Tuesday, September 15, 2020

රජු අභිෂේක කළ ආගම


රජ කෙනෙකුගේ පින්තූර ඇඳ ඇත්තේ දුටු පමණින් ⁣කෙනෙකු තුල භය පක්ෂපාත බවක් ඇතිවන ආකාරයට. ඩී.පී. වික්‍රමසිංහ මහතාගේ "මග දිගට ජනකතා" පොත අනුව දෙවැනි රාජසිංහ කියන්නේ සැබැවින්ම එවැනි දුටු පමණන් කෙනෙකු පසුබාන තේජස්වී පෙනුමක් තිබූ අයෙක්. අනෙක් රජවරුත් එහෙමද? එහෙම විශේෂ සඳහනක් නෑ.

සාමාන්‍ය ස්වභාවය තමයි කෙනෙක් තමන් නුදුටුව කෙනෙක්ව ගෞරවය පෙරදැරි කරගෙන අඳිනකොට අඳින්නෙ ඒ කෙනාට ආරෝපණය කළ හැක් තමා දන්නා හොඳම සංස්කරණය නොහොත් වර්ෂන් එක ආදේශ කරමින්. ඔය දස මහ යෝදයෝ, රාවණා එහෙම අඳින අය සික්ස් පැක් එක්ක වාත්තු කළා වගේ ඇඟවල් අඳින්නෙ ඒ ගෞරවය පෙරදැරි කරගත් දෘෂ්ටිය හින්ද.

ඒත් යථාර්ථවාදීව හිතන්න වෙන දේ තමයි රජවරුන්ගෙන් බහුතරයකගෙ පෙනුමත් සාමාන්‍ය මිනිස්සු වගෙයි කියන එක. භුක්ති විඳින්න ලැබෙන සුඛ විහරණ, පෝෂ්‍යදායක ආහාර සහ ජානමය වශයෙන් ⁣ලැබෙන ඇතැම් ලක්ෂණ හින්දා යම කැපී පෙනෙන වෙනස් පෙනුමක් ලැබෙන්න ඇති. නමුත් ඒ පෙනුම විතරක් යටත් වැසියන් පසුබාවන්න ප්‍රමාණවත්ද?

ඒ ප්‍රශ්නෙ එහෙමම තියෙද්දි යුරෝපය දිහා හැරිල බැලුවත් රජ කියන සංකල්පයට නොනැසී දිගු කාලයක් පවතින්න රජුගේ තේජස, නායකත්ව ගුණාංග, යුධ බලය වගේ දේවල් පමණක්ම ප්‍රමාණවත් නෑ. එතනදි සැබැවින්ම ජනතාව රජුට අවනත කරවන වෙනස් සුවිශේෂි උපකරණයක් තිබුණා.

ඒ තමයි රාජ්‍යය කරවන්නට රජු වරම් ගෙන ඇත්තේ දෙවියන්ගෙන්ය යන සංකල්පය. මෙය යුරෝපයේ ඉතාම දැඩිව මුල් බැසගත්තු සංකල්පයක්. රජුට කත් ඇදපු පල්ලිය දිගින් දිගටම මෙය සත්‍යයක් විදියට මහජනයාට දේශනා කලා. ඒ අනුව රජු තමාගේ රාජ්‍යත්වය ආරක්ෂා කරගන්න, තමාගේ උරුමකරුවන්, පවුලේ අය, හිතවතුන් සමාජ ධුරාවලියෙ උඩම ඉන්න බව තහවුරු කරගන්න ආගම දඩ මීමා කරගන්නව. පූජකයනුත් රජුට අවශ්‍ය දේශනාව කරමින් විවිධ වරප්‍රසාද ලබනව.

ඒක යුරෝපයේ පමණක් වෙච්ච දෙයක් නෙමෙයි. ඉන්දියාවේ පැවැති ආගමික දර්ශන අනුව ක්ෂත්‍රීයයන් උපත ලබලා තියෙන්නෙ රාජ්‍ය පාලනය සඳහා. ඒ අනුව අනෙක් කුල වල අයට රාජ්‍ය පාලනයට මැදිහත් වීමක් ගැන සිහිනයක් වත් තිබිය නොහැකියි. රාජ්‍ය පාලන ධුරාවලිය ආරක්ෂා කරදීම වෙනුවෙන් ක්ෂත්‍රීයයන්ගෙන් තාන්න මාන්න වරප්‍රසාද බමුණන්ට ලැබුණා.

ශ්‍රී ලංකාවෙත් රජු සැළකුවෙ නර දෙවියෙක් විදියට. ඊට හේතුව ඇත්තටම රජු තුල තිබූ දේව බලයක් නොව ආගමික සංස්ථාව විසින් ඔහුට එහෙම එකක් ආරෝපණය කිරීම. රජ පවුලක ඉපදීම, උපන් වේලාව අනුව ග්‍රහචාරය වගේ ගොඩක් දේවල් මත රාජකීයයෙකුට දේවත්වය ආරෝපණය කෙරුණා. ඒ විශ්වාස කොතරම් දුර ගියාද යන් අන්තිම නායක්කාර් වංශික රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වීම පිළිබඳව පවත්නා ජන කතාවෙන්ම පේනවා.

රජු කොටුවූ පසු අනෙක් සියලු දෙනාම රජුට කිට්ටු වෙන්නට බියෙන් සිටියදී ඉදිරියට ගොස් ඇත්තේ වැලි අංගා කියා මිනිහෙක්. ඔහු දු⁣ටු රජු, "ආ මේ වැලි අංගා නොවේදැ"යි ඇසුවේලු. "එහෙමයි ආයිබොවන්ට එදා එහෙමයි අද මෙහෙමයි" කියූ වැලි අංගා රජුට පයින් ගසා බිම දැම්මේලු.

රජුගේ ඇති බලය කෙතෙක්ද යත් ඉන්පසු වැලි අංගාගේ පරපුරේ ඉන්පසු බිහිවූ අයට පාදයේ උපතින්ම පිහිටන සුළු කොරයක් ඇති බවත් වයසගතවී මියයාමේදී රජුට පහරදුන් පය පණුවන් ගසා කුණුවී බැලීමට අප්‍රිය උපදවන තත්වයට පත්වන බවටත් ජනශ්‍රැතිය දක්වනවා.

එමෙන්ම දළදා වහන්සේ අත්පත් කරගන්නේ යම් කෙනෙක්ද, ඔහුට ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය හිමි බවට දැඩි විශ්වාසයක් පැවතී තිබෙනවා. යම් පාලකයෙකු රජු බවට හෝ රාජ්‍ය පාලනයට සම්බන්ධ මැති ඇමති හෝ නිලමක්කාර තනතුරු වලට පත් වූ විට එය ඒ ඒ පුද්ගලයාගේ පෙර පින ලෙස පූජ්‍ය පක්ෂය විසිනු හුවා දැක්වූ අවස්ථා ඕනෑ තරම් හමු වෙනවා.

එවිට ඒ දහම අසන විශ්වාස කරන හුදී ජනයාට ඇත්තේ බලැත්තා බලැත්තෙකු වීම සඳහා අටවන ලද යටි උගුල්, කපන ලද බොරු වළවල්, සිදුකරන ලද වංචා, දූෂණ, කුමන්ත්‍රණ ආදී සියල්ල තිබියදී ඒවා පෙර පින නැමති පියනෙන් වසා ඔහුගේ ශ්‍රී විභූතිය පිළිගැනීම.

එසේ පිළි නොගන්නා කෙනා ආගමික ඉගැන්වීමට ද්රෝහියෙකු වෙනවා. ඒ වගේම රාජද්රෝහියෙකු බවටත් පත් වෙනවා.

ආගම විසින් අතීතයේදී රජුට, එනම් රටක පාලන තන්ත්‍රයට එය දූෂිත වුවත් නැතත් කොන්දේසි විරහිතව ගසන ලද මුක්කු අද නොගසත්දැයි ප්‍රවේශමින් පරික්ෂා කර බලන්න.

වරක් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් එක්තරා දේශපාලන බලැත්තෙකුගේ පුතෙකු කාර් රේස් පැදීම වැරදි වැඩක් ලෙස නොව ඔහුගේ පෙර පින නිසා ඔහුට පහල වූ අසිරිමත් මහත් ඵල මහානිශංසයක් ලෙස ගත යුතු බවට මතක බණකට කියනු මා අසා තිබෙනවා.

ඒ රාජ හිතෛෂී බණ හරහා පෙර පින, පිං පාට, රාජ යෝග, උරුමය වගේ ගොඩක් බරපතළ තේරු ඇති වචන ගාවන්න ආගමික සංස්ථාව කිසිදු හිරිකිතයක් නැතිව අදටත් මැදිහත් වෙනවා.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...