Sunday, August 9, 2020

මහින්ද වෙන්නට හදන සජිත්

2015 මහින්ද රාජපක්ෂ පරාජය වීමෙන් පසු එය ඔහුට සහයෝගය දුන් පාක්ෂිකයන්ට විශාල කම්පනයකට හේතුවක් විය. ජනතාව බස් පිටින් ඔහු බලන්නට මැදමුලන නිවසට ගියේය. ඒ කම්පනය හරහාම ඒකාබද්ධ විපක්ෂය බිහිවී එය ක්‍රමයෙන් පොහොට්ටුව බවට රූපාන්තරණය විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරග වැදුණු 2015 මහ මැතිවරණයෙන් පරාජයට පත්වුවද ඉන්පසු එළඹි පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද වාර්තාගත ජයග්‍රහණයක් අත් කරගන්නට පොහොට්ටුව සමත් විය. මෙම ජයග්‍රහණය පසුපස තිබූ විවිධ හේතු ගැන විවිධ අය විවිධ මත පළකරත් මට පෙනෙන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ සාධකය කෙරෙහි ජනතාව තබන ලද අසීමිත විශ්වාසය මෙන්ම මහින්ද රාජපක්ෂ සාධකයට ඇති ආදරයද එම ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන්ම හේතු සාධක වී ඇත.

මිනිසුන් සමාජ ප්‍රවණතා වලින් පාඩම් උගනිති. මහින්දගේ දෙවැනි නැගිටීම පාඩමක් කරගනිමින් ඔහු ගත් මගට බොහෝ සමාන ලක්ෂණ පෙන්වන මගක් ඔස්සේ නැගී සිටීමට එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස පාර්ශවය හෙවත් සමගි ජන බලවේගය උත්සාහ දරණ බව පෙනී යයි. ඔහුගේ අරමුණ සජිත් තවත් මහින්ද කෙනෙකුට ඇද ටෙලිෆෝනය තවත් පොහොට්ටුවකට අන්දවා ඒ ඇදුම් වලට මුවා වී ලබාගත හැකි ජයග්‍රහණයක් බව පෙනේ. මෙය දේශපාලනික වශයෙන් ඉතාම දුර්වල සහ ළාමක උපක්‍රමයකි. එහිදී මහින්ද පරාජය වූ අලුත ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් පෙන්වූ ඇතැම් හැසිරීම් ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීමට පවා සජිත් පාර්ශවය කටයුතු කරන බව ඉතා පැහැදිලිව පෙනෙන කරුණකි.

එහිදී ප්‍රධාන පක්ෂයෙන් කැඩී වෙන්වීම නව නමක් සහ ලකුණක් භාවිත කිරීම මහින්ද මෙන් හැකි තරම් ජනතාව අතර පෙනී සිටීමට උත්සාහ කිරීම වැනි මහින්ද සුළගේ මතුපිටින් පෙනෙන බොහෝ ලක්ෂණ ඔවුන් ගුරුකොටගනිමින් සිටින බව පෙනී යයි. ඊට අමතරව නිසි කළට පක්ෂ නායකත්වය භාර නොදී දේශපාලන ස්මීගොල්වරයෙකු බවට පත්වූ රනිල් වික්‍රමසිංහට විවේචනයේද හැඩයන් දෙකක් හදුනාගත හැකිය. පළමු හැඩය නම් ඔහු නිසි අවස්ථාවේ දෙවැනි පෙළට නායකත්වය භාර නොදී අර්බුදයක් නිර්මාණය වන තැනට කටයුතු කිරීමය. දෙවැනි විවේචනය ඔහුගේ නායකත්වය යටතේ වසර හතරක පමණ ආණ්ඩු බලයක් පැවැතියද ඒ කාල සීමාවේදී එජාප පාක්ෂිකයාට නොහොත් යූ.එන්.පී කාරයාට සැළකීමට ඔහු අසමත් වීම පිළිබදව ඇති විවේචනයයි.

පළමු විවේචනය කෙසේ වෙතත් දෙවැනි විවේචනය දේශපාලනික වශයෙන් ඉතාමත්ම පසුගාමී දුප්පත් විවේචනයක් බව කිව යුතුය. පක්ෂයක් බලයට පත්වූ පසු පාක්ෂිකයන්ට සැළකීම ශ්‍රී ලංකාවේ දේශපාලන හුරු පුරුද්ද බව සැබෑය. නමුත් එය ඉතාම අවර ගණයේ දේශපාලන පුරුද්දකි. පිටු දැකිය යුතු හා එක්වරම බැරිනම් ක්‍රම ක්‍රමයෙන් හෝ බැහැර කළ යුතු ලක්ෂණයකි. එබැවින් සටන් පාඨයක් ලෙස බලයට පත්වූ පසු පාක්ෂිකයන්ට සැළකීම යන කරුණ ජනගත කිරීමෙන් පෙනී යන්නේ දේශපාලනයේ ඉදිරි ගමනේ ඇති අදුරු බව පිළිබදව පෙරනිමිති වේ.

ජේ.ආර්. ජයවර්ධන අඩුපාඩු සහිත වුවද ඉතාම උපක්‍රමශීලී පාලකයෙකි. ඔහු තමාට ලැබුණු හයෙන් පහක බලය තම බලය අපරිම වන ආකාරයෙන් භාවිත කළේය. ඊට අමතරව ග්‍රාමීය දේශපාලනය තුලද උපක්‍රමිකව ඉතා ශක්තිමත් බලකණු ස්ථාපිත කළේය. එනම් ගම් මට්ටමෙන් ඇති හැකි සහ ජනතාවට බලපෑම් කළ හැකි පුද්ගලයන් හදුනාගෙන ඔවුන් තව තවත් බලවත් කිරීම මගින් ඔවුන්ගේ සහ ඔවුන් වටා ඔවුන් සෙවණේ සිටි පුද්ගලයන්ගේ අඛණ්ඩ සහයෝගය එක්සත් ජාතික පක්ෂයට දිගින් දිගටම ලැබෙන බවට ඔහු වගබලාගත්තේය. එය ග්‍රාමීය ධනපති පෙළක් නඩත්තු කිරීම මගින් ඇතිකරගත් වාසිදායක වටාපිටාවකි.

එකල ගම් මට්ටම පිළිබදව සළකන කල එජාපය ඇතිහැකි සාම්ප්‍රදායික ධනපතියන්ගේ සහ ඔවුන්ගේ හෙංචයියන්ගේ පක්ෂය වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උගත් පහළ මැද පංතියේ සහ දුප්පතුන් වැඩි වශයෙන් ආකර්ෂණය වූ ස්ථානයක් විය.

නමුත් ගම් මට්ටමින් ඉතා බලවත් එජාප පාක්ෂික පතාක යෝධයන්ගේ බලපෑමෙන් ශ්‍රීලනිප පාක්ෂිකයාට බොහෝදුරට මුළු ගැන්වුණු ජීවිතයක් ගෙවීමට සිදුවිය. මෙම සම්ප්‍රදාය සැළකිය යුතු ලෙස වෙනස් කරන්නට උත්සාහ කළේ රණසිංහ ප්‍රේමදාසය. ඔහු පිළිබදව දහසකුත් එකක් විවේචන ඇතත් එජාපය වැනි අතිශය කුලවාදී පක්ෂයක ඉහළ මට්ටමේ නායකයන්ගේ ඉණිමං නොමැතිව ස්වෝත්සාහයෙන් ඉහළටම නැග ජාතික නායකත්වය අත්පත් කරගැනීමට ඔහු සමත් වීම ඔහුගේ දක්ෂතාවයේ තරම කියා පායි.

මහින්ද රාජපක්ෂ දෙස ප්‍රවේශමෙන් බැලීමේදී ඔහුගේ බොහෝ ක්‍රියාකාරකම් සදහා ජේ.ආර්. ජයවර්ධන ගුරුකොට ගෙන ඇති බව පෙනී යයි. මහින්ද පාලන සමයේදී එජාපය සතුව තිබූ ග්‍රාමීය ධනපති පංතියෙන් සැළකියයුතු කොටසක් පදාස පිටින් කඩා තමන් සතු කරගැනීමට ඔහු සමත් විය. එම පිරිසට අමතරව තමාට ඉතා පක්ෂපාතී වූ තැනැත්තන්ට ග්‍රාමීය මට්ටමෙන් නව ධනපති පංතියක් ලෙස ගොඩනැගීමට අවස්ථාවන් ඔහු නොමසුරුව සළසා දුන්නේය. එබැවින් මේ මොහොත වන විට එදා ජේ. ආර් සතුව තිබූ ග්‍රාමීය ධනපති ආධිපත්‍යය සහ ඒ සෙවණේ වැඩෙන හෙංචයි ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම පාහේ මහින්ද සතුය. ඊට අමතරව යුද්ධය කාලසීමාවේදී සාම්ප්‍රාදියක ආර්ථික නිම් වළළු බිදගෙන නැගී සිටි දුගී දුප්පත් පන්තියේ මෙන්ම යුධ ජයග්‍රහණයෙන් ඔද වැඩුණු සහ ජාතිවාදී චින්තනය තම දේශපාලනයේ මූලික හරය කොටගත් පිරිසක්ද මහින්දගේ ස්ථාවර ඡන්ද පදනමට අයත්ය.

නමුත් මෙකී ස්ථාවර ඡන්ද පදනම 2015දීද මහින්දගේ වාසියට නොවෙනස්ව පැවැතුණි. ග්‍රාමීය මට්ටමින් බස්රථ කුලියට ගෙන පැරදුණු මහින්ද බලන්නට ගියේ මෙම ස්ථාවර ඡන්ද පදනමට අයත් මිනිසුන් වේ. මහින්ද පරාජය වූයේ එම ස්ථාවර ඡන්ද පදනම ඉතාමත් ශක්තිමත් මට්ටමක කිසිසේත් නොඅඩුව තිබියදීය. මෙම දේශපාලන වාතාවරණය ඉතාම හොදින් කියවා ගැනීමට රාජපක්ෂ කදවුරේ දේශපාලන උපක්‍රමාචාර්යවරයා වන බැසිල් රාජපක්ෂ සමත් විය. ඔවුන්ගේ ග්‍රාමීය ඡන්ද බදනම කොහොමටත් නොවෙනස් බවත් ආමන්ත්‍රණය කිරීම කළ යුත්තේ මධ්‍යස්ථ මතධාරී පාවෙන ඡන්ද පදනමට බවත් ඔහු මැනවින් වටහා ගත්තේය. ඒ සදහා උපක්‍රම සකස් කළේය. වියත්මග, එළිය, සිංහලේ, රාවණා බලය වැනි සංවිධාන වල සිට ඉරාජ්ගේ මියුසික් වීඩියෝ දක්වා ස්ථර ගණනාවකින් පුළුල් පරාසයක් ආවරණය කරමින් එළි දකින්නේ මධ්‍යස්ථ මතධාරී පාවෙන ඡන්ද පදනමට බැසිල්ගේ ආමන්ත්‍රණයයි. එම උපක්‍රමය කෙතරම් සාර්ථක වීද යත් පරාජයේ පසුගාමීත්වයේ සිට අති විශිෂ්ට ජයක් දක්වා ඔවුන් ඔසවා තබන්නට සමත් විය. 

 

මෙය පිටින් බලා සිටි සජිත් ප්‍රේමදාස මහින්ද සුළගේ උපක්‍රමික වටිනාකමකින් යුතු කොටසින් ග්‍රහණය කරගෙන ඇත්තේ කොපමණ සුළු ප්‍රමාණයක්ද යන්න මේ අනුව පෙනී යයි. එය සජිත්ගේ සාමාන්‍ය චර්යාව අනුව පුදුමයට කරුණක්ද නොවේ. ඔහුට ඔහුගේම වූ දේශපාලන දැක්මක් වැඩපිළිවෙලක් ඇති බවක් අද වනතුරු සාමාන්‍ය ජන මනසට කාවදින ලෙස සන්නිවේදනය කිරීමට අසමත් වී ඇත. ඒ වෙනුවට දුගී දුප්පත් ජනතාව ඉලක්ක කරමින් තම පියා විසින් මීට වසර 30කටත් එපිටදී දියත් කරන ලද ව්‍යාපෘති ඒ හා සමාන මුහුණුවරින් යුතුව නැවත ජනතාවට දෙන්නට උත්සාහ කිරීම තම ජය මාවත බව ඔහු කල්පනා කළේය. මහින්දගේ ක්‍රමයෙන් පමණක් නොව රණසිංහ ප්‍රේමදාසගේ ක්‍රමයෙන්ද සජිත් ගත්තේ මතුපිට පෙනුම පමණි.

රණසිංහ ප්‍රේමදාස එකළ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස නිවාස ප්‍රශ්නය හදුනා ගන්නා ලදී. ඒ හරහා ගම්උදාව යෝජනා ක්‍රම මගින් සැළකිය යුතු පිරිසකට මහත් සෙතක් සැළසුණ බවද ඇත්තය. නමුත් වර්තමාන ජන මනසට අනුව නිවාස ප්‍රශ්නය යනු ප්‍රමුඛතා අතර තුන්වැනි හතරවැනි ස්ථාන වල තිබෙන්නකි. එපමණක් නොව අසූ ගණන්වල මොඩලයේ ගිනි පෙට්ටි ගෙවල් වර්තමානයට කෙතරම් දුරකට ගැලපේද යන ප්‍රශ්නයද මතුවේ. ඒ අනුව හුදෙක් ජනතාවට නිවාස දෙනබව හෝ රුපියල් 20000ක් නොව මාසිකව ලක්ෂයක් දෙන බව පැවසුවද වර්තමාන ජන මනස එයට සංවේදීතාවය දක්වන්නේ අඩුවෙන් බව සජිත් වටහා ගත්තේ නැත. ඒ යෝජනා ක්‍රම වල ප්‍රායෝගික හරය විශ්ලේෂණයට වඩා ඔහුගේ කැමැත්ත වැඩි වශයෙන් තිබුණේ පියාගේ අඩි පාරේ යන පුතෙකු බව පෙන්වීම කෙරෙහි බව ඉතා පැහැදිලිව පෙනේ. රණසිංහ ප්‍රේමදාසගේ අඩිපාර යන්නෙන් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් සැළකිය යුතු කොටසක් බියෙන් සලිත වන්නේය යන යටපත් කළ නොහැකි කරුණද සජිත් එහිදී නොසළකා හැර තිබිණ. තවදුරටත් නොසළකා හරිමින් සිටී.

මහින්ද රාජපක්ෂ වුවද මහා දැක්මක් සහිත මහා දක්ෂයෙකු නොවේ. නමුත් ඇතැම් කාරණා විෂයෙහි තමන්ගේ නොදන්නාකම දැනගැනීමට තරම් නිහතමානී වූවෙකි මහින්ද. ඔහු සමග සමීපව වැඩ කළ බොහෝ දෙනෙකුගේ අත්දැකීම් අනුව යම් වැඩපිළිවෙලක් යම් අයෙකු විසින් මහින්දට ඉදිරිපත් කළ විට එය හොද සාධනීය වැඩපිළිවෙලක් බව මහින්දට පෙනී යයි නම් එය ඉදිරිපත් කළ පුද්ගලයාට එය කරගෙන යාමට අවශ්‍ය ශක්තිය මහින්ද ලබාදෙයි. එහි ප්‍රශ්නයක් මතුවුවහොත් තමාට කියන ලෙස පවසයි. මහින්දගේ මෙම නිහතමානී ගුණය වඩ වඩාත් ශක්‍යතා පූර්ණ පිරිස් ඔහු වටා ගොණු කිරීමට සමත් විය. ඒ අති දක්ෂ පිරිස් විසින් සහ මාධ්‍ය විසින් මහින්දව දැවැන්ත දේශපාලන පෞරුෂයක් ලෙස ඔසවා තැබිණ.

රටේ දේශපාලන බලය ලබාගැනීම ඉලක්ක කර සජිත් මහින්දගෙන් ඉගෙනීම හොද ප්‍රවණතාවයක් ලෙස කෙනෙකුට පෙනිය හැකිය. නමුත් එසේ ඉගෙනිය යුත්තේ මහින්දගේ පිට පෙනුමේ ඇති හැසිරීම් රටා හා ලක්ෂණ නොවේ. එහි ඊට වඩා අති විශාල ගැඹුරක්ද බැසිල් රාජපක්ෂ නැමති දේශපාලන සැළසුම්කරුවාගේ සුවිශාල භූමිකාවක්ද තිබෙන බව වටහා ගත යුතුය. විසි එක්වැනි සියවසේදී තමන් ශ්‍රේෂ්ඨයෙකුගේ කාබන් කොපියක් බව පෙන්වීම සාර්ථකත්වය ලැබීමට ප්‍රමාණවත් වන්නේ නැත. තමන්ට ආවේණික වූ සාධනීය ලක්ෂණ පිළිබදව ජනතා ප්‍රසාදය දිනා ගැනීම වෙනම කලාවකි. එය සජිත් ප්‍රේමදාස හරිහැටි වටහාගෙන ඇති බවක් තවම පෙනෙන්නට නැත.

මෙහි ඇති භයානකම තත්වය එය නොවේ. ලොව ඕනෑම ජනප්‍රිය පාලන තන්ත්‍රයක් කාලයත් සමග කල් ඉකුත් වෙයි. ගෝඨාභය සහ මහින්ද ප්‍රමුඛ පොහොට්ටු බලවේගයද එසේම දිනෙක කල් ඉකුත් වීම අතිශය ස්වභාවික සංසිද්ධියකි. එවන් අවස්ථාවක රටේ විපක්ෂයේ ප්‍රමුඛතම කණ්ඩායමට වැඩි අවධානයක් ලැබීම සහ ජයග්‍රාහී මාවතක් සැකසීම නිතැතින්ම සිදුවන්නකි. මීළගට එසේ මාවතක් සැකසෙන අවස්ථාව වන විට විපක්ෂයේ ප්‍රමුඛයා සජිත් ප්‍රේමදාස වී ඔහු තමා ජීවිතයේ දුටු දේශපාලන නායකයන්ගේ මතුපිට හැසිරීම ඇග ගාගත් අයෙකු වී නම් රටක් ලෙස ඊළගට මුහුණ දෙන්නට සිදුවන ඉරණමේ අභාග්‍ය සම්පන්න ස්වභාවයට අටුවා ටීකා අවශ්‍ය නොවේ.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...