළාතෙ පළාත් සභාවෙන් වෙනම පිහිටවපු පරිසර අධිකාරියක් තියනව

4. රටේ වෙන කිසිම පළාතක එහෙම නෑ

ඔන්න රෙදි ටික දීල තියනව. ලංකාවෙ මිනිස්සුන්ව සාමාන්‍යයෙන් අන්දන්න දෙයක් නෑ. රෙද්ද දීපුවම කපාගෙන මහගෙන ඇඳගන්නව.

ඕකෙන් ඊළඟට සන්නිවේදනය වෙන්නෙ එහෙම නැත්නම් ඇඳගන්නෙ මෙහෙම:-

1. වයඹ පාරිසරික අධිකාරියක් තියන හින්ද මධ්‍යම පරිසර අධිකාරියට ඔතෙන්ට මැදිහත් වෙන්න බෑ.

2. වයඹ වැඩියෙන් පාරිසරික ප්‍රශ්න එන්න හේතුව ඕක.

3. බලන්න පළාත් සභාව නිසා වයඹට වෙලා තියන හානිය.

4. රටේ අනිත් පළාත් වලටත් පළාත් සභා එපා කියල අපි කියන්නෙ ඒකයි.

පළාත් සභා නිසා කෙළින්ම කරන්න තියන දේවල් වලට වංගුවක් හැදිල වැඩකටයුතු සංකීර්ණ වෙලා තියන බව ඇත්ත. පළාත් සභා ක්‍රමයට ආවේණික දුර්වලතා ගැන තියන විවේචන වලින් ගොඩත් ඒව එක්ක මමත් එකඟයි. ඒත් මේ ප්‍රශ්නෙ සන්දර්භය තුල ඒක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්.

ඇයි ඒ?

දැන් පළාත් සභා ක්‍රමය තිබුණට ඒක ක්‍රියාත්මක නෑ. වයඹත් එහෙමයි. සම්පුර්ණ බලතල තියෙන්නෙ ආණ්ඩුකාරවරයාට. ගිය සතියෙනම් මුසම්මිල්ට. අද ඉඳන් රාජා කොල්⁣ලුරේට. ආණ්ඩුකාරවරයා වගකියන්නෙ ජනාධිපතිට. එහෙම නැත්නම් ස' ට.

ඔය පළාත් සභා යටතෙ තියන අධිකාරි, සභා ඔක්කොටම ඡන්දෙන් පස්සෙ මේ ආණ්ඩුවට හිතවත් අය දැනටමත් දාගෙන ඉවරයි. එතකොට ජනාධිපති ආණ්ඩුකාරවරයා හරහා එවන නියෝග, කීකරු නැති පළාත් සභා නිළධාරි පැලැන්තියක් විසින් අල කරනවය කියන්න කොහොමටවත් ඉඩක් ඉතුරු වෙලා නෑ.

ආනවිලුන්දාව සහ වනාතවිල්ලුව ප්‍රශ්න වලට ඕන නම් ජනාධිපතිවරයාට ඍජුවම මැදිහත් වෙලා ඒව නවත්තන්න පුළුවන්. කරනවනම් එක ලියුමයි එන්න ඕන. එතකොට ආනවිලුන්දාව සහ වනාතවිල්ලුව හෝ වයඹ තියන වෙනත් මොකක්හරි ප්‍රශ්නයක් වහාම විසඳන්න පළාත් සභාව කියන එක කේන්ද්‍රීය බාධකයක් නෙමෙයි. බාධකය කුමක් හෝ හේතුවක් හින්ද එහෙම නොකරන එක.

මොකක්ද ඒ හේතුව. සාමාන්‍යයෙන් අලුතෙන් ආණ්ඩුවක් ආපු ගමන් ඔහොම වෙනව. කලින් ආණ්ඩුව කාලෙ වේලි වේලි හිටපු මුට්ටි අල්ලන එවුන් ආණ්ඩුව ආපු ගමන් තමන් අල්ලපු මුට්ටියෙ තරමට කෑල්ලක් කඩාගන්න පොරකනව. ඒ ටෙන්ඩර් වලින් වෙන්න පුළුවන්, වැලි පර්මිට්, බාර් ලයිසන් වගේ ඕනම දේකින් වෙන්න පුළුවන්.

මංගල සමරවීර කියන විදියට 1994 පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්වුණාට පස්සෙ අවුරුදු 17ක එජාප පාලනයෙන් මිරිකිලා හිටපු ශ්‍රී ලංකා කාරයින්ට අතපය දිගාරින්න එක ආසනයකට බාර් ලයිසන් දෙක ගාණෙ දුන්නලු. ගොඩක් මන්ත්‍රීල තමන්ගෙ ආසනේ ලයිසන් දෙකම කවුරුහරි දාල තමන්ම ගත්තලු. මංගල එහෙම කළේ නෑලු. ඒක ආසන බල මණ්ඩලයට දාල ඒකෙන් තෝරපු දෙන්නෙකුටලු දුන්නෙ. (අපි දන්නෙ නෑ. එයා කියන්නෙ).

1994 එහෙම නම් රාජපක්ෂලාගෙ ස්වභාවය අනුව ඕක කොහොම වෙන්න ඕනද කියල ඕනනම් හිතා ගත්තහැකි. ගොඩක් දෙනෙකුට වැඩි අවුලක් නොවෙන කතා අහගන්න වෙන්නැති කෑලි දීලා, ඔය ටිකක් අවුල් කෑලි දෙක තුනක හඬ තමයි ඔය ඇහෙන්නෙ.

හැමෝම මීය කඩන්න අතගැහුව. දැන් අත ලෙවකද්දි ආණ්ඩුව ඒකට මැදිහත් නොවී ඉන්නව පුළුවන් තරම්. එහෙම නොවුණොත් මොකද වෙන්නෙ? අත ලෙවකන්න නොලැබිච්ච අය ඊළඟ ඡන්දෙදි ඔය තරහ පිට අනිත් පැත්තට ගිහින් ආණ්ඩුව පෙරළනව. ඊට පස්සෙ එහෙ ඉඳනුත් මේකම කරනව. ඔහොම තමයි මේ දුෂ්ඨ චක්‍රයෙ හැටි.

සමහරු අවංකවම හිතුව ස' ඒක වෙනස් කරයි කියල. ඒත් ඇත්ත කතාව තමයි ඒ දුෂ්ඨ චක්‍රය ස'ට වඩා ගොඩක ලොකුයි කියන එක. ඒක වෙනස් කරන්න ගියොත් වෙන්නෙ ඒක ස'ගෙම ඔලුවට කඩන් වැටෙන එක.

හරියට කරන්න ඇත්තටම හිතං ආවනම් කොච්චර අසරණ ඇත්ද? හරියට විල්පත්තුවෙ මුවෙක් ගාණයි.

බුද්ධි අංශ විශ්ව විද්‍යාල තුලට?



විශ්ව විද්‍යාල තුල අන්තරය සහ ඊ⁣ට විරුද්ධ පාර්ශව යන කොටස් දෙකම ආකල්පමය වශයෙන් තවමත් 1980-90 කාල සීමාවේ සිරවී සිටිනවා. එදා සටන් පාඨ අදට වලංගු නැති බව අන්තරය වටහාගෙන නැහැ. අන්තරය තවදුරටත් මතවාදීව වලංගු විරුද්ධවාදියෙකු නොවන බව ඊට විරුද්ධ අය වටහගෙනත් නැහැ.

ඔවුන්ව වර්තමානයට ඇද දැමීම සඳහා සරසවියට පිටින් සිදුවන බලවත් අත පෙවීමක් තරම් ⁣ගැලපෙන දෙයක් තවත් නැහැ. ඒ අත පෙවීම සිදුවන්නේ නවකවදය මැඩලීමටද නැද්ද යන්න අදාළ කරුණක් නොවේ. කුමකින් හෝ මෙය කැළතිය යුතුමයි.

සරසවි ශිෂ්‍යයෙකුට යම් සමාජ කියවීමක් තිබිය යුතුයි. ඔහු සමාජ ප්‍රවණතා ගැන සංවාදයට භාජනය කළ හැකි විග්‍රහයක් ඉදිරිපත් කරන්නෙකු විය යුතුයි. වසරකට වරක් පිරිත් පිංකම්, දන්සැල්, වෙසක් කූඩු තරඟ, බණ ආදිය සංවිධානය කිරීම තමයි වැඩ කියල ගොඩක් සරසවි ශිෂ්‍යයො හිතාගෙන ඉන්නව.

එහෙම කිව්වම කෙනෙක් මගෙන් අහයි "මොකක්ද ඒ වැඩ වල ඇති වැරැද්ද?" කියල. වැරැද්ද තමයි ඒ තුල විසම්මුතික වටිනාකමකින් යුත් සරසවි ශිෂ්‍යයා වඳවීයාම. ඒක මහා ඛේදවාචකයක්.

බුද්ධිගලනය කියල පොදුවෙ පිළිගන්නෙ උගතුන් බුද්ධිමතුන් රට යාමලු. මම කියනව සැබෑ බුද්ධිගලනය සිදුවෙන්නෙ කෙනෙකුගෙ හිස තුල. ඒ තුල යමක් දෙස විචාරශීලීව බලන විසම්මුතික වටිනාකම් හිසෙන් එළියට ගලා ගිහින් අසාධාරණ වූ සමාජ ක්‍රමයට ප්‍රශ්න නොකර අනුගත වෙන එහෙයියෙකු බිහි වෙනවා.

ඒක 88-89 සිට සරසවි පද්ධතිය තුල සිදුවෙමින් ආවා. අදටත් සිදුවෙනව. 88-89 තීරණාත්මක වෙන්නෙ ඇයි? ඊට පස්සෙ "ක්‍රමය ප්‍රශ්න කිරීම" මහ භයංකාර දෙයක් බවට පත් වෙනව. "ක්‍රමය ප්‍රශ්න කරන්නා රට ලේ වලින් නාවන්න හදන ජේවීපී කාරයෙක්" කියල හිතන තැනට මිනිස්සු තල්ලු වුණා. තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්න එක අලුත් trend එක වුණා.

ශිෂ්‍යත්වෙන් පටන්ගෙන උසස්පෙළින් කූට ප්‍රාප්තිය ලබන තරඟකාරිත්වය සරසවියට එන කෙනා තුල ඉතිරි වුණා. අවුරුදු හතරින් පස්සෙ සරසවියෙන් වෙනස් විදියට හිතන මිනිහෙක් වෙනුවට සරසවියට ඇවිත් උපාධිය විතරක් නමට එකතු කරගත්තු අර ආත්මාර්ථකාමී ප්‍රතිගාමී මිනිහම පිටවෙන තත්වයක් ඇතිවුණා.

ඒ නව අදහස් නැති, කියන දේට ප්‍රශ්න නොකර අනුගත වෙන, එහෙයි කියන, පඩියට පැය ගාණ වැඩ කරන, දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න අයගෙන් අද රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් පිරිල. උපාධිය හුදෙක් රස්සාව ඉලක්ක කළ දෙයක් බවට පත්වෙලා.

මේක තමයි ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල, චින්තකයො බිහි කරගන්න බැරුව ඉතිහාසයේ මුහුණ දුන්න⁣ ලොකුම හිරවීම. ඒ හින්ද ඔය රැගක් දීගෙන, මුලින් පූජා නැටුමත් එක්ක සෝෂල් එකක් ගොයිං ඩවුන් එකක් කරගෙන, පිරිතක් බණක්, දන්සලක්,⁣ වෙසක් කූඩු තරඟයක් කරගෙන ඒව වැඩ කියල හිතාගෙන, මුල්ලක් අල්ලගෙන හැන්දෑවට නාල පාඩුවෙ ඉන්න පුරුදු වෙච්ච මොට්ට විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගෙ comfort zone එකට හොඳට හයියෙන් පාරක් වදින්නම ඕන. ඒ පාර වදින එක හොඳ විදියක් තමයි බුද්ධි අංශ විශ්ව විද්‍යාල තුලට රිංගීම.

දැන් බලමු "උගත්කම ඔබතුල හදපු පෞරුෂයෙන් අංශු මාත්‍රයක් හරි ඉතුරු වෙලා තියනවද?" කියල. "ඒ ඉතුරු වෙච්ච ටික ඔබ නොදැන ආරක්ෂක අංශ ඔබ දිහා බලාගෙන ඉඳීමකට කොයි විදියෙ ප්‍රතිචාරයක් දක්වයිද?" කියල.

රජු අභිෂේක කළ ආගම


රජ කෙනෙකුගේ පින්තූර ඇඳ ඇත්තේ දුටු පමණින් ⁣කෙනෙකු තුල භය පක්ෂපාත බවක් ඇතිවන ආකාරයට. ඩී.පී. වික්‍රමසිංහ මහතාගේ "මග දිගට ජනකතා" පොත අනුව දෙවැනි රාජසිංහ කියන්නේ සැබැවින්ම එවැනි දුටු පමණන් කෙනෙකු පසුබාන තේජස්වී පෙනුමක් තිබූ අයෙක්. අනෙක් රජවරුත් එහෙමද? එහෙම විශේෂ සඳහනක් නෑ.

සාමාන්‍ය ස්වභාවය තමයි කෙනෙක් තමන් නුදුටුව කෙනෙක්ව ගෞරවය පෙරදැරි කරගෙන අඳිනකොට අඳින්නෙ ඒ කෙනාට ආරෝපණය කළ හැක් තමා දන්නා හොඳම සංස්කරණය නොහොත් වර්ෂන් එක ආදේශ කරමින්. ඔය දස මහ යෝදයෝ, රාවණා එහෙම අඳින අය සික්ස් පැක් එක්ක වාත්තු කළා වගේ ඇඟවල් අඳින්නෙ ඒ ගෞරවය පෙරදැරි කරගත් දෘෂ්ටිය හින්ද.

ඒත් යථාර්ථවාදීව හිතන්න වෙන දේ තමයි රජවරුන්ගෙන් බහුතරයකගෙ පෙනුමත් සාමාන්‍ය මිනිස්සු වගෙයි කියන එක. භුක්ති විඳින්න ලැබෙන සුඛ විහරණ, පෝෂ්‍යදායක ආහාර සහ ජානමය වශයෙන් ⁣ලැබෙන ඇතැම් ලක්ෂණ හින්දා යම කැපී පෙනෙන වෙනස් පෙනුමක් ලැබෙන්න ඇති. නමුත් ඒ පෙනුම විතරක් යටත් වැසියන් පසුබාවන්න ප්‍රමාණවත්ද?

ඒ ප්‍රශ්නෙ එහෙමම තියෙද්දි යුරෝපය දිහා හැරිල බැලුවත් රජ කියන සංකල්පයට නොනැසී දිගු කාලයක් පවතින්න රජුගේ තේජස, නායකත්ව ගුණාංග, යුධ බලය වගේ දේවල් පමණක්ම ප්‍රමාණවත් නෑ. එතනදි සැබැවින්ම ජනතාව රජුට අවනත කරවන වෙනස් සුවිශේෂි උපකරණයක් තිබුණා.

ඒ තමයි රාජ්‍යය කරවන්නට රජු වරම් ගෙන ඇත්තේ දෙවියන්ගෙන්ය යන සංකල්පය. මෙය යුරෝපයේ ඉතාම දැඩිව මුල් බැසගත්තු සංකල්පයක්. රජුට කත් ඇදපු පල්ලිය දිගින් දිගටම මෙය සත්‍යයක් විදියට මහජනයාට දේශනා කලා. ඒ අනුව රජු තමාගේ රාජ්‍යත්වය ආරක්ෂා කරගන්න, තමාගේ උරුමකරුවන්, පවුලේ අය, හිතවතුන් සමාජ ධුරාවලියෙ උඩම ඉන්න බව තහවුරු කරගන්න ආගම දඩ මීමා කරගන්නව. පූජකයනුත් රජුට අවශ්‍ය දේශනාව කරමින් විවිධ වරප්‍රසාද ලබනව.

ඒක යුරෝපයේ පමණක් වෙච්ච දෙයක් නෙමෙයි. ඉන්දියාවේ පැවැති ආගමික දර්ශන අනුව ක්ෂත්‍රීයයන් උපත ලබලා තියෙන්නෙ රාජ්‍ය පාලනය සඳහා. ඒ අනුව අනෙක් කුල වල අයට රාජ්‍ය පාලනයට මැදිහත් වීමක් ගැන සිහිනයක් වත් තිබිය නොහැකියි. රාජ්‍ය පාලන ධුරාවලිය ආරක්ෂා කරදීම වෙනුවෙන් ක්ෂත්‍රීයයන්ගෙන් තාන්න මාන්න වරප්‍රසාද බමුණන්ට ලැබුණා.

ශ්‍රී ලංකාවෙත් රජු සැළකුවෙ නර දෙවියෙක් විදියට. ඊට හේතුව ඇත්තටම රජු තුල තිබූ දේව බලයක් නොව ආගමික සංස්ථාව විසින් ඔහුට එහෙම එකක් ආරෝපණය කිරීම. රජ පවුලක ඉපදීම, උපන් වේලාව අනුව ග්‍රහචාරය වගේ ගොඩක් දේවල් මත රාජකීයයෙකුට දේවත්වය ආරෝපණය කෙරුණා. ඒ විශ්වාස කොතරම් දුර ගියාද යන් අන්තිම නායක්කාර් වංශික රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වීම පිළිබඳව පවත්නා ජන කතාවෙන්ම පේනවා.

රජු කොටුවූ පසු අනෙක් සියලු දෙනාම රජුට කිට්ටු වෙන්නට බියෙන් සිටියදී ඉදිරියට ගොස් ඇත්තේ වැලි අංගා කියා මිනිහෙක්. ඔහු දු⁣ටු රජු, "ආ මේ වැලි අංගා නොවේදැ"යි ඇසුවේලු. "එහෙමයි ආයිබොවන්ට එදා එහෙමයි අද මෙහෙමයි" කියූ වැලි අංගා රජුට පයින් ගසා බිම දැම්මේලු.

රජුගේ ඇති බලය කෙතෙක්ද යත් ඉන්පසු වැලි අංගාගේ පරපුරේ ඉන්පසු බිහිවූ අයට පාදයේ උපතින්ම පිහිටන සුළු කොරයක් ඇති බවත් වයසගතවී මියයාමේදී රජුට පහරදුන් පය පණුවන් ගසා කුණුවී බැලීමට අප්‍රිය උපදවන තත්වයට පත්වන බවටත් ජනශ්‍රැතිය දක්වනවා.

එමෙන්ම දළදා වහන්සේ අත්පත් කරගන්නේ යම් කෙනෙක්ද, ඔහුට ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය හිමි බවට දැඩි විශ්වාසයක් පැවතී තිබෙනවා. යම් පාලකයෙකු රජු බවට හෝ රාජ්‍ය පාලනයට සම්බන්ධ මැති ඇමති හෝ නිලමක්කාර තනතුරු වලට පත් වූ විට එය ඒ ඒ පුද්ගලයාගේ පෙර පින ලෙස පූජ්‍ය පක්ෂය විසිනු හුවා දැක්වූ අවස්ථා ඕනෑ තරම් හමු වෙනවා.

එවිට ඒ දහම අසන විශ්වාස කරන හුදී ජනයාට ඇත්තේ බලැත්තා බලැත්තෙකු වීම සඳහා අටවන ලද යටි උගුල්, කපන ලද බොරු වළවල්, සිදුකරන ලද වංචා, දූෂණ, කුමන්ත්‍රණ ආදී සියල්ල තිබියදී ඒවා පෙර පින නැමති පියනෙන් වසා ඔහුගේ ශ්‍රී විභූතිය පිළිගැනීම.

එසේ පිළි නොගන්නා කෙනා ආගමික ඉගැන්වීමට ද්රෝහියෙකු වෙනවා. ඒ වගේම රාජද්රෝහියෙකු බවටත් පත් වෙනවා.

ආගම විසින් අතීතයේදී රජුට, එනම් රටක පාලන තන්ත්‍රයට එය දූෂිත වුවත් නැතත් කොන්දේසි විරහිතව ගසන ලද මුක්කු අද නොගසත්දැයි ප්‍රවේශමින් පරික්ෂා කර බලන්න.

වරක් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් එක්තරා දේශපාලන බලැත්තෙකුගේ පුතෙකු කාර් රේස් පැදීම වැරදි වැඩක් ලෙස නොව ඔහුගේ පෙර පින නිසා ඔහුට පහල වූ අසිරිමත් මහත් ඵල මහානිශංසයක් ලෙස ගත යුතු බවට මතක බණකට කියනු මා අසා තිබෙනවා.

ඒ රාජ හිතෛෂී බණ හරහා පෙර පින, පිං පාට, රාජ යෝග, උරුමය වගේ ගොඩක් බරපතළ තේරු ඇති වචන ගාවන්න ආගමික සංස්ථාව කිසිදු හිරිකිතයක් නැතිව අදටත් මැදිහත් වෙනවා.

අපේ රිලව් අපිටම දීම

 


මෙය බොහෝ දෙනෙකු දන්නා කතාවක් විය හැකියි. නමුත් එය නොදන්නා අය වෙනුවෙන් ලියා තැබිය යුතුමයැයි මා සිතනවා. මන්ද එය මේ විපරීත සමාජ හැසිරීම වටහා ගැනීමට ශක්තිමත් ආකෘතික විග්‍රහයක් ඉදිරිපත් කරන නිසා.

ඔන්න වනාන්තරයක් අසළ පිහිටි එක්තරා ගමකට නගරයෙන් යැයි කියමින් අමුත්තෙකු ආවා. ඔහු තමාව හඳුන්වා ගත්තේ වෙළෙන්දෙකු ලෙස. ඔහු ගැමියන්ට අපූරු ව්‍යාපාරික අවස්ථාවකට ආරාධනා කළා.

"මම ලබන සතියේ ආයෙත් එනවා. උඹලාට හැකි තරම් රිලවුන් අල්ලා තබාපල්ලා. මා එක රිලවෙක් රුපියල් 1000 බැගින් මිළට ගන්නවා"

ගම්මු ඒ කතාව අහලා ඊළඟ සතිය වන විට රිලවුන් විශාල ප්‍රමාණයක් අල්ලා තැබුවා. පොරොන්දු වූ ලෙසම වෙළෙන්දා පැමිණ එක රිලවෙකුට රුපියල් 1000 බැගින් ගෙවා රිලවුන් සියල්ල මිළට ගත්තා.

"දැන් රිලවුන් බොහොම හිඟයි. ඉදිරියට තව මිළ වැඩිවෙයි. ඊළඟ සතියෙත් මම එනවා. රිළවුන් හැකිතරම් අල්ලා තබන්ට. මට නොවැරදීම මීට වඩා වැඩි මිළකට උන් ඔක්කොම ගන්ට පුළුවන්"
එසේ කියූ වෙළෙන්දා මිළදී ගත් රිලවුන් අරගෙන පිටවී ගියා.

ගම්මු ආයෙත් මහන්සි වෙලා රිලවුන් 5ක් පමණ අල්ලා ගත්තා. ඊට වඩා අල්ලන්න රිලවුන් සිටියේ නෑ. අහළ පහළ ගම වලටත් මෙය ආරංචි වී ඔවුන්ද කැලෑ පීරමින් රිලවුන් අල්ලන්නට වුණා. කෙසේ හෝ ඔවුන්ට අල්ලා ගැනීමට හැකි වූයේ රිලවුන් උපරිම 10ක් පමණයි.

පොරොන්දු වූ විදියටම වෙළෙන්දා ඊළඟ සතියේ ආවා. රිලවුන් සිටින්නේ 10ක් පමණක් බව දැක ඔහු බොහෝ කණගාටු වූ බවක් පෙනුණා.

"දැන් රිලවුන් බොහොම හිඟයි. මම මේ එක රිලවෙක් රුපියල් 3000 බැගින් මිළට ගන්නම්. අනේ පුළුවන් නම් තව රිලවුන් සොයා තියන්ට. මම තව සති දෙකකින් එනවා. එකෙක් රුපියල් 10000 බැගින් වුණත් ගන්ට මම සූදානම්"
එහෙම කියූ වෙළෙන්දා රිලවුන් 10 දෙනා රැගෙන පිටවී ගියා.

අහල ගම් හතටම දෙබරෙට ගල් ගැසුවා වගෙයි. හැමෝම පිස්සුවෙන් මෙන් කැලෑ පීරමින් රිලවුන් සොයන්නට වුණා. නමුත් අල්ලන්නට තවත් රිලව් ඒ අවට වනාන්තරයේ ඉතිරි වෙලා හිටියේ නෑ. ගම්මුන්ට මහා අවාසනාවන්ත හැඟීමක් දැනෙන්ට වුණා.

සතියකට පසු තවත් අමුතු වෙළෙන්දෙක් ගමට ආවා. ඔහුගේ ලොරිය පිරෙන්නට හිටියේ සිය ගණනක් රිලව්.

"එක රිලවෙක් රුපියල් 5000යි"
ඔහු ගම්මුන්ට කීවා. ⁣මේක ටිකක් සැක සහිත වෙළඳාමක් වුණත් ඊට පසු සතියේ එන රිලව් මිළදී ගන්නා වෙළෙන්දාට එකෙක් රුපියල් 10000 බැගින් විකිණිය හැකි යැයි සිතමින් ගම්මු පොර කකා රිලවුන් මිළට ගත්තා. අන්තිමට රිලව් වෙළෙන්දා තමන් ගෙනාපු රිලව් ඔක්කොම ඒ ගමේ මිනිස්සුන්ට විකුණලා පිටත් වෙලා ගියා.

මිනිස්සු තමන් ගත්තු රිලව් ටික තියාගෙන ඊළඟ සතියෙ රිලව් මිළට ගන්න වෙළෙන්දා එනකල් බලාගෙන හිටියා. සතියක් ගෙවුණා. දෙකක් ගෙවුණා. ඒත් රිළව් ගන්න කිසිම වෙළෙන්දෙක් ආය කවදාවත් ඒ ගමට ආවෙ නම් නෑ.

අපේ බොහොම දෙනෙකුට සමාජයේදි මුහුණ දෙන්ට සිදුවෙන්නෙ ඔන්න ඔහොම විපරීත අත්දැකීම් වලට. විශේෂයෙන්ම දේශපාලනයට ඕක ආදේශ කරල මේ කතාවෙ "රිලවා" කියන වචනෙට දේශපාලකයො කාලෙන් කාලෙට ඇතිකරන විවිධ "trend" හෙවත් "රැළි" (තුරුම්පු, wild card ඕන වචනයක් හරි) ආදේශ කරල බැලුවොත් ඇත්තටම හිනා යනව.

උදාහරණයක් විදියට "ජාතිවාදය" ආදේශ කරල බලමු. මුලින් දේශපාලනඥයින්ම ජාතිවාදී trend එකක් ඇති කරනවා. ඉන් පස්සෙ රටේ අවිචාරවත් මිනිස්සු ඒක තමන්ගෙ වගේ කරේ තියාගෙන දුවනවා. දේශපාලනඥයින් ඒකට පොහොර දදා ඉඳලා මොකක්හරි තීරණාත්මක වාසියක් එකෙන් ගත්ත ගමන් වැඩේ අතෑරලා දානවා. අන්තිමට බලනකොට "අපේම ජාතිවාදී රිලව්" සල්ලිත් දීලා අපිම අරන්.

Thursday, September 3, 2020

20 වැනි සංශෝධනය ගැන හිතළු




1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන්නට නියමිත 20 වැනි සංශෝධනය අද ගැසට් කරල තිබුණ. මම හිතුවට වඩා වැඩි දෙනෙක් "ඒක කියෙව්වද? මොකද හිතෙන්නෙ?" කියල අහල තිබුණ. මගෙන් එහෙම අහපු හැමෝටම ස්තුතියි. ඒක මට ගෞරවයක්. ඒ ගැන නිහතමානී සතුටක් තියනව. ඒ ගැන ලියන එක ටිකක් වෙලා අරගෙන අධ්‍යයනයකින් පසුව කළ යුතු දෙයක්. අනිවාර්යයෙන්ම ඒ ගැන විස්තරාත්මක ලිපියක් ඉක්මනටම ලියන්න බලාපොරොත්තු වෙනව.

ඊට කලින් ඒක කියවපු ගමන් මගෙ හිතට ආපු හිතළු ටික තමයි දැන් ලියන්නෙ.

දේශපාලන යුග පෙරළියක් වෙනකොට ඒක තීරණාත්මක වෙනසක් බවට පත් වෙන්න නම් තිබුණ එක මුදුණෙ තිබිල වැටෙන්න ඕන. 2015දි වුණේ එහෙමයි කියල හිතුවට ඒක අර්ධ සත්‍යයක්. ඒකෙ ඇත්ත පැත්ත තමයි මහින්ද පැරදුණේ peak එකේදි කියන එක. හැබැයි ඔහු පරදා ලැබූ ජයග්‍රහණය ටිකක් කොත්තුවක් වගේ හරි හැඩයක් නැති ගොඩක් ජාති වල එකතුවක්. ඒ අනුව ඒක උපක්‍රමික ජයක් මිස ගල උඩ ප්‍රහාරයක් නෙමෙයි.

මම විශ්වාස කරනව 1978 ජේ.ආර් පටන් ගත්තු 2010 මහින්දල පෝෂණය කරපු ඒකාධිපති දේශපාලන ගමන තීරණාත්මක ලෙස නිමාව දැකිය යුතුයි. නමුත් එය නිමාව කරා ගෙන යාමේදි ඒ ඒ අවධීන් අමාරුවෙන් වුණත් පසු කරන්න වෙනව. ඒ අවධීන් පසු නොකර හදාගන්න artificial ජයක් එච්චර කල් පවතින්නෙ නෑ. අනික එහෙම ජයක විකෘතිතා බොහොමයි.

1977 ඉඳන් එජාපයේ 17 වසරක පාලනය නිමා කරල 1994දි පොදුජන එක්සත් පෙරමුණ බලයට ඒම දක්වා කොටස පිළිබඳව ස්වාධීන පසු කථනයක යෙදුණොත් ඔය ඇද වැටීම කියන සංසිද්ධියෙ යම් අක්‍රමවත් අනුපිළිවෙලක් පේන්න ගන්නව. 94 වෙද්දි ඒක වැටෙනව ඇරෙන්න තව වෙන්න දෙයක් ඉතිරි වෙලා තිබ්බෙ නෑ.

නමුත් 2015 එහෙම නෑ. වැටෙනව ඇරෙන්න වෙන්න තව දේවල් තියෙද්දි තමයි උපක්‍රමිකව වට්ටන්නෙ. ඒ වැටීමට සන්ධානය සහ රාජපක්ෂ පවුලේ ස්වයං හානිකරණයත් හේතු වුණාට කෑලි ඉතුරු වෙනව. හොඳ මතක දෙක තුනක් තියනව. බලාපොරොත්තු නැත්තටම නැතිවෙන්නෙ නෑ. ආය උස්සන්න බෑ කියල පස්ස බිම ඇණෙන්නෙ නෑ.

ඒ ඉතුරු වෙන කෑලි ටික තමයි නව ජවයකින් 2019 වෙද්දි ආපහු නැගිටින්නෙ. ඒකට යහපාලන ආණ්ඩුව විහින් ගාගත්තු බැඳුම්කරය සහ කවුරු කළාද කියල තාම හරියට දන්නෙ නැති පාස්කු ප්‍රහාරය ලොකු හේතුවක් පිටුවහලක් වුණ බව ඇත්ත. නමුත් ඒවයින් ශක්තිය අරන් නැගිට්ටෙ අර ඉතුරු වෙච්චි බලාපොරොත්තු ටික.

එ නිසා 2010 ඉඳන් පටන් ගත්තු රාජපක්ෂ මාවතේ දෙවැනි ගමනක් අපිට දකින්න තියනව. මම පිළිගන්නව ඒක ඒකාධිපති ගමනක් වෙයි. විරුද්ධවාදීන් බලහත්කාරයෙන් යටපත් කරන ගමනක් වෙයි. ඒ අතර යම් යම් හොඳ දේවලුත් වෙයි. ඒත් ඒකාධිපතිකම හැම විටම මහ විනාශයකින් අවසන් වන බව ලෝකය නැවත නැවතත් අත්දැකපු දෙයක්. ඉතින් ඒ ස්වභාවික ගමන ගිහින් ස්වභාවික අවසානයක් කරා ළඟා වෙන්න ඒකාධිපතිබවට අපි ඉඩදෙන්න ඕන කියල මම හිතනව.

ගොඩක් දේවල් මිටි කරල ආය අතට අරන් තියන බව පේනව. අර පස්සා පැත්තට වෙවැල් වදිනවට ආස අයට ඒක ආතල් එකක් බවත් මම දන්නව. සැර ටීච කෙනෙකුට එහෙම අය ආසයි. ඇයි ඒ ආසාවෙ අවසානය දකින්න ඉඩ නොදෙන්නෙ?

ඒ අතින් 20 මීටත් වඩා රටේ පාලන ක්‍රමයෙ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ කප්පාදු කළා නම් මම කැමති. ඕන විදියට කරගන්න 2/3 බලයක් ජනතාව (එයාලට ඡන්දෙ දීපු අයටත් වඩා ඊට විරුද්ධව ඡන්දෙ නොදීපු අය) එයාලට දීල තියනව. ඉතින් දැන් මොකටද රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙනව, අරක නැතිවෙනව මේක නැතිවෙනව කියල කෙඳාරි ගාන්නෙ? දැන් ඇත්තටම ඕන විදියට කරගන්න දෙන්නත් ඕන. ඒකට උපරිම සහය දෙන්නත් ඕන. ඒ ඔක්කොම දීලා කරන හැටි බලාගෙන ඉන්න එකයි දැන් තියන වැඩේ.

ඒක කරගන්න එයාලට ⁣පුළුවන් වුණත් නැතත් රටට ඒකෙන් වෙන්නෙ හොඳක්මයි. සාර්ථක වුණොත් අපේ රට හොඳ තැනකට ඒවි. ඒක ඇත්තටම කාටත් හොඳයි. අසාර්ථක වුණොත් රාජපක්ෂවාදය, ඒකාධිපතිවාදය, ජාතිවාදය,ආගම්වාදය ඔය ඔක්කොම ස්වභාවික වරණ ක්‍රියාවලිය මගින් විසඳනු ලබයි.

එහෙම මේ ප්‍රවණතාවය යථාර්ථවාදීව ගන්නව මිසක් "බුදු අම්මෝ මෙන්න කරන වැඩ" කියලා මහා ගාලගෝට්ටියක් ඇතිකිරීමෙන් පලක් නෑ. මේ පිළිබඳව සාකච්ඡාවක නොසිටිය යුතුයි කියල මං ඒකෙන් අදහස් කරන්නෙ නෑ. අවබෝධය සඳහා පුළුල් සාකච්ඡාවක් අවශ්‍යයි. නමුත් ඒ සාකච්ඡාවෙ සීමා ඉම් ගැන අවබෝධයක් ඇතිව කරන සාකච්ඡාවක් විය යුතුයි.

අමතක කරන්න එපා. ලෝක හෙවිවේට් ශූරයෙක්ව දෙවනි වටයෙදි නවකයෙක් විසින් බිම දැම්මොත්, ශූරයා හිතනව ඒක නවකයගෙ අනපේක්ෂිත වාසනාවක් හෝ තමන්ගෙ අත් වැරදීමක් කියල. ඔහු එහෙම හිතනව කියන්නෙ මාස දෙක තුනක් ඇතුලත පරාජිත ශූරයා නැවත තමාට හිමි හෙවිවේට් බඳපටිය උදෙසා අභියෝ කරනවමයි. නමුත් මහා දුෂ්කර බොක්සිං වට 12කින් පස්සෙ පරාජය වුණොත් ශූරයා බොහෝවිට ක්‍රීඩාවෙන් විශ්රාම ගනී. එහෙමයි යුගයක් තීරණාත්මකව අවසන් වෙන්නෙ.

Sunday, August 16, 2020

Snowpiercer (2013) - විප්ලවයක හරස්කඩක්



මා මෙතෙක් නැරඹූ චිත්‍රපට අතරින් මගේ සිතට තදින්ම කාවැදුණු අංක එකේ චිත්‍රපටය ලෙස Snowpiercer හැඳින්වීමට මම කැමතිය. එය ආරම්භයේ පටන් අවසානය දක්වා පමණක් නොව අවසානයෙන් පසුවද නරඹන්නා දැඩිව ඇද බැඳ තබාගන්නා, කෙනෙකු සිතීමට පොළඹවන අතිශය ප්‍රබල වූ සිනමා නිර්මාණයකි.

කෙනෙකුට මෙය දුම්රියකදී සිදුවන ගැටුමක් පිළිබඳව කතාන්තරයක් ලෙස සළකා බැහැර කිරීමටද හැකියාව තිබේ. නමුත් එම කතාන්තරය තුල ඇති දේශපාලනික වැදගත්කම කියා නිම කළ නොහැකි තරම් වෙයි.

මහපොළොව හිමෙන් වැසීගිය, එළිමහනට ගියහොත් තත්පර ගණනකදී නියත වශයෙන්ම අධික ශීතල හේතුවෙන් මරණය හිමිවන පරිසර තත්වයක් මෙම චිත්‍රපටයට පසුබිම් වේ. ලෝකය වටා නොනැවතී නිරන්තරයෙන් ගමනේ යෙදෙන එක්තරා දුම්රියක් තුල පමණක් ජීවය ආරක්ෂා වී පවතී. එම දුම්රිය සමස්ථ ලෝකයේ පවත්නා සමාජ ක්‍රමයේ ඉතා පැහැදිලි හරස්කඩකි.

දුම්රියේ පසුපසම සිටින දුගී දුප්පත් ජනතාව දුම්රිය් ඉදිරි කොටසේ සිටින ඉහළ පැළැන්තිය විසින් තමන් මත මුදා හරින ප්‍රචණ්ඩත්වයට සහ මනුෂ්‍යත්වයට තරම් නොවන සැළකීමට එරෙහිව කැරැල්ලක් අරඹයි. කැරැල්ලේ ඉලක්කය කෙමෙන් කෙමෙන් දුම්රිය තුලින් ඉදිරියට ගමන් කොට එංජිමේ බලය අල්ලා ගැනීම මගින් දුම්රියේ පාලන බලය දුගී දුප්පත් ජනතාවට ලබාගෙන වඩාත් සාධාරණ තත්වයකට දුම්රියේ කටයුතු පත්කර ගැනීමයි.

දුම්රියේ පසුපස සිට ඉදිරිපසට යන ගමන එක් අතෙකින් සමාජයේ පහළම පැළැන්තියේ සිට ඉහළම පැළැන්තිය දක්වා නරඹන්නා කැඳවාගෙන යන ත්‍රාසජනක වූ චාරිකාවකි. අනෙක් අතින් නිර්ධන පංතියේ විප්ලවයකදී පසුකරන්නට සිදුවන අවධීන් පිළිබඳව යථාර්ථවාදී චිත්‍රණයකි.

සමාජ මට්ටම් පිළිබඳව වන චාරිකාවේදී පහළම සමාජ මට්ටමේ ජීවන අත්දැකීම් ඉහළට කෙමෙන් කෙමෙන් ගමන් කරන විට වෙනස් වන ආකාරය, පහළම මට්ටමේ ආහාර, ඇඳුම් පැළඳුම්, පහසුකම්, සමාජ ඇවතුම් පැවතුම් විධි ආදිය පිළිබඳව සවිස්තරාත්මක විස්තර කථනයක මෙම චිත්‍රපටය තුලින් දැකිය හැකිය.

පාලන බලය අත්පත් කරගැනීම සඳහා යන විප්ලවීය ගමනේදී ඉහළ සිට පහළට යෙදෙන අනිවාර්ය ප්‍රතිරෝධය, ඒ හරහා ඇතිවන ලේ වැගිරීම්, අරගලය වෙනුවෙන් සිදුකරන්නට වන කැපකිරීම්, ජීවිත පරිත්‍යාගයන්, නොමඟ යැවීම්, ඉදිරි ගමන තුළ මේ අරගලය සැබැවින්ස නිවැරදි එකක්මදැයි තමාගෙන්ම ප්‍රශ්න කරගන්නට සිදුවන අවස්ථා, හිණි පෙත්තට නගින තැනැත්තාට තමා තුල තමා සමඟම පැනනගින සංග්‍රාමය ආදී සියල්ල ඉතා සිත ඇදගන්නාසුළු ලෙස මෙම චිත්‍රපටයේ අන්තර්ගතය.

චිත්‍රපටයේ කතාන්තරය සැළකීමේදී සමස්ථ ලෝකයක් දුම්රියක් තුලට ගෙනැවිත් විහිදුවා ඇති ආකාරය අපූරුය. ස්වභාවික ලෝකයේදී වඳවී නොයාම සඳහා අවශ්‍ය පාරිසරික තුලනය ස්වභාවිකව රැකෙතත්, කෘතීමව එම තුලනය රැකීමට යාමේදී මුහුණ දෙන්නට සිදුවන අභියෝග, දුෂ්කරතා, අපහසු සහ අමානුෂික තීරණ යනාදිය පිළිබඳව චිත්‍රපටයේ අවසාන අදියරේදී කෙරෙන ගැඹුරු සාකච්ඡාව නරඹන්නා මහත් උභතෝකෝටිකයකට ඇද දමයි.

චිත්‍රපටයේ කතාව මා විස්තර කරන්නට යන්නේ නැත. එය දැන ගැනීම මෙය කියවා එය නරඹන්නට තීරණය කරන ඔබටම ඉතිරි කරමි. සැබැවින්ම එහි කියැවෙන කතාන්තරයට වඩා මාගේ සිත ඇද බැඳ ගත්තේ, මා මහත් අවුලකට ඇද දැමුවේ ඒ කතාවට බැඳී ඊට යටින් දිවෙන දේශපාලනික කථනය බව අවධාරණය කළ යුතුය.

සැ.යු:- ලෝකය දෙස එය අපට පෙනෙන ආකාරයෙන්ම පමණක් බැලීමට කැමති, යමක් පැති කීපයකින් විග්‍රහ කිරීම කාලය කා දැමීමක් යැයි සිතන, දෙන⁣ දෙය කා වෙන දෙය බලාගෙන පහසුවෙන් ඉන්නට කැමති අය, තමන්ගේ එම පැවැත්මට පහසු චිත්ත ස්වභාවය දිගටම පවත්වාගෙන යාමට කැමැත්තක් දක්වන්නේ නම් "මෙම චිත්‍රපටය නැරඹීමෙන් වළකින්න".

Friday, August 14, 2020

ද නිවුස්පේපර් - සමාජ අසමත්කම පිළිබදව විස්තීර්ණ විවරණයක්

 

"ද නිවුස්පේපර්" නම ඇසූ පමණින් එය පත්තර පිළිබද චිත්‍රපටයකැයි කෙනෙකුට හැගෙනවා ඇත. එහි වරදක් නැත. එය එක් අතෙකින් පත්තර පිළිබදව චිත්‍රපටයක් බව ඇත්තය. ශ්‍රීලංකාවේ මුද්‍රිත මාධ්‍ය භාවිතාව තුල ඇති කල් පැහුණු අගතීන් මත සමාජ සංස්ථාවේ ඇතිවන කුණු වී ඔජස් ගලන වාතාවරණය මේ චිත්‍රපටයට විෂය වී ඇති බව ඇත්තකි. නමුත් එම විෂය පළයේ අවකාශය තුල සමස්ථ සමාජ ක්‍රමයේම පවත්නා අසමර්ථකම පිළිබදව සිදුකෙරෙන විස්තරාත්මක විවරණය තුල මීට පෙර ශ්‍රී ලංකාවේ චිත්‍රපට කලාව තුල නිර්මාණය වූ ක්‍රමය ප්‍රශ්න කරන සියලුම චිත්‍රපට වලට සාපේක්ෂව වැඩි වැදගත්කමක් "ද නිවුස්පේපර්" වෙත ආරෝපණය වේ. 

යුධ කාලසීමාවේ හමුදා පුද්ගලයන් ගමන්ගත් බස්රථයක් ඉලක්ක කර එල්ල කැරුණු බෝම්බ ප්‍රහාරයකින් ඒ අසළින් ගමන් කළ අහිංසක කම්කරුවෙකුද ජීවිතක්ෂයට පත්වෙයි. බෝම්බ ප්‍රහාරය ආසන්නයේ එය වාර්තා කරන සියළුම පුවත්පත් සදහන් කරන්නේ බෝම්බ ප්‍රහාරය එකී කම්කරුවා විසින් සිදුකර ඇති බවත් ඔහු සිංහලයෙකු බැවින් සිංහල කොටියෙකු බවත්ය. මෙයින් කුපිතවන ගම්වාසීන් ඒ කම්කරුවාගේ නිවස ගිනිබත් කරයි. ඔහුගේ වැඩිමහල් සොහොයුරාට පහරදී දෙපා කඩා දමයි. චිත්‍රපටය ආරම්භ වන්නේ එම බෝම්බ ප්‍රහාරයෙන් වසර 9කට පසු එක්තරා අවස්ථාවකිනි. 

දෙපා ආබාධිත ගුණා (සරත් කොතලාවල) එසේත් නැත්නම් කම්කරුවාගේ වැඩිමහල් සොහොයුරාට පරණ පුවත්පතක කුඩා කොටසක් නෙත ගැටෙන්නේ අහම්බෙනි. එහි සදහන් වන්නේ හමුදා බස් රථය ඉලක්ක කළ බෝම්බ ප්‍රහාරයට එයින් මියගිය සිංහල කම්කරුවා වගකිවයුතු නැති බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති බවයි. එය දකින ගුණා පත්තර කැබැල්ල ගෙන වහා ඔවුන්ගේ පැල්පතට පැමිණ මවට පුවත පෙන්වයි. ඇය ඒ දෙස බලා සිටින්නේ හිස් බැල්මෙනි. ඉන්පසු කඩපිලට යන ගුණා මුදලාලි ඇතුළු කඩපිලේ සිටින පිරිසට පත්තර කැබැල්ල පෙන්වයි. හරියට දිනයක් නමක් නැති පත්තර කැබැල්ලක් පෙන්වා තමන් රවටන්නට ගුණා තැත් කරතැයි ඔහුට බැණ වදින පිරිස ගුණාව එළවා ගනී. 

ගුණාව විශ්වාස කරන්නේ ඔහුගේ හිතවත්ම මිතුරා පමණි. ගුණා මිතුරා සමග පත්තර කැබැල්ල ගෙන ග්‍රාම නිලධාරී හමුවන්නට යයි. ඔහු ගුණාගේ මියගිය සොහොයුරා වෙනුවෙන් කතා කිරීම ප්‍රතික්ශේප කරයි. ඉන්පසු දෙදෙනා යන්නේ පන්සලටය. පන්සලේ ස්වාමීන් වහන්සේ දෙදෙනාට "බණ" කියා ඔය පත්තර කැබැල්ල අතහැර දමා අත්හැරීම ප්‍රගුණ කරන ලෙසත් ඔවුන්ට මුහුණ දීමට සිදුවූ අභාග්‍යය සම්පන්න ඉරණම පෙර කර්මය මත සිදුවූ බවත් කියයි. 

ගුණා සහ මිතුරා කොළඹ ගොස් අදාළ පත්තර කන්තෝරුවේ මහත්තුරුන් හමුවී ගුණාගේ බාල සොහොයුරා නිර්දෝෂී බවට මුල් පිටුවේ ලොකු අකුරින් පළ කරවාගැනීමට තීරණය කරන්නේ ඔය වාතාවරණය සහ ගුණාගේ මවගේ දැඩි ඉල්ලීම මතය. 

චිත්‍රපටයේ ප්‍රධානම කොටස එකී කොළඹ ගමන විෂය කරගෙන නිර්මාණය වී ඇත. එහිදී සමාජයේ පොළව මට්ටමේ ජීවත් වන සැබෑ දුගී දුප්පත් මිනිසුන්ට පවත්නා සමාජ ක්‍රමය කෙතරම් අසංවේදී වන්නේද යන්න නැවත නැවතත් නිරූපණය වන්නේ නරඹන්නා දැඩි කළකිරීමකට පත්කරවමිනි. පුවත්පතකින් සිදුවූ අගතියක් චිත්‍රපටයේ ප්‍රධාන විෂය වස්තුව වුවද ඒ හරහා සමාජ අසාධාරණයේ විවිධ මුහුණුවරවල් වලින් ළග ළග නරඹන්නාට දමා ගැසීමට මේ ප්‍රබල චිත්‍රපටය සමත් වී ඇත.

අවසානයේ අහම්බෙන් සිදුවන අන්ත දුර්දාන්ත සිදුම් මාලාවකට පසු අරමුණ ඉටුකරගැනීමට ගුණා සමත් වෙයි. එහෙත් එම පුවත තම මවට සැළ කිරීමට හෝ ගමේ මිනිසුන්ට කියා ඔවුන්ගේ ප්‍රතිචාරය දැන ගැනීමට ගුණාට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ගුණාට අත්වන ඉරණම ඔහුගේ මවටවත් මවට අත්වන ඉරණම ගුණාටවත් කිසිදාක දැනගන්නට නොළැබීම ප්‍රේක්ෂකයාට යම් ආකරයක සහනය හා කළකිරීම මුසු හැගීමක් ඇති කරවයි.

චිත්‍රපටයේ සෑම රූප රාමුවක්ම දෙබසක්ම පසුබිමින් ඇසෙන කුඩා හඩක්ම පැය ගණන් ගතකොට විවරණය කළ හැකි තරම් ඉතා පොහොසත් ප්‍රබල නිර්මාණාත්මක ප්‍රකාශනයන් වෙයි. ඒ එක් එක් රූපරාමුවක් දෙබසක් හඩක් පාසා වෙන වෙනම චිත්‍රපට නිර්මාණය කළ හැකි තරම් එම ප්‍රකාශන ප්‍රබලය. සමස්ථ චිත්‍රපටය පුරාම දිවෙන මූලික හරය සමාජයේ ඇති සැබෑ ප්‍රශ්න වලට සමාජ ක්‍රමය හා ඊට අනුගත වූ මිනිසුන් දක්වන අසංවේදීතාව වේ. මාෂි සිරිවර්ධන නිරූපණය කරන චරිතය යම් ආකාරයක සංවේදීතාවයක ඉගියක් පළ කළද එය සැබෑ ප්‍රශ්නය තේරුම් ගැනීමකට වඩා අනුකම්පාව මත පදනම් වූ එකක් බව පෙනී යයි. 

මෙම අසංවේදී අසාධාරණ සමාජ ක්‍රමය නඩත්තු කිරීම සම්බන්ධයෙන් ආර්ථිකමය වශයෙන් ඉහළම මට්ටමේ සිටින ධනපතීන්ට සහ එකී ධනපතීන්ගේම නියෝජනයක් වන දේශපාලනඥයන්ට දොස් පැවරීම සාමාන්‍ය සිරිත වේ. නමුත් මෙම චිත්‍රපටය ඉදිරිපත් කරන අමිහිරි කටුක සත්‍යය නම් සමාජයේ ඉහළම ධනපතියාගේ සිට පහළම මට්ටමේ යාචකයා දක්වා සියල්ලෝම දැන හෝ නොදැන මෙම දූෂිත ක්‍රමය නියෝජනය කරන බවයි. ඔවුන් සියල්ලන්ගේම හැසිරීම මෙම දූෂිත ක්‍රමයේ ප්‍රකාශන බවට පත්වේ. 

සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර අසමාන මිනිසුන් බව දැන සිටියෙමි. නමුත් සැබැවින්ම මෙතරම් ප්‍රබල වූද විස්තීර්ණ වූද ප්‍රකාශනයන් රැසක් එක සිනමා නිර්මාණයක් තුලින් මම කිසිසේත් බලාපොරොත්තු නොවූ බව කිව යුතුය. විශේෂයෙන්ම එය ධනපති දේශපාලකයෙකු වන බන්දුල ගුණවර්ධනගේ නිෂ්පාදනයක් ලෙස එළිදකින විට.

Thursday, August 13, 2020

Princess of Thieves (2001)

රොබින්හුඩ් තේමා කරගෙන නිර්මාණව වුණ ටෙලිනාට්
ය චිත්රපට කාටුන් වැඩසටහහන් ගණනාවක් මම බලල තියනව. නමුත් ඒ හැම නිර්මාණයක් අතරින්ම වැඩියෙන්ම හිතට වදින්නෙ පුංචි කාලෙ ඉදන් ජාතික රූපවාහිනියේ සිංහල උපසිරැසිත් එක්ක බලපු ෂර්වුඩයේ රොබින් කතා මාළාව. සමහරවිට ඒක මුළින්ම බලපු නිසා වෙන්න ඇති. රොබින් හුඩ් ගෑවෙන අනෙක් හැම නිර්මාණයක්ම ෂර්වුඩයේ රොබින්හි පවත්න කතා තේමාව සහ චරිත ස්වභාවයන් අනුව කියවීමට පෙළඹීමේ අගතියට මම නතු වෙලා තියනව.

මේ චිත්රපටයේ රොබින්හුඩ්ට දෙන ප්රවේශය වෙනස් එකක්. එතනදි රොබින්හුඩ් ලයන්හාට් රිචඩ් රජුගෙ විශ්වාසවන්ත සේවකයෙක්. රිචඩ් රජු තමන්ගෙ ඇවෑමෙන් එංගලන්තයේ කිරුළ සදහා නම් කරන පිලිප් කුමාරයාගෙ ආරක්ෂාව සම්බන්ධයෙන් පවා ඔහු විශ්වාසය තියන්නෙ රොබින්හුඩ් කෙරෙහි.

රජතුමාගේ බාල සහෝදරයා ජෝන් කුමාරයා නොටිංහැම්හි ෂෙරිෆ් සමග එකතු වෙලා ප්රංශයේ සිට එංගලන්තය බලා එන පිලිප් කුමාරයාව ඝාතනය කරන්නටත් ඉන්පසු කිරුළ තමන් සතු කරගන්නටත් උත්සාහ කරනව. කතාව දුවන්නෙ ඔය සන්දර්භය ඇතුලෙ.

එතනදි කලින් රොබින්හුඩ් කතා වල නොඉදපු ආකර්ශනීය චරිතයක් කරළියට ගේනවා. ඒ තමයි රොබින්ගෙන් මැරියන්ගෙයි දියණිය වන ලොක්ස්ලිහි ග්වෙන්. ඇගේ චරිතයට පණ පොවන්නෙ Keira Knightley. දැනටත් වඩා ඇගේ හොදම නාඹර වයසෙදි මේ චරිතය නිරූපණය කරල තියෙන්නෙ. බලා ඉන්න ලස්සනයි.

කතාවෙ තියෙන්නෙ නම් සුපුරුදු වැඩවසම් වීරත්වයම තමයි. රජවරු හදන එකෙන් සාමාන්ය ජනතාවට සැළසෙන යහපත බොහොම ටිකයි. ඒත් අතීතයේ ඉදන් මේ දක්වාම රජුන් තනන එක ලේ වලටම දැනෙන ආතල් වැඩක්. ඒ ගැන කතා අහන එක කියවන එක චිත්රපටි බලන එකත් ඒ වගේම ආතල්. හැබැයි ඒ හැම කතාවකම ගොවියෝ කම්කරුවො රජුන් තැනීම සදහා ජීවිත පරිත්යාගයෙන් ඉස්කෝප්ප මුල්ලු අලවංගු අතේ අරගෙන ආයුධ සන්නද්ධ හමුදාවක් එක්ක සටන් කරල රජාව දිනවලා ඒ රජාට ආයුද දීල සන්නද්ධ කරල අත් පස්ස පැත්තේ පිහදාගෙන ආපහු ගෙදර යන්නෙ තමන්ගෙ සුපුරුදු දුක්බර ජීවිතේට. ඇත්ත කතන්දරේ ඕක වුණාට අවුරුදු සිය ගාණක් තිස්සෙ මානව වර්ගයා තවම ආස කරන්නෙ වඩා හොද ක්රමයක් හදනවට වඩා ප්රතාපවත් රජෙක් හදන්න. ඒක සාමාන්ය මිනිසාගෙ සමස්ථ දෘෂ්ටියෙන් ගත්තාම හරි මෝඩ බලාපොරොත්තුවක් / ආසාවක් වුණත් ඒකෙ තියන සතුට ත්රාසය පොඩ්ඩක්වත් අඩු වෙන්නෙ නෑ. මේ කතාවෙත් මුළ ඉදන් අගටම ඒ හැගීම තදින්ම දැනෙනවා.

පිලිප් ඉදිරියට එන්නෙ සාමාන්ය මිනිසුන්ගේ උදව්වෙන්. පිලිප්ව ඉදිරියට ගේන රොබින් ග්වෙන් වගේ සාමාන්ය මිනිස්සුන්ට එතනදි ව්යාජව දැනෙන අර ශ්රේෂ්ඨ අරමුණක් වෙනුවෙන් කැපවෙනවයි කියන හැගීම මේ චිත්රපටය නරඹන්නාටත් නොඅඩුව දැනෙනව. අන්තිමට රොබින්ට රාජසබාවෙ උපදේශක කමක් හම්බ වෙනව. දැන් වගේමයි. අවසානය දක්වාම හිතෙන්නෙ පිලිප් කුමාරයයි ග්වෙනුයි කසාද බදියි කියල. නමුත් රජතුමාගේ රාජකීයත්වයත් ග්වෙන් සාමාන්ය කෙනෙක් වීමත් කියන කරුණ දෙන්නම තේරුම් අරන් පැත්තකට වෙනව.

එතනදි එක අතකට බලාපොරොත්තු කඩවෙනව වුණත් මේ චිත්රපටියත් රොබින්හුඩ් තේමාවෙ ආපු විවිධාකාර චිත්රපටි අතරේ හොයාගෙන බලන්න වටින තවත් එකක් විදියට මතකයේ රදවාගන්න මම කැමතියි.

Sunday, August 9, 2020

මහින්ද වෙන්නට හදන සජිත්

2015 මහින්ද රාජපක්ෂ පරාජය වීමෙන් පසු එය ඔහුට සහයෝගය දුන් පාක්ෂිකයන්ට විශාල කම්පනයකට හේතුවක් විය. ජනතාව බස් පිටින් ඔහු බලන්නට මැදමුලන නිවසට ගියේය. ඒ කම්පනය හරහාම ඒකාබද්ධ විපක්ෂය බිහිවී එය ක්‍රමයෙන් පොහොට්ටුව බවට රූපාන්තරණය විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරග වැදුණු 2015 මහ මැතිවරණයෙන් පරාජයට පත්වුවද ඉන්පසු එළඹි පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද වාර්තාගත ජයග්‍රහණයක් අත් කරගන්නට පොහොට්ටුව සමත් විය. මෙම ජයග්‍රහණය පසුපස තිබූ විවිධ හේතු ගැන විවිධ අය විවිධ මත පළකරත් මට පෙනෙන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ සාධකය කෙරෙහි ජනතාව තබන ලද අසීමිත විශ්වාසය මෙන්ම මහින්ද රාජපක්ෂ සාධකයට ඇති ආදරයද එම ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන්ම හේතු සාධක වී ඇත.

මිනිසුන් සමාජ ප්‍රවණතා වලින් පාඩම් උගනිති. මහින්දගේ දෙවැනි නැගිටීම පාඩමක් කරගනිමින් ඔහු ගත් මගට බොහෝ සමාන ලක්ෂණ පෙන්වන මගක් ඔස්සේ නැගී සිටීමට එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස පාර්ශවය හෙවත් සමගි ජන බලවේගය උත්සාහ දරණ බව පෙනී යයි. ඔහුගේ අරමුණ සජිත් තවත් මහින්ද කෙනෙකුට ඇද ටෙලිෆෝනය තවත් පොහොට්ටුවකට අන්දවා ඒ ඇදුම් වලට මුවා වී ලබාගත හැකි ජයග්‍රහණයක් බව පෙනේ. මෙය දේශපාලනික වශයෙන් ඉතාම දුර්වල සහ ළාමක උපක්‍රමයකි. එහිදී මහින්ද පරාජය වූ අලුත ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් පෙන්වූ ඇතැම් හැසිරීම් ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීමට පවා සජිත් පාර්ශවය කටයුතු කරන බව ඉතා පැහැදිලිව පෙනෙන කරුණකි.

එහිදී ප්‍රධාන පක්ෂයෙන් කැඩී වෙන්වීම නව නමක් සහ ලකුණක් භාවිත කිරීම මහින්ද මෙන් හැකි තරම් ජනතාව අතර පෙනී සිටීමට උත්සාහ කිරීම වැනි මහින්ද සුළගේ මතුපිටින් පෙනෙන බොහෝ ලක්ෂණ ඔවුන් ගුරුකොටගනිමින් සිටින බව පෙනී යයි. ඊට අමතරව නිසි කළට පක්ෂ නායකත්වය භාර නොදී දේශපාලන ස්මීගොල්වරයෙකු බවට පත්වූ රනිල් වික්‍රමසිංහට විවේචනයේද හැඩයන් දෙකක් හදුනාගත හැකිය. පළමු හැඩය නම් ඔහු නිසි අවස්ථාවේ දෙවැනි පෙළට නායකත්වය භාර නොදී අර්බුදයක් නිර්මාණය වන තැනට කටයුතු කිරීමය. දෙවැනි විවේචනය ඔහුගේ නායකත්වය යටතේ වසර හතරක පමණ ආණ්ඩු බලයක් පැවැතියද ඒ කාල සීමාවේදී එජාප පාක්ෂිකයාට නොහොත් යූ.එන්.පී කාරයාට සැළකීමට ඔහු අසමත් වීම පිළිබදව ඇති විවේචනයයි.

පළමු විවේචනය කෙසේ වෙතත් දෙවැනි විවේචනය දේශපාලනික වශයෙන් ඉතාමත්ම පසුගාමී දුප්පත් විවේචනයක් බව කිව යුතුය. පක්ෂයක් බලයට පත්වූ පසු පාක්ෂිකයන්ට සැළකීම ශ්‍රී ලංකාවේ දේශපාලන හුරු පුරුද්ද බව සැබෑය. නමුත් එය ඉතාම අවර ගණයේ දේශපාලන පුරුද්දකි. පිටු දැකිය යුතු හා එක්වරම බැරිනම් ක්‍රම ක්‍රමයෙන් හෝ බැහැර කළ යුතු ලක්ෂණයකි. එබැවින් සටන් පාඨයක් ලෙස බලයට පත්වූ පසු පාක්ෂිකයන්ට සැළකීම යන කරුණ ජනගත කිරීමෙන් පෙනී යන්නේ දේශපාලනයේ ඉදිරි ගමනේ ඇති අදුරු බව පිළිබදව පෙරනිමිති වේ.

ජේ.ආර්. ජයවර්ධන අඩුපාඩු සහිත වුවද ඉතාම උපක්‍රමශීලී පාලකයෙකි. ඔහු තමාට ලැබුණු හයෙන් පහක බලය තම බලය අපරිම වන ආකාරයෙන් භාවිත කළේය. ඊට අමතරව ග්‍රාමීය දේශපාලනය තුලද උපක්‍රමිකව ඉතා ශක්තිමත් බලකණු ස්ථාපිත කළේය. එනම් ගම් මට්ටමෙන් ඇති හැකි සහ ජනතාවට බලපෑම් කළ හැකි පුද්ගලයන් හදුනාගෙන ඔවුන් තව තවත් බලවත් කිරීම මගින් ඔවුන්ගේ සහ ඔවුන් වටා ඔවුන් සෙවණේ සිටි පුද්ගලයන්ගේ අඛණ්ඩ සහයෝගය එක්සත් ජාතික පක්ෂයට දිගින් දිගටම ලැබෙන බවට ඔහු වගබලාගත්තේය. එය ග්‍රාමීය ධනපති පෙළක් නඩත්තු කිරීම මගින් ඇතිකරගත් වාසිදායක වටාපිටාවකි.

එකල ගම් මට්ටම පිළිබදව සළකන කල එජාපය ඇතිහැකි සාම්ප්‍රදායික ධනපතියන්ගේ සහ ඔවුන්ගේ හෙංචයියන්ගේ පක්ෂය වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උගත් පහළ මැද පංතියේ සහ දුප්පතුන් වැඩි වශයෙන් ආකර්ෂණය වූ ස්ථානයක් විය.

නමුත් ගම් මට්ටමින් ඉතා බලවත් එජාප පාක්ෂික පතාක යෝධයන්ගේ බලපෑමෙන් ශ්‍රීලනිප පාක්ෂිකයාට බොහෝදුරට මුළු ගැන්වුණු ජීවිතයක් ගෙවීමට සිදුවිය. මෙම සම්ප්‍රදාය සැළකිය යුතු ලෙස වෙනස් කරන්නට උත්සාහ කළේ රණසිංහ ප්‍රේමදාසය. ඔහු පිළිබදව දහසකුත් එකක් විවේචන ඇතත් එජාපය වැනි අතිශය කුලවාදී පක්ෂයක ඉහළ මට්ටමේ නායකයන්ගේ ඉණිමං නොමැතිව ස්වෝත්සාහයෙන් ඉහළටම නැග ජාතික නායකත්වය අත්පත් කරගැනීමට ඔහු සමත් වීම ඔහුගේ දක්ෂතාවයේ තරම කියා පායි.

මහින්ද රාජපක්ෂ දෙස ප්‍රවේශමෙන් බැලීමේදී ඔහුගේ බොහෝ ක්‍රියාකාරකම් සදහා ජේ.ආර්. ජයවර්ධන ගුරුකොට ගෙන ඇති බව පෙනී යයි. මහින්ද පාලන සමයේදී එජාපය සතුව තිබූ ග්‍රාමීය ධනපති පංතියෙන් සැළකියයුතු කොටසක් පදාස පිටින් කඩා තමන් සතු කරගැනීමට ඔහු සමත් විය. එම පිරිසට අමතරව තමාට ඉතා පක්ෂපාතී වූ තැනැත්තන්ට ග්‍රාමීය මට්ටමෙන් නව ධනපති පංතියක් ලෙස ගොඩනැගීමට අවස්ථාවන් ඔහු නොමසුරුව සළසා දුන්නේය. එබැවින් මේ මොහොත වන විට එදා ජේ. ආර් සතුව තිබූ ග්‍රාමීය ධනපති ආධිපත්‍යය සහ ඒ සෙවණේ වැඩෙන හෙංචයි ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම පාහේ මහින්ද සතුය. ඊට අමතරව යුද්ධය කාලසීමාවේදී සාම්ප්‍රාදියක ආර්ථික නිම් වළළු බිදගෙන නැගී සිටි දුගී දුප්පත් පන්තියේ මෙන්ම යුධ ජයග්‍රහණයෙන් ඔද වැඩුණු සහ ජාතිවාදී චින්තනය තම දේශපාලනයේ මූලික හරය කොටගත් පිරිසක්ද මහින්දගේ ස්ථාවර ඡන්ද පදනමට අයත්ය.

නමුත් මෙකී ස්ථාවර ඡන්ද පදනම 2015දීද මහින්දගේ වාසියට නොවෙනස්ව පැවැතුණි. ග්‍රාමීය මට්ටමින් බස්රථ කුලියට ගෙන පැරදුණු මහින්ද බලන්නට ගියේ මෙම ස්ථාවර ඡන්ද පදනමට අයත් මිනිසුන් වේ. මහින්ද පරාජය වූයේ එම ස්ථාවර ඡන්ද පදනම ඉතාමත් ශක්තිමත් මට්ටමක කිසිසේත් නොඅඩුව තිබියදීය. මෙම දේශපාලන වාතාවරණය ඉතාම හොදින් කියවා ගැනීමට රාජපක්ෂ කදවුරේ දේශපාලන උපක්‍රමාචාර්යවරයා වන බැසිල් රාජපක්ෂ සමත් විය. ඔවුන්ගේ ග්‍රාමීය ඡන්ද බදනම කොහොමටත් නොවෙනස් බවත් ආමන්ත්‍රණය කිරීම කළ යුත්තේ මධ්‍යස්ථ මතධාරී පාවෙන ඡන්ද පදනමට බවත් ඔහු මැනවින් වටහා ගත්තේය. ඒ සදහා උපක්‍රම සකස් කළේය. වියත්මග, එළිය, සිංහලේ, රාවණා බලය වැනි සංවිධාන වල සිට ඉරාජ්ගේ මියුසික් වීඩියෝ දක්වා ස්ථර ගණනාවකින් පුළුල් පරාසයක් ආවරණය කරමින් එළි දකින්නේ මධ්‍යස්ථ මතධාරී පාවෙන ඡන්ද පදනමට බැසිල්ගේ ආමන්ත්‍රණයයි. එම උපක්‍රමය කෙතරම් සාර්ථක වීද යත් පරාජයේ පසුගාමීත්වයේ සිට අති විශිෂ්ට ජයක් දක්වා ඔවුන් ඔසවා තබන්නට සමත් විය. 

 

මෙය පිටින් බලා සිටි සජිත් ප්‍රේමදාස මහින්ද සුළගේ උපක්‍රමික වටිනාකමකින් යුතු කොටසින් ග්‍රහණය කරගෙන ඇත්තේ කොපමණ සුළු ප්‍රමාණයක්ද යන්න මේ අනුව පෙනී යයි. එය සජිත්ගේ සාමාන්‍ය චර්යාව අනුව පුදුමයට කරුණක්ද නොවේ. ඔහුට ඔහුගේම වූ දේශපාලන දැක්මක් වැඩපිළිවෙලක් ඇති බවක් අද වනතුරු සාමාන්‍ය ජන මනසට කාවදින ලෙස සන්නිවේදනය කිරීමට අසමත් වී ඇත. ඒ වෙනුවට දුගී දුප්පත් ජනතාව ඉලක්ක කරමින් තම පියා විසින් මීට වසර 30කටත් එපිටදී දියත් කරන ලද ව්‍යාපෘති ඒ හා සමාන මුහුණුවරින් යුතුව නැවත ජනතාවට දෙන්නට උත්සාහ කිරීම තම ජය මාවත බව ඔහු කල්පනා කළේය. මහින්දගේ ක්‍රමයෙන් පමණක් නොව රණසිංහ ප්‍රේමදාසගේ ක්‍රමයෙන්ද සජිත් ගත්තේ මතුපිට පෙනුම පමණි.

රණසිංහ ප්‍රේමදාස එකළ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස නිවාස ප්‍රශ්නය හදුනා ගන්නා ලදී. ඒ හරහා ගම්උදාව යෝජනා ක්‍රම මගින් සැළකිය යුතු පිරිසකට මහත් සෙතක් සැළසුණ බවද ඇත්තය. නමුත් වර්තමාන ජන මනසට අනුව නිවාස ප්‍රශ්නය යනු ප්‍රමුඛතා අතර තුන්වැනි හතරවැනි ස්ථාන වල තිබෙන්නකි. එපමණක් නොව අසූ ගණන්වල මොඩලයේ ගිනි පෙට්ටි ගෙවල් වර්තමානයට කෙතරම් දුරකට ගැලපේද යන ප්‍රශ්නයද මතුවේ. ඒ අනුව හුදෙක් ජනතාවට නිවාස දෙනබව හෝ රුපියල් 20000ක් නොව මාසිකව ලක්ෂයක් දෙන බව පැවසුවද වර්තමාන ජන මනස එයට සංවේදීතාවය දක්වන්නේ අඩුවෙන් බව සජිත් වටහා ගත්තේ නැත. ඒ යෝජනා ක්‍රම වල ප්‍රායෝගික හරය විශ්ලේෂණයට වඩා ඔහුගේ කැමැත්ත වැඩි වශයෙන් තිබුණේ පියාගේ අඩි පාරේ යන පුතෙකු බව පෙන්වීම කෙරෙහි බව ඉතා පැහැදිලිව පෙනේ. රණසිංහ ප්‍රේමදාසගේ අඩිපාර යන්නෙන් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් සැළකිය යුතු කොටසක් බියෙන් සලිත වන්නේය යන යටපත් කළ නොහැකි කරුණද සජිත් එහිදී නොසළකා හැර තිබිණ. තවදුරටත් නොසළකා හරිමින් සිටී.

මහින්ද රාජපක්ෂ වුවද මහා දැක්මක් සහිත මහා දක්ෂයෙකු නොවේ. නමුත් ඇතැම් කාරණා විෂයෙහි තමන්ගේ නොදන්නාකම දැනගැනීමට තරම් නිහතමානී වූවෙකි මහින්ද. ඔහු සමග සමීපව වැඩ කළ බොහෝ දෙනෙකුගේ අත්දැකීම් අනුව යම් වැඩපිළිවෙලක් යම් අයෙකු විසින් මහින්දට ඉදිරිපත් කළ විට එය හොද සාධනීය වැඩපිළිවෙලක් බව මහින්දට පෙනී යයි නම් එය ඉදිරිපත් කළ පුද්ගලයාට එය කරගෙන යාමට අවශ්‍ය ශක්තිය මහින්ද ලබාදෙයි. එහි ප්‍රශ්නයක් මතුවුවහොත් තමාට කියන ලෙස පවසයි. මහින්දගේ මෙම නිහතමානී ගුණය වඩ වඩාත් ශක්‍යතා පූර්ණ පිරිස් ඔහු වටා ගොණු කිරීමට සමත් විය. ඒ අති දක්ෂ පිරිස් විසින් සහ මාධ්‍ය විසින් මහින්දව දැවැන්ත දේශපාලන පෞරුෂයක් ලෙස ඔසවා තැබිණ.

රටේ දේශපාලන බලය ලබාගැනීම ඉලක්ක කර සජිත් මහින්දගෙන් ඉගෙනීම හොද ප්‍රවණතාවයක් ලෙස කෙනෙකුට පෙනිය හැකිය. නමුත් එසේ ඉගෙනිය යුත්තේ මහින්දගේ පිට පෙනුමේ ඇති හැසිරීම් රටා හා ලක්ෂණ නොවේ. එහි ඊට වඩා අති විශාල ගැඹුරක්ද බැසිල් රාජපක්ෂ නැමති දේශපාලන සැළසුම්කරුවාගේ සුවිශාල භූමිකාවක්ද තිබෙන බව වටහා ගත යුතුය. විසි එක්වැනි සියවසේදී තමන් ශ්‍රේෂ්ඨයෙකුගේ කාබන් කොපියක් බව පෙන්වීම සාර්ථකත්වය ලැබීමට ප්‍රමාණවත් වන්නේ නැත. තමන්ට ආවේණික වූ සාධනීය ලක්ෂණ පිළිබදව ජනතා ප්‍රසාදය දිනා ගැනීම වෙනම කලාවකි. එය සජිත් ප්‍රේමදාස හරිහැටි වටහාගෙන ඇති බවක් තවම පෙනෙන්නට නැත.

මෙහි ඇති භයානකම තත්වය එය නොවේ. ලොව ඕනෑම ජනප්‍රිය පාලන තන්ත්‍රයක් කාලයත් සමග කල් ඉකුත් වෙයි. ගෝඨාභය සහ මහින්ද ප්‍රමුඛ පොහොට්ටු බලවේගයද එසේම දිනෙක කල් ඉකුත් වීම අතිශය ස්වභාවික සංසිද්ධියකි. එවන් අවස්ථාවක රටේ විපක්ෂයේ ප්‍රමුඛතම කණ්ඩායමට වැඩි අවධානයක් ලැබීම සහ ජයග්‍රාහී මාවතක් සැකසීම නිතැතින්ම සිදුවන්නකි. මීළගට එසේ මාවතක් සැකසෙන අවස්ථාව වන විට විපක්ෂයේ ප්‍රමුඛයා සජිත් ප්‍රේමදාස වී ඔහු තමා ජීවිතයේ දුටු දේශපාලන නායකයන්ගේ මතුපිට හැසිරීම ඇග ගාගත් අයෙකු වී නම් රටක් ලෙස ඊළගට මුහුණ දෙන්නට සිදුවන ඉරණමේ අභාග්‍ය සම්පන්න ස්වභාවයට අටුවා ටීකා අවශ්‍ය නොවේ.

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...