Tuesday, September 15, 2020

හරක්මස් සමඟ මගේ ගනුදෙණුව

 


මම හරක්මස් කන්න කැමති කෙනෙක්. යම් තරමකට හරක්මස් උයන්නත් දන්න කෙනෙක්. මමම කඩේට ගිහිල්ල, එල්ලල තියන මස් ගාතෙන් මම කියන තැනින් කෑල්ලක් කපාගෙන ගෙනැල්ල, මමම ඒක හෝදල, කපල, පහේ ටික දාල, උයල, කාල ඒ සම්පූර්ණ process එක enjoy කරන කෙනෙක්. හරක්මස් ගැන මොන ස්වරූපයක හරි තහනමක් සීමාවක් ගේන්න කවුරුහරි කතා කරන හැම වෙලාවකම වගේ මම ඊට එරෙහිව කතා කරල තියනව. ඊට එරෙහිව ලියල තියනව. ඉදිරියටත් එහෙමයි. මොකද කාටවත් බෑ කෙනෙක් කන බොන දේවල් ගැන සීමා පණවන්න.

කෙනෙකුට හිතෙන්න පුළුවන් මගෙ මේ හරක්මස් ලැදියාවයි ඒක ප්‍රසිද්ධියේ කියන ගතියයි දෙක මගේ අ⁣නෙක් පැවතුම් එක්ක ගැලපෙන්නෙ නෑ කියල. මටත් සමහර වෙලාවකට හිතිල තියනව එහෙමදෝ කියල. ඒ හින්දයි හරක්මස් එක්ක මගෙ තියන ගණුදෙනුව දිග ඇරල ලියල දාන්න හිතුවෙ.

අපි පුංචි කාලෙ "මස්" කියන පොදු පදෙන් හැඳින්වුනෙ හරක්මස්. "මස් ටිකක් ගේනව" කියල කියන්නෙ හරක්මස් ගේනවට. මට මතක විදියට කුකුල් මස් ටිකක් කෑවෙ පහලගමේ දෙවනි නැන්දම්මගෙයි කොටුවෙ සාන්ත මාමගෙයි මංගල උත්සවය දවසෙ. එදා මල් මල් කමිසෙ ටිකක් ලොකු ඩෙනිමට අමාරුවෙන් යට කරල, ⁣හිර වෙන්න බෙල්ට් එකක් දාල, වැලමිටි දෙකෙන් හිර කරගෙන ඉස්කෝලෙ යන්න දාන සපත්තු දෙක දාගෙන පුංචියට හිටපු මට අඬගහල කුකුල් මස් කෑල්ලක් දුන්නෙ දෙණියෙ බණ්ඩාරෙ අත්තා.

ඒ වගේ විශේෂ අවස්ථාවක මිසක් අපි කුකුල් මස් කාලම තිබුණෙ නෑ. කෑවත් ඒකෙ තියන අමුතු පොල් රහ/ පිටි රහ වගේ එකට වැඩි කැමැත්තක් ආවෙත් නෑ.

අප්පච්චි මාසෙකට සැරයක් දෙකක් ටවුමට ගියාම හරක්මස් ටිකක් ගේනව. ගෙනැල්ල ඒක සීරුවට හෝදල කපල දෙන්නෙත් අප්පච්චි. ඒ මස් හෝදපු වතුර ටික දුඹුරාට දුන්නම ඌ ඒක සොරොස් සොරොස් ගගා උගුරට දෙකට බීල දානව. ඊට පස්සෙ හොද්ද හැදෙන්නෙ අම්මගෙ අතින්. අම්ම ඒක ක්‍රම ගණනාවකට හදන්න දැනගෙන හිටිය. මම ගිය සතියෙ දාපු පෝස්ට් එකේ තියන විදිය එකක්. කොහොම හැදුවත් රසයි.

හදල ඉවර වෙල අපි පුංචි කාලෙ සමහරවිට නංගිටයි මටයි ඒව අනල කවනව. අම්ම කවන්නෙ කුරුල්ලො හදල. අප්පච්චි කවන්නෙ බත් ගුලි හදල. ඒ දෙක රස දෙකක්. අත්දැකීම් දෙකක්. මස් හදපු දවසක් නම් සාමාන්‍යයෙන් කවන්නෙ අප්පච්චි.

අපි කන්න අදිමදි කරනවනම්, එහෙමත් නැත්නම් අසනීප වෙලා කන්න බැරුව ඉන්නවනම් ගිහින් හරක් මස් ටිකක් ගෙනල්ල, උයල, අනල, ගුලි හදල එක ගුලිය දෙකට කඩල භාගයක් නංගිටයි භාගයක් මටයි කවන්නෙ මොකක් හරි කතාවක් කිය කිය.

ඒ මස් අත්දැකීම හැමදාම ලැබුණ දේකුත් නෙමෙයි. දුර්ලභයි. ඉතිං මස් ගේන දවස අපිට කොහොමටත් විශේෂ දවසක් වුණා. ඒ දවසට මොකක්දෝ අමුතු ලැදියාවක කෑල්ලක් හිතේ අතීත කාමයක් විදියට තාමත් ඉතුරු වෙලා තියනව.

ඊට පස්⁣සෙ අපි ටික කාලෙකට පිලැස්සෙ නැවතිල හිටිය. ඒ අත්තයි කිරිඅම්මයි එක්ක එයාලගෙ ගෙදර. ඒ ගෙදරත් නිතරම කන මස් වර්ගය වුණේ හරක් මස්. කිරි අම්මත් බොහොම අපූරුවට හරක් මස් උයන්න දැනගෙන හිටිය. එහෙ ගතකරපු කාලය මගෙ ජීවිතේ මම සතුටින්ම හිටි කාල වලින් එකක්. ඒ කාලෙ ආසාවෙන්ම කාපු කෑමක් තමයි ඒ හරක්මස් කරිය. ඉතින් ⁣හොඳට පහේ දාල සැර හිටින්න හදපු හරක් මස් කරියක් මට ඒ සුන්දර කාලෙ මතකයත් හිමිහිට අරන් එනව.

මට හිතෙන විදියට හරක් මස් කන වාරයක් පාසා මගෙ පුංචි කාලෙ ඒකෙ තිබුණ රස විඳපු හැටි, විශේෂත්වය වගේ හැඟීම් අතීත කාමයක් විදියට උද්දීපනය වෙනව ඇති. මම ආයෙ ආයෙත් අර පරණ වින්දනය හොයනව ඇති.

හරක්මස් වල තියනවයි කියන ගුණ ඒක කන්න මම කවදාවත් හේතුවක් කරගත්තය කියල මට මතකයක් නෑ. මට මතක ඔය අතීතකාමී අවදි වීම සහ ඒකෙ ඇත්තටම තියන රස පමණක් ඒකට හැම වෙලාවෙම හේතු වුණ බව.

පස්සෙ මම එක එක විදියට හරක්මස් කාල තියනව. එක එක විදියට උයන්නත් ඉගෙන ගත්ත. කොත්තු විදියට එක රහක්, ෆ්රයිඩ් රයිස් එක්ක තව රහක්, බත් එක්ක තව රහක්, ඉඳිආප්ප, පිට්ටු, පාං එක්ක තවත් රහක්, බයිට් එකට හදපුවාම තවත් රහක්.

ඒක මගෙ ප්‍රතිපත්ති එක්ක ගැටු⁣ණෙ නැද්ද? සමහරවිට ඔව්. සමහරවිට නෑ. මම කවදාවත් ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක් (ඒ කියන්නෙ ආගමේ නාමෙන් යමක් කියනවනම් ඒක ඉස් මුදුණින් පිළිගන්න මිනිහෙක්) වෙලා හිටියයි කියල මට මතක නෑ. ඉතිං මම බුදු දහමට කිට්ටුම වෙන තැනදි වුණත් ඒකෙ කියන දේ "සාදු" කියල භාරගන්නෙ නැතුව උඩින්, යටින්, දිගට, හරහට, කිරල, මැනල, කියවල, විනිවිද බලන්න මම පුරුදු වෙලා තියනව. ඉතිං කවුරුහරි බෞද්ධයෙක්, බෞද්ධ වීම නිසා හරක්මස් කන්න එපයි කියල මට කියනකොට මට හිනා යනව. හේතුව දන්න අය දන්නව ඇති.

හරකුන්ගෙන් කිරි බීල, වැඩ අරගෙන ඌගෙ මස් කන්න එපයි කියන එකේ පොඩි "පගාමය තර්කානුකූල බවක්" තියනව. ඒ කියන්නෙ අපිට හිතවත්, අපිට පක්ෂපාතී අපේ එකාට හානි කරන්නෙ නෑ. එහෙම බැඳීමක් නැති එකෙකුට හානි කරාට එච්චර අවුලක් නෑ කියන එක. ඒකෙ තර්කානුකූල බව මම දකිනව. හැබැයි ඒක ආගමත් එක්ක ගැටගහල පවට හෝ අකුසලයකට තියන බයත් එක්ක පාහන්න හදනකොට ආපහු අර හිනායන තත්වෙට එනව.

අනික් කාරණය තමයි ගොඩක් අයගෙ ඔය හරක්මස් විරෝධය තුල තියන "විල්පත්තු තියරිය". ඒ කියන්නෙ එතන අදාළ විෂයගත කරුණ සම්බන්ධයෙන් ඇත්තටම විරෝධයක් නෑ. තියෙන්නෙ ඒකට ගෑවිච්ච ජන වර්ගයක් එක්ක තියන ඇරියස් එකක්. මස් සම්බන්ධයෙන් නම් ඒ අය වැඩියෙන්ම කන මස් වර්ගය තහනම් කරවා ගැනීමේ ආතල් එකක්. එහෙම ඇරියස් සික් කාරයින්ගෙ ආතල් වලට මගේ කර උඩින් ඉණිමං බඳින්න දෙන එක නවත්තල ගොඩක් කල්.

හැබැයි මමත් ගෙදර සත්තු හදන, සත්තුන්ට ආදරේ මිනිහෙක්. එතකොට ඒකයි ඕකයි ටිකක් ගැටෙනව කියන එක ඇත්ත. හැබැයි අද වෙනකල්ම හරක් මස් ගැන කතාවෙදි මට අර අතීතකාමය සහ රසකාමය විසින් කරන බලපෑම, ඔය කියපු ගැටීමෙන් එන බලපෑමට වඩා වැඩි වුණා.

සමහරවිට යම් කාලෙකදි මට වෙජිටේරියන් වෙන්න ඕන කියල හිතෙයි. එතකොට මම හරක්මස් නෙමෙයි හැම මාංශයම අතහරින්න ඉඩ තියනව. ඒත් ඒක නිසි කලට මටම හිතිච්චාවෙ. කාගෙවත් බලපෑමක් යටතෙ ඒක කරන්න මගෙ කැමැත්තක් නෑ.

හැබැයි දවසක මම වෙජිටේරියන් වුණත්, තවත් එකෙකුට වෙජිටේරියන් වෙයං කියල බල කරන්නෙ හරි ඌ කන්න ආස මස් මේ රටේ තහනම් කරවු කියල මහ පාරට බහින්නෙ හරි නෑම තමා.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...