Tuesday, September 15, 2020

අතීතය මැදින් පා ගමනක්



මරදාන දුම්රියපොල තවමත් එසේමය. විටින් විට බාල තීන්ත ආලේප කොට අලුත් පෙනුමක් දීමට කරන අසාර්ථක උත්සාහයට ඉලක්ක වූ පැරණි ගොරහැඩි බිත්ති තවමත් එසේමය. වේදිකාවේ සිට ඇවිද විත් අඩි තිහක් පමණ පළල මහා පඩිපෙල නගිද්දී සිතට දැනෙන්නේ අමුතු හැඟීමකි. මා සිටින්නේ 2020ද, 2013ද නැත්නම් 2007දැයි හරිහැටි තෝරා බේරාගත නොහැකි අභතෝකෝටිකයක මොහොතක සිර වෙයි. මහත් වූ උදරය, මුහුණ වසා වැඩුණු රැවුලේ පහස සහ තට්ටය පෑ⁣දීමෙන් පළල් වූ නළල පිස හමන සුළඟ විසින් මේ 2007වත් 2013වත් නොව 2020 බවට මට සිහි කැඳවයි.

2007 එක්තරා ඉරිදා දිනෙක බොහෝ සෙනඟින් පිරුණු උදා පැයේ මරදාන දුම්රියපලින් මඟට බට මැදිවියේ මිනිසෙක් සහ තරුණයෙක්. කොළඹ දැකීමේ ආශාවෙන් මඩනා ලද තරුණයාගේ අයදුමෙන් බසයකට නොනැග මරදානේ සිට බොරැල්ල දක්වා පයින් ඇවිද ගිය ගමනක්. රටේ ප්‍රකට ප්‍රකාශක සමාගම්වල මුල් තැන් මඟ දෙපස දැක ආනන්දජනක විස්මයකට පත් තරුණයාට මඟ වත ගොත ආදරයෙන් පහදමින් මඳ සිනාවෙකින් ඉදිරියට ඇදෙන දයාබර පියෙක්.

මීට වසර 13කට පෙර අතා අප්පච්චි සමඟ කොළඹාගමනය කරන්නේ එසේය. කොළඹ නුහුරු නගරයක් නොවුවද 'උඹ මින් මතු ඉන්ට යන්නේ කොළඹයැ' හැඟුම සමඟ ගෙන්දගම් පොළොවට පය තබද්දී දැනෙන හැඟුම බාලාංශයට ඇතුලත් වන්නට ගිය දවසට වඩා වෙනස් වන්නේ මඳ වශයෙනි.

පඩිපෙළ පාළුය. මධ්‍යහනයේ මරදාන උණුසුම්ය. වැසි පොදක්ද එහෙන් මෙහන්. සමන් අයියා සමඟ පිටතට ගෑටුවෙමි. බෑගය කරේ එල්ලා කුඩය යටින් ගමන මා නැවතත් අතීතයට අදියි. 103ක් අදින්න ඔන්න මෙන්න. "බස් වලද යන්නෙ?" අඳුනන්නෙකු දුටුවොත් අසනු ඇත. පය ඉක්මන් කළද 103 ඊට ඉක්මන්ය.

ඒ හාම ආ 176කි. එයද කම් නැත. ගොඩවී සාක්කුවට අත යැවීමි. නොදැනීම එළියට එන්නේ 10 කාසියකි. එය දෙන්නෙකුට ඇතිය. ඒ ඉස්සරය. 2007දිය. 2020දී "පුංචි බොරැල්ල දෙකක්" කී කල "විසි පහයි" යනුවෙන් උත්තර ලද හැකිය.

ආනන්දය ළඟ බස් පෝලිමය. පාසැල ඇරෙන්නට මිනිත්තු පහකි. ඊට පෙර පුංචි බොරැල්ලෙන් බැස ගතහොත්. "ඔව් පුළුවන් වෙයි. ⁣මේ අදින්නෙ"

මාදම්පාව දුටුවේ නැත. කොට්ටම්බාවද නැත. වැසිකිලියකට මදක් දිගැති සැලූනයද නැත. පොඩි කඩ විසිවී ඇත. කොට කලිසම, සරම ඇඳ හපයක් ගසා "මචං" කියන අයියලා අංකල්ලා කඩ නොකරති. දැන් ඉන්නා කැෂියර්ලා පොෂ්ය. සුදුය. බතලය.

බෝධියට තැනූ ලොකු ආවරණයකි. මට මතක මා මතක එකම තැනදෝ? එසෙ වන්නට බැරිය. මාතර බත්කඩේ තිබිය යුතුමය. වටින් ගොඩින් එබී බැලුවෙමි. මාතර වසාලාය. ඊට මෙපිට සටුඩියෝව ඇරලාය. පාරෙන් එපිට "අලුත් මාතර" සහ "කළු ඇන්ටිගෙ කඩේ" දෙස විපරම් කළෙමි. දෙකම බාගෙට වසා ඇත. නමුත් මිනිසුන් යති එති.

සැබැවි. වසා නැත. බාගෙට වසාලාය. නමුත් ලොකු වෙනසකි. අලුත් මාතර නැත. කළු ඇන්ටිද නැත. දෙකම එකක් කොට ලොකු කඩයෙකි. මාදම්පාව මෙතැනට ඇවිත්ය.

පරණ රසට නහර පිනවා සමන් අයියාගෙන් සමු ගතිමි. මීටර් ටැක්සි එහෙ මෙහෙ යයි. ඕනෑ තැනට මිනිත්තු පහකි. නමුත් යන්නට සිත් නොදෙයි. හිස තුල මොකෙක්දෝ "පයින් ගාටපං" යැයි මොරදෙයි. අඩි තබන්ට වීමි. වම් පස ශ්‍රී අයියාගේ කඩයය. ඔලුව නොදා ගියොත් හොඳ නැත. එතුල සිට කෙට්ටු වයසක මිනිසෙක් සිනාසෙයි. "මොනවද?" අසයි. "ශ්‍රීනාත්?" නරක් වෙන මුහුණ. නැවත සිනාව. "අන්න අතන. කළු බෝඩ් එක" එතැනට ගියෙමි. බ්රහස්පතින්දාය. නමුත් වසාලාය. දු.ක.ක් නැත. නිකම්ම ශ්‍රීනාත් කොමියුනිකේෂන්ය. ඉදිරියට යන්ට වීමි.

යුද්ධ කාලේ වගේමය. හොස්පිට්ල් රෝඩ් වාහන වලට වසාලාය. මැද්දෙන් උජාරුවට හිටගත් ට්‍රැෆික් පොලිස්ය. කෙළින් යනවාද? දකුණට යනවාද? කෙළින් ගියොත් ඇස් වාට්ටුවය. දකුණට ගියොත් ඩි⁣ සේරම්ස්ය. කළක් ඉතා ළබැඳිව සිටි මවුන් වන් වූ අයත් මිතුරනුත් එහි ඇත. දයාවෙන් පිළිගන්නවා ඇත. දිග සතුටු සාමීචියකි. අද වෙලා මදිය. ඒ ගමන වෙන දවසකටය.

කෙළින් ඇදුනෙමි. නැවතත් අර deja vu. මේ 2007ද 2013ද 2020ද. පාට ගිය ඩෙනිම ටීෂර්ට් ඇඳ, පරණ ඩෙක්ෂූස් දමා, වැරහිලි වුණ මල්ල කරේ දා, තට්ටය බූගා කැප් එකක් දමා යටි රැවුල වවා යන මම. රැවුල මුඩු කර, අත් දිග කමිසයක් ඇඳ කාර්යාලයීය බෑගයක් ගෙන රැගෙන පය ඔසවන මම. මූණ පුරා වැඩුණු රැවුල, ඔලුව ඉදිරිපස තට්ටය, නෙරා ආ බඩ, කිලිටි සපත්තු සහ හතිය සමඟ පරණ ලැප්ටොප් බෑගය කරේ දමා ගාටන මම.

පෙට් එක. එකළ වාසනාවේ රන් දෙවොල. සිතූ පැතූ සම්පත් ලැබෙන තැන. නොරිස් කැනලය ගාව කඩ නැත. නැවතත් deja vu. කයියක් ගහගෙන රාත්‍රි 8ට විතර යන මම. බොඳ වෙලා පේන පෙට්ටි කඩයක් වසා එක ලෑල්ලක් ඇර පාරේ පුටුවක් තබා ඉඳගෙන කඩේ තුල ඇති රූපවාහිනියේ යන ප්‍රවීණා බලන මහත දෙහත මැදිවියේ ගැහැණියක්.

නැවතත් වර්තමානයට. දුරකථනය අතට. ඇමතුම මිතුරාට. වසර 13ක ළබැඳි සොයුරාට. "මං අහවල් තැන. පයිං යන්න හිතුණ බං". හෙමින් හෙමින් ඇස්වාට්ටුව හන්දියට. ඉදිරියෙන් Bread talk. මම හෙමාන් වමට. සුදු කල කහ ඉර දකුණට. එතැනින් පැන්නොත් HSBCය අසළ නුග ගස ගාවින් සලාකා ළඟට. එතැනින් ආය ටවුන් හෝල් පැත්තට. නොදැනීම නිතැතින්ම දකුණට.

නෑ. මම යායුතු වමට. Odel එක ළඟින් ඉදිරියට. 'මීටර් ටැක්සියක් ආවොත්? පිස්සුද රුපියල් 10 දුර' නැවතත් 2007මම. ටැක්සියක් එයි එතැනට.

"නැෂනල් ලයිබ්රරිය ගාවට"
"පබ්ලික්ද?"
"නෑ. යං මං කියන්නං" යකෝ උඹයි කොළඹ. මම කුරුණෑගල.

ආයෙමත් deja wu. කොළඹ අහස යට අමාරුයි තෝරා බේරා ගන්නට. මේ 2007ද 2013ද 2020ද? ⁣කටට දැනෙන රස දූවිලි සැරද, පැණිබූන්දි රසද, තිත්ත මුසු සැර අමි රහක්ද. අමාරුයි හිතා ගන්නට.

පැමිණියා ජාතික පුස්තකාලය ළඟට.

"එන්න සර්. බස් එකේද සර් ආවෙ"
'මූ මට සර් කියනව. එහෙනං මේ 2020'
'ඒත් මං කොච්චර ආසද "වරෙං මචං. උඹ බස් එකේද ආවෙ. අනේ තෝ වාහනේකටවත් යට වෙන්නෑනෙ" කියල පහක් දාපු 2007ට'.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...