Tuesday, September 15, 2020

හරක් මස් සහ ඛේට ග්‍රන්ථි





ඉස්සර මස් කියල කිව්වෙ හරක්මස් වලට. කුකුල් මස් සුඛෝපභෝගී කෑමක්. සතියකට සැරයක්වත් ගෙදරට හරක් මස් ගේනව. කිලෝවක් රුපියල් සීයයි. ඒවත් ඔය ෆුඩ් සිටිවල තියන ඒව වගේ ෆ්රිජ් වල තැම්බිච්ච හරක් මස් නෙමේ. උදේ කපපු ලේ පාට අඩුවෙලා නැති නැවුම් හරක් මස්.

මස් ගෙනත් ඒක කපන එකත් සෑහෙන වැඩක්. හෝදල ගොඩක් පොඩියටත් නැතුව ගොඩක් ලොකුවටත් නැතුව මස් කපන එක කලාවක්. ඊට පස්සෙ කපා ගත්තු මස් ටිකට පහේ දාන්න ඕන. ඉස්සර මස්කරි තුනපහ තිබ්බෙ නෑ. ඉතිං සමහර වෙලාවට ගම්මිරිසුයි, රම්පෙ, කරපිංච, සේර, සුදුළූණු එක්ක කහ, තුනපහ, මිරිස්, ගම්මිරිස් දාල ගලේ අඹරල පහේ ගුලියක් හදනව. ඒ ගුලිය කපපු මස් ගොඩට දාල හොදට කළවම් කරල විනාඩි විස්සක් විතර තියනව.

අඹරන්නෙ නැත්නම් ඒ ඒ අඩුම කුඩුම ටික වෙන වෙනම මස් වලට දාල කළවම් කරන්නත් පුළුවන්. ඒත් ම⁣ගෙ අත්දැකීම අර පරණ තාලෙට පහේ ගුලිය ගලේ අඹරල දැම්මම රස වැඩියි. සුවඳත් වැඩියි.

හරක් මස් වලට ගොරකා ⁣දැම්මොත් මස් තවත් තද වෙනව. කන්න අමාරුයි. ඒක හින්ද ඇඹුල් විදියට හරක් මසට යන්නෙ සියඹලා. ඒවත් දාල අනල මස් ටික වැහෙන ගාණට වතුර දාල ලිපේ තියනව. ඒක මැටි හට්ටියක දර ලිපේ නම් තවත් මරු.

ඔන්න ලිපේ තියල ටික වෙලාවකින් අමුතුම සුවඳක් ගේ පුරා පැතිරෙන්න ගන්නව. ඒ තමයි අර පහේ ටික තැම්බෙද්දි එන සුවඳයි හරක් මස් තැම්බෙද්දි එන සුවඳයි දෙක කළවම් වෙලා එන අමුතුම සුවඳ. ඒක පුදුමාකාර පුසුඹක්. ඒක දැනෙනකොට කට දෙපැත්තෙ ඛේට ග්‍රන්ථි රිදිලා හිරි වැටිලා කටට කෙළ උනන්න පටන්ගන්නෙ. වෙනත් කිසිම මස් වර්ගයක් උයද්දි සුවඳ දැනෙද්දි මට ඒ හැඟීම ඇතිවෙලා නෑ. ඔව්. අඩුමගානෙ ඌරුමස් වල් ඌරුමස් වලටවත් ඒක එහෙම දැනෙන්නෙ නෑ.

ඔය සුවඳ එන්න පටන් අරන් විනාඩි 10ක් විතර යද්දි මස් කෑලි හොද්දෙන් අරන් කන්න පුළුවන් තරමට තැම්බෙනව. උණු උණුවෙ කට පිච්චි පිච්චි ඒ මස් කෑලි කන එක වෙනම ආනන්දයක්. පස්සෙ පස්සෙ මම ඔය වෙලාවට මස් කෑලි ටිකක් හොද්දෙන් අයින් කරගන්නව. ඊට පස්සෙ රතු ළූණුයි, මුරුංගා කොළයි, කජුයා, කෑලි මිරිසුයි, ලුණුයි එක්ක තෙලට දානව. තැම්බිච්ච මස් ඔය කියපු අඩු වැඩිය එක්ක බැදල ගත්තම තියෙන්නෙ පිස්සු හැදෙන රහක්.

අර ලිපේ තියන හොද්දට ගිනදර වැඩි වෙලත් බෑ. මදි ⁣වෙලත් බෑ. ගාණට ගින්දර එක්ක පාඩුවෙ ඉදෙන්න දෙන්න ඕන. මම නම් ආස හොද්ද ලොකුවට නැතුව බොර වගේ වෙන්න හිඳෙනවට. එහෙම පාඩුවෙ ඉදෙන්න දුන්න හරක් මස් කරියක් දැක්ක ගමන්ම කියන්න පුළුවන්. මස් කෑලි යාන්තමට කළු වෙලා. හොද්ද මස් වල මට්ටමට යාන්තම් පහලින් බොර වගේ තියෙන්නෙ ටිකක් තද දුඹුරු පාටකින්. තද දුඹුරු හොද්දට උඩින් රතු පාටයි කහ පාටයි කළවම් වෙච්ච අමුතුම පාටක තෙල් තට්ටුවක්. පැත්ත පළාතෙ ඉන්න බෑ සුවඳ.

අර මම මුලින් කියපු තෙලට දාල ගන්න එක හොඳයි බයිට් එකට. ආය වෙන මොකවත්ම ඕන නෑ. ඔය කරිය ඕනම දේකට හොඳට ගැලපෙනව. බත් කන්න, පාං කන්න, රොටි කන්න, ඉඳිආප්ප කන්න ඕනම දේකට. අල වර්ග තම්බල කනකොට ඊටත් වඩා රහයි. බත් වල තියන යානතම් පැණි රහ ගතියත් එක්ක සැර හරක් මස් කරියෙ හොද්දයි හොඳට පහේ අහපු තැම්බිච්ච මස් කෑලියි හැපෙනකොට ආයෙත් හක්ක දෙපැත්තෙ ඛේඨ ග්‍රන්ථි දැවිල්ල හැදෙන තරමට එනව. ඒ තරමට රසයි.

හරක් මස් ගොඩක් ගුණයි කියනව. අගුණ ගැන තියන මත පසු කාලීනව ආගමික වුවමනාවන්ට පතුරවපු මිත්‍යාවන්. හැබැයි දිරවන්න අමාරු අය ඉන්නව. ඒකයි ගම්පෙරළියෙ තිස්ස කියන්නෙ "කනවනම් කන්න ඕන හරක්මස්. හැබැයි දිරවන්න පුළුවන් අය විතරක්" කියල. ඒත් අවංකව කියනවනම් මම හරක් මස් කන්⁣නෙ ඒ ගුණ බලාගෙන නෙමෙයි. ඒකෙන් මට පෝෂණ ගුණයක් ලැබුණත් එකයි නැතත් එකයි.

ඇත්ත හේතුව තමයි එකෙ තියන රස. මස් එක ඉදෙන වෙලාවෙ එන සුවඳෙ ඉඳන් කාලා පැයක් විතර යනකනුත් කටේ රැඳෙන ඛේට ග්‍රන්ථි හිරිවට්ටවන දන ඒ හැඟීම වෙනත් කිසිම කෑමකින් මට ලැබිල නෑ. ඒක හරක් මස් වලට ආවේණික අත්දැකීමක්.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...