Monday, August 17, 2020

ඉටි කර්මාන්තෙ



"සුද්දගෙ නහයෙන් හොටු පෙරෙනවා" කියල ඉස්සර තේරවිල්ලක් තිබ්බ. උත්තරේ ඉටි පන්දම. දැන් පොඩි උන් නම් ඕක දන්නවද සැකයි. ඔය ඉටි පන්දම දිගේ පහළට ගලාගෙන එන ඉටි අත පිච්චෙන නොපිච්චෙන ගානෙදි එකතු කරගෙන ඒකෙන් අනං මනං රූප අඹන එක තමයි පොඩි කාාල නංගිගෙයි මගෙයි ප්‍රියතම කර්මාන්තෙ. ඒ රූප හදල ඒව ආපහු ඉටි පන්දමේ දැල්ලටම අල්ලල දියවෙලා ඇඹරිලා යන හැටි බලාගෙන ඉන්න එකෙත් අමුතු සතුටක් තියනව. අපි දෙන්නගෙ ඔය වැඩේට ඉටි කර්මාන්තෙ කියල නම දැම්මෙ අප්පච්චි.

ඉස්සර දැන් වාග් නෙමෙයි. නිතරම ලයිට් යනව. කරන්ට් යනව කියල නෙමෙයි ඉස්සර කිව්වෙත්. ලයිට් යනව කියල. මොකද රාත්‍රියට ආලෝකය ඇරෙන්න විදුලියෙන් ගත්තු ප්‍රයෝජන හරි අඩු හින්ද. ෆෑන් නම් ඉතින් අදාළම නෑ. ඔය නිතර ලයිට් යාම හින්ද ඉටිපන්දම් එළියෙන් හරි ලාම්පු එළියෙන් හරි වැඩ කරගන්න එක ඉස්සර අපිට හරි සාමාන්‍ය දෙයක්. මං හිතන්නෙ ඒ නිතර නිතර ලයිට් යාම නැවතුනෙ ඔය අද පොඩ්ඩක් ලෙඩ දීල තියන නොරොච්චෝලේ හැදුවට පස්සෙ.

අපි පුංචිම කාලෙ තිබුණෙ කුප්පි ලාම්පු. ඊට පස්සෙ ආව බල්බ් ලාම්පුව. ඒ දෙකම හරි අවදානම්. පෙරලුනොත් ඇතුලෙ තියන ලාම්පුතෙල් එළියට ගලල ගිනි ගන්නව. ඒ කාලෙ පාඩම් කරන්න ගිහින් කුප්පි ලාම්පුව පෙරළිල පිච්චිච්ච ළමයෙක් ගමකට දෙකකට ඉන්නවමයි. ඊට පස්සෙ ආව ආරක්ෂිත ලාම්පුව කියල එකක්. ඒකෙ තෙල් ටැංකිය හිර කරල වහන්න පුළුවන්. පෙරළුණ ගමන් තිරේ ගාව කෑල්ලක් එළියට ඇවිත් තිරේ වැහෙනව. ඒක හින්ද ලාම්පුව නිමෙනව. ඔය ලාම්පුවක අප්පච්චි ගෙනාවෙ සණස ක⁣ඩෙන්. එතකොට මං පහේ පන්තියෙ විතර ඇති. ඒ ලාම්පුව මගෙ ජීවිතේට කොච්චර බැඳුණාද කියනවනම් ඒකෙ නමන් "ලාම්පුව" කෑල්ල හළල මං ඒකට කිව්වෙ "ආරක්ෂිත" කියල. අම්මගෙන් වුණත් අහන්නෙ "කෝ ආරක්ෂිත?" කියල.

පාඩම් කරන ළමයින්ට කුප්පි ලාම්පුවලින් වෙන අනතුරු ඉටිපන්දම් ජනප්‍රිය වෙන්න හේතුවක් වෙන්න ඇති. නංගියි මායි දෙන්නම පාඩම් කරන කාලෙ ඒ කියන්නෙ නංගි ටිකක් ලොකු වුණාම ලයිට් ගිය වෙලාවට අපි පාවිච්චි කළේ ඉටිපන්දම්.

ඔය කාලෙ තමයි ඉටි කර්මාන්තෙ ප්‍රවර්ධනය වෙන්න පටන් ගත්තෙ. පාඩම් කර කර ඉඳල කම්මැලි හිතුණාම (හැම විනාඩි දෙකකට සැරයක්ම එහෙම වෙනව) අම්මා අප්පච්චි පේන්න නැති වෙලාවක් බලල මම ළඟ තියන ඉටි පන්දමෙන් වැක්කෙ⁣රෙන ඉටි ටිකක් අරන් බෝලයක් හදනව. ඊට පස්සෙ ඒක වෙන මොකක්හරි හැඩේකට හදල ආපහු දැල්ලටම අල්ලනව. ඕක දකින නංගිත් ඒකම කරනව. අම්මහරි අප්පච්චිහරි එනව ඇහුණොත් මම සාමාන්‍ය⁣යෙන් කරන්නෙ මගෙ අතේ තියන ඉටි බෝලෙත් නංගිට දෙන එක. ඉතිං බොහෝවිට අප්පච්චි එනකොට නංගිගෙ අතේ ඉටි ගුලි දෙකක්. අතටම අහුවෙනව.

"ආය පටන්ගත්තද ඉටි කර්මාන්තෙ?"
අප්පච්චි සැර කරනව.

මං පාඩුවෙ මොකුත් නොදන්න මිනිහ වගේ පොතට මූණ ඔබාගෙන වැඩ. නංගි බැණුමුත් අහල මටත් රව රව ආයෙ පාඩම් කරන්න පටන්ගන්නව. ඊළග වතාවෙත් වෙන්නෙ අරකම තමයි.

නොරොච්චෝලේ හැදුවට පස්සෙ ළඟ ළඟ ලයිට් යාම නතර වුණා. ආලෝක තත්වයත් වැඩි වුණා. අපි විදුලියෙන් ගන්න ප්‍රයෝජනත් වෙනස් වුණා. ලයිට් යාම කරන්ට් යාම වෙන්නෙ එහෙම. දැන් නම් ඉතින් ලයිට් අදාළම නෑ. ෆෑන් එක නැතුව තමා ඉන්න බැරි.

ඊට පස්සෙ මම පාඩම් කරන කාලෙ ලයිට් ගිහින් මුළු රෑම ආවෙ නැති දවසක් මට මතක තියෙන්නෙ 2007. ඒ දිනේ මට හොඳට මතක පහුවදා උසස්පෙළ ආර්ථික විද්‍යාව දෙවනි ප්‍රශ්න පත්තරේ තිබුණ හින්ද. එදා නම් මට ඉටි කර්මාන්ත කරන්න ඉස්පාසුවක් තිබුණෙනෑ.

ඊට පස්සෙත් ලයිට් ගියපු වෙලාවල් ඉටිපන්දම් පත්තු කරපු වෙලාවල් ඕන තරම් තිබුණ. ඒත් මට ඉටි කර්මාන්තෙ මතක් වුණේම නෑ. අද මතක් වුණේ පුංචි දුව කැඩිච්ච වචන කිය කිය ඉටි පන්දම ළඟට ගිහින් වැක්කෙ⁣රෙන ඉටි දිහා බලාගෙන ඉන්න උනන්දුව දැකලා.

ඇත්තටම ඒ දර්ශනය හරිම ⁣පොළඹවන සුළුයි. පොඩි ළමයෙක් නෙමේ. වැඩිහිටියෙක් පවා. ඉතින් ඒ සුන්දර මතකය ආපහු ගෙනාපු හින්ද මේ විදුලිය විසන්ධි වීමට මං ස්තූති කරනව. ඒත් දැන්නම් කරන්ට් ආවොත් හොඳයි. ඉටි කර්මාන්තෙ කෙසේ වෙතත් දැන් මට ෆෑන් එක නැතුව නින්ද යන්නෙ නෑ.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...