මෙම ලිපිය අද ෆේස්බුක් සමාජ ජාලයේ සංසරණය වෙමින් තිබූ ලිපියකි. මා උපුටා ගන්නේ මෙම ලිපියේම නම සදහන් කොට ඇති ඉන්දික රත්නායකගේ ෆේස්බුක් පිටුවෙනි. එය සැබෑ ලිපියක්ද ව්‍යාජ ලෙස සකස් කළ එකක්ද යන්න පිළිබදව අදහසක් කීමට හැකියාවක් මේ මොහොතේ නැත. කෙසේ වෙතත් එය සත්‍ය ලිපියක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් මේ සටහන ලිවිය යුතුමය.
ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීමෙන් වසරක් සම්පූර්ණ වූවා පමණි. දැන් නැවතත් අදහස් ප්‍රකාශ කිරීමේ හා මතයක් දැරීමේ අයිතිවාසිකමට එවැනි අභියෝගයකට මුහුණ දෙන්නට සිදුවී ඇති සෙයක් පෙනේ.
ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගන්නේ ඔහු රචනා කළ අර්ධ නම් කෙටි කතාවක් හේතුවෙන් බුදු දහමට අපහාසයක් වී යැයි කියන පැමිණිල්ලක් මතය. එකී කරුණ පොලීසිය විසින් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලද්දේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනතේ 3 වන වගන්තිය යටතේ විකල්ප වශයෙනි. ඒ අනුව ශක්තිකට කුරුණෑගල මහාධිකරණයේ ඇප අයදුම්පතක් ගොණු කොට ඇප ලබාගන්නා තුරු දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නට සිදුවිය. මේ දක්වාම ශක්තිකගේ නඩුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවේ.
මෙම නවතම අභියෝගයේ හැඩය ශක්තිකගේ නඩුවට වඩා මදක් වෙනස්ය. එහි පදනම ඉන්දික රත්නායක යන ෆේස්බුක් සමාජ ජාලා රචකයා විසින් බුදු දහම ජෛන දහමක්ය යනුවෙන් පවසමින් මිත්‍යා මත ප්‍රකාශ කිරීම බුදු දහමට අපහාස කිරීම හා බෞද්ධයන්ගේ සිත් රිදවීම බව මෙහිදී පලකෙරෙන ලිපියේ හෙඩිමේ දැක්වේ. එම ලිපියේ අන්තර්ගතය මගින් ඉල්ලා සිටින්නේ ෆේස්බුක් මාධ්‍ය ජාලය හරහා ඉන්දික රත්නායක හා තවත් පිරිසක් කළු කුහරය සහ හේතුවාදය නමින් ෆේස්බුක් සමූහ ගොඩනගාගෙන ඒ හරහා බුදුරජාණන් වහන්සේ හා බෞද්ධාගම පිළිබදව මිත්‍යා මත බෙදා හරිමින් ආගමිකයන් අතර වෛරය ඇතිකිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ හේතුවෙන් රට තුල බෞද්ධාගමික පිරිස් අතර නොසන්සුන්තාවයක් ඇති වෙමින් පවතින බවත් තරුණ පරපුර නොමග යමින් සිටින බවත් එසේ හෙයින් මොහු සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනතේ (ICCPR) ප්‍රතිපාදන ප්‍රකාරව පියවර ගන්නා ලෙසත්ය.
ඒ අනුව මෙහිදී හෙඩිමේ දක්වන බුදු දහම ජෛන ආගමක් වශයෙන් දැක්වීම ලිපියේ අන්තර්ගතයේ විස්තර කර නැත. එමෙන්ම බුදු සමයේ ක්රමික විකාශනය පිළිබදව ලියැවී ඇති පතපොත මෙම ලිපිය ලියූ අය විසින් පරිශීලනය කර ඇත්ද යනුවෙන් දැඩි සැකයක් උද්ගත වේ.
ලිපියේ අන්තර්ගතයේ විස්තර කරන "කළු කුහරය - The Black Hole" නම් ෆේස්බුක් සමූහයේ හැදින්වීමෙහි දැක්වෙන්නේ මෙසේය:-
"විද්‍යාව හා තාක්ෂණය පිලිබඳව දැනුම ඔබට ගෙන එන්නට ඔබට වෙන්වු සයිබර් අවකාශයේ ඔබේ පිටුව, ශ්‍රී ලාංකික සිංහල කතා කරන සිංහල දන්න අයට විද්‍යාව හා තාක්ෂණය පිලිබඳව නුතන ලොකයේ දැනුම ආකර්ෂණීය ලෙස ඔබට ගෙන එන්නට ඔබට වෙන්වු සයිබර් අවකාශයේ ඔබේ පිටුව"
එය විවිධ ස්වරූපයන්ගේ පර්යේෂණාත්මක විද්වත් ලිපි හුවමාරු වන ස්ථානයකි. ඒ අතර නිරාගමික, භෞතිකවාදී සහ හේතුවාදී ලිපිද ඇත. එම ලිපි පරිශීලනයෙන් පෙනී යන්නේ ඒවා කිසිදු ආගමික විශ්වාසයකට අපහාස කරන ඒවා නොව ආගමික හා වෙනත් ඇදහිලි විශ්වාස වල තර්කානුකූල වලංගුතාවය හා සත්‍යාසත්‍යතාවය ප්‍රශ්න කරන ඒවා බවයි. ආගමක් තුල ඇති ඇදහිලි විශ්වාස සමාජ විද්‍යාත්මකව හා දර්ශනවාදීව ප්‍රශ්න කිරීමය අයිතියක් කිසිවෙකුට නොමැති බව මෙම ලිපිය ලියූ අයගේ ස්ථාවරයදැයි ඒ අනුව ප්‍රශ්නයක් මතුවේ.
"හේතුවාදය" නමින් ෆේස්බුක් සමූහයක් ඇත්දැයි සොයා බැලුවද එවැන්නක් මා හට හමු වූයේ නැත. එවැන්නක් තිබූ බවට උපකල්පනය කළද හේතුවාදය වනාහි දර්ශනවාදයකි. ඒ හරහා ආගම් පමණක් නොව ඕනෑම දෙයක අස්ථාන ඇදහිලි ප්‍රශ්න කිරීම සිදු කෙරේ. ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර්ගේ ආරම්භයෙන් පිහිටුවන ලද හේතුවාදී සංගමයක්ද ශ්‍රී ලංකාවේ තිබේ. එම සංගමය මගින් පර්යේෂණාත්මක අධ්‍යනයන් හරහා බොහෝ අද්භූත බලයන් මත සිදුවේ යැයි කියූ මිත්‍යා විශ්වාසයන්ගේ සැබෑ ස්වරූපය හෙළිදරව් කර ඇත. ගිනි පෑගීමේදී ගිනි පාගන්නාගේ දෙපා දැවී නොයන්නේ දේව බලයකින් නොව විද්‍යාත්මක හේතුවක් මත බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුලු පිරිසක් විසින් ඔප්පු කරනු ලැබීම එයට එක් උදාහරණයකි.
ඒ අනුව කළු කුහරය යන සමූහයේ අඩංගු ලිපි මෙන්ම හේතුවාදය නමින් හදුන්වන සංකල්පයද විද්‍යාත්මක පසුබිමකින් යුතුව අධ්‍යයන අරමුණකින් එකතු වූවන්ගේ සමූහ වේ. ඒවා තුල අධ්‍යයන අරමුණින් කරන ලිපි පලකිරීම් වලදී සහ සංවාද වලදී ආගමික වේවා නොවේවා ඇදහිලි සහ විශ්වාසයන් සමාජ විද්‍යාත්මකව හා දර්ශනවාදීව ගනිමින් ඒවා සම්බන්ධයෙන් විමර්ශනාත්මකව විග්රහ කරමින් ඒවායේ සත්‍යතාවයක් තිබේද නැත්ද යන්න විමසා බැලීම, තර්ක විතර්ක කිරීම සාමාන්‍ය සංසිද්ධියකි. මෙවර මෙම කණ්ඩායමේ ඉලක්කය වී ඇත්තේ එවැනි තර්කානුකූල වාද විවාද කණ්ඩායම් වීම ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීම සහ මෙම සිද්ධියේ ඇති ප්‍රධාන වෙනසයි.
මේ අනුව මෙම ආගමික කණ්ඩායම් වල ස්ථාවරය වන්නේ ආගමික විශ්වාසයන් පිළිබදව තාර්කික වාද විවාද නොකළ යුතු බව නම් ඒ අනුව දර්ශනය යන විෂය ක්ෂේත්රයම ශ්‍රී ලංකාවේ තහනම් කිරීමට සිදුවනවා ඇත. ඒ අනුවම වල්පොල රාහුල හිමියන්ගේ සත්යෝදය, මාර්ටින් වික්‍රමසිංහගේ බවතරණය, නිවන් මුහුණුවර හා බමුණු දිට්ඨිය, භව කර්ම විකාශය, බුදු සමය හා සමාජ දර්ශනය, ආචාර්ය ඊ. ඩබ්ලිව් අදිකාරම්ගේ පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය, මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ බුද්ධ චරිතය, ඒබ්‍රහම් ටී. කොවුර්ගේ සියලුම පර්යේෂණ වාර්තා පළවී ඇති පොත් පමණක් නොව බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමියන්ගේ ඇතැම් කෘතිද තහනම් කිරීමට සිදුවනවා පමණක් නොව නැවත එවැනි පර්යේෂණාත්මක රචනා සිදුකිරීමද, ඒවා ගැන කතා කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් කර නවත්වා දැමීමට සිදුවනවා ඇත.
බුදු දහම විමර්ශනයට විරුද්ධ දහමක් නොවේ. බුදුන් වහන්සේ දේශනා කරන ලද කාලාම සූත්‍රයෙහි මනා කොට දක්වා ඇත්තේද බුදු දහමද ඇතුළුව සියළු දෑ මනාකොට විමසීමෙන් පසු මිස භාර නොගන්නා ලෙසයි. කාලාම සූත්‍රයේ ඉගැන්වීම සාරාංශගතව පහත පරිදි වේ:-
කාලාමයනි,
- අහපු පමණින් ගන්න එපා (මා අනුස්සවේන).
- පරම්පරාවෙන් ආ පමණින් ගන්න එපා (මා පරම්පරාය).
- මෙහෙම මෙහෙම වුණා කියූ පමණින් ගන්න එපා (මා ඉතිකිරාය).
- අපේ පොත්වල තියෙනවා කියූ පමණින් ගන්න එපා (මා පිටකසම්පදානේන).
- තර්කයට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා තක්ක හේතු).
- ගළපා ගත්තු න්‍යායට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා නය හේතු).
- මෙහෙම වුණොත් මෙහෙම වෙයි කියා කල්පනා කර ගොඩනගා ගත්තු මතයට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා ආකාරපරිවිතක්කේන).
- දෘෂ්ටියකට බැසගෙන ගන්න එපා (මා දිට්ඨි නිජ්ඣානක්ඛන්තියා).
- බලාගෙන ගියා ම ඒකත් හරිනේ කියලා ගන්න එපා (මා භබ්බරූපතාය).
- ඔය කරුණු කියන කෙනා අපගේ ගුරුවරයා හෙවත් අප ගරු කරන ශ්රමණයන් වහන්සේ කියා ගන්න එපා (මා සමණෝ නෝ ගරූ)
ඒ එකල අප මහා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේය. මේ මෙකල තර්කය අපහාසයක් ලෙස ගෙන ඊට විරුද්ධව පොලීසි යන භික්ෂුන් වහන්සේය. එය විවෘතව සිතා බලන කල මුවගට සිනාවක් නැගීම නොවැලැක්විය හැකිය.
කෙසේ වෙතත් දැන් මෙය සැබෑ අභියෝගයක් බවට පත්වී තිබේ. පොලීසිය ඉන්දික රත්නායකව අත්අඩංගුවට ගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනතේ 3 වැනි වගන්තිය යටතේ අධිකරණයට කරුණු වාර්තා කළහොත් මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු සම්බන්ධයෙන් ඇප සළකා බැලීමට බලයක් නැත. ඒ අනුව ඇප ලබා ගැනීමට සිදුවන්නේ මහාධිකරණයෙනි. ඒ සදහා යම් කාලයක් ගතවන අතර ඒ කාලය ඔහුට බන්ධනාගාරගතව සිටීමට සිදුවනවා ඇත. කුමක් කිරීම නිසාද? බුදුන් වහන්සේ දේශනා කළ කාලාම සූත්‍රය අනුව ජීවත් වීමට යාම බුදු දහමට හා ආගමික විශ්වාසයට අපහාසයක් වී යැයි භික්ෂූන් වහන්සේම කරන පැමිණිල්ලක් මත. පොලීසිය මේ සම්බන්ධයෙන් කුමන ක්‍රියාමාර්ගයක් ගනු ඇත්ද යන්න පිළිබදව තාර්කික චින්තනය ප්‍රිය සියලු දෙනා අවධානයෙන් බලා සිටිය යුත්තේ ඒ නිසාය. මෙය නිසැකවම නිදහස් විමර්ශනශීලී චින්තන ප්‍රවේශය විෂයෙහි අතිශය තීරණාත්මක සන්ධිස්ථානයකි.
මේක ඇත්ත,මේ පුද්ගලයා හා තවත් නිරාගමික කියාගන්න පිරිසක් පේජ් ගෲප් හදාගෙන බුද්ධාගම ඉලක්ක කරගනිමින් දැඩි ලෙස බුද්ධාගමට අපහාස කරනවා අනික ඔය ජෛන දර්ශනය කියන පේජ් එක ගැනත් ඒක හදන්න මුල් උන දේවල් ගැනත් දන්න අය දන්නවා,මේ අය ජෛන දර්ශනය මගින් බුද්ධාගමට පහර ගහන්න ප්ලෑන් කරපුවා පවා තියෙනවා,මිනිස්සු එකතු වෙලා මේ අය ටික දෙනෙක් කරන මේ සමාජයට කරන හානිය නවත්වන්න එකතු උනේ නැත්නම් මේ අය සමාජයට ලොකු හානියක් කරලයි නවතින්නෙ
ReplyDeleteඇත්ත ඔය කියන පුද්ගලයා දිගින් දිගටම ෆේක් හදමින් බුද්ධාගමට අපහාස කරන කෙනෙක්,අනික ඔය ජෛන දර්ශනය පේජ්එඑක මගින් බුද්ධාගමට අපහාස කරන්න ඕන කියන එක ගැන මේ අයගෙ සැලසුම් ගැනත් දැන් හෙලි වෙලා තියෙනවා ඒ වගේම දැන් ඒ පේජ් එක අයින් කරල තියෙනවා ඔය පුද්ගලයා,කළුකුහරය කියන බෞද්ධ විරෝධී ගෲප් හදාගෙන මේ කෙනා තවත් පිරිස් හදාගෙන බුද්ධාගමට අපහාස කරමින් කිසිම තේරුමක් නැති පෝස්ට් දාල සමාජ විරෝධී අදහස් හා මතවාද ප්‍රකාශ කරමින් ඉන්නවා මේ අය ගැන අදාල අංශ දැනුවත් උනේ නැත්නම් මේ අය සමාජයට ලොකු හානියක් කරන බවනම් පැහැදිලියි
ReplyDelete