රත්න ශ්රී විජේසිංහයන් ලියපු රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු මේ සුන්දර ගීතය පිළිබදව අර්ථකථන ගණනාවක් මම කියවලා තියෙනව. ඒවා බොහොම සුන්දර අර්ථකථන. නමුත් ගීතයෙන් කියැවෙන සත්ය පණිවුඩයෙ සුන්දරත්වය වැඩි වෙන්නෙ සුන්දර පසුබිමකදි ඒක කියනවට වඩා කිසිවක් කරකියාගත නොහැකි අසීරු දුක්ඛදායක අඩියකට වැටුණු පසුබිමක ඒක කියවද්දි. ඒ නිසා මම කල්පනා කළා මේ සුන්දර ගීතයට කටුක වටපිටාවක් දෙන්න. ඒ කටුක පසුබිම මැද පියෙකු දියණියක වෙනුවෙන් දක්වන අසීමිත ආදරයේ සුන්දරත්වය වඩාත් සුන්දරව කැපී පෙනෙයි කියල මම හිතනව.
සාමාන්යයෙන් පුතෙක් වැඩිපුර බැදෙන්නෙ මවට. දුවෙක් අම්මට වඩා පියාට බැදෙනව. ඒ වගේම තමයි අනෙක් පැත්තටත්. බණ්ඩාර ඇහැළියගොඩ ලියපු "දුවේ නුඹ මගෙ ප්රාණයයි" ගීතයෙ පියෙකු දියණියකට දක්වන අසීමිත සෙනෙහස බොහොම ලස්සනට කැටි කරල තියනව.
නමුත් පියෙකුගේ සෙනෙහස බැලු බැල්මට පෙනෙන්නෙ හරි අඩුවෙන්. තාත්තෙක්ව දරුවෙක් දකින්නෙ සංවේදී බව අඩු මහා වෘක්ෂයක් විදියට. ඒ මහා වෘක්ෂය අම්මා සහ දරුවන් වසාගෙන වැවිලා අවුවෙන් වැහි පොදකින් වත් තමන්ගෙ බිරිදට දරුවන්ට අපහසුවක් හානියක් කරදරයක් නොවෙන්න ඔවුන්ට සෙවණ දෙනව. නමුත් ඒ මහා සෙනෙහස බැලු බැල්මට පේන්නෙ නැහැ. අඩුවෙන් සිනාසෙන කතාව අඩු දරුවන්ගෙ සතුටෙදි මද සිනාවක් විතරක් පෙන්නල හිත ඇතුලෙන් පෙරළි පෙරළි හිනා වෙන දරුවන්ගෙ දුකකදි ලොකු කලබලයක් නොපෙන්වා අවශ්ය දේ සොයලා බලලා කරන ගමන් හිත ඇතුලෙන් ඉකිගසා හඩන පියවරු වෙනුවෙන් තමයි එක් සුන්දර දියණියක් වන මාලනී ජයරත්න "පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ" කියල ලියන්නෙ.
මෙතනදි කතා කරන මගෙ දුවේ නුඹ අවදියෙන් නම් ගීතය හරියට හිතට දැනෙන්න රස විදින්න නම් මුලින් ඔය බණ්ඩාර ඇහැලියගොඩගෙ දුවේ නුඹ මගෙ ප්රාණයයි ගීතයත් මාලනී ජයරත්නගෙ අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී ගීතයත් අහල ඉන්න ඕන. ඒ ගීත දෙක ඇති කරන සංවේදීකම ඇතුලෙ මේ ගීතයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වන බව දැනෙයි.
ඒ සින්දු දෙක අහල තිබුණට කමක් නෑ. මෙතනින් එහාට කියවන්න කලින් ඒ සින්දු දෙක අහල එන එක හොදයි.
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි
තාත්තා බලන්නෙ දුව අවදියෙන්ද කියල. සුන්දරත්වය විදින්න ලෝකය කියවාගන්න ඔහු තමන්ගෙ ආදරණීය දුවට ආරාධනා කරනව. හැබැයි තාත්ත දන්නව දුව දැන් ඉස්සර වගේ නෙමෙයි කියල. ටිකක් අසංවේදී. මනස විවෘත නෑ. ටිකක් හිතුවක්කාරයි. ඒ නිසා ඇත්තටම මේ ගීතය හරියටම ගැලපෙන්නෙ ආදරණීය තාත්තෙක් සහ හිතුවක්කාර දුවෙක් අතර නෝක්කඩුවක් තියෙන වෙලාවකට. දුවේ උඹ සංවේදී නම් නුඹේ හිත විවෘත නම් නුඹට පෙනෙයි මේ මොහොතේ තියන සුන්දරත්වය. මොකද අසංවේදීව තමන්ගෙ සිතුවිලි සිර ගෙයක හිරවෙලා ඉන්නෙ නැතුව දොර ඇරගෙන සැබෑ ලෝකෙට බැස්සොත් නුඹට පෙනෙයි මේ මිහිරි දේවන් උඹ වෙනුවෙන්ම බව. තාත්තෙකුට මොකක්ද දුවට දෙන්න පුළුවන් මිහිරිම දේ. ඒ තමයි ආදරේ. ඒ නිසා මෙතනදි තාත්ත දුවට අවදියෙන් නම් දොර ඇරගෙන එළියට ඉන්න කියන්නෙ තාත්තගෙ ආදරේ විදින්න. මේ රැයේ මිහිරිම වෙලාව වෙන්නෙ ඇයි. ඒ ආදරය මිහිර දුවට දෙන්න තාත්තා තවම ජීවතුන් අතර නිසා. සමහරවිට දුව අවදි වෙනකොට සිතුවිලි සිරගෙයි දොර ඇරගෙන එළියට එනකොට තාත්තා තවදුරටත් ජීවතුන් අතර නොසිටින්න පුළුවන්. එතකොට මිහිරක් කොයින්ද. රාත්රි අන්ධකාරය පමණක් තියෙයි. ඒ නිසා තාත්ත දුවට ආරාධනා කරනව පටු හිරගෙවල් වල හිරවෙලා ඉන්නෙ නැතුව තමන් ජීවතුන් අතර ඉද්දි එළියට ඇවිත් ඒ සෙනෙහස විදින්න කියල.
සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරුකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළව කොතරම් සුන්දරද
මගේ දූ තනියම හිනාවෙයි
සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාව සුන්දර රාත්රිය ජීවිතයේ සැදෑ සමය උදා වෙලා. නමුත් ඒ සැදෑ සමය බොහොම සුන්දර කරගන්නට පුළුවන්. තාත්තට තියෙනව දුවත් එක්ක බෙදාගන්න අත්දැකීම් ගොඩක්. කියල ඉවර කරගන්න බැරි කතා ගොන්නක්. සමහර කතා කියන්නත් බැරි ඒව. නිල් තාරුකා බිම බලාගෙන වැව් දියට පෙම්බැදි වෙලාවයි කියන එකෙන් මම හිතන විදියට අර්ථයන් දෙකක් ගන්න පුළුවන්. එකක් තරු එළිය වැවට වැටිලා දිලියෙස අපූරුව ගැන සෞන්දර්යාත්මක විවරණය. අනෙක තරු එළිය වැවට තරු එළිය වැටුණට ඒ එළියෙන් ලැබෙන්නෙ බොහොම සීමිත ආලෝකයක්. ඒ වගේම තාරකා සහ වැව් දිය කියන්නෙ එකිනෙකින් බොහොම දුරස්. නමුත් ඒ තුරු එළියෙන් පුංචි දිලිසීමක් තියන පොළව දිහා දුව තනියම හිනා වෙවී බලාගෙන ඉන්නවා. ඒ නිසා මේ තාත්තා සහ දුව අතර දුරස් බව දුවගෙ ප්රේමයක් නිසා ඇතිවුණ එකක් බවට ඉගියක් තියනව. තාත්තා දුර ඉදන් ඒ ප්රේමය දිහා බලාගෙන ඉන්නව. වැව් දියේ සියුම් දිලිසීම වගේම ඒ දිලිසීමේ තියන ප්රමාණවත් නොවන බව තරු සහ වැව් දිය අතර තියන දුරස් බව තාත්තා දකිනවා. ඒක දුවට පේන්නෙ නෑ. දුව සේපාලිකා මලක් නටුවෙන් ගිලිහෙනවා වගේ බිමට බැහැලා ඉවත්ව යන්නයි හදන්නෙ.
ගණ කළුවරට අප පෙම් කලොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට හෙට
ලොවට පෙරලා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි
තරු එළිය වැටිලා දිලිසෙන වැව් ජලය මහ පොළොව සුන්දරව පේන්නෙ එතන තියන අන්ධකාරය නිසා මයි. ඒ අන්ධකාරය අතර පේන පුංචි එළිය ලස්සනට පේන බව ඇත්ත. ඒත් ඒ දර්ශනයට පෙම් බදිනව කියන්නෙ එක විදියකට අදුරට පෙම් බදිනව කියන එක. අදුරට පෙම් බැන්දොත් එතන ජීවිතය ජීවත් කරන්නට අවශ්ය ආලෝකය ශක්තිය ඇත්තේ නැහැ. ඒ නිසා හැමදාම ඉර හද තරු වැනි ආලෝක ප්රභව වලට ණයගැතිවයි ඉන්නට වෙන්නෙ. ලෝකයත් එක්ක කරන ගනුදෙණුව පහසු එකක් නෙමෙයි. ලෝකය අපිට ජීවිතය ආදී හැම දෙයක්ම දෙනවා. අපි ඒවා ආපසු දිය යුතුයි. ඒ ගණුදෙනුවේ තියන සංකීර්ණ ස්වභාවය ඒකයි. ලෝකයෙන් ජීවය අරන් ආපු තාත්තත් දවසක ලෝකය විසින්ම අත්පත් කරගන්නවා ඇති. පොළවට පස් වෙනවා ඇති. ඒ ලෝකයට දුව ආදරය කරනවා නම් මුළු ලෝකයම දුවටත් ආදරය කරයි. ඒ ඇත්ත දකින්න අවදි වෙන්න. සිතුවිළි සිරගෙයි දොර ඇරගෙන එළියට බහින්න. මේක තමයි ජීවිතයේ පිය සෙනෙහසේ මිහිරියාව රසවත්වම විදින්න පුළුවන් වෙලාව කියලා තාත්තා දුවට නැවත නැවතත් ආරාධනා කරනවා.
සමහරවිට මේ ගීථය ගැන ගීතය ලියපු රත්න ශ්රී විජේසිංහයන්ගේ කියවීමත් මේක නොවෙන්න පුළුවන්. ඒත් මම කැමතියි මේ ගීතය මම ආසා විදියට කටුක පසුබිමකට දාලා කියවන්න. සමහරවිට කෙනෙකුට තාත්තාගේ ආදරය හරිහැටි තේරුම් යන්නට ඒක කටුක පරිසරය තුල අත්දකින්නටම වෙන්නට පුළුවන්. එහෙම මං මුළා වුණ කාට හෝ මං ආරාධනා කරනව මම මුලින් සදහන් කරපු ගීත දෙක අහලා ඊට පස්සෙ මගේ මේ කියවීමත් එක්ක මේ ගීතය අහන්න. ඔබට සමහරවිට පිය සෙනෙහසේ සැබෑ මුහුණුවර හමුවෙයි.
No comments:
Post a Comment