ශ්‍රී ලංකාවේ පාතාලයට සම්බන්ධ හෝ එසේ නොවන අපරාධ විමර්ශනය සිදු කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් පොලීසිය විසිනි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රිවිධ හමුදා බුද්ධි ඒකක ආදියෙන් යම් දායකත්වයක් ලැබුණද පැමිණිලි භාරගැනීම, විමර්ශන පවත්වාගෙන යෑම, අධිකරණයට කරුණු වාර්තා කිරීම, මෙන්ම මහේස්ත්‍රාත් අධිකරණ මට්ටමේදී නඩු මෙහෙයැවීම පවා පොලීසිය විසින් සිදුකරනු ලබයි. මෙය පොලීසිය මත පැටවුණු අධිකතර බරක් බව සදහන් කළ යුතුමය. පොලිස් නිලධාරීන්ට ලැබෙන වෘත්තීය වරප්‍රසාද හා සංසන්දනය කරන කල ඔවුන්ගෙන් අසීමිත සේවාවක් බලාපොරොත්තු වීම නිරීක්ෂණය කළ හැකිය.
මෙකී සියලු කටයුතු ඉතා දක්ෂ අන්දමින් මැසිවිලි නොනගා ඉටුකරන ගෞරවනීය පොලිස් නිලධාරීන් රාශියක් පොලිස් සේවයේ වෙති. නමුත් තමන් මත පැටවෙන කාර්ය පීඩනය මත වැඩ කටයුතු අතපසු වීම ආර්ථකමය ගැටලු හේතුවෙන් විවිධ විෂමාචාර සදහා යොමු වීම ආදියද සුලභව නිරීක්ෂණය කළ හැකි වේ. මෙම තත්වයට විවිධ විසදුම් යෝජනා කෙරුණද ඒවායෙන් බොහොමක් ක්‍රියාත්මක තලයට ගෙනැවිත් නොමැති බව කැපී පෙනෙන කරුණකි.
යල්පැනගිය ක්‍රමවේද සදහා කාලය නාස්ති වීම
පොලිස් නිලධාරීන්ගේ කාලය විශාල වශයෙන් ලිඛිත වාර්තා නඩත්තු කිරීමට වැය වන බව සුළු කරුණක් උදෙසා හෝ පොලිස් ස්ථානයකට යන ඕනෑම කෙනෙකුට දැකගත හැකි තත්වයකි. පැමිණෙන ජනතාවගේ පැමිණිලි සටහන් කරගැනීම, අපරාධ හෝ ආරවුල්ගත ස්ථාන නිරීක්ෂණය, ඒවා ඡායාරූප ගත කිරීම, දළ සටහන් ඇදීම, පැමිණීමේ පිටවීමේ සටහන් යෙදීම, වැටලීම් සටහන් යෙදීම, විමර්ශන සටහන් යෙදීම, දෛනික සටහන් යෙදීම, අධිකරණයට කරුණු වාර්තා කිරීමට අවශ්‍ය විවිධ ලිපි ලේඛන සැකසීම, පැමිණිලි විභාග කිරීම, අවි ආයුධ භාරගැනීම භාරදීම ආදී කටයුතු වලට අදාළ ලිපි ලේඛන පෝරම පිරවීම, පැමිණිලි සහ කටඋත්තර පිටපත් සැකසීම ආදිය සාමාන්‍යයෙන් ඕනෑම පොලිස් නිලධාරියෙකුට පැවරෙන අතිමහත් රාජකාරි සම්භාරය අතරින් බිදක් පමණි. ඊට අමතරව අවස්ථානුකූලව ප්‍රභූ ආරක්ෂාව සැපයීම, මහජන රැස්වීම් උද්ඝෝෂණ වලට ආරක්ෂාව සැපයීම යනාදී කටයුතුද පොලිස් නිලධාරීන්ට ඉටු කිරීමට සිදුවේ. ඇතැම් පොලිස් නිලධාරියෙකුට ඉහත දැක්වූ සියලුම කාරණා එක දවසක් තුල ඉටු කිරීමට සිදුවූ අවස්ථාද දුලබ නොවේ. ඔවුන් ලබන සීමා සහිත වැටුපට සාපේක්ෂව කෙතරම් කාර්ය පීඩනයක් දරා සිටින්නේද යන්න වටහා ගැනීමට ඉහත විස්තරයම ප්රමාණවත්ය. එවන් තත්වයන් යටතේ චින්තනය කළ යුතු විමර්ශන සහ සංකීර්ණ අපරාධ විසදීම ආදිය සදහා අවශ්‍ය විවේකය නිරවුල් බව පවත්වාග හැකි නම් එය අමතර වාසියක් පමණක් වේ.
බලවතුන්ගේ බලපෑම්
මේ සියල්ලට අමතරව යම් යම් විමර්ශන සම්බන්ධයෙන් පොලීසියේම සිටින ඉහළ නිලධාරීන්ගේ දේශපාලනඥයන්ගේ සහ බලවතුන්ගේ බලපෑම් වලට යටත් වීමටද පොලීසියට සිදුවේ. එවන් බලපෑම් වලට එරෙහි වීම වෘත්තීය වශයෙන් සියදිවි නසාගැනීමක් බවට පත්වූ අවස්ථා කොතෙකුත් වාර්තා වී ඇත.
විවේක බුද්ධිය සීමා වීම
එහි ප්‍රතිඵලය වන්නේ කුමක්ද යම් සංකීර්ණ අපරාධයක් විසදීම සදහා මිඩංගු කළ යුතු විවේක බුද්ධිය සීමා සහිත වීමයි. ඒ අනුව අපරාධයක් පිළිබදව විමර්ශන පැවැත්වීමේදී හමුවන පළමු සහ හෝ පහසුම විසදුමෙහි එල්බ ගැනීමට පොලීසිය පෙළඹීම නොවැලැක්විය හැකිය. යම් මරණයක් පිළිබදව දැනුම් දීමට පොලිස් ස්ථානයට යන පුද්ගලයෙකු මතම එම මරණයේ වගකීම පැවරීමට පොලීසිය උත්සාහ දැරූ අවස්ථා ඇති තරම් අසන්නට ලැබේ. පසුගිය කාලයේ සේයා සදෙව්මි ඝාතන සිද්ධියේදී යම් අල්ප කරුණක් මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු අදාළ අපරාධයේ අවසාන විසදුම බවට වහා මතයක එල්බ ගැනීමටත්, ඔහුගේ වරදකාරීත්වය පිළිබදව කරුණු සමග මාධ්‍ය ඉදිරියට ඒමටත් පොලීසියේ ඇති නැඹුරුව පිළිබදව මනා උදාහරණයක් සැපයිණ.
මේ සම්බන්ධයෙන් පොලීසියට පොදුවේ නිර්දය ලෙස දොස් පැවරීමට ඇතැම් පුද්ගලයන් දේශපාලනඥයන් මෙන්ම ජනමාධ්‍ය ආයතනද පෙළඹෙන ආකාරය දැකිය හැකිය. එය අර්ධ සත්‍යයක් මත පදනම් වූවකි. පොලීසියේ සදෝෂත්වය හෙළිදරව් වූ අවස්ථාද ඕනෑ තරම් ඇත. නමුත් ප්‍රධාන වශයෙන් ඔවුන් ඉතා සංකීර්ණ වූද පැරණි වූද ක්‍රියා පටිපාටිමය පඹ ගාලක සිරවී සිටිති. එය විවෘත මනසින් වටහාගැනීම ඉතාම වැදගත් වේ.
මෙම තත්වය විසදීම සදහා කළ හැක්කේ කුමක්ද?
පොලිස් සේවය සදහා ඇති වැටුප් ආදී ප්‍රතිපාදන වැඩි කිරීම එක් විසදුමකි. නමුත් එය පවා ඔවුන්ගේ සමස්ථ කාර්ය පීඩනය ලිහිල් නොකරනවා ඇත. ඒ සදහා ඇති හොදම විසදුම පොලීසිය දැනට භාවිතා කරන අත් අකුරින් පොත් පුරවන සාම්ප්‍රදායික වූද කාලය කා දමන්නා වූද යල්පැනගැය ක්‍රමවේද කාලීනව සංශෝධනය කරගැනීමයි.
ගතානුගතිකත්වයෙන් අතමිදීම
අපරාධ විමර්ශන කටයුතු වල නිරත නිලධාරීන් පොලිස් ස්ථානයේ අභ්‍යන්තර වාර්තා නඩත්තු කිරීමේ භූමිකාවන්ගෙන් හැකි උපරිම ලෙස නිදහස් කළ යුතුය. එනම් ඔවුන්ගේ කාර්ය බහුල රාජකාරි රටාව අතරතුර ඉදගෙන සටහන් ලිවීම අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් කරන කාරියක් බවට ලඝු කළ හැකිය. ඒ වෙනුවට නවීන තාක්ෂණය යොදා ගනිමින් වීඩියෝගත සටහන් තැබීම සහ ඉන්පසු අවශ්‍යනම් එය වෙනත් පුද්ගලයෙකු ලවා ලිඛිත සටහන් බවට පරිවර්තනය කිරීම සිදු කළ හැකිය.
බලකාය විධිමත්ව ස්ථානගත කිරීම
බොහෝ ග්‍රාමීය පොලිස් ස්ථාන වල ඉටුකළ යුතු රාජකාරි සදහා ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නැත. නමුත් ඇතැම් පොලිස් ස්ථාන වල අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අතිරෙක් නිලධාරීන් සිටිති. ඔවුන්ට විධිමත් දුෂ්කර දීමනා ක්‍රියා පටිපාටියක් ඇතිකොට පුරප්පාඩු සහිත පොලිස් ස්ථාන සදහා සේවයේ යෙදවීම කළ හැකිය.
නීතිය පිළිබදව අඛණ්ඩ අධ්‍යයන වැඩසටහන්
අධිකරණ කටයුතු මෙහෙයවන නීතිය පිළිබදව ඉතා පෘථුල ප්‍රායෝගික දැනුමක් ඇති පොලිස් නිලධාරීන් මා දැක ඇත. නමුත් එවන් නිලධාරීන් සෑම තැනකම දකින්නට නොලැබේ. එබැවින් පොලිස් නිලධාරීන්ට අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ලබාදෙන පුහුණුව වඩාත් පුළුල් පරාසයක් ආවරණය වන සේ ව්‍යාප්ත කළ යුතු වේ. ඒ සදහා පොලීසියට නීතිඥ සංගම් වලින් ආධාර උපකාර පවා ලබාගත හැකිය. එසේ නීතිඥ සංගම් වල දායකත්වයෙන් වසරකට වරක් පමණ පවත්වන සතියක පමණ පුහුණු සැසියක් මේ සදහා යෝජනා කළ හැකි අතිශය ප්‍රායෝගික විසදුමකි. පොලීසියට අධිකරණයේ වැඩියෙන්ම මෙහෙයැවීමට සිදුවන නඩු කටයුතු සම්බන්ධයෙන් දේශන සහ වැඩමුළු මෙම පුහුණු සැසි වලදී ක්‍රියාත්මක කළ හැකිය.
අපරාධ විමර්ශනය පිළිබදව අඛණ්ඩ අධ්‍යයන වැඩසටහන්
අපරාධ විමර්ශනය සදහා යොදාගන්නා නිලධාරීන්ට විමර්ශනයට අදාළ තාක්ෂණික කාරණා මෙන්ම අපරාධ විද්‍යාත්මක කාරණා පිළිබදව අඛණ්ඩ අධ්‍යයන වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකිය. ඒ හරහා ලෝකයේ දියුණු රටවල් යොදාගනු ලබන විමර්ශන ක්‍රමවේද හා ශිල්ප ක්‍රම පිළිබදව දැනුමින් විමර්ශන නිලධාරීන් පොහොසත් කළ හැකිය. ඒ අතරින් වැදගත්ම අතින් ඉතා ඉහළ ක්ෂේත්රයක් වන්නේ අපරාධ මනෝ විද්‍යාවයි.
CIDය FBI පන්නයට ගෙන ඒම
අමෙරිකාවේ පොලිස් සේවයට සමගාමීව එෆ්.බී.අයි අපරාධ පරීක්ෂණ ඒජන්සිය ක්‍රියාත්මක වේ. එක්සත් රාජධානියේ ස්කොට්ලන්ඩ්යාඩ් ආයතනයද එවැනිම ආයතනයකි. ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන්ද අපේක්ෂා කරන්නට ඇත්තේ එවැනිම භූමිකාවක් වන්නට ඇත. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද පොලිස් නිලධාරීන් මෙන්ම යල්පැනගිය ක්‍රමවේදය නඩත්තු කිරීම සදහා තම කාලයෙන් විශාල ප්‍රමාණයක් වැය කරති. එම වාතාවරණය හැකිතාක් වෙනස් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හෙවත් සී.අයි.ඩී නිලධාරීන් උදෙසා සුවිශේෂී ක්‍රමවේදයන් පාඨමාලා සහ සමාජ පිළිගැනීමක් ඇති කිරීම කාලෝචිතය. එහිදී විශ්ව විද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන වල අපරාධ පරීක්ෂණය පිළිබදව උපාධි පාඨමාලා ඇතිකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව අපරාධ පරීක්ෂණ සේවයක් ඇති කොට එයට පොලීසියේ නිල සීමා මායිම් බැදීම් වලින් නිදහස්ව සිවිල් ඇදුමින් සේවය කරන උපාධිධාරී වෘත්තීය අපරාධ පරීක්ෂකයන් බදවා ගැනීම කළ හැකි වේ. මෙම අපරාධ පරීක්ෂකයන් යටත් පිරිසෙයි දිස්ත්‍රික්කයකට දස දෙනා බැගින් හෝ අනුයුක්ත කළ හැකි නම් අපරාධ පරීක්ෂණ කටයුතු දැනට ක්‍රියාත්මක වනවාට වඩා වේගවත්ව විධිමත්ව සහ වෘත්තීය මට්ටමින් සිදු කිරීමට හැකියාව ලැබෙනවා ඇත.
No comments:
Post a Comment