විශ්ව විද්‍යාල තුල අන්තරය සහ ඊට විරුද්ධ පාර්ශව යන කොටස් දෙකම ආකල්පමය වශයෙන් තවමත් 1980-90 කාල සීමාවේ සිරවී සිටිනවා. එදා සටන් පාඨ අදට වලංගු නැති බව අන්තරය වටහාගෙන නැහැ. අන්තරය තවදුරටත් මතවාදීව වලංගු විරුද්ධවාදියෙකු නොවන බව ඊට විරුද්ධ අය වටහගෙනත් නැහැ.
ඔවුන්ව වර්තමානයට ඇද දැමීම සඳහා සරසවියට පිටින් සිදුවන බලවත් අත පෙවීමක් තරම් ගැලපෙන දෙයක් තවත් නැහැ. ඒ අත පෙවීම සිදුවන්නේ නවකවදය මැඩලීමටද නැද්ද යන්න අදාළ කරුණක් නොවේ. කුමකින් හෝ මෙය කැළතිය යුතුමයි.
සරසවි ශිෂ්‍යයෙකුට යම් සමාජ කියවීමක් තිබිය යුතුයි. ඔහු සමාජ ප්‍රවණතා ගැන සංවාදයට භාජනය කළ හැකි විග්‍රහයක් ඉදිරිපත් කරන්නෙකු විය යුතුයි. වසරකට වරක් පිරිත් පිංකම්, දන්සැල්, වෙසක් කූඩු තරඟ, බණ ආදිය සංවිධානය කිරීම තමයි වැඩ කියල ගොඩක් සරසවි ශිෂ්‍යයො හිතාගෙන ඉන්නව.
එහෙම කිව්වම කෙනෙක් මගෙන් අහයි "මොකක්ද ඒ වැඩ වල ඇති වැරැද්ද?" කියල. වැරැද්ද තමයි ඒ තුල විසම්මුතික වටිනාකමකින් යුත් සරසවි ශිෂ්‍යයා වඳවීයාම. ඒක මහා ඛේදවාචකයක්.
බුද්ධිගලනය කියල පොදුවෙ පිළිගන්නෙ උගතුන් බුද්ධිමතුන් රට යාමලු. මම කියනව සැබෑ බුද්ධිගලනය සිදුවෙන්නෙ කෙනෙකුගෙ හිස තුල. ඒ තුල යමක් දෙස විචාරශීලීව බලන විසම්මුතික වටිනාකම් හිසෙන් එළියට ගලා ගිහින් අසාධාරණ වූ සමාජ ක්‍රමයට ප්‍රශ්න නොකර අනුගත වෙන එහෙයියෙකු බිහි වෙනවා.
ඒක 88-89 සිට සරසවි පද්ධතිය තුල සිදුවෙමින් ආවා. අදටත් සිදුවෙනව. 88-89 තීරණාත්මක වෙන්නෙ ඇයි? ඊට පස්සෙ "ක්‍රමය ප්‍රශ්න කිරීම" මහ භයංකාර දෙයක් බවට පත් වෙනව. "ක්‍රමය ප්‍රශ්න කරන්නා රට ලේ වලින් නාවන්න හදන ජේවීපී කාරයෙක්" කියල හිතන තැනට මිනිස්සු තල්ලු වුණා. තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්න එක අලුත් trend එක වුණා.
ශිෂ්‍යත්වෙන් පටන්ගෙන උසස්පෙළින් කූට ප්‍රාප්තිය ලබන තරඟකාරිත්වය සරසවියට එන කෙනා තුල ඉතිරි වුණා. අවුරුදු හතරින් පස්සෙ සරසවියෙන් වෙනස් විදියට හිතන මිනිහෙක් වෙනුවට සරසවියට ඇවිත් උපාධිය විතරක් නමට එකතු කරගත්තු අර ආත්මාර්ථකාමී ප්‍රතිගාමී මිනිහම පිටවෙන තත්වයක් ඇතිවුණා.
ඒ නව අදහස් නැති, කියන දේට ප්‍රශ්න නොකර අනුගත වෙන, එහෙයි කියන, පඩියට පැය ගාණ වැඩ කරන, දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න අයගෙන් අද රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් පිරිල. උපාධිය හුදෙක් රස්සාව ඉලක්ක කළ දෙයක් බවට පත්වෙලා.
මේක තමයි ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල, චින්තකයො බිහි කරගන්න බැරුව ඉතිහාසයේ මුහුණ දුන්න ලොකුම හිරවීම. ඒ හින්ද ඔය රැගක් දීගෙන, මුලින් පූජා නැටුමත් එක්ක සෝෂල් එකක් ගොයිං ඩවුන් එකක් කරගෙන, පිරිතක් බණක්, දන්සලක්, වෙසක් කූඩු තරඟයක් කරගෙන ඒව වැඩ කියල හිතාගෙන, මුල්ලක් අල්ලගෙන හැන්දෑවට නාල පාඩුවෙ ඉන්න පුරුදු වෙච්ච මොට්ට විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගෙ comfort zone එකට හොඳට හයියෙන් පාරක් වදින්නම ඕන. ඒ පාර වදින එක හොඳ විදියක් තමයි බුද්ධි අංශ විශ්ව විද්‍යාල තුලට රිංගීම.
දැන් බලමු "උගත්කම ඔබතුල හදපු පෞරුෂයෙන් අංශු මාත්‍රයක් හරි ඉතුරු වෙලා තියනවද?" කියල. "ඒ ඉතුරු වෙච්ච ටික ඔබ නොදැන ආරක්ෂක අංශ ඔබ දිහා බලාගෙන ඉඳීමකට කොයි විදියෙ ප්‍රතිචාරයක් දක්වයිද?" කියල.
No comments:
Post a Comment