ජගත් වෑන් රථ රියදුරෙකි. ඔහු වාහනය ධාවනය කරමින් සිටින අතර ජංගම දුරකථනයෙන් කෙටි පණිවුඩ යැවීමට හුරු වූවෙකි. ඔහුට ඒ සඳහා වසර ගණනාවක නිපුණතාවයක්ද ඇත. නමුත් දිනක් ඇසිල්ලකින් ඒ සියල්ල කණපිට පෙරැළුණි.
ජගත් වාහනය ධාවනය කරමින් කෙටි පණිවුඩයක් ටයිප් කරමින් සිරින විට ඔහුට දැනුණේ වැරදීමකින් තිරයේ වෙනත් ස්ථානයක ඇඟිල්ල ස්පර්ශ වී කෙටි පණිවුඩ මුහුණත වෙනුවට ඔහුගේ ෆේස්බුක් ගිණුම විවෘත වී ඇති බවයි. ඔහු නැවතත් කෙටි පණිවුඩ මුහුණත ලබාගැනීම සඳහා මොහොතකට මාර්ගයෙන් ඇස ඉවත් කොට ජංගම දුරකථන තිරය දෙස බැලුවේය.
ඒ සඳහා තත්පරයකින් දහයෙන් එකක්වත් නොගිය බවට ජගත්ට දිවුරා කිය හැකිය. නමුත් ඒ ඇසිල්ල එම අවාසනාවන්ත සිදුවීමට ප්රමාණවත් විය.
ඔහුට මුලින්ම දැනුණේ පාරේ වලක් මතින් හෝ ගැට්ටක් මතින් වාහනය ගමන් කළ බවකි. නමුත් කාපට් ඇතිරූ ධාවන පථ 6කින් යතු මාර්ගයේ එවැනි කඩතොළු නොතිබූ බව සැණින් ඔහුගේ සිහියට පැමිණියේය. ඔහුගේ වාහනයට නිසැකවම යමක් යටවී ඇත. ඔහු වාහනයේ වේගය අඩු කරමින් වම් උරහිසට ඉහළින් පිටුපස බැලුවේය. පාරේ කවුදෝ වැටී සිටී.
"කවුරුහරි යටවුණා වගේ"
ජගත් ඉදිරි අසුනේ සිටි තම බාල සොහොයුරා රුවන්ට කීවේය.
(මෙතැන් සිට කාරණා කටයුතු සිදුවන ආකාරය විකල්ප අවස්ථා 4කින් විමසා බලමු)
1. විකල්පය
වහාම වාහනය නතර කර බිමට බැසි ජගත් වැටී සිටි පුද්ගලයා වෙත දිව ගියේය. වයස අවුරුදු 40ක පමණ පිරිමි පුද්ගලයෙක් සිහි විසඥව සිටී. ඔහුගේ පාද වල දණහිස් අවට ප්රදේශය ක්රම ක්රමයෙන් රුධිරයෙන් තෙත් වෙමින් ඇත.
සිදුවී ඇති දෙය ජගත්ට අවබෝධ විය. මේ මිනිසාගේ දෙපා තම වාහනයට යටවී ඇත. ඔහු බරපතළ තුවාල ලබා ඇති බවක් පෙනේ. ජගත් සමඟ වාහනයේ ගමන් ගත් රුවන්ද එතැනට දිව ආවේය. ඒ වන විට අවට සිටි පිරිස 40ක් 50ක් පමණ එතැනට එක්රැස්වී සිටියහ. අවට සිටි පිරිසේ සහය ඇතිව ත්රීරෝද රථයක් ගෙන්වාගත් ජගත් පාරේ වැටී සිටි තැනැත්තා එයට පටවා රුවන්ද සමඟ රෝහලට පිටත් කළේය.
එතැන සිටි අයෙකු අසළ මංසන්ධියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එතැනට කැඳවාගෙන ආවෝය. ඔවුන් ජගත්ගෙන් සහ අසළ සිටි පිරිසගෙන් සිද්ධිය විමසා සිටි අතර ඒ පිළිබඳව විස්තර සටහන් කරගත්තෝය. ඒ අතර ජගත් පොලිස් නිලධාරීන්ගේ අවසරය ඇතිව තම වාහනයේ රක්ෂණ ආයතනයට දුරකථන ඇමතුමක් දී සිද්ධිය දැනුම දුන්නේය. රක්ෂණ නියෝජිතයෙකු විනාඩි 10ක් ඇතුලත එම ස්ථානයට පැමිණ අනතුර ඡායාරූපගත කළේය.
ඉන්පසු පොලිස් නිලධාරීන්ගේ අවසරය පිට වාහනය පණ ගැන්වූ ජගත් නිලධාරීන්ද සමඟ පොලිස් ස්ථානයට ගියේය.
2. විකල්පය
1 විකල්පයේ සඳහන් ආකාරයටම ජගත් වාහනය නවත්වා ඉන් බැස්සේය. වාහනයෙන් බසිද්දීම එතැනට පැමිණි කිසිවෙකු ජගත්ගේ කණ හරහා තද පහරක් එල්ල කලේය. තවත් අයෙකු වැලමිට නමා ජගත්ගේ බඩට ඇන්නේය. ඉන් දැඩි වේදනාවට පත් ජගත් බිම ඉන්දවිණි. ඔහුව වටකරගත් පිරිස ඔහුට අතින් හා පයින් පහර දෙන්නට වූහ.
පහර දීම අවසන් වන විට ජගත් නැගිට ගැනීමට බැරි තරමට හෙම්බත් වී සිටියේය. කමිසය ඉරී තිබුණි. ජංගම දුරකථනය හෝ මුදල් පසුම්බිය කොහේද දන්නේ නැත. කරේ තිබූ රන් මාලය අතුරුදහන් වී ඇත. මදක් හිස ඔසවා බැලූ ජගත්ට පෙනුණේ ඔහුට මදක් එපිටින් රුවන්ටද පහරදුන් පිරිස් ඔහු දණගස්වා ඇති බවයි.
"පට්ට පාහරයා. පාර බලාගෙන යන්න දන්නෙ නැද්ද බැල්ලිගෙ පුතා" කියූ තවත් අයෙක් මිට මෙළැවූ අතින් ඔහුගේ නළලට ඇන්නේය. ජගත්ට දැඩි වේදනාවක් දැනී විසඥ වන බවක් දැනුනි.
මුහුණට දැනුණු සීතල පහසක් සමඟ ජගත්ට නැවත සිහි ලැබුණි. පොලිස් නිලධාරියෙකු ඔහුගේ මුහුණට රවාගෙන සිටින ආකාරය අපහසුවෙන් ඇස් ඇර බැලූ ඔහුට පෙනුණි. පොලිස් නිලධාරියාට එපිටින් යම්කිසි දීප්තිමත් දෙයක් පෙනේ. අමාරුවෙන් අත එසැවූ ජගත් දෑස පිස දමා ඒ කුමක්දැයි බැලුවේය.
ප්රචණ්ඩ ජනකාය ඔහුගේ වෑන් රථයට ගිනි තබා ඇත. ජගත්ගේ පපුවට පිහියෙන් ඇන්නාක් මෙන් දැනුණි. පියා විසින් ලබාදුන් අක්කර කාලේ ඉඩම් කැබැල්ල විකුණා ලබාගත් මුදලින් සහ ඉතිරිය ලීසිං පහසුකමක් යටතේ මිළට ගත් වෑන් රථය ගිනි ගෙන දැවෙයි. වසර පහක් තිස්සේ දුක් මහන්සියෙන් රැයක් දවාලක් නොමැතිව කුලී ගමන් වල යෙදී ජීවිකාව සරිකර දුන් වෑන් රථය දැන් අඟුරු සැකිල්ලක් පමණි.
එයට වතුර කෝප්පයක් හෝ වත් කරන්නට කෙනෙක් නැද්දැයි සිතමින් ජගත් අමාරුවෙන් නැගී සිටියේය. වාහනය පැත්තට අඩියක් තැබුවා පමණි.
"කොහෙද යකෝ යන්නෙ?"
පොලිස් නිලධාරියා ජගත්ගේ ඉරුණු කමිස කොළරයෙන් අල්ලාගෙන වටයක් කරකවා බඩට පයින් ඇන්නේය. කොහෙන්දෝ ගෙන ආ ත්රීරෝද රථයක පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මැදිවූ ජගත් පොලීසියට ගෙනයනු ලැබිණි. ඔහුව පුටුවක වාඩි කරවූ නිලධාරියා මොන මොනවාදෝ ලියා ඔහුගෙන් අත්සනක් ලබා ගත්තේය. ඒවා මොනවාදැයි කියවා බලන්නටවත් ජගත්ට ඉස්පාසුවක් නැත. ඉන්පසු ජගත්ව සිර මැදිරිය තුලට තල්ලු කර දොර වසා දැමුණි.
පැය ගණනාවකට පසු කූඩුව අසළට පැමිණි රැවන් දුටු ජගත්ට හැඬුණි. ඔහුගේ නළලේ ප්ලාස්ටරයකි. වම් අත සම්පූර්ණයෙන්ම වෙලා තිබුණි. ප්රචණ්ඩ මිනිස් රැළ ඔහුටද අමානුෂිකව පහර දී ඇත.
"අයියවත් දැන් පොලිසියෙන් ඉස්පිරිතාලෙට ගෙනියනව කිව්ව" රුවන් කඳුළු අස්සෙන් කීවේ පිටවන්නට ආ ඉකිය මැඩ ගනිමිනි.
"හැප්පුන මනුස්සයට මොකද?"
"කකුලක් කැඩිල. ඒ වෙලාවෙම එතන හිටපු අය ඉස්පිරිතාලෙට අරන් ගිහින්. වෑන් එක ඉවරයි අයියෙ"
සුසුමක් හෙළු ජගත් බිම බලා ගත්තේය.
3. විකල්පය
"මිනිහෙක් යටවුණා වගේ මල්ලි"
ජගත් කලබලයෙන් කියන අතර වාහනයේ වේගය අඩු කළේය.
"නවත්තාපියව් වල් පරයෝ"
කියමින් මිනිසුන් දිව එනු පෙනේ.
"එනපොට හරියන්නෙ නෑ. මෙතන හිටියොත් බඩපුරා හම්බ වෙනවා. වෑන් එකවත් ඉතුරු කරන එකක් නෑ. අපි යමු පොලිසියට"
කියමින් ජගත් ගියරය මාරු කර ඇක්සලේටරය පෑගුවේය.
"අර මිනිහ?"
"ඒ මිනිහව කොහොමත් කවුරුහරි ඉස්පිරිතාලෙට ගෙනියයි. අපි හිටියොත් අපිටත් ඉස්පිරිතාලෙ තමයි යන්න වෙන්නෙ. පේනවනෙ ආපු සෙට් එක" කියමින් ජගත් වාහනය පොලිස් ස්ථානයේ ගේට්ටුවෙන් ඇතුල් කලේය.
"මම ඇතුලට ගිහින් විස්තරේ කියන්නම්. මල්ලි ගෙදරට කෝල් එකක් දෙන්න"
කියූ ජගත් වාහනයෙන් බැස පොලිස් ස්ථාන ගොඩනැගිල්ලට ඇතුළු විය.
4. විකල්පය
"මේ පැත්ත හොඳ නෑ. අනික අපිව කවුරුවත් දැක්කෙත් නෑ. ඔහොමම අදිමු"
රුවන්ගේ අදහස අසා හිස සැලූ ජගත් වාහනයේ වේගය අඩු නොකොට දිගටම ඉදිරියට ගොස් මාර්ගයේ ගමන් කළ වාහන අතර අතුරුදන් විය.
"අන්න මිනිහෙක් යටකරලා ගියා"
"මොකක්ද වාහනේ?"
"අළුපාට KDH එකක්"
"නොම්මරේ බලාගත්තද?"
"දුර හින්ද පෙනුනෙ නෑ"
"ෂිට්. මාර අප්සට් එක. මේ හරියෙ CCTVත් නෑ"
"දැන් කරන්න දෙයක් නෑ. මේ මිනිහ ඉස්පිරිතාලෙට ගෙනියමු ඉක්මනට"
ඉහත කතාන්තරයේ වඩාත් හොඳම, නීත්යානුකූලම, නිවැරදිම සහ උචිතම අවසානය 1 වන විකල්පයයි. මාගෙන් නීතිඥ වරයෙකු ලෙස උපදෙස් පතන ඕනෑම කෙනෙකුට මා දෙන උපදෙස වන්නේ 1වන විකල්පයේ ආකාරයට කටයුතු කරන ලෙස වේ.
නමුත් 1වන විකල්පය සොයන්නට යන බොහෝ දෙනාට හිමි වන්නේ 2වන විකල්පයේ දැක්වෙන ආකාරයේ අවසානයකි. අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන කෙනෙකු 2වන විකල්පය බලාපොරොත්තු විය යුත්තේ යැයි කෙනෙකු කියනු ඇත. ඒ තමා රියදුරුව සිටිමින් තමා අතින් රිය අනතුරක් සිදුවන දවස තෙක් පමණි.
පුද්ගලයෙකු වරදකරුවෙකුද නැද්ද යන්න තීරණය කර ඔහුට දඬුවම් පැමිණවීම අධිකරණයේ කාර්යයකි. එය අතට ගැනීමට මහ මඟ සිටින විවිධ පුද්ගලයන්ට කිසිම අයිතිවාසිකමක් නැත. කුමන හෝ තත්වයක් යටතේ එවන් ප්රචණ්ඩ මැදිහත් වීමක් සාධාරණීකරණය කළ නොහැකිය. සරළවම අත් වැරදීමකින් අනතුරක් සිදුවූ පලියට පාරේ සිටින සිද්ධියට සම්බන්ධයක් නැති නාඳුනන මිනිසුන්ගෙන් කිසිවෙකු ගුටි කෑ යුතු නැත.
මෙම තත්වය යටතේ නීතිගරුක එහෙත් තමාගේ සහ තම දේපල වල ආරක්ෂාව ගැන සිතන බොහෝ දෙනෙකු 3 වැනි විකල්පය තෝරාගෙන එසේ 3 වැනි විකල්පය තෝරාගැනීම මත තමාට අධිකරණයෙන් යම් දඬුවමක් ලැබෙත් නම්, එය මහ පාරේ ගුටිකනවාට වඩා සතුටින් භාර ගැනීමට පෙළඹෙනවා ඇත.
නමුත් බොහෝ විට සිදුවන්නේ 2 වන විකල්පයට ඇති බිය නිසා 1 වන විකල්පය තෝරා නොගෙන, 3 වන විකල්පය සැළකීමකින්ද තොරව 4 වන විකල්පයට පැනීමය.
මෙම තත්වය සළකා බලන විට අතීතයේ ඇසූ කුණුහරුප කතාවක අවසාන පාඨය මට සිහිපත් වේ.
"පැතුවේ නම් මෙසේය. මෙසේ වුවද කම් නැත. නමුත් මෙසේය"
No comments:
Post a Comment