Tuesday, September 15, 2020

හේතුවාදයද? විචාරවාදයද?

 


Rationalism කියන එක සිංහලයට පරිවර්තනය වෙන්නෙ "හේතුවාදය" විදියට. ඒකතමයි ගොඩක්ම ප්‍රචලිත වචනෙ. නමුත් පහුගිය 10 වෙනිදා ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති Shakthika Sathkumaraගෙ ග්‍රන්ථ දොරට වැඩීමේ උත්සවයේ ප්‍රධාන දේශනය කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ලේඛක ගාමිණී වියන්ගොඩ මහතා rationalism යන වචනයට භාවිත කරන්නෙ "විචාරවාදය" කියන වචනෙ.


ඒක බොහොම සිත්ගන්නාසුළු පරිවර්තනයක්. Rational කියන්නෙ තාර්කික කියන එක. එනම් තර්කයට ⁣ගෝචරවීම. ඒත් rationalism නැත්නම් හේතුවාදය ලෙස හඳුන්වන්නෙ යමක් අවිචාරවත් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම. එනම් යමක් උපතින් උරුම වීම, දිගුකාලයක් මුල්බැසගෙන පැවතීම, පොතපත් වල ලියා ති⁣බීම, කර්මයට හෝ යම් ඵලවිපාකයකට හෝ සර්වබලධාරියෙකුට ඇති බිය හේතුවෙන් පිළිගන්නේ නැතිව එය විනිවිද දකිමින් එහි සෑම අංගයක්ම විචාරයට එනම් ප්‍රශ්න කිරීමට බඳුන් කරමින් ඒ ප්‍රශ්නවලට සාධාරණ, තාර්කික සහ පිළිගතහැකි පිළිතුරු ලැබේ නම් පමණක් එය පිළිගැනීම.

ඒ අනුව rationalism යන වචනයට අර්ථ 3ක් ගතහැකි. එකක් වචනාර්ථයෙන් එන තාර්කිකවාදය. අනික ව්‍යවහාරයෙන් එන හේතුවාදය. අන්තිම එක වියන්ගොඩ කියන විචාරවාදය.

Rationalism වල භාවිතය එක්ක කල්පනා කරද්දි මට හිතෙන විදියට එතනට ගැලපෙනම වචනය විචාරවාදය. එනම් සියල්ල විචාරශීලීව විමසා බැලීම.

බොහෝ අය විශේෂයෙන්ම ආගම් අදහන අය Rationalism පිළිබඳව නැවත නැවත අහන ප්‍රශ්න තමයි මොකක්ද rationalism කියන්නෙ? මොනවද ඒකෙ පදනම්?

Rationalism කියන්නෙ සරළව යමක් විචාරශීලීව විමසා බලා මිස පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම. එතකොට Rationalism වල පදනම්? ඇත්තටම පදනම් ගොඩක් නැහැ. ඕකයි ගොඩක් ඇදහිලිවන්තයො අකමැති තැන.

එනම් ආගමික ඇදහිල්ලකට සාමාන්‍යයෙන් ප්‍රශ්න නොකර පිළිගන්නා පරම සත්‍ය කියා දෙයක් තිබෙනවා. දේවවාදී ආගමක නම් දෙවියන්ගේ පැවැත්ම, ඔහුගේ සර්වබලධාරීත්වය, ඔහුට සියල්ල පෙනෙන බව, ඔහුගේ කැමැත්තට සියල්ල සිදුවන බව, ඔහුට සියල්ල ආවරණය කරන master plan එකක් තිබෙන බව යනාදී වශයෙන් මූලික පිළිගැනීම් ටිකක් නොකර ඉදිරියට යන්ට බැහැ.

බෞද්ධාගමේදි කර්මය කියා දෙයක් තිබෙන බව, පුනර්භවය කියා දෙයක් ඇති බව, සංසාර ගමනක් ඇති බව, නිවනක් ඇති බව, ඒවායේ විවිධ ලක්ෂණ, දෙව් ලෝක වගේ දේවල් පිළිගන්නට වෙනවා. එසේ නොකර ඊළඟට එන ගැඹුරු ඉගැන්වීම් වන චතුරාර්ය සත්‍යව, අට ලෝ දහම වැනි දෑ තේරුම් ගන්නට අපහසු වෙනවා.

බොහෝ ආගමිකයන් අඩුම ගණනේ ඔය ඉහත කී කාරණා ටික ගැනවත් අවබෝධනේ නොවේ ආගමක් අදහන්නේ. ඔවුන්ට එය ප්‍රශ්න නොකළ යුතු පරම පූජනීය දෙයක් වෙනවා. අහන්න ඕන ප්‍රශ්නයක් මම උත්තර දෙන්නම් කියා පටන් ගන්න අයත් පැහැදිලි කිරීම් තුල ඉදිරියට යන්නෙ අර මූලික පිළිගැනීම් ටික කරලා. ඒ පිළිගැනීම් පැහැදිලි කරන්නෙ නෑ.

ඒ අනුව rationalism වල පදනම් මොනවාදැයි ආගමිකයන් අසන ප්‍රශ්නය පෙනහළු පද්ධතියකින් ශ්වසනය කරන ගොඩබිම වෙසෙන සතෙක් මාළුවෙකු ජලයේ ගිලී ශ්වසනය කරන විට පෙනහළු වලට ජලය ගලා ගොස් හුස්ම හිරවී මැරෙන්නේ නැද්දැයි ඇසීමක් හා සමානයි.

Rationalism වල ආගම් හා සමාන මූලික පිළිගැනීම් ඇත්⁣තේ නැහැ. එනම් මුලින් යමක් ප්‍රශ්න නොකොට පිළිගෙන ඒ මත තර්කානුකූල වූ හෝ නොවූ ඉතිරිය ස්ථාපිත කරන්නේ නැහැ. එකම මූලධර්මය ප්‍රශ්න කිරීමයි. එනම සෑම දෙයක් දෙසම විවාරශීලීව බැලීමයි. ඒ හරහා ලෝකයේ පවත්නා සෑම දෙයක් පිළිබඳවම සෑම rationalist කෙනෙකුටම තමට ආවේණික කියැවීමක් පවතින්නට පුළුවන්. එවන් දෙදෙනෙකුගේ කියැවීම් එකිනෙක හා වෙනස් වන්නටත් පුළුවන්. ඇදහිලිවන්තයෙක් සමහරවිට එවන් නොගැලපීමක් පෙන්නා සිනාසෙනු ඇති. "මෙන්න බලාපල්ලා ⁣අපේ හැමෝම එක මතයක් අදහනවා. උඹලාගේ දෙන්නෙක් අතරවත් එක මතයක් නෑ. ඒකෙන් පෙනෙන්නේ rationalism බොරු බවයි. ආගම සත්‍ය බවයි" යනාදී වශයෙන් සිදුකරන ප්‍රකාශ බොහෝ දැකිය හැකියි.

එය සම්පූර්ණයෙන්ම පාහේ rationalism පිළිබඳව අනවබෝධයෙන් කරන ප්‍රකාශයක්. ශ්‍රද්ධාව,භක්තිය, උපතින් උරුම වීම, කර්මයට හෝ සර්ව බලධාරියෙකුට ඇති බිය නිසා යමක් පිළිගතයුතුය යන ස්ථාවරයෙන් කෙනෙකු මිදුණු විට ඔවැනි පොදු පිළිගැනීම් මත යමක සත්‍යාසත්‍යතාව තීරණය කිරීමේ ඇති අතාර්කික භාවය කෙනෙකුට පෙනෙනු ඇති. අනෙක සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වන්නට එවන් ස්ථිර පදනම් වල කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත් පෙනී යනු ඇති.

බොහෝ ආගමික ඇදහිලිවන්තයන් rationalism වල පදනම විද්‍යාව ලෙස ගෙන විද්‍යාවේ සොයාගැනීම් අනුව විද්‍යාත්මක සත්‍යය යනු දිනෙන් ⁣දින වෙනස් වන දෙයක් ලෙසත් දක්වා ඒ අනුව ඔවුන් ඇදහිල්ලෙන් දැනටමත් දන්නා දෙය හෝ ඔවුන්ගේ සියල්ල දත් ශාස්තෘවරයා දැනටම දන්නා හෝ දැනසිටි දෙයක් කරා විද්‍යාව ළඟා වෙමින් සිටින බවක් සිතමින් ඒ අනුව rationalism යනු යල්පැනගිය දෙයක් ලෙසත් දක්වනවා.

නමුත් සත්‍යය වනනේ එහි අනෙක් පැත්ත. එනම් rationalism යනු විද්‍යාව මත පදනම් වන දෙයක් නොව විද්‍යාව යනු rationalism මත පදනම් වන දෙයක්. එනම් නිරන්තර විචාරශීලීතවය. නිරන්තරයෙන් ප්‍රශ්න කිරීම. අද සත්‍යය ලෙස පෙනෙන දෙය පවා නැවත නැවතත් ප්‍රශ්න කිරීම. ඒ අනුව rationalism තුල විද්‍යාව සහ එහි සොයාගැනීම් පවා නැවත නැවතත් විචාරයට බඳුන් කෙරෙනවා.

නමුත් බොහෝ දෙනා (ඇදහිලිවන්තයන්) rationalist කෙනෙකු යනු විද්‍යාව අදහන්නෙකැයි සිතනවා. ඒ අනෙකාත් තමා මෙන් ඇති බවට සිතන අසත්‍ය උපකල්පනය නිසා. සත්‍යය නම් rationalist කෙනෙකු කිසිවක හෝ කිසිවෙකු අදහන්නේ නැහැ.

ඒ අනුව rationalism හරහා විග්‍රහ කළ හැක්කේ ආගම් පමණක් නොවෙයි. ඕනෑම සමාජ හැසිරීමක්, සිතුවිල්ලක් පවා විචාරශීලීව විමසන්නට පුළුවන්. නමුත් ඒ පිළිබඳව නොදන්නා අය rationalist කණ්ඩායමක් තුල ආගම නොවන වෙනත් මාතෘකාවක් සාකච්ඡා කරන විට "ආ දැන් උඹලා හේතුවාදය අතහැරලා වෙනත් එකක් (දේශපාලනය/ ලිංගිකත්වය) අල්ලාගෙනදැ"යි අසනවා. එය ඒ ප්‍රශ්නය අසන්නාගේ ඇති හුදු නොදන්නාකම.

එමෙන්ම rationalism යනු කුමක්දැයි ඍජුව පැහැදිලි කළ විට, "මේ අපි දන්න rationalistලා නම් ඔහොම අය නෙමෙයි. උන් කරන්නෙ ආගම් වලට අපහාස කරන එක විතරයි" යනුවෙන් අතිශය මෝඩ ප්‍රකාශයක් කරනවා. සැබැවින්ම rationalist සාකච්ඡාවකින් ආගම් වලට වැඩියෙන් පහර වදින්නේ rationalism වලින් වැඩියෙන්ම විවේචනය කෙරෙන "ඇදහිල්ල" වැඩි වශයෙන්ම ඇති සමාජ සංස්ථාව ආගම් නිසා. එබැවින් විචාරශීලී සාකච්ඡා තුල වැඩියෙන්ම විවේචනයට සහ උපහාසයට ලක්වන්නේ ආගම් වීමේ කිසිම පුදුමයක් නෑ. එපමණක් නෙමෙයි. යම් සමාජයක වැඩියෙන්ම මුල්බැසගෙන ඇති ආගම කුමක්ද? ඒ සමාජය තුල කෙරෙන විචාරශීලී සාකච්ඡාවකදී වැඩියෙන්ම විවේචනයට ලක වන්නේ ඒ වැඩියෙන්ම මුල්බැසගත් ආගමේ සංකල්ප. එහි කිසිම පුදුමයක් හෝ අමුත්තක් ඇත්තේ නැහැ.

තවත අය ගෙනෙන තර්කයක් තමයි වර්තමාන rationalistලා සියලු ආගම් විවේචනය කළද අතීතයේ සිටි අසවල් අසවල් rationalistලා අසවල් අසවල් ආගම් වල සත්‍ය පිළිගත් බව හෝ ඔහු අසවල් ආගමට රහසිගතව බැඳී සිටි බව කීම.

වෙන්නට පුළුවන්. සෑම ආගමකම තාර්කික කොටස් තිබෙන බව ඇත්ත. ඒවා මනා විචාරශීලී කියවීමකින් පසු ජීවිතයට සහ සමාජයට උකහා ගැනීමේ වරදක් නෑ. ආගමකට කෙනෙක් රහසින් බැඳී සිටියේ නම් එය ඔහුගේ ප්‍රශ්නයක්. තවත් rationalist කෙනෙකුට එය ප්‍රශ්නයක් වන්නේ යැයි සිතීම හාස්‍යයට කරුණක්. මන්ද rationalist කෙනෙකු යනු අවම වශයෙන් අතීතයේ සිටි ප්‍රකට rationalistලා හෝ අදහන්නෙකු නොවේ.

එබැවිනුයි rationalist යන්න හේතුවාදය ලෙස සිංහලයට නැගීමට වඩා විචාරවාදය ලෙස ගාමිණි වියන්ගොඩ විසින් කරන අර්ථකථනය වඩා සුදුසු බව මම සිතනනේ. එකම මූලධර්මය විචාරය එනම් සියල්ල විචාරයට බඳුන් කිරීම පමණමයි.

[නිවැරදි කිරීමක් කරන්ට ඕන. මේ පෝස්ටුවේ තියෙන්නෙ ගාමිණී වියන්ගොඩ මහතා ඒ දේශනේදි කියපු දේවල් නෙමෙයි. ඒ දේශනේදි පාවිච්චි කරපු එක වචනයක්, ඒ කියන්නෙ "විචාරවාදය" කියන වචනෙ ගැන මට හිතුණ දේවල්.]

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...