Tuesday, September 15, 2020

හේතුවාදී සංකල්පය සහ හේතුවාදී පැවැත්ම



විචාරශීලීව සිතන්නා උපතින් උරුම වූ පමණින්, යමෙකු කියූ පමණින්, පොතක තිබූ පමණින්, තමන්ගේ කම මත, ශ්‍රද්ධාව හෝ භක්තියමත, යම් කර්ම විපාකයකට ඇති ආශාව හෝ බිය මත හෝ සර්ව බලධාරියෙකුට ඇති බිය ⁣මත යමක් පිළිගන්නේ නැහැ. එනම් විචාරශීලී පුද්ගලයෙකුට යමක් පිළිගැනීමට එය තාර්කිකව පිළිගත හැකි විය යුතුයි. නැත්නම් ඒ අත්දැකීමට මුහුණ දී ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කළ යුතුයි.

මෙය පුද්ගලයෙකුට විශාල සහනයක්. මන්ද ඔහු නොපෙනෙන යමකට බියෙන් ජීවත් වන්නට අවශ්‍ය නැහැ. නමුත් දුර්වල සිතක් ඇත්තෙකුට මෙය අසහනයට හේතුවක් වන්නටත් පුළුවන්. මන්ද දුර්වල සිතක් ඇති තැනැත්තා බොහෝ අවස්ථා වල නොපෙනෙන බලවේග වලින් ආධාර උපකාර පතනවා. නොපෙනන බලවේගයක් සැමවිටම තමන්ට පිහිට වනු ඇතැයි සිතනවා. තමන්ට අසාධාරණයක් කළේ යම් කෙනෙක්ද, උත්සාහයෙන් යුක්තිය ඉටුකරවා ගැනීමට අසමත් වන තැනදී සර්ව බලධාරියෙකු හෝ යම් කර්ම ශක්තියක විසින් ඒ ඒ අයට දඬුවම් දෙනු ඇතැයි සිතා සිත සනසා ගන්නවා.

මෙවැනි දුර්වල සිත් ඇති අයට හේතුවාදය විශාල අසහනයට හේතුවක් වන්නට පුළුවන්. එබැවින් තමාගේ ජීවිතය තමාගේ උත්සාහයෙන් තමා කෙරෙහිම විශ්වාසය තබා තමා මතම තුලනය කරගැනීමට අසමත් දුර්වල සිතක් ඇති කෙනෙකුට හේතුවාදී චින්තනය හා පැවැත්ම එතරම් නොගැලපෙන්නට පුළුවනි.

ඕනෑම කෙනෙකුට තමන් කැමති මතයක් දැරීමේ අයිතිවාසිකම තිබෙනවා. හේතුවාදය හෝ වෙන ඕනෑම මතයකට එය අදාළයි. යම් ආගමක් හෝ අද්භුත බලයක් කෙරෙහි අවිචාරවත්ව විශ්වාසය තැබීමට යමෙකු දැඩිව තීරණය කරගෙන සිටීද, ඔහු විචාරශීලීත්වයට හේතුවාදයට බලහත්කාරයෙන් ඇද ගැනීමේ ආශාවක් හෝ වුවමනාවක් මට නම් ඇත්තේ නැහැ. එවැනි බලකිරීමක් වෙනුවට සාධාරණ මිනිසෙකුට තේරුම් ගත හැකි පරිදි විචාරශීලී චින්තන ධාරාවේ වටිනාකම පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නට මම කැමතියි. එය කැමති කෙනෙකුට කියවා තේරුම් ගැනිමටත් අකැමැති කෙනෙකුට බැහැර කිරීමටත් පූර්ණ නිදහස තිබෙනවා.

හේතුවාදය පිළිබඳ කතිකාවට වඩා හේතුවාදී පැවැත්ම මඳක් බැරෑරුම්. සංකීර්ණයි. හේතුවාදියෙකු හැකි සෑම අවස්ථාවකදීම හැකි සෑම දෙයක්ම දෙස විචාරශීලීව බැලීමට උත්සාහ කරනවා. නමුත් එසේ නොමැතිව වැඩිදුර නොසිතා කාරණා කටයුතු සිදුකරන්ට ⁣වන අවස්ථාත් ඕනෑ තරම් ජීවිතයේ හමුවෙනවා. එබැවින් එය සැබැවින්ම අභියෝගයක්.

එමෙන්ම හේතුවාදී පැවැත්ම තුල සාමාන්‍යයෙන් ඇදහිලි ප්‍රතික්ෂේප කෙරෙනවා. නමුත් ආගම් තුලත් අන්ධ විශ්වාස හෝ ඇදහිලි වලට ආරාධනා කරන අවස්ථා හැර තර්කානුකූල එමෙන්ම ඉතා යහපත් ඉගැන්වීම් තිබෙනවා. ඒ පිළිබඳව අවබෝධයක් හේතුවාදියෙකු ඇති කරගත යුතුමයි. මා දන්නා හේතුවාදීන් සහ ආගමිකයන් අතරින් හේතුවාදීන්ය කියන කොටස ආගම් වල අභ්‍යන්තරික ඉගැන්වීම් පිළිබඳව වඩාත් වැඩි අවබෝධාත්මක කියවීමකින් යුතු බව මගේ අත්දැකීමයි. මන්ද ඔවුන් ආගම යන විෂය දර්ශනවාදීව විචාරශීලීව කියවනවා මිස ශ්‍රද්ධාව භක්තිය මුල්කරගෙන කියවන්නේ නෑ.

එමෙන්ම හේතුවාදියෙකුට පවතින්නට සිදුවන්නේ හේතුවාදී සමාජයක් තුල නොවෙයි. බොහෝවිට ඔවුන් ආශ්‍රය කරන සියළු දෙනා පවුලේ අය පවා බොහොම භක්තිමත් ආගමිකයන්. එවිට ඔහුට තෝරාගැනීම් 3ක් තිබෙනවා. එකක් තමා ඇසුරු කරන සමාජය අනුව බහුතරය තුලට තමාම අවශෝසනය වීම. ආගම විශ්වාස නොකරන මුත් ආගමිකයෙකු ලෙස ජීවත් වීම.

දෙවැනි එක තමා ඇසුරු කරන පරිසරය තුල යම් තීරණාත්මක බලපෑමක් සිදුකිරීම. උදාහරණයක් විදියට ආගමික කටයුතු කිසිවක් සිදු නොකරන ඒවාට සම්බන්ධ නොවන නිවසක් පවත්වාගැනීම ගතහැකියි.

නමුත් මේ ප්‍රවේශය අනුව සමාජයේ පැවැතීම සැළකියයුතු ලෙස අපහසු දෙයක්. ඒ සඳහා අවශ්‍ය නම් සමාජය තුල තනිව පැවැතීමට සිදුවීමේ අවදානම ගැනීමට හැකි ශක්තියක් පුද්ගලයෙකුට තිබිය යුතුයි. එමෙන්ම එය ආගම් ප්‍රතික්ෂේප කිරීම එයට සැබැවින්ම කැමැත්තක් නොදක්වන අය මත බලෙන් පැටවීමක්ද වෙනවා.

එය ආගමිකයන්ගේ සාමාන්‍ය ක්‍රමය. කුඩා කල සිට දහම් අධ්‍යාපනය අනිවාර්ය කිරීම, ආගමික පැවතුම් අනිවාර්ය කිරීම ආගමිකයන් ආගම පුද්ගලයන් මත බලෙන් පටවන ක්‍රම. එසේ වුවත් හේතුවාදියෙකු ලෙස සහ මතවාදී නිදහස අගයන්නෙකු ලෙස ආගමිකයන්ගේ මර්දනකාරී ක්‍රම හේතුවාදය ප්‍රචලිත කිරීම සඳහා භාවිතා කිරීමට මම එකඟ වන්නේ නැහැ. එය මස් නොකන්නෙකු අනෙක් අයත් මස් නොකෑ යුතු බවට නීති පැණවීමට බලකිරීම වැනි අනුචිත දෙයක්.

එබැවින් මා යෝජනා කරන තුන්වැනි ක්‍රමය වඩාත් පුද්ගල නිදහස ගරු කරන මාගේ ස්වාධීනත්වයද ආරක්ෂා වන එකක්. තමන් හැකි සෑම අවස්ථාවකදීම හේතුවාදියකු ලෙස ජීවිතයේ සෑම දෙයක්ම දෙස විචාරශීලීව බලන්නට උත්සාහ කරනවා. නමුත් එය අනෙකෙකු පිට බලෙන් පටවන්ට උත්සාහ කරන්නේ නැහැ. ඇදහිලිවන්ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වීමෙන් තනිව වලකිනවා. පවුලේ අය ඒවා සිදු කළාට ඒවාට එරෙහි වන්නට හෝ ආරවුල් ඇතිකරගන්නට යන්නේ නැහැ. නමුත් ඒ අතර නිවසේ විචාරශීලී චින්තනය පෝෂණය කරන දෑ සුලභ කරනවා. විචාරශීලී චින්තනයේ වැදගත්කම අවධාරණය කරන පොතපත, සින්දු, චිත්‍රපට ආදිය නිවස තුල සුලභ කරනවා. තමන් ප්‍රකාශ කරන අදහස් තුල, ලියන කියන දෑ සහ ප්‍රකාශනයන් තුල විචාරශීලී වටිනාකම් අන්තර්ගත කරනවා. ඒ හරහා තමන් ඇසුරු කරන අයගෙන් විචාරශීලීව ලොව දෙස බලන්නට කැමති ඒ සඳහා ආත්ම ශක්තියක් ඇති අය යම් ආකාරයකට විචාරශීලී චින්තන ධාරාවට පිවිසෙන ප්‍රවණතාවයක් ඇති කළ හැකියි.

විචාරශීලීව සිතන සමාජයක් ගොඩනැගීම පහසු වන්නේ නැහැ. මන්ද මිනිසුන් එල්බ සිටින දැඩිව වැළඳගෙන සිටින දෘෂ්ටිවාද විසින් ඔවුන්ට අවිචාරවත් පැවැත්මකට බල කරනවා. බොහෝ විට තමන් අවිචාරය තුල එලබ සිටින්නේ අවිචාරවත් බව නිසාමය යන කරුණවත් මේ පුද්ගලයන් දන්නේ නැහැ. එය ප්‍රධාන වශයෙන් ආගම් තුල, දේශපාලනය තුල සිදුවනවා. අනෙක් සෑම සමාජ සංස්ථාවක් තුලම යම් යම් ප්‍රමාණ වලින් එය පවතිනවා. එමෙන්ම පුද්ගලයෙකුට මෙසේ සිතන්නට යැයි බල කරනවාට ඔහු කැමති වන්නේ නැහැ. ඒ වෙනුවට කළ යුත්තේ ඔහුට විචාරශීලීව හේතු යුක්ති සහිතව යමක් විනිවිද දැක තීරණ ගැනීමේ වටිනාකම අවබෝධ කරවීමයි.

සිතා බලා තීරණ ගැනීම පුරුදු කිරීමෙන් කිසිවෙකුට යහපතක් මිස සිදුවන අයහපතක් නැහැ. හේතුවාදයේ සරළම හරය වන්නේ එයයි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...