Monday, June 8, 2020

රියැලිටි තරග

ගායක ගායිකාවන් බිහිකරන රියැලිටි වැඩසටහන් සමාජ අවශ්‍යතා සමඟ සමපාත වන්නේ යන්තමිනි. මන්ද කිසිම රටක ගායක ගායිකාවන්ගේ හිඟයක් නොමැත. ඒ අනුව ආර්ථික උපයෝගීතා දෘෂ්ටිකෝණයෙන් ගත්කල රියැලිටි ගායන සහ නර්තන වැඩසටහන් වල වැදගත්කම අඩුය. 
 
කෙසේ වෙතත් දක්ෂතා පිරිපුන් නවක ශිල්පීන්ට ප්‍රසිද්ධිය ලබාගැනීම සඳහා දැනට ඇති ප්‍රායෝගිකම ක්‍රමවේදය එයයි. එබැවින් බොහෝ මාධ්‍ය ආයතන රියැලිටි වැඩසටහන් සංවිධානය කරන අතර ඒවායෙන් ඉදිරියට එන නවක තරු විස්මිත හැකියාවෙන් යුතු අය බවද පිළිගත යුතු වේ. 
 
ගායන තරු තේරීම සඳහා මට මතක ඇති පැරණිම වැඩසටහන ජාතික රූපවාහිනියේ තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාවයි. එහිදී නරඹන්නන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාවක් නොතිබුණි. ගායන තරු තෝරාගැනීම විනිශ්චය මණ්ඩලයක් හරහා සිදුවිය. 
 
මා දන්නා අතීතයට පෙර ජාතික තරුණ සේවා සභාව හරහා ගායන තරු තේරීමේ විවිධ වැඩසටහන් තිබී ඇත. සෝමසිරි මැදගෙදර, චන්ද්‍රලේඛා පෙරේරා, චන්දන ලියනාරච්චි වැනි ගායන තරු බිහිවී ඇත්තේ එවැනි වැඩසටහන් හරහාය. 
 
නරඹන්නාට මනාපය පළකල හැකි රියැලිටි වැඩසටහන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ සිරසය. සිරස ඉදිරිපත් කළ සුපර්ස්ටාර් වැඩසටහනට ඉතා ඉහළ ජනතා ප්‍රතිචාරයක් ලැබුණි. එහි පළමු වටයේ සිටි අවසාන දසදෙනා ඉන්පසු ක්ෂේත්‍රයේ සිටියද නැතද අදටත් නමින්ම මතක තිබේ.
 
ඉන්පසු දෙරණ Dream Star සහ Little Star වැඩසටහන්ද, ජාතික රූපවාහිනියේ රණවිරු රියල් ස්ටාර් ද හිරු නාලිකාවේ හිරු ස්ටාර් වැඩසටහනද ක්‍රියාත්මක විය. 
 
පළමු සිරස සුපර්ස්ටාර් වැඩසටහනේදී එක් ජංගම දුරකථනයකින් ලබා දිය හැකිව තිබුණේ එක් මනාපයක් පමණි. නමුත් පසුකාලීනව හැකිතාක් SMS කරන්න යනුවෙන් පවසන ආකාරය සහ ඒ එක SMS පණිවිඩයක් සඳහා රුපියල් 5ක් හෝ 10ක් වැනි මුදලක් අයකර ගැනීමෙන් රියැටිලි වැඩසටහන් වල උත්පති ව්‍යාපාරික ස්වරූපය ඉහගෙන කෑමක් බවට වර්ධනය වීම දක්නට ලැබුණි.
ඉන්පසු රියැලිටි වැඩසටහන් සඳහා ජනතාව ආකර්ශනය කරගැනීම සඳහා විවිධ උපක්‍රම කරලියට පැමිණියේය. සිරස Voice Teens හි කැරකෙන පුටු, හිරු ස්ටාර්හි SMS හරහා නොව මෘදුකාංගයක් හරහා ඡන්දය දීම, එසැවෙන ඩිජිටල් තිරය ආදිය කැපී පෙනේ.
 
ඒ සියල්ල අතරින් හිරු ස්ටාර් වැඩසටහනේ තරඟකරුවන්ගේ ආර්ථික සමාජයීය අපහසුතා ගැන කියමින් තරඟකරුද ඔහුගේ පවුලේ අය මෙන්ම විනිශ්චය මණ්ඩලයද කඳුළු සැලීම, සිරස රියැලිටි වැඩසටහන් වල තරඟකරුවන් ගායනා කරන අතරතුර විනිසුරු මණ්ඩලයේ අය කෑගැසීම, දැඟලීම, සිට ගැනීම, නැටීම වැනි කටයුතු පිටපතෙහි ඇතුලත් කිරීම වඩාත් කැපී පෙනේ.
 
මේ නව ප්‍රවණතා සියල්ල ඇතැම් නරඹන්නන්ගේ පැසසුමට සතුටට මෙන්ම ඇතැම් අයගේ විවේචනයටද ලක්වනු දැකිය හැකිය. ඒ සම්බන්ධයෙන් සමීපතම උදාහරණය පසුගිය සති අන්තයේ සිරස Voice Teens හි ගීතයක් ගායනා කළ ආදිත්‍යා නම් දැරියකගේ හැසිරීමට සමාජ ජාලා ඔස්සේ එල්ල වන දැඩි විවේචනයයි. 
 
සැබැවින්ම ඒ විවේචන කරන නොකරන සියලුදෙනා වටහාගත යුතු යථාර්ථයක් ඇත. රියැලිටි වැඩසටහනක් යනු ව්‍යාපාරයකි. එහි අරමුණ ජනතාවට විනෝදාස්වාදය සැපයීමයත් වඩා මුදල් ඉපයීමය. ඒ සඳහා රූපවාහිනිය තුලින් අප දකින යථාර්ථයට වඩා සැඟවුණු බොහෝ කාරණා ඇත. ඒ ඒ වැඩසටහනට අවධානය වැඩියෙන් යොමුකරවාගැනීම සඳහා එහි පිටපතෙහි හිතා මතා ඇතුලත් කරන ඉහත සඳහන් කල බාහිර ආටෝපද එම ලාභ අපේක්ෂාවෙන් කරන ව්‍යාපාරයේම කොටසකි. 
 
එබැවින් විවේචනය එල්ල විය යුත්තේ සමස්ථ වැඩපිළිවෙලේ ඇති ලාභය අරමුණු කරගත් ස්වභාවයට මිස එහි අතුරුඵල ලෙස පැන නගින අපට රූපවාහිනිය හරහා පෙනෙන විපරීත ඇබින්දකට නොවේ. 
 
තවත් අතෙකින් එය විවේචනය කරන්නේ කුමකටද? ලාභ ලැබීම ඒ ඒ ආයතන වල අයිතියක් නම් නරඹන්නන්ට එම ලාභයෙන් කොටසක් නොලැබේනම්, නරඹන්නන්ට ලැබෙන එකම දෙය විනෝදාස්වාදය පමණක් නම් එහි අංගවල විපරීතබව විවේචනයට ලක් කිරීම සැබැවින්ම කාලය නාස්තියක් නොවන්නේද? අසාධාරණ තරඟයකදී (ව්‍යාපාරයකදී) සර්ව සාධාරණය බලාපොරොත්තු වීම මෝඩකමකි.
 
ඒ සියල්ල එසේම තිබියදී ඊයේ පෙරේදා සිට විවේචනයට ලක්වන ආදිත්‍යා වැලිවත්ත දැරිය ගායනා කළ ගීත දෙකම ඇය ඉතා විශිෂ්ඨ ලෙස ගායනා කළ බවත් ඇයට "තරුවක්" වීම සඳහා අවශ්‍ය ගායන හැකියාව පමණක් නොව රූප සම්පත්තිය, ශාරීරික හැඩය මෙන්ම ජනතා කතාබහට ලක්වන "තරු හැසිරීම" අඩු නැතිව පිහිටා ඇති බවත් මෙහිලා කිව යුතුමය.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...