Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Tuesday, April 14, 2020
බුන්වත් රාජ්‍යය
2019.04.05
ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහිර වගකීම් පියවීම සදහා රටේ ආදායම ප්‍රමාණවත් නොවේ. එය එසේ නොවන බවට කෙනෙකුට තර්ක කළ හැකි වුවද රටේ අතිමහත් බහුතරයක් නියෝජනය කරන මධ්‍යම පංතියේ ආර්ථික තත්වය සළකා බැලීමේදී එය මනාව පැහැදිලි වේ.
මධ්‍යම පංතියේ සියලු දෙනාම පාහේ උපයන ඉපයීම් ඔවුන්ගේ එදිනෙදා වියදම් පියවා ගැනීමට හෝ ප්‍රමාණවත් වන්නේ නැත. ඒ අනුව යම තැන්පත් ධනයක් ඇති අය එම තැන්පත් ධනය මුදල් බවට පරිවර්තනය කරගෙන ඒ හරහා මාසික ආදායමෙන් නොපියවෙන වියදම් කොටස පියවීම හෝ එවන් තැන්පත් ධනයක් නොමැති අය, තමන්ට මේ මාසයේ පියවිය නොහැකි මුදල එලෙසම හිග තබා ඉදිරි මාසයේ පියවීමේ අදහසින් ඉදිරියට යාම හෝ සිදුකරති. මේ හරහා සිදුවන්නේ එක්කෝ ක්‍රමයෙන් තැන්පත් ධනය හෝ ස්ථාවර වත්කම් දියවී යාමය. එසේත් නැත්නම් එක් එක් මාසයේ හිගහිටින මුදල් ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගොස් එය දරාගත නොහැකි බාහිර වගකීමක් බවට පත්වීමය.
මෙම තත්වය දැනට දශක තුනකට ආසන්න කාලසීමාවක් තිස්සේ සමාජයේ පහළ ස්ථර වල සිට ඉහළට වර්ධනය වීගෙන ආ ප්‍රවණතාවයකි. ඇතැම් ප්‍රදේශ වල ණය ගෙවාගත නොහැකි ගොවීන් අස්වැන්නට ගිනිතබා සියදිවි නසාගත් අවස්ථා වාර්තා වීම මෙම ක්‍රියා පිළිවෙලේම එක්තරා අදියරකදී ඇතිවූ තත්වයකි. එය එකල මධ්‍යම පන්තිය විසින් තමන්ට එතරම් බලපෑමක් නොවූ හෙයින් කෙටිකාලීන අර්බුදයක් සේ සළකා බැහැර කරන ලදී. නමුත් අද වන විට අඩු ආදායම් ලාභීන් දශක ගණනාවක් තිස්සේ මුහුණදුන් එම ගැටලුව මධ්‍යම පන්තියේ දොරකඩටද පැමිණ තිබේ.
මේ තත්වය යටතේ රජය ආර්ථික වර්ධනයය සදහා දිරිගැන්වීම් බව කියමින් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉලක්ක කර විවිධ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු පෙනේ. එය අන් කිසිවක් නොව කබලෙන් ලිපට වැටෙන පොටකි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහොමයක ඉලක්කගත පාරිභෝගික පිරිස වන්නේ නිර්ධන හා මධ්‍යම පාංතිකයන් වේ. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වර්ධනය වීමට නම් නිර්ධන හා මධ්‍යම පාන්තික පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් මිළදීගැනීම් කල යුතු වේ. ඒ සදහා ඔවුන් අත මුදල් ගැවසිය යුතු වේ. මේ දිනවල නිර්ධන හා මධ්‍යම පාන්තික ජනතාව අතර අමතර මිළදීගැනීම් සදහා තබා එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට හෝ මුදල් නැත. ඒ අනුව පෙරකී ණය යෝජනා ක්‍රම හරහා ගොඩනැගෙන ව්‍යාපාර වලින් බොහොමයකට සිදුවනු ඇත්තේ කුමක්දැයි කල්තබාම කිව හැකි වේ.
මෙම තත්වය මැනවින් වටහාගෙන තව තවත් ණය හා සහනාධාර හරහා රෝල දිවවීම භයානක බව වටහාගත යුතුය. දැඩි සහ උග්‍ර ණයබර නිර්ධන පන්තිය ගිලගෙන කලක් ගතවී ඇත. දැන් එය මධ්‍යම පන්තියද ගිලගනිමින් සිටී. සමස්ථ ශ්‍රී ලංකාවාසීන්ගෙන් 90%කටම මේ මොහොතේ ඔවුන් ලබාගෙන ඇති සහ ලබාගනිමින් තිබෙන ණය ආපසු ගෙවීමේ හැකියාවක් නැත. මෙම තත්වය කිසිසේත්ම අතිශයෝක්තියක් නොවන බව ඕනෑම දිසා අධිකරණයක රුපියල් ලක්ෂය නොඉක්මවූ ණය මුදල් අයකරගැනීමට පවරා ඇති නඩු කන්දරාව දෙස බැලූ කල පෙනී යනු ඇත. ඕනෑම මූල්‍ය ආයතනයක හෝ බැංකුවක ණය අයකරගැනීමේ නිලධාරියෙකුගෙන් ඇසූ කළ තමන්ගේ රැකියාව කෙතරම් අපහසු අමිහිරි එකක් බවට පත්වී ඇත්තේදැයි ඔහු ඔබට පවසනු ඇත.
මෙය දුගී බවේ දුෂ්ඨ චක්‍රය නොව දුෂ්ඨ දාමයකි. ආර්ථිකයේ පහළම මට්ටමේ සිට ඉහළ දක්වා සෑම පඩියකම සිටින්නන් සිටිනුයේ බරපතළ ආර්ථික හිරවීමකය. මෙය කෙටිකාලීනව සම්පූර්ණයෙන් විසදිය නොහැකි ගැටලුවකි. දිගුකාලීන මෙන්ම ස්ථාවර විසදුමක් අත්‍යාවශ්‍ය වේ. නමුත් ඒ සදහා පෙරමුණ ගතහැකි දේශපාලන බලවේග කිසිවක් මෙම අර්බුදය කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කරන්නේ නැත. එක පාර්ශවයක් මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවද අනෙක් පාර්ශවය ජාත්‍යාලය සහ ආගම්වාදය පිළිබඳවද පමණට වඩා කරපින්නාගෙන සිටිමින් ශ්‍රී ලංකාව රටක් ලෙස එදිනෙදා යැපුම් වියදම් පියවා ගැනීමට නොහැකි තත්වයක් දක්වා අධික වේගයෙන් බංකොලොත් වෙමින් සිටින්නේය යන කරුණ නොසලකා හරිති.
කිසිවෙකුට බඩගින්නේ ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදයෙන් හෝ ජාතිවාත්සල්‍යයෙන් හෝ ආගම්වාදයෙන් වැඩක් නැත. විසදුම පුද්ගලයෙකු නොව වැඩපිළිවෙලකි. එම වැඩපිළිවෙල රටේ අනාගත පාලනය භාරගන්නේයැයි කියන කිසිවෙකු මේ දක්වාම ඉදිරිපත් කර නැත. ඒ කාටත් මේ මොහොතේ කියන්නට ඇත්තේ තොපේ ප්‍රජාතන්ත්‍රවාදය ජාතිය ආගම පශ්චාද්භාගයේ ගසාගෙන යකාට පලයව් කියා පමණි.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
මංජුල සේනාරත්නගේ අබිරහස් වදන් වියමන 12.12.12 එය කියැවීමට මා ගතකල සතියක පමණ කාලය තුල සම්පූර්ණයෙන්ම මගේ සිතට අරක් ගන්නට සමත් විය. ඕනෑම රටක ...
No comments:
Post a Comment