අබිරහස් කතාන්තර වල මූලික හරය එහි ඇති යම් තීරණාත්මක කරුණක් කියවන්නාගෙන් සැඟවීමයි. එය අවසානය දක්වා හෙළිදරව් නොවී තිබී, අනාවරණය වූ පසු එය සැබැවින්ම සැඟවී තිබූ කරුණක් නොවන බවත් ඇස් පනාපිට පෙනෙන්නට තිබියදී කියවන්නා නොසළකා හරින ලද හෝ සිදුවිය නොහැකි යැය බැහැර කරන ලද එකක් වන විට කතාව කියැවීමෙන් කියවන්නාට ලැබෙන තෘප්තිය තවත් වැඩිවේ.
මට පෙනෙන ආකාරයට මයිකලිඩීස් කතාන්තරයට අදාළ සියළු කාරණා කියවන්නා හමුවේ තබයි. නමුත් ඔහු කියවන්නාව මුළා කරන්නේ කාලය නැමති සාධකය සූක්ෂම ලෙස භාවිතා කිරීමෙනි.
පොතේ අවසාන භාගයට එළඹෙන තෙක්ම කතාන්තරයේ සිදුවීම් කාලය අනුව නිවැරදිව පෙළගස්වන යතුර කියවන්නා අතට පත් නොවෙයි. මයිකලිඩීස් ඒ යතුර දෙන්නේ නියම අවස්ථාවේ ත්‍රාසය උපරිම වන ආකාරයෙනි. ඒ මොහොත දක්වාම මේ කතාවේ එන ප්‍රධාන චරිත සියල්ලේම ඇති සංකීර්ණතා අතර කියවන්නා අතරමං වෙයි. මෙය ප්‍රබන්ධ කතා රචකයෙකු තුල අතිශය විරළ ප්‍රතිභාවක් ලෙස මම දකිමි.
ඒ සියල්ල හා සමගාමීව මිනිසුන්ගේ හැසිරීම් රටා, චින්තන දිශානතීන්, වර්තමානය අපටත් නොදැනීම බාල වියේ අත්දැකීම් වල ප්‍රතිභිම්භයක් වන අකාරය, මෙහි ඇතැම් චරිත වල ඇතැම් හැසිරීම් රටා අප කාගේත් ජීවිත වල යම් යම් අවස්ථා වල පිළිඹිබුවක් බවට පත්වන ආකාරය මම විස්මයෙන් මත්වී බලා සිටියෙමි.
No comments:
Post a Comment