2019.05.12
ඉස්ලාමීය ත්රස්තවාදීන් විසින් එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරයන්ට පසු
සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී ඉස්ලාම් පල්ලි සහ නිවෙස් වලින් කඩු
සොයාගැනීම බොහෝ දෙනාගේ අවධානයට සහ විවේචනයට ලක්වූවකි. ඊටත් වඩා විවේචනයට
ලක්වූයේ ඒ සම්බන්ධයෙන් මුස්ලිම් ප‍්‍රජාව විසින් ඉදිරිපත් කරන ලද සිනා
උපදවනසුළු නිදහසට කාරණාය. පසුගිය සති තුනක කාලය පුරාම කඩු පෙන්වීම ගැසට්
මැතිදුන්ගේ අණින් තහනම් වන අවස්ථාව දක්වාම ප‍්‍රවෘත්ති නාලිකා වැඩි ගණනක
ජනප‍්‍රියම අංගය වූයේ එසේ අත්අඩංගුවට ගන්නා ලද කඩුත් ඒ සම්බන්ධයෙන්
මුස්ලිම් ප‍්‍රජාව ඉදිරිපත් කරන පෙරකී උත්ප‍්‍රාසජනක නිදහසට කාරණාත්ය.
ඒ අතර එන්. එම් අමීන් නම් අයෙකු විසින් නිවෙස් වල කඩු තබාගැනීම සිරිතක්
බවත් එසේ කරන්නේ ගැහැණු දරුවන්ගේ ආරක්ෂාවට බවත් යනුවෙන් ප‍්‍රකාශ කරන ලද බව
මාධ්‍ය මගින් වාර්තා කෙරුණි. එම ප‍්‍රවෘත්තිය බැලු බැල්මට පෙනී යන්නේ අදාළ
ප‍්‍රකාශකයා අදහස් කරන්නේ කඩු නිවෙස් වල තබාගැනීම මුස්ලිම් ජාතිකයන්ගේ
සිරිතක් බවත් මුස්ලිම් ගැහැණු දරුවන්ගේ ආරක්ෂාවට කඩු තබාගෙන සිටින බවටත් වූ
මෝඩ ප‍්‍රකාශයක් ලෙසිනි.
නමුත් පසුව සම්පූර්ණ වීඩියෝව නැරඹීමේදී
පෙනී යන්නේ එය පෙර කී අර්ථය ලැබෙන පරිදි ඉතා සූක්ෂම ලෙස සංස්කරණයට භාජනය කර
ඇති බවයි. පසු අවස්ථාවකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවා නිවෙසක කඩුවක්
තිබීම සාමාන්‍ය දෙයක් බව ප‍්‍රසිද්ධ මාධ්‍යය ඉදිරියේ ප‍්‍රකාශ කරනු
දුටුවෙමි. නමුත් එය විකාශය කරන ලද්දේ එක්වරක් පමණි. එම ප‍්‍රකාශයේ අරුමයක්
කිසිවෙකු හුවාදක්වන්නට ගියේ නැත. මාලයක් හදාගෙන බෙල්ලේ ලා නටන්නට පටන්ගත්තේ
එන්.එම් අමීන්ගේ ප‍්‍රකාශය පමණි. එසේ වූයේ ඇයි? වගකිවයුතු මාධ්‍ය ආයතන එසේ
අමු හෙලුවෙන් බොරු කීවේ ඇයි?
පළමු හේතුව එන්. එම්. අමීන් මුස්ලිම්
ජාතිකයෙකු වීමය. සියලුම මුස්ලිම් ජාතිකයන් අරාබි ගෝත‍්‍රික මානසිකත්වයක්
සහිත තර්කානුකූල නොවන මූලධර්මවාදී කරුණු ඉදිරිපත් කරන කුරාණයෙන් ඔබ්බට
සියල්ල ප‍්‍රතික්ශේප කරන්නෝය යනුවෙන් හුවාදක්වන ප‍්‍රවෘත්ති වැඩි වැඩියෙන්
විකාශය කිරීම මේ දිනවල බොහෝ මාධ්‍ය ආයතන වල ජනප‍්‍රිය කරවා ඇති
ප‍්‍රවණතාවයයි. එය විකාශය කිරීමට ඔවුන් කැමතිවා සේම එය නරඹා "අරුන් කොච්චර
මෝඩයොද?" යන මාතෘකාව යටතේ සම්මුතික (සංවාදයට සහභාගි වන සියලු දෙනා ඉසව්ගත
කරුණට එකග වන) සංවාද වල යෙදෙන්නට මේ දිනවල බොහෝ දෙනා කැමතිය. මේ පිළිබදව මා
පසුව අදහස් විමසූ අය අතරින් සැළකිය යුතු පිරිසකගේ මතය වූයේ මාධ්‍ය විසින්
අදාළ ප‍්‍රවෘත්තිය විකෘති කර ඇති බව සත්‍ය වුවත් මේ මොහොතේ මුස්ලිම්
ජාතිකන්ට එසේ විකෘති කරන ලද ප‍්‍රවෘත්ති හරහා හෝ මඩගැසීම අත්‍යවශ්‍ය බවයි.
දෙවැනි සහ වැදගත්ම හේතුව එන්.එම්. අමීන් යනු මාධ්‍යවේදී අසාම් අමීන්ගේ
පියා බවට ප‍්‍රසිද්ධියට පත්වීමය. එසේ නම් අසාම් අමීන් සමග පැවැති යම්
එදිරිවාදී කමක්ද මෙයට හේතුවී ඇත.
ඒ කුමන එදිරිවාදී කමක්ද?
වර්ෂ 2018ක් වූ ඔක්තෝබර් මස 26 වැනිදා හැන්දෑ වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල
සිරිසේන විසින් එවකට සිටි අග‍්‍රාමාත්‍ය රනිල් ඉවත් කොට මහින්ද රාජපක්ෂව එම
තනතුරට පත් කරන ලදී.
එතැනින් ඇරඹි දින 52ක කාලය දේශපාලනික හා නෛතික වශයෙන්
ඉතාම රසවත් කාල පරිච්ඡේදයක් විය. එවකට පැවැති ආණ්ඩුවේ සහ එහි සාමාජිකයන්ගේ
අපමණ මෝඩකම් වංචනික ක‍්‍රියා ඇල්මැරුණු ස්වභාවය වැනි හේතූන් නිසා නීතියට
එකගව හෝ පිටින් එවැනි වෙනසක් ඇතිවිය යුතු බව විශ්වාස කළ පිරිස්ද වූ අතර
කුමන්ත‍්‍රණය හරහා බලය අල්ලන ලද කණ්ඩායමේ අභිප‍්‍රාය වූයේ එම බලය ඇල්ලීම
නීත්‍යානුකූල බවට මාධ්‍ය හරහා සමාජගත කිරීමය.
ශ‍්‍රී ලංකාවේ
සියලුම මාධ්‍ය ආයතන එම ප‍්‍රතිපත්තියට අනුකූලත්වය දැක්වූ බව රහසක් නොවේ.
අදාළ සිදුවීම ඒකපාර්ශවිකව සාධාරණීකරණය කෙරෙන මාධ්‍ය සංවාද බොහෝ සංවිධානය වූ
අතර විකල්ප මාධ්‍යකරුවන් කිහිපදෙනෙකු හැර අන් සියලුම දෙනා සිදුවූ
ව්‍යවස්ථා විරෝධී වෙනස ප‍්‍රසිද්ධියේම අනුමත කරන හෝ ඒ පිළිබදව නෑසූකන්ව
නිහඩව සිටින ප‍්‍රතිපත්තියක සිටියෝය.
විශේෂයෙන්ම කුමන්ත‍්‍රණ
ආණ්ඩුවේ මාධ්‍ය හමු වලදී පැවැතියේ මාධ්‍යකරුවන් යැයි කියන පිරිස් විසින්
ප‍්‍රකාශකයන්ට සිත්සේ පහරදිය හැකි අයුරින් එක්කෝ ෆුල්ටොස් දැමීමය. නැත්නම්
ප‍්‍රශ්න ඇසීමකින් තොරව නිකම්ම මාධ්‍ය හමුව වීඩියෝ කරගෙන ආපසු යාමය. ඒ අතර
එක් මාධ්‍යවේදියෙක් පමණක් ඔව් එක් අයෙක් පමණක් එසේ වූයේ නැත. ඔහු අසාම්
අමීන් නම් විය.
අනෙක් මාධ්‍යකරුවන් ෆුල්ටොස් දමද්දී අසාම් අමීන්ගෙන්
එල්ල වූයේ අධිවේගී යෝකර් පන්දු හෝ බවුන්සර් පන්දු වැනි මරණීය ප‍්‍රශ්න
සමුදායකි. අදාළ පෙරළියේ නීත්‍යානුකූල භාවය මෙන්ම එය සාධාරණීකරණය කිරීමට
කුමන්ත‍්‍රණ ආණ්ඩුව ඉදිරිපත්කළ හේතුද අසාම් අමීන් නොබියව ඍජුව ප‍්‍රශ්න කරන
ලදී. වැටෙනු ඇතැයි අපේක්ෂිත ෆුල්ටොස් වලට හතර වටේට පොල් අඩි තලන්නට
හිතාගෙන මාධ්‍ය හමුවලට එන දේශපාලකයන්ට හොම්බ බිම ඇණී මෝඩ සිනාවකින් යුතුව
මොකක් හෝ ගොන් කතාවක් කියා මාරු වෙන්නට සිදුවන තත්වයක් අසාම් අමීන් තනිව
ඇති කළේය.
මෙය කුමන්ත‍්‍රණකරුවන් මාධ්‍ය ඉදිරියේ මුහුණදුන් බරපතළම
අභියෝගයයි. කුමන්ත‍්‍රණය නීත්‍යානුකූල වන බව සමාජගත කිරීම සදහා ඔවුන් ගෙන
ගිය උත්සාහය සැළකිය යුතු තරමකින් ආපස්සට තල්ලු කිරීමට අසාම් අමීන් තනිව
සමත් විය. ඒ හරහා එකී කුමන්ත‍්‍රණයට සහභාගි වූ දේශපාලකයින්ටද ඔවුන්ගේ
ආධාරකරුවන් අතරින් අවිචාරවත් කොටසටද අදාළ කුමන්ත‍්‍රණයේ නීත්‍යානුකූලබව
ජනගත කිරීම භාරගත් මාධ්‍ය මුදලාලිලා ප‍්‍රධාන වශයෙන් දෙදෙනෙකුටද අසාම්
අමීන් වහකදුරු බවට පත්වීම පුදුමයක් නොවේ.
එහෙව් අසාම් අමීන්ට
කුමකින් හෝ පහරදිමට ලැබෙන අවස්ථාව පෙරකී කණ්ඩායම විසින් කිසිසේත් අත්
නොහරිනු ඇත. ඒ සදහා ඔවුන්ට තිබුණේ පුදුමාකාර කඩි කුලප්පුවකි. සූක්ෂම ලෙස
හසු නොවන ආකාරයට අදාළ වීඩියෝ පටය සංස්කරණය කිරීමකින් තොරව සමස්ථ වීඩියෝ පටය
ජනගත වීමත් සමගම අතේ පත්තු වන බව දැන දැනම එසේ කරන්නේ එකී කඩිකුලප්පුව
තුලය.
තවද අන්තර්ජාලය හා යූ ටියුබ් භාවිත නොකරන ජනතාව සත්‍ය ලෙස
භාරගන්නේ රූපවාහිනී ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය මගින් ජනගත කෙරෙන වීඩියෝව බවද
ඔවුන් දනිති. පරිඝනක සාක්ෂරතාවය ඉහළ මට්ටමක පවත්නා රටක් වුවද තවමත්
ජනගහණයෙන් වැඩි පිරිසකට අඛණ්ඩ අන්තර්ජාල ප‍්‍රවේශයක් නැත. එසේ ප‍්‍රවේශය
ඇති පිරිසගෙන්ද බහුතරයක් එක් මාධ්‍යයකින් ප‍්‍රවෘත්තියක් අසන්නට දකින්නට
ලැබුණු පසු වෙනත් මූලාශ‍්‍ර හරහා එහි සත්‍ය අසත්‍යභාවය විමසන්නට තරම්
ප‍්‍රවෘත්තිමය සාක්ෂරතාවයක් ඇත්තෝ නොවෙති. එවැනි සාක්ෂරතාවයක් තිබුණද තවත්
සමහරෙකුට ඒ සදහා කාලයක් නැත. එම සාක්ෂරතාවයන් හා කාලයද ඇති තරම් තිබෙන
මෙතැනදී කුමක් සිදුවීද යන්න ඇති සැටියෙන් දන්නා අය අතරින්ද බොහෝ දෙනෙකුගේ
මතය වී ඇත්තේ එය බොරුවක් වුවද එකී බොරුව සමාජගත කරමින් හෝ මුස්ලිම්
ප‍්‍රජාවද අසාම් අමීන් සහ ඔහුගේ පියාද යටපත් කිරීම මේ මොහොතේ ප‍්‍රමුඛ
කාර්යය බවයි.
ඒ අනුව ප‍්‍රතිශතාත්මක අගයක් ලෙස ගත්කල
ජඩමාධ්‍යකරුවන්ගේ උපක‍්‍රමය සාර්ථක වී ඇත. රටේ වඩා විශාල ප‍්‍රශ්නයක්
පවත්නා මේ මොහොතේ එම ජඩමාධ්‍ය සංස්කෘතියේ නිර්ලජ්ජිත දඩයමට එරෙහිව සමාජ
ප‍්‍රවණතාවයක් ඇති කිරීමට මට හැකියාවක් නැත. මේ මොහොතේ සමස්ථ ශ‍්‍රී ලංකා
වාසීන්ට ඊට වඩා විසදාගැනීම වැදගත් බොහෝ ප‍්‍රශ්න තිබේ.
එබැවින් මෙසේ කියා මගේ සටහන අවසන් කරමි.
"ජඩ මාධ්‍යකරුවනි මම මේ සිද්ධිය මතකයේ තබාගන්නම්. ඔබත් මතකයේ තබාගන්න මේ
රටේ සියලු දෙනා ඔබ සූප්පුව ගසා පෙවීමට තැත් කරන කුමක් වුවද බීමට තරම්
අවිචාරවත් තොත්ත බබාලා නොවන බව"
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Tuesday, April 14, 2020
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
2019.04.05 ශ‍්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
No comments:
Post a Comment