මානසික රෝග යනු පුද්ගලයෙකුට වැළදිය හැකි ඕනෑම රෝගයක් මෙන් වූ තවත් එක් රෝගී තත්වයන් විශේෂයකි. දියවැඩියාව, හෘදයාබාධ, නියුමෝනියාව, ඒඩ්ස්, ඩෙංගු වැනි ඕනෑම රෝගී තත්වයකට ඒවාට ආවේණික ලක්ෂණ සහ ප්‍රතිවිපාක ඇත. මානසික රෝග වලටද එසේමය.
ඇතැම් විට ශාරීරික වශයෙන් පෙනෙන ලක්ෂණ හා ප්‍රතිවිපාක මෙන්ම මානසික මට්ටමින් පුද්ගලයෙකුගේ හැසිරීමෙන් පෙනෙන ලක්ෂණ හා ප්‍රතිවිපාකද ඊට ඇත. එය මානසික රෝග වලට පමණක් සුවිශේෂී වූ තත්වයක් නොවේ. ඉහත සඳහන් කළ ඕනෑම රෝගයකද භෞතික ශරීරයෙන් නොපෙනෙන හැසිරීමේ වෙනස් වීම් සහ ප්‍රතිවිපාක ඇතිවිය හැකිය. උදාහරණයක් ලෙස අධික වේදනාව හේතුවෙන් පුද්ගලයෙකු සිහි විකල තත්වයට පත්වීමේ ඉහළ හැකියාවක් තිබේ.
නමුත් මානසික රෝග වෙනත් රෝගී තත්වයකට වඩා වෙනස් සුවිශේෂී රෝගී තත්වයක් වශයෙන් සමාජය හදුනාගනී. ඒ තුල මානසික රෝග අද්භූත කුලකයක ලා වර්ග කරති. නමුත් සත්‍ය තත්වය නම් ශාරීරික රෝගයක් හා මානසික රෝගයක් අතර ඇත්තේ හෘදයාබාධයක් සහ ඩෙංගු අතර ඇති වෙනස මෙන් වූ වෛද්‍ය විද්‍යාත්මක වෙනසක් පමණි. එම වෙනස මානසික රෝගයක් කිසිසේත්ම ශාරීරික රෝගයකට සාපේක්ෂව අද්භූත ලෙඩක් බවට පත් කරන්නේ නැත.
නමුත් මානසික රෝග සම්බන්ධයෙන් සමාජය තුල වෙනත් ලෙඩ රෝග වලට නොමැති අන්දමේ අනියත බියක් සහ පිළිකුලක් ඇති බව පෙනේ. මෙසේ සිදුවීමට හේතු රාශියක් ඇත. ඒ අතරින් පහත ඒවා විශේෂ කොට සැළකිය හැකිය:-
1. බැලු බැල්මට පෙනෙන අද්භූත බව
මානසික රෝගියෙකු බැලු බැල්මට අද්භූතය. ශාරීරිකව කිසිඳු දුර්වලතාවයක්, ආපදාවක් නොපෙනෙන පුද්ගයෙකු බොහෝ විට හිටි හැටියේ ඔහුගේ හුරුපුරුදු චරිත ලක්ෂණ වලින් වෙනස්ව හැසිරීම බිය උපදවයි. එය අහිංසක හැසිරීමක සිට අතිශය කළහකාරී බිහිසුණු හැසිරීමක් දක්වා විහිදිය හැකිය.
එවැනි බිහිසුණු හැසිරීමක් දකින, මානසික රෝගයක වෛද්‍ය විද්‍යාත්මක හරය නොදත් පැරැන්නෝ එය යක්ෂයා හෝ භූතයෙකු, පෙරේතයෙකු විසින් පුද්ගලයාගේ සිරුරට වැද එය බලහත්කාරයෙන් අත්පත් කරගැනීමක් ලෙස සැළකූහ. එම විශ්වාසය ඇතැම් පුද්ගලයන් තුල අද දක්වාම නොවෙනස්ව පවතින ආකාරය දැකිය හැකිය.
මේ හේතුවෙන් පුද්ගල ශරීරයට අරක්ගත් ඒ යක්ෂයා, භූතයා හෝ පෙරේතයා එළවා දැමීම හෝ එම ශරීරයට හැර යන ලෙස එම බලවේගයට ආයාචනා කිරීම හැර එවන් රෝග සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නොමැති බව පැරැන්නෝ ඇදහූ බව පෙනේ. ඒ අනුව එය නිසි විසඳුමක් නැති භයානක ප්‍රශ්නයකි. මානසික රෝග සම්බන්ධයෙන් සමාජයේ මුල්බැසගෙන ඇති අද්භූත ගුඪ ආකල්පයේ පදනම පෝෂණය කරන එකි කරුණක් ලෙස මෙය සැළකිය හැකිය.
2. මෘදුකාංග සංකල්පය
නූතන විද්‍යාව මනස යනු මොළයේ ජෛව රසායනික ක්‍රියාකාරීත්වය හේතුවෙන් උපදින මායාවක් යැයි හඳුනා ගත්තද, ඇතැම් දෘෂ්ටිවාද ශරීරය වෙනම ඒකකයක් ලෙසද මනස වෙනම ඒකකයක් ලෙසද ගන්නා බව පෙනේ. ඒ අනුව ශරීරය පුද්ගලයෙකුගේ දෘඪාංග (Hardware) කොටස ලෙසද, මනස ජීවය ඇතිවීමේදී පිටතින් පැමිණ අරක්ගන්නා මෘදුකාංග (Software) කොටස ලෙසද සැළකුණි. මෙය දීර්ඝ කාලයක් තිස්සේ සමාජයේ මුල්බැසගෙන තිබූ මතයකි.
ඒ අනුව මෘදුකාංග ස්පර්ශ කළ නොහැකිය. පියවි ඇසින් දැකිය නොහැකිය. සරළ දෘෂ්ටියෙන් මේ දෙස බලන මිනිසාට මනස යනු ඇත්තේත් නැති නැත්තේත් නැති අද්භූත යමක් ලෙස පෙනේ. එකී සිතිවිල්ල පදනම ලෙස ගෙන අද්භූත ඒකකයක් ලෙස විග්‍රහ කරගන්නා සිතේ ඇතිවන වෙනසක්ද අද්භූත ලෙස ගන්නා තැනට මිනිසා නිතැතින්ම තල්ලු වේ.
3. කර්මය හෝ දෙවියන්ගේ කැමැත්ත
අතීත වෛද්‍ය ක්‍රම මගින් ශාරීරික රෝගී තත්වයන්ට නිශ්චිත ප්‍රතිකාර හඳුනාගත්තද මානසික රෝග ලෙස හෝ ආවේශයන් ලෙස හඳුනාගන්නා රෝගී තත්වයන්ට තොවිල් පවිල්, යාග හෝම, ආගමික පූජා ආදිය මිස වෙනත් ප්‍රතිකාර හඳුනාගත් අවසථා දක්නට ඇත්තේ ඉතාම සුළු වශයෙනි. මෙකී යාග හෝම තුලින් ඇතැම් අයට රෝග සුව විය (එහි විද්‍යාත්මක පදනම වෙනත් ලිපියකින් විස්තර කෙරේ). ඇතැම් අයට සුව වූයේ නැත. ඒ අනුව පැරැන්නෝ එයට දිය හැකි පහසුම පැහැදිලි කිරීම ලබාදී හිත හදාගත්තෝය. එය රෝගියාගේ කර්මයයි, නැත්නම් දෙවියන්ගේ කැමැත්තයි. එතැනින්එ එහාට එය ප්‍රශ්න කිරීමට හැකියාවක් ඒ අනුව නොලැබේ.
ඉහත දක්වන ලද හේතු තුන ප්‍රධානව තවත් හේතු රාශියක් මත මානසික රෝග මහා අද්භූත, භයංකර, විසඳුමක් නැති, කිසිදා සුවකළ නොහැකි, පුද්ගලයෙකුගේ ජීවිතය පුරාවටම අඳුරු සෙවණැල්ලක් බවට පත්වන සංකල්පයක් ලෙස නාමකරණය විය. ඒ අනුව මානසික රෝගියෙකු සමාජ තලයෙන් හලන පිස්සකු බවට හඳුනා ගැනීම සිදුවිය. මානසික රෝග කිසිදා නිට්ටාවට සුවකළ නොහැකි ඒවාය, එක්වරක් පිස්සු හැදුණ අයෙකුට ජීවිතය පුරාම පිස්සුය (once a lunatic always a lunatic) යන මිත්‍යා විශ්වාසය මත මානසික රෝගයකට ප්‍රතිකාර ලබාගැනීම පවා ලෝක අපවාදයට, අපහාස ගැරහුම් ලැබීමට හේතුවක් බවට පත්විය.
බොහෝ දික්කසාද නඩු වලදී තමන්ගේ කලත්‍රයා කළකට පෙර විශාදය (depression) සඳහා ප්‍රතිකාර ලබාගෙන තිබේය යන පදනම මත නඩුව සඳහා උපදෙස් ලබාදීමේදී "ඔය මිනිහට/ගෑණිට මානසික ලෙඩක් සර්. ඇත්තටම බැලුවොත් පිස්සෙක්. කාලෙකට කලින් බෙහෙතුත් බිව්වා" යනුවෙන් ප්‍රකාශ කරන අවස්ථා ඕනෑ තරම් මට හමුවී තිබේ.
මෙම ප්‍රකාශය කරන්නේම මානසික රෝගයක් වරක් වැළඳෙන තැනැත්තෙකුට එයින් කිසිදා ගැලවීමක් නොමැති බවට වන විශ්වාසය මත පදනම්වය. සරළව ශරීරයෙන් වෙන්වූ ඒකකයක් වන මනසට ප්‍රතිකාර කළද එහි පලක නොමැති බවට විශ්වාසයක එල්බ ගැනීම මත පදනම්වය.
නමුත් සැබෑ තත්වය නම් බොහෝ මානසික රෝග නිට්ටාවටම සුව කිරීමට නිසි වෛද්‍ය ප්‍රතිකාර මගින් හැකිය. සුවකළ නොහැකි මානසික රෝග ඇත. සුවකළ නොහැකි ශාරීරික රෝගද ඇත. එබැවින් ඇතැම් මානසික රෝග සුවකළ නොහැකි වීම මානසික රෝගයක් අද්භූත ලෙඩක් බවට පති නොකරයි.
මෙම සාවද්‍ය පදනම් මත මානසික රෝග අද්භූත ඒවා ලෙස ගන්නා මිනිසුන් ඒවාට ප්‍රතිකාර ලබා ගැනීමෙන් වලකිති, ඊට අදිමදි කරති, ආගමික හෝ වෙනත් උපදේශන මගින් හෝ හිත ශක්තිමත් කිරීම හෝ ආත්ම විශ්වාසය වැඩි කිරීම මගින් ඕනෑම මානසික රෝගයක් සුවකළ හැකි බවට ව්‍යාජ විශ්වාසයක එල්බ සිටිති. මේ මත වසරකට විනාශ වී යන ජීවිත ප්‍රමාණය අතිවිශාලය.
සැබෑව නම් බෙහෙත් පෙත්තක් ලෙස ගන්නා ඖෂධ වලින් මිනිසෙකු සිතන පතන ස්වරූපය පවා වෙනස් කළ හැකිය. උද්‍යෝගිමත් පුද්ගලයෙකු උදාසීන කළ හැකිය. උදාසීන අයෙකු උද්‍යෝගිමත් කළ හැකිය. ඒ සියල්ල මොළයේ සෛල වල ජෛව රසායනික ක්‍රියාකාරීත්වය මත පදනම් වේ. එම ජෛව රසායනික ක්‍රියාවලිය කෘතිමව ඖෂධ මගින් වෙනස් කිරීමෙන් සිතුවිලි වල දිශානතිය පවා වෙනස් කළ හැකිය. මතක ශක්තිය වැඩි දියුණු කළ හැකිය. මොහන ප්‍රතිකාර ආදිය මගින් පවත්නා මතකයක් බොඳ කර දැමීම මෙන්ම ව්‍යාජ මතකයක් රෝපණය කිරීම පවා කළ හැකිය.
එබැවින් මානසික රෝග සම්බන්ධයෙන් ලෝකයේ මුල්බැසගෙන ඇති අද්භූත ගුඪ ආකල්පය බිඳ හෙළිය යුතුවේ. මානසික රෝගයක් වුවද සාමාන්‍ය රෝගී තත්වයක් ලෙස සළකා අනවශ්‍ය ලැජ්ජාවකින් බියකින් හෝ චකිතයකින් වහාම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන මට්ටමට ආකල්ප සකසා ගත යුතුය. එය එක් අතකින් ජීවිතය යථාර්ථවාදීව දැකීමකි. අනෙක් අතින් ජීවිත රාශියක් බේරා ගැනීමකි.
No comments:
Post a Comment