ආරුමුගම් තොණ්ඩමන්ගේ මරණයත් සමගම ශ්‍රී ලංකාවේ දේශපාලනයේ වැඩි දෙනෙකුගේ අවධානයට කළකින් යොමු නොවූ පැතිකඩක් නිරාවරණය වන්නට විය. ඒ වතුකරයේ දේශපාලනයයි. ඇතැමෙක් මවිතයෙන්ද ඇතැමෙක් ආහ්ලාදයෙන්ද ඇතැමෙක් ජුගුප්සාවෙන්ද ඒ දෙස බලා සිටිනු දුටුවෙමි. නමුත් වතුකරයේ දේශපාලනය කුමක්ද එය රටේ අනෙකුත් ප්‍රදේශ වල දේශපාලනයෙන් වෙනස් වන්නේද යන කාරණය විමසා බැලීමට මීට වඩා උචිත අවස්ථාවක් නැවත නොඑනවා ඇත.
වතුකරය කී පමණින් නිල්වන් තේ වතු යායවල් අතර පිහිටි අපිරිසිදු කුඩා ගොඩනැගිලි වල එක පොදියට සිය ගණනින් ජීවත් වන අපිරිසිදු පෙනුමැති කාලවර්ණ මිනිසුන් සිහිවීම නොවැලැක්විය හැකිය. ඒ වතු කම්කරුවන්ය. වඩාත් අඩු වැටුපකට වතු සමාගම් වල නිල නොවන වහල් මෙහෙය සදහා ඉන්දියාවෙන් ගෙන ආ කුල හීන දුගී දුප්පත් මිනිසුන්ය. නිල වශයෙන් අවසාන වරට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ විදේශ මිනිසුන් ප්‍රජාවය.
ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රජාවන්ට සාපේක්ෂව වතු කම්කරුවන් සම්බන්ධයෙන් අනුගමනය කැරෙන්නේ වෙනස් ප්‍රතිපත්තියකි. ගම් මට්ටමේ වුවද සාමාන්‍ය කම්කරුවෙකුගේ දිනක වැටුප රුපියල් දෙදහසක් පමණ වේ. ඒ ගණනටද කම්කරුවාගේ සේවය ලබාගැනීමට ඔහුට සතියකටවත් පෙර දැනුම් දී දිනයක් වෙන්කරවාගත යුතුය. දෙදහසට අඩුවෙන් දීමට හෙට්ටු කිරීම වනාහි වැඩක් කරවාගැනීමට කම්කරුවෙකු නැතිවන වැඩකි.
රටේ සාමාන්‍ය තත්වය එසේ තිබියදී 2019 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම බවට පත්වන්නේ ඔවුන්ගේ දිනෙක වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමා ගැනීමය. එකම රටක කම්කරුවන් දෙකොටසකට මේ අයුරින් ඉරණම් දෙකක් අත්වූයේ කෙසේද?
එයට පිළිතුරු ගණනාවක් ඇත. එකක් නම් තේ කර්මාන්තයේ ස්වභාවයයි. ශ්‍රී ලංකා තේ හෙවත් සිලෝන් ටී ලෝකයේ ප්‍රචලිත වී ඇත්තේ සාපේක්ෂව ගුණත්වයෙන් ඉහළ තේ විශේෂයක් වශයෙනි. එසේ වුවද ලෝක වෙළෙදපොලේ ඉල්ලුම පවත්වා ගැනීම සදහා අනෙකුත් රටවල තේ සමග තරගකාරී මිළකට තේ අලෙවි කිරීමට සෑම විටෙකම මූලිකත්වය ලබාදීමට සිදුවේ. ඒ අනුව තේ කිලෝවක් සදහා වැය කිරීමට සිදුවන පිරිවැය අවම කරගැනීම සෑම තේ නිෂ්පාදන සමාගමකම අභිප්‍රාය වේ. ඒ අනුව ශ්‍රම පිරිවැය හැකිතාක් අඩු මට්ටමක පවත්වාගෙන යෑම ලෝක වෙළෙදපොලේ ලංකා තේ මිළට සැළකිය යුතු අන්දමින් බලපාන බවත් ශ්‍රම පිරිවැය අධික වීමෙන් ශ්‍රී ලංකා තේ කර්මාන්තය කඩා වැටීමේ ඉඩක් පවතින බවත් තේවතු හිමියෝ පවසති.
මෙම තත්වය යම්තාක් දුරකට අතීතයේ පටන්ම දේශපාලන අධිකාරිය විසින්ද අනියමින් පිළිගත්තා සේය. තේවතු කම්කරුවන් රටේ අනෙකුත් කම්කරුවන්ගෙන් වෙනස් වන බවත් ඔවුන්ට එතරම් සැළකිල්ලක් දැක්වීම අනවශ්‍ය බවත් ශ්‍රී ලංකා දේශපාලන අධිකාරියේ බලයට පත් සෑම පක්ෂයකම අප්‍රකාශිතව ප්‍රතිපත්තිය වූ බව පෙනේ.
නමුත් දියුණු වන ලෝකයත් සමග ජීවන බර දරා ගැනීමට නොහැකි වූ තැන කම්කරුවන් වුවද ඊට තමන් මත පැටවෙන අසාධාරණයට එරෙහිව පෙළ ගැසීම අතිශය ස්වභාවික සංසිද්ධියකි. තොණ්ඩමන්වරු ආදේශ වන්නේ කම්කරුවන් අතර එවන් අරගලයක මෙහෙයවන්නාගේ භූමිකාවටය. ශ්‍රී ලංකාවේ දේශපාලනය යනුවෙන් හදුනාගන්නා ව්‍යාපාරය සිදුකරන මුදලාලිවරු වශයෙන් ඔවුන්ද තමන්ට ඡන්දය දෙන ජනතාවට ඔවුන් වෙනුවෙන් කැපවන බව අගවමින් ඔවුන් වෙනුවෙන් මහා මෙහෙවරක් ඉටුකරන බව පෙන්වමින් අනෙක් පැත්තෙන් සුඛෝපභෝගීව වැජබෙති. පසුකාලීනව බිහිවන දිගම්බරම්ලා රාධක්‍රිෂ්ණන්ලා සහ වඩිවේල් සුරේෂ්ලාගේද තත්වය එයයි.
ඒ අනුව ලංකා කම්කරු කොංග්‍රසය වතු කම්කරුවනගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින දේශපාලන පක්ෂයක් ලෙසත් එක් අයුරකින් වතු කම්කරුවන්ගේ එකම ගැලවුම්කරුවා ලෙසත් හදුන්වනු ලැබීම අපේක්ෂිතය. නමුත් සැබෑ තත්වය එය වන්නේද යන්න පිළිබදව ඇතිවන්නේ බලවත් සැකයකි.
වතුකරයේ කම්කරු නිවාස ආශ්‍රිතව ඇවිද බලන ශ්‍රී ලංකාවේ වෙනත් ඕනෑම ප්‍රදේශයක ඕනෑම ජීවන මට්ටමක අයෙකු වුවද මහත් පුදුමයට පත්වීම නොවැලැක්විය හැකිය. එකී නිවාසවල සහ ඒවායේ ජීවත් වන්නන්ගේ ජීවන තත්වය ඇත්තේ එතරම්ම පහත් අගාධ මට්ටමකය. මූලික අවශ්‍යතා ස්වල්පය සපුරාගැනීම පවා ඔවුනට ඉතා බරපතළ අභියෝගයකි. එය දිනපතා මුහුණදෙන අභියෝගයකි. අසනීපයක් හෝ වෙනත් හේතුවක් මත දවසක් වැඩ කිරීමට නොහැකි වීම යනු දස දෙනෙකුටට පමණ දවසක් නිරාහාරව සිටීමට සිදුවන අන්දමේ අභියෝගයකි. ලෝකය තොරතුරු තාක්ෂණය දිග්විජය කරද්දී පියාගේ අසනීපය මවගේ අසනීපය හේතුවේ පුතාට දුවට පාසල් ගමන නවතා තේ වත්තේ වැඩට යාමට සිදුවන තරම් අන්ත ඛේදනීය අභියෝගයකි.
ශ්‍රී ලංකාවේ සියළුම කම්කරුවන්ගේ තත්වය පොදුවේ සතුටුදායක නැත. නමුත් අන් සෑම ක්ෂේත්‍රයකම කම්කරුවන් තම වෘත්තීය සමිති හරහා යටත් පිරිසෙයින් අවම ජීවන තත්වයක් ලබාගැනීමට හෝ සමත් වෙද්දී වතු කම්කරුවන්ට 2019දීත් දිනකට රුපියල් දහසක් යන්න සටන් පාඨයක් වන්නේ කෙසේද? ඒ සටන් පාඨයට පිළිතුරක් ලෙස දහසක් දීමට නොහැකි බවත් අටසියයක් දීමට හැකි බවත් අසන්නට ලැබුණි. ඒ අනුව දිනක වැටුප රුපියල් අටසියයටත් අඩු එකකි.
මෙම ඛේදජනක වාතාවරණය නිරීක්ෂණය කළ පසුගිය මහ මැතිවරණයට තරග කළ මාගේ එක්තරා මිතුරෙකු පවසා තිබුණේ ඔහු වතු කම්කරුවන් ගැන දන්නා තම සහයකයන්ගේ විරෝධය මධ්‍යයේ වතු කම්කරුවන්ට අධ්‍යාපනයේ වටිනාකම පිළිබදව පහදා දීමට උත්සාහ දැරූ බවත් ඒ සියල්ල ගගට කැපූ ඉණි මෙන් වූ බවත්ය. වතුකම්කරුවාගේ දේශපාලන අපේක්ෂාවන් ඒ අනුව ඇත්තේ වෙනම තැනකය.
එය එදා වේල සොයාගැනීම විය හැකිය. ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් ලබාගැනීම විය හැකිය. ලෙඩට දුකට ඖෂධ ලබාගත හැකි රෝහලක් විය හැකිය. පානීය ජලය විය හැකිය. නමුත් එය අධ්‍යාපනයේ වැදගත් කම යන මාතෘකාවට පැමිණීමට තව බොහෝ දුර තිබෙන බව පෙනේ.
මෙය බැලු බැල්මට ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ වල දේශපාලන පරිසරයන්ගෙන් සැළකියයුතු ලෙස වෙනස් තත්වයක් යැයි පෙනේ. නමුත් සැබැවින්ම එය ගැටළුවේ වෙනසක්ද? එසේත් නැතහොත් ගැටළුවේ පරිමාණයේ පමණක් ඇති වෙනසක්ද?
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රධාන දේශපාලන පක්ෂ වල පැවැත්ම සැළකිය යුතු ලෙස ඔවුන්ගේ ඡන්ද දායකයන්ගේ අසරණකම මත පදනම් වේ. ඔවුන්ට පිං පඩි අවශ්‍ය වූ තරමට, සමෘද්ධි සහනාධාරය අවශ්‍ය වූ තරමට, ගෙදර දුවට පුතාට කුමක් හෝ රැකියාවක් ලබාගැනීමට මන්ත්‍රීවරයාගේ සහය අවශ්‍ය වූ තරමට එකී පක්ෂ වල දේශපාලකයින්ගේ පැවැත්ම තහවුරු වේ.
සාමාන්‍ය ගැමි ඡන්ද දායකයා දේශපාලනය යනු අපි මන්ත්‍රීතුමාට ඡන්දය දෙන, ඊට ප්‍රතිඋපකාරයක් ලෙස මන්ත්‍රීතුමා අපේ දරුවන්ට රස්සා දෙන. පාර හදා දෙන, සහනාධාර දෙන එකක් ලෙස සිතා සිටි තරමට ඔවුන්ගේ දේශපාලනය පහසු වේ. මන්ද ඔවුන් සැබැවින්ම දන්නේ දේශපාලනය නොව ගණු දෙනු ගහණ ව්‍යාපාර ක්‍රමයයි. යමක් සිදුකිරීමේ මූල්‍ය හෝ වෙනත් ලාභයක් නොමැත්තේ නම් එයට අත ගසන්නේ ඉතා කළාතුරකිනි.
යම් අධ්‍යාපන මට්ටමක් ඇති අය ජීවිතයේ නැගී සිටීම සදහා ප්‍රදේශයේ දේශපාලනඥයාගේ අධාර උපකාර අත්‍යාවශ්‍ය ලෙස නොසළකති. එබැවින් දේශපාලකයා අවශ්‍ය වන්නේ සැළකියයුතු අධ්‍යාපන මට්ටමක් ශක්තියක් නොමැති අයටය. ජනතාව ක්‍රම ක්‍රමයෙන් දැනුමෙන් සන්නද්ධ වීම අතමිට සරු වීම සැබැවින්ම සාම්ප්‍රදායික දේශපාලනඥයාගේ අවශ්‍යතාවය සැළකිය යුතු ලෙස දුරස් කරන්නකි. ප්‍රදේශයේ ජනතාව උගත් කමින් උසස් වූ කල ඔවුන් බොහෝ විට සුළු සේවක රැකියාවක් සදහා දේශපාලනඥයාගේ දෙපතුල් ලෙවකනවා වෙනුවට පාර හදා නැති වීම මත හෝ පාර හදා වසරකින් දෙකකින් වළවල් මතුවීම හේතුවෙන් දේශපාලනඥයාට බැණ වදී. ඔහුගේ ප්‍රතිපත්ති විවේචනය කරයි. පිළිතුරු දීමට අපහසු ප්‍රශ්න යොමු කරයි. දේශපාලනඥයාගේ ක්‍රියා කළාපයන් ගැන විවිධ ස්ථාන වලට පැමිණිලි කරයි.
ඒ අනුව සාම්ප්‍රදායික දේශපාලනඥයාගේ පැවැත්ම සරි වන්නේ ශක්තිමත් උගත් ජනතාවක නියෝජිතයා වීමෙන් නොව දුබල බෙලහීන නූගත් ප්‍රජාවක නියෝජිතයා වීමෙනි. ඔවුන් සෑම අවශ්‍යතාවයකටම තමා සොයා එන්නේ තමා වැදගතෙකු වන්නේ ඔවුන් අසරණ වූ තරමට සාපේක්ෂවය.
වතුකරයේ කම්කරුවන් සම්බන්ධයෙන් පමණක් නොව ලංකාවේ සෑම ප්‍රදේශයකම තත්වය මෙයයි. දේශපාලකයා විසින් ජනතාවගේ දුබල බව දිගින් දිගටම නඩත්තු කරයි. එයින් තෝරාගත් කිහිප දෙනෙකුට පමණක් යම් සාර්ථකත්වයක් ලබා ගැනීමට අතහිත සපයයි. ඒ කිහිප දෙනා අදාළ දේශපාලකයා වෙනුවෙන් ඔහුට ඡන්දය දෙන ප්‍රජාවගේ තත්වය වඩාත් යහපත් නොවන බවටත් මාරාන්තික තරමට අයහපත් නොවන බවටත් වගබලාගනිති. ප්‍රජාව දේශපාලනික දැනුමින් සන්නද්ධ කිරීමට අධ්‍යාපනයේ වටිනාකම කියාදී ජීවිතයේ වෙනත් තලයන්හිදී ලැබිය හැකි ජයග්‍රහණ පෙන්වා දීමට යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් තැත්කරයිද ඔවුන්ට එක්කෝ තලා පන්නති. නැතිනම් දේරා්හී හංවඩුවකට යටත් කර අවලංගු කර දමති.
ඒ අනුව ගත් කළ වතුකම්කරුවන් සහ ශ්‍රී ලංකාවේ අති මහත් බහුතරයක් සෙසු ජනතාව සිටින්නේ එකම සිර ගෙයක මට්ටම් දෙකකය. අදාළ වන්නේ එකම න්‍යාය සහ එකම නීතියයි. නමුත් බැලු බැල්මට ගත්කළ වතු දේශපාලනය යනු වෙනම සංස්කෘතියක් බවත් එය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දේශපාලනයට වඩා පහත් මට්ටමක පවතින එකක් බවත් සිතන එකී න්‍යායන් මතම සිරගතවූ සාමාන්‍ය පුරවැසියා වතු කම්කරුවා දෙස බලා විමතියට පත්වීම ජුගුප්සාවට පත්වීම උත්ප්‍රාසජනකය.
අද අවසන් ගමන් ගිය සෞම්‍යමූර්ති ආරුමුගම්
රාමනාදන් තොණ්ඩමාන් තම මුත්තණුවන් වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ ඇවෑමෙන් ලංකා
කම්කරු කොංග්‍රසයේ නායකත්වයට පත්වූ පුද්ගලයා හෙවත් වතුකරයේ ඔටුණු නොපලන්
රජු විය. ඔහුට දරුවන් තිදෙනෙකි. ඉන් දියණියන් දෙදෙනා වෛද්‍යවරුන්ය. සමාජ
ජාලා ඔස්සේ කතා බහට ලක්වී ඇති අනෙක් පුතු බැරිස්ටර්වරයෙකි. බෑණා තේවතු
හිමියෙක් බව පැවසේ.
ශ්‍රී ලංකාවේ අනෙකුත් දේශපාලන පවුල් වල තත්වයත් මෙය නොවන්නේද? ඔවුනට ඡන්දය දී ඉහළට ඔසවා තබන සාමාන්‍ය පුරවැසියා අපා දුක් විදිද්දී එම ඡන්දය මත වරප්‍රසාදිත තත්වයට පත්වන දේශපාලකයින් පරම්පරා පිටින් ප්‍රකෝටිපතියන් බවට පත් නොවන්නේද ඉතින් ආරුමුගම් තොණ්ඩමන්ගේ කියා ඇති වෙනස කුමක්ද? ඔහුගේ දේහය පාර දිගේ ගෙන යද්දී එයට වැදීමට තේ දළු කූඩය පසෙක තබා පාර අයිනට එන සෙරෙප්පු දෙකක්වත් නැති ලෙච්චමී රන්සිවිගෙයෙහි අවසන් ගමන් යන පෙරිය අයියර් වෙනුවෙන් කදුළු සලා සුඛෝපභෝගී ජීප් රථයේ සන් රූෆයෙන් පිටතට පෙනෙන සේ නැගිට මාරුවෙන් මාරුවට අත වනමින් ආයුබෝවන් කියන සින්න අයියර්ට අත වනා ආපසු ගොස් තේ කූඩය පිටෙහි බැදගෙන වැඩට යයි. අනෙක් ප්‍රදේශවල දියුණු අවබෝධයෙන් පිරුණු අභිමානවත් යැයි උතුම් ලේ ඇතැයි අමිශ්‍ර ජාන ඇතැයි කියාගන්නා කී දෙනෙකු එකී වතාවත ඔය අයුරින්ම ඉටුකරත්ද?
No comments:
Post a Comment