මේ මොහොතේ පවතින්නේ යථාර්ථය වෙනුවෙන් පෙනී සිටීමක් නොව බොරුව බොරුවක්
බව දැන දැනම කරතබාගෙන යමින් ඒ මත ගොඩනගන ව්‍යාජය තුල මනෝරාජියන් නිර්මාණය
කරන අපූරු සංස්කෘතියකි. මෙම සංස්කෘතියට අනුගත වීම හා එයට සහයෝගය දැක්වීම
මේ මොහොතේ සිදුකළයුතු ඥානාන්විතම ක‍්‍රියාව බව ජනප‍්‍රියවාදී මතයයි.
වර්තමානයේ දේශපාලනය කියා කතා කෙරෙනුයේ කාලීන සිදුවීම් පමණි. දේශපාලනයේ
පිළිගත් න්‍යායන් පිළිබදව උනන්දුවක් නොදක්වන ඒ පිළිබදව නොදන්නා පිරිස්
ආත්මාර්ථය පිළිබදව කතා කිරීම දේශපාලනය බවට පත්වී ඇත.
සියලුම ආකාරයේ
ප‍්‍රාඥ්ඥයන්, උගතුන්, දාර්ශනිකයන්, ආගමික නායකයන් ඉදිරිපත් කරන ලද
දර්ශනයන් තත්කාලීන ගැටලු විසදීමට නොගැලපෙන බව පවසමින් පසුපසට තල්ලු
කෙරෙමින් තිබේ. හාස්‍යජනක කරුණ වන්නේ එසේ ඇතැම් දර්ශනයන් පසුපසට තල්ලු
කෙරෙනුයේ එම දර්ශනයන්ගේම ආරක්ෂාවට බව කියමින් එය සාධාරණීකරණය කරනු ලැබීමයි.
විශේෂයෙන්ම ගැටලු සහගත අවස්ථාවන්හිදී සබුද්ධිකව හැසිරීමට අපේක්ෂිත
මිනිසා මෙවන් අපූරු මනෝභාවයකට පත්වීම සැබැවින්ම ඛේදජනක වේ. මෙම තත්වයට
ජනතාව පත්කිරීමෙහිලා තීරක කාර්යභාරය දේශපාලන පක්ෂ විසින්ද චාලක කාර්යභාරය
ජනමාධ්‍ය විසින්ද ඉටුකොට තිබේ. සමාජ මතවාදය හැසිරවීමෙහිලා තීරක කාර්යභාරය
ඉටුකිරීම දේශපාලන පක්ෂයක භූමිකාවන්ගෙන් එකකි. නමුත් ජනමාධ්‍ය එසේද ඔවුන්ගේ
භූමිකාව ඊට වඩා වෙනස් එකකි. තමන්ගේ වෘත්තියේ ශ්රේෂ්ඨභාවය මාධ්‍යකරුවන්
වටහාගෙන එයට ගැලපෙන අන්දමෙන් තම භාවිතාව හසුරුවා ගන්නේද යන්න ගැටලුවකි.
මාධ්‍ය හරහා ජනතාව ගොනාට ඇන්දවීම කලක පටන් සිදුවූයේ ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය
හා දේශපාලන වැඩසටහන් හරහා පමණි. නමුත් වර්තමානය වන විට ඇතැම් විද්‍යුත්
මාධ්‍යයන්ගේ කාලය සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ තමන්ගේ ඉලක්කගත ප්රේක්ෂකයන්ගේ
මොළ ඉතාම සූක්ෂම අන්දමින් තමන්ට අවශ්‍ය කාර්යය වෙත දිශානගත කිරීම බව
සැළකිල්ලෙන් බැලූ විට පෙනේ.
විද්‍යුත් නාලිකාවක් දවසේ වැඩ ආරම්භ
කරන විට සුළු ආගම සිහිකිරීමේ වැඩසටහනක් විකාශය කිරීමේ වරදක් නැත. ඔ්නෑම
ජඩවැඩක් පන්සිල් ගෙන ආරම්භ කළ විට එහි ඇති ජඩ, මජර, කුණු ගද ගසන ස්වභාවය
යම් මට්ටමකට යටපත් කළ හැකි වීම තවත් පැත්තකි. වර්තමානයේ මෙම මොළසේදීමේ
කාලසටහන් ක‍්‍රියාත්මක කරන නාලිකා උදෑසන පැයකට අධික කාලයක් ආගමික වතාවත්
සදහා වෙන් කරයි. එය එකී ආගමේ ශ‍්‍රද්ධාව උපරිම වන ආකාරයේ වැඩසටහනක් බවට
පත්කිරීමට එකී නාලිකා අතර ඇත්තේ තරගයකි.
පුවත්පත් ඇත්තේ ජනතාවට
කියැවීමටය. එම පුවත්පත් යම් පුද්ගලයෙකු ලවා කියවා ගැනීම හරහා එම පුවත්පත
කියවන පුද්ගලයාගේ මතය සූක්ෂම අන්දමින් අසන්නාට එන්නත් කිරීමට ඊළග හෝරාව
වෙන්වේ. මෙහිදී පුවත්පත් කියවන්නා පුවත්පතේ සදහන් කාරණා වලට අමතරව එයට
අදාළ ශ‍්‍රව්‍ය දෘෂ්‍ය පුවත් කොටස් එකී නාලිකාව එම පුවත විකාශය කළ ආකාරය
ආදී ආරළු බූරළු රාශියක් එම පුවතට එක්කරයි. සෑම පුවතක් කියවා අවසානයේම
පුවත්පත කියවන්නාගේ පක්ෂග‍්‍රාහී මතය සූක්ෂම ලෙස එයට එක් කිරීමට අමතක
නොකරයි.
ඊළගට එන්නේ දවසේ ශාස්ත‍්‍රකරුවාය. ඔහුගේ අඩහෝරාව පුරා
අසන්නාට ඉදිරි කාලයේ මුහුණ දෙන්නට වන දුක් කම්කටොළු යැයි කියන විවිධ දෑ
ඔහුගේ හිසේ පුරවයි. අසන්නන් එවූ ලිපි ගොඩවල් යැයි කියන කඩදාසි ගොඩකින් එකක්
දෙකක් අහම්බෙන් තෝරාගෙන ඒවාට විසදුම් දෙයි. සජීවීම දුරකථනයෙන් අමතන කිහිප
දෙනෙකුටද උත්තර දෙයි. පුදුමයට කාරණය නම් එසේ දුරකථනයෙන් අමතන කිසිවෙකුට මෙම
ශාස්ත‍්‍රකරුවන් හොදක් නොකීමය. ඔවුන් සෑම අවස්ථාවකදීම කියන්නේ ඉදිරිය
ගැටලු සහගත බවත් ප‍්‍රතිකර්ම යෙීමට තමන් මුණගැසෙන ලෙසත්ය.
ඉන්පසු
එළඹෙන්නේ පතිනියගේ හෝරාවයි. රටේ නැති වස විස අඩංගු රසකාරක දමමින් ආහාර
පිසින හැටිත් එකී අටානුවක් රසකාරක නොදා ඇතැම් කෑම පිසගැනීමට නොහැකි බවත්
එහිදී අවධාරණය කෙරේ. කොහේ හෝ කම්හලක නිපදවන බාල ගණයේ රසායනික ද‍්‍රව්‍ය හෝ
කොහෙන් සොයා ගත්තේදැයි දෙවියන්වත් නොදන්නා තලපවල් මූණේ උලාගැනීමෙන් තමන්
පැහැපත් වන්නේය යන පට්ටපල් බේගලය ගිල්ලවීම ඊළගට සිදුවෙයි.
ඊළග පැය
කීපය සංගීතයට වෙන්වෙයි. අසන්නාගේ රසඥතාවය වර්ධනය කරන නිර්මාණාත්මක ගුණයෙන්
පොහොසත් සංගීතය වෙනුවට එහිදී සිදුවන්නේ අන්තිම අවර ගණයේ කසි කබල් කියාවත්
කිය නොහැකි අරුත් සුන් හෝ අවසානයේ සියදිවි නසාගැනීම හෝ පෙම්වතාගේ මළගමට
පෙම්වතිය නොඒම වැනි ගොබ්බ අරුත් ඇති මොනවාදෝ දේවල් වැඩිහිටි චිත‍්‍රපට වලට
බොහෝ උචිත රූපරාමු සමග ඔලුවට පිරවීමය.
සවස්වරුව උදෑසන මෙන් සූක්ෂම
මොළ සේදීමකින් එහාට ගමන් කර මාත‍්‍රාව මදක් වැඩි කරයි. එනම් සිනමාව
වෙනුවෙන් වෙන්වෙන පැය කිහිපය එළඹේ. එහිදී බොහෝවිට විකාශය කෙරෙනුයේ අතිශය
අවර ගණයේ දකුණු ඉන්දීය සිනමා පට වේ. මේවා සෑම එකකම පාහේ අවධාරණය කෙරෙන්නේ
නීති පද්ධතිය පිළිබදව විශ්වාසය තැබීමෙන් පලක් නොමැති බවත් තමන්ට අවශ්‍ය දේ
වහාම කරගැනීමට නීතිය අතට ගැනීම සාධාරණ බවත් වේ.
එසේ නීතිය අතට
ගනු ලබන පුද්ගලයන් මහා වීරයන් ලෙසත් අරමුණ යහපත් වන්නේ නම් ඒ අරමුණට ගමන්
කිරීමේ මාවතේදී කෙතෙක් වැරදි සිදුකළද කමක් නැති බවත් මෙම සිනමාපට හරහා
එළිපිටම අවධාරණය කෙරේ.
ඉන්පසු එළඹෙන්නේ කාටුන් පැය කිහිපයයි.
එහිදීද කිසිදු ගැඹුරක් හෝ ළමා මනස වර්ධනයට තුඩු දෙන බුද්ධි කලම්බනීය
ගුණයෙන් යුතු කාටුන් වැඩසටහන් නොව ඔහේ බලාගෙන සිටීම සදහා තිබෙන කසිකබල්
කාටුන් විකාශය කිරීම සිදුවේ. ඒවායින් ගන්නට ඇත්තේ කුඩා දරුවන්ට තමන්ගේ
බජාර් වාග් මාලාව පෝෂණය කරගැනීම සදහා කසිකබල් වචන පමණි.
ඉන්පසු
එළඹෙන්නේ සාම්ප‍්‍රදායික මොළ සේදීමේ අඩපැය හෙවත් ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයයි.
ප‍්‍රවෘත්ති හරහා මොළ සේදීම අතීතයේ පටන් කෙරීගෙන ආ කටයුත්තකි. එහිදී අදාළ
මාධ්‍ය නාලිකාව නියෝජනය කරන දේශපාලන මතවාදය කෙතරම් අභව්‍යඑකක් වුවද එයට
සහයෝගය දැක්වෙන එයම සනාථ කෙරෙන ප‍්‍රවෘත්ති විකාශය කිරීම සිදුකෙරේ.
විද්වත් මත යැයි කියමින් එම මතවාදයට දේශපාලනිකව පක්ෂපාතී උගතුන්ගේ මත මහජන
මත යැයි කියමින් තමන්ගේ මතවාදයට සහය දක්වන පුද්ගලයන්ගේ මත විකාශය කිරීම
මෙහිදී සිදුවේ. ඊට අමතරව ප‍්‍රවෘත්ති අඩපැය තුල කාලය වෙන් කිරීමේදී
ස්වභාවයෙන්ම තමන් සහයෝගය දක්වන මතවාදය ඔප්නැංවෙන පුවත් සදහා සාපේක්ෂව වැඩි
කාලයක් ලබාදීම විරුද්ධ මත යනුවෙන් විරුද්ධවාදියෙකුගේ යම් මෝඩ හැසිරීම්
රටාවක් පෙන්වීම සැමදා සිදුවන්නකි.
ස්වභාවයෙන්ම යම් කරුණක් දෙස
විසංයෝජනීයව බලා එය විග‍්‍රහ කරගැනීමේ හැකියාවක් හෝ ප‍්‍රවෘත්තියක් ඇසූ
පමණින් එය අසන්නට ලැබුණු මූලාශ‍්‍රය මත එහි සත්‍ය අසත්‍ය බව මැනගැනීමට
ප‍්‍රමාණවත් ප‍්‍රවෘත්තිමය සාක්ෂරතාවයක් නොමැති පුද්ගලයින් මෙම උපාය
මාර්ගයට ඉතා පහසුවෙන් හසුවෙති. එසේ හසුවූ පසුව ඔවුන් හැසිරවීම පහසු වේ.
මන්ද ඉන්පසු අසන්නට ලැබෙන බොරුව පවා "යම් යහපත් හේතුවක් ඇතිව කියන බොරුවක්"
ලෙස සළකා ජීර්ණය කරගැනීමට ඔහු හැඩගැසෙන බැවිනි.
ඉන්පසු එළඹෙන්නේ
ටෙලිනාට්‍ය දෙපැයයි. විසංයෝජනීයව යමක් දෙස බලා යමක් විග‍්‍රහ කරගැනීමේ
හැකියාව සහ එසේ විසංයෝජනීයව බැලීමේ වටිනාකම අවබෝධ කරගැනීම සම්පූර්ණයෙන්ම
මොට කරන අතිශය භයානක දෙපැය ලෙස මම දකින්නේ මෙම ටෙලිනාට්‍ය දෙපැයයි. ඇතැම්
ටෙලිනාට්‍ය ලොඩ් ඔෆ් ද රින්ග්ස් චිත‍්‍රපටයේ ස්මීගොල් වැනිය. එනම් නිසි
කාලයේදී මරණයට අවසානයට පත් නොවී අස්වාභාවික ලෙස ඉදිරියට ඇදි ඇදී යයි. එකම
දෙය නැවත නැවත වෙනත් දර්ශන මගින් පෙන්වයි. ඒ අතරතුර සූක්ෂම අන්දමින් අපේකම
ඉතිහාසය දේශීයත්වය මුවාවෙන් තම දේශපාලන මතය එන්නත් කිරීම සිදුවේ. තමන්
විසින්ම සංවිධානය කළ ගායන තරග හරහා ජනප‍්‍රියත්වයක් ගොඩනගාගැනීමට නොහැකි වූ
තරුණ පිරිස් තෝරාගෙන් ඔවුන් කුණුකොල්ලයට රගපෑවීම මගින් ලාභ ඉපයීම එහි තවත්
පැත්තකි. කිසිදු ගැඹුරක් බරක් පතළක් නොමැති කියන දේ එළෙසින්ම භාරගැනීමේ
ඍජු ප‍්‍රතිපත්තියට මිනිස් මොළය හුරු කරවන මෙම කසඩ නාට්‍ය කළාව මොළ
සේදීමෙහිලා භාවිතා කෙරෙන භයානකම මෙවලමයි.
ඉන්පසු අරඹෙන්නේ දේශපාලන
සංවාද වටයයි. තමන්ගේ මතයට සමපාත වූවන්ට හිටු කියා ෆුල්ටොස් දමන එසේ
නොවූවන්ට යෝකර් හෝ බවුන්සර් නොව හුදු කෝපාන්විත අවලාද නගන දෙකයි පනහේ
දේශපාලන නිවේදකයන් විසින් මෙම සංවාද මෙහෙයවීම සිදුකෙරේ. නිසිලෙස
දේශපාලකයෙකුගේ දැක්ම පැහැදිලි කිරීමට බලකෙරෙන ප‍්‍රශ්න මොවුන් කිසිදා
යොමුකරන්නේ නැත. එනම් මේ සංවාද වලදී කිසිදු දේශපාලනඥයෙකුගේ පදනම අභියෝග
කෙරෙන්නේ නැත. දේශපාලන මතය කුමක්දැයි කියන්නට බල කෙරෙන්නේ නැත. අවශේෂ කාරණා
සිද්ධිමය කරුණුු පමණක් විමසීම සිදුවේ. දේශපාලන පදනම මය ප‍්‍රශ්න නොකරන
සංවාද වලට දේශපාලන සංවාද යන වචනය යෙදීම කෙතරම් උචිත දැයි ප‍්‍රශ්නයක් මෙහිී
මතුවේ.
එපමණක් නොව එවන් සංවාද සංදහා සහභාගි වන දේශපාලනඥයන්ගෙන්
සියයට අනූ නවයක්ම තමාගේ දේශපාලනය කුමක්දැයි පැහැදිලි කිරීමට අසමත් අය වෙති.
දේශපාලන මතය පිළිඹදව ප‍්‍රශ්නයක් යොමුවූ කළ ඔවුන් කරන්නේ තමා ඇමති වශයෙන්
මන්ත‍්‍රී වශයෙන් ඉටුකළ සේවය පිළිබදව පැවසීමය. එසේත් නැත්නම්
විරුද්ධවාදීන්ට බැණවැදීමය. එසේත් නැතිනම් කොහේවත් නැති මුවහම් වලට තඩිබෑමය.
මෙම දේශපාලනික දුප්පත්කම පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් සියල්ලන්ගෙන්ම සියයට අනූ
නවයකට පොදු ව්‍යාධියක් වේ.
දේශපාලනය නොදන්නා දේශපාලනඥයන්
දේශපාලනය කිරීම කෙතරම් අභාග්‍ය සම්පන්න තත්වයක්දැයි මෙම වැඩ සටහන් වල
කිසිදු අයුරකින් මතු කෙරෙන්නේ නැත. දේශපාලනය දන්නා දේශපාලනඥයන් ඒවාට ආරාධනා
ලබන්නේද නැත මන්ද ඔවුන් තම දේශපාලන මතය ඉතාම පැහැදිලිව ප‍්‍රකාශ කිරීමට
අමතරව එම කසඩ මාධ්‍ය ආයතන වල කුණු ගද ගසන පදනම් එතැනදීම නිර්දය ලෙස
ප‍්‍රශ්න කිරීමට පෙළඹෙන බැවිනි.
ඒ වෙනුවට දේශපාලනය නොදත්
දේශපාලනඥයන් විසින් අප දැනටමත් දන්නා දේවල් උච්ඡ ස්වරයෙන් අපටම පැවසීම
සිදුවේ. මේවා තුලින් දේශපාලනය හදුනාගැනීමට යත්න දරන පුද්ගලයන්ට දේශපාලනික
සාක්ෂරතාවය වෙනුවට වර්ධනය වන්නේ අවේගශීලීත්වයේ ආකර්ෂණීය බව පමණි. ඒ අනුව
වඩා වැඩි හඩකින් කතා කොට අනෙකා යටපත් කිරීම දේශපාලනය යැයි සිතන්නෝ, තමාට
එකග නොවන්නාගේ ජාතකය ප‍්‍රශ්න කිරීම දේශපාලනය යැයි සිතන්නෝ, ආත්මාර්ථය
වෙනුවෙන් කතා කිරීම දේශපාලනය යැයි සිතන්නෝ බිහිවීම කිසිසේත් පුදුම සහගත
නැත.
මෙම දේශපාලනික යැයි කියන සංවාද වලට අමතරව විද්වත් සංවාදද දැන්
බෙහෙවින් දක්නට ලැබේ. එය වචනාර්ථයෙන් ගත්කල ඉතාම සාධනීය සංකල්පයක් විය
යුතුව තිබුණි. මන්ද රට ගොඩනැගීමට අවශ්‍ය නව අදහස්, නව සංකල්පනා, නව
මතවාදයන් ජනගත කිරීමට ඊට වඩා ප‍්‍රායෝගිකව ඵලදායී මාවතක් තවත් නැති බැවිනි.
නමුත් එහිදී බොහෝ විට සිදුවන්නේ නවීන ලෝකයට ගැලපෙන නව සංකල්පනා වලට වඩා
අතීතකාමයේ ඇලී ගැලී සිටින, රට අලුත් කිරීම නොව පරණ කිරීම දැක්ම කරගත්
බකපණ්ඩිතයන්ගේ අඩෝවැඩියා අසා සිටීමට අපට සිදුවීමය.
මෙම දේශපාලනික
හා විද්වත් යන සංවාද මණ්ඩප දෙවර්ගයේදීම අදාළ මාධ්‍ය ආයතනයේ පුද්ගලික
දේශපාලන න්‍යාය පත‍්‍රය අනුව කරුණු සකස් වීම අනිවාර්ය සංසිද්ධියකි.
ගැටලුවක් දෙස සබුද්ධිකව බැලීමට, කෝණ ගණනාවකින් බැලීමට, ගැටලුව වවාගෙන කන හෝ
වර්ධනය කරන හෝ තාවකාලිකව යටපත් කරන ප‍්‍රවේශයක් වෙනුවට ස්ථිරසාර හා
කල්පවත්නා විසදුමක් දක්වා යොමු කෙරෙන ප‍්‍රවේශයන් වෙත යොමු කිරීමට මෙම
සංවාද මණ්ඩප කිසිදා උනන්දුවක් නොදක්වයි.
ඒ වෙනුවට අදාළ මාධ්‍ය
ආයතනය නියෝජනය කරන මතය අනුව අවශ්‍ය වන්නේ ඇවිලවීමද යටපත් කිරීමද වවාගෙන
කෑමද යන්න තීරණය කොට ඒ අනුව දිශානගත වන ආකාරයට අසන්නාගේ අවසාන නිගමනය සකස්
වන අයුරින් සංවාදය ක‍්‍රියාත්මක කිරීම සිදුවේ.
නූතන විද්‍යුත්
මාධ්‍ය ජනතාවට උදේ සිට රාත‍්‍රිය වනතුරු ගිල්ලවන අමු රට තණකොළ වල ස්වභාවය
එයයි. ඒ අන්ත තුප්පහි භාවිතාවෙන් පසු නැවතත් ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු
නින්දට යාමෙන් සියල්ල යහපත් වන්නේයැයි යන ආදර්ශයද ලබාදීමට ඔවුන් අමතක
නොකරති. කෙසේ වෙතත් ආගමික ආශිර්වාදය මධ්‍යයේ එම ආගම්වල සදහන් කාරණාවන්ට
ඉදුරා පටහැණි කාරණා සිදුකිරීම සෑම පිළිගත් ආගමකම ඉතිහාසයේ ඈත අතීතයේ පටන්ම
නොඅඩුව තිබෙන්නකි.
යමක් පැරණි වූ පමණින් නිවැරදි වේය යන සාවද්‍ය
පදනම දිගින් දිගටම මේ සදහා යොදාගනු පෙනෙන අතර එය අභියෝගයට ලක්කිරීමට හෝ
නිවැරදිකිරීමට ඒ ඒ ආගමික සංස්ථාවන්හි බලපෑමක් කළහැකි පුද්ගලයන්ට එක්කෝ
වුවමනාවක් නැත. නැත්නම් ඒ සදහා කොන්දක් නැත. එසේත් නැත්නම් අසූචි වුවද
තමන්ගේකම හේතුවෙන් අනුභව කළයුතු යන ජම්බුකාජීවක ප‍්‍රතිපත්තියේ සිටිනවා
වන්නටද බැරි නැත.
දවස ආරම්භයේ සිට අවසානය දක්වාම විටින් විට හෝ
කොටස් වශයෙන් ඔවැනි මාධ්‍ය තණකොළ බුදින ජනතාවකගේ පරිකල්පනය විසංයෝජනීයව
යමක් විග‍්‍රහ කරගැනීමේ හැකියාව දේශපාලනික සාක්ෂරතාවය ගැන කවර කතාද. ඒ
අනුව බලන කල වර්තමාන ජනතාවගේ චින්තනය අතිශයින් පටු පහසුවෙන් කිපෙන අන්මත
නොඉවසන පාදඩ එකක් වීම ගැන කිසිසේත් පුදුම වියයුතු නොවේ.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Tuesday, April 14, 2020
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment