යම් සත්‍ය කතාවක් ලියන පුද්ගලයා ඒ සදහා පදනම් කරගන්නේ තමන්ගේ පෞද්ගලික දෘෂ්ටිය. ඒ සිද්ධිය තමන්ට වැටහෙන ආකාරය ඒ සිද්ධිය තමන්ට වැටහුණේ මෙලෙස යැයි අනෙක් අය සිතනවාට කැමති ආකාරය සැබැවින් සිදුවූයේ කුමක් වුවත් අනාගත පරපුර එය දැනගතයුතු යැයි විවිධ හේතූන් මත තමා කල්පනා කරන ආකාරය යනාදී විවිධ පදනම් එකී දෘෂ්ටියට අදාළ වන්නට පුළුවන්.
රැවුල වවාගත් රෞද්‍ර අපිරිසිදු කෝපයෙන් පිරුණු කොටි
මේ පිළිබදව හොද උදාහරණයක් සිංහල චිත්‍රපටවල ඇතුලත් වන එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ චරිත හරහා සැපයෙනවා. ඒවා හරහා නිරූපණය කරන එල්.ටී.ටී.ඊ සාමාජිකයා මුහුණ පුරා රැවුල වවාගත්, අනුකම්පා විරහිත දෙනෙතක්, නොපීරූ කොණ්ඩයක්ද සමග අපිරිසිදු කෝපයෙන් දැවෙන මුහුණක් ඇති, මානසික රෝහලක ප්‍රතිකාර ලබන උන්මන්තකයෙකුට බොහෝ දුරට සමාන පෙනුමක් ඇති අයෙක්. අනාගත පරපුර නොව වර්තමාන සිංහල සහ මුස්ලිම් සමාජයේ බහුතරය පවා විවිධ හේතූන් මත එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ඉහත කී ආකාරයෙන් මවාගන්නටයි කැමති. ඒ අනුව ඔවුන් විසින් කියන ලියන ඉතිහාස කතා තුල එල්.ටී.ටී.ඊ සාමාජිකයා නිරූපණය වන ආකාරය සිතා ගැනීම අපහසු වන්නේ නැහැ.
වාර්තාගත වන සියළුම ඉතිහාස කතා පුවත් වාර්තා වන්නේ ඔවැනි පසුබිමක් යටතේ. එහිදී සැබැවින්ම සිදුවූයේ කුමක්ද යන්න මතකින් කිව හැකි පරම්පරාව සහ එම පරම්පරාවෙන් කතාන්තරයක් ලෙස සත්‍ය සිදුවීම ඇසූ පරම්පරාව මිය ගිය විට අනාගත පරපුරට ඉතිරි වන්නේ පෙරකී විකෘති වූ වාර්තාගත ඉතිහාසය පමණයි.
විසංයෝජනීයව බැලීම
මෙය ලෝකයේ ඕනෑම ස්ථානයටක වාර්තාගත ඕනෑම ඉතිහාස කෘතියකට අදාළ වන නියාමයක්. ඒ හේතුවෙන් කියවන්නාට විකල්ප දෙකක් ලැබෙනවා. එකක් වාර්තාගත ඉතිහාසය සම්පූර්ණ සත්‍යය ලෙස ගැනීම. අනෙක වාර්තාගත ඉතිහාසය දෙස විසංයෝජනීයව බලමින් සැබෑවටම සිදුවන්නට ඇත්තේ කුමක්ද යන්න පිළිබදව විචාරශීලීව කල්පනා කිරීම. කෙසේ වෙතත් විසංයෝජනීයව වාර්තාගත ඉතිහාසය දෙස බැලූ පලියට සත්‍ය සිදුවීම අනිවාර්යයෙන්ම හෙළිදරව් වන්නේ යැයි කියන්නටත් බැහැ. එසේ හෙයින් බොහෝ ඉතිහාසඥයන් මෙන්ම වාර්තාගත ඉතිහාසයට යම් පදනමක් මත බැදුණු අය එය විසංයෝජනීයව කියවීමට කාලය යෙදවීම නාස්තියක් ලෙස හදුන්වන අවස්ථාත් තිබෙනවා.
කෙසේ වෙතත් ඉතිහාසය දෙස විසංයෝජනීයව බැලීමේදී එක් ඉතිහාස වාර්තාවක් සමග සමකාලීන තවත් ඉතිහාස වාර්තාවක් සසදා බැලීම, ජනශ්‍රැතිය සමග සසදා බැලීම, භෞතික ඓතිහාසික සාධක සමග සසදා බැලීම, මෙන්ම රචකයාගේ සමාජ දේශපාලනික පසුබිම සළකා බැලීම සිදු කළ හැකියි. එහිදී අතීතයේ සිදුවූයේ කුමක්ද යන්න පිළිබදව සියයට සියයක් නිවැරදි චිතත්‍රයක් මවා ලැනීමට හැකියාවක් නොලැබුණද වඩා සත්‍යවාදී ආස්ථානයක් කරා යාමට හැකියාව ඇති බැවින් විචාරශීලී කියවන්නෙකු ලෙස ඉතිහාසය විසංයෝජනීයව කියවීම ඉතා වැදගත්.
මහාවංශය
ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අවධානයට ලක්වන ඉතිහාස ග්‍රන්ථය වන්නේ මහා වංශය. එය 5 වන සියවසේදී මහාවිහාරවාසී මහානාම තෙරුන්ගේ සමාරම්භයෙන් පවත්වාගෙන ආ ලේඛනයක්. එයට පදනම් කරගත් බව කියැවෙන්නේ සිංහල අට්ඨකතා, 3 වන සහ 4 වන සියවසේ රචනා වූ දීපවංශය සහ මුඛ පරම්පරාගත කරුණු.
අට්ඨකතා
අට්ඨකතා ලෙස සැළකෙන්නේ පළමුව ප්‍රාකෘත භාෂාවෙන් පැවැතී ඉන්පසු සංස්කෘතයට සහ පාලියට පරිවර්තනය කරනු ලැබීමෙන් පසු වටහා ගැනීම අපහසු බවට පත්වූ බෞද්ධාගමික දහම් කරුණු පැහැදිලි කරගැනීම සදහා නිර්මාණය කරන ලද උපමා කතා වැනි යමක්. ඒවායේ හරය මගින් යම් දහම් කරුණක් පැහැදිලි කරන බව සත්‍යයක් වුවත් අට්ඨකතා වල අඩංගු කතාන්තර සියයට සියයක් සත්‍ය ඒවා වීමට ඇත්තේ දුරස් ඉඩක්.
දීපවංශය
දීපවංශය සැළකෙන්නේ ශ්‍රී ලංකාවේ පැරණිම ඓතිහාසික වාර්තාව ලෙස. 3 වන සහ 4 වන සියවස් වල රචනා වූ බව කියන එයටත් පදනම් කරගත් බව කියවෙන්නේ අට්ඨකතා සහ වෙනත් මූලාශ්‍ර.
බොහෝ කලකට පසු සිදුවන වාර්තාකරණය
විජය කුමරු ශ්‍රී ලංකාවට පැමිණි බව කියවෙන්නේ ක්‍රිස්තු පූර්ව 543-505 අතර කාල සීමාවක. මහා වංශය බුද්ධ කාලයෙන් ආරම්භ වී සිදුකරන විස්තරය ඒ අනුව අවම වශයෙන් එකී සිදුවූවා යැයි කියන සිදුවීම් වලට වසර 1000කටත් අධික කාලයකට පසු සිදුකරන වාර්තාකරණයක්. විජයාවතරණයට වසර 800කට පසු දීපවංශය ලියැවෙන්නේ. මහාවංශය ලියැවෙන්නේ එයින් වසර 1000කට පසු.
කාලයත් සමග එන පරස්පරතා
උදෑසන අටට සිදුවූ යම් සිද්ධියක් සියයට සියයක් ඒ ආකාරයෙන්ම විස්තර කරන්න රාත්‍රි අටට ඔබට හැකි වෙනවාද කෙසේ වත් නැහැ. ඔබ කොතරම් හොද මතකයක් ඇති අයෙකු වුවත් ඔබට කුමක් හෝ කරුණක් අනිවාර්යයෙන්ම මගහැරෙනවා. ඔබේ විස්තරය අදාළ සිදුවීමට පැය 12කට පසු නොව ඒ මොහොතේම වුවත් යථාර්ථයට සර්ව සම වන්නේ නැහැ.
නීතිඥවරුන් ලෙස අධිකරණ වලදී අප අත්දකින දෙයක් නම් යම් අපරාධයක් සිදුවූ වහාම එය දකින හෝ එයට ලක්වන සාක්ෂිකරුවකු ඒ පිළිබදව අපරාධය සිදුවූ දිනයේම පොලීසියට සිදුකරන ප්‍රකාශය සහ ඊට වසර දෙකකට පමණ පසු අධිකරණයේ සාක්ෂි කූඩුවට නැග දිවුරුම් පිට ලබාදෙන සාක්ෂිය බොහෝ අවස්ථා වලදී එකිනෙකට යම් ප්‍රමාණයකින් හෝ පරස්පර වන බව. වසර දෙකක් තුල එසේ සිදුවන්නේ නම් පරම්පරා 10කට වැඩියෙන් ඉකත් වී ඇති වසර 1000කට පසු ලියන වාර්තාවක් යථාර්ථයට කෙතරම් ආසන්න විය හැකිද යන්න නැවතත් විචාරශීලීව සිතා බැලිය යුතු වෙනවා.
මාර්ටින් වික්‍රමසිංහයන් මහාවංශය පිළිබදව මෙසේ ලියනවා:-
"මහාවංසය ඉතිහාසයක් නොව බුදුනු වීර කවියකි. එය හින්දුකාරයන්ගේ දෙවිවරුන්ගේ සාහසික වීරකම් වර්ණනා කෙරෙන වීර කව් කියවීමෙන් පිබිදුණු යතිවරයෙකුගේ නිර්මාණයකි. මහානාම හිමියන් එය හැදින්වූයේ "හුදී ජන පහන් සංවේගය උදෙසා" කළ රචනයක් ලෙසිනි. සංවේගය යන වදනට දම්පියා අටුවා ගැටපදය අරුත් කියන්නේ "අධර්මයට-පවට-බියවන නුවණ" නමිනි"
"මහාවංසය ඉතිහාසයක් නොව බුදුනු වීර කවියකි. එය හින්දුකාරයන්ගේ දෙවිවරුන්ගේ සාහසික වීරකම් වර්ණනා කෙරෙන වීර කව් කියවීමෙන් පිබිදුණු යතිවරයෙකුගේ නිර්මාණයකි. මහානාම හිමියන් එය හැදින්වූයේ "හුදී ජන පහන් සංවේගය උදෙසා" කළ රචනයක් ලෙසිනි. සංවේගය යන වදනට දම්පියා අටුවා ගැටපදය අරුත් කියන්නේ "අධර්මයට-පවට-බියවන නුවණ" නමිනි"
ඒ අනුව සැබැවින්ම ගත්කල මහාවංසය කතාන්තරයක්. බොහෝදුරට ප්‍රබන්දයක්. සියයට සියයක් නොවුණත් සැළකිය යුතු ප්‍රමාණයකට පරිකල්පනයෙන් ඌණ පූරණය කරන ලද්දක්.
මෑතකාලීන වාර්තාකරණයේ පක්ෂග්‍රාහීත්වය
මෑතකදී ජනතා අවධානය දිනාගත් ආරුමුගන් තොණ්ඩමන්ගේ මරණ ගෙදර උදාහරණයකට ගන්න. පවත්නා රජයට පක්ෂපාතී මාධ්‍ය එය වාර්තා කරන ලද්දේ කෙසේද? පවත්නා රජයට විරුද්ධ මාධ්‍ය එය වාර්තා කරන ලද්දේ කෙසේද? එය බොහෝ දුරට අන්ත දෙකක සිට සිදුකරන වාර්තා කිරීම් දෙකක් වුණා නේද? ඒ අනුව රාජ්‍ය අනුග්‍රහය ඇතිව ලියැවෙන මහා වංශයේ තොණ්ඩමන්ගේ අවමගුල ගැන කෙසේ සදහන් වනු ඇත්ද? එම නියාමයම අතීතයට අදාළ නොවන්නේද?
මහාවංශය මහා විහාරය මගින් නඩත්තු කරන ලද ඉතිහාස ලියවිල්ලක්. ඒ අනුව ඔවුන්ට එදිරිවාදී අභයගිරි භික්ෂූන්ට හිතවත් යම් පුද්ගලයෙකු ගැන මහාවංශයේ සාධාරණ විස්තරයක් ඇතුලත් වන්නේ යැයි සිතීම බලවත් මුළාවක්. එමෙන්ම සිංහල බෞද්ධ සමාජයට විරුද්ධ සතුරෙකු පිළිබදව ලියන ලියැවිල්ල තුල එම සතුරා අපක්ෂපාතීව විශ්ලේෂණය කෙරේ යැයි සිතිය නොහැකියි. ඒ අනුව මෙම නියාමය ඔස්සේ ගැඹුරට යන්න ගියොත් මහාවංශය මහා අවිශ්වාසකටයුතු ලියවිල්ලක් යැයි හිතෙන්නටත් පුළුවන්. කෙසේ වෙතත් ඇතැම් ඓතිහාසික සිදුවීම් පිළිබදව ඇති එකම වාර්තාව එයයි. එසේ පවතින එකම වාර්තාව වන විට අතීත සිදුවීම් පිළිබදව නිදොස් වේවා සදොස් වේවා යම් චිත්‍රයක් හෝ මවාගැනීමට ඇති මූලාශ්‍රය මහා වංශය පමණක් වනවා.
මහාවංශය නොවටිනා බවක් අදහස් නොවේ
මහාවංශය නොවටනා ලියවිල්ලක් බවක් මෙයින් කෙසේවත් අදහස් වන්නේ නැහැ. මහාවංශයට පමණක් නොව ශ්‍රී ලංකාවේ මෙන්ම ඕනෑම රටක ඕනෑම ඓතිහාසික වාර්තාවකට මෙම නියාමය එකසේ අදාළ වනවා. එබැවින් ඒ සියළු ලියවිලි විචාරශීලී පුද්ගලයන් කියැවිය යුත්තේ අවබෝධ කරගැනීමට උත්සාහ දැරිය යුත්තේ විසංයෝජනීය ප්‍රවේශයකින්.
ඉතිහාසය වාසියට විසංයෝජනීයව කියවීම
නමුත් මෑත කාලීනව ශ්‍රී ලංකාවේ නව ප්‍රවණතාවයක් ඇති වුණා. ඒ වාර්තාගත ඉතිහාසය වාසියට විසංයෝජනීයව කියවීම. විශේෂයෙන්ම රාවණාවාදීන් වෙතින් මෙම ප්‍රවේශය ඉදිරිපත් වුණා. එහිදී රාවණා සංකල්පය විස්තර නොකිරීමෙන් මහාවංශය අවිශ්වාසකටයුතු ලෙසත් දුටුගැමුණු එළාර යුද්ධය ඇතුලු ශ්‍රී ලාංකීය යුධ වීරත්වය පිළිබදව විස්තර කෙරෙන ස්ථානයේදී එය පරම සත්‍යය ලෙසත් මේ පිරිස සළකනවා මෙන්ම එම යුධ වීරත්වයේ ගෞරවය රාවණා පරපුරෙන් පැවත එන සටන් කලාවන්ගේ ගිණුමට බැර කරනවා. මෙය ඉතිහාසය දෙස විසංයෝජනීයව බැලීමේ අන්තගාමී කපටි ප්‍රවේශයක් ලෙස හැදින්විය හැකියි.
එමෙන්ම නිහාල් ද සිල්වාගේ අලිමංකඩ සිට පර්යේෂණාත්මක නවකතාවේ උතුරේ දෙමළ ජනතාව මහාවංශය ඉහත සදහන් පදනම මත යම් තාක් දුරකට ප්‍රතික්ශේප කරන බවත් උතුරේ සිංහල ජනාවාස පිළිබදව එහි සදහන් නොවීම මත විජයාවතරණයටත් පෙර සිට දෙමළ බස කතා කරන ජනතාව උතුරු කරයේ සිටි බවටත් වන තර්කයක් ඉදිරිපත් කරනවා. ඉන්දියාවට ඉතා ආසන්නයේ නාවුක ගමනාගමනය සිදුවන යුගයක මෙය අභව්‍ය කතාවක් නොවුවත් එය ඔවුන් බෙදුම්වාදී ස්ථාවරයකට පදනමක් ලෙස භාවිත කරනවා. ඒ අනුව එයත් ඉතිහාසය වාසියට විසංයෝජනීයව කියවීමක්.
මේ අනුව විසංයෝජනය පසෙකට දමා වාර්තාගත ඉතිහාසය එනයින් පිළිගැනීම සෑම අතින්ම හොද බව කෙනෙකුට සිතෙන්නට පුළුවන්. නමුත් මා පෞද්ගලිකව විශ්වස කරන ආකරයට දෙයක් ඇති සැටියෙන් දැකීමට උත්සාහ කිරීම එසේ දැකීම කළ නොහැකි අවස්ථාවක වුවත් හැකි උපරිම සීමාව දක්වා දෙයක් ඇති සැටියෙන් දැකීමට තැත්කිරීම විචාරශීලී සබුද්ධික මිනිසෙකුගේ ලක්ෂණයක්. එතැනදී ඉතිහාසය විසංයෝජනීයව කියවීම අතිශයින් වැදගත්.
No comments:
Post a Comment