Tuesday, September 15, 2020

Walking with the Enemy (2013)

 



දෙවැනි ලෝක යුද්ධය හා බැදුණු සාහිත්ය සහ සිනමා නිර්මාණ බොහෝවිට මනුසත්බවට නිගාදෙන මනුෂ්ය ක්රියා පිළිබදව ජුගුප්සාවක් විනා සිතට ආශ්වාදයක් ජනිත කරන්නේ නැත. තම ජාතිය අන් ජාතීන්ට වඩා උසස්ය ශ්රේෂ්ඨය යන හැගීම ඉහ වහා ගිය කල සිදුවන විනාශය ඒ නිර්මාණ තුලින් නැවත නැවතත් ලෝකයට අනතුරු අගවයි.

මනුෂ්ය ප්රාණීන් කොටසක් උත්පතියෙන් පැවැත්මෙන් සහ ආගමික විශ්වාසයෙන් වෙනස් වූ පලියට තමන් ආර්ය ජන කොටසක් ලෙසත් තවත් එවැනිම මනුෂ්ය ප්රාණීන් කොටසක් අනාර්ය ජනකොටසක් ලෙසත් වර්ග කර ඔවුන් මත මුදාහළ මහා භීෂණයේ පරිමාණය කෙතෙක්දැයි අදටත් පවසන්නට සිදුවී ඇත්තේ අනුමාන වශයෙන් පමණි. ඒ අන්ධකාර කාල පරිච්ඡේදය තුල හංගේරියාව තුල සිදුවූ අදුරු වළාවක රිදී රේඛාවක් වන් සිදුවීම් පෙළක් පාදක කර ගනිමින් මෙම විශිෂ්ඨ සිනමා නිර්මාණය බිහිවී ඇත.

ජර්මනිය සමග හංගේරියානු එකගතාවය සහ හංගේරියාව එයට අනුකූලත්වය නොදැක්වීම මත ජර්මානු හමාදා හංගේරියාවේ බලය අත්පත් කරගත් 1944 වසර මෙම චිත්රපටයට පාදක වේ. ජර්මානු හමුදා හංගේරියානු යුදෙව්වන් අතර තරුණ පිරිස මුලින් වහල් කදවුරු වලට ගාල් කිරීමත් ඉන්පසු අනෙකුත් යුදෙව් ජනයා මුඩුක්කු වලට ගාල් කිරීමත් පසුව ක්රමක්රමයෙන් ඔවුන්ව අවුෂ්විට්ස් වැනි ඝාතක කදවුරු කරා මහා පරිමාණයෙන් ප්රවාහනය කොට ඝාතනය කිරීමත් පිළිබදව දර්ශන නරඹන්නාගේ රෝමොද්ගමනය කරවයි.

සියල්ල අහිමි වූ යුදෙව් ජාතික තරුණයෙකු එයට එරෙහිව තමාට හැකි අයුරින් සටන් වැදීමට තීරණය කරන්නේ ඒ සටනේ අවසානය කෙසේ වේදැයි යන්න පිළිබදව පැහැදිලි බලාපොරොත්තුවක් හෝ ඇතිව නොවේ. ඔවුන් විසින් ඝාතනය කරන ලද ජර්මානු හමුදා නිලධාරීන්ගේ නිල ඇදුම් ඇගලා ගන්නා මේ පිරිස ඝාතනයට කැපවූ අහිංසක අසරණ යුදෙව් මිනිසුන් ගැහැණුන් හා කුඩා දරුවන් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට සමත් වෙයි.

ජර්මනිය හංගේරියාවට ඇතුළු වීමත් සමගම හංගේරියානු ඇරෝ ක්රොස් පක්ෂය එනම් හංගේරියානු ෆැසිස්ට්වාදීන් ජර්මානුන් සමග එක්වී යුදෙව්වන් මර්දන ක්රියාවලිය වේගවත් කිරීමට කටයුතු කරන ආකාරය මෙන්ම යුදෙව්වන් ඔවුන්ගේ නිවෙස් වලින් පළවා හැර හංගේරියානු ජාතිකයන් විසින් ඔවුන්ගේ දේපල නිවාස අත්පත් කරගන්නා ආකාරය ඉතාම ජුගුප්සාව දනවන ආකාරයට නිරූපණය කර ඇත.

චිත්රපටයේ එවන් දර්ශන නරඹන තත්පරයක් පාසා හංගේරියානු යුදෙව්වන්ට අත්වූ ශෝචනීය ඉරණම පිළිබදව මහත් වේදනාවක් ඇති වීම නොවැලැක්විය හැකිය. එමෙන්ම එදා හංගේරියානු යුදෙව්වන්ට සිදුවූ අයුරින්ම තම නිවාස දේපල වලින් එළියට ඇද දමා ඒවා අත්පත් කරගැනීම වර්තමානය වන විට යුදෙව්වන් විසින් පලස්තීන ජාතිකයන්ට එරෙහිව සිදුකිරීම සාධාරණීකරණය කළ හැක්කේ කෙසේද යන සාධාරණ තත්කාලීන ප්රශ්නයට මම මැදි වූයෙමි.

මනුෂ්යයාගේ ජාතිය මනුෂ්යය. මනුෂ්යයා සෑම විටම ගත යුත්තේ මනුෂ්යත්වයේ පැත්තයි. උපතින් පසුව උරුම වන අනේකවිධ භේද මත එක් ජනකොටසක් උසස් ලෙසත් තවත් ජනකොටසක් පහත් ලෙසත් සළකා සිදුකරන ඕනෑම යුද්ධයක් අරගලයක් සාධාරණීකරණය කළ නොහැක්කේ එබැවිනි. දෙවැනි ලෝක යුද්ධය ආශ්රිත අතිශය සංවේදී සිදුවීම් මාලාවක් කුතුහලය දනවන ආකාරයෙන් වේගවත් ගලා යාමකින් ඉදිරිපත් කරන මෙම විශිෂ්ඨ සිනමා නිර්මාණය මනුෂ්යත්වය අගය කරන සෑම කෙනෙකුම අනිවාර්යයෙන්ම නැරඹිය යුතු යැයි මම කල්පනා කරමි.


No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...