"නූතන විද්‍යාවේ අහවල් සංකල්පය බොරුවක් ලෙස ඔප්පු විය. එනිසා හේතුවාදීන්ගේ පදනම සුන්විය. හූ... හූ...."
ඉහත විවේචනය/ ඔච්චම බොහෝවිට ආගම්වාදීන් වෙතින් හේතුවාදීන්ට යොමු වන්නක්. නමුත් එම විවේචනය/ඔච්චම හේතුවාදය යනු කුමක්ද යන්න පිළිබඳව හුදු නොදන්නාකම හෝ අනවබෝධය මත සිදු කරන්නක්.
විද්‍යාවේ වුවද කලින් කලට හමුවන සොයාගැනීම් හේතුවාදයට පදනමක් වන්නේ නැහැ. හේතුවාදයේ එකම පදනම නිරන්තර විවෘත මනසින් සියල්ල විමසීම.
එනම් යම් දෙයක පවතින පිළිගත හැකි තැන් මොනවාද? පිළිගත හැකි නම් ඒ ඇයි? තර්කානුකූලව තහවුරු වන තැන් මොනවාද? අතාර්කික ඇදහීම් මොනවාද? පිළිගත නොහැකි දේ මොනවාද? පිළිගත නොහැකි නම් ඒ ඇයි? පිළිගැනීමටත් නොහැකි ප්‍රතික්ෂේප කිරීමටත් නොහැකි තැන් මොනවාද? ඒවා පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වීම සඳහා තාර්කික පදනමක් තිබෙන්නේද? නැතහොත් ඒ හුදෙක් එය දන්නා බව කියූ කෙනෙකුගේ (ආගමික නායකයෙකුගේ) ප්‍රකාශයක් මත සිදුකරන අන්ධ පිළිගැනීමක්ද? යනුවෙන් නිරන්තරයෙන් එදිරිවාදී විසම්මුතික දෘෂ්ටිකෝණයෙන් (objective approach) යුතුව සියලු දේ ප්‍රශන කිරීම හේතුවාදයේ පදනමයි.
එහෙත් ඇදැහිලිකරුවන් සහ විශ්වාස මත දිවි ගෙවන්නන් බොහෝ විට, හේතුවාදීන්ද ආගමිකයන් මෙන්ම විද්‍යාවේ හෝ යම් දෘෂ්ටිවාදයක සංකල්ප ඉස් මුදුණින් පිළිගත් ඒවාට වන්දනාමාන කරන අය බවට වන තැනක තබා සංවාද කිරීමට කැමැත්තක් දක්වන බව පෙනී යනවා. එසේ සිදුවී ඇත්තේ ඇයි?
මට හැඟෙන ආකාරයට ඊට ප්‍රධාන හේතු 2ක් තිබෙනවා:-
1. ස්වෝපමාන චින්තනය
එනම් අන් අයත් තමා වැනිය යන ආස්ථානයේ සිට කල්පනා කිරීම. ශ්‍රද්ධාව, භක්තිය, සර්ව බලධාරියෙකුට හෝ කර්ම විපාකයකට ඇති බිය, උපතින් උරුම කොටගෙන ඉපදීම (බොහෝ දෙනෙකුගේ ආගමික විශ්වාසවල පදනම මෙයයි) වැනි කරුණක් මත පදනම්ව කුමක් හෝ දෙයක් පිළිබඳව ඇදහීමට හෝ වන්දනාමාන කිරීමට උපතේ සිට හුරුවී ඇති මිනිසෙකුට, කිසිවක් නොඅදහන කිසිවකට වන්දනාමාන නොකරන මිනිසුන් සිටී යන්න එක්වරම පිළිගැනීමට අවශෝෂණය කරගැනීමට අපහසුවක් පවතිනවා.
කවුරුන් මොනවා කිව්වත් හේතුවාදීන්ද යම් පුද්ගලයන්ට, ද්‍රව්‍ය වලට හෝ පුද්ගලයන්ට වන්දනාමාන කරනවා ඇති, ඒවා අදහනවා ඇති, කුමක් හෝ ඇදහීමක් නැතිව මිනිසෙකුට ජීවත් වන්නට බැරිය යන මතයේ හේතුවාදීනුත් සිටිනවා ඇතැයි ඔවුන්ට සිතීමේ පදනම ඒකයි.
උදාහරණයක් ලෙස "හේතුවාදීන් මැරුණාම වතාවත් කරන්නේ කොහොමද?" යන ප්‍රශ්නය යම් සමච්චලයක්ද සහිතව මේ ෆේස්බුක් සමූහයේදිම ආගම්වාදීන් විසින් යොමුකර තිබෙන ආකාරය මා දුටුවා. එනම් මෙහිදී පෙනී යන්නේ ජීවත්ව සිටියදී මොන පණ්ඩිත කතා කීවද මියගිය පසු ආගමික වතාවත් සිදුකරගැනීමට එතෙක් කල් තමා විසින් විවේචනය කරන ලද පූජකයන් සහ ආගමික සංස්ථාවන් පස්සේ යන්නට සිදුවන අසරණ තත්වයට හේතුවාදියා පත්වන බවක් මේ අය සිතන බවයි.
ඒ ප්‍රශ්නය නැගීමෙන්ම පෙනී යන්නේ "ඕනෑම පුද්ගලයෙකු මියගිය පසුව කුමක් හෝ ආගමික වතාවතක් සිදුකිරීම අනිවාර්ය වන්නේය" යන මතයේ මේ පුද්ගලයන් සිටින බවයි. ආගමික වතාවත් නොමැතිව මළ සිරුරක් මිහිදන් කිරීම හෝ ආදාහනය කිරීම කළ නොහැක්කක් සේ මේ අය සිතනවා. නමුත් සැබැවින්ම එවැනි දෙයක් නැහැ. කිසිම ආගමික වතාවතක් නොමැතිව සිරුර මිහිදන් කළද එය දිරාපත්වෙනවා. ආදාහනය කළොත් එය පිළිස්සී අලුවී යනවා. ඒ අනුව මියගිය පසු ආගමික වතාවත අවශ්‍යද නැද්ද යන්න සියයට සියයක්ම තීරණය වන්නේ පුද්ගල චින්තනය අනුව පමණයි.
2. තර්කයේ පහසුව
මෙය තර්ක කිරීමේ කළාවේ බොහෝ ප්‍රචලිත ක්‍රමයක්. එනම් යම් තර්කයකට පිළිතුරු දීමට අපහසු හෝ අපොහොසත් වන විට, එකී තර්කය තමාට වැටහෙන බිඳහෙළීමට වඩාත් පහසු තලයක තබා නැවත අර්ථකථනය කිරීම. මෙය නීතිඥවරුන් ලෙස අපි අධිකරණයේදී තර්ක ඉදිරිපත් කිරීමේදීත් යොදාගන්නා ප්‍රායෝගික ශිල්ප ක්‍රමයක්. එවිට මූලිකව එම තර්කය ඉදිරිපත් වූ ශක්තිමත් ස්වරූපයෙන් නොව, වඩාත් පහසුවෙන් පිළිතුරු දිය හැකි දියාරු පදනමකින් තමන්ට පිළිතුරු දීමට වඩාත් පහසු ස්වරූපයකට ගැටලුව පත්කරගත හැකියි.
ඒ අනුව විද්‍යාවේ පදනමක් ලෙස භාවිත කෙරෙන සාපේක්ෂතාවාදයට වඩා නවීන සහ තාර්කික අලුත් පදනමක් සොයාගත්තේ යැයි සිතමු. ආගමිකයන් මෙය හේතුවාදයේ පදනම දෙදරීමක් හෝ විද්‍යාවේ පදනම දෙදරා ගොස් සමස්ථ විද්‍යාවම අමූලික බොරුවක් බව ඔප්පු වූ අවස්ථාවක් ලෙස හුවාදක්වනවා දැකගත හැකියි.
නමුත් සත්‍ය නම් හේතුවාදයේ මෙන්ම විද්‍යාවේද ස්ථිර පදනම නිරන්තරයෙන් ප්‍රශ්න කිරීම බවයි. ඒ අනුව පැවති පදනමට වඩා තාර්කික නව පදනමක් සොයාගැනීම යනු විද්‍යාවේ අර්ථයෙන් ගත්කල ජයග්‍රහණයක් වනවා මිස එහි තේරුම සියලු දෙනා "මේක හරියන මගුලක් නෙමෙයි" යන තීරණයට පැමිණ තපස් රැකීමට යා යුතු බව හෝ යාග හෝම පටන්ගත යුතු බව නොවේ.
ඒ අනුව විද්‍යාවේ නව ඉදිරි පියවරයන් මත විද්‍යාවේම පැරණි පදනම් යල්පනින විට ඒ පිළිබඳව ප්‍රශ්න කරන සමච්චල් කරන ආගමිකයන්ට හේතුවාදීන්ගේ පිළිතුර පහත පරිදි සම්පිණ්ඩනය කළ හැකිය:-
"ඔබ සංකල්ප වලට, පුද්ගලයන්ට, ද්‍රව්‍ය වලට වන්දනාමාන කළද, ඒවා විසම්මුතිකව ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත්තද හේතුවාදය තුල එවැනි වන්දනාමානිත පදනම්, පුද්ගලයන් හෝ ද්‍රව්‍ය නොමැත. හේතුවාදයේ එකම ස්ථිර පදනම විවෘත මනසින් යුතු විසම්මුතික විමර්ශනශීලීත්වයයි. ඒ අනුව විද්‍යාවේ පැවති සංකල්ප යල්පිනීම යනු එකී විසම්මුතික විමර්ශනශීලීත්වයේ මහිමය විදහා දක්වන්නක් මිස අන් කිසිවක් නොවේ"
No comments:
Post a Comment