Thursday, September 3, 2020

20 වැනි සංශෝධනය ගැන හිතළු




1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන්නට නියමිත 20 වැනි සංශෝධනය අද ගැසට් කරල තිබුණ. මම හිතුවට වඩා වැඩි දෙනෙක් "ඒක කියෙව්වද? මොකද හිතෙන්නෙ?" කියල අහල තිබුණ. මගෙන් එහෙම අහපු හැමෝටම ස්තුතියි. ඒක මට ගෞරවයක්. ඒ ගැන නිහතමානී සතුටක් තියනව. ඒ ගැන ලියන එක ටිකක් වෙලා අරගෙන අධ්‍යයනයකින් පසුව කළ යුතු දෙයක්. අනිවාර්යයෙන්ම ඒ ගැන විස්තරාත්මක ලිපියක් ඉක්මනටම ලියන්න බලාපොරොත්තු වෙනව.

ඊට කලින් ඒක කියවපු ගමන් මගෙ හිතට ආපු හිතළු ටික තමයි දැන් ලියන්නෙ.

දේශපාලන යුග පෙරළියක් වෙනකොට ඒක තීරණාත්මක වෙනසක් බවට පත් වෙන්න නම් තිබුණ එක මුදුණෙ තිබිල වැටෙන්න ඕන. 2015දි වුණේ එහෙමයි කියල හිතුවට ඒක අර්ධ සත්‍යයක්. ඒකෙ ඇත්ත පැත්ත තමයි මහින්ද පැරදුණේ peak එකේදි කියන එක. හැබැයි ඔහු පරදා ලැබූ ජයග්‍රහණය ටිකක් කොත්තුවක් වගේ හරි හැඩයක් නැති ගොඩක් ජාති වල එකතුවක්. ඒ අනුව ඒක උපක්‍රමික ජයක් මිස ගල උඩ ප්‍රහාරයක් නෙමෙයි.

මම විශ්වාස කරනව 1978 ජේ.ආර් පටන් ගත්තු 2010 මහින්දල පෝෂණය කරපු ඒකාධිපති දේශපාලන ගමන තීරණාත්මක ලෙස නිමාව දැකිය යුතුයි. නමුත් එය නිමාව කරා ගෙන යාමේදි ඒ ඒ අවධීන් අමාරුවෙන් වුණත් පසු කරන්න වෙනව. ඒ අවධීන් පසු නොකර හදාගන්න artificial ජයක් එච්චර කල් පවතින්නෙ නෑ. අනික එහෙම ජයක විකෘතිතා බොහොමයි.

1977 ඉඳන් එජාපයේ 17 වසරක පාලනය නිමා කරල 1994දි පොදුජන එක්සත් පෙරමුණ බලයට ඒම දක්වා කොටස පිළිබඳව ස්වාධීන පසු කථනයක යෙදුණොත් ඔය ඇද වැටීම කියන සංසිද්ධියෙ යම් අක්‍රමවත් අනුපිළිවෙලක් පේන්න ගන්නව. 94 වෙද්දි ඒක වැටෙනව ඇරෙන්න තව වෙන්න දෙයක් ඉතිරි වෙලා තිබ්බෙ නෑ.

නමුත් 2015 එහෙම නෑ. වැටෙනව ඇරෙන්න වෙන්න තව දේවල් තියෙද්දි තමයි උපක්‍රමිකව වට්ටන්නෙ. ඒ වැටීමට සන්ධානය සහ රාජපක්ෂ පවුලේ ස්වයං හානිකරණයත් හේතු වුණාට කෑලි ඉතුරු වෙනව. හොඳ මතක දෙක තුනක් තියනව. බලාපොරොත්තු නැත්තටම නැතිවෙන්නෙ නෑ. ආය උස්සන්න බෑ කියල පස්ස බිම ඇණෙන්නෙ නෑ.

ඒ ඉතුරු වෙන කෑලි ටික තමයි නව ජවයකින් 2019 වෙද්දි ආපහු නැගිටින්නෙ. ඒකට යහපාලන ආණ්ඩුව විහින් ගාගත්තු බැඳුම්කරය සහ කවුරු කළාද කියල තාම හරියට දන්නෙ නැති පාස්කු ප්‍රහාරය ලොකු හේතුවක් පිටුවහලක් වුණ බව ඇත්ත. නමුත් ඒවයින් ශක්තිය අරන් නැගිට්ටෙ අර ඉතුරු වෙච්චි බලාපොරොත්තු ටික.

එ නිසා 2010 ඉඳන් පටන් ගත්තු රාජපක්ෂ මාවතේ දෙවැනි ගමනක් අපිට දකින්න තියනව. මම පිළිගන්නව ඒක ඒකාධිපති ගමනක් වෙයි. විරුද්ධවාදීන් බලහත්කාරයෙන් යටපත් කරන ගමනක් වෙයි. ඒ අතර යම් යම් හොඳ දේවලුත් වෙයි. ඒත් ඒකාධිපතිකම හැම විටම මහ විනාශයකින් අවසන් වන බව ලෝකය නැවත නැවතත් අත්දැකපු දෙයක්. ඉතින් ඒ ස්වභාවික ගමන ගිහින් ස්වභාවික අවසානයක් කරා ළඟා වෙන්න ඒකාධිපතිබවට අපි ඉඩදෙන්න ඕන කියල මම හිතනව.

ගොඩක් දේවල් මිටි කරල ආය අතට අරන් තියන බව පේනව. අර පස්සා පැත්තට වෙවැල් වදිනවට ආස අයට ඒක ආතල් එකක් බවත් මම දන්නව. සැර ටීච කෙනෙකුට එහෙම අය ආසයි. ඇයි ඒ ආසාවෙ අවසානය දකින්න ඉඩ නොදෙන්නෙ?

ඒ අතින් 20 මීටත් වඩා රටේ පාලන ක්‍රමයෙ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ කප්පාදු කළා නම් මම කැමති. ඕන විදියට කරගන්න 2/3 බලයක් ජනතාව (එයාලට ඡන්දෙ දීපු අයටත් වඩා ඊට විරුද්ධව ඡන්දෙ නොදීපු අය) එයාලට දීල තියනව. ඉතින් දැන් මොකටද රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙනව, අරක නැතිවෙනව මේක නැතිවෙනව කියල කෙඳාරි ගාන්නෙ? දැන් ඇත්තටම ඕන විදියට කරගන්න දෙන්නත් ඕන. ඒකට උපරිම සහය දෙන්නත් ඕන. ඒ ඔක්කොම දීලා කරන හැටි බලාගෙන ඉන්න එකයි දැන් තියන වැඩේ.

ඒක කරගන්න එයාලට ⁣පුළුවන් වුණත් නැතත් රටට ඒකෙන් වෙන්නෙ හොඳක්මයි. සාර්ථක වුණොත් අපේ රට හොඳ තැනකට ඒවි. ඒක ඇත්තටම කාටත් හොඳයි. අසාර්ථක වුණොත් රාජපක්ෂවාදය, ඒකාධිපතිවාදය, ජාතිවාදය,ආගම්වාදය ඔය ඔක්කොම ස්වභාවික වරණ ක්‍රියාවලිය මගින් විසඳනු ලබයි.

එහෙම මේ ප්‍රවණතාවය යථාර්ථවාදීව ගන්නව මිසක් "බුදු අම්මෝ මෙන්න කරන වැඩ" කියලා මහා ගාලගෝට්ටියක් ඇතිකිරීමෙන් පලක් නෑ. මේ පිළිබඳව සාකච්ඡාවක නොසිටිය යුතුයි කියල මං ඒකෙන් අදහස් කරන්නෙ නෑ. අවබෝධය සඳහා පුළුල් සාකච්ඡාවක් අවශ්‍යයි. නමුත් ඒ සාකච්ඡාවෙ සීමා ඉම් ගැන අවබෝධයක් ඇතිව කරන සාකච්ඡාවක් විය යුතුයි.

අමතක කරන්න එපා. ලෝක හෙවිවේට් ශූරයෙක්ව දෙවනි වටයෙදි නවකයෙක් විසින් බිම දැම්මොත්, ශූරයා හිතනව ඒක නවකයගෙ අනපේක්ෂිත වාසනාවක් හෝ තමන්ගෙ අත් වැරදීමක් කියල. ඔහු එහෙම හිතනව කියන්නෙ මාස දෙක තුනක් ඇතුලත පරාජිත ශූරයා නැවත තමාට හිමි හෙවිවේට් බඳපටිය උදෙසා අභියෝ කරනවමයි. නමුත් මහා දුෂ්කර බොක්සිං වට 12කින් පස්සෙ පරාජය වුණොත් ශූරයා බොහෝවිට ක්‍රීඩාවෙන් විශ්රාම ගනී. එහෙමයි යුගයක් තීරණාත්මකව අවසන් වෙන්නෙ.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...