"අහවලා මැරුණ දවසේ බස්සෝ කෑගැහුවා, නරි හූ කිව්වා, උලමා හැඬුවා, පූසෝ කෑගැහුවා. සත්තුන්ට අවාසනාවන්ත දෙයක් වෙන්න තියනකොට කලින්ම ඒවා දැනෙනවා. පැරැන්නෝ නිමිති කීවේ සොබාදහමේ ඔය සංඥා මත. බලන්න ඒක කොයිතරම් විද්‍යාත්මකද? ෂෝක්ද? මාරද?" කියන කතාව ගොඩක් දෙනෙක් අහලා ඇති.
මරණයක් වුණාම පරිසරයේ සාමාන්‍යයෙන් වෙන දේවල් අතරින් මූසල, අවාසනාවන්ත දේවල් highlight කරගැනීම මනෝ මායාවක්. හිත සතුටින් තියෙන වෙලාවක ලෝකයම හිනා වෙනවා වගේ පේනවා. දුකින් බයෙන් තියන වෙලාවට ලෝකයම අඬනවා ඔරවනවා වගේ පේනවා.
ඒත් ඇත්ත දේ සතුටුදායක දෙවල් සහ අසතුටුදායක දේවල් වෙනසක් නැතුව ලෝකෙ සිද්ධ වෙනවා. අපි ඒ මොහොතේ ඉන්න මානසික මට්ටම අනුව අපිට click වෙන්නේ අපේ මානසිකත්වයට සමගාමීව යන දේවල් පමණයි.
දුකින් ඉන්න වෙලාවක මහ සතුටින් හිනා වෙන කෑගහන කෙනෙක් දැක්කොත් ඒක අපි නොදැනීම කරදරකාරී සහ අවස්ථාවට නොගැලපෙන දෙයක් විදියට නාමකරණය කරගෙන බැහැර කරනවා.
ඕක තේරුම් ගන්න සරළ පර්යේෂණයක් අපටම කරගන්න පුළුවන්. රෝහලක උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයාගේ කාර්යාලයට ගිහින් බැලුවොත් උප්පැන්නයක් ලියාපදිංචි කරගන්න යන අය ඉන්නෙ ලොකු සතුටකින්. එයාලා එතන වැඩ කරන අයටත් හිනා වෙලා කතා කරල සතුට බෙදාගන්නව. ඇතැම් වෙලාවට බිස්කට් එකක්, බනිස්, බීම වගේ දේවලුත් ගිහින් දෙනව. රස්තියාදු නොවී වැඩේ කරගත්ත කියලත් හිතෙනව. නමුත් මරණයක් ලියාපදිංචි කරන්න යන අය එතන මහ හයියෙන් කවුරුහරි හිනා වුණත් බලන්නෙ තරහින්, නොරිස්සුමකින්. වැඩේට ගත කරන්න වෙන කාලය වුණත් මහා රස්තියාදුවක් විදියට එයාලට දැනෙනව. ඒක ඒ ඒ අවස්ථාවෙ චිත්ත ස්වභාවය අනුව සමාජයේ බාහිර හැසිරීම් අපි ගෝචර කරගන්න විදිය මිසක් අමුතු දෙයක් නෙමෙයි.
නමුත් වැස්සක් කුණාටුවක් එනකොට කුරුල්ලො ආදී සතුන්ගෙ හැසිරීම වෙනස් වෙනව. එයට හේතුව ඔවුන්ගෙ දෘෂ්ටි ශ්‍රවණ සහ ආග්රහණ ඇතුලු සංවේදන පරාසය අපිට වඩා පුළුල් එකක් වීම. අනෙක වැස්සකදි කුණාටුවකදි ඇතිවන උඩු සුළගේ වෙනස උන්ට ස්වභාවිකව දැනෙනව. ඒ නිසා ඔවුන් වැස්සෙන් කුණාටුවෙන් ඈතට පියාඹනව. රංචු වශයෙන් ඉන්න උන් එක පැත්තකට යද්දි අනිත් උනුත් ඒ පැත්තටම යනව. ඒක රංචුවාසී සතුන්ගෙ හැටි. අපිත් උඩු සුළඟ ඇගේ වදින දුර පේන තැනක හිටියනම් අපිත් එහෙම හැසිරේවි.
දැනටත් සාමාන්‍යයෙන් වැස්සකට දවස ලෑස්ති වෙනකොට ඇතිවෙන පාරිසරික වෙනස්කම් ගැන දන්න කෙනෙකුට වැස්සක් එනවා කල් ඇතිව කියන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම ස්වභාවික දෙයක් මිස අද්භූත මුකුත් නෑ. අනික එහෙම අනාවැකි වැරදුණත් වෙන හානියකුත් නෑ. "වැස්සක් එනවා" කියල වැස්සක් ආවොත් "මං කීවෙ" කීහැකි. නාවොත් 'වැස්ස හුළඟට වෙන පැත්තකට යන්න ඇති" කීමෙන් හෝ ඒ ගැන මුකුත් නොකියා සිටීමෙන් කතාව ඉවර වෙනවා.
ඒත් සත්තුන්ගෙ ඔය හැසිරීම මත සියල්ල සත්තුන්ට දැනෙනව කියල හිතීම වැරදියි. එහෙම එකක් නෑ. බල්ලන්ට පුරුදු කළොත් පිළිකා සෛල ඉවෙන් හදුනාගන්න පුළුවන්. ඒ ඔවුන්ගෙ ආග්රහන ඉන්ද්‍රිය සුවඳින් දෙයක් හඳුනාගන්න හැඩ ගැහිලා තියන නිසා.
සමහරවිට බල්ලෙකුගේ තියුණු ශ්‍රවණ ඉන්ද්‍රියට තමන් ආදරය කරන ළඟ ඉන්න කෙනෙකුගෙ හදගැස්මේ අසාමාන්‍ය වේගවත් වීමක් හෝ මන්දගාමී වීමක් දැනෙන්න පුළුවන්. ඒත් ඒ අහලකවත් නැතුව ඈතක ඉන්න නරින්ට උළමාට ඒ සංවේදන දැනෙන්නෙ නෑ. නරි, උළමා ඇතුලු සත්තු ගොඩක් වෙලාවට කෑගහන්නෙ උන්ට ගොදුරක් ලැබුණාම සතුටට. එහෙමත් නැත්නම් විරුද්ධ ලිංගිකයාට පණිවිඩයක් විදියට. එහෙමත් නැත්නම් ලිංගික ක්‍රියාවලිය අතරතුරදි. විශේෂයෙන් පූසො ලිංගික ක්‍රියාවලිය අතරතුර මහා අප්‍රසන්න විදියට කෑගහනවා. ඒක ඒ සත්තුන්ගෙ සාමාන්‍ය හැසිරීමක් මිස මැරෙන්න යන මිනිහෙක් ගාවට මාරයා යනව දැකල නෙමෙයි. නමුත් ඥාතියෙකුගෙ මරණින් දුකට පත්වුණ කෙනෙකුට ඒ ඥාතියා මැරුණ රාත්‍රියෙ කෑගහපු බස්සෙකුගෙ හඬේ මතකය වුණත් යටි සිතේ තැන්පත් වෙලා මරණින් පස්සෙ මතක් වුණාම තමන්ගෙ ඥාතියාගෙ වියෝව සොබැදහමට දැනිලා සොබා දහම හැඬූ හැටි කියල මායාවක් හදාගන්නව.
ඔය වගේ පැහැදිලි කළ හැකි හේතු මත සතුන් යම් යම් දේවල් හඳුනාගත් පලියට ඔවුන්ට සියල්ල කල් ඇතිව දැනෙනවා වෙන්නෙ නෑ. කුණාටු වලට අහුවෙලා ඕන තරම් කුරුල්ලො මැරෙනවා. අපූරුවට හිටපු බල්ලෝ හිටි හැටියේ හෘදයාබාධ වලින් මැරෙන අවස්ථා තියනවා. සොබා දහමේ වෙනස් වීමක කාරණයක් දෙකක් උන්ගේ ඉන්ද්‍රියන්ගේ තියුණු බවට ගෝචර වූ පලියට උන්ට අවාසනාව කල් ඇතිව දැනෙනවා යැයි කීම වැරදියි.
No comments:
Post a Comment