ඕනෑම අපරාධ අධිකරණයක විභාග වන නඩු අතරින් ලිංගික අපරාධ සම්බන්ධ නඩු ප්‍රමාණය බොහෝ විට කෙනෙකු පුදුමයට පත්කරවන තරම්ය. ඒවා අතරින් බාලවයස්කාර දරුවන් වින්දිතයන් බවට පත්වූ සහ පවුලේ ඥාතීන් හිතවතුන් අතින් සිදුවූ අතවර ප්‍රමාණය බැලූ කල තවත් වරක්ද ඒවා අතරින් පිරිමි දරුවන් වින්දිතයන් වන සිද්ධි ප්‍රමාණය බැලූ කල තවත් වරක්ද පුදුමයට පත්වීමට සිදුවනවා ඇත.
මෙම ලිංගික අපරාධ අනෙක් බල අපරාධ වලට සාපේක්ෂව ප්‍රමාණාත්මකව වැඩි වීම සහ ඒවායේ ස්වභාවය සාමාන්‍ය සිහි බුද්ධිය ඇති ඕනෑම තැනැත්තෙකු කැළඹීට පත්කරවනසුලුය. එයට ඇති විසදුමක් ලෙස ඇතැම් පාර්ශවයන් ඉදිරිපත් කරන ජනප්‍රිය නොවන විසදුමක් වන්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමය. ලිංගික අපරාධ වැඩි වීමට හේතුව වන්නේ සමාජයේ පවත්නා සිරගත කරන ලද ලිංගික අසහනකාරීත්වය බවත් එයට යම් නිදහසක් අස්වැසිල්ලක් ලබාදීම ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් සිදුකළ හැකි බවටත් මේ පුද්ගලයන් තර්ක ගෙනහැරපාති.
ලිංගිකත්වය අනවශ්‍ය ලෙස සිරගත කිරීම සහ සැගවීම මත එය අසහනකාරීත්වයක් බවට වර්ධනය වන බව සත්‍යයකි. ලිංගිකත්වය ආහාර ජලය ඇදුම් පැළදුම් වැනි මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් බව හදුනාගෙන එය සමාජයේ දුරස්ම අදුරුම මුල්ලට තල්ලු කිරීම නවත්වනතුරු ලිංගික අසහනකාරීත්වය හරහා උපදින සමාජ විකෘතිතා සමාජයේ පවතිනවා ඇත.
ලිංගිකත්වය පිළිබදව ළැදියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. සුවිශේෂී වේ. කෙනෙකු එයින් බලාපොරොත්තු වන වින්දනය හා ප්‍රතිවිපාකය පුද්ගලයන් දෙදෙනෙකුගේ ඇගිලි සළකුණු සර්ව සම නොවන්නා සේම එකිනෙකට සමාන නොවේ. යම් තරමකට එකිනෙක හා ගැලපෙන ලිංගික ලැදියාවන් පවත්නා පුද්ගලයන් දෙදෙනෙකු විවාහ වුවහොත් ඔවුන්ට යම් ප්‍රමාණයකට තමන්ගේ විවාහ ජීවිතය තුල ලිංගිකත්වය පිළිබදව තෘප්තිමත් වීමට හැකි වනවා ඇත. පොරොන්දම් බැලීමේදී යෝනි පොරොන්දම ගැලපීමෙන් බොහෝදුරට පැරැන්නන් ගලපන්නට උත්සාහ කළේ මෙය බව කියනු ලැබේ. කෙසේ වෙතත් මනුෂ්‍ය චිත්ත ස්වභාවය නම් කිසිදා සම්පූර්ණයෙන් තෘප්තිමත් නොවීමය. කිසිදා පරිපූර්ණත්වයට පත් නොවීමය. සෑම අවස්ථාවකදීම පවත්නා තත්වයට වඩා හොද තත්වයක් පිළිබදව හැගීමක් තිබේ. එම තත්වය ළගා කරගැනීමට සිහිනයක් උපදී.
එසේ යථාර්ථවාදීව ළගා කරගන්නා තත්වය සහ සිතේ මවාගන්නා මනෝරාජිකය අතර පරතරය අවම වන තරමට අසහනකාරීත්වය අඩු වනවා ඇත. ඒ අතින් ගත් කල ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ජන සමාජයේ බොහෝ දෙනෙකුගේ ලිංගික අසහනකාරීත්වය අධික බව නිරීක්ෂණය කළ හැකි වෙයි. එය සමාජයේ සෑම තරාතිරමකම සෑම තැනකම දක්නට ලැබෙයි. එය බොහෝ විට වෙනත් යම් සාධකයකින් වසනු ලැබේ. පවුල යන සංකල්පය දරුවන් ආදී වශයෙන් විවිධ පිධාන එයට භාවිතා කෙරේ. වසනු ලැබ ආවරණය කර තිබුණද අසහනය දිනෙන් දින මෝරයි. දළු ලා වැඩෙයි. විවිධ ක්‍රම වලට පිට වෙයි.
ශ්‍රී ලංකාවේ ලිංගික සබදතා යනු නිදහස් මානව හැසිරීමක් නොව ව්‍යූහගත පද්ධතියක එක් අදියරකි. එනම් එය ළගා කර ගැනීම සදහා පුද්ගලයෙකු පසු කළ යුතු මාවතක් ඇති බව සමාජය විසින් දැඩිව ස්ථාපිත කැරගෙන තිබේ. සාමාන්‍යයෙන් පාසල් අධ්‍යාපනය උසස් අධ්‍යාපනය රැකියාව නිවසක් වාහනයක් යනාදී අදියර පසු කිරීමෙන් පසුව විවාහය යන අදියර තුල එන උප අදියරක් වශයෙන් පමණි ලිංගිකත්වය හදුනා ගැනෙන්නේ.
එම අදියර එකින් එක පසු කිරීමට අකැමැති හෝ එම අදියර නොසළකා හැරීම ප්‍රතිපත්තිය කරගත් අය හෝ එම අදියරට පෙර එය වින්දනය කිරීමට කැමති අය අප්‍රසිද්ධියේ ඒවා පසෙකට දමා ලිංගිකත්වය වින්දනය කරති. එය හෙළිදරව් වූ කල මහා අපරාධයක් කළ විටෙක මෙන් සමාජ ගැරහුමට අවමන් වලට ලක් වෙති. හෙළිදරව් නොවන තාක් සමාජ සම්මත රාමුව තුල ගමන් කරන්නන් මෙන් ව්‍යාජ ප්‍රතිරූප නඩත්තු කරති. සැබැවින්ම ඒවා සිදුවිය යුත්තේ පෙරකී සමාජ රාමුව තුල පමණක් බව පිළිගන්නා අයද සිටිති. ඔවුන් තමන්ගේ ප්‍රතිපත්තිමය කාරණාවක් ලෙස සමාජ රාමුව සාධාරණීකරණය කර ගනිති.
එසේ නොවන අය මේ හරහා දැඩි බලහත්කාරයකට ලක් වෙති. ශ්‍රී ලංකාවේදී ඉහත කී සමාජ රාමුව පියවරෙන් පියවර පළමු උත්සාහයෙන්ම ජයගෙන ලිංගිකත්වය නම් උප අදියරට එළඹෙන විට කෙනෙකුගේ වයස අවම වශයෙන් 25කට වැඩිවී ඇත. එසේ ජය ගැනීමට අසමත් වන්නන් හෝ වරක් දෙවරක් සිව්වරක් පස්වරක් දසවරක් එකම කඩඉම ජයගැනීමට උත්සාහ කරන්නෝ ඒ ඒ කඩඉම් අසළ සිරවී තමන්ටත් නොදැනී අති විශාල අසහනකාරීත්වයක් තමා තුල වර්ධනය කර ගනිති.
එවැනි අය පිළිගත් සමාජ රාමුවට අනුගත වීමෙන් ප්‍රතිලාභ නොලබන්නන් බවට පත් වෙති. නොදැනීම ජීවිතයට සමාජයට අසල්වැසියාට මිතුරාට බලවත් ලෙස ඊර්ෂ්‍යා කිරීමටත් වෛර කිරීමටත් පටන් ගනිති. සැබෑ ලෝකයේ යථාවත් කරගත නොහැකි වින්දනයන් විවිධ මාර්ග වලින් සොයති. ජීව විද්‍යාත්මකව ගත් කල එහි කිසි වරදක් නැත. මන්ද සමාජ ක්‍රමය හැඩ ගැසී ඇති ආකාරය අනුව ශ්‍රී ලාංකිකයන්ගෙන් අති බහුතරය තමන් ජීව විද්‍යාත්මකව ලිංගික වශයෙන් උපරිම ලෙස ක්‍රියාකාරී කාලය ගෙවන්නේ තනිකඩවය.
ඒ හරහා සමාජයේ අවස්ථා සොයන්නවුන් බවට මේ අසහනකාරීන් පත්විය හැකිය. අවස්ථාව ලැබෙන්නේ කොතැනින්ද එය වහාම ඩැහැගන්නා තැනට පත්විය හැකිය. එවන් කතාන්තර බොහෝ ලිංගික අපරාධ සිද්ධීන් තුල හමුවේ.
තවත් පිරිසක් පෙරකී රාමුගත ක්‍රියාවලිය තුල ලිංගිකත්වය නම් උප අදියරට ළගා වෙතත් එයින් තෘප්තිමත් වන්නේ නැත. එයට හේතුව වයස්ගත වීම ලැදියාවන්ගේ නොගැලපීම හෝ වෙනත් හේතුවක් කිය හැකිය. එසේ අතෘප්තියෙන් යුතුව නමුත් පෙරකී පරිදි කුමක්හෝ සමාජ සැරසිලි පිධානයකින් අසහනය වසා මේ පිරිස ජීවත් වන්නේ තමා තුල දිනෙන් දින මෝදු වන අසහනකාරීත්වය මැඩ ගනිමිනි. ඒ අසහනකාරීත්වය නොසිතූ අවස්ථා වලදී නොසිතූ ලෙස පිටතට පැන මහා අපරාධයකින් කෙළවර විය හැකිය. ලිංගික වශයෙන් දැඩි ලෙස අතෘප්තිමත් අසහනකාරී දිවියක් ගෙවූ මහල්ලන් ජීවිතයේ සැදෑ සමයේදී තමාගේම ඥාති වන බාල වියේ මිනිබිරියක හෝ දැරියක දැක හැගීම් පාලනය කරගත නොහී ඉතා අශෝබන ලිංගික හැසිරීම් පෙන්වා ඇති අවස්ථා අධිකරණ තුලදී කොතෙකුත් හමුවේ.
විරුද්ධ ලිංගික ආකර්ශණය තෘප්තිමත් නොවන තැන තමාගේම ලිංගයේ කුඩා දරුවන් විවිධ කටයුතු සදහා යොදාගත් පවුලේම ඥාති හෝ හිතවත් පිරිමින් ගැනද කොතෙකුත් වාර්තා වේ. පූජ්‍ය පක්ෂයට සම්බන්ධ මෙවැනි ක්‍රියාද අතරින් පතර වාර්තා වෙයි. වැඩිහිටි කාන්තාවක විසින් කුඩා දරුවන් අපයෝජනයකට ලක් කළ අවස්ථා වාර්තා වීම අනෙක්වාට සාපේක්ෂව අඩුය. එයට හේතු 2කි. එකක් ශ්‍රී ලංකාවේ කාන්තාව ස්වභාවයෙන්ම බොහෝදුරට ලිංගික වශයෙන් පසුගාමී වීමය. එම පසුගාමීත්වය විසින් පූර්ණ වශයෙන් ආරක්ෂිත වටපිටාවක මිස ලිංගික ඉදිරි පියවරක් තැබීමට ශ්‍රී ලාංකීය කාන්තාව මැළි වේ. අනෙක් හේතුව එවැනි කාන්තාවන්ගේ ඉලක්ක බවට පත්වන පිරිමි දරුවන් ලිංගික ක්‍රියාකාරීත්වයේ එළිපත්තේ ලිංගිකත්වය සොයමින් සිටියදී අපයෝජනයට ලක්වී තිබීමය. එවන් මනෝභාවයක හිද අපයෝජනයට ලක්වන විට වෙනත් පාර්ශවයක් සිද්ධිය ගැන දැනුවත් වන්නේ නම් මිස එය බොහෝ දුරට හෙළිදරව් නොවෙයි.
අප කුඩා කාලයේ අසන්නට ලැබුණු එක්තරා භයානක සිදුවීමකි රීටා ජෝන් මහත්මිය දූෂණය කර මරා දැමීමේ සිදුවීම. මෙවන් සැළසුම් සහගත ලෙස කාන්තාවන් පැහැරගෙන දූෂණය කිරීම් වාර්තා වෙනවා දැන් සාපේක්ෂව අඩුය. එනම් දූෂකයාගේ ලිංගික ලැදියාවේ දිශානතිය වෙනස් වී තිබේ. ඒ කොයිබටද. බොහෝ විට කුඩා ළමුන් දෙසට. එය අතිශය භයානක තත්වයකි.
ඉහත කී සියළු තත්වයන්ට විසදුමක් වශයෙන් ගණිකා වෘත්තිය නීතිගත කිරීම සළකා බැලුවහොත් එයින් කවරාකාර ප්‍රතිඵලයක් ඇති වනු ඇත්තේද යන්න සිතා බැලීමේදී පෙරකී අසහනකාරී ලිංගික මනෝභාවයෙන් ඇතිකෙරෙන හිඩැස පිරවීම සදහා මුදල් ගෙවා ලිංගික සේවාව ලබා ගත හැකි ගණිකාවකට ඉටු කළ හැකි භූමිකාව ඉතා සීමිත බව මගේ හැගීමයි.
ශ්‍රී ලංකාවේ ලිංගික සේවය සමාජයට දැනෙන පරිදි පුළුල් ලෙස විවිධාංගීකරණය වී ඇත්තේ අඩුවෙනි. එය තුලද අති විශාල පංති භේදයක් දක්නට ලැබේ. සැබැවින්ම ගණිකාවන් ලෙස හැදින්වෙන්නේ සමාජයේ පහළම පංතියේ සහ මධ්‍යම පංතියට සේවය ලබාදෙන ගණිකාවන් පමණී. ඔවුන්ගේද සේවා අතිශයින් ව්‍යුහගතය නිශ්චිතය. එනම් ඔවුන් ගාස්තු අයකිරීම පවා කරන්නේ එක් යෝනිගත සංසර්ගයකට මෙපමණ මුදලක් ආදී වශයෙනි. එනම් ශ්‍රී ලංකාවේ ගණිකාව ලෙස හදුන්වන පුද්ගලයා ස්පර්ශ කරන වපසරිය තුල ලිංගිකත්වය යනු යෝනිගත සංසර්ගයක් පමණක් බවට ලඝු කෙරේ. එය ඉහත කී සමාජ ව්‍යූහය තුල සීමා කර අසහනකාරීත්වයක් බවට පත්කරන ලිංගික හැගීම සමනය කිරීමක්ද එහි ඇති අසහනකාරීත්වය තවදුරටත් වර්ධනය කිරීමක්ද යන්න නැවත සිතා බැලීය යුතු වේ.
සමාජයේ පහළම ස්ථරයේ සිටින ගණිකාව විසින් පහළම ස්ථරයේ සේවා ලාභියාට ලබාදෙන සේවය අතිශය සීමා සහිත දෘඪ එකකි. සමාජයේ ඉහළ ස්ථර වලදී එම සේවාව යම් ආකාරයක විවිධාංගීකරණයකට ලක්වී සමාජයේ ඉහළම ස්ථරයේදී ගණිකාව ගණිකාවක් ලෙස හදුන්වන්නේ නැති සාම්ප්‍රදායික ගණිකා සේවාව ඉක්මවන ඉතා සුහදශීලී පුළුල් පරාසයක විහිදෙන විවිධ සේවා රැසක එකතුවක් බවට ගණිකා වෘත්තිය පත් වේ. ඒ අනුව ගණිකා වෘත්තියද පංති භේදයට යටත් වේ. පුළුල් තෘප්තිකර සේවාවක් ධනපතීන් ලබන අතර සමාජයේ පහළ ස්ථර වලට ලැබෙන්නේ අතෘප්තිකර අසහනකාරී සේවාවකි.
සමාජයේ පහළ පංති වලට සේවා සපයන පොදුවේ ගණිකාව ලෙස හදුන්වන තැනැත්තියට ආවේණික අනන්‍යතාවයක් ගොඩනැගී ඇත. අවලස්සන වන තරමටම අධික ලෙස පියරු සහ ආලේපන තවරාගත් ශරීරයට ඉතා හිර හෝ කොට අපිරිසිදු ඇදුම් ඇදගත් අමුතු ජීවියෙකි ඇය. ඇගේ එම පැවැත්මට ආකර්ෂණය වී ඇය පසුපස යන්නෝ සිටියද සමාජයේ අතෘප්තිකර බහුතරය තමන්ට අහිමි වූ තෘප්තිය ඇගේ විසුරුමානත්වය තුල හමුවන්නේ නොවේ. ඒ අනුව ගණිකා වෘත්තිය නීතිගත කළ විට නීත්‍යානුකූල ගණිකාවක ලෙස බලපත්‍ර ලබාගැනීමට සිදුවන්නේ එකී පහළම පැළැන්තියේ වීදි ගණිකාවට සහ ගණිකා මඩම් ආශ්‍රිතව සිටින ගණිකාවන්ට පමණි. තමා ගණිකාවක ලෙස හදුන්වා නොගන්නා සේවා දායකයන් සමග පෙම්වතියක ලෙස හෝ චාරිකා සහකාරියක ලෙස සිටින තැනැත්තිය එයින් ආවරණය නොවේ. එවිට සමාජ අසහනය උරාගනු ඇතැයි සිතුවද සැබැවින්ම එසේ වීමට ඇති ඉඩ ඉතා අල්පය.
නීතිගත කර තිබුණද නැතද ගණිකාව වෙත කොහොමටත් යන ඇගේ පෙරකී පැවැත්මට සේවයට ප්‍රියකරන පිරිස අපරාධ නඩු තුල හමුවන ලිංගික අසහනයේ ගොදුර බවට පත්වූ චූදිතයන්ගෙන් බෙහෙවින් වෙනස්ය. ඒ අනුව ගණිකාවට නීතිමය පිළිගැනීමක් ලබා දීමෙන් ලිංගික අපරාධ අඩුවනු ඇතැයි යමෙකු කියන්නේ නම් එය පිපාසයැයි කී කල අර තිබෙන්නේ මුහුද යැයි කීම හා සමාන වේ.
No comments:
Post a Comment