Showing posts with label Translation Book Reviews. Show all posts
Showing posts with label Translation Book Reviews. Show all posts

Wednesday, July 8, 2020

The Silent Patient - හඬ නිහඬ



ඇලෙක්ස් මයිකලිඩීස් විසින් රචිත කුමාර සිරිවර්ධනයන් විසින් පරිවර්තනය කරන ලද ඒ අපූරු නවකතාව මා කියවූයේ එයට දැඩි ලෙස ආසක්ත වෙමිනි. රහස් පරීක්ෂක කතාවක අබිරහස් ස්වරූපය සහ ඊට යටින් සියුම්ව දිවෙන මනෝ විද්‍යාත්මක යැයි කියනවාට වඩා මානව විද්‍යාත්මක විශ්ලේෂණයක් එහි අඩංගු බව මට හැඟේ. කතාව සැකෙවින් හෝ දැක්වීම කෘතියට කරන බලවත් අසාධාරණයක් වන හෙයින් ඒ ගැන වචනයක් හෝ සඳහන් කිරීමෙන් සිතාමතාම වලකිමි. 

අබිරහස් කතාන්තර වල මූලික හරය එහි ඇති යම් තීරණාත්මක කරුණක් කියවන්නාගෙන් සැඟවීමයි. එය අවසානය දක්වා හෙළිදරව් නොවී තිබී, අනාවරණය වූ පසු එය සැබැවින්ම සැඟවී තිබූ කරුණක් නොවන බවත් ඇස් පනාපිට පෙනෙන්නට තිබියදී කියවන්නා නොසළකා හරින ලද හෝ සිදුවිය නොහැකි යැය බැහැර කරන ලද එකක් වන විට කතාව කියැවීමෙන් කියවන්නාට ලැබෙන තෘප්තිය තවත් වැඩිවේ. 

මට පෙනෙන ආකාරයට මයිකලිඩීස් කතාන්තරයට අදාළ සියළු කාරණා කියවන්නා හමුවේ තබයි. නමුත් ඔහු කියවන්නාව මුළා කරන්නේ කාලය නැමති සාධකය සූක්ෂම ලෙස භාවිතා කිරීමෙනි. 

පොතේ අවසාන භාගයට එළඹෙන තෙක්ම කතාන්තරයේ සිදුවීම් කාලය අනුව නිවැරදිව පෙළගස්වන යතුර කියවන්නා අතට පත් නොවෙයි. මයිකලිඩීස් ඒ යතුර දෙන්නේ නියම අවස්ථාවේ ත්‍රාසය උපරිම වන ආකාරයෙනි. ඒ මොහොත දක්වාම මේ කතාවේ එන ප්‍රධාන චරිත සියල්ලේම ඇති සංකීර්ණතා අතර කියවන්නා අතරමං වෙයි. මෙය ප්‍රබන්ධ කතා රචකයෙකු තුල අතිශය විරළ ප්‍රතිභාවක් ලෙස මම දකිමි. 

ඒ සියල්ල හා සමගාමීව මිනිසුන්ගේ හැසිරීම් රටා, චින්තන දිශානතීන්, වර්තමානය අපටත් නොදැනීම බාල වියේ අත්දැකීම් වල ප්‍රතිභිම්භයක් වන අකාරය, මෙහි ඇතැම් චරිත වල ඇතැම් හැසිරීම් රටා අප කාගේත් ජීවිත වල යම් යම් අවස්ථා වල පිළිඹිබුවක් බවට පත්වන ආකාරය මම විස්ම⁣යෙන් මත්වී බලා සිටියෙමි.

Monday, July 6, 2020

AMAZONIA - ඇමසෝනියා

වනාන්තර ගවේෂණය සම්බන්ධ නවකතා බොහෝවිට කියවන්නා තාවකාලිකව එම වනාන්තරයට කැදවාගෙන යාමට සමත් වෙයි. එහි මගේ පළමු අත්දැකීම ශ්‍රීමත් ආතර් කොනන්ඩොයිල්ගේ The Lost World පොතය. එය චන්දන මෙන්ඩිස් විසින් සැගවුණු ලොවේ සවාරියක් නමින් අපූරුවට සිංහලයට නගා තිබියදී කියවන්නට ලැබෙනවිට මට වයස 10ක් හෝ 11කි. එය සැබැවින්ම ඇමේසන් වනයේ ගවේෂණයක් පිළබදව මා කියවූ පළමු කතාන්තරයයි. අද දක්වාම එහි අපූර්වත්වය සිතෙහි රැදී ඇතිවා පමණක් නොව විටින් විට ඒ පරණ පොත අතට ගෙන කියවන්නට මා පොළඹවයි.

එපමණක් නොව සර් රයිඩර් හැගාර්ඩ් විසින් අප්‍රිකානු වනාන්තර ආශ්‍රිතව ලියන ලද පොත්ද සිත තුල දැවැන්ත චිත්‍රපට ඉපදවීමට සමත් විය. නමුත් ඒ සියලු පොත් සතුට සුන්දරත්වය සාර්ථකත්වය තේමා කරගෙන ලියැවුණු Thriller ගණයේ සාහිත්‍ය කෘතීන් වේ. එනම් කුමන අභියෝගයකට මුහුණ දෙනු ලැබුවද කථකයා සහ ඔහුගේ පිරිසෙන් යටත් පිරිසෙයින් කියවන්නාගේ සිත් ගන්නා උදවිය පමණක් හෝ දිවි ගලවාගෙන අරමුණ ඉටු කරගැනීමට සමත් වෙති. 

නමුත් ඇමේසන් ඇතුළු වනාන්තර පිළිබදව ඇති තතු දත්තන්ගේ අත්දැකීම් වලට අනුව කොනන්ඩොයිල් රයිඩර් හැගාර්ඩ් ඇතුළු රජකයන්ගේ ලියමන් වනාන්තර පිළිබදව යථාර්ථයෙන් බොහෝ දුරස් ඒවා වේ. එනම් වනාන්තරය සැබැවින්ම එකී පොත්වල විස්තර කෙරෙන පාරාදීසයන්ට වඩා බෙහෙවින් භයානකය. බියකරුය. මාරාන්තිකය. 

ඇමේසන් වනාන්තරය සම්බන්ධයෙන් වන කතා කිහිපයක් මට අසන්නට ලැබී ඇත. එකක් නම් ඔබ වනාන්තරයේ ජීවත් වූවෙකු නොවේ නම් අත්‍යාවශ්‍ය ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක් නිසා නම් මිස වනාන්තරයට ඇතුළු වන්නට එපා යන්නයි. එනම් ඇමේසන් වනාන්තරයට යනු කිසි සේත්ම විනෝදාස්වාදය සදහා චාරිකාවේ යෙදීමට සුදුසු වනගත පාරාදීසයක් නොවන බවය. එහි සෑම අගලක් පාසාම සෑම අදුරු අහු මුල්ලකම මරණය සැගවී ඇත. අති දැවැන්ත ඇනකොන්ඩාවෙකුගේ පටන් අගල් කාලක් පමණ වන කුහුඹුවෙකු දක්වා ඕනෑම සතෙකුට ඇමේසන් වනයේදී ඔබ වෙත මරණය ගෙන ආ හැකිය. උග්‍ර විෂ සහිත කුඩා පැළෑටියක් ස්පර්ශ වීමෙන් පමණක් ඔබ බැලීමට අප්‍රිය උපදවන තරමට මුළු ශරීරය ඉන්නන්ගෙන් වැසුණු රෝගියෙකු බවට පත්විය හැකිය. 

ඇමේසන් වනාන්තරයේ සැගවීගත් රහස් වලින් තවමත් ලෝකයට හෙළිදරව් වී ඇත්තේ අංශු මාත්‍රයක් පමණි. ලොව පුරා විද්‍යාඥයන් තම තමන්ට අදාළ විවිධ ක්ෂේත්‍ර වලට වැටෙන පර්යේෂණ අරභයා ඇමේසන් වනයට නිතිපතා වැදෙති. 

ජේම්ස් රෝලිංස්ගේ ඇමසෝනියා යනු ඇමේසන් වනාන්තරයේ සැබෑ බියකරු ස්වභාවය පිළිබදව යම් තාක් දුරකට සාධාරණ හෙළිදරව්වක් කරන කෘතියකි. දියුණු ලෝකයේ ඖෂධ සමාගම් විවිධ ලෙඩ රෝග මෙන්ම ඒවාට ප්‍රතිකාර සොයා ඇමේසන් වනාන්තරයේ සිදුකරනු ලබන ගවේෂණ මෙම ග්‍රන්ථයට විෂය වී ඇත. එහිදී සමාගම් අතර ඇතිවන තරගයේ ඇති ජුගුප්සාජනක ස්වභාවය මෙහිදී මැනවින් නිරූපණය කර තිබේ. 

එවැනි ඖෂධ සමාගමක විද්‍යාඥයෙකු වන කාල් රෑන්ඩ් සහ ඔහුගේ කණ්ඩායම ඇමේසන් වනයේ සැගවී ගිය බලවත් ගෝත්‍රයක් වන බැන්-අලි සොයා වන වදින්නේ ඔවුන් සතු අද්විතීය වූ බලය සහ සුවකිරීමේ හැකියා පිළිබදව ඇමේසන් ගංගා දෙපස අනෙකුත් රතු ඉන්දියානුවන්ගේ කටකතා වලින් කුප්පන ලද කුතුහලය හේතුවෙනි. නමුත් කාල් රෑන්ඩ් සහ ඔහුගේ පිරිවර කිසිදු හෝඩුවාවක් නොමැතිව නවීන ලෝකයෙන් අතුරුදන් වී යයි. ඔවුන් සේවයේ යොදවන ඖෂධ සමාගම් මෙන්ම කාල් රෑන්ඩ්ගේ පුත් නේතන් රෑන්ඩ් පවා තම පියා පිළිබදව බලාපොරොත්තු අතහැර දමයි.

තත්වය එසේ තිබියදී කාල් රෑන්ඩ්ගේ කණ්ඩායම් සගයෙකු ඇමේසන් වනය අභ්‍යන්තරයේ පිහිටි කුඩා රතු ඉන්දියානු ගමකට පැමිණෙන්නේ ශරීරය පුරා විහිදුණු ගිණිය නොහැකි තරම් පිළිකා සහිතව වේ. ඔහු හේතුවෙන් කාල් රෑන්ඩ්ගේ කණ්ඩායම සොයා ඔහුගේ පුත් ආචාර්ය නේතන් රෑන්ඩ් ප්‍රමුඛ කණ්ඩායමක් වනයට වදිති. 

නිවැරදි මං සළකුණු පසුපස ගොස් ප්‍රත්‍යක්ෂයෙන් මග සොයාගන්නවාට වඩා වාසනාව හේතුවෙන් මග සොයාගෙන ඉදිරියට යන ගවේෂණ කණ්ඩායමට ගමන පුරා නැවතත් නැවත නැවතත් ආපසු හැරීමට පොළඹවනසුළු අන්දමේ අවාසනාවන්ත තත්වයන්ට මුහුණ දීමට සිදුවේ. කතාවේ ආරම්භයේ පටන්ම කියවන්නාගේ සිත් ගන්නා චරිත පවා මරණයට පත් කරවීමට රචකයා දෙවරක් නොසිතයි. 

ඒ සියළු අපහාසුතා වලට මුහුණ දෙමින් අවසානය කරා ගමන් කරනා නේතන් රෑන්ඩ්ගේ කණ්ඩායම අවසානයේ ඔවුන් අපේක්ෂා කරන ලද ගමනාන්තයට ළගා වීමට සමත් වෙති. නමුත් එහිදී ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ කිසිදා අපේක්ෂා නොකළ අන්දමේ භයංකාරත්වය මුසු පාවාදීමේ අදුරට යටවූ අත්දැකීම් සමුදායකට වේ. එය නූතන මිනිසාගෙන් වෙන්ව ආරක්ෂිතව පිහිටි හෝමෝ සේපියන්ගෙන් ඔබ්බට පරිණාමය වෙමින් පැවැති වෙනම මානව ශිෂ්ටාචාරයකි. එම ශිෂ්ඨාචාරය ස්වභාවධර්මය හා බැදී පවතින ආකාරය අපූර්ව වේ. 

කතාවේ අවසානය සිතට යම්කිසි සතුටක් ගෙන ආවද ඒ සමගම කණගාටුවක් ඉපදීමද නොවැලැක්විය හැකිය. යම් මානව කණ්ඩායමක් හෝමෝ සේපියන් අභිබවා පරිණාමය වීම අභියෝගයක්ය යන කල්පිතයේ රචකයා පවා එල්බ සිටින බව පෙනේ. එබැවින් ස්වභාවධර්මය හා තදින් බැදුණු ශිෂ්ටාචාරයක මිනිසුන් නූතන ශිෂ්ටාචාරය හා නොගැලපීම මතම මිහි මතින් අතුගා දැමිය යුතු යන දෘඪ ස්ථාවරයේ රචක ජේම්ස් රෝලිංස් එල්බ සිටින්නේද යන උභතෝකෝටිකයට මෙහිදී මැදි වීමට සිදුවෙයි. 


Sunday, July 5, 2020

12.12.12

මංජුල සේනාරත්නගේ අබිරහස් වදන් වියමන 12.12.12 එය කියැවීමට මා ගතකල සතියක පමණ කාලය තුල සම්පූර්ණයෙන්ම මගේ සිතට අරක් ගන්නට සමත් විය. ඕනෑම රටක ඕනෑම නගරයක අසන්නට ලැබෙන ආකාරයේ අපරාධයක් පිළිබදව අති සූක්ෂම මට්ටමේ චිත්ත රූප මැවීමට සමත් විස්තරයක් එහි අඩංගු වූ බව නොකීවොත් අඩුපාඩුවකි. 

රහස් පරීක්ෂක කතාවක කියවන්නාට උපරිම තෘප්තිය ලබාදිය හැක්කේ ඔහුව උපරිම ලෙස පරාජය කරවීමෙනි. එනම් කතාව කියවා අවසාන වන විට ලැබෙන විසදුම ඇස් පනා පිට තිබූ බවත් නමුත් තමන් එය කිසි සේත් සැක නොකළ බවටත් වන හැගීමක් කියවන්නාගේ සිතේ ඉපදිය යුතුවේ. මේ සදහා බොහෝ අභිරහස් නවකතාකරුවන් භාවිතා කරන ප්‍රයෝගයක් වන්නේ බොහෝ කරුණු ඉදිරිපත් කර එක් තීරණාත්මක කරුණක් ප්‍රකාශ නොකර සිටීමය. එහිදී කතාව අවසානයේ සිතට දැනෙන තෘප්තිදායක හැගීම සැළකිය යුතු ලෙස අඩු වේ. 

නමුත් මංජුලගේ වියමන තුල ඉතා ප්‍රවේශමෙන් කිය යුතු සියල්ල මුලින්ම කියවන්නට හෙළිදරව් කර තිබේ. අවසාන විසදුම කියැවූ පසු එය විය නොහැකිය මරණය සිදුවූ දාට පසුදා පාන්දර භාතිය වික්‍රමසූරියගේ අසවල් අසවල් හැගීම් පවා රචකයා ඉදිරිපත් කර තිබුණා නොවේද යනුවෙන් සිතිවිල්ලක් කියවන්නා තුල ඇතිවේ. මොහොතකට සිතෙන්නේ මංජුල සේනාරත්න තමන්ට වංචා කළ බවකි. එනම් භාතිය වික්‍රමසූරියගේ සිතිවිලි තුල ඇතැයි කියවන්නාට කතාව ආරම්භයේ ප්‍රකාශ කළ දෙය අවසාන විසදුම හා පරස්පර බවක් හැගේ. එවන් විටෙක කියවන්නා වහාම පොත ආපසු පෙරළා ඒ මොහොතේ භාතියගේ හැගීම් ලෙස දක්වා ඇති කොටස කියැවීමට පෙළඹේ. මම එසේ කළෙමි. 

සත්‍ය තත්වය නම් මංජුල කිසදු විටෙක භාතියගේ හැගීම් ප්‍රකාශ නොකරයි. ඔහුට තම බිරිද කල්පනාට ඇමතුමක් ගැනීමටත් පුතු පාසැලට ඇරලවූයේද යන්න විමසීමටත් සිතුණ නමුත් ඔහු එසේ නොකළ බව පමණකි රචකයා කියන්නේ. මිනිස් සිතේ ස්වභාවය පුදුමාකාරය. මිනිසා ගොනාට ඇන්දවීම අවශ්‍ය නැති බවත් රෙද්දක් දුන් විට තෙමේම එක කපා මසා ඇදගැනීමේ හැකියාව මිනිසා සතු බවත් කියනු ලැබේ. මංජුල උත්කෘෂ්ඨ ලෙස ප්‍රයෝජනය ගෙන ඇත්තේ මිනිසාගේ සිතුවිලි වල එකී කපා මසා ඇදගන්නා ස්වභාවයෙනි. එනම් භාතිය වික්‍රමසූරියගේ හැගීමක් පිළිබදව කරනු ලබන ඉහත කී අංශු මාත්‍ර හෙළිදරව්වෙන් ඔහු පිළිබදව දැවැන්ත චිත්‍රයක් නිර්මාණය කර ගැනීමට කියවන්නා නිතැතින්ම පෙළඹේ. එහිදී කියවන්නා අතරමං වන්නේ මංජුල දෙන අංශු මාත්‍ර ඉගිය පිළිබදව තමා මවා ගන්නා ලෝකයේ මිස මංජුල මවා දෙන ලෝකයේ නොවේ. එය අභිරහස් කතා ලියන අයගෙන් අතලොස්සකට පවා නොපිහිටන අන්දමේ විරළ ප්‍රතිභාවකි. 

එම ප්‍රතිභාවට අමතරව කතාව තුල ආරම්භයේ සිට අවසානය දක්වාම කුතුහලය රදවා ගැනීමට රචකයා සමත් වේ. එහිදී ශ්‍රී ලාංකික අභිරහස් නවකතාකරුවන් විසින් ගන්නා ලද ප්‍රවේශය හා හැඩයට වෙනස්ව යමින් සිඩ්නි ෂෙල්ඩන් වැනි නවකතාකරුවෙකු ගන්නා ප්‍රවේශයට බොහෝ දුරට නෑකම් කියන රචන මාදිලියක් සහ සිතුවිලි ප්‍රවේශයක් මංජුල භාවිතා කරයි. මා ශ්‍රී ලාංකික නවකතාකරුවෙකුගෙන් එම ප්‍රවේශය දකින්නේ පළමු වතාවටය. 

බැලු බැල්මට සුන්දරව පෙනෙන පවුලක්, කුඩා දරුවන් දෙදෙනෙක්, තහනම් ආලයක්, යම් ආකාරයක මානසික රෝගයක්, මිනී මැරුමක් (ඔව්. එය සැබැවින්ම මිනී මැරුමකි. එනම් මරණ මොහොත වන විට මරා තිබූ මිනියක් නැවත මැරීමකි) යනාදී වශයෙන් කියවන්නා තදින් ඇද බැද ගන්නා එමෙන්ම කතාන්තරය කියවා අවසාන වන තුරුම යළි යළිත් ඒ පිළිබදව සිතීමට පොළඹවනසුළු කියවා අවසාන වූ පසු පවා එයින් ඇතිකරවන අන්ධකාර සෙවනැල්ලෙන් ගැලවීමට නොහැකි තත්වයක් මවන මංජුල සේනාරත්නගේ අපූරු අභිරහස් වියමන මම සැබැවින්ම රස වින්දෙමි. එය ඔබද රසවින්ද යුතුමය. 


දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...