Tuesday, September 15, 2020

පළාත් සභා සහ විල්පත්තුවෙ මුවා

 




පරිසර ප්‍රශ්න කතා කරද්දි සාමාන්‍ය විදිය තමයි ඒවට තියෙනවට වඩා අතිශයෝක්තියක් එකතු කරල කතා කරන එක. පරිසරය වෙනුවෙන් ඒ අතිශයෝක්තිය කමක් නෑ කියල සමහරු කියනව. මම නම් ඒකට එකඟ නෑ. ඕනම ප්‍රශ්නයක් අඩු හෝ වැඩි නොකර ඒකෙ ඇති සැටියෙන් ඇති බරෙන් කතා කළ යුතුයි.

රක්ෂිතයක් ගාව තියෙන මිනිස්සුන්ගෙ ඉඩම් කැලෑ වැවුණයි කියල හරි. චන්ද්‍රිකා ඡායාරූප වලට කැලෑ වගේ වැටුණයි කියල හරි රක්ෂිත බවට පත්වෙන්නෙ නෑ. රක්ෂිත ගාව පදිංචි මිනිස්සුන්ට එතන පදිංචි වෙලා හිටියයි කියල සංවර්ධනයට ඇති අයිතිය අහිමි වෙන්නෙත් නෑ. ඒක අද නෙමෙයි 2011 සිංහරාජය ගාව ඉලුබෙකන්ද ඉඳන් සූරියකන්දට පාර කපද්දිත්, විල්පත්තු ප්‍රශ්නෙදිත්, ලංකාගම ප්‍රශ්නෙදිත්, ආනවිලුන්දාව සහ වනාතවිල්ලුව ප්‍රශ්න වලදිත් මගේ නොවෙනස් ස්ථාවරය.

විල්පත්තු ප්‍රශ්නෙ වෙලාවෙ ඔය කතාව කිව්වම සමහරු කිව්ව "අයියෝ ඔයා නම් පරිසර නීතිය නෙමෙයි අප හා පරිසරයවත් ඉගෙනගෙන නෑ" කියල. තවත් අය ඇහුව "රක්ෂිතය වුණත් ඉඩම් වුණත් හුස්ම පොද දෙන ගස් ටික නේද කපන්නෙ?" කියල. විල්පත්තුවෙ මුවන්ගෙ එහෙම ෆොටෝ දාගෙන "රෂ්නෙද?" අහපු අය ගොඩක් හිටිය.

අද ඒ අයගෙන් ගොඩක් අය අහසෙ තරු ගණං කරනව. සිංහරාජෙ, ආනවිලුන්දාව, වනාතවිල්ලුව එයාලට පේන්නෙ නෑ. හන්තාන නම් යන්තමට පේනව. ඒකට හේතුව ඒ ඉඩම ලක්ෂ්මන් කිරිඇල්ලගෙ වීම.

විල්පත්තු කාලෙ දාපු පෝස්ට් වල හැටියට රෑට කොළ අතු ඇඳගෙන කැලේ ඉන්නව ඇති කියල හිතෙන තරමට පරිසරයට කිට්ටුයි වගේ පෙනුණ අය අද ලංකාගම මිනිස්සුන්ගෙ දුෂ්කරතා, ගමනාගමන අපහසුතා ගැන පෝස්ට් දානව. සමහර ඒවට මාවත් ටැග් කරල තිබුණ. සතුටුයි එහෙමහරි මේ ප්‍රශ්න දිහා කෝණ ගණනාවකින් බලන එක ගැන.

ඔය ආනවිලුන්දාව සහ වනාතවිල්ලුව ගැන අද වෙනස් විදියක මතයක් එනව දැක්ක. ඒකෙ කියන්නෙ මෙහෙමයි:-

1. ඔය දෙකම තියෙන්නෙ වයඹ පළාතෙ

2. වයඹ පළාතෙ පාරිසරික ප්‍රශ්න වැඩියි

3. වයඹ පළාතෙ පළාත් සභාවෙන් වෙනම පිහිටවපු පරිසර අධිකාරියක් තියනව

4. රටේ වෙන කිසිම පළාතක එහෙම නෑ

ඔන්න රෙදි ටික දීල තියනව. ලංකාවෙ මිනිස්සුන්ව සාමාන්‍යයෙන් අන්දන්න දෙයක් නෑ. රෙද්ද දීපුවම කපාගෙන මහගෙන ඇඳගන්නව.

ඕකෙන් ඊළඟට සන්නිවේදනය වෙන්නෙ එහෙම නැත්නම් ඇඳගන්නෙ මෙහෙම:-

1. වයඹ පාරිසරික අධිකාරියක් තියන හින්ද මධ්‍යම පරිසර අධිකාරියට ඔතෙන්ට මැදිහත් වෙන්න බෑ.

2. වයඹ වැඩියෙන් පාරිසරික ප්‍රශ්න එන්න හේතුව ඕක.

3. බලන්න පළාත් සභාව නිසා වයඹට වෙලා තියන හානිය.

4. රටේ අනිත් පළාත් වලටත් පළාත් සභා එපා කියල අපි කියන්නෙ ඒකයි.

පළාත් සභා නිසා කෙළින්ම කරන්න තියන දේවල් වලට වංගුවක් හැදිල වැඩකටයුතු සංකීර්ණ වෙලා තියන බව ඇත්ත. පළාත් සභා ක්‍රමයට ආවේණික දුර්වලතා ගැන තියන විවේචන වලින් ගොඩත් ඒව එක්ක මමත් එකඟයි. ඒත් මේ ප්‍රශ්නෙ සන්දර්භය තුල ඒක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්.

ඇයි ඒ?

දැන් පළාත් සභා ක්‍රමය තිබුණට ඒක ක්‍රියාත්මක නෑ. වයඹත් එහෙමයි. සම්පුර්ණ බලතල තියෙන්නෙ ආණ්ඩුකාරවරයාට. ගිය සතියෙනම් මුසම්මිල්ට. අද ඉඳන් රාජා කොල්⁣ලුරේට. ආණ්ඩුකාරවරයා වගකියන්නෙ ජනාධිපතිට. එහෙම නැත්නම් ස' ට.

ඔය පළාත් සභා යටතෙ තියන අධිකාරි, සභා ඔක්කොටම ඡන්දෙන් පස්සෙ මේ ආණ්ඩුවට හිතවත් අය දැනටමත් දාගෙන ඉවරයි. එතකොට ජනාධිපති ආණ්ඩුකාරවරයා හරහා එවන නියෝග, කීකරු නැති පළාත් සභා නිළධාරි පැලැන්තියක් විසින් අල කරනවය කියන්න කොහොමටවත් ඉඩක් ඉතුරු වෙලා නෑ.

ආනවිලුන්දාව සහ වනාතවිල්ලුව ප්‍රශ්න වලට ඕන නම් ජනාධිපතිවරයාට ඍජුවම මැදිහත් වෙලා ඒව නවත්තන්න පුළුවන්. කරනවනම් එක ලියුමයි එන්න ඕන. එතකොට ආනවිලුන්දාව සහ වනාතවිල්ලුව හෝ වයඹ තියන වෙනත් මොකක්හරි ප්‍රශ්නයක් වහාම විසඳන්න පළාත් සභාව කියන එක කේන්ද්‍රීය බාධකයක් නෙමෙයි. බාධකය කුමක් හෝ හේතුවක් හින්ද එහෙම නොකරන එක.

මොකක්ද ඒ හේතුව. සාමාන්‍යයෙන් අලුතෙන් ආණ්ඩුවක් ආපු ගමන් ඔහොම වෙනව. කලින් ආණ්ඩුව කාලෙ වේලි වේලි හිටපු මුට්ටි අල්ලන එවුන් ආණ්ඩුව ආපු ගමන් තමන් අල්ලපු මුට්ටියෙ තරමට කෑල්ලක් කඩාගන්න පොරකනව. ඒ ටෙන්ඩර් වලින් වෙන්න පුළුවන්, වැලි පර්මිට්, බාර් ලයිසන් වගේ ඕනම දේකින් වෙන්න පුළුවන්.

මංගල සමරවීර කියන විදියට 1994 පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්වුණාට පස්සෙ අවුරුදු 17ක එජාප පාලනයෙන් මිරිකිලා හිටපු ශ්‍රී ලංකා කාරයින්ට අතපය දිගාරින්න එක ආසනයකට බාර් ලයිසන් දෙක ගාණෙ දුන්නලු. ගොඩක් මන්ත්‍රීල තමන්ගෙ ආසනේ ලයිසන් දෙකම කවුරුහරි දාල තමන්ම ගත්තලු. මංගල එහෙම කළේ නෑලු. ඒක ආසන බල මණ්ඩලයට දාල ඒකෙන් තෝරපු දෙන්නෙකුටලු දුන්නෙ. (අපි දන්නෙ නෑ. එයා කියන්නෙ).

1994 එහෙම නම් රාජපක්ෂලාගෙ ස්වභාවය අනුව ඕක කොහොම වෙන්න ඕනද කියල ඕනනම් හිතා ගත්තහැකි. ගොඩක් දෙනෙකුට වැඩි අවුලක් නොවෙන කතා අහගන්න වෙන්නැති කෑලි දීලා, ඔය ටිකක් අවුල් කෑලි දෙක තුනක හඬ තමයි ඔය ඇහෙන්නෙ.

හැමෝම මීය කඩන්න අතගැහුව. දැන් අත ලෙවකද්දි ආණ්ඩුව ඒකට මැදිහත් නොවී ඉන්නව පුළුවන් තරම්. එහෙම නොවුණොත් මොකද වෙන්නෙ? අත ලෙවකන්න නොලැබිච්ච අය ඊළඟ ඡන්දෙදි ඔය තරහ පිට අනිත් පැත්තට ගිහින් ආණ්ඩුව පෙරළනව. ඊට පස්සෙ එහෙ ඉඳනුත් මේකම කරනව. ඔහොම තමයි මේ දුෂ්ඨ චක්‍රයෙ හැටි.

සමහරු අවංකවම හිතුව ස' ඒක වෙනස් කරයි කියල. ඒත් ඇත්ත කතාව තමයි ඒ දුෂ්ඨ චක්‍රය ස'ට වඩා ගොඩක ලොකුයි කියන එක. ඒක වෙනස් කරන්න ගියොත් වෙන්නෙ ඒක ස'ගෙම ඔලුවට කඩන් වැටෙන එක.

හරියට කරන්න ඇත්තටම හිතං ආවනම් කොච්චර අසරණ ඇත්ද? හරියට විල්පත්තුවෙ මුවෙක් ගාණයි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...