Sunday, July 5, 2020

12.12.12

මංජුල සේනාරත්නගේ අබිරහස් වදන් වියමන 12.12.12 එය කියැවීමට මා ගතකල සතියක පමණ කාලය තුල සම්පූර්ණයෙන්ම මගේ සිතට අරක් ගන්නට සමත් විය. ඕනෑම රටක ඕනෑම නගරයක අසන්නට ලැබෙන ආකාරයේ අපරාධයක් පිළිබදව අති සූක්ෂම මට්ටමේ චිත්ත රූප මැවීමට සමත් විස්තරයක් එහි අඩංගු වූ බව නොකීවොත් අඩුපාඩුවකි. 

රහස් පරීක්ෂක කතාවක කියවන්නාට උපරිම තෘප්තිය ලබාදිය හැක්කේ ඔහුව උපරිම ලෙස පරාජය කරවීමෙනි. එනම් කතාව කියවා අවසාන වන විට ලැබෙන විසදුම ඇස් පනා පිට තිබූ බවත් නමුත් තමන් එය කිසි සේත් සැක නොකළ බවටත් වන හැගීමක් කියවන්නාගේ සිතේ ඉපදිය යුතුවේ. මේ සදහා බොහෝ අභිරහස් නවකතාකරුවන් භාවිතා කරන ප්‍රයෝගයක් වන්නේ බොහෝ කරුණු ඉදිරිපත් කර එක් තීරණාත්මක කරුණක් ප්‍රකාශ නොකර සිටීමය. එහිදී කතාව අවසානයේ සිතට දැනෙන තෘප්තිදායක හැගීම සැළකිය යුතු ලෙස අඩු වේ. 

නමුත් මංජුලගේ වියමන තුල ඉතා ප්‍රවේශමෙන් කිය යුතු සියල්ල මුලින්ම කියවන්නට හෙළිදරව් කර තිබේ. අවසාන විසදුම කියැවූ පසු එය විය නොහැකිය මරණය සිදුවූ දාට පසුදා පාන්දර භාතිය වික්‍රමසූරියගේ අසවල් අසවල් හැගීම් පවා රචකයා ඉදිරිපත් කර තිබුණා නොවේද යනුවෙන් සිතිවිල්ලක් කියවන්නා තුල ඇතිවේ. මොහොතකට සිතෙන්නේ මංජුල සේනාරත්න තමන්ට වංචා කළ බවකි. එනම් භාතිය වික්‍රමසූරියගේ සිතිවිලි තුල ඇතැයි කියවන්නාට කතාව ආරම්භයේ ප්‍රකාශ කළ දෙය අවසාන විසදුම හා පරස්පර බවක් හැගේ. එවන් විටෙක කියවන්නා වහාම පොත ආපසු පෙරළා ඒ මොහොතේ භාතියගේ හැගීම් ලෙස දක්වා ඇති කොටස කියැවීමට පෙළඹේ. මම එසේ කළෙමි. 

සත්‍ය තත්වය නම් මංජුල කිසදු විටෙක භාතියගේ හැගීම් ප්‍රකාශ නොකරයි. ඔහුට තම බිරිද කල්පනාට ඇමතුමක් ගැනීමටත් පුතු පාසැලට ඇරලවූයේද යන්න විමසීමටත් සිතුණ නමුත් ඔහු එසේ නොකළ බව පමණකි රචකයා කියන්නේ. මිනිස් සිතේ ස්වභාවය පුදුමාකාරය. මිනිසා ගොනාට ඇන්දවීම අවශ්‍ය නැති බවත් රෙද්දක් දුන් විට තෙමේම එක කපා මසා ඇදගැනීමේ හැකියාව මිනිසා සතු බවත් කියනු ලැබේ. මංජුල උත්කෘෂ්ඨ ලෙස ප්‍රයෝජනය ගෙන ඇත්තේ මිනිසාගේ සිතුවිලි වල එකී කපා මසා ඇදගන්නා ස්වභාවයෙනි. එනම් භාතිය වික්‍රමසූරියගේ හැගීමක් පිළිබදව කරනු ලබන ඉහත කී අංශු මාත්‍ර හෙළිදරව්වෙන් ඔහු පිළිබදව දැවැන්ත චිත්‍රයක් නිර්මාණය කර ගැනීමට කියවන්නා නිතැතින්ම පෙළඹේ. එහිදී කියවන්නා අතරමං වන්නේ මංජුල දෙන අංශු මාත්‍ර ඉගිය පිළිබදව තමා මවා ගන්නා ලෝකයේ මිස මංජුල මවා දෙන ලෝකයේ නොවේ. එය අභිරහස් කතා ලියන අයගෙන් අතලොස්සකට පවා නොපිහිටන අන්දමේ විරළ ප්‍රතිභාවකි. 

එම ප්‍රතිභාවට අමතරව කතාව තුල ආරම්භයේ සිට අවසානය දක්වාම කුතුහලය රදවා ගැනීමට රචකයා සමත් වේ. එහිදී ශ්‍රී ලාංකික අභිරහස් නවකතාකරුවන් විසින් ගන්නා ලද ප්‍රවේශය හා හැඩයට වෙනස්ව යමින් සිඩ්නි ෂෙල්ඩන් වැනි නවකතාකරුවෙකු ගන්නා ප්‍රවේශයට බොහෝ දුරට නෑකම් කියන රචන මාදිලියක් සහ සිතුවිලි ප්‍රවේශයක් මංජුල භාවිතා කරයි. මා ශ්‍රී ලාංකික නවකතාකරුවෙකුගෙන් එම ප්‍රවේශය දකින්නේ පළමු වතාවටය. 

බැලු බැල්මට සුන්දරව පෙනෙන පවුලක්, කුඩා දරුවන් දෙදෙනෙක්, තහනම් ආලයක්, යම් ආකාරයක මානසික රෝගයක්, මිනී මැරුමක් (ඔව්. එය සැබැවින්ම මිනී මැරුමකි. එනම් මරණ මොහොත වන විට මරා තිබූ මිනියක් නැවත මැරීමකි) යනාදී වශයෙන් කියවන්නා තදින් ඇද බැද ගන්නා එමෙන්ම කතාන්තරය කියවා අවසාන වන තුරුම යළි යළිත් ඒ පිළිබදව සිතීමට පොළඹවනසුළු කියවා අවසාන වූ පසු පවා එයින් ඇතිකරවන අන්ධකාර සෙවනැල්ලෙන් ගැලවීමට නොහැකි තත්වයක් මවන මංජුල සේනාරත්නගේ අපූරු අභිරහස් වියමන මම සැබැවින්ම රස වින්දෙමි. එය ඔබද රසවින්ද යුතුමය. 


No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...