Tuesday, September 15, 2020

අපේ රිලව් අපිටම දීම

 


මෙය බොහෝ දෙනෙකු දන්නා කතාවක් විය හැකියි. නමුත් එය නොදන්නා අය වෙනුවෙන් ලියා තැබිය යුතුමයැයි මා සිතනවා. මන්ද එය මේ විපරීත සමාජ හැසිරීම වටහා ගැනීමට ශක්තිමත් ආකෘතික විග්‍රහයක් ඉදිරිපත් කරන නිසා.

ඔන්න වනාන්තරයක් අසළ පිහිටි එක්තරා ගමකට නගරයෙන් යැයි කියමින් අමුත්තෙකු ආවා. ඔහු තමාව හඳුන්වා ගත්තේ වෙළෙන්දෙකු ලෙස. ඔහු ගැමියන්ට අපූරු ව්‍යාපාරික අවස්ථාවකට ආරාධනා කළා.

"මම ලබන සතියේ ආයෙත් එනවා. උඹලාට හැකි තරම් රිලවුන් අල්ලා තබාපල්ලා. මා එක රිලවෙක් රුපියල් 1000 බැගින් මිළට ගන්නවා"

ගම්මු ඒ කතාව අහලා ඊළඟ සතිය වන විට රිලවුන් විශාල ප්‍රමාණයක් අල්ලා තැබුවා. පොරොන්දු වූ ලෙසම වෙළෙන්දා පැමිණ එක රිලවෙකුට රුපියල් 1000 බැගින් ගෙවා රිලවුන් සියල්ල මිළට ගත්තා.

"දැන් රිලවුන් බොහොම හිඟයි. ඉදිරියට තව මිළ වැඩිවෙයි. ඊළඟ සතියෙත් මම එනවා. රිළවුන් හැකිතරම් අල්ලා තබන්ට. මට නොවැරදීම මීට වඩා වැඩි මිළකට උන් ඔක්කොම ගන්ට පුළුවන්"
එසේ කියූ වෙළෙන්දා මිළදී ගත් රිලවුන් අරගෙන පිටවී ගියා.

ගම්මු ආයෙත් මහන්සි වෙලා රිලවුන් 5ක් පමණ අල්ලා ගත්තා. ඊට වඩා අල්ලන්න රිලවුන් සිටියේ නෑ. අහළ පහළ ගම වලටත් මෙය ආරංචි වී ඔවුන්ද කැලෑ පීරමින් රිලවුන් අල්ලන්නට වුණා. කෙසේ හෝ ඔවුන්ට අල්ලා ගැනීමට හැකි වූයේ රිලවුන් උපරිම 10ක් පමණයි.

පොරොන්දු වූ විදියටම වෙළෙන්දා ඊළඟ සතියේ ආවා. රිලවුන් සිටින්නේ 10ක් පමණක් බව දැක ඔහු බොහෝ කණගාටු වූ බවක් පෙනුණා.

"දැන් රිලවුන් බොහොම හිඟයි. මම මේ එක රිලවෙක් රුපියල් 3000 බැගින් මිළට ගන්නම්. අනේ පුළුවන් නම් තව රිලවුන් සොයා තියන්ට. මම තව සති දෙකකින් එනවා. එකෙක් රුපියල් 10000 බැගින් වුණත් ගන්ට මම සූදානම්"
එහෙම කියූ වෙළෙන්දා රිලවුන් 10 දෙනා රැගෙන පිටවී ගියා.

අහල ගම් හතටම දෙබරෙට ගල් ගැසුවා වගෙයි. හැමෝම පිස්සුවෙන් මෙන් කැලෑ පීරමින් රිලවුන් සොයන්නට වුණා. නමුත් අල්ලන්නට තවත් රිලව් ඒ අවට වනාන්තරයේ ඉතිරි වෙලා හිටියේ නෑ. ගම්මුන්ට මහා අවාසනාවන්ත හැඟීමක් දැනෙන්ට වුණා.

සතියකට පසු තවත් අමුතු වෙළෙන්දෙක් ගමට ආවා. ඔහුගේ ලොරිය පිරෙන්නට හිටියේ සිය ගණනක් රිලව්.

"එක රිලවෙක් රුපියල් 5000යි"
ඔහු ගම්මුන්ට කීවා. ⁣මේක ටිකක් සැක සහිත වෙළඳාමක් වුණත් ඊට පසු සතියේ එන රිලව් මිළදී ගන්නා වෙළෙන්දාට එකෙක් රුපියල් 10000 බැගින් විකිණිය හැකි යැයි සිතමින් ගම්මු පොර කකා රිලවුන් මිළට ගත්තා. අන්තිමට රිලව් වෙළෙන්දා තමන් ගෙනාපු රිලව් ඔක්කොම ඒ ගමේ මිනිස්සුන්ට විකුණලා පිටත් වෙලා ගියා.

මිනිස්සු තමන් ගත්තු රිලව් ටික තියාගෙන ඊළඟ සතියෙ රිලව් මිළට ගන්න වෙළෙන්දා එනකල් බලාගෙන හිටියා. සතියක් ගෙවුණා. දෙකක් ගෙවුණා. ඒත් රිළව් ගන්න කිසිම වෙළෙන්දෙක් ආය කවදාවත් ඒ ගමට ආවෙ නම් නෑ.

අපේ බොහොම දෙනෙකුට සමාජයේදි මුහුණ දෙන්ට සිදුවෙන්නෙ ඔන්න ඔහොම විපරීත අත්දැකීම් වලට. විශේෂයෙන්ම දේශපාලනයට ඕක ආදේශ කරල මේ කතාවෙ "රිලවා" කියන වචනෙට දේශපාලකයො කාලෙන් කාලෙට ඇතිකරන විවිධ "trend" හෙවත් "රැළි" (තුරුම්පු, wild card ඕන වචනයක් හරි) ආදේශ කරල බැලුවොත් ඇත්තටම හිනා යනව.

උදාහරණයක් විදියට "ජාතිවාදය" ආදේශ කරල බලමු. මුලින් දේශපාලනඥයින්ම ජාතිවාදී trend එකක් ඇති කරනවා. ඉන් පස්සෙ රටේ අවිචාරවත් මිනිස්සු ඒක තමන්ගෙ වගේ කරේ තියාගෙන දුවනවා. දේශපාලනඥයින් ඒකට පොහොර දදා ඉඳලා මොකක්හරි තීරණාත්මක වාසියක් එකෙන් ගත්ත ගමන් වැඩේ අතෑරලා දානවා. අන්තිමට බලනකොට "අපේම ජාතිවාදී රිලව්" සල්ලිත් දීලා අපිම අරන්.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...