විල්පත්තු අර්බුදය සම්බනධයෙන් මම දක්වන ලද අදහස් පිළිබදව ඇතැම් පාර්ශවයන්ගේ නොසතුට දුටුවෙමි. ඒ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් කළ යුතුවේ.
කැළය කැපීම හරි යැයි මා කිසිදු ස්ථානයක කියා නැත. එය තවදුරටත් කැපිය යුතු බවක් හෝ මා විසින් සහ තවත් පාර්ශව ගණනාවක් විසින් මතුකර පෙන්වූ දුර්වලතා හේතුවෙන් මෑත ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වාර්තා වූ දැවැන්තම පරිසර හිතවාදී මහජන කතිකාවත අතරමග නතර විය යුතු බවක් මා කිසිසේත්ම කියා නැත.
එමෙන්ම අදාළ ප්‍රශ්නගත ප්‍රදේශය ජනතාව පදිංචි කරවීම සදහා මුදාහරින ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ඔහුගේ පූර්ණ අනුදැනුම හා අනුමැතිය යටතේ බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන්ය යන කරුණ මත පිහිටා සමස්ථ වගකීම පසුගිය ආණ්ඩුවට දමා දැන් ඉතින් කරන්නට දෙයක් නැතැයි කියන කුහක රෙජිමේන්තුවටද මම අයත් නොවන බව අවධාරණය කළ යුතුය.
මා විසින් මතුකරන ලද ප්‍රධානතම ප්‍රශ්නය වූයේ මෙම පරිසර හිතවාදී කතිකාවතට ජනතා අවධානය ලබාගැනීම සදහා ඒ ඒ කණ්ඩායම් විසින් ඒ පිළිබදව අසත්‍ය තොරතුරු ජනගත කිරීමයි. මෙහිදී ප්‍රකාශිත ප්‍රධාන අසත්‍යය වන්නේ "කපා ඇත්තේ විල්පත්තුවය" යන කරුණය. පෙරකී කණ්ඩායම් විසින් දැන් දැන් එකී ස්ථාවරය "කපා ඇත්තේ විල්පත්තුවේ පරිවාර රක්ෂිතයකි, විල්පත්තුව නොවුවද වෙනත් නමක් ඇති රක්ෂිතයකි, කොහේ වුණත් කැළයකි, කැළයක් වුණත් නැතත් අපට හුස්ම පොද දෙන ගස්ය" යනාදී විවිධ වූ එකිනෙකට ඇතැම්විට ඉදුරා වෙනස් ස්ථාවරයන් කරා විතැන් කරගෙන තිබුණද මෙම අර්බුදය ඇතිවූ මුල් දිනවල පටන් මීට සති දෙකක් පමණ එපිට දක්වාම එකී කණ්ඩායම් සහ එකී මතවාදය දරන වෙනත් බොහෝ අයගේ ෆේස්බුක් ගිණුම් පරික්ෂා කර බලන්නේ නම් "කපන ලද්දේ විල්පත්තුවම බව" අවධාරණය කෙරෙන posts රාශියක් ඇතැම් විට දහස් ගණනක් ඒවායේ දක්නට ලැබේ.
එය මුසාවක් බව (ප්‍රකාශිතව නැතත් ඉහත කී පරිවාර රක්ෂිත වෙනත් රක්ෂිත ගස් ස්ථාවරයන් දක්වා පසුබැසීමෙන්) දැන් ඔවුන්ම පිළිගෙන තිබේ. ඒ අනුව අරමුණ ශ්‍රේෂ්ඨ වුවද ඔවුන් සිදුකර ඇත්තේ ජනප්‍රවාදයේ එන "කොටියා ආවෝ" කතාවේ වැනි වැඩක් බව ඉතාම පැහැදිලි වේ. ඒ අනුව මින් ඉදිරියට එකී කණ්ඩායම් ප්‍රකාශ කරන දේ දේශපාලකයන්ගේ ප්‍රකාශ මෙන්ම කිරා මැන බැලීමට සිදුවන තත්වයකට අප තල්ලු වී තිබේ.
එසේ වුවද පරිසරය රැකගැනීමට ජනතාව සංවිධානය වී පෙරට ඒම අගය කළ යුතුය. ඒ පිළීබදව බෙහෙවින් සතුටු විය යුතුය. මන්ද මෙළොව පැවැත්මේ එක් තීරණාත්මක කාර්යභාරයක් ගස්වැල් ඉටුකරන බැවිනි. ඒවා ආරක්ෂා කිරීමට ජනතාව පෙරට ඒම තව තවත් දිරිගැන්විය යුතු බවටත් ඔබත් මමත් අද අදම එකී අරගලයට දායක විය යුතු බවටත් කිසිදු විවාදයක් නැත.
නමුත් කුමන තත්වයක් යටතේ වුවද මිනිසුන් රවටා සටනට කැදවීම නොකළ යුතුය. මන්ද ඔබ ඔවුන් කැදවන්නේ උපන්දින සාදයකට නොව සටනකට බැවිනි. ඔබේ කැදවීම පිළීගෙන සටනට එළඹෙන්නෝ එසේ එළඹෙන්නේ හුදෙක් ඔබේ වචනය පිළිබදව විශ්වාසය තබා අදාළ සටනින් බොහෝ දේ අහිමි වීමේ අවදානමට පුද්ගලිකව මුහුණ දෙමිනි. ඔබ ඔවුන්ව සටනට කැදවුවද ඔවුන් මුහුණදෙන අවදානම සම සමව බෙදාගැනීමේ හැකියාවක් ඔබට නැත. මන්ද සටනකදී එක් එක් සටන්කරුවාට වන හානි එකිනෙකට වෙනස් බැවිනි. එබැවින් එසේ යමක් අහිමි කරගැනීමට හෝ කැමැත්තෙන් ඔබේ වචනය මත විශ්වාසය තබා සටනට බසින්නාට ඔබ අඩුම ගණනේ ගරු කළ යුතුය. ඔහුට බොරු කියා සටනට කැදවන්නේ නම් එය ඔබ ඔහුට කරන බලවත්ම නිග්‍රහයයි.
ඔබ බොරු නොකී බව කීමට ඔබට බැරිය. මන්ද මුලදී පැහැදිලි ලෙසම කපා ඇත්තේ විල්පත්තුවය කීවේද ඔබමය. දැන් ඒ විල්පත්තුවෙන් පිට වෙනත් තැනක්ය කියන්නේද ඔබමය. මම අසා සිටියා පමණි. සම්පූර්ණ වරදේ ක්‍රියාකාරී දායකත්වය ඔබගේ මිස මගේ නොවේ. එම වරද පිළිගැනීමට නිහතමානී වීම මම ඔබෙන් දුටුවේ නැත.
වන විනාශයට ඇති ඔබේත් මගේත් පොදු විරෝධය එලෙසම තිබියදී මෙම අර්බුදය සම්බන්ධයෙන් විසදාගත යුතු තවත් ප්‍රශ්න කිහිපයක් තිබේ. ඒවා නම්:-
1. මේ එළිකර ජනාවාස තනා ඇති ප්‍රදේශයේ සැබෑ නම කුමක්ද?
2. එය සැබැවින්ම රක්ෂිතයක්ද?
3. රක්ෂිතයකට අයත් නම් එසේ රක්ෂිතයක් බවට පිළිගැනෙන ගැසට් නිවේදනය කුමක්ද?
4. එම ගැස්ට් නිවේදනයට අදාළ සීමා නිර්ණය කළ මිනින්දෝරු කණ්ඩායම කුමක්ද?
5. අදාළ මිණුම් කටයුතු පටන් ගත්තේ කවදාද අවසන් කළේ කවදාද?
6. ඒ අනුව ඒසේ ගැසට් කිරීමට සාධාරණ පිළිගත හැකි පදනමක් යොදාගෙන තිබේද?
7. එසේ ගැසට් කිරීමෙන් පසු අදාළ රක්ෂීත භූමි ප්‍රදේශයෙන් යම් කොටසක් මෙම ව්‍යාපෘතිය සදහා මුදාහරින ලද්දේද?
8. ඒ කුමන ගැසට් නිවේදනයක් හරහාද?
9. කාගේ අත්සනින්ද?
10. එකී ගැස්ට් නිවේදනය අත්සන් තැබූ පාර්ශවයට පූර්වයෙන් ගැසට් කරන ලද රක්ෂිතයකින් කොටසක් මුදාහැරීමට අවශ්‍ය බලතල තිබුණේද?
11. ඒ අනුව අදාළ ප්‍රදේශයේ ජනාවාස ඉදිකිරීමට පෙර වාණීජ වටිනාකමකින් යුත් දැව රාජ්‍ය දැව සංස්ථාව මගින් නිසි පරිදි ඉවත් කරගෙන තිබේද?
12. එසේ නොමැතිව යම් වෙනත් පාර්ශවයක් දැව ඉවත් කර ගත්තේද?
13. එසේ ඉවත් කරගත්තේ නම් ඒ බවට ඇති සාක්ෂි කවරේද?
14. ඉන්පසු ආදළ ප්‍රදේශය එළි පෙහෙළි කිරීම කුමන ආයතනයක් විසින් භාරගෙන ඇත්ද?
15. එය විධිමත් ටෙන්ඩර් පටිපාටියට අනුව සිදුවී තිබේද?
16. එළි කිරීම ඇරඹූණේ කවදාද?
17. අවසන් වූයේ කවදාද ?
18. එකී සදහන් කරන ලද එළි කිරීම් අවසන් වූ දිනයෙන් පසු තවත් යම් ප්‍රමාණයක් එළිකිරීම් සිදුවී තිබේද?
19. අදාළ ගැසට් නිවේදනයෙන් මුදාහරින ලද වපසරියට අමතරව වෙනත් යම් කොටසක් එළි කර තිබේද?
20. එසේ එළිකර තිබේ නම් ඒ කා විසින් කාගේ අනුදැනුම යටතේ සිදුවූවක්ද?
21. අදාළ යෝජනා ක්‍රමය යටතේ එළිකිරීමට තවදුරටත් ඉතිරිවී ඇති කොටස් තිබේද?
22. එසේ තිබෙන්නේ නම් ඒ කොපමණක්ද?
මෙම ප්‍රශ්න වලට නිසි පිළිතුරු යථා කාලයේදී එළිදරව් වූ කල මෙම ප්‍රශ්න සමග පිළිතුරුද පළ කිරීමට අදහස් කරමි.
Google Maps ගැන:-
බොහෝ දෙනා මෙම ගැටලුවේදී ඉදිරිපත් කරන්නේ google maps ආශ්‍රයෙන් ලබාගත් සාක්ෂි වේ. මෙම එළි කරන ලද ප්‍රදේශය google maps ආශ්‍රයෙන් සීමා නිර්ණය කොට ගැසට් කර ඇති බවට ප්‍රකාශ කෙරෙමින් පවතින අතර එය එසේනම් එය මේ විහිළු ලන්තයේ තවත් එක් විහිළුවක් බවට පත්වනු ඇත. යම් ඉඩමක හෝ රක්ෂිතයක සීමා නිර්ණය google maps ආශ්‍රිත චන්ද්‍රිකා ඡායාරූප හරහා සිදුකරන්නේ නම් එය කිරීමට වන්නේ වනාන්තර ලෙස අදාළ ඡායාරූප වල පෙනෙන කොටස් බැලු බැල්මට හදුනා ගැනීමෙනි. එය වචනාර්ථයෙන් ගත් පමණින්ම වුවද විහිළුවක් වන්නේ ඒ අනුව ගස් වැවී ඇතැයි පෙනෙන කොතැන වුවද වනාන්තරයක් ලෙස හදුනාගනු ලැබීමට පවත්නා ඉඩකඩ අධික බැවිනි. ගස් වලට යටින් ඇති අලුත් මෙන්ම පැමිණි ඉදිකිරීම් කිසිවක් චන්ද්‍රිකා ඡායාරූපයට පෙනෙන්නේ නැත. ඒ අනුව වනාන්නතරයක් නොවන හුදෙක් උඩින් ගස්වියන ඇති ප්‍රදේශයක් පවා වනාන්තරයක් ලෙස දිස්වීමේ ඉතා ඉහළ ඉඩකඩක් පවතී. ඒ ක්‍රමයට වනාන්තර ගැසට් කරන්නේ නම් ඉඩම පුරා ගස් වැවී ඇති පුද්ගලික ඉඩම් පවා google maps හරහා වනාන්තර ලෙස දිස්වීමෙන් රක්ෂිත ලෙස ගැසට් වීමේ බැහැර කළ නොහැකි අවධානමක් පවතින බව තේරුම් ගත යුතුය. එම තත්වය කෝපයෙන් නොව යථාර්ථවාදී ලෙස දැක පිළිතුරක් සොයාගැනීම අත්‍යවශ්‍ය වේ.
අවසාන වශයෙන් මා නැවතත් අවධාර්ණය කරන්නේ මම මේ සටනට කිසි ලෙසකින් වත් එරෙහි නැත. මා කියන්නේ සටන සත්‍ය කරුණු මත පදනම්ව සත්‍යවාදී ලෙස ඉදිරියට යායුතු බව පමණි.
No comments:
Post a Comment