මෙම වචන දෙක බෞද්ධාගමිකයන් අතර අවබෝධයක් රහිතව වැඩියෙන්ම භාවිතා වන වචන දෙක ලෙස හැදින්වුවහොත් එහි වරදක් නැහැ. ජීවයේ ආරම්භයේ පටන් එකම පුද්ගලයා තැනින් තැන නවාතැන් පොළවල් කරගනිමින් එක් ජීවිතයකින් තවත් ජීවිතයකට ගමන් කරන බවක් බොහෝ අය විශ්වාස කරනවා. මරණයේදී ශරීරයෙන් නික්මෙන මනෝකායක් හෝ ආත්මයක් අවකාශයේ ගන්ධබ්බයෙකු සේ පාවෙමින් සිටිමින් තමාගේ වියෝව හේතුවෙන් ඥාති හිතමිත්‍රාදීන් හඩන වැළපෙන ආකාරය බලා සිටින බවත් ඉන්පසු ලිංගික සංසර්ගය සිදුවන ස්ථානයකට වැද යුක්තානුවකට රිංගා ලැගුම්ගෙන නව ජීවයක් ලෙස ලෝකයට බිහි වන බවත් බොහෝ අය මහත් විශ්වාසයෙන් පවසනු මම අසා තිබෙනවා. එහි පදනම කුමක්ද විමසූ විට ඔවුන් වැඩි දෙනෙකුගේ පිළිතුර වන්නේ තමා බෞද්ධයෙකු බවත් එබැවින් පුනරුත්පත්තිය විශ්වාස කරන බවත්.
අනාත්මවාදී බුදු දහම පුනරුත්පත්තියක් ගැන නොකියයි
නමුත් බුදු දහම කිසිදු ස්ථානයක පුනරුත්පත්තියක් ගැන සදහන් කරන්නේ නැහැ. බුදු දහමේ සදහන් වන්නේ පුනර්භවයක් පිළිබදව පමණයි. එනම් බුදු දහම අනාත්මවාදයක්. එනම් සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැතිය යන මතය. බුදු දහමේ පැහැදිලි කරන්සේ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම හා නැතිවීම මිස සත්වයෙකු හෝ පුද්ගලයෙකු හෝ ආත්මයක පැවැතීමක් ගැන නොවේ. සංස්කාරයන් මත විඥානයත් විඥානය මත නාමරූප එනම් සත්වයාත් හටගන්නා බවයි බුද්ධ දේශනාව.
සංස්කාර-විඥාන-නාමරූප
ඒ අනුව බුදු දහමේ කියවෙන්නේ මරණයත් සමග ශරීරයෙන් නික්මෙන භූතයෙකු තවත් ගුහාවකට රිංගාගෙන නැවත මරණය තෙක් එහි ජීවත් වීමක් ගැන නොවෙයි. සංස්කාරයන් එනම් සත්වයන්ගේ කියුම් කෙරුම් සිතුම් හෙවත් මතු විපාක ඇති කරවන ධර්මතාවයන් මත විඥානයකුත් ඒ මත ජීවයත් හටගැනීම හෙවත් පුනර්භවය ඒ අනුව පුනරුත්පත්තියට වඩා බොහෝ සංකීර්ණ වූ සංකල්පයක්.
පුනර්භවය මැයෙන් පුනරුත්පත්තිය විස්තර කිරීම
බොහෝ බෞද්ධයන් බුදු දහමේ විස්තර කැරෙන්නේ පුනරුත්පත්තියක් නොව පුනර්භවයක් බව නොදන්නවා නොවෙයි. ඒත් ඔවුන් වැඩි දෙනෙකු පුනර්භවය යන වචනයෙන් එහාට දන්නේ නැහැ. ඒ අනුව පුනර්භවය පිළිබදව විමසූ විට ඔවුන් (ඇතැම් භික්ෂූන්ද ඇතුළුව) පුනරුත්පත්තිය විස්තර කරනවා. එය සනාථ කරන්නට අසවලා පෙර උත්පත්තියක් පිළිබදව දෙඩවූ බවත් ඒ දොඩවමින් කියූ කරුණු සත්‍ය බව සනාථ වූ බවත් ඒ අනුව පුනර්භවයක් සනාථ වූ බවත් පවසනවා. එය හුදු නොදන්නාකම මත කරන ප්‍රකාශයක්.
කලකට පෙර ජර්මනියේ ආඥාදායක හිට්ලර් ඔහුගේ මරණින් පසු උතුරු ඉන්දියාවේ රාහුල් ෂර්මා ලෙස උපත ලබා, නැවත මියගොස් ශ්‍රී ලංකාවේ බෙලිඅත්තේ ජීවන්ත ලෙස නැවත උපත ලබා සිටින බවක් පර්යේෂණයකින් ඔප්පු කරන්නේ නම් එයින් ඔප්පු වන්නේ බෞද්ධ ඉගැන්වීමට ඉදුරා පටහැණි ආත්මයක පැවැත්ම පිළිගන්නා හෙවත් ආත්මවාදී පුනරුත්පත්තියක් මිස පුනර්භවයක් නොවේ.
ඒ අනුව පුනරුත්පත්තිය සත්‍ය බව ඔප්පු වූ බව බෞද්ධයෙක් යම් හෙයකින් පිළිගන්නේද බුදු දහමේ කියැවෙන අනාත්මවාදය බොරු බව ඔප්පු වූ බවත් එම බෞද්ධයා එනයින්ම පිළිගන්නවා.
යටි සිත අවධි කිරීම
මනොවිද්‍යාඥයින් ප්‍රකාශ කරන පරිදි මෝහනය කිරීමෙන් සිදුවන්නේ යටි සිත අවදි කිරීමක්. එහිදී මෝහනය සිදු කරන්නා යටි සිත අවදි කළද එකී යටි සිත ක්‍රියාත්මක වන ආකාරය ඔහුගේ පාලනයෙන් තොරයි. එවිට ඔහු අසන යම් ප්‍රශ්නයකට මෝහනයට ලක්වූ තැනැත්තා තමාගේ යටිසිතේ නොදැනුවත්වම රැදී තිබූ යම් යම් කරුණු පිළීතුරු වශයෙන් ලබා දිය හැකියි. පෙර ආත්මය ගැන මතකයෙන් කීම වශයෙන් සැබැවින්ම හදුන්වන්නේ මෙය නැවත නැවතත් සනාථ වූ කරුණක්.
පුනරුත්පත්ති සංකල්පය ඇතිවීම
කර්මය හා එහි විපාක පිළිබදව විශ්වාසය බුදු දහම තුල පමණක් ඇතුලත් වූවක් නොවේ. එය හින්දු වැනි වෙනත් බොහෝ ආගම් තුල පිළිගන්නා දෙයක්. එමෙන්ම මැවුම්වාදය පිළිගැනීම තුල සර්වබලධාරියා හෝ මහා බ්‍රහ්මයා විසින් සියල්ල මවන ලද්දේය යන්න පිළිගැනෙනවා. එහිදී මවන ලද ශරීරයට ජීව හුස්ම පිඹීම පිණිස යම්කිසි අස්පර්ශණීය මායාවක්ද මවන ලද්දේය යන විශ්වාසය බොහෝ දෘෂ්ටිවාද තුල ඇතුලත්.
ඒ අනුව සංසාර ගමන කර්මඵලය වැනි සංකල්ප පැහැදිලි කිරීමටත් මෙසේ ආත්මය යන ඒකකයේ පැවැත්ම පිළිගැනීමෙන් පහසු වෙනවා. ඒ අනුව පුද්ගල පැවැත්මකුත් ඔහු කරන කියන සෑම දෙයක්ම සර්ව බලධාරියා විසින් මතක තබාගැනීම, ලියාගැනීම හෝ පරිඝනක ගතකරගැනීම කරන බවත් පැහැදිලි කිරීම පහසු වෙනවා. පුනරුත්පත්තිය සංකල්පයක් ලෙස පිළිගැනීම බිහි වන්නේ ඒ අනුව.
පුනර්භවය සංකීර්ණ සංකල්පයක්
නමුත් බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීම පුනරුත්පත්තියේ ඉහත කී සාපේක්ෂව බැංකු ගිණුමක ස්වභාවයේ සරළ පැහැදිලි කිරීමෙන් බොහෝ ඔබ්බට යනවා. පුනර්භවය යන්න වටහා ගැනීම සදහා සංස්කාර ධර්මයෝ, ඒවා හරහා විඥානය හටගන්නා ආකාරය සහ ඒ මත නාමරූප හෙවත් ජීවය හටගන්නා ආකාරය වැනි අති සංකීර්ණ සංකල්ප මුළින් වටහාගෙන සිටිය යුතුයි. එසේ නොමැතිව පුනර්භවය යනු කුමක්ද යන්නවත් වටහා ගන්නට කෙනෙකුට බැහැ. ඇතැම් භික්ෂූන් ඇතුළුව අතිමහත් බහුතරයක් බෞද්ධයන් පුනර්භවය යන නම දමාගෙන පුනරුත්පත්තිය විස්තර කරන තැනට එන්නේ ඒ අනුව.
බුදුන් වහන්සේ පුනරුත්පත්තිය ප්‍රතික්ශේප කළා යැයි කීමට වඩා නිවැරදි වන්නේ බුදුන්වහන්සේ ආත්මවාදය ප්‍රතික්ශේප කළා යැයි කීම. පුනරුත්පත්තියක පැවැත්මට අත්‍යාවශ්‍ය ආත්මයක පැවැත්ම ප්‍රතික්ශේප කිරීම තුල පුනරුත්පත්තිය එනයින්ම ප්‍රතික්ශේප වෙනවා.
පුනරුත්පත්තිය දෙදරවන නවීන විද්‍යාවේ සොයාගැනීම්
එමෙන්ම නවීන විද්‍යාව තුලින්ද පෙර දිවියක් ගෙවා මියැදුණෙකුගේ ගන්දබ්බයෙකු අවකාශයේ සිට හිටිගමන් සංසර්ගයක් මැද්දට පැන යුක්තානුවකට අරක්ගන්නේය යන ආත්මවාදී පුනරුත්පත්ති සංකල්පය සෙලැවීමට තුඩුදෙන සොයාගැනීම් සිදුකොට තිබෙනවා.
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිවන් මුහුණුවර හා බමුණු දිට්ඨිය ග්‍රන්ථයේ එන 6 වැනි නිබන්ධනය වන "පුනරුත්පත්තිය සහ පුනර්භවය" තුල එවැනි උදාහරණ ගණනාවක් දක්වා තිබෙනවා. එහි දක්වා ඇති උදාහරණ අතර ගැඩවිලෙකු දෙකට කැපීමෙන් ගැඩවිලාගේ හිස පැත්තේ කැපුණු තැනින් වල්ගයකුත් වල්ගය පැත්තේ කැපුණු තැනින් හිසකුත් ලියැලීමෙන් ගැඩවිලුන් දෙදෙනෙකු බවට පත්වීම, කෘතිමව සංසේචනය කරන ගෙඹි බිජුවට යුක්තානු දෙකට මැදින් කෙස් ගසකින් කැපීමෙන් එය යුක්තානු දෙකක් බවට පත්වී ඉස්ගෙඩියන් දෙදෙනෙකු හැදීම, යුක්තානුව වෙන් නොවන සේ එහි මැදින් කෙස් ගසකින් බැද තැබීමෙන් අවයව දෙක බැගින් පිහිටි දෙබිඩි ඉස්ගෙඩියෙකු හැදීම වැනි උදාහරණ දක්වා තිබෙනවා.
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිවන් මුහුණුවර හා බමුණු දිට්ඨිය ග්‍රන්ථයේ එන 6 වැනි නිබන්ධනය වන "පුනරුත්පත්තිය සහ පුනර්භවය" තුල එවැනි උදාහරණ ගණනාවක් දක්වා තිබෙනවා. එහි දක්වා ඇති උදාහරණ අතර ගැඩවිලෙකු දෙකට කැපීමෙන් ගැඩවිලාගේ හිස පැත්තේ කැපුණු තැනින් වල්ගයකුත් වල්ගය පැත්තේ කැපුණු තැනින් හිසකුත් ලියැලීමෙන් ගැඩවිලුන් දෙදෙනෙකු බවට පත්වීම, කෘතිමව සංසේචනය කරන ගෙඹි බිජුවට යුක්තානු දෙකට මැදින් කෙස් ගසකින් කැපීමෙන් එය යුක්තානු දෙකක් බවට පත්වී ඉස්ගෙඩියන් දෙදෙනෙකු හැදීම, යුක්තානුව වෙන් නොවන සේ එහි මැදින් කෙස් ගසකින් බැද තැබීමෙන් අවයව දෙක බැගින් පිහිටි දෙබිඩි ඉස්ගෙඩියෙකු හැදීම වැනි උදාහරණ දක්වා තිබෙනවා.
එමෙන්ම එයට ඉතාම ගැලපෙන උදාහරණයක් ලෙස ඇමීබාවා වර්ගයා බෝකරන ආකාරය ගත හැකියි. ඊට අමතරව ආගමික සංස්ථා වල විරෝධය මත දැනට නවත්වා දමා තිබුණත් ක්ලෝනකරණය මගින් මානවයන් පවා බිහි කිරීමට අවශ්‍ය තාක්ෂණය වර්තමාන ලෝකය සතුව පවතිනවා.
මෙම නව සොයාගැනීම් මගින් ආත්මවාදය හෙවත් නිශ්චිත ඒකාත්මික ආත්මයක පැවැත්ම බොහෝ දුරට බිද වැටෙනවා. ජීවය යනු පදාර්ථ එක් වීමෙන් සැකසෙන්නක් මිස එයට ආත්මය නම් මායාමය හුස්ම පිඹීමක් අවශ්‍ය නොවන බවත් තහවුරු වෙනවා. ආත්මවාදය බිදවැටීම යනු පුනරුත්පත්තිවාදයද බිද වැටීමක්. බුදුන් පුනරුත්පත්තිය ප්‍රතික්ශේප කරමින් ඉදිරිපත් කළ පුනර්භවය සංකල්පය විද්‍යාත්මකව විශ්ලේෂණය කර එහි සත්‍ය අසත්‍යතාවය විමසීමට තරම් විද්‍යා ලෝකය තවමත් දියුණු වී නැහැ. නමුත් පදාර්ථ එකතු වීම සහ සංස්කාර ධර්මයන් එක්වී විඥානය බිහිවීම සහ විඥානය හරහා නාමරූප බිහිවීම යන බෞද්ධ ඉගැන්වීම විද්‍යාවට අනුව පදාර්ථ එකතුවීමට දෙන වෙනත් මුහුණුවරක පැහැදිලි කිරීමක් ලෙසත් තර්ක ඉදිරිපත් වී තිබෙනවා.
පුනර්භවය විද්‍යාත්මකව සනාථ වීම නොවීම පසෙක තැබුවත් බුදුන්ගේ ධර්මය තුල හදුනාගන්නා සංකල්පය පුනර්භවය මිස පුනරුත්පත්තිය නොවන බව අවධාරණය කළ යුතුයි. ඒ අනුව ඇතැම් බෞද්ධයන් නොදන්නාකම මත පුනර්භවය යන මාතෘකාව යටතේ පුනරුත්පත්තිය විස්තර කිරීම අතිශයින්ම සදොස් බවත් එය බුදුන්ගේ අනාත්මවාදයට සම්පූර්ණයෙන්ම පටහැණි හින්දු හෝ වැදි මූලයකින් එන දෘෂ්ටිවාදයක් කරපින්නා ගැනීමක් බවත් පෙන්වා දිය යුතු වෙනවා.
No comments:
Post a Comment