Sunday, May 31, 2020

ඉතිහාසය විසංයෝජනීය ප්‍රවේශයකින්

යම් සත්‍ය කතාවක් ලියන පුද්ගලයා ඒ සදහා පදනම් කරගන්නේ තමන්ගේ පෞද්ගලික දෘෂ්ටිය. ඒ සිද්ධිය තමන්ට වැටහෙන ආකාරය ඒ සිද්ධිය තමන්ට වැටහුණේ මෙලෙස යැයි අනෙක් අය සිතනවාට කැමති ආකාරය සැබැවින් සිදුවූයේ කුමක් වුවත් අනාගත පරපුර එය දැනගතයුතු යැයි විවිධ හේතූන් මත තමා කල්පනා කරන ආකාරය යනාදී විවිධ පදනම් එකී දෘෂ්ටියට අදාළ වන්නට පුළුවන්.

රැවුල වවාගත් රෞද්‍ර අපිරිසිදු කෝපයෙන් පිරුණු කොටි

මේ පිළිබදව හොද උදාහරණයක් සිංහල චිත්‍රපටවල ඇතුලත් වන එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ චරිත හරහා සැපයෙනවා. ඒවා හරහා නිරූපණය කරන එල්.ටී.ටී.ඊ සාමාජිකයා මුහුණ පුරා රැවුල වවාගත්, අනුකම්පා විරහිත දෙනෙතක්, නොපීරූ කොණ්ඩයක්ද සමග අපිරිසිදු කෝපයෙන් දැවෙන මුහුණක් ඇති, මානසික රෝහලක ප්‍රතිකාර ලබන උන්මන්තකයෙකුට බොහෝ දුරට සමාන පෙනුමක් ඇති අයෙක්. අනාගත පරපුර නොව වර්තමාන සිංහල සහ මුස්ලිම් සමාජයේ බහුතරය පවා විවිධ හේතූන් මත එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ඉහත කී ආකාරයෙන් මවාගන්නටයි කැමති. ඒ අනුව ඔවුන් විසින් කියන ලියන ඉතිහාස කතා තුල එල්.ටී.ටී.ඊ සාමාජිකයා නිරූපණය වන ආකාරය සිතා ගැනීම අපහසු වන්නේ නැහැ.

වාර්තාගත වන සියළුම ඉතිහාස කතා පුවත් වාර්තා වන්නේ ඔවැනි පසුබිමක් යටතේ. එහිදී සැබැවින්ම සිදුවූයේ කුමක්ද යන්න මතකින් කිව හැකි පරම්පරාව සහ එම පරම්පරාවෙන් කතාන්තරයක් ලෙස සත්‍ය සිදුවීම ඇසූ පරම්පරාව මිය ගිය විට අනාගත පරපුරට ඉතිරි වන්නේ පෙරකී විකෘති වූ වාර්තාගත ඉතිහාසය පමණයි. 

විසංයෝජනීයව බැලීම

මෙය ලෝකයේ ඕනෑම ස්ථානයටක වාර්තාගත ඕනෑම ඉතිහාස කෘතියකට අදාළ වන නියාමයක්. ඒ හේතුවෙන් කියවන්නාට විකල්ප දෙකක් ලැබෙනවා. එකක් වාර්තාගත ඉතිහාසය සම්පූර්ණ සත්‍යය ලෙස ගැනීම. අනෙක වාර්තාගත ඉතිහාසය දෙස විසංයෝජනීයව බලමින් සැබෑවටම සිදුවන්නට ඇත්තේ කුමක්ද යන්න පිළිබදව විචාරශීලීව කල්පනා කිරීම. කෙසේ වෙතත් විසංයෝජනීයව වාර්තාගත ඉතිහාසය දෙස බැලූ පලියට සත්‍ය සිදුවීම අනිවාර්යයෙන්ම හෙළිදරව් වන්නේ යැයි කියන්නටත් බැහැ. එසේ හෙයින් බොහෝ ඉතිහාසඥයන් මෙන්ම වාර්තාගත ඉතිහාසයට යම් පදනමක් මත බැදුණු අය එය විසංයෝජනීයව කියවීමට කාලය යෙදවීම නාස්තියක් ලෙස හදුන්වන අවස්ථාත් තිබෙනවා. 

කෙසේ වෙතත් ඉතිහාසය දෙස විසංයෝජනීයව බැලීමේදී එක් ඉතිහාස වාර්තාවක් සමග සමකාලීන තවත් ඉතිහාස වාර්තාවක් සසදා බැලීම, ජනශ්‍රැතිය සමග සසදා බැලීම, භෞතික ඓතිහාසික සාධක සමග සසදා බැලීම, මෙන්ම රචකයාගේ සමාජ දේශපාලනික පසුබිම සළකා බැලීම සිදු කළ හැකියි. එහිදී අතීතයේ සිදුවූයේ කුමක්ද යන්න පිළිබදව සියයට සියයක් නිවැරදි චිතත්‍රයක් මවා ලැනීමට හැකියාවක් නොලැබුණද වඩා සත්‍යවාදී ආස්ථානයක් කරා යාමට හැකියාව ඇති බැවින් විචාරශීලී කියවන්නෙකු ලෙස ඉතිහාසය විසංයෝජනීයව කියවීම ඉතා වැදගත්. 

මහාවංශය

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අවධානයට ලක්වන ඉතිහාස ග්‍රන්ථය වන්නේ මහා වංශය. එය 5 වන සියවසේදී මහාවිහාරවාසී මහානාම තෙරුන්ගේ සමාරම්භයෙන් පවත්වාගෙන ආ ලේඛනයක්. එයට පදනම් කරගත් බව කියැවෙන්නේ සිංහල අට්ඨකතා, 3 වන සහ  4 වන සියවසේ රචනා වූ දීපවංශය සහ මුඛ පරම්පරාගත කරුණු. 

අට්ඨකතා

අට්ඨකතා ලෙස සැළකෙන්නේ පළමුව ප්‍රාකෘත භාෂාවෙන් පැවැතී ඉන්පසු සංස්කෘතයට සහ පාලියට පරිවර්තනය කරනු ලැබීමෙන් පසු වටහා ගැනීම අපහසු බවට පත්වූ බෞද්ධාගමික දහම් කරුණු පැහැදිලි කරගැනීම සදහා නිර්මාණය කරන ලද උපමා කතා වැනි යමක්. ඒවායේ හරය මගින් යම් දහම් කරුණක් පැහැදිලි කරන බව සත්‍යයක් වුවත් අට්ඨකතා වල අඩංගු කතාන්තර සියයට සියයක් සත්‍ය ඒවා වීමට ඇත්තේ දුරස් ඉඩක්. 

දීපවංශය

දීපවංශය සැළකෙන්නේ ශ්‍රී ලංකාවේ පැරණිම ඓතිහාසික වාර්තාව ලෙස. 3 වන සහ 4 වන සියවස් වල රචනා වූ බව කියන එයටත් පදනම් කරගත් බව කියවෙන්නේ අට්ඨකතා සහ වෙනත් මූලාශ්‍ර.  

බොහෝ කලකට පසු සිදුවන වාර්තාකරණය

විජය කුමරු ශ්‍රී ලංකාවට පැමිණි බව කියවෙන්නේ ක්‍රිස්තු පූර්ව 543-505 අතර කාල සීමාවක. මහා වංශය බුද්ධ කාලයෙන් ආරම්භ වී සිදුකරන විස්තරය ඒ අනුව අවම වශයෙන් එකී සිදුවූවා යැයි කියන සිදුවීම් වලට වසර 1000කටත් අධික කාලයකට පසු සිදුකරන වාර්තාකරණයක්. විජයාවතරණයට වසර 800කට පසු දීපවංශය ලියැවෙන්නේ. මහාවංශය ලියැවෙන්නේ එයින් වසර 1000කට පසු. 

කාලයත් සමග එන පරස්පරතා

උදෑසන අටට සිදුවූ යම් සිද්ධියක් සියයට සියයක් ඒ ආකාරයෙන්ම විස්තර කරන්න රාත්‍රි අටට ඔබට හැකි වෙනවාද කෙසේ වත් නැහැ. ඔබ කොතරම් හොද මතකයක් ඇති අයෙකු වුවත් ඔබට කුමක් හෝ කරුණක් අනිවාර්යයෙන්ම මගහැරෙනවා. ඔබේ විස්තරය අදාළ සිදුවීමට පැය 12කට පසු නොව ඒ මොහොතේම වුවත් යථාර්ථයට සර්ව සම වන්නේ නැහැ. 

නීතිඥවරුන් ලෙස අධිකරණ වලදී අප අත්දකින දෙයක් නම් යම් අපරාධයක් සිදුවූ වහාම එය දකින හෝ එයට ලක්වන සාක්ෂිකරුවකු ඒ පිළිබදව අපරාධය සිදුවූ දිනයේම පොලීසියට සිදුකරන ප්‍රකාශය සහ ඊට වසර දෙකකට පමණ පසු අධිකරණයේ සාක්ෂි කූඩුවට නැග දිවුරුම් පිට ලබාදෙන සාක්ෂිය බොහෝ අවස්ථා වලදී එකිනෙකට යම් ප්‍රමාණයකින් හෝ පරස්පර වන බව. වසර දෙකක් තුල එසේ සිදුවන්නේ නම් පරම්පරා 10කට වැඩියෙන් ඉකත් වී ඇති වසර 1000කට පසු ලියන වාර්තාවක් යථාර්ථයට කෙතරම් ආසන්න විය හැකිද යන්න නැවතත් විචාරශීලීව සිතා බැලිය යුතු වෙනවා.

මාර්ටින් වික්‍රමසිංහයන් මහාවංශය පිළිබදව මෙසේ ලියනවා:-

"මහාවංසය ඉතිහාසයක් නොව බුදුනු වීර කවියකි. එය හින්දුකාරයන්ගේ දෙවිවරුන්ගේ සාහසික වීරකම් වර්ණනා කෙරෙන වීර කව් කියවීමෙන් පිබිදුණු යතිවරයෙකුගේ නිර්මාණයකි. මහානාම හිමියන් එය හැදින්වූයේ "හුදී ජන පහන් සංවේගය උදෙසා" කළ රචනයක් ලෙසිනි. සංවේගය යන වදනට දම්පියා අටුවා ගැටපදය අරුත් කියන්නේ "අධර්මයට-පවට-බියවන නුවණ" නමිනි"

ඒ අනුව සැබැවින්ම ගත්කල මහාවංසය කතාන්තරයක්. බොහෝදුරට ප්‍රබන්දයක්. සියයට සියයක් නොවුණත් සැළකිය යුතු ප්‍රමාණයකට පරිකල්පනයෙන් ඌණ පූරණය කරන ලද්දක්.

මෑතකාලීන වාර්තාකරණයේ පක්ෂග්‍රාහීත්වය

මෑතකදී ජනතා අවධානය දිනාගත් ආරුමුගන් තොණ්ඩමන්ගේ මරණ ගෙදර උදාහරණයකට ගන්න. පවත්නා රජයට පක්ෂපාතී මාධ්‍ය එය වාර්තා කරන ලද්දේ කෙසේද? පවත්නා රජයට විරුද්ධ මාධ්‍ය එය වාර්තා කරන ලද්දේ කෙසේද? එය බොහෝ දුරට අන්ත දෙකක සිට සිදුකරන වාර්තා කිරීම් දෙකක් වුණා නේද? ඒ අනුව රාජ්‍ය අනුග්‍රහය ඇතිව ලියැවෙන මහා වංශයේ තොණ්ඩමන්ගේ අවමගුල ගැන කෙසේ සදහන් වනු ඇත්ද? එම නියාමයම අතීතයට අදාළ නොවන්නේද? 

මහාවංශය මහා විහාරය මගින් නඩත්තු කරන ලද ඉතිහාස ලියවිල්ලක්. ඒ අනුව ඔවුන්ට එදිරිවාදී අභයගිරි භික්ෂූන්ට හිතවත් යම් පුද්ගලයෙකු ගැන මහාවංශයේ සාධාරණ විස්තරයක් ඇතුලත් වන්නේ යැයි සිතීම බලවත් මුළාවක්. එමෙන්ම සිංහල බෞද්ධ සමාජයට විරුද්ධ සතුරෙකු පිළිබදව ලියන ලියැවිල්ල තුල එම සතුරා අපක්ෂපාතීව විශ්ලේෂණය කෙරේ යැයි සිතිය නොහැකියි. ඒ අනුව මෙම නියාමය ඔස්සේ ගැඹුරට යන්න ගියොත් මහාවංශය මහා අවිශ්වාසකටයුතු ලියවිල්ලක් යැයි හිතෙන්නටත් පුළුවන්. කෙසේ වෙතත් ඇතැම් ඓතිහාසික සිදුවීම් පිළිබදව ඇති එකම වාර්තාව එයයි. එසේ පවතින එකම වාර්තාව වන විට අතීත සිදුවීම් පිළිබදව නිදොස් වේවා සදොස් වේවා යම් චිත්‍රයක් හෝ මවාගැනීමට ඇති මූලාශ්‍රය මහා වංශය පමණක් වනවා. 

මහාවංශය නොවටිනා බවක් අදහස් නොවේ

මහාවංශය නොවටනා ලියවිල්ලක් බවක් මෙයින් කෙසේවත් අදහස් වන්නේ නැහැ. මහාවංශයට පමණක් නොව ශ්‍රී ලංකාවේ මෙන්ම ඕනෑම රටක ඕනෑම ඓතිහාසික වාර්තාවකට මෙම නියාමය එකසේ අදාළ වනවා. එබැවින් ඒ සියළු ලියවිලි විචාරශීලී පුද්ගලයන් කියැවිය යුත්තේ අවබෝධ කරගැනීමට උත්සාහ දැරිය යුත්තේ විසංයෝජනීය ප්‍රවේශයකින්. 

ඉතිහාසය වාසියට විසංයෝජනීයව කියවීම

නමුත් මෑත කාලීනව ශ්‍රී ලංකාවේ නව ප්‍රවණතාවයක් ඇති වුණා. ඒ වාර්තාගත ඉතිහාසය වාසියට විසංයෝජනීයව කියවීම. විශේෂයෙන්ම රාවණාවාදීන් වෙතින් මෙම ප්‍රවේශය ඉදිරිපත් වුණා. එහිදී රාවණා සංකල්පය විස්තර නොකිරීමෙන් මහාවංශය අවිශ්වාසකටයුතු ලෙසත් දුටුගැමුණු එළාර යුද්ධය ඇතුලු ශ්‍රී ලාංකීය යුධ වීරත්වය පිළිබදව විස්තර කෙරෙන ස්ථානයේදී එය පරම සත්‍යය ලෙසත් මේ පිරිස සළකනවා මෙන්ම එම යුධ වීරත්වයේ ගෞරවය රාවණා පරපුරෙන් පැවත එන සටන් කලාවන්ගේ ගිණුමට බැර කරනවා. මෙය ඉතිහාසය දෙස විසංයෝජනීයව බැලීමේ අන්තගාමී කපටි ප්‍රවේශයක් ලෙස හැදින්විය හැකියි. 

එමෙන්ම නිහාල් ද සිල්වාගේ අලිමංකඩ සිට පර්යේෂණාත්මක නවකතාවේ උතුරේ දෙමළ ජනතාව මහාවංශය ඉහත සදහන් පදනම මත යම් තාක් දුරකට ප්‍රතික්ශේප කරන බවත් උතුරේ සිංහල ජනාවාස පිළිබදව එහි සදහන් නොවීම මත විජයාවතරණයටත් පෙර සිට දෙමළ බස කතා කරන ජනතාව උතුරු කරයේ සිටි බවටත් වන තර්කයක් ඉදිරිපත් කරනවා. ඉන්දියාවට ඉතා ආසන්නයේ නාවුක ගමනාගමනය සිදුවන යුගයක මෙය අභව්‍ය කතාවක් නොවුවත් එය ඔවුන් බෙදුම්වාදී ස්ථාවරයකට පදනමක් ලෙස භාවිත කරනවා. ඒ අනුව එයත් ඉතිහාසය වාසියට විසංයෝජනීයව කියවීමක්.

මේ අනුව විසංයෝජනය පසෙකට දමා වාර්තාගත ඉතිහාසය එනයින් පිළිගැනීම සෑම අතින්ම හොද බව කෙනෙකුට සිතෙන්නට පුළුවන්. නමුත් මා පෞද්ගලිකව විශ්වස කරන ආකරයට දෙයක් ඇති සැටියෙන් දැකීමට උත්සාහ කිරීම එසේ දැකීම කළ නොහැකි අවස්ථාවක වුවත් හැකි උපරිම සීමාව දක්වා දෙයක් ඇති සැටියෙන් දැකීමට තැත්කිරීම විචාරශීලී සබුද්ධික මිනිසෙකුගේ ලක්ෂණයක්. එතැනදී ඉතිහාසය විසංයෝජනීයව කියවීම අතිශයින් වැදගත්.






Saturday, May 30, 2020

පුනරුත්පත්තිය හා පුනර්භවය

මෙම වචන දෙක බෞද්ධාගමිකයන් අතර අවබෝධයක් රහිතව වැඩියෙන්ම භාවිතා වන වචන දෙක ලෙස හැදින්වුවහොත් එහි වරදක් නැහැ. ජීවයේ ආරම්භයේ පටන් එකම පුද්ගලයා තැනින් තැන නවාතැන් පොළවල් කරගනිමින් එක් ජීවිතයකින් තවත් ජීවිතයකට ගමන් කරන බවක් බොහෝ අය විශ්වාස කරනවා. මරණයේදී ශරීරයෙන් නික්මෙන මනෝකායක් හෝ ආත්මයක් අවකාශයේ ගන්ධබ්බයෙකු සේ පාවෙමින් සිටිමින් තමාගේ වියෝව හේතුවෙන් ඥාති හිතමිත්‍රාදීන් හඩන වැළපෙන ආකාරය බලා සිටින බවත්  ඉන්පසු ලිංගික සංසර්ගය සිදුවන ස්ථානයකට වැද යුක්තානුවකට රිංගා ලැගුම්ගෙන නව ජීවයක් ලෙස ලෝකයට බිහි වන බවත් බොහෝ අය මහත් විශ්වාසයෙන් පවසනු මම අසා තිබෙනවා. එහි පදනම කුමක්ද විමසූ විට ඔවුන් වැඩි දෙනෙකුගේ පිළිතුර වන්නේ තමා බෞද්ධයෙකු බවත් එබැවින් පුනරුත්පත්තිය විශ්වාස කරන බවත්. 

අනාත්මවාදී බුදු දහම පුනරුත්පත්තියක් ගැන නොකියයි

නමුත් බුදු දහම කිසිදු ස්ථානයක පුනරුත්පත්තියක් ගැන සදහන් කරන්නේ නැහැ. බුදු දහමේ සදහන් වන්නේ පුනර්භවයක් පිළිබදව පමණයි. එනම් බුදු දහම අනාත්මවාදයක්. එනම් සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැතිය යන මතය. බුදු දහමේ පැහැදිලි කරන්සේ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම හා නැතිවීම මිස සත්වයෙකු හෝ පුද්ගලයෙකු හෝ ආත්මයක පැවැතීමක් ගැන නොවේ. සංස්කාරයන් මත විඥානයත් විඥානය මත නාමරූප එනම් සත්වයාත් හටගන්නා බවයි බුද්ධ දේශනාව. 

සංස්කාර-විඥාන-නාමරූප

ඒ අනුව බුදු දහමේ කියවෙන්නේ මරණයත් සමග ශරීරයෙන් නික්මෙන භූතයෙකු තවත් ගුහාවකට රිංගාගෙන නැවත මරණය තෙක් එහි ජීවත් වීමක් ගැන නොවෙයි. සංස්කාරයන් එනම් සත්වයන්ගේ කියුම් කෙරුම් සිතුම් හෙවත් මතු විපාක ඇති කරවන ධර්මතාවයන් මත විඥානයකුත් ඒ මත ජීවයත් හටගැනීම හෙවත් පුනර්භවය ඒ අනුව පුනරුත්පත්තියට වඩා බොහෝ සංකීර්ණ වූ සංකල්පයක්.

පුනර්භවය මැයෙන් පුනරුත්පත්තිය විස්තර කිරීම

බොහෝ බෞද්ධයන් බුදු දහමේ විස්තර කැරෙන්නේ පුනරුත්පත්තියක් නොව පුනර්භවයක් බව නොදන්නවා නොවෙයි. ඒත් ඔවුන් වැඩි දෙනෙකු පුනර්භවය යන වචනයෙන් එහාට දන්නේ නැහැ. ඒ අනුව පුනර්භවය පිළිබදව විමසූ විට ඔවුන් (ඇතැම් භික්ෂූන්ද  ඇතුළුව) පුනරුත්පත්තිය විස්තර කරනවා. එය සනාථ කරන්නට අසවලා පෙර උත්පත්තියක් පිළිබදව දෙඩවූ බවත් ඒ දොඩවමින් කියූ කරුණු සත්‍ය බව සනාථ වූ බවත් ඒ අනුව පුනර්භවයක් සනාථ වූ බවත් පවසනවා. එය හුදු නොදන්නාකම මත කරන ප්‍රකාශයක්.  

කලකට පෙර ජර්මනියේ ආඥාදායක හිට්ලර් ඔහුගේ මරණින් පසු උතුරු ඉන්දියාවේ රාහුල් ෂර්මා ලෙස උපත ලබා, නැවත මියගොස් ශ්‍රී ලංකාවේ බෙලිඅත්තේ ජීවන්ත ලෙස නැවත උපත ලබා සිටින බවක් පර්යේෂණයකින් ඔප්පු කරන්නේ නම් එයින් ඔප්පු වන්නේ බෞද්ධ ඉගැන්වීමට ඉදුරා පටහැණි ආත්මයක පැවැත්ම පිළිගන්නා හෙවත් ආත්මවාදී පුනරුත්පත්තියක් මිස පුනර්භවයක් නොවේ.

ඒ අනුව පුනරුත්පත්තිය සත්‍ය බව ඔප්පු වූ බව බෞද්ධයෙක් යම් හෙයකින් පිළිගන්නේද බුදු දහමේ කියැවෙන අනාත්මවාදය බොරු බව ඔප්පු වූ බවත් එම බෞද්ධයා එනයින්ම පිළිගන්නවා.  

යටි සිත අවධි කිරීම

මනොවිද්‍යාඥයින් ප්‍රකාශ කරන පරිදි මෝහනය කිරීමෙන් සිදුවන්නේ යටි සිත අවදි කිරීමක්. එහිදී මෝහනය සිදු කරන්නා යටි සිත අවදි කළද එකී යටි සිත ක්‍රියාත්මක වන ආකාරය ඔහුගේ පාලනයෙන් තොරයි. එවිට ඔහු අසන යම් ප්‍රශ්නයකට මෝහනයට ලක්වූ තැනැත්තා තමාගේ යටිසිතේ නොදැනුවත්වම රැදී තිබූ යම් යම් කරුණු පිළීතුරු වශයෙන් ලබා දිය හැකියි. පෙර ආත්මය ගැන මතකයෙන් කීම වශයෙන් සැබැවින්ම හදුන්වන්නේ මෙය නැවත නැවතත් සනාථ වූ කරුණක්. 

පුනරුත්පත්ති සංකල්පය ඇතිවීම

කර්මය හා එහි විපාක පිළිබදව විශ්වාසය බුදු දහම තුල පමණක් ඇතුලත් වූවක් නොවේ. එය හින්දු වැනි වෙනත් බොහෝ ආගම් තුල පිළිගන්නා දෙයක්. එමෙන්ම මැවුම්වාදය පිළිගැනීම තුල සර්වබලධාරියා හෝ මහා බ්‍රහ්මයා විසින් සියල්ල මවන ලද්දේය යන්න පිළිගැනෙනවා. එහිදී මවන ලද ශරීරයට ජීව හුස්ම පිඹීම පිණිස යම්කිසි අස්පර්ශණීය මායාවක්ද මවන ලද්දේය යන විශ්වාසය බොහෝ දෘෂ්ටිවාද තුල ඇතුලත්. 

ඒ අනුව සංසාර ගමන කර්මඵලය වැනි සංකල්ප පැහැදිලි කිරීමටත් මෙසේ ආත්මය යන ඒකකයේ පැවැත්ම පිළිගැනීමෙන් පහසු වෙනවා. ඒ අනුව පුද්ගල පැවැත්මකුත් ඔහු කරන කියන සෑම දෙයක්ම සර්ව බලධාරියා විසින් මතක තබාගැනීම, ලියාගැනීම හෝ පරිඝනක ගතකරගැනීම කරන බවත් පැහැදිලි කිරීම පහසු වෙනවා. පුනරුත්පත්තිය සංකල්පයක් ලෙස පිළිගැනීම බිහි වන්නේ ඒ අනුව. 

පුනර්භවය සංකීර්ණ සංකල්පයක්

නමුත් බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීම පුනරුත්පත්තියේ ඉහත කී සාපේක්ෂව බැංකු ගිණුමක ස්වභාවයේ සරළ පැහැදිලි කිරීමෙන් බොහෝ ඔබ්බට යනවා. පුනර්භවය යන්න වටහා ගැනීම සදහා සංස්කාර ධර්මයෝ, ඒවා හරහා විඥානය හටගන්නා ආකාරය  සහ ඒ මත නාමරූප හෙවත් ජීවය හටගන්නා ආකාරය වැනි අති සංකීර්ණ සංකල්ප මුළින් වටහාගෙන සිටිය යුතුයි. එසේ නොමැතිව පුනර්භවය යනු කුමක්ද යන්නවත් වටහා ගන්නට කෙනෙකුට බැහැ. ඇතැම් භික්ෂූන් ඇතුළුව අතිමහත් බහුතරයක් බෞද්ධයන් පුනර්භවය යන නම දමාගෙන පුනරුත්පත්තිය විස්තර කරන තැනට එන්නේ ඒ අනුව.

බුදුන් වහන්සේ පුනරුත්පත්තිය ප්‍රතික්ශේප කළා යැයි කීමට වඩා නිවැරදි වන්නේ බුදුන්වහන්සේ ආත්මවාදය ප්‍රතික්ශේප කළා යැයි කීම. පුනරුත්පත්තියක පැවැත්මට අත්‍යාවශ්‍ය ආත්මයක පැවැත්ම ප්‍රතික්ශේප කිරීම තුල පුනරුත්පත්තිය එනයින්ම ප්‍රතික්ශේප වෙනවා. 

පුනරුත්පත්තිය දෙදරවන නවීන විද්‍යාවේ සොයාගැනීම්

එමෙන්ම නවීන විද්‍යාව තුලින්ද පෙර දිවියක් ගෙවා මියැදුණෙකුගේ ගන්දබ්බයෙකු අවකාශයේ සිට හිටිගමන් සංසර්ගයක් මැද්දට පැන යුක්තානුවකට අරක්ගන්නේය යන ආත්මවාදී පුනරුත්පත්ති සංකල්පය සෙලැවීමට තුඩුදෙන සොයාගැනීම් සිදුකොට තිබෙනවා.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිවන් මුහුණුවර හා බමුණු දිට්ඨිය ග්‍රන්ථයේ එන 6 වැනි නිබන්ධනය වන "පුනරුත්පත්තිය සහ පුනර්භවය" තුල එවැනි උදාහරණ ගණනාවක් දක්වා තිබෙනවා. එහි දක්වා ඇති උදාහරණ අතර ගැඩවිලෙකු දෙකට කැපීමෙන් ගැඩවිලාගේ හිස පැත්තේ කැපුණු තැනින් වල්ගයකුත් වල්ගය පැත්තේ කැපුණු තැනින් හිසකුත් ලියැලීමෙන් ගැඩවිලුන් දෙදෙනෙකු බවට පත්වීම, කෘතිමව සංසේචනය කරන ගෙඹි බිජුවට යුක්තානු දෙකට මැදින් කෙස් ගසකින් කැපීමෙන් එය යුක්තානු දෙකක් බවට පත්වී ඉස්ගෙඩියන් දෙදෙනෙකු හැදීම, යුක්තානුව වෙන් නොවන සේ එහි මැදින් කෙස් ගසකින් බැද තැබීමෙන් අවයව දෙක බැගින් පිහිටි දෙබිඩි ඉස්ගෙඩියෙකු හැදීම වැනි උදාහරණ දක්වා තිබෙනවා. 

එමෙන්ම එයට ඉතාම ගැලපෙන උදාහරණයක් ලෙස ඇමීබාවා වර්ගයා බෝකරන ආකාරය ගත හැකියි. ඊට අමතරව ආගමික සංස්ථා වල විරෝධය මත දැනට නවත්වා දමා තිබුණත් ක්ලෝනකරණය මගින් මානවයන් පවා බිහි කිරීමට අවශ්‍ය තාක්ෂණය වර්තමාන ලෝකය සතුව පවතිනවා. 

මෙම නව සොයාගැනීම් මගින් ආත්මවාදය හෙවත් නිශ්චිත ඒකාත්මික ආත්මයක පැවැත්ම බොහෝ දුරට බිද වැටෙනවා. ජීවය යනු පදාර්ථ එක් වීමෙන් සැකසෙන්නක් මිස එයට ආත්මය නම් මායාමය හුස්ම පිඹීමක් අවශ්‍ය නොවන බවත් තහවුරු වෙනවා. ආත්මවාදය බිදවැටීම යනු පුනරුත්පත්තිවාදයද බිද වැටීමක්. බුදුන් පුනරුත්පත්තිය ප්‍රතික්ශේප කරමින් ඉදිරිපත් කළ පුනර්භවය සංකල්පය විද්‍යාත්මකව විශ්ලේෂණය කර එහි සත්‍ය අසත්‍යතාවය විමසීමට තරම් විද්‍යා ලෝකය තවමත් දියුණු වී නැහැ.  නමුත් පදාර්ථ එකතු වීම සහ සංස්කාර ධර්මයන් එක්වී විඥානය බිහිවීම සහ විඥානය හරහා නාමරූප බිහිවීම යන බෞද්ධ ඉගැන්වීම විද්‍යාවට අනුව පදාර්ථ එකතුවීමට දෙන වෙනත් මුහුණුවරක පැහැදිලි කිරීමක් ලෙසත් තර්ක ඉදිරිපත් වී තිබෙනවා.

පුනර්භවය විද්‍යාත්මකව සනාථ වීම නොවීම පසෙක තැබුවත් බුදුන්ගේ ධර්මය තුල හදුනාගන්නා සංකල්පය පුනර්භවය මිස පුනරුත්පත්තිය නොවන බව අවධාරණය කළ යුතුයි. ඒ අනුව ඇතැම් බෞද්ධයන් නොදන්නාකම මත පුනර්භවය යන මාතෘකාව යටතේ පුනරුත්පත්තිය විස්තර කිරීම අතිශයින්ම සදොස් බවත් එය බුදුන්ගේ අනාත්මවාදයට සම්පූර්ණයෙන්ම පටහැණි හින්දු හෝ වැදි මූලයකින් එන දෘෂ්ටිවාදයක් කරපින්නා ගැනීමක් බවත් පෙන්වා දිය යුතු වෙනවා.

සමලිංගිකයින් සහ නපුංසකයින්


සමලිංගිකත්වය ලෙස සැළකෙන්නේ තමන්ට සමාන ලිංගිකයෙකු වෙත ඇතිවන ලිංගික ලැදියාව. එය ස්වභාවික මානසික පැවැත්මක් ලෙස නූතන මනෝ විද්යාව හඳුනා ගන්නවා. එයට හේතුව මොළයේ ජෛව රසායනික තත්වය හෝ සමාජ අත්දැකීම් විය හැකියි. සහේතුක සබුද්ධික මිනිසුන් සමලිංගිකත්වය හඳුනා ගන්නෙත් විරුද්ධ ලිංගික ආකර්ශනය මෙන්ම සාමාන්ය සංසිද්ධියක් වශයෙන්. නමුත් ලිංගිකත්වයේ දෘඪ හරය වන ජීවයේ පැවැත්ම සඳහා වර්ගයා බෝකිරීමේ ක්රියාවලියට සතුන් තුළ පෙළඹවීමක් ඇති කිරීම යන අරමුණත් සමඟ සමලිංගිකත්වය ගැලපෙන්නේ නැහැ. නමුත් පුද්ගල ආශාවන් යන්න ජිජ්සෝ ප්රහේලිකාවක් මෙන් නූලට අනෙකුත් සංසිද්ධීන් සමඟ ගැලපිය යුතුමද? මගේ පුද්ගලික අදහස එසේ නොවන බවයි.

මම එසේ කියන්නේ මන්ද? අද මානව සමාජයේ විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ලිංගික සබඳතා හැම එකක්ම සිදුවන්නේ වර්ගයා බෝකිරීම සඳහාද? නැහැ. සංඛ්යාත්මකව ගත්තොත් දවසකට සිදුවන ලිංගික සබඳතා වලින් 98%ක් පමණ වර්ගයා බෝ කිරීම නොව හුදෙක් ලිංගික තෘප්තිය සතුට ඉලක්ක කළ ඒවා. එවිට සමලිංගිකයන් පමණක් සතුට ඉලක්ක කිරීම අසාමාන්ය හෝ වැරදි වන්නේ කෙසේද?

එමෙන්ම විරුද්ධ ලිංගිකයින් දෙදෙනෙකු එකතු වී හෝ වර්ගයා බෝ කිරීමට අසමත් වන අවස්ථා තිබෙනවා. එවිට බොහෝ විට දෙදෙනාගෙන් සරු භාවය ඇති කෙනා වෙනත් කෙනෙකු සමග ලිංගිකව එකතු වී දරුවෙකු ලබාගැනීම, ශුක්රාණු මිළට ගෙන ගර්භාෂයේ කෘතිමව තැන්පත් කරගැනීම හෝ උපන් දරුවෙකු දරුකමට හදා ගැනීම සිදුකරනවා. සමලිංගික යුවළකට වුවත් ඒ අයුරින් දරුවන් ලබාගැනීමට හැකියාව තිබෙනවා පමණක් නොවෙයි බොහෝ රටවල එසේ සිදු කෙරෙනවා.

පසුගියදා ෆින්ලන්තයේ අගමැති ධුරයට පත් ලොව ලාබාලම අග්රාමාත්යවරිය වන Sanna Marin ට සිටින්නේ කාන්තා දෙමාපියන් යුවළක්. ඇය කාන්තා සමලිංගික පවුලක දරුවෙක්. අපි තවම මග සිටිමින් යල්පැනගිය පසුගාමී අහේතුක සදාචාර විධි කරපින්නාගෙන ඒවා බිම තැබීමට බැරිබව කියමින් තර්ක විතර්ක කරමින් සිටියදී ලෝකය පටු භේද පසෙක තබා අප පසුකර බොහෝ දුර ගොස් අවසන්.

නපුංසකබව යන්න ජෛව රසායනික ඵලයක්. එය පාලනය කිරීමට බොහෝදුරට නපුංසකභාවය දරණ තැනැත්තාට හැකියාවක් ඇත්තේනැහැ. නමුත් නපුංසකයින් සාමාන්ය ස්ත්රී පුරුෂයින් මෙන් සමාජයේ සුලභ නැහැ. ඒ හේතුවෙන් සමාජයේ හැසිරීමේදී ඔවුන් කෙරෙහි විශේෂ අවදානයක් යොමු වෙනවා. ඒක බොහෝ විට අපහාසාත්මක එකක්.

ආගමික ඉගැන්වීම් බොහොමයක සමලිංගිකත්වය පාපයක් ලෙසත් නපුංසකභාවය පාපී ආත්මභාවයක ප්රතිඵලයක් ලෙසත් හඳුනාගැනෙනවා. තවත් සමහර ආගමික විශ්වාස තුල සමලිංගිකයින් නපුංසකයින් හඳුනා ගැනෙන්නේම නැහැ. ඒවා එවැනි පුද්ගලයන් නොමැති බව සළකා දේශනා කොට තිබෙනවා වැනියි. එවිට ඔවුන් බොහෝ දුරට ආගමික ඉගැන්වීම් තුල එක්කෝ පවුකාරයින් ⁣වනවා. නැත්නම් සර්වබලධාරියාගේ මැවීමට පටහැණිව නිර්මාණය වූ අපතයන් බවට සැළකෙනවා.

මේ තත්වය තුල සමලිංගිකත්වයට කැමති එසේ විවෘත සමාජයේ ජීවත් වීමට කැමති බොහෝ දෙනෙකු සහ නපුංසකයින් සාම්ප්රදායික ආගමික සංස්ථා වලින් දුරස්ව තම තමන්ගේ ජීවිත ගත කරන්නට පෙළඹෙනවා. නමුත් ඔවුන් අවබෝධයෙන් නිරාගමිකයන් වී ඇති බවක් එයින් අදහස් වන්නේ නැහැ. එය ඕනෑම සත්ත්වයෙකු දක්වන අප්රසන්න ස්ථානයකින් විතැන් වීමේ ප්රතිවිපාකය.

ආගමික සමාජය තුල සැබැවින්ම සමලිංගිකත්වයට ප්රායෝගිකව ඇත්තේ දෙබිඩි පිළිවෙතක්.

ඇතැම් භක්තිමත් ආගමිකයන් තමාගේ ආගමේ ඉගැන්වීමට ඇති බිය මත තමා තුල ස්වභාවයෙන් පැන නගින සමලිංගික ලැදියාව බලහත්කාරයෙන් යටපත් කරගනිමින් ජීවිත කාලය පුරා අතෘප්තිකර ලිංගික ජීවිතයක් ගෙවා මිය යනවා.

ආගමික පූජක තනතුරට පත්ව බ්රහ්මචාරීත්වය අනිවාර්ය කෙ⁣රුණු ඇතැම් අය සැබැවින් ස්වභාවිකව තමන්ට සම ලිංගික ලැදියාවක් නැතත් ස්ත්රී වේවා පුරුෂ වේවා දෙකෙන් ඕනෑම එකක ලිංගික ස්පර්ශය බලාපොරොත්තුවෙන් සමලිංගිකත්වය වෙත යොමු වනවා දැකිය හැකියි.

දෙවැනි ලෝක යුද්ධයේ ජර්මනියේ එනිග්මා කේත ක්රමය විසඳු ඇලන් ටූරින් නැමැති විද්යාඥයා සම්බන්ධ අත්දැකීම, ලෝකයේ සමලිංගිකත්වය සම්බන්ධයෙන් පැවැති සාම්ප්රදායික චින්තනය සදොස් බවට උදාහරණයක්. අනෙක් පුද්ගලයාගේ අයිතීන් ගරු කරන පුද්ගලයෙකු ලෙස ඔහුගේ හෝ ඇයගේ ලිංගික ලැදියාව තමාගේ ප්රශ්නයක් කොට ගැනීමකින් තොරව එය පෞද්ගලිකත්වයට ලඝු කිරීම නූතන ලෝකයේ ප්රවණතාවය වනවා.

එයින් වාසි දෙකක් සැළසෙනවා. එකක් සමලිංගිකයින් සහ නපුංසකයින්ගෙන් ලෝක ප්රගමනයට ලබාගතහැකි උපරිම දායකත්වය ලබාගැනීමට ඒ හරහා ඉඩ සැළසීමයි. අනෙක පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයේ ඇති මහිමය කෙතෙක් විය යුත්තේද යන්න නැවත නැවතත් අවධාරණය වීමයි.

Friday, May 29, 2020

පෙරිය අයියර් සහ සින්න අයියර්

ආරුමුගම් තොණ්ඩමන්ගේ මරණයත් සමගම ශ්‍රී ලංකාවේ දේශපාලනයේ වැඩි දෙනෙකුගේ අවධානයට කළකින් යොමු නොවූ පැතිකඩක් නිරාවරණය වන්නට විය. ඒ වතුකරයේ දේශපාලනයයි. ඇතැමෙක් මවිතයෙන්ද ඇතැමෙක් ආහ්ලාදයෙන්ද ඇතැමෙක් ජුගුප්සාවෙන්ද ඒ දෙස බලා සිටිනු දුටුවෙමි. නමුත් වතුකරයේ දේශපාලනය කුමක්ද එය රටේ අනෙකුත් ප්‍රදේශ වල දේශපාලනයෙන් වෙනස් වන්නේද යන කාරණය විමසා බැලීමට මීට වඩා උචිත අවස්ථාවක් නැවත නොඑනවා ඇත.

වතුකරය කී පමණින් නිල්වන් තේ වතු යායවල් අතර පිහිටි අපිරිසිදු කුඩා ගොඩනැගිලි වල එක පොදියට සිය ගණනින් ජීවත් වන අපිරිසිදු පෙනුමැති කාලවර්ණ මිනිසුන් සිහිවීම නොවැලැක්විය හැකිය. ඒ වතු කම්කරුවන්ය. වඩාත් අඩු වැටුපකට වතු සමාගම් වල නිල නොවන වහල් මෙහෙය සදහා ඉන්දියාවෙන් ගෙන ආ කුල හීන දුගී දුප්පත් මිනිසුන්ය. නිල වශයෙන් අවසාන වරට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ විදේශ මිනිසුන් ප්‍රජාවය.  

ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රජාවන්ට සාපේක්ෂව වතු කම්කරුවන් සම්බන්ධයෙන් අනුගමනය කැරෙන්නේ වෙනස් ප්‍රතිපත්තියකි. ගම් මට්ටමේ වුවද සාමාන්‍ය කම්කරුවෙකුගේ දිනක වැටුප රුපියල් දෙදහසක් පමණ වේ. ඒ ගණනටද කම්කරුවාගේ සේවය ලබාගැනීමට ඔහුට සතියකටවත් පෙර දැනුම් දී දිනයක් වෙන්කරවාගත යුතුය. දෙදහසට අඩුවෙන් දීමට හෙට්ටු කිරීම වනාහි වැඩක් කරවාගැනීමට කම්කරුවෙකු නැතිවන වැඩකි. 

රටේ සාමාන්‍ය තත්වය එසේ තිබියදී 2019 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම බවට පත්වන්නේ ඔවුන්ගේ දිනෙක වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමා ගැනීමය. එකම රටක කම්කරුවන් දෙකොටසකට මේ අයුරින් ඉරණම් දෙකක් අත්වූයේ කෙසේද?

එයට පිළිතුරු ගණනාවක් ඇත. එකක් නම් තේ කර්මාන්තයේ ස්වභාවයයි. ශ්‍රී ලංකා තේ හෙවත් සිලෝන් ටී ලෝකයේ ප්‍රචලිත වී ඇත්තේ සාපේක්ෂව ගුණත්වයෙන් ඉහළ තේ විශේෂයක් වශයෙනි. එසේ වුවද ලෝක වෙළෙදපොලේ ඉල්ලුම පවත්වා ගැනීම සදහා අනෙකුත් රටවල තේ සමග තරගකාරී මිළකට තේ අලෙවි කිරීමට සෑම විටෙකම මූලිකත්වය ලබාදීමට සිදුවේ. ඒ අනුව තේ කිලෝවක් සදහා වැය කිරීමට සිදුවන පිරිවැය අවම කරගැනීම සෑම තේ නිෂ්පාදන සමාගමකම අභිප්‍රාය වේ. ඒ අනුව ශ්‍රම පිරිවැය හැකිතාක් අඩු මට්ටමක පවත්වාගෙන යෑම ලෝක වෙළෙදපොලේ ලංකා තේ මිළට සැළකිය යුතු අන්දමින් බලපාන බවත් ශ්‍රම පිරිවැය අධික වීමෙන් ශ්‍රී ලංකා තේ කර්මාන්තය කඩා වැටීමේ ඉඩක් පවතින බවත් තේවතු හිමියෝ පවසති. 

මෙම තත්වය යම්තාක් දුරකට අතීතයේ පටන්ම දේශපාලන අධිකාරිය විසින්ද අනියමින් පිළිගත්තා සේය. තේවතු කම්කරුවන් රටේ අනෙකුත් කම්කරුවන්ගෙන් වෙනස් වන බවත් ඔවුන්ට එතරම් සැළකිල්ලක් දැක්වීම අනවශ්‍ය බවත් ශ්‍රී ලංකා දේශපාලන අධිකාරියේ බලයට පත් සෑම පක්ෂයකම අප්‍රකාශිතව ප්‍රතිපත්තිය වූ බව පෙනේ. 

නමුත් දියුණු වන ලෝකයත් සමග ජීවන බර දරා ගැනීමට නොහැකි වූ තැන කම්කරුවන් වුවද ඊට තමන් මත පැටවෙන අසාධාරණයට එරෙහිව පෙළ ගැසීම අතිශය ස්වභාවික සංසිද්ධියකි. තොණ්ඩමන්වරු ආදේශ වන්නේ කම්කරුවන් අතර එවන් අරගලයක මෙහෙයවන්නාගේ භූමිකාවටය. ශ්‍රී ලංකාවේ දේශපාලනය යනුවෙන් හදුනාගන්නා ව්‍යාපාරය සිදුකරන මුදලාලිවරු වශයෙන් ඔවුන්ද තමන්ට ඡන්දය දෙන ජනතාවට ඔවුන් වෙනුවෙන් කැපවන බව අගවමින් ඔවුන් වෙනුවෙන් මහා මෙහෙවරක් ඉටුකරන බව පෙන්වමින් අනෙක් පැත්තෙන් සුඛෝපභෝගීව වැජබෙති. පසුකාලීනව බිහිවන දිගම්බරම්ලා රාධක්‍රිෂ්ණන්ලා සහ වඩිවේල් සුරේෂ්ලාගේද තත්වය එයයි.

ඒ අනුව ලංකා කම්කරු කොංග්‍රසය වතු කම්කරුවනගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින දේශපාලන පක්ෂයක් ලෙසත් එක් අයුරකින් වතු කම්කරුවන්ගේ එකම ගැලවුම්කරුවා ලෙසත් හදුන්වනු ලැබීම අපේක්ෂිතය. නමුත් සැබෑ තත්වය එය වන්නේද යන්න පිළිබදව ඇතිවන්නේ බලවත් සැකයකි. 

වතුකරයේ කම්කරු නිවාස ආශ්‍රිතව ඇවිද බලන ශ්‍රී ලංකාවේ වෙනත් ඕනෑම ප්‍රදේශයක ඕනෑම ජීවන මට්ටමක අයෙකු වුවද මහත් පුදුමයට පත්වීම නොවැලැක්විය හැකිය. එකී නිවාසවල සහ ඒවායේ ජීවත් වන්නන්ගේ ජීවන තත්වය ඇත්තේ එතරම්ම පහත් අගාධ මට්ටමකය. මූලික අවශ්‍යතා ස්වල්පය සපුරාගැනීම පවා ඔවුනට ඉතා බරපතළ අභියෝගයකි. එය දිනපතා මුහුණදෙන අභියෝගයකි. අසනීපයක් හෝ වෙනත් හේතුවක් මත දවසක් වැඩ කිරීමට නොහැකි වීම යනු දස දෙනෙකුටට පමණ දවසක් නිරාහාරව සිටීමට සිදුවන අන්දමේ අභියෝගයකි. ලෝකය තොරතුරු තාක්ෂණය දිග්විජය කරද්දී පියාගේ අසනීපය මවගේ අසනීපය හේතුවේ පුතාට දුවට පාසල් ගමන නවතා තේ වත්තේ වැඩට යාමට සිදුවන තරම් අන්ත ඛේදනීය අභියෝගයකි.

ශ්‍රී ලංකාවේ සියළුම කම්කරුවන්ගේ තත්වය පොදුවේ සතුටුදායක නැත. නමුත් අන් සෑම ක්ෂේත්‍රයකම කම්කරුවන් තම වෘත්තීය සමිති හරහා යටත් පිරිසෙයින් අවම ජීවන තත්වයක් ලබාගැනීමට හෝ සමත් වෙද්දී වතු කම්කරුවන්ට 2019දීත් දිනකට රුපියල් දහසක් යන්න සටන් පාඨයක් වන්නේ කෙසේද? ඒ සටන් පාඨයට පිළිතුරක් ලෙස දහසක් දීමට නොහැකි බවත් අටසියයක් දීමට හැකි බවත් අසන්නට ලැබුණි. ඒ අනුව දිනක වැටුප රුපියල් අටසියයටත් අඩු එකකි. 

මෙම ඛේදජනක වාතාවරණය නිරීක්ෂණය කළ පසුගිය මහ මැතිවරණයට තරග කළ මාගේ එක්තරා මිතුරෙකු පවසා තිබුණේ ඔහු වතු කම්කරුවන් ගැන දන්නා තම සහයකයන්ගේ විරෝධය මධ්‍යයේ  වතු කම්කරුවන්ට අධ්‍යාපනයේ වටිනාකම පිළිබදව පහදා දීමට උත්සාහ දැරූ බවත් ඒ සියල්ල ගගට කැපූ ඉණි මෙන් වූ බවත්ය. වතුකම්කරුවාගේ දේශපාලන අපේක්ෂාවන් ඒ අනුව ඇත්තේ වෙනම තැනකය. 

එය එදා වේල සොයාගැනීම විය හැකිය. ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් ලබාගැනීම විය හැකිය. ලෙඩට දුකට ඖෂධ ලබාගත හැකි රෝහලක් විය හැකිය. පානීය ජලය විය හැකිය. නමුත් එය අධ්‍යාපනයේ වැදගත් කම යන මාතෘකාවට පැමිණීමට තව බොහෝ දුර තිබෙන බව පෙනේ. 

මෙය බැලු බැල්මට ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ වල දේශපාලන පරිසරයන්ගෙන් සැළකියයුතු ලෙස වෙනස් තත්වයක් යැයි පෙනේ. නමුත් සැබැවින්ම එය ගැටළුවේ වෙනසක්ද? එසේත් නැතහොත් ගැටළුවේ පරිමාණයේ පමණක් ඇති වෙනසක්ද?

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රධාන දේශපාලන පක්ෂ වල පැවැත්ම සැළකිය යුතු ලෙස ඔවුන්ගේ ඡන්ද දායකයන්ගේ අසරණකම මත පදනම් වේ. ඔවුන්ට පිං පඩි අවශ්‍ය වූ තරමට, සමෘද්ධි සහනාධාරය අවශ්‍ය වූ තරමට, ගෙදර දුවට පුතාට කුමක් හෝ රැකියාවක් ලබාගැනීමට මන්ත්‍රීවරයාගේ සහය අවශ්‍ය වූ තරමට එකී පක්ෂ වල දේශපාලකයින්ගේ පැවැත්ම තහවුරු වේ.  

සාමාන්‍ය ගැමි ඡන්ද දායකයා දේශපාලනය යනු අපි මන්ත්‍රීතුමාට ඡන්දය දෙන, ඊට ප්‍රතිඋපකාරයක් ලෙස මන්ත්‍රීතුමා අපේ දරුවන්ට රස්සා දෙන. පාර හදා දෙන, සහනාධාර දෙන එකක් ලෙස සිතා සිටි තරමට ඔවුන්ගේ දේශපාලනය පහසු වේ. මන්ද ඔවුන් සැබැවින්ම දන්නේ දේශපාලනය නොව ගණු දෙනු ගහණ ව්‍යාපාර ක්‍රමයයි. යමක් සිදුකිරීමේ මූල්‍ය හෝ වෙනත් ලාභයක් නොමැත්තේ නම් එයට අත ගසන්නේ ඉතා කළාතුරකිනි. 

යම් අධ්‍යාපන මට්ටමක් ඇති අය ජීවිතයේ නැගී සිටීම සදහා ප්‍රදේශයේ දේශපාලනඥයාගේ අධාර උපකාර අත්‍යාවශ්‍ය ලෙස නොසළකති. එබැවින් දේශපාලකයා අවශ්‍ය වන්නේ සැළකියයුතු අධ්‍යාපන මට්ටමක් ශක්තියක් නොමැති අයටය. ජනතාව ක්‍රම ක්‍රමයෙන් දැනුමෙන් සන්නද්ධ වීම අතමිට සරු වීම සැබැවින්ම සාම්ප්‍රදායික දේශපාලනඥයාගේ අවශ්‍යතාවය සැළකිය යුතු ලෙස දුරස් කරන්නකි. ප්‍රදේශයේ ජනතාව උගත් කමින් උසස් වූ කල ඔවුන් බොහෝ විට සුළු සේවක රැකියාවක් සදහා දේශපාලනඥයාගේ දෙපතුල් ලෙවකනවා වෙනුවට පාර හදා නැති වීම මත හෝ පාර හදා වසරකින් දෙකකින් වළවල් මතුවීම හේතුවෙන් දේශපාලනඥයාට බැණ වදී. ඔහුගේ ප්‍රතිපත්ති විවේචනය කරයි. පිළිතුරු දීමට අපහසු ප්‍රශ්න යොමු කරයි. දේශපාලනඥයාගේ ක්‍රියා කළාපයන් ගැන විවිධ ස්ථාන වලට පැමිණිලි කරයි. 

ඒ අනුව සාම්ප්‍රදායික දේශපාලනඥයාගේ පැවැත්ම සරි වන්නේ ශක්තිමත් උගත් ජනතාවක නියෝජිතයා වීමෙන් නොව දුබල බෙලහීන නූගත් ප්‍රජාවක නියෝජිතයා වීමෙනි. ඔවුන් සෑම අවශ්‍යතාවයකටම තමා සොයා එන්නේ තමා වැදගතෙකු වන්නේ ඔවුන් අසරණ වූ තරමට සාපේක්ෂවය. 

වතුකරයේ කම්කරුවන් සම්බන්ධයෙන් පමණක් නොව ලංකාවේ සෑම ප්‍රදේශයකම තත්වය මෙයයි. දේශපාලකයා විසින් ජනතාවගේ දුබල බව දිගින් දිගටම නඩත්තු කරයි. එයින් තෝරාගත් කිහිප දෙනෙකුට පමණක් යම් සාර්ථකත්වයක් ලබා ගැනීමට අතහිත සපයයි. ඒ කිහිප දෙනා අදාළ දේශපාලකයා වෙනුවෙන් ඔහුට ඡන්දය දෙන ප්‍රජාවගේ තත්වය වඩාත් යහපත් නොවන බවටත් මාරාන්තික තරමට අයහපත් නොවන බවටත් වගබලාගනිති. ප්‍රජාව දේශපාලනික දැනුමින් සන්නද්ධ කිරීමට අධ්‍යාපනයේ වටිනාකම කියාදී ජීවිතයේ වෙනත් තලයන්හිදී ලැබිය හැකි ජයග්‍රහණ පෙන්වා දීමට යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් තැත්කරයිද ඔවුන්ට එක්කෝ තලා පන්නති. නැතිනම් දේ‍රා්හී හංවඩුවකට යටත් කර අවලංගු කර දමති.  

ඒ අනුව ගත් කළ වතුකම්කරුවන් සහ ශ්‍රී ලංකාවේ අති මහත් බහුතරයක් සෙසු ජනතාව සිටින්නේ එකම සිර ගෙයක මට්ටම් දෙකකය. අදාළ වන්නේ එකම න්‍යාය සහ එකම නීතියයි. නමුත් බැලු බැල්මට ගත්කළ වතු දේශපාලනය යනු වෙනම සංස්කෘතියක් බවත් එය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දේශපාලනයට වඩා පහත් මට්ටමක පවතින එකක් බවත් සිතන එකී න්‍යායන් මතම සිරගතවූ සාමාන්‍ය පුරවැසියා වතු කම්කරුවා දෙස බලා විමතියට පත්වීම ජුගුප්සාවට පත්වීම උත්ප්‍රාසජනකය. 

අද අවසන් ගමන් ගිය සෞම්‍යමූර්ති ආරුමුගම් රාමනාදන් තොණ්ඩමාන් තම මුත්තණුවන් වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ ඇවෑමෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයට පත්වූ පුද්ගලයා හෙවත් වතුකරයේ ඔටුණු නොපලන් රජු විය. ඔහුට දරුවන් තිදෙනෙකි. ඉන් දියණියන් දෙදෙනා වෛද්‍යවරුන්ය. සමාජ ජාලා ඔස්සේ කතා බහට ලක්වී ඇති අනෙක් පුතු බැරිස්ටර්වරයෙකි. බෑණා තේවතු හිමියෙක් බව පැවසේ.

ශ්‍රී ලංකාවේ අනෙකුත් දේශපාලන පවුල් වල තත්වයත් මෙය නොවන්නේද? ඔවුනට ඡන්දය දී ඉහළට ඔසවා තබන සාමාන්‍ය පුරවැසියා අපා දුක් විදිද්දී එම ඡන්දය මත වරප්‍රසාදිත තත්වයට පත්වන දේශපාලකයින් පරම්පරා පිටින් ප්‍රකෝටිපතියන් බවට පත් නොවන්නේද ඉතින් ආරුමුගම් තොණ්ඩමන්ගේ කියා ඇති වෙනස කුමක්ද? ඔහුගේ දේහය පාර දිගේ ගෙන යද්දී එයට වැදීමට තේ දළු කූඩය පසෙක තබා පාර අයිනට එන සෙරෙප්පු දෙකක්වත් නැති ලෙච්චමී රන්සිවිගෙයෙහි අවසන් ගමන් යන පෙරිය අයියර් වෙනුවෙන් කදුළු සලා සුඛෝපභෝගී ජීප් රථයේ සන් රූෆයෙන් පිටතට පෙනෙන සේ නැගිට මාරුවෙන් මාරුවට අත වනමින් ආයුබෝවන් කියන සින්න අයියර්ට අත වනා ආපසු ගොස් තේ කූඩය පිටෙහි බැදගෙන වැඩට යයි. අනෙක් ප්‍රදේශවල දියුණු අවබෝධයෙන් පිරුණු අභිමානවත් යැයි උතුම් ලේ ඇතැයි අමිශ්‍ර ජාන ඇතැයි කියාගන්නා කී දෙනෙකු එකී වතාවත ඔය අයුරින්ම ඉටුකරත්ද?



Thursday, May 28, 2020

නාගයින් හා බැඳුණු මිත්‍යා මත


"සර්පයෙක් ආවා. පොල්ලක් අරන් දුවගෙන ගිහින් බැලින්නං නයෙක්. ගහන්න බෑනෙ. පළයං පුතා කියල හොඳින් කිව්වම විනාඩි 10කට විතර පස්සෙ ඌ ගියා"
මේ කතාව ලංකාවෙ ගොඩක් අයට අහල හුරු පුරුදු ඇති. ගොඩක් අය නයෙක් හම්බ වුණාම කටයුතු කරන්නෙත් මේ ආකාරයට වෙන්න ඇති. ඒත් ඇයි එහෙම වෙලා තියෙන්නෙ?

ප්‍රධාන වශයෙන් බෞද්ධ සාහිත්‍යය තුල එන සත් සතියේදි බුදුන් වර්ෂාවෙන් ආරක්ෂා කළ බව කියවෙන්නෙ මුචලින්ද නාග රාජයා. එ නිසා බොහෝ බෞද්ධයන්ට නයෙක් දැක්ක ගමන් පේන්නෙ මුචලින්දව. ඒ හේතුවෙන් වෙන සර්පයින්ට පොල්ලක් අරන් සම්බෝල වෙන්න පතබාන මිනිස්සු නයා දැක්කම පළයං පුතා කියනව.

නෛයඩි වන්නමේ තියනව මෙහෙම:-

ඉපිද ඒ බෝසත් නා ලොව වාරෙක
පැහැද රකිති සිල් නරළොව වනයක
බෝ වද දෙමින් අල්ලා අහිකුණ්ඨික
පැසද ලමින් නටවා දුක් දී නෙක

මේ ඇත්තටම බෞද්ධ දර්ශනයේ මූලික ඉගැන්වීමට පවා පටහැණි දෙයක්. බෞද්ධ දර්ශනයේ පොදුවේ ප්‍රාණඝාතයෙන් වලකින්නට කියනවා මිස අවස්ථානුකූලව එක් සත්ව විශේෂයක් මරා තවත් සත්ව විශේෂයකට ඇති බැඳියාවක් මත පදනම්ව අල්ලස්මය වරප්‍රසාද දෙන්න කියා නැහැ.

ඒ වගේම ශ්‍රී ලංකාවේ අතීතයේ වාසය කළ නාග ගෝත්‍රිකයන් පිළිබඳව ඇති ජනප්‍රවාදත් නාගයාට දක්වන විශේෂ සැළකිල්ලට හේතුවක්. ඒ ජනප්‍රවාද වල යම් සත්‍යයක් ඇත්තේ යැයි ගත්තත් නාග ගෝත්‍රිකයන් යන්නෙන් නාගයන් අදහන නාගයා මූලික කරගත් සංස්කෘතියක් සහිත මිනිසුන් කණ්ඩායමක් අදහස් වූවා මිස සැබැවින්ම නාගයන් නාග වේශයෙන් මිනිසුන් සමඟ කතාබහ කළ බව ගනුදෙණු කළ බව සිතීම මුළාවක්.

අනිත් හේතුව ප්‍රධාන වශයෙන්ම හින්දු ආගමික විශ්වාසය තුල නයාට ලැබිල තියන සුවිශේෂී ස්ථානය. ශ්‍රී ලංකාවෙ බෞද්ධාගමට පවා හින්දු ආභාසය ලැබිල තියනව. සංස්කෘතිය වුණත් හින්දු හැඩයත් එක්ක ඒකාත්මික එකක් බව පිළිගන්න වෙනව.

මූලිකවම හින්දු ඇදහිල්ල තුල එන ශිව දෙවියන් වාසුකී නම් නාගයා කර වටේ දමාගෙන ඉන්නව. ඇතැම් අවස්ථා වල විෂ්ණු දෙවියන්ගෙ රූපයත් අඹන්නෙ දරණ ගහගත්තු අධිශේෂා නම් නාග රාජයා මත නැගිලා ඉන්න විදියට. මීට අමතරව හින්දු දේව විශ්වාස තුල නාගයාට සුවිශේෂී ස්ථානයක් දීල තියන තැන් රාශියක් තියනව.

ඔය හේතුව මත ශ්‍රී ලංකාවෙ වුණත් බොහෝ දේවාල වල විෂ දළ කඩා හීලෑ කළ නාගයින් නිදැල්ලේ සිටින ආකාරය දකින්න පුළුවන්.

ඇත්තටම බැලුවොත් සිදුවන්නේ නාගයා කියන සතා තමන්ට ආහාර ලැබෙන සැළකිල්ල ලැබෙන ස්ථානයක ජීවත් වීමට පුරුදු වීමයි. එහි සතෙකුගේ සාමාන්‍ය ස්වභාවයක් මිස කිසිම හාස්කමක් නොවේ. හාස්කමකැයි කීමට නම් විෂ දළ නොසිඳින ලද වනයේ සිට ඇල්ලූ ගමන් නාගයෙකුත් ඒ සුරතල් හැසිරීම පෙන්විය යුතුයි.

නමුත් එසේ සිදුවන්නේ නැහැ.මෑතකදී කැළණි පන්සලට දාතු ගෙන ආවැයි කී නාගයා පවා අල්ලා ආරක්ෂිතව ප්ලාස්ටික් බෝතලයක දමා තබාගත්තා මිස පැවසෙන පරිදි නාග ලෝකයෙන් තානාපති දූත මෙහෙවරකට පැමිණි මිනිසා සමඟ අදහස් හුවමාරු කරගත හැකි නාගයෙකු ලෙස අතේ හෝ විවෘත පැසක තබාගෙන සිටීමට හෝ කරවටේ පටලවාගෙන සිටීමටවත් හාමුදුරුවන් හෝ කපුරාල ඉදිරිපත් වූයේ නැහැ.

ඒ අනුව සැබැවින්ම සිදුවන්නේ නාගයා දේව භූමියට ආශක්තව දෙවියන් සමීපයේ වාසය කිරීම නොව නිදහසේ ජීවත් වූ සතෙකු අල්ලා ඌට අනේකවිධ හිංසා පැමිණිවීමෙන් පසු හීලෑ කොටගෙන දේවාල භුමි වල ජීවත් වීමට සැලැස්වීම පමණයි.

භාරතයේ නාගයා ගුප්ත විද්‍යාත්මකව කොතරම් වැදගත් ලෙස සැලකූවාද යන්න ඔවුන්ගේ සාහිත්‍ය තුල පමණක් නොව ටෙලිනාට්‍ය චිත්‍රපට සාහිත්‍යය තුලින් පවා පේන දෙයක්. නාගීනා සහ ශ්‍රී ලංකාවේ සිංහලෙන් හඬකවා මෑතදී විකාශය වූ ප්රේම දඩයම පවා නාග සාහිත්‍යයට උදාහරණ.

ඇතැම් අය නාගයන්ගේ වර්ණය සහ ශරීර ප්‍රමාණය අනුවත් සුවි⁣ශේෂී බවක් දකිනවා. ඇතැම් තැනක කළු නාගයින් පූජනීය බව කියවෙද්දී තවත් තැනක සුදු නාගයින් පූජනීය බව කියවෙනවා. නාගයෙකුගේ ශරීර වර්ණය වෙනත් ඕනෑම සතෙකුගේ මෙන් ඌගේ ජාන වලට අනුන තීරණය වන දෙයක් මිස එයින් ඌගේ බුද්ධිමය ප්‍රභාව ප්‍රකාශ වන්නේ නැහැ.

සමහර අවස්ථා වල නිවාස ආශ්රිතව ජීවත් වීමට පුරුදුවූ නාගයින් ඒ නිවසේ සිට නිවසට හෝ දේපොළට ආශාවෙන් මියගිය ඥාතීන්ගේ පුනරුත්පත්තිය ලෙස සළකා උන්ට දිනපතා ආහාර බිත්තර පමණක් නොව ඇතැම් විට මත්පැන් පවා පිළිගන්වන අවස්ථා දකින්න ලැබෙනවා. නාගයෙකු යම්කිසි ස්ථානයකට හුරු වන්නේ වෙනත් ඕනෑම සතෙකු මෙන් ඌගේ පහසුව සළකා මිස වෙනත් අමුතු හේතුවක් මත නොවෙයි. ඌට දිනපතා එකම වේලාවට ආහාර ලබාදීමට පටන්ගතහොත් ඌද වෙනත් ඕනෑම සත්ත්වයෙකු මෙන් පුරුදු වෙලාවට ආහාර සඳහා එතැනටම පැමිණෙනවා ඇති. මෙය අතිශය සාමාන්‍ය හැසිරීමක් වගේම ඉතා භයානක දෙයක්. මන්ද දිනපතා ආහාර ගැනීමට පුරුදු වූ නාගයාගේ පවා විෂෙහි අඩුවක් නොවන බැවින්. විශේෂයෙන්ම නිවස අවට නයෙකු ගැවසීම යනු ඉතාම භයානක තත්වයක්.

නාගයාගේ පෙනුම ස්වභාවයෙන්ම අනෙක් සර්පයන්ට වඩා අභිමානවත් දැකුම්කළු එකක්. එමෙන්ම උගේ ගමන බිමන පවා ගැරඬියන්ගේ මෙන් වේගවත් කලබල සහිත නිවට එකක් නොව මදක් සන්සුන් එකක්. නමුත් එය නාගයා කියන සර්පයාගේ උත්පත්තියෙන් ලද ස්වභාවය මිස ඌ අනෙක් සර්පයින් මෙන්ම විෂ සහිත අණක් ගුණක් නැති සර්පයෙක්ය යන කරුණ වෙනස් වන්නේ නැහැ.

මෙම සටහනේ ආරම්භයේ සඳහන් කළ පාඨයේ මෙන් ඇතැමුන් නාගයන්ට "පුතා" යනුවෙන් ආමන්ත්‍රණය කරන අවස්ථා දැකිය හැකියි. නයාට කිසිඳු ආකාරයකින් පුතා යනුවෙන් කරන ආමන්ත්‍රණය ඇසෙන්නේ නැහැ. මන්ද භට අදාළ ඉන්ද්‍රියන් ඌ ස්වභාවිකවම පිහිටා නෑ. පොළව හා ස්පර්ශ වීමෙන් පොළවට දැනෙන කම්පන හඳුනාගන්නට පමණක් ඌට පුළුවන්. නමුත් නාගයින්ට පුතා යැයි ආදරයෙන් ආමන්ත්‍රණය කිරීමෙන් පසු එය අසා නාගයා පිටවී ගිය බවට දිවුරන්නට සූදානම් අය ඕනෑ තරම් සමාජයේ හමුවෙනවා.

නාගයෙකු මරා දැමුවොත් එම මරා දැමූ පුද්ගලයාගෙන් පලිගන්නට නාගයින් හත්දෙනෙකු එන බව නාගයින් සම්බන්ධ තවත් ජනකාන්ත මිත්‍යා කතාවක්. එහි විද්‍යාත්මක පසුබිම වන්නේ හැපින්නක පහර දී මරා දමන විට විරුද්ධ ලිංගික නාගයින් ආකර්ශනය කරගැනීමට ඌගේ ශරීරයෙන් නිකුත් වන ස්රාවයන් අඩංගු අවයවයට හානිවී එම ස්රාවයන් බාහිර පරිසරයට ගලා ගියොත් එහි සංවේදනයට ආකර්ශනය වී විරුද්ධ ලිංගික නාගයින් එම ස්ථානයට ඇදී ඒමට අවස්ථාවක් තිබීම පමණයි. සාමාන්‍යයෙන් නාගයෙකු පමණක් නොව ඕනෑම සර්පායෙකු මරා දැමීමෙන් පසු එම ස්ථානයේම පුළුස්සා දැමීමට හේතුව නාගයාත් සමගම එම ද්‍රව්‍යයන්ද විනාශ කිරීමයි.

ඒ අනුව නාගයා යනු අනෙක් ඕනෑම සත්වයෙක් මෙන්ම සුවිශේෂී සත්වයෙක්. ඌ අලංකාරයි, අභිමානවත්. ඒ සියල්ල ඌගේ ස්වභාවය මිස යම්කිසි අද්භූත හේතුවක් නිසා ඇතිවූ තත්වයන් නොවෙයි. වැදගත්ම දෙය නාගයා සතුව කුමන ලක්ෂණ පැවැතියද ඌ අධික විෂඝෝර සර්පයෙක්. මනුෂ්‍ය වාසය සහිත ස්ථාන ආශ්රිතව තබාගැනීම/ඉන්නට හැරීම ඉතාම අවදානම් සහගත මාරක විෂක් ඇති සර්පයෙක්. ඌට වන්දනාමාන කරමින් හෝ සාමාන්‍යකරණය කර⁣ගනිමින් ඉන්නට හැරීම ඉතාම භයානක ප්‍රතිඵල අත්කරදෙන්නට පුළුවන්.

නාගයා නොමරා ගැටළු විසඳාගන්නට පුළුවන් නම් එය වටිනවා. එය නාගයෙකුට විතරක් විශේෂ නෑ. වෙනත් ඕනෑම සර්පයෙකු හෝ සත්වයෙකු නොමරා ආරක්ෂාව තහවුරු කරගතහැකිනම් එය වටිනවා. එය හුදෙක් සතෙකුගේ ජීවිතය බේරීමේ අර්ථයෙන් මිස නාගයාගේ ජීවිතය බේරීමේ සුවිශේෂී වටිනාකමක් නැහැ.

එබැවින් නාගයෙකු හෝ වෙනත් ඕනෑම සර්පයෙකු මනුෂ්‍ය වාසයක් අවට සිට හමුවූ වහාම කළ යුතු හොඳම දෙය සර්පයන් ඇල්ලීමට පුහුණුව ලත් අයෙකු ගෙන්වා ඌව ආරක්ෂිතව අල්ලාගෙන මනුෂ්‍යවාසයෙන් තොර වනාන්තර ප්‍රදේශයකට ආරක්ෂිතව බැහැර කිරීම. එයින් සර්පයාගේ ජීවිතයට හානියක් නොවීමෙන් පරිසරයේ තුලනයට හානිවීම වලකිනවා. එමෙන්ම මිනිසුන්ගේ ආරක්ෂාවත් තහවුරු වෙනවා. එයයි හොඳම විසඳුම.

නමුත් සර්පයින් ඇල්ලීමේ පුහුණුව ලත් කෙනෙකු කැඳවාගැනීමට නොහැකි ඒ සඳහා කාල වේලාවක් නොමැති හදිසි අවස්ථාවක් නම් හොඳ නැවෙනසුළු පොල්ලකින් ප්‍රශ්නය අවසන් කිරීම තමයි දෙවැනි හොඳම විසඳුම.

විද්‍යාවේ සංකල්ප යල්පිනීම පිළිබඳව හේතුවාදී මතය

"නූතන විද්‍යාවේ අහවල් සංකල්පය බොරුවක් ලෙස ඔප්පු විය. එනිසා හේතුවාදීන්ගේ පදනම සුන්විය. හූ... හූ...."

ඉහත විවේචනය/ ඔච්චම බොහෝවිට ආගම්වාදීන් වෙතින් හේතුවාදීන්ට යොමු වන්නක්. නමුත් එම විවේචනය/ඔච්චම හේතුවාදය යනු කුමක්ද යන්න පිළිබඳව හුදු නොදන්නාකම හෝ අනවබෝධය මත සිදු කරන්නක්.

විද්‍යාවේ වුවද කලින් කලට හමුවන සොයාගැනීම් හේතුවාදයට පදනමක් වන්නේ නැහැ. හේතුවාදයේ එකම පදනම නිරන්තර විවෘත මනසින් සියල්ල විමසීම.

එනම් යම් දෙයක පවතින පිළිගත හැකි තැන් මොනවාද? පිළිගත හැකි නම් ඒ ඇයි? තර්කානුකූලව තහවුරු වන තැන් මොනවාද? අතාර්කික ඇදහීම් මොනවාද? පිළිගත නොහැකි දේ මොනවාද? පිළිගත නොහැකි නම් ඒ ඇයි? පිළිගැනීමටත් නොහැකි ප්‍රතික්ෂේප කිරීමටත් නොහැකි තැන් මොනවාද? ඒවා පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වීම සඳහා තාර්කික පදනමක් තිබෙන්නේද? නැතහොත් ඒ හුදෙක් එය දන්නා බව කියූ කෙනෙකුගේ (ආගමික නායකයෙකුගේ) ප්‍රකාශයක් මත සිදුකරන අන්ධ පිළිගැනීමක්ද? යනුවෙන් නිරන්තරයෙන් එදිරිවාදී විසම්මුතික දෘෂ්ටිකෝණයෙන් (objective approach) යුතුව සියලු දේ ප්‍රශන කිරීම හේතුවාදයේ පදනමයි.

එහෙත් ඇදැහිලිකරුවන් සහ විශ්වාස මත දිවි ගෙවන්නන් බොහෝ විට, හේතුවාදීන්ද ආගමිකයන් මෙන්ම විද්‍යාවේ හෝ යම් දෘෂ්ටිවාදයක සංකල්ප ඉස් මුදුණින් පිළිගත් ඒවාට වන්දනාමාන කරන අය බවට වන තැනක තබා සංවාද කිරීමට කැමැත්තක් දක්වන බව පෙනී යනවා. එසේ සිදුවී ඇත්තේ ඇයි?

මට හැඟෙන ආකාරයට ඊට ප්‍රධාන හේතු 2ක් තිබෙනවා:-

1. ස්වෝපමාන චින්තනය

එනම් අන් අයත් තමා වැනිය යන ආස්ථානයේ සිට කල්පනා කිරීම. ශ්‍රද්ධාව, භක්තිය, සර්ව බලධාරියෙකුට හෝ කර්ම විපාකයකට ඇති බිය, උපතින් උරුම කොටගෙන ඉපදීම (බොහෝ දෙනෙකුගේ ආගමික විශ්වාසවල පදනම මෙයයි) වැනි කරුණක් මත පදනම්ව කුමක් හෝ දෙයක් පිළිබඳව ඇදහීමට හෝ වන්දනාමාන කිරීමට උපතේ සිට හුරුවී ඇති මිනිසෙකුට, කිසිවක් නොඅදහන කිසිවකට වන්දනාමාන නොකරන මිනිසුන් සිටී යන්න එක්වරම පිළිගැනීමට අවශෝෂණය කරගැනීමට අපහසුවක් පවතිනවා.

කවුරුන් මොනවා කිව්වත් හේතුවාදීන්ද යම් පුද්ගලයන්ට, ද්‍රව්‍ය වලට හෝ පුද්ගලයන්ට වන්දනාමාන කරනවා ඇති, ඒවා අදහනවා ඇති, කුමක් හෝ ඇදහීමක් නැතිව මිනිසෙකුට ජීවත් වන්නට බැරිය යන මතයේ හේතුවාදීනුත් සිටිනවා ඇතැයි ඔවුන්ට සිතීමේ පදනම ඒකයි.

උදාහරණයක් ලෙස "හේතුවාදීන් මැරුණාම වතාවත් කරන්නේ කොහොමද?" යන ප්‍රශ්නය යම් සමච්චලයක්ද සහිතව මේ ෆේස්බුක් සමූහයේදිම ආගම්වාදීන් විසින් යොමුකර තිබෙන ආකාරය මා දුටුවා. එනම් මෙහිදී පෙනී යන්නේ ජීවත්ව සිටියදී මොන පණ්ඩිත කතා කීවද මියගිය පසු ආගමික වතාවත් සිදුකරගැනීමට එතෙක් කල් තමා විසින් විවේචනය කරන ලද පූජකයන් සහ ආගමික සංස්ථාවන් පස්සේ යන්නට සිදුවන අසරණ තත්වයට හේතුවාදියා පත්වන බවක් මේ අය සිතන බවයි.

ඒ ප්‍රශ්නය නැගීමෙන්ම පෙනී යන්නේ "ඕනෑම පුද්ගලයෙකු මියගිය පසුව කුමක් හෝ ආගමික වතාවතක් සිදුකිරීම අනිවාර්ය වන්නේය" යන මතයේ මේ පුද්ගලයන් සිටින බවයි. ආගමික වතාවත් නොමැතිව මළ සිරුරක් මිහිදන් කිරීම හෝ ආදාහනය කිරීම කළ නොහැක්කක් සේ මේ අය සිතනවා. නමුත් සැබැවින්ම එවැනි දෙයක් නැහැ. කිසිම ආගමික වතාවතක් නොමැතිව සිරුර මිහිදන් කළද එය දිරාපත්වෙනවා. ආදාහනය කළොත් එය පිළිස්සී අලුවී යනවා. ඒ අනුව මියගිය පසු ආගමික වතාවත අවශ්‍යද නැද්ද යන්න සියයට සියයක්ම තීරණය වන්නේ පුද්ගල චින්තනය අනුව පමණයි.

2. තර්කයේ පහසුව

මෙය තර්ක කිරීමේ කළාවේ බොහෝ ප්‍රචලිත ක්‍රමයක්. එනම් යම් තර්කයකට පිළිතුරු දීමට අපහසු හෝ අපොහොසත් වන විට, එකී තර්කය තමාට වැටහෙන බිඳහෙළීමට වඩාත් පහසු තලයක තබා නැවත අර්ථකථනය කිරීම. මෙය නීතිඥවරුන් ලෙස අපි අධිකරණයේදී තර්ක ඉදිරිපත් කිරීමේදීත් යොදාගන්නා ප්‍රායෝගික ශිල්ප ක්‍රමයක්. එවිට මූලිකව එම තර්කය ඉදිරිපත් වූ ශක්තිමත් ස්වරූපයෙන් නොව, වඩාත් පහසුවෙන් පිළිතුරු දිය හැකි දියාරු පදනමකින් තමන්ට පිළිතුරු දීමට වඩාත් පහසු ස්වරූපයකට ගැටලුව පත්කරගත හැකියි.

ඒ අනුව විද්‍යාවේ පදනමක් ලෙස භාවිත කෙරෙන සාපේක්ෂතාවාදයට වඩා නවීන සහ තාර්කික අලුත් පදනමක් සොයාගත්තේ යැයි සිතමු. ආගමිකයන් මෙය හේතුවාදයේ පදනම දෙදරීමක් හෝ විද්‍යාවේ පදනම දෙදරා ගොස් සමස්ථ විද්‍යාවම අමූලික බොරුවක් බව ඔප්පු වූ අවස්ථාවක් ලෙස හුවාදක්වනවා දැකගත හැකියි.

නමුත් සත්‍ය නම් හේතුවාදයේ මෙන්ම විද්‍යාවේද ස්ථිර පදනම නිරන්තරයෙන් ප්‍රශ්න කිරීම බවයි. ඒ අනුව පැවති පදනමට වඩා තාර්කික නව පදනමක් සොයාගැනීම යනු විද්‍යාවේ අර්ථයෙන් ගත්කල ජයග්‍රහණයක් වනවා මිස එහි තේරුම සියලු දෙනා "මේක හරියන මගුලක් නෙමෙයි" යන තීරණයට පැමිණ තපස් රැකීමට යා යුතු බව හෝ යාග හෝම පටන්ගත යුතු බව නොවේ.

ඒ අනුව විද්‍යාවේ නව ඉදිරි පියවරයන් මත විද්‍යාවේම පැරණි පදනම් යල්පනින විට ඒ පිළිබඳව ප්‍රශ්න කරන සමච්චල් කරන ආගමිකයන්ට හේතුවාදීන්ගේ පිළිතුර පහත පරිදි සම්පිණ්ඩනය කළ හැකිය:-

"ඔබ සංකල්ප වලට, පුද්ගලයන්ට, ද්‍රව්‍ය වලට වන්දනාමාන කළද, ඒවා විසම්මුතිකව ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත්තද හේතුවාදය තුල එවැනි වන්දනාමානිත පදනම්, පුද්ගලයන් හෝ ද්‍රව්‍ය නොමැත. හේතුවාදයේ එකම ස්ථිර පදනම විවෘත මනසින් යුතු විසම්මුතික විමර්ශනශීලීත්වයයි. ඒ අනුව විද්‍යාවේ පැවති සංකල්ප යල්පිනීම යනු එකී විසම්මුතික විමර්ශනශීලීත්වයේ මහිමය විදහා දක්වන්නක් මිස අන් කිසිවක් නොවේ"

Tuesday, May 26, 2020

ආගම දේශපාලනික අවියක් ලෙස



බොහෝ ආගම් තුල දෙවියන්ගේ කැමැත්ත, කර්මය අනුව සියල්ල තීරණය වීම වගේ සංකල්ප හරහා ඇතිකරන දේශපාලනික බලපෑම තේරුම් ගැනීම ඉතාම වැදගත්.

අතීත යුරෝපයේ රජු යනු දෙවියන්ගේ කැමැත්ත මත මිනිසුන් පාලනයට ආ කෙනෙක් බව ආගමික සංස්ථාව මිනිසුන්ට කාවැද්දූ කාලයක් තිබුණා. ඒ අනුව දෙවියන්ගේ කැමැත්ත මත රජකරන තැනැත්තාගේ රාජ ආධිපත්‍යයට අභියෝග කිරීම පාපයක් වුණා. පූජකයන් රජවරුන්ගෙන් සහ උසස් යැයි සම්මත රදල පැලැන්⁣තියෙන් තාන්න මාන්න වරප්‍රසාද ලබමින් සාමාන්‍ය ජනතාවට එය දහමක් ලෙස දේශනා කළා. එවිට ආගම යනු රජුගේ ආධිපත්‍යය රැක දෙන උපකරණයක් බවට පත්වුණා.

වර්ණභේදවාදය දැඩිව පැවැති ඇමෙරිකාවේ දකුණු දිග ප්‍රාන්ත වල වහලුන්ට ආගම දේශනා කළ පූජකයන්ගෙ දේශනා වල වහලුන් වහලුන් බවට පත්වී ඇත්තේ දෙවියන්ගේ කැමැත්ත අනුව බවත් වහල් හිමියා දෙවියන් වෙනුවෙන් ඔවුන්ව පරික්ෂා කරන්නට දෙවියන්ගේ කැමැත්තට අනුව පත්කරන ලද බලධාරියෙක් බවත් ඒ අනුව වහල්කමෙන් පලා යාම දෙවියන්ගේ කැමැත්තෙන් පළා යාමක් නොහොත් පාපයක් බවටත් වන ප්‍රකාශ අන්තර්ගත වුණා. එතනදිත් ආගම පවත්නා සමාජ ක්‍රමය ජනතාවගේ පලා යාමකික්, අසාධාරණයට එරෙහි නැගිටීමකින් හෝ විප්ලවවාදී මැදිහත් වීමකින් තොරව පවත්වාගෙන යාමේ උපකරණයක් ලෙස පාවිච්චි වුණා.

සුනීත පිළිබඳව කතාවේදි බුදුන් වහන්සේ කුලවාදය පිටු දැක්කත් පසුකාලීනව ශ්‍රී ලංකාවේ පවා කුල ක්‍රමය රැකීමේ තැනක බෞද්ධාගමික සංස්ථාව හිටියා. අදටත් ඉන්නවා. එතනදි උසස් කුලයක උපත ලැබීම කර්මය අනුව ලැබෙන දෙයක් ලෙසත් පහත් කුලයක උපත ලැබීම පාපයන් හේතුවෙන් ලැබෙන විපාකයක් ලෙසත් දේශනා කෙරුණා. ඒ අනුව පහත් කුලවල අය සැමදාම උසස් කුල වලින් සිදුනන මදි පුංචිකම් විඳිමින් උසස් කුළ වල අයට පහසුකම් සළසන්නෝ වියයුතු බවට මතයක් සමාජගත කෙරුණා. ඒ අනුව එතනදිත් පවත්නා සමාජ ක්‍රමය එලෙසම පවත්වාගෙන යාමේ උපකරණයක් ලෙස ආගම භාවිතා වුණා. අදටත් ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික නිකායන් අතිශයින් කුලවාදී.

වර්තමාන දේශපාලනයේදිත් දේශපාලනඥයෙකු ජනතා නියෝජිතයෙකු ලෙස පත්වී ජනතා මුදලින් සහ දේශපාලනඥයන්ට ලැබෙන දහසකුත් එකක් අයථා ක්‍රම වලින් පොහොසත් වෙද්දි සැප සම්පත් විඳිද්දි එය ඔවුන්ගේ පින්බලය අනුව ලැබෙන දෙයක් ලෙස සාධාරණීකරණය කෙරෙනවා.

විශේෂයෙන්ම දේශපාලනඥයන් වඩාත් පෝෂ්‍යදායක ආහාර ගැනීමෙන්, වායු සමනය කළ වාහනවල ගමන් ගැනීමෙන්, වායුසමනය කළ කාර්යාල නිවාස ආදියෙහි වාසය කිරීමෙන් ඔවුන්ගේ සිරුරු වල සහ පෙනුමේ ඇතිවන පිරිපුන් බව, පැහැපත් බව පිං පාට ලෙස හැඳින්වෙන අවස්ථා හිඟ නැහැ.

දේශපාලන පවුල්වල දරුවන් නවීන මෝටර් රථ පාවිච්චි කරද්දි, සැප සම්පතින් ආඪ්‍යව කල් ගෙවද්දි එය දෙස අභියෝගාත්මකව නොව භක්තියෙන් බලා ඉන්න තැනට ජනතාවගෙ හිත හදන්නෙ ආගම විසින්.

ඒ වගේම පාලක පැලැන්තිය විසින් ඔවුන්ගේ ආධිපත්‍යය රැක ගැනීම සඳහා දියත් කරන ප්‍රචණ්ඩත්වය ආදිය විවිධ ක්‍රම වලින් සාධාරණීකරණය කෙරෙනවා. නමුත් නිර්ධන පන්තිය බලහත්කාරයෙන් බලය ලබාගැනීම සඳහා නැගී සිට කරන ක්‍රියාවලියකදී සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ ජීවිත හානි මහා පාපයන් ලෙස හුවාදැක්වෙනවා. ඒ අනුව නැවතත් ආගම කොටසක් වරප්‍රසාද භුක්ති විඳින කොටසක් නොවිඳිනා දුක් විඳින පවතින සමාජ ක්‍රමය පවත්වාගෙන යාමේ උපකරණයක් වෙනවා.

ආගම සම්බන්ධයෙන් වන මේ දේශපාලනික උපකරණමය භූමිකාව මානව ඉතිහාසය පුරා නැවතත් නැවත නැවතත් සනාථ වූ දෙයක්.

ආගම පෞද්ගලික ආධ්‍යාත්මික සංවර්ධනය හෝ නිවීමක් ඉලක්ක කළ දෙයක් නම් එය පෞද්ගලික විය යුතුයි. නමුත් පාලක පැලැන්තිය සහ වරප්‍රසාදලත් පූජක පැලැන්තිය එය පෞද්ගලික දෙයක් වන්නට දෙන්නේ නෑ. මන්ද එහෙම කළොත් ඔවුන්ගේ වැජබීම දිගටම පවත්වා ගැනීමේ උපකරණයක් ලෙස ආගමේ වටිනාකම නැතුව යනවා.

ඒ නිසා පාලකයින් සහ පූජක පැලැන්ති නිරන්තරයෙන් ආගම යනු දේපලක්, වස්තුවක්, රැකිය යුතු නිධානයක් ලෙස නැවත නැවතත් මතු කරමින් එහි ආරක්ෂාව සඳහා යැයි කියමින් පවත්නා ක්‍රමය දිගටම පවත්වාගෙන යාම නැවත නැවතත් සාධාරණීකරණය කරනවා.

Monday, May 25, 2020

හේතුවාදයේ පදනම

ඕනෑම දෙයක් හේතු සාධක සහිත නම් පමණක් පිළිගැනීම සහ හේතු සාධක රහිතව පිළිගැනීම ප්‍රතික්ශේප කිරීම හේතුවාදයේ මූලික පදනමයි. ඒ අනුව හේතුවාදය යනු සැබැවින්ම නිරන්තර විමර්ශනශීලීත්වයයි. නිරන්තර විමර්ශනශීලීත්වය බෙහෙවින් ගතිකය. එනම් නවීන සොයාගැනීම් සමග අද සත්‍යය ලෙස පිළිගන්නා දෙය හෙට වන විට වෙනස් වීමට හැකියාව ඇත. හේතුවාදය සම්බන්ධයෙන් හේතුවාදීන් නොවන කණ්ඩායම් සමග සිදුකරන ලද වාද විවාද වලදී පෙනී ගිය කාරණාවක් වන්නේ ඉහත කී ගතිකත්වය හේතුවෙන් හේතුවාදයට ස්ථිර පදනමක් නොමැති බවටත් එනයින්ම හේතුවාදය බිදවැටෙන බවටත් වන නිවැරදි නොවන මතයක ඔවුන් එල්බ සිටින බවයි.

හේතුවාදයේ ඇති එකම පදනම් විමර්ශනශීලීත්වය සහ විවෘත මනසයි. එනම් නිරන්තර ප්‍රශ්න කිරීමයි. සෑම දෙයක්ම එහි ඇති ගුණ අගුණ සියල්ල සමග විමර්ශනයට ලක්කොට තීරණයකට එළඹීම හේතුවාදියා සිදුකරයි. කිසිදු දෙයක් හෝ සංකල්පයක් අවිචාරවත්ව පරම සත්‍යය ලෙස ගෙන වන්දනාමාන කිරීම හේතුවාදියා සිදු නොකරයි. මෙම විමර්ශනයේදී හේතුවාදය විද්‍යාත්මක සොයාගැනීම් පිළිබදව අවධානය යොමු කරයි. ඒ සමගම විද්‍යාත්මක සොයාගැනීම් වනාහි අවසානාත්මක නිගමනයන් නොව නිරන්තරයෙන් වෙනස් විය හැකි නව පදනම් නිර්මාණය කළ හැකි දෙයක් බව හේතුවාදීන් පිළිගනිති.

ආගම්වාදීන් සාකල්‍යයෙන්ම යම් කිසි විශ්වාසයක් ස්ථිර, පරම සහ වන්දනාමානිත පදනමක් කොට ගනිති. උදාහරණයක් වශයෙන් "දෙවියන් සිටී" යන්න ගතහොත් දෙවියන් පිළිබදව එතැනින් එහාට සිදුවන ආගම්වාදීන්ගේ කතාබහ සම්පූර්ණයෙන්ම පාහේ පදනම් වන්නේ "දෙවියන් සිටී" යන එකී පදනම මතයි. බොහෝ විට බහතෝරන අවධියේ පටන් මෙවන් සනාථ නොවූ පදනම් මත ඉතිරි සියල්ල තීරණය කරගැනීමට ඇති වන පුරුද්ද විවෘතව යමක් දැකීමට ඇති බාධාවකි.

හේතුවාදයේ පදනම විද්‍යාවද? විමර්ශනශීලී විවෘත මනසද?

ඒ අනුව ආගම්වාදීන් හේතුවාදය වටහා ගන්නේ හෝ හේතුවාදය සම්බන්ධයෙන් වාද විවාද කිරීමට පහසු වනු පිණිස ඔවුන් එය වටහා ගැනීමට කැමති වන්නේ හේතුවාදයේ පදනම යම් යම් විද්‍යාත්මක සොයාගැනීම් යනුවෙන් ගනිමිනි. උදාහරණයක් වශයෙන් විද්‍යාත්මකව පිළිගන්නා පරිණාමවාදය, සාපේක්ෂතාවාදය මත හේතුවාදය පදනම් වන්නේ යැයි සිතති. එය සම්පූර්ණයෙන්ම සාවද්‍යය. හේතුවාදය පදනම් වන්නේ සම්පූර්ණයෙන්ම විමර්ශනශීලීත්වය සහ විවෘත මනස යන කාරණා දෙක මත වේ.

විමර්ශනශීලීත්වයේ උපකරණයක් ලෙස විද්‍යාව හදුනාගැනෙන අතර එහි සොයාගැනීම් අදාළ වන්නේ ඉන් පසුව මිස හේතුවාදය විද්‍යාව මත හෝ විද්‍යාත්මක සොයාගැනීම් මත හෝ පදනම් නොවේ. එනම් විද්‍යාත්මක සොයාගැනීම් දෙස පවා හේතුවාදීන් විමර්ශනශීලීව විවෘත මනසකින් බලා සිටිනවා විනා ඒවා වන්දනාමාන කරන්නට යන්නේ නැත. මෙම ධුරාවලිය පැහැදිලිව හදුනා ගැනීමකින් තොරව හේතුවාදය වටහා ගැනීමට නොහැකි වනවා පමණක් නොව එය ඇතැමෙකුට යම් ආගමික කණ්ඩායමක් හෝ යම් නිශ්චිත ආගමික කණ්ඩායමකට පමණක් විරුද්ධ කණ්ඩායමක් වශයෙන් පෙනීමට ඉඩ ඇත.

හේතුවාදය ප්‍රශ්න කරන්නේ ආගම පමණක්ද?

කිසිසේත් නැත. අහේතුකව සාධාරණ සාක්ෂි හා පදනමක් රහිතව විමර්ශනයකින් තොරව හුදෙක් ශ්‍රද්ධාව, භක්තිය, උත්පත්තියෙන් උරුම කොටගෙන ඉපදීම, සර්ව බලධාරියෙකුට හෝ වෙනත් ඕනෑම කෙනෙකුට හෝ දෙයකට ඇති බිය මත යමක් පිළිගැනීම හේතුවාදීන් පොදුවේ ප්‍රශ්න කරති. එනම් එකී විමර්ශනශීලී විවෘත මනසේ මූලධර්මය ආගමට පමණක් නොව දේශපාලනය, වෘත්තීන්, මානව සම්බන්ධතා යනාදී ඕනෑම දෙයක් වටහා ගැනීමට සාර්ථක ලෙස යොදාගත හැකි පදනමකි.

නමුත් හේතුවාදීන්ගේ විවේචනයට වැඩි වශයෙන් ආගම ලක්වනවා දැකිය හැකිය. එයට හේතුව වන්නේ ඉහත කී පරිදි අහේතුකව සිදු කරන පිළිගැනීම් විශ්වාසයන් නොහොත් ඇදහිලි වැඩි වශයෙන්ම බැදී පවතින සමාජ සංස්ථාව ආගම වීමය. ඒ අනුව අවිචක්ෂණ භාවය සහ පටු මනොභාවය වැඩියෙන්ම ඇති ස්ථානය හේතුවාදීන්ගේ විවේචනයන්ට වැඩියෙන් ලක්වීම ස්වභාවිකය.

කරුණු පිළිබදව සංඛ්‍යාත්මක දුප්පත්කම?

මෙතැනදී හේතුවාදයට එල්ල වූ තවත් එක් විවේචනයක් වන්නේ හේතුවාදය සනාථ වූ කරුණු පමණක් පිළිගැනීම තුල ආගම් වලට සාපේක්ෂව කාරණා පිළිබදව සංඛ්‍යාත්මක දුප්පත්භාවයකින් පෙළෙන බවයි. එනම් ආගමකින් කරුණු 1000ක් ගැන කියද්දී හේතුවාදීන් සත්‍ය ලෙස පිළිගන්නේ සනාථ වූ කරුණු 100ක් වැනි සංඛ්‍යාවක් වීම තුල ආගමික සංස්ථාව හේතුවාදයට වඩා කරුණු 900කින් ඉදිරියෙන් සිටින්නේ යැයි කීමට ඇතැමුන් පෙළඹේ.

මෙය සම්පූර්ණයෙන්ම අතාර්කික අවිචාරශීලී මතයකි. මන්ද සනාථ වූ කරුණු 100කට එරෙහිව සනාථ නොවූ ශ්‍රද්ධාව භක්තිය හෝ බිය මත පදනම් වූ කරුණු 900ක් යනු එකිනෙක හා සංසන්දනය කළ හැකි නියැදි දෙකක් නොවන බැවිනි. එක් නියැදියක පදනම තාර්කික සහ හේතු යුක්ති සහගත වද්දී තවත් නියැදියක පදනම වන්නේ ශ්‍රද්ධාව භක්තිය හා බියයි. එවැනි සංසන්දනයකින් පසු ශ්‍රද්ධාව භක්තිය හා බිය මගින් යෝජනා කැරෙන නිගමන ජයගත් බවට යම් පුද්ගලයෙකු තර්ක කරන්නේ නම් එයට දියහැකි ඥානාන්විතම පිළිතුර සිනාසී වෙනත් ප්‍රයෝජනවත් වැඩක නිරත වීමයි.

ශ්‍රී ලංකාවේ හේතුවාදී සංවාදය බුදු දහමට එරෙහි කුමන්ත්‍රණයක්ද?

මෙම ප්‍රශ්නය ඇති වීමට ප්‍රධාන හේතුව වන්නේ ශ්‍රී ලාංකීය සන්දර්භයක් තුල බෞද්ධාගමික සංස්ථාව හේතුවාදයේ විවේචනයට වැඩි වශයෙන් ලක්වීමය. එයද අතිශය ස්වභාවිකය. හේතු සහගතව ඔප්පු නොවී හුදෙක් ශ්‍රද්ධාව, භක්තිය, උපතින් උරුම වීම හෝ බිය මත පමණක් යමක් ඇදහීම හේතුවාදය හරහා විවේචනයට ලක්වන බවත් එකී ඇදහීම වැඩියෙන්ම ඇත්තේ ආගමික සංස්ථාවන් තුල බැවින් ආගම හේතුවාදය හරහා වැඩි වශයෙන් විවේචනයට ලක් වන බවත් ඉහත දක්වන ලදී. මෙහිදීද අදාළ වන්නේ එම පැහැදිලි කිරීමම වේ. එනම් ආගම් අතර ශ්‍රී ලාංකීය සන්දර්භය තුල වැඩියෙන්ම පැතිරී ඇති ආගම වැඩියෙන්ම විවේචනයට ලක්වේ. යම් හෙයකින් ශ්‍රී ලංකාව තුල වැඩියෙන්ම ප්‍රචලිත ආගම ජෛන හෝ ක්‍රිස්තියානය හෝ යුදෙව් හෝ ඉස්ලාම් හෝ වී නම් ඒ ඒ අවස්ථාවට සාපේක්ෂව වැඩියෙන්ම විවේචනයට ලක්වන්නේ කුමන ආගමක්ද යන්න වෙනස් වනවා ඇත. 

හේතුවාදය බුදු දහම දර්ශනයක් ලෙස නොපිළිගන්නේද?

බුදු දහම ග්‍රන්ථාරූඪ වන්නේ එය බුදුන් විසින් දේශිත යැයි පැවසෙන කාල සීමාවට පරම්පරා ගණනාවකට පසුවය. ඒ අනුව එතෙක් බුදු දහම පැවැතී ඇත්තේ මුඛ පරම්පරාගතව පමණි. ඒ අනුව එක් පරම්පරාවක් ඉගෙන ගන්නා ධර්මය ඊළග පරම්පරාවට කටින් කියාදී ඔවුන් එය මතකයේ රදවා තබාගෙන ඊළග පරම්පරාවට කියා දීම සිදුවිය. මෙසේ මුඛ වහර තුලින් යමක් පවත්වාගෙන ඒමේදී එය වෙනස්කම් වලට භාජනය වීම නොවැලැක්විය හැකිය. ඒ අනුව බුදු දහම පිළිබදව වර්තමාන ව්‍යවහාරය බුදුන් විසින් දේශිත දහමමද යන සැකය මතුවීම නොවැලැක්විය හැකි වේ. 

කෙසේ වෙතත් බුදු දහම තුල ඉතා දියුණු දාර්ශනික ලක්ෂණ දක්නට ලැබෙන බව බැහැර කළ නොහැක. කාලාම සූත්‍රය, පටිච්චසමුප්පාද ධර්මය, සිගාලෝවාද සූත්‍රය යනාදිය තුල දැක්වෙන පැහැදිලි කිරීම් අතිශය හේතු සහගත තර්කානුකූල ඒවා වේ. එමෙන්ම වරක් ගංගොඩවිල සෝම හිමියන් ප්‍රකාශ කළ පරිදි පන්සිල් යනු බුදුන් වහන්සේ අමුතුවෙන් හදුන්වා දුන් සංකල්පයක් නොව ලොව පවත්නා ධර්මතාවයකි. බුදුන් සිදුකොට ඇත්තේ එය දාර්ශනික අර්ථයෙන් ගෙන ශික්ෂා පද වලට ගොණු කිරීමකි. 

එමෙන්ම බුදු දහම තුලම පවත්නා දේවවාදී අදහස් අද්භූතත්වය මුසු තැන් හරහා බුදු දහමේ ඇති දාර්ශනික අර්ථය යම් තාක් දුරට හීන කරවයි. ඇතැම් හේතුවාදීන්ට අනුව බුදු දහම ඇරඹුමේදී අත්‍යන්තයෙන්ම හේතුවාදී ස්ථාවරයක තිබී පසුකාලීනව ඉන්දියාවේ පැවැති අනෙකුත් ආගමික විශ්වාසයන් තුල අද්භූතත්වයට ලබා දී තිබූ ස්ථානය හා සමපාත කරලීම සදහා එම අද්භූතත්වය බුදුන්ගේ ඉගැන්වීමට කවා ප්‍රශ්න නොකර ඇදහිය යුතු අද්භූතත්වය පිරුණු ආගමක් බවට බුදු දහම පත්කර ඇත. සැබැවින්ම කාලාම සූත්‍රයේ දැක්වෙන බෞද්ධ ඉගැන්වීම් සළකා බලද්දී මෙම තර්කය සත්‍ය විය හැකි බවද පෙනේ.

දර්ශනයක්ද ආගමක්ද යන්න පුද්ගලයාට සාපේක්ෂව තීරණය වේ

බුදු දහම එනම් සැබැවින්ම බුදුන් දෙසූ දහම දාර්ශනිකද එසේත් නැත්නම් ඇදහිල්ලෙන් පිරුණු ආගමක්ද යන්න විමසීමට බුද්ධ කාලයට යාමට සිදුවනවා ඇත. එය කළ නොහැක්කකි. ඒ අනුව සිදුන්නේ වර්තමාන සන්දර්භය අනුව බුදු දහම දර්ශනයක්ද ඇදහිල්ලෙන් පිරි ආගමක්ද යන්න විග්‍රහ කරගැනීමටය. එය සැබැවින්ම පදනම් වන්නේ බෞද්ධ ඉගැන්වීම් අඩංගු සූත්‍ර දේශනා මත නොව කෙනෙකු බුදු දහම දෙස බලන ආකාරය අනුව වේ.

කෙසේ වෙතත් වර්තමාන සන්දර්භය තුල  බුදු දහම දර්ශනයක්ද ආගමක්ද යන්න හේතුවාදීන් විසින් නොව බෞද්ධයන් විසින් තෝරා බේරාගතයුතු ප්‍රශ්නයකි. එනම් හුදෙක් ශ්‍රද්ධාව, භක්තිය, උපතින් උරුම වීම හෝ කර්මයට ඇති බිය හේතුවෙන් බුදු දහමේ වුවද ඇති සංකල්ප ප්‍රශ්න නොකර විචාරශීලීව විමසීමකින් තොරව යමෙකු පිළිගන්නේද හේ බෞද්ධ ආගම අදහන්නෙකි. බුදු දහමේ ඇති ඉගැන්වීම් පවා ඇදහීමකින් තොරව විචාරශීලීව විමසා බලා අවබෝධය මත පිළිගන්නේ යමෙක්ද හේ බුදු දහම බෞද්ධ දර්ශනය ලෙස දකින්නෙකි.

ඒ අනුව යමෙකු බුදු දහම තුල තිබෙන ඉගැන්වීම් අවිචාරවත්ව විමර්ශනශීලීත්වයකින් තොරව පිළිගනිමින් හෝ අදහමින් බුදු දහම ආගමක් නොව දර්ශනයක්ය කියන්නේ නම් එවැනි පුද්ගලයෙකුගේ එකී ස්ථාවරයන් දෙක ඇත්තේ අන්ත දෙකක බවත් ඒවා සාකල්‍යයෙන්ම එකිනෙක හා ගැටෙන බවත් අවධාරණය කළ යුතුය. 

ආගමක අවශ්‍යතාවය හේතුවාදයට අනුව

ආගමක ප්‍රකාශිත අවශ්‍යතාවය ලෙස කියැවෙන්නේ යම් සමාජයක මිනිසුන් යම්කිසි අවම සදාචාරවත් සීමාවක තබාගැනීම හෙවත් හික්මවා ගැනීම බවය. ඒ සදහා කර්මයට හෝ වෙනත් ස්ථානයක සිට බලා සිටින සර්ව බලධාරියෙකුට ඇති බිය මත පාපයෙන් හෙවත් අයහපත් දෙයින් වැලකීමද අනාගත ජීවිතයේදී හෝ මරණින් මතු පැවැත්මක් ඇති යම් ස්ථානයකදී වඩාත් යහපත් තත්වයක් අත්පත් කරගැනීමේ අරමුණින් යහපත් දෙය සිදුකිරීමද මේ අනුව ආගමට අනුව සිදුකරන ඉගැන්වීමයි.

මේ අයුරින් නොපෙනෙන නොවැටහෙන යම් සීමාවක ඇති අද්භූතත්වයක් මගින් අප විනිශ්චය කැරෙන්නේය යන බිය මත වරදින් වැලකීම හෝ යහපත් දෙය කිරීම යහපත අයහපත අතර වෙනස තම බුද්ධියෙන් නිරාකරණය කරගැනීමට අසමත් බුද්ධි මට්ටමක සිටින අයෙකුට අවශ්‍ය විය හැකිය. නමුත් එය තමාටම නිරාකරණය කරගැනීමට තරම් බුද්ධිමත් දියුණු මිනිසාට යහපත සදහා එවැනි අල්ලස්මය පෙළඹවීමක් හෝ අයහපතින් වැලකීම සදහා බියක් අවශ්‍ය නැත. ඔහු එය බුද්ධිය හා අවබෝධය මත තමා විසින්ම නිරාකරණය කරගන්නවා ඇත.

සමාජ ක්‍රමයේ අත්‍යවශ්‍ය දේශපාලනික භූමිකාවක්

නමුත් ඉතිහාසයේ සිට ආගමේ භූමිකාව අධ්‍යනය කිරීමේදී පැහැදිලි වන්නේ ආගමික සංස්ථාව යනු අධිපතිවාදී කේන්ද්‍රගත සමාජ ක්‍රමයේ අත්‍යවශ්‍ය දේශපාලනික භූමිකාවක් ඉටුකරන කණ්ඩායමක් බවයි. ආගමික ඉගැන්වීම් අනුව ගත් කල යමෙකු රජ ලෙස ඉපදීම හිගන්නෙකුව හෝ කම්කරුවෙකු වී ඉපදීම ඇතැම් අය පොහොසත්ව ඉපදීම ඇතැම් අය දුප්පත්ව ඉපදීම ආදී සියල්ල එක්කෝ සර්ව බලධාරියාගේ කැමැත්ත මත සිදුවී ඇත නැත්නම් පෙර කර්මය මත සිදුවී ඇත. ඒ කුමන ක්‍රමයක් යටතේ සිදුවුවද සමාජයේ දේශපාලනික අසාධාරණය ධර්මතාවයක් ලෙස පිළිගෙන එයට අභියෝග නොකිරීමට ආගම මගින් ආගමිකයාට බල කෙරේ.


ඒ අනුව ආගම හරහා පීඩකයාගේ සමාජ පිරමීඩ වල ඉහළ කෙළවරේ සිටින අයගේ වරප්‍රසාදලත් පැවැත්ම ධර්මානුකූලව සාධාරණීකරණය කරමින් ඔවුන්ගේ පැවැත්ම ස්ථිර කර දේ. එයට ප්‍රතිඋපකාරයක් ලෙස පාලකයා ආගමික සංස්ථාව නඩත්තු කරමින් එහිද පිරමීඩයක් නිර්මාණය කරයි. ඒ අනුව ආගමේ සැබෑ අරුත බව කියැවෙන ආධ්‍යාත්ම සංවර්ධනය පිරිමීඩයේ යටටම සහ ඉහත කී සමාජ අසාධාරණය ප්‍රශ්න නොකර පිළිගැනීම දේශනා කරන අය පිරමීඩයේ උඩටම ස්ථානගත කරන පාලකයා සමාජ විෂමතාවයට සමගාමී විෂමතාවයකින් යුතුව ආගමික පිරමීඩයද නඩත්තු කරයි. ඒ අනුව මේ පිරමීඩ දෙක එකිනෙකා ආරක්ෂා කරගනිමින් ඒවායේ පාදමේ සිටින අඩු වරප්‍රසාදලාභීන්ගේ කර මත වැජබෙති.

එනයින් ගත්කල මෙම අසාධාරණ පිරමීඩ සංස්කෘතිය ඇති සැටියෙන් වටහා ගැනීමට මග පාදන හේතුවාදය ආගමික අර්ථයට වඩා දේශපාලනික අර්ථය තුල අතිශයින් වැදගත් වේ. සැබැවින්ම හේතුවාදීන් යනු ආගම්වාදීන්ට විරුද්ධ කණ්ඩායමකැයි කීම අන්ධයෙකු අලියාගේ ලිංගේන්ද්‍රයෙන් අල්ලා අලියා යනු මෙසේ යැයි කීම වැනි සිනා උපදවන නිර්වචනයකි.





Saturday, May 23, 2020

පාස්කු ප්‍රහාරය හේතුවාදී ඇසින්



මුහුණු පොතේ "හේතුවාදී හඬ" සමූහයේ පාස්කු ප්‍රහාරය හේතුවාදීන් පැහැදිලි කරන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් අසා තිබුණා. මේ එයට මගේ පිළිතුර:-

පාස්කු ප්‍රහාරය සැබැවින්ම ආගමික විශ්වාස වල ඇති භයානක කම පෙන්වන අවස්ථාවක්. මෙතනදි භයානකම දේ ඒ මිනීමරු ප්‍රහාරය එල්ල කළ අය එය තමන්ගේ ආගමට අනුව සිදු කළ යුතු නිවැරදි දේ යැයි විශ්වාස කිරීම.

ඇත්තටම ගත්තොත් ආගම කියන්නෙ දේශපාලන උපකරණයක්. ඒක පාලකයෙකුට අවනත යටත්වැසියන් බිහිකර දීම සඳහා නීති රීති වලට පෙර තිබූ බලගතුම අවිය. ඉස්සර රජුට කිව්වෙ නර දෙවියෙක් කියලා. පෙරදිගත් එහෙමයි. බටහිරත් රජුට කිව්වෙ දෙවියන්ගේ අවසරය සහිතව මිනිසුන් පාලනයට ආ පුද්ගලයා කියලා. ඊට පස්සෙත් කෙමෙන් කෙමෙන් සමාජ ක්‍රම දියුණු වෙද්දි ආගම කියන එක පාලන උපකරණයක් කරගැනීම සීමා වුණා. නමුත් පෙරදිග ලෝකය තවමත් ඒ තත්වය ළඟා කරගෙන නෑ.

මෙතනදි පාස්කු ප්‍රහාරයට අදාළ වෙන්නෙ ඉස්ලාම් ආගම. ඉස්ලාම් ආගම කුමක්දැයි අවබෝධ කරගැනීමට එහි පොතපත කියවා බැලිය යුතුයි. මතුපිටින් අතපතගා හෝ කිසිවෙකු කියන දෙයක් මත විශ්වාසය තබා යමක් තේරුම් ගැනීමට යාම ඥානාන්විත නොවේ. සියල්ලම නැතත් ඉස්ලාම් භක්තිකයන්ගෙ ප්‍රධාන පොත් වන අල් කුර්ආන් සහ සහීහුල් බුකාරි යන ග්‍රන්ථ දෙක වත් කියවිය යුතුයි.

ඉස්ලාම් පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මවාගත් කෙනෙකුට බොහොම ලේසියෙන් පැහැදිලි වන කරුණක් තමයි ඒ ආගමකටත් වඩා ඔවුන්ගෙ ජන කොට්ඨාසය ඉතාම කෙටි කලකින් ලෝකයේ ප්‍රමුඛතම ජන වර්ගය බවට පත්කිරීම සඳහා සකස් කළ සැළැස්මක් බව. ඒක ඉතාම දෘඪ සැළැස්මක්. ඒ සැළැස්මට ඍජුව හෝ වක්‍රව බාධාකාරී වන සියල්ල ඔවුන් හරාම් (එනම් තහනම්) කොට පාපයන් ලෙස වර්ග කර තිබෙනවා. ඒවාට තමන් මිය ගොස් දෙවියන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන දිනයේදී දෙවියන් විසින් දැඩි දඬුවම් පමුණුවන බවට විශ්වාසයක් ඔවුන්ට දැඩිව කාවද්දලා තියෙනවා. ඒ වගේම මුස්ලිම් දේවස්ථාන ආශ්රිතව අදටත් ශාරීරික දඬුවම් ක්‍රම ක්‍රියාත්මකයි. ඔය හේතු දෙකම නිසා ආගමිකයන් අතරින් වැඩියෙන්ම ඔවුන්ගේ ආගමෙන් පව ලෙස හදුන්වා ඇති දේවල් කිරීමට භය පිරිසක් ලෙස ඉස්ලාම් භක්තිකයන් හදුන්වා දිය හැකියි.

ඒ අනුව භෞතිකවාදීන් කිසිදු බලවේගයකට ඉරණමකට කර්මයකට හෝ සර්වබලධාරියෙකුට ඇති බිය නිසා නොව හුදෙක් හොඳ දෙයක් නිසා හොඳ දෙය කිරීමත් නරක දෙයක් නිසා නරක නොකිරීමත් කරද්දි බහුතරයක් ඉස්ලාම් භක්තිකයන් ඒ හැසිරීම දක්වන්නෙ සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ සර්ව බලධාරියාට ඇති භය මත පදනම්ව.

ඔවුන් ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කරන ආකාරය කියවා බලන්න වටිනවා. අල් කුර්ආනය පහළ වෙන්නෙ මහම්මත් නබිනායකට. එහි පාඨ වලින් කොටසක් මක්කමදිත් අනික් කොටස මදීනාවෙදිත් පහළ වෙන බවයි කියවෙන්නෙ. මක්කමදි පහළ වුණ කොටස දේශනා කළාම එයට විරුද්ධ වුණ මක්කම නායකයන් මහම්මත්ට විරුද්ද වෙනවා. ඔහු මදීනාවට යන්නෙ ඒ අනුව.

ඉන්පසු මක්කම යුධ සේනාවක් මදීනාව ආක්‍රමණය කරනවා. එතනදී මදීනාවේ සේනාවට මහම්මත් කරන මඟ පෙන්වීම් සමහරක් අල්කුර්ආන්හි ඇතුලත්. ඒ අතර තියනවා අවිශ්වාසවන්තයන් සමූලඝාතනය කරනු කඩු ගා දමනු වගේ දේවල්. ඔය ටික මූලධර්මවාදී ඉස්ලාමුන් විසින් මහම්මත් විසින් සමස්ථ කාලයට අදාළව දේශනා කළ දෙයක් ලෙස ගනිමින් මිත්‍යා දෘෂ්ටිකයන් ලෙස ඔවුන් හදුන්වන අයට එරෙහි ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කරගන්නවා. එතනදිත් පේන්නෙ ආගමක් මිනිස්සු ප්‍රශ්න නොකරනකොට ඒක විචාරශීලීව නොකියවනකොට වෙන්න පුළුවන් විනාශයේ තරම.

ඒත් පාස්කු ප්‍රහාරය ගැන කියනවනම් ඒකෙ ආගමික මුහුණුවර හේතුවාදී දෘෂ්ටිකෝණයෙන් වගේම ප්‍රායෝගික ඵලය දේශපාලනිකවත් කියවාගතයුතු අවස්ථාවක්.

ප්‍රහාරය දියත් කළ සහරාන් ඇතුළු පිරිස ආගමික මූලධර්මවාදී උන්මන්තකයන් බවට සැකයක් නැහැ. නමුත් එය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කළේ ඔවුන්මද කියන එක ප්‍රශ්නයක්.

1. එහෙම සැළසුම් කළ පුද්ගලයා බලාපොරොත්තු වුණේ කුමක්ද?

2. සැළසුමට දායක වූයේ යැයි ප්‍රසිද්ධියේ චෝදනා එල්ල වන යම් යම් අයට සැබැවින්ම එවැනි සැළසුමකට දායක වීමෙන් ලැබෙන/ලැබුණු දේශපාලන හෝ වෙනත් වාසියක් තිබේද?

3. ඒ ප්‍රසිද්ධියේ චෝදනා වලට ලක්වෙන අයට සැබැවින්ම සිදුවී ඇත්තේ වාසියක්ද අවාසියක්ද?

4. ආගමික ජනවාර්ගික පදනමක් මත බෝම්බ ප්‍රහාරයක් එල්ල කළොත් ඔවැනි අවාසිදායක තත්වයක් නිර්මාණය වන බව පොඩි දරුවෙකුට වුණත් තේරෙන දෙයක්. එවැන්නක් ⁣වැටහෙද්දීත් ඔය සැළසුමට නන් අයුරින් ආයක වුණායැයි කියන පිරිස එසේ කරයිද?

5. සැබැවින්ම එහි වාසිය සැළසුණේ කාටද?

6. ඒ කුමන ස්වභාවයේ වාසියක්ද?

ඔය ප්‍රශ්න ටිකට පූර්ව නිගමන නැතුව උත්තර හෙව්වොත් ඕනම කෙනෙකුට පාස්කු ප්‍රහාරයේ දේශපාලනික පැහැදිලි කිරීම ඉතා පහසුවෙන් ලැබෙනවා.

Thursday, May 21, 2020

ටෙලි/සිනමා ලෝකයේ මගේ මතකයේ රැඳුණු චරිත 10 ක් (දේශීය)

10. ආරච්චි - දඬුබස්නාමානය
චරිතය නිරූපණය කළේ ශ්‍රියන්ත මෙන්ඩිස්. ඇත්තටම මේ කතාවෙ එන දුෂ්ටයාගෙ චරිතය. ඒත් ඒ චරිතයට ආරෝපණය වෙලා තිබුණ පෞරුෂය, ප්‍රභාව අද්විතීය එකක්. ඕනෑම කෙනෙකුව බැල්මෙන් පවා දමනය කළ හැකි පෞරුෂයක් දඬුබස්නාමානයේ ආරච්චිට තිබුණ. අදටත් දඬුබස්නාමානය කියද්දි, ඒ මියුසික් එක ඇහෙද්දි මුලින්ම හිතට එන්නෙ ආරච්චි රවාගෙන ඉන්න මූණ. ඒ තරමට ඒ චරිතය හිතට කාවැදිල තියනව. 

09. මල්දෙණිය - කූඹියෝ
මල්දෙණිය කූඹියෝහි ලොකු චරිතයක් වුණාට ටෙලිනාට්‍යය් සැබැවින්ම රංගනයෙන් දායක වන කොටස් ගණන අඩුයි. මම මල්දෙණියට කැමති ⁣ජාතික මට්ටමක දේශපාලනඥයෙකුගෙ තිබිය යුතු සංයමය ඒ චරිතය දැකපු සීමිත අවස්ථා ගණනෙදි මම මල්දෙණිය තුලින් දැකපු නිසා. මල්දෙණිය අනතිමට ජෙහාන්ට වෙට්ටු දාන්න ගිහින් ඇණගන්නව ඇති. ඒත් මල්දෙණිය දකින වාරයක් පාසා සැබෑ ජීවිතයෙදි අපි දකින ව්‍යාජ ප්‍රභාවක් ආරෝපණය කරගත්තු දේශපාලනඥයන්ට වඩා ඉවසිලිවන්ත, නිවුණු, සරළ, ගැඹුරක් ඇති බව පෙනෙන මල්දෙණියට මම ආස කළා. 

08. ගාමිණියා - ඉන්ගම්මාරුව
ගාමිණියා බැලු බැල්මට පාදඩයෙක් වුණාට නරක මිනිහෙක් නෙමෙයි. ගාමිණියා තුලින් නිරූපණය වුණේ දුගී දුප්පත්කමින් බැටකාපු පීඩිත, නූගත් ඒත් ඇතුලාන්තයෙන් අහිංසක, සමාජ ක්‍රමයේ වරදින් පාදඩකරණයට ලක්වුණ බහුතරයක් ශ්‍රී ලාංකීය තරුණයන්ගෙ කතාව.

07. මිස්ටර් දියබත්තුවේගම
දියබත්තුවේගම කියන්නෙ හේමසිරි ලියනගේ නිරූපණය කරපු චරිත වලින් මම දැකපු සාර්ථකම චරිතයක්. කොමිස්, පගා ජීවිකාව කරගත්තු ලොක්කන්ට මුට්ටි අල්ලලා වැජබෙන රාජ්‍ය සේවකයෙක් තමයි දියබත්තුවේගම. වාසියට පාට වෙනස් කරන්න ඔහුට යන්නෙ එක මොහොතයි. වර්තමාන ශ්‍රී ලංකාවෙ සමාජ ක්‍රමයේ නොනැසී ඉන්න සමත් වෙන්නෙ ⁣දියබත්තුවේගමල වගේ මිනිස්සු. 

06. අඩප්පරයා - ඇත්කඳ ලිහිණියා
අඩප්පරයා පෙන්නන්නෙ අපේ සමාජයේ එක්තරා පුස්කාපු තැනක්. පීඩිතයන් අතර ඉපදිලා තමන්ට බලපුළුවන්කාරයන්ගෙන් ලැබෙන කටු සූප්පු කරමින් තමන්ගෙම උන්ට වල කපන ජාතියෙ අන්තිම ජරා පැවැත්මක් අඩප්පරයට තිබ්බෙ. කේලම් කීම, ලොක්කන්ගෙ මතවාද සමාජයේ ප්‍රසිද්ධ කිරීම, ඒ වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටීම වගේ සට්ටඹි වැඩ වලට අඩප්පරයා හැමවෙලාවෙම සැදී පැහැදී ඉන්නව.

05. සේදිරිස් - සූරිය අරණ
ජැක්සන්ගෙ හොඳම නිරූපණය මේක කියල මම කියන්නෙ නෑ. ඒක මතකයේ රැදෙන්න හේතුව දුෂ්ඨයි කියලා සමාජය පැත්තකට කරන මිනිස්සුන්ටත් කතාවක් තියන බව සේදිරිස් ප්‍රකාශ කරන අපූරු ආකාරය. එක තැනක කියනවා මෙහෙම:-
"මගෙ මේ ගාතෙ ගිහින් දීපියව් අහවලුන්ට, මේ ගාතෙ ගිහින් දීපියව් තොපේ හාමුදුරුවන්ට. ඉතුරු ටික...ඉතුරු ටික තොපි කාපියව්"

04. ස්ටැන්ලි - මචං
ඒ චරිතය කොච්චර වැදුණද කියනවනම් අදටත් ධර්මප්‍රිය ඩයස් මොන නිර්මාණයක දැක්කත් මට මුලින් ස්ටැන්ලි පෙනිලා තමයි ඊළඟට ඒ චරිතයේ පුද්ගලයා පේ⁣න්නෙ. ස්ටැන්ලි කියන්නෙ මචං එකේ එන පැයක් වුණත් වතුර නොබී කතා කරන්න පුළුවන් අනික් චරිත ඔක්කොම එකට බැඳෙන රන් හුය කීවොත් නිවැරදියි. 


03. ඉස්කෝලෙ මහත්තයා - සරෝජා
ජනක කුඹුකගේ කියන අපි නිතර දකින නළුවගේ නිතර නොදකින ප්‍රභාව එළියට ආවෙ මේ චරිතයෙන්. සංවේදී හිතක් ඇති මෝඩයෙකුත් නොවන ඕනෑම මිනිසෙක් ඒ වගේ තත්වයකට මුහුණ දුන්නොත් හිත වැඩ කරන ආකාරය ඒ චරිතයෙන් හරිම ලස්සනට පෙන්නල තියනව. මුලදි එන ආවේගය, අවිශ්වාසය වගේම පස්සෙ එන සන්සුන් බව, අවබෝධය, නිවුණු මානුෂික ගුණාංග ආදී සියල්ල එතන තිබුණා.

02. හබරා - අබා
ආචාර්ය සෞම්‍ය ලියනගේගෙ තවත් අති විශිෂ්ට රංගනයක්. ජැක්සන් ඇන්තනි කිව්වෙ අබා කියන්නෙ රජුන් තනන මිනිසුන්ගේ කතා කියල. ඒකෙ ඉන්න අංක එකේ රජුන් තනන මිනිහා තමයි හබරා. රජුන් තනනවට මම පෞද්ගලිකට එකඟ නෑ. මම කැමති ඊට වඩා හොඳ ක්‍රමවේදයක් හදන්න. ඒත් එදා මෙදා තුර ලෝකයේ අරගල වලදි සැබෑ දහඩිය ලේ කඳුළු හලපු නම නොකියවෙන සාමාන්‍ය මිනිහා තමයි හබරා. ඒ චරිතය අමුතු එකක් වුණාට ඒකට ආවේණික ප්‍රභාවක් ජැක්සන් ඇන්තනි දීල තිබ්බ. 

01. ජෙහාන් - කූඹියෝ
මේක ගොඩ දෙනෙකුගෙ තේරීම වෙන්න ඇති. හැමෝම ආසයි හැමෝටම ⁣ජෙහාන්ට වගේ ලෝකය අමුතුම කෝණෙකින් පේනවනම්. ඇත්ත එහෙම නොපෙනෙනව නෙමෙයි. මිනිස්සු එහෙම බලන්න ලෑස්ති නෑ. ලෝකෙ මිනිස්සු තම තමන්ට ලොක්කො හදල දීපු පොඩි පොඩි රේස් වල හැල්මෙ දුවද්දි ඒ හැමෝම දිහා සමච්චල් සහගත හිනාවකින් බලාගෙන තමන්ගෙ ගමන තමන්ගෙ සැළසුමේ හැටියට යන මිනිහෙක් ⁣ජෙහාන්ගෙන් පේනව. අපි ජෙහාන්ට බැඳෙන්නෙ ඒකයි. ඒත් ලස්සන වැඩේ අන්තිමට බලද්දි ජෙහාන්වත් පාලක පැලැන්තිය බොහොම කාලෙකට ඉස්සර සල්ලි දීල අරං.

ආගමක්, ජාතියක්, ජම්මයක් නැති හැත්ත

අපේ සමාජයේ භෞතිකවාදීන්ට හුදෙක් භෞතිකවාදියෙකු වීම නිසා නොයෙක් නින්දා අපහාස වලට ගැරහීම් වලට මුහුණ දෙන්න වෙනවා. ජාතියක් ජම්මයක් නැති උන්, ආගමක් නැති හැතිකරේ, සමාජ අචාරධර්ම පිළිනොගන්න අනීතික හැත්ත වගේ අපාහාසාත්ම කතා වලට මුහුණ දෙන්න වෙනවා.

නමුත් සැබෑ භෞතිකවාදියා යනු ජීවිතය භෞතිකව වටහාගන්නා පුද්ගලයා. ඒ පුද්ගලයාට හොඳ දේ යහපත් දේ නරක දෙයින් සහ අයහපත් දෙයින් වෙන්කරගැනීමට, අපි කරන කියන හැම දෙයක්ම උඩ ඉන්න දෙවියන් විසින් හෝ කර්මය විසින් බලාගෙන ඉඳලා ලියාගෙන අපිට පොලිත් එක්ක විඳවන්න දෙනවා කියන භය අවශ්‍ය නෑ.

ඔහු යහපත් දෙයක් කරන්නෙ ඒක හුදෙක් යහපත් වීම නිසා මිස කිසිම යහපත් කර්ම විපාකයක් සඳහා හෝ සර්ව බලධාරියෙකුගෙන් ලකුණු දමාගැනීම සඳහා නොවෙයි. ඒ යහපත කිරීම තුල ඔහුගේ සිතේ සතුටක් තෘප්තියක් උපදිනවා. ඒ සතුට තෘප්තිය ඔහුට ප්‍රමාණවත්. 

බුදු දහමෙත් කුසලය කියල සැබැවින්ම හඳුනාගන්නා සංකල්පය මීට ගොඩක් දුරට සමානයි. එතනදි යම් යහපත් කර්ම විපාකයක් හෝ සර්ව බලධාරියෙකුගේ ප්‍රසාදයක් ආශිර්වාදයක් අපේක්ෂාවකින් තොරව කෙනෙක් යහපත් දෙයක් සිදුකරන්නේද එයින් උපදින සතුට කුසලය කියනවා. 

ඒ වගේම තමයි අයහපත් දෙයින් සහ වැරදි දෙයින් වැලකීම. වරදක් සිදුනොකළ යුත්තේ හුදෙක් එය වරදක් නිසා මිස කිසිවෙකුට හෝ විපාකයකට බයෙන් නොවන්නේ නම් එය අවබෝධය තුලින් වරදින් වැලකීමක් වෙනවා. එයයි භෞතිකවාදීන්ටත් වඩා සමස්ථ ලෝකවාසීන් වටහාගත යුතු ප්‍රධාන දේ.

මේ අතර අර මුලින් කියපු භෞතිකවාදීන්ට අවලාද නගන අය අඩුම ගානෙ සර්ව බලධාරියෙකුට හෝ කර්ම විපාකයකට බයෙන් යහපත් දේ කරනවද අයහපත් දෙයාන් වලකිනවද කියන අතිශය වලංගු ප්‍රශ්නය පැන නගිනවා.

ආගම්වාදීන් බොහෝ විට ආගමික ඉගැන්වීම් පසෙක තිබියදී ආගම සංස්ථාවක් කොටගෙන එය රැකියයුතු දේපලක් ලෙස සළකා එය රැකීමේ අරමුණින් ආගමේ මූලික ඉගැන්වීම් නොසළකා කටයුතු කරනවා. එවිට කර්මයට හෝ සර්ව බලධාරියෙකුට භයක් තිබුණත් නැතත් එය නොසළකා වැරදි දෙය කරන යහපත් දෙය කිරීමෙන් වලකින ඒ පිරිස ප්‍රකාශිත භෞතිකවාදීන්ටත් වඩා උග්‍ර භෞතිකවාදී පිරිසක් වෙනවා. මොකද ඔවුන් ආගමිකයින් යැයි කියාගත්තත් කෙළින්ම ආගමික ඉගැන්වීම නොසළකා කටයුතු කරන පිරිසක්. 

අනික් පිරිස ආගම් විකුණාගෙන කන උදවිය. ආගමික හෝ විඥානවාදී වෙනත් විශ්වාස, ඒවා පිළිබඳව සාමාන්‍ය ජනතාව තුල ඇති භය විකුණමින් මේ පිරිස ජීවිකාව හොයාගන්නවා. දෙවියන් වෙනුවෙන් යැය කියමින් අසරණ මිනිසුන්ගෙන් එකතු කරන පඬුරු පාක්කුඩම් දාන මාන ආදියෙන් අති සුඛෝපභෝගී ජීවිත ගතකරනවා. ඒ හරහා ගොඩනැගෙන ආගමික සංස්ථාවේ පැවැත්ම තියන තුරු පමණයි මෙවැනි වංචාකාරයින්ට පැවැත්මක් තියෙන්නෙ. එබැවින් ඒ ආගමික සංස්ථාව රැකගැනීම සඳහා යැයි කියමින් මේ පිරිස නොකරන ජරා වැඩක් නැහැ. 

එතකොට ඇත්තටම භෞතිකවාදීන් කවුද? සමාජයට ආගමිකයන් ලෙස පෙන්වා සිටිමින් ඇතැම් කාරණා භෞතිකවාදී ලෙස අභ්‍යන්තරව විසඳාගෙන සාධාරණීකරණය කරගෙන සමාජයේ අයහපතට කටයුතු කරන්නේ කවුද? ඔවුන් තමයි උග්‍ර ආගම්වාදීන්. එතැනදි උග්‍ර ආගම්වාදීන් = උග්‍ර භෞතිකවාදීන් වෙනවා. 

නමුත් මේ කතාව විවෘත මනසකින් අසන්න උග්‍ර නොවන මධ්‍යම ප්‍රමාණයේ ආගමිකයන් සූදානම් නැහැ. මන්ද අර මුලින් කිව්ව ආගමික සංස්ථාවේ ආරක්ෂාව සඳහා ආගමික සංස්ථා වල උඩින්ම ඉන්න උග්‍ර භෞතිකවාදීන් විසින් මතයක් ඇතිකරලා තියනවා ආගම් ප්‍රශ්න නොකළයුතු බවට, ඒවා තර්කානුකූලව විග්‍රහ කරගැනීමට නොයා යුතු බවට සහ එය පාපයක් බවට. 

ඉතින් මධ්‍යස්ථ මතධාරී ආගමිකයන් අර උග්‍ර ආගමික භෞතිකවාදීන් කියන දේ විශ්වාස කරලා තත්‍ය භෞතිකවාදීන් ඉදිරිපත් කරන සෑම මතයක් ⁣දිහාම බලන්නෙ එක්තරා අවඥාවකින් සැකයකින්. ඒක කණගාටුවට කරුණක්.

සරසවියෙන් උරුම වූ දේශපාලනික දුප්පත්කම

මම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට එන්නෙ 2008 දි. එතකොට නීති පීඨයේ ශිෂ්‍ය දේශපාලනයේ ඒකාධිකාරය දැරුවේ නිදහස් නීති ශිෂ්‍ය සංවිධානය. අපි අහලා තියන විදියට නිදහස් නීති ශිෂ්‍ය සංවිධානය 1992දි බිහිවෙලා සියත නීති ශිෂ්‍ය සංවිධානය හෙවත් ජෙප්පන් සමග විශාල අරගලයකින් පස්සෙ තමයි ඒ වගේ ඒකාධිකාරී තත්වයකට ඇවිත් තිබුණෙ.

නිදහස් නීති ශිෂ්‍ය සංවිධානයේ තිබුණෙ සරළ ප්‍රතිපත්ති දෙකයි. එකක් නවකවදයට එරෙහි වීම. අනෙක බාහිර දේශපාලන පක්ෂවලට පීඨයේ අභ්‍යන්තර දේශපාලන කටයුතු සදහා අත පෙවීමට ඉඩ නොදීම. පළමු ප්‍රතිපත්තිය ගැන මම මෙතනදි මොකවත් කියන්න යන්නෙ නෑ. නමුත් දෙවන ප්‍රතිපත්තිය ගැන පශ්චාත් විග්‍රහයක් කරන්න මේක හොද වෙලාවක් කියල හිතනව. 

නීති පීඨ ආපන ශාලාවෙ ලොකු අකුරින් ගහල තිබුණ පුරවර පින්බිමේ භේද නැත නොයෙක් පෙදෙසේ සබද නුඹ නිදහස් කියල. ඒකෙන් අදහස් කරන්න ඇත්තෙ එක විදියකින් කාටවත් ගැති නෑය කියන අභිමානවත් සිතුවිල්ල. අනිත් එක දේශපාලන මතිමතාන්තර අරභයා ශිෂ්‍යයෝ අතර ආරාවුල් නෑ කියන දේ. 

නිදහස් නීති ශිෂ්‍ය සංවිධානයේ නිළ ගීතිය විදියට තෝරගෙන තිබ්බෙ වික්ටර් රත්නායකයන්ගෙ සදහිරුතරු පවතිනතුරු අපි මැරෙන්නෙ නෑ ගීතය. ඒක පහත දැක්වෙන විදියට වෙනස් කරගෙන තිබ්බ:-

සදහිරු තරු පවතිනතුරු
අපි මැරෙන්නෙ නෑ (freedom)
අනග තරුණ බඹරු අපි
අමර වරම අපට හිමි
අපි මැරෙන්නෙ නෑ
අපි මරන්ඩ බෑ (freedom)

කලක මෙහෙන් චුතවෙනවා (ජෙප්පො.. ජෙප්පො..)
එළොව ගිහින් වැජබෙනවා (ජෙප්පො.. ජෙප්පො..)
පෙළපත නම වෙනස් වෙලා
ආයෙත් මෙළොවට එනවා
එහෙම වුණත් කිසිම දිනක
අපි මරන්ඩ බෑ (freedom)

හැරමිටියෙන් ඇවිදින්නෝ (ජෙප්පො.. ජෙප්පො..)
අපට එරෙහි වී එන්නෝ (ජෙප්පො.. ජෙප්පො..)
සීමා මායිම් වැටකොටු
ඒ කිසිවක් අපිට නැතේ
වැරදීමෙන් හුස්ම ගියත්
අපි මැරෙන්නෙ නෑ (freedom)

කිසිම දේශපාලන පක්ෂයකට ගැති නොවීම නිදහස් නීති ශිෂ්‍ය සංවිධානයේ හෙවත් ෆ්‍රීඩම් එකේ මූලික හරයක් වුණත් ඒකෙ මුඛ පරම්පරාගත සාහිත්‍යය ඒ කියන්නෙ ඔය සින්දුව සහ ෆ්‍රීඩම් එකේ තෙල අධ්‍යයනය කරද්දි පේන දෙයක් තමයි හැම වෙලාවෙම ජෙප්පො ප්‍රධාන විරුද්ධවාදී කණ්ඩායම විදියට සළකලා ක්‍රියා කිරීම. හ්ම්... ඒක ටිකක් හිතල බලන්න වටින දෙයක්. ඇයි අපක්ෂපාතී නොබැදි පිළිවෙතක්නම් එක කණ්ඩායමකට විතරක් දැඩි සේ විරුද්ධ? 

ඒක මම තේරුම් ගත්තෙ මේ විදියට. නිදහස් නීති ශිෂ්‍ය සංවිධානය බිහි වෙන 1992 කියන්නෙ ශ්‍රී ලංකාව ජවිපෙ දෙවෙනි කැරැල්ලෙන් බැට කාල ඉවර වේගෙන ආප කාලෙ. විශේෂයෙන් එතනදි ෆ්‍රීඩම් එකේ මතයට ප්‍රධාන පිටිවහල වෙන්න ඇත්තෙ ශාස්ත්‍ර පීඨයේ එක්සත් ශිෂ්‍ය සංවිධානය. දයා පතිරණගෙ ඉදන් එන ඉතිහාසය බැලුවාම ඔවුන් සැමදා ජවිපෙ විරෝධී. ඒ අභාෂය මත ෆ්‍රීඩම් එකේ මුඛ පරම්පරාගත සාහිත්‍ය සාකල්‍යයෙන්ම ජවිපෙ විරෝධී වෙන්න ඇති. (මේ කොටස මට කවුරුවත් කියපු දෙයක් නෙමෙයි. මට දැනගන්න ලැබුණ දේවල් වලින් මම හිතාගත්ත හැටි. වැරදිනම් කවුරුහරි නිවැරදි කරන්න.)

දැනගන්න ලැබුණ විදියට අපි විශ්ව විද්‍යාලයට එන්න කලින් අවුරුද්ද දක්වාම නීති පීඨයේ සියත නීති ශිෂ්‍ය සංවිධානය හෙවත් ජෙපි ක්‍රියාකාරීත්වය තිබිල තියනව. එතකොට තත්වෙ හිතාගත්තහැකි. දෙපාර්ශවයම බොහොම පැහැදිලිව කාලානුරූපව තමන්ගෙ තෙල් වෙනස්කරගෙන යාවත්කාලීන කරගන්නව වෙනුවට උත්සාහ කරන්න ඇත්තෙ අලුතින් එන බැච් එකෙන් පුළුවන් තරම් පිරිසක් තමන්ගෙ ගොඩට දාගන්න. ඒකෙන් මම හිතන විදියට වුණේ 1992 දි තිබුණ ආරවුලක් එහෙම ආරවුලක් නොතිබිය යුතු 2008 දක්වාම ඇදී ඒම. 

මට ෆ්‍රීඩම් තෙලේදි ආප පළවෙනි ප්‍රශ්නෙ තමයි ඇයි දැඩි ලෙස ජෙප්පො පිටු දකින්නෙ කියන එක. ඒකෙ මොකක්ද පදනම අහපුවාම 1992දි තිබූ තත්වයක් ගැන සහ ෆ්‍රීඩම් එක ගොඩනගන්න වෙච්ච මහන්සිය ගැන කියනව මිසක් පිළිගතහැකි තර්කානුකූල පිළිතුරක් දීපු කෙනෙක් නෑ. මම හාර හාර ඇහුවෙත් නෑ. මොකද ඒ කාලෙදි මට අවශ්‍ය වුණේ නෑ අනවශ්‍ය ප්‍රශ්න අහන කෙනෙක් විදියට ලේබල් වෙන්න. නමුත් කාලයත් එක්ක නීති පීඨයේ ෆ්‍රීඩම් එකත් ඉන්න ඇතැම් අයට පවා ඔය මට ආපු ප්‍රශ්නෙ ඇවිත් තිබුණ බව පෙනුණ. 

ඇත්තටම බැලු බැල්මට ශිෂ්‍ය දේශපාලන කණ්ඩායම් කිසිම දේශපාලන පක්ෂයකට ගැති නොවී ස්වාධීනව නිදහසේ ක්‍රියාත්මක වෙන එක කොච්චර හොදද? තම තමන්ට විශ්ව විද්‍යාලය තුල පවතින්න තමන්ගෙ පුරුදු දේශපාලන මතවාද වෙනස් කරන්න නොවෙනවනම් ඒක කොච්චර අගේද? ඒක තමයි ලිබරල් සමාජයක් කියන්නෙ. ෆ්‍රීඩම් එක දිහා බැලු බැල්මට කෙනෙකුට පේන්න පුළුවන් එහෙම. ඒත් ඒක ඒහෙමමද? හ්ම්... මම හිතන්නෙ නෑ කියල. 

මම නීති පීඨයට එන කාලෙ ෆ්‍රීඩම් කිව්වම එක පාර හිතට එන නිදහස් මතධාරීන්ගෙ උතෝපියාවක් විදියට නීති පීඨය ගැන කවුරුහරි හිතනවනම් ඇත්තටම ඒක වැරදියි. ඒ තුලත් තිබුණ මර්දනයක්, විරුද්ධ මතවාදීන් යටපත් කිරීමක් සහ අන්තිම ජරාජීර්ණ දේශපාලනයක්. නරකම දේ ඒ දේශපාලනය සහ ගැටුම් දේශපාලනික න්‍යායාත්මක මතවාදයන් මත පදනම් වෙලා සිදුවනවා වෙනුවට, බාහිර සමාජයේ වගේම අහවලාගේ මූණට අකමැති වීම, ආපු දවස්වල ඉදන් ඌ දිරවන්නෙ නැති වීම, ඒ පුද්ගලයාගේ පදිංචි ගම් ප්‍රදේශය, කල්ලිවාදය වගේ අන්තිම  දෙකයි පනහේ දේශපාලනික පදනමක් ඇත්තේම නැති පදනම් මත සිදුවීම. දේශපාලනික ගැටුම් දේශපානික නොවන පදනම් මත සිදුවෙනවා කියන්නෙ ඒක අන්තිම හිරිකිත වැඩක්. ඒ දේශපාලනයේ මමත් හිටියා. මර්දනය මමත් කළා. ඒක අවාසනාවක්. 

නිදහස් නීති ශිෂ්‍ය සංවිධානයේ ෆ්‍රීඩම් සංකල්පයෙන් ඇත්තටම සිද්ධ වුණේ විශ්ව විද්‍යාලයට එන ශිෂ්‍යයා නිදහසේ අලුත් මතවාද සොයා යාමට වඩා තමන් පරම්පරාවෙන් ගෙනාපු ගෙදරින් උරුම වෙච්ච කුණු ගද ගහන අපරිණත දේශපාලන මතවාද එක්ක කුණු වෙන එක. අවුරුදු හතරක් විශ්ව විද්‍යාලයක ඉදලත් තමන්ට කකුල් දෙකන් වැනෙන්නෙ නැතුව හිටගෙන කියන්න පුළුවන් දේශපාලන මතවාදයක් නීති පීඨයෙන් පිටවෙන ෆ්‍රීඩම් සාමාජිකයන්ගෙන් අතිමහත් බහුතරයකට තිබුණෙ නෑ. අදටවත් නෑ. 

මොකද එහෙම දේශපාලනික දැනුමින් සහ ආකල්ප වලින් පෝෂණය වෙන්න සුදුසු වටපිටාව ෆ්‍රීඩම් එක මගින් ස්වේච්ඡාවෙන් නැති කරගෙන තිබුණා. දේශපාලනික සාක්ෂරතාවයක් ඇතිකරගැනීමට උනන්දුවක් ඇති අතලොස්සක් සහ ස්වභාවයෙන්ම දේශපාලනික ඥාණය සොයා යන අතලොස්සක් හැරුණු විට අදටත් ෆ්‍රීඩම් සාමාජික වෙලා ඉදලා නීති පීඨයෙන් නික්මුණු වැඩි දෙනෙක් දේශපාලනිකව හරිම දුප්පත්. නීති ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන්ගෙ දේශපාලන සාක්ෂරතාවය දුප්පත් වීම කොයි තරම් ඛේදවාචකයක්ද කියල අමුතුවෙන් පැහැදිලි කළ යුතු යැයි මා සිතන්නේ නෑ. 

එහෙනම් මොකක්ද ඇත්තටම කරන්න තිබුණෙ එකක් තමයි නිදහසේ දේශපාලනයට නීති පීඨය තුලට එන්න ඉඩදීම. අපි තුන්වෙනි වසරෙ ඉද්දි ෆ්‍රීඩම් එකේ කැදවුම්කරු විදියට මම ඉන්න කාලෙ එක වෙලාවක ඕක ගැන සාකච්ඡා වුණා. නමුත් එතනදි යෝජනා වුණේ රටේ බලයේ ඉන්න දේශපාලන පක්ෂයට ලින්ක් එකක් හදාගැනීම තුලින් කපටි ලෙස ඔවුන්ගෙන් යම් යම් වැඩ කරවාගැනීම. හිනාවෙන්න එපා. එහෙම යෝජනා කළේ තුන්වන වසර නීති ශිෂ්‍යයො. ඒ කතාව එතරින් නතර වුණා. 

මම නීති පීඨයෙන් ඉවත් වුණාට පස්සෙ ඔය ගැන කල්පනා කරද්දි මට මෙහෙම හිතුණා. බැරිවෙලාහරි ෆ්‍රීඩම් එක ජෙපි වුණා නම්. සමහරුන්ට හිතන්නත් බය ඇති. තව සමහරුන්ට හිතන්නවත් අප්පිරියා ඇති. ඒත් මම පෞද්ගලිකව විශ්වාස කරනවා එහෙම වුණා නම් නීති පීඨයෙන් ඒ කාලෙ පිටවුණ අය මීට වඩා දේශපාලික අවබෝධයක් සාක්ෂරතාවයක් දැනුමක් ලබාගෙන පිටවෙන්න තිබුණා. මොකද මාක්ස්වාදී දේශපාලන ධාරාවකට යන්තමින් හෝ සම්බන්ධ වීමෙන් කෙනෙකු ලබන පන්නරය වෙනත් කිසිදු දේශපාලන ධාරාවකදි ලබන්න බෑ. ඒ ධාරා වලදි ඇත්තටම ලබන්න පුළුවන් ඇමති තුමාට මුට්ටියක් අල්ලලා සර් කියලා කණිපින්දම් කියලා දෙන දෙයක් අරගෙන ඒකෙන් තමන්ගෙ ජීවිත සුඛිත මුදිත කරගැනීමේ පාදඩ පන්නරය. මම ළගදි ඔය කතාව ඒ කාලෙ මගෙ නීති පීඨ සගයෙකුට කිව්වා. එයාගෙ උත්තරෙන් මම මේ සටහන ඉවර කරන්නම්

"හරි බං අතා මට කියපං ඇත්තටම දේශපාලනය කරන එකේ අරමුණ තමන්ට මොනවහරි කරගන්න එක නෙමේද?'

-සටහන
අථිල අතාවුද
හිටපු කැදවුම්කරු - නිදහස් නීති ශිෂ්‍ය සංවිධානය
2010/11

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...