පාහියන් ගල්ලෙනේ සිදුකළ කැණීම් වලින් වසර 48000ක් පමණ පැරණි බව සැක කෙරෙන දුනු ඊතල වල අවශේෂ කොටස් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත. මෙම සොයාගැනීම ලෝක ඉතිහාසය පිළිබදව පැහැදිලි චිත්‍රයක් ඇතිකරගැනීමෙහිලා අතිශයින් වැදගත් බවට විවාදයක් නැත. කෙසේ වෙතත් මෙම සොයාගැනීම ශ්‍රී ලංකාවේ විවිධ දෘෂ්ටිවාදී කණ්ඩායම් තමන් එල්බ සිටින දෘෂ්ටිවාද ඔප්පු වීමක් ලෙස ගන්නා බවක් පෙනෙන්නට ඇත. එබැවින් මේ පිළිබදව යථාර්ථවාදී කරුණු සොයා බැලීමක් කළ යුතු වේ.
theconversation.com වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි පාහියන් ගල් ලෙනේ සිදුකරන ලද කැණීම් වලදී ගල්වලින් සත්ව ඇටකටු වලින් සහ සත්ව දත් වලින් නිපදවන ලද උපකරණ රාශියක් හමුවී ඇති අතර සත්ව අස්ථි වලින් සකස් කරන ලද අවුරුදු 48000ක් පමණ පැරණි යැයි සිතිය හැකි කුඩා ඊතල තුඩු ගණනාවක් හමුවී ඇත. එම වෙබ් අඩවියට සහ මයිකල් සී ලැංග්ලි, නොයෙල් අමානෝ, ඔෂාන් වෙදගේ, ශිරාන් දැරණියගල, එම්.එම්. පද්මමාල්, නිමල් පෙරේරා, නිකොල් බොයිවින්, මයිකල් ඩී. පෙට්‍රගිලා සහ පැට්‍රික් රොබර්ට්ස් යන අයවලුන් විසින් 2020 ජූනි 12 වැනි දිනැතිව එලිදක්වන ලද පර්යේෂණ වාර්තාව අනුව අප්‍රිකාවෙන් පිටත දුනු හී භාවිතය පිළිබදව මෙතෙක් සොයාගෙන ඇති ආදිතම සාධක මෙකී සොයාගැනීම් වේ.
අප්‍රිකාවෙන් පිටත දුනු හී භාවිතය පිළිබදව මෙතෙක් සොයාගෙන ඇති ආදිතම සාධක මෙකී සොයාගැනීම් වේ. කේ. ක්‍රිස් හර්ස්ට් සදහන් කරන ආකාරයට අනුව මානවයා දුනු ඊතල භාවිතා කිරීම පිළිබදව මෙතෙක් හමුවී ඇති සාධක අනුව මධ්‍යතන ගල් යුගයේ එනම් වසර 71000කට පමණ පෙර දුනු ඊතල භාවිතා කරන ලද බව සිතිය හැකිය. හර්ස්ට්ට අනුව අප්‍රිකාවෙන් පිටත පැරණිතම දුණු ඊතල පිළිබදව සාක්ෂි හමුවන්නේ වසර 15000-20000 අතර අතීතයෙනි.
නූතන මානවයාට පෙර හා ඇතැම් විට කියැවෙන පරිදි ඊට සමගාමීව විසූ බව කියැවෙන නියැන්ඩර්තාල් මානවයා විසුයේ වසර 40000කට පමණ පෙර බව කියැවේ. නියැන්ඩර්තාල් මානවයා විසින් ලී දඩු වලට මුවහත් ගල් කැබලි හෝ සත්ව අස්ථි කොටස් ගැට ගසන ලද පොරෝ වැනි ආයුධ භාවිතා කර තිබේ.
ශ්‍රී ලංකාවේ මීට පෙර වාර්තා වූ බලංගොඩ මානවයා ජීවත් වූ බවට සැක කෙරෙන්නේ මීට වසර 38000කට පමණ ඉහතදීය. ඒ අනුව මෙම සොයාගැනීම මානව ඉතිහාසය සම්බන්ධයෙන් විප්ලවීය සොයාගැනීමක් වන්නේ අප්‍රිකාවට පිටතින් ශිෂ්ටාචාරගත ලක්ෂණ සහිත මානවයෙකු පිළිබදව වාර්තා වන ආදිතම අවස්ථාව වීම මත වේ. එය ලෝක මානව ඉතිහාසයේ පියමං සළකුණු ශ්‍රී ලංකාවේද සටහන් වී ඇති බවට සාධකයකි.
රාවණා රජු ජීවත් වූයේ නම් එසේ ජීවත් වූ බව සිතිය හැක්කේ ක්‍රිස්තු පූර්ව 5224 සහ 5104 අතර කාලයේදීය. කෙසේ වෙතත් රාවණා යුගයේ පැවතියේ යැයි ඇතැම් අය ප්‍රකාශ කරන අති දියුණු තාක්ෂණයක් පිළිබදව පිළිගත හැකි සාධක කිසිවක් තවමත් හමුවී නැත. මෙම සොයාගැනීම මත පවා හෙළිදරව් වන්නේ ලෝකය දැනටමත් දන්නා මධ්‍යතන ගල් යුගය පිළිබදව ශ්‍රී ලාංකීය කතාන්තරය මිස රාවණාවාදයට උදව් දෙන කිසිවක් ලෙස ගැනීම සම්පූර්ණයෙන්ම නොමග යවන සුළු වේ.
එපමණක් නොව වසර 48000කට ඉහත අවි ආයුධ පිළිබදව සාධක හමුවන රටක වසර 7000කට ඉහත විසූ විභූතිමත් රජෙකුගේ සුපිරි රාජ්‍යයක් සනාථ කරන කිසිදු සාධකයක් හමු නොවීමෙන් රාවණාවාදය ප්‍රලාපයක් ප්‍රබන්ධයක් කොට පසෙකට තල්ලු කෙරෙන බවටද කෙනෙකුට තර්ක කළ හැකිවේ.
වටිනා ලියමනක්
ReplyDelete