රොබින්හුඩ් තේමා කරගෙන නිර්මාණව වුණ ටෙලිනාට්‍ය චිත්‍රපට කාටුන් වැඩසටහහන් ගණනාවක් මම බලල තියනව. නමුත් ඒ හැම නිර්මාණයක් අතරින්ම වැඩියෙන්ම හිතට වදින්නෙ පුංචි කාලෙ ඉදන් ජාතික රූපවාහිනියේ සිංහල උපසිරැසිත් එක්ක බලපු ෂර්වුඩයේ රොබින් කතා මාළාව. සමහරවිට ඒක මුළින්ම බලපු නිසා වෙන්න ඇති. රොබින් හුඩ් ගෑවෙන අනෙක් හැම නිර්මාණයක්ම ෂර්වුඩයේ රොබින්හි පවත්න කතා තේමාව සහ චරිත ස්වභාවයන් අනුව කියවීමට පෙළඹීමේ අගතියට මම නතු වෙලා තියනව.
මේ චිත්‍රපටයේ රොබින්හුඩ්ට දෙන ප්‍රවේශය වෙනස් එකක්. එතනදි රොබින්හුඩ් ලයන්හාට් රිචඩ් රජුගෙ විශ්වාසවන්ත සේවකයෙක්. රිචඩ් රජු තමන්ගෙ ඇවෑමෙන් එංගලන්තයේ කිරුළ සදහා නම් කරන පිලිප් කුමාරයාගෙ ආරක්ෂාව සම්බන්ධයෙන් පවා ඔහු විශ්වාසය තියන්නෙ රොබින්හුඩ් කෙරෙහි.
රජතුමාගේ බාල සහෝදරයා ජෝන් කුමාරයා නොටිංහැම්හි ෂෙරිෆ් සමග එකතු වෙලා ප්‍රංශයේ සිට එංගලන්තය බලා එන පිලිප් කුමාරයාව ඝාතනය කරන්නටත් ඉන්පසු කිරුළ තමන් සතු කරගන්නටත් උත්සාහ කරනව. කතාව දුවන්නෙ ඔය සන්දර්භය ඇතුලෙ.
එතනදි කලින් රොබින්හුඩ් කතා වල නොඉදපු ආකර්ශනීය චරිතයක් කරළියට ගේනවා. ඒ තමයි රොබින්ගෙන් මැරියන්ගෙයි දියණිය වන ලොක්ස්ලිහි ග්වෙන්. ඇගේ චරිතයට පණ පොවන්නෙ Keira Knightley. දැනටත් වඩා ඇගේ හොදම නාඹර වයසෙදි මේ චරිතය නිරූපණය කරල තියෙන්නෙ. බලා ඉන්න ලස්සනයි.
කතාවෙ තියෙන්නෙ නම් සුපුරුදු වැඩවසම් වීරත්වයම තමයි. රජවරු හදන එකෙන් සාමාන්‍ය ජනතාවට සැළසෙන යහපත බොහොම ටිකයි. ඒත් අතීතයේ ඉදන් මේ දක්වාම රජුන් තනන එක ලේ වලටම දැනෙන ආතල් වැඩක්. ඒ ගැන කතා අහන එක කියවන එක චිත්‍රපටි බලන එකත් ඒ වගේම ආතල්. හැබැයි ඒ හැම කතාවකම ගොවියෝ කම්කරුවො රජුන් තැනීම සදහා ජීවිත පරිත්‍යාගයෙන් ඉස්කෝප්ප මුල්ලු අලවංගු අතේ අරගෙන ආයුධ සන්නද්ධ හමුදාවක් එක්ක සටන් කරල රජාව දිනවලා ඒ රජාට ආයුද දීල සන්නද්ධ කරල අත් පස්ස පැත්තේ පිහදාගෙන ආපහු ගෙදර යන්නෙ තමන්ගෙ සුපුරුදු දුක්බර ජීවිතේට. ඇත්ත කතන්දරේ ඕක වුණාට අවුරුදු සිය ගාණක් තිස්සෙ මානව වර්ගයා තවම ආස කරන්නෙ වඩා හොද ක්‍රමයක් හදනවට වඩා ප්රතාපවත් රජෙක් හදන්න. ඒක සාමාන්‍ය මිනිසාගෙ සමස්ථ දෘෂ්ටියෙන් ගත්තාම හරි මෝඩ බලාපොරොත්තුවක් / ආසාවක් වුණත් ඒකෙ තියන සතුට ත්‍රාසය පොඩ්ඩක්වත් අඩු වෙන්නෙ නෑ. මේ කතාවෙත් මුළ ඉදන් අගටම ඒ හැගීම තදින්ම දැනෙනවා.
පිලිප් ඉදිරියට එන්නෙ සාමාන්‍ය මිනිසුන්ගේ උදව්වෙන්. පිලිප්ව ඉදිරියට ගේන රොබින් ග්වෙන් වගේ සාමාන්‍ය මිනිස්සුන්ට එතනදි ව්‍යාජව දැනෙන අර ශ්‍රේෂ්ඨ අරමුණක් වෙනුවෙන් කැපවෙනවයි කියන හැගීම මේ චිත්‍රපටය නරඹන්නාටත් නොඅඩුව දැනෙනව. අන්තිමට රොබින්ට රාජසබාවෙ උපදේශක කමක් හම්බ වෙනව. දැන් වගේමයි. අවසානය දක්වාම හිතෙන්නෙ පිලිප් කුමාරයයි ග්වෙනුයි කසාද බදියි කියල. නමුත් රජතුමාගේ රාජකීයත්වයත් ග්වෙන් සාමාන්‍ය කෙනෙක් වීමත් කියන කරුණ දෙන්නම තේරුම් අරන් පැත්තකට වෙනව.
එතනදි එක අතකට බලාපොරොත්තු කඩවෙනව වුණත් මේ චිත්‍රපටියත් රොබින්හුඩ් තේමාවෙ ආපු විවිධාකාර චිත්‍රපටි අතරේ හොයාගෙන බලන්න වටින තවත් එකක් විදියට මතකයේ රදවාගන්න මම කැමතියි.
No comments:
Post a Comment