සමලිංගිකත්වය ලෙස සැළකෙන්නේ තමන්ට සමාන ලිංගිකයෙකු වෙත ඇතිවන ලිංගික ලැදියාව. එය ස්වභාවික මානසික පැවැත්මක් ලෙස නූතන මනෝ විද්යාව හඳුනා ගන්නවා. එයට හේතුව මොළයේ ජෛව රසායනික තත්වය හෝ සමාජ අත්දැකීම් විය හැකියි. සහේතුක සබුද්ධික මිනිසුන් සමලිංගිකත්වය හඳුනා ගන්නෙත් විරුද්ධ ලිංගික ආකර්ශනය මෙන්ම සාමාන්ය සංසිද්ධියක් වශයෙන්. නමුත් ලිංගිකත්වයේ දෘඪ හරය වන ජීවයේ පැවැත්ම සඳහා වර්ගයා බෝකිරීමේ ක්රියාවලියට සතුන් තුළ පෙළඹවීමක් ඇති කිරීම යන අරමුණත් සමඟ සමලිංගිකත්වය ගැලපෙන්නේ නැහැ. නමුත් පුද්ගල ආශාවන් යන්න ජිජ්සෝ ප්රහේලිකාවක් මෙන් නූලට අනෙකුත් සංසිද්ධීන් සමඟ ගැලපිය යුතුමද? මගේ පුද්ගලික අදහස එසේ නොවන බවයි.
මම එසේ කියන්නේ මන්ද? අද මානව සමාජයේ විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ලිංගික සබඳතා හැම එකක්ම සිදුවන්නේ වර්ගයා බෝකිරීම සඳහාද? නැහැ. සංඛ්යාත්මකව ගත්තොත් දවසකට සිදුවන ලිංගික සබඳතා වලින් 98%ක් පමණ වර්ගයා බෝ කිරීම නොව හුදෙක් ලිංගික තෘප්තිය සතුට ඉලක්ක කළ ඒවා. එවිට සමලිංගිකයන් පමණක් සතුට ඉලක්ක කිරීම අසාමාන්ය හෝ වැරදි වන්නේ කෙසේද?
එමෙන්ම විරුද්ධ ලිංගිකයින් දෙදෙනෙකු එකතු වී හෝ වර්ගයා බෝ කිරීමට අසමත් වන අවස්ථා තිබෙනවා. එවිට බොහෝ විට දෙදෙනාගෙන් සරු භාවය ඇති කෙනා වෙනත් කෙනෙකු සමග ලිංගිකව එකතු වී දරුවෙකු ලබාගැනීම, ශුක්රාණු මිළට ගෙන ගර්භාෂයේ කෘතිමව තැන්පත් කරගැනීම හෝ උපන් දරුවෙකු දරුකමට හදා ගැනීම සිදුකරනවා. සමලිංගික යුවළකට වුවත් ඒ අයුරින් දරුවන් ලබාගැනීමට හැකියාව තිබෙනවා පමණක් නොවෙයි බොහෝ රටවල එසේ සිදු කෙරෙනවා.
පසුගියදා ෆින්ලන්තයේ අගමැති ධුරයට පත් ලොව ලාබාලම අග්රාමාත්යවරිය වන Sanna Marin ට සිටින්නේ කාන්තා දෙමාපියන් යුවළක්. ඇය කාන්තා සමලිංගික පවුලක දරුවෙක්. අපි තවම මග සිටිමින් යල්පැනගිය පසුගාමී අහේතුක සදාචාර විධි කරපින්නාගෙන ඒවා බිම තැබීමට බැරිබව කියමින් තර්ක විතර්ක කරමින් සිටියදී ලෝකය පටු භේද පසෙක තබා අප පසුකර බොහෝ දුර ගොස් අවසන්.
නපුංසකබව යන්න ජෛව රසායනික ඵලයක්. එය පාලනය කිරීමට බොහෝදුරට නපුංසකභාවය දරණ තැනැත්තාට හැකියාවක් ඇත්තේනැහැ. නමුත් නපුංසකයින් සාමාන්ය ස්ත්රී පුරුෂයින් මෙන් සමාජයේ සුලභ නැහැ. ඒ හේතුවෙන් සමාජයේ හැසිරීමේදී ඔවුන් කෙරෙහි විශේෂ අවදානයක් යොමු වෙනවා. ඒක බොහෝ විට අපහාසාත්මක එකක්.
ආගමික ඉගැන්වීම් බොහොමයක සමලිංගිකත්වය පාපයක් ලෙසත් නපුංසකභාවය පාපී ආත්මභාවයක ප්රතිඵලයක් ලෙසත් හඳුනාගැනෙනවා. තවත් සමහර ආගමික විශ්වාස තුල සමලිංගිකයින් නපුංසකයින් හඳුනා ගැනෙන්නේම නැහැ. ඒවා එවැනි පුද්ගලයන් නොමැති බව සළකා දේශනා කොට තිබෙනවා වැනියි. එවිට ඔවුන් බොහෝ දුරට ආගමික ඉගැන්වීම් තුල එක්කෝ පවුකාරයින් වනවා. නැත්නම් සර්වබලධාරියාගේ මැවීමට පටහැණිව නිර්මාණය වූ අපතයන් බවට සැළකෙනවා.
මේ තත්වය තුල සමලිංගිකත්වයට කැමති එසේ විවෘත සමාජයේ ජීවත් වීමට කැමති බොහෝ දෙනෙකු සහ නපුංසකයින් සාම්ප්රදායික ආගමික සංස්ථා වලින් දුරස්ව තම තමන්ගේ ජීවිත ගත කරන්නට පෙළඹෙනවා. නමුත් ඔවුන් අවබෝධයෙන් නිරාගමිකයන් වී ඇති බවක් එයින් අදහස් වන්නේ නැහැ. එය ඕනෑම සත්ත්වයෙකු දක්වන අප්රසන්න ස්ථානයකින් විතැන් වීමේ ප්රතිවිපාකය.
ආගමික සමාජය තුල සැබැවින්ම සමලිංගිකත්වයට ප්රායෝගිකව ඇත්තේ දෙබිඩි පිළිවෙතක්.
ඇතැම් භක්තිමත් ආගමිකයන් තමාගේ ආගමේ ඉගැන්වීමට ඇති බිය මත තමා තුල ස්වභාවයෙන් පැන නගින සමලිංගික ලැදියාව බලහත්කාරයෙන් යටපත් කරගනිමින් ජීවිත කාලය පුරා අතෘප්තිකර ලිංගික ජීවිතයක් ගෙවා මිය යනවා.
ආගමික පූජක තනතුරට පත්ව බ්රහ්මචාරීත්වය අනිවාර්ය කෙරුණු ඇතැම් අය සැබැවින් ස්වභාවිකව තමන්ට සම ලිංගික ලැදියාවක් නැතත් ස්ත්රී වේවා පුරුෂ වේවා දෙකෙන් ඕනෑම එකක ලිංගික ස්පර්ශය බලාපොරොත්තුවෙන් සමලිංගිකත්වය වෙත යොමු වනවා දැකිය හැකියි.
දෙවැනි ලෝක යුද්ධයේ ජර්මනියේ එනිග්මා කේත ක්රමය විසඳු ඇලන් ටූරින් නැමැති විද්යාඥයා සම්බන්ධ අත්දැකීම, ලෝකයේ සමලිංගිකත්වය සම්බන්ධයෙන් පැවැති සාම්ප්රදායික චින්තනය සදොස් බවට උදාහරණයක්. අනෙක් පුද්ගලයාගේ අයිතීන් ගරු කරන පුද්ගලයෙකු ලෙස ඔහුගේ හෝ ඇයගේ ලිංගික ලැදියාව තමාගේ ප්රශ්නයක් කොට ගැනීමකින් තොරව එය පෞද්ගලිකත්වයට ලඝු කිරීම නූතන ලෝකයේ ප්රවණතාවය වනවා.
එයින් වාසි දෙකක් සැළසෙනවා. එකක් සමලිංගිකයින් සහ නපුංසකයින්ගෙන් ලෝක ප්රගමනයට ලබාගතහැකි උපරිම දායකත්වය ලබාගැනීමට ඒ හරහා ඉඩ සැළසීමයි. අනෙක පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයේ ඇති මහිමය කෙතෙක් විය යුත්තේද යන්න නැවත නැවතත් අවධාරණය වීමයි.
No comments:
Post a Comment