Monday, May 25, 2020

හේතුවාදයේ පදනම

ඕනෑම දෙයක් හේතු සාධක සහිත නම් පමණක් පිළිගැනීම සහ හේතු සාධක රහිතව පිළිගැනීම ප්‍රතික්ශේප කිරීම හේතුවාදයේ මූලික පදනමයි. ඒ අනුව හේතුවාදය යනු සැබැවින්ම නිරන්තර විමර්ශනශීලීත්වයයි. නිරන්තර විමර්ශනශීලීත්වය බෙහෙවින් ගතිකය. එනම් නවීන සොයාගැනීම් සමග අද සත්‍යය ලෙස පිළිගන්නා දෙය හෙට වන විට වෙනස් වීමට හැකියාව ඇත. හේතුවාදය සම්බන්ධයෙන් හේතුවාදීන් නොවන කණ්ඩායම් සමග සිදුකරන ලද වාද විවාද වලදී පෙනී ගිය කාරණාවක් වන්නේ ඉහත කී ගතිකත්වය හේතුවෙන් හේතුවාදයට ස්ථිර පදනමක් නොමැති බවටත් එනයින්ම හේතුවාදය බිදවැටෙන බවටත් වන නිවැරදි නොවන මතයක ඔවුන් එල්බ සිටින බවයි.

හේතුවාදයේ ඇති එකම පදනම් විමර්ශනශීලීත්වය සහ විවෘත මනසයි. එනම් නිරන්තර ප්‍රශ්න කිරීමයි. සෑම දෙයක්ම එහි ඇති ගුණ අගුණ සියල්ල සමග විමර්ශනයට ලක්කොට තීරණයකට එළඹීම හේතුවාදියා සිදුකරයි. කිසිදු දෙයක් හෝ සංකල්පයක් අවිචාරවත්ව පරම සත්‍යය ලෙස ගෙන වන්දනාමාන කිරීම හේතුවාදියා සිදු නොකරයි. මෙම විමර්ශනයේදී හේතුවාදය විද්‍යාත්මක සොයාගැනීම් පිළිබදව අවධානය යොමු කරයි. ඒ සමගම විද්‍යාත්මක සොයාගැනීම් වනාහි අවසානාත්මක නිගමනයන් නොව නිරන්තරයෙන් වෙනස් විය හැකි නව පදනම් නිර්මාණය කළ හැකි දෙයක් බව හේතුවාදීන් පිළිගනිති.

ආගම්වාදීන් සාකල්‍යයෙන්ම යම් කිසි විශ්වාසයක් ස්ථිර, පරම සහ වන්දනාමානිත පදනමක් කොට ගනිති. උදාහරණයක් වශයෙන් "දෙවියන් සිටී" යන්න ගතහොත් දෙවියන් පිළිබදව එතැනින් එහාට සිදුවන ආගම්වාදීන්ගේ කතාබහ සම්පූර්ණයෙන්ම පාහේ පදනම් වන්නේ "දෙවියන් සිටී" යන එකී පදනම මතයි. බොහෝ විට බහතෝරන අවධියේ පටන් මෙවන් සනාථ නොවූ පදනම් මත ඉතිරි සියල්ල තීරණය කරගැනීමට ඇති වන පුරුද්ද විවෘතව යමක් දැකීමට ඇති බාධාවකි.

හේතුවාදයේ පදනම විද්‍යාවද? විමර්ශනශීලී විවෘත මනසද?

ඒ අනුව ආගම්වාදීන් හේතුවාදය වටහා ගන්නේ හෝ හේතුවාදය සම්බන්ධයෙන් වාද විවාද කිරීමට පහසු වනු පිණිස ඔවුන් එය වටහා ගැනීමට කැමති වන්නේ හේතුවාදයේ පදනම යම් යම් විද්‍යාත්මක සොයාගැනීම් යනුවෙන් ගනිමිනි. උදාහරණයක් වශයෙන් විද්‍යාත්මකව පිළිගන්නා පරිණාමවාදය, සාපේක්ෂතාවාදය මත හේතුවාදය පදනම් වන්නේ යැයි සිතති. එය සම්පූර්ණයෙන්ම සාවද්‍යය. හේතුවාදය පදනම් වන්නේ සම්පූර්ණයෙන්ම විමර්ශනශීලීත්වය සහ විවෘත මනස යන කාරණා දෙක මත වේ.

විමර්ශනශීලීත්වයේ උපකරණයක් ලෙස විද්‍යාව හදුනාගැනෙන අතර එහි සොයාගැනීම් අදාළ වන්නේ ඉන් පසුව මිස හේතුවාදය විද්‍යාව මත හෝ විද්‍යාත්මක සොයාගැනීම් මත හෝ පදනම් නොවේ. එනම් විද්‍යාත්මක සොයාගැනීම් දෙස පවා හේතුවාදීන් විමර්ශනශීලීව විවෘත මනසකින් බලා සිටිනවා විනා ඒවා වන්දනාමාන කරන්නට යන්නේ නැත. මෙම ධුරාවලිය පැහැදිලිව හදුනා ගැනීමකින් තොරව හේතුවාදය වටහා ගැනීමට නොහැකි වනවා පමණක් නොව එය ඇතැමෙකුට යම් ආගමික කණ්ඩායමක් හෝ යම් නිශ්චිත ආගමික කණ්ඩායමකට පමණක් විරුද්ධ කණ්ඩායමක් වශයෙන් පෙනීමට ඉඩ ඇත.

හේතුවාදය ප්‍රශ්න කරන්නේ ආගම පමණක්ද?

කිසිසේත් නැත. අහේතුකව සාධාරණ සාක්ෂි හා පදනමක් රහිතව විමර්ශනයකින් තොරව හුදෙක් ශ්‍රද්ධාව, භක්තිය, උත්පත්තියෙන් උරුම කොටගෙන ඉපදීම, සර්ව බලධාරියෙකුට හෝ වෙනත් ඕනෑම කෙනෙකුට හෝ දෙයකට ඇති බිය මත යමක් පිළිගැනීම හේතුවාදීන් පොදුවේ ප්‍රශ්න කරති. එනම් එකී විමර්ශනශීලී විවෘත මනසේ මූලධර්මය ආගමට පමණක් නොව දේශපාලනය, වෘත්තීන්, මානව සම්බන්ධතා යනාදී ඕනෑම දෙයක් වටහා ගැනීමට සාර්ථක ලෙස යොදාගත හැකි පදනමකි.

නමුත් හේතුවාදීන්ගේ විවේචනයට වැඩි වශයෙන් ආගම ලක්වනවා දැකිය හැකිය. එයට හේතුව වන්නේ ඉහත කී පරිදි අහේතුකව සිදු කරන පිළිගැනීම් විශ්වාසයන් නොහොත් ඇදහිලි වැඩි වශයෙන්ම බැදී පවතින සමාජ සංස්ථාව ආගම වීමය. ඒ අනුව අවිචක්ෂණ භාවය සහ පටු මනොභාවය වැඩියෙන්ම ඇති ස්ථානය හේතුවාදීන්ගේ විවේචනයන්ට වැඩියෙන් ලක්වීම ස්වභාවිකය.

කරුණු පිළිබදව සංඛ්‍යාත්මක දුප්පත්කම?

මෙතැනදී හේතුවාදයට එල්ල වූ තවත් එක් විවේචනයක් වන්නේ හේතුවාදය සනාථ වූ කරුණු පමණක් පිළිගැනීම තුල ආගම් වලට සාපේක්ෂව කාරණා පිළිබදව සංඛ්‍යාත්මක දුප්පත්භාවයකින් පෙළෙන බවයි. එනම් ආගමකින් කරුණු 1000ක් ගැන කියද්දී හේතුවාදීන් සත්‍ය ලෙස පිළිගන්නේ සනාථ වූ කරුණු 100ක් වැනි සංඛ්‍යාවක් වීම තුල ආගමික සංස්ථාව හේතුවාදයට වඩා කරුණු 900කින් ඉදිරියෙන් සිටින්නේ යැයි කීමට ඇතැමුන් පෙළඹේ.

මෙය සම්පූර්ණයෙන්ම අතාර්කික අවිචාරශීලී මතයකි. මන්ද සනාථ වූ කරුණු 100කට එරෙහිව සනාථ නොවූ ශ්‍රද්ධාව භක්තිය හෝ බිය මත පදනම් වූ කරුණු 900ක් යනු එකිනෙක හා සංසන්දනය කළ හැකි නියැදි දෙකක් නොවන බැවිනි. එක් නියැදියක පදනම තාර්කික සහ හේතු යුක්ති සහගත වද්දී තවත් නියැදියක පදනම වන්නේ ශ්‍රද්ධාව භක්තිය හා බියයි. එවැනි සංසන්දනයකින් පසු ශ්‍රද්ධාව භක්තිය හා බිය මගින් යෝජනා කැරෙන නිගමන ජයගත් බවට යම් පුද්ගලයෙකු තර්ක කරන්නේ නම් එයට දියහැකි ඥානාන්විතම පිළිතුර සිනාසී වෙනත් ප්‍රයෝජනවත් වැඩක නිරත වීමයි.

ශ්‍රී ලංකාවේ හේතුවාදී සංවාදය බුදු දහමට එරෙහි කුමන්ත්‍රණයක්ද?

මෙම ප්‍රශ්නය ඇති වීමට ප්‍රධාන හේතුව වන්නේ ශ්‍රී ලාංකීය සන්දර්භයක් තුල බෞද්ධාගමික සංස්ථාව හේතුවාදයේ විවේචනයට වැඩි වශයෙන් ලක්වීමය. එයද අතිශය ස්වභාවිකය. හේතු සහගතව ඔප්පු නොවී හුදෙක් ශ්‍රද්ධාව, භක්තිය, උපතින් උරුම වීම හෝ බිය මත පමණක් යමක් ඇදහීම හේතුවාදය හරහා විවේචනයට ලක්වන බවත් එකී ඇදහීම වැඩියෙන්ම ඇත්තේ ආගමික සංස්ථාවන් තුල බැවින් ආගම හේතුවාදය හරහා වැඩි වශයෙන් විවේචනයට ලක් වන බවත් ඉහත දක්වන ලදී. මෙහිදීද අදාළ වන්නේ එම පැහැදිලි කිරීමම වේ. එනම් ආගම් අතර ශ්‍රී ලාංකීය සන්දර්භය තුල වැඩියෙන්ම පැතිරී ඇති ආගම වැඩියෙන්ම විවේචනයට ලක්වේ. යම් හෙයකින් ශ්‍රී ලංකාව තුල වැඩියෙන්ම ප්‍රචලිත ආගම ජෛන හෝ ක්‍රිස්තියානය හෝ යුදෙව් හෝ ඉස්ලාම් හෝ වී නම් ඒ ඒ අවස්ථාවට සාපේක්ෂව වැඩියෙන්ම විවේචනයට ලක්වන්නේ කුමන ආගමක්ද යන්න වෙනස් වනවා ඇත. 

හේතුවාදය බුදු දහම දර්ශනයක් ලෙස නොපිළිගන්නේද?

බුදු දහම ග්‍රන්ථාරූඪ වන්නේ එය බුදුන් විසින් දේශිත යැයි පැවසෙන කාල සීමාවට පරම්පරා ගණනාවකට පසුවය. ඒ අනුව එතෙක් බුදු දහම පැවැතී ඇත්තේ මුඛ පරම්පරාගතව පමණි. ඒ අනුව එක් පරම්පරාවක් ඉගෙන ගන්නා ධර්මය ඊළග පරම්පරාවට කටින් කියාදී ඔවුන් එය මතකයේ රදවා තබාගෙන ඊළග පරම්පරාවට කියා දීම සිදුවිය. මෙසේ මුඛ වහර තුලින් යමක් පවත්වාගෙන ඒමේදී එය වෙනස්කම් වලට භාජනය වීම නොවැලැක්විය හැකිය. ඒ අනුව බුදු දහම පිළිබදව වර්තමාන ව්‍යවහාරය බුදුන් විසින් දේශිත දහමමද යන සැකය මතුවීම නොවැලැක්විය හැකි වේ. 

කෙසේ වෙතත් බුදු දහම තුල ඉතා දියුණු දාර්ශනික ලක්ෂණ දක්නට ලැබෙන බව බැහැර කළ නොහැක. කාලාම සූත්‍රය, පටිච්චසමුප්පාද ධර්මය, සිගාලෝවාද සූත්‍රය යනාදිය තුල දැක්වෙන පැහැදිලි කිරීම් අතිශය හේතු සහගත තර්කානුකූල ඒවා වේ. එමෙන්ම වරක් ගංගොඩවිල සෝම හිමියන් ප්‍රකාශ කළ පරිදි පන්සිල් යනු බුදුන් වහන්සේ අමුතුවෙන් හදුන්වා දුන් සංකල්පයක් නොව ලොව පවත්නා ධර්මතාවයකි. බුදුන් සිදුකොට ඇත්තේ එය දාර්ශනික අර්ථයෙන් ගෙන ශික්ෂා පද වලට ගොණු කිරීමකි. 

එමෙන්ම බුදු දහම තුලම පවත්නා දේවවාදී අදහස් අද්භූතත්වය මුසු තැන් හරහා බුදු දහමේ ඇති දාර්ශනික අර්ථය යම් තාක් දුරට හීන කරවයි. ඇතැම් හේතුවාදීන්ට අනුව බුදු දහම ඇරඹුමේදී අත්‍යන්තයෙන්ම හේතුවාදී ස්ථාවරයක තිබී පසුකාලීනව ඉන්දියාවේ පැවැති අනෙකුත් ආගමික විශ්වාසයන් තුල අද්භූතත්වයට ලබා දී තිබූ ස්ථානය හා සමපාත කරලීම සදහා එම අද්භූතත්වය බුදුන්ගේ ඉගැන්වීමට කවා ප්‍රශ්න නොකර ඇදහිය යුතු අද්භූතත්වය පිරුණු ආගමක් බවට බුදු දහම පත්කර ඇත. සැබැවින්ම කාලාම සූත්‍රයේ දැක්වෙන බෞද්ධ ඉගැන්වීම් සළකා බලද්දී මෙම තර්කය සත්‍ය විය හැකි බවද පෙනේ.

දර්ශනයක්ද ආගමක්ද යන්න පුද්ගලයාට සාපේක්ෂව තීරණය වේ

බුදු දහම එනම් සැබැවින්ම බුදුන් දෙසූ දහම දාර්ශනිකද එසේත් නැත්නම් ඇදහිල්ලෙන් පිරුණු ආගමක්ද යන්න විමසීමට බුද්ධ කාලයට යාමට සිදුවනවා ඇත. එය කළ නොහැක්කකි. ඒ අනුව සිදුන්නේ වර්තමාන සන්දර්භය අනුව බුදු දහම දර්ශනයක්ද ඇදහිල්ලෙන් පිරි ආගමක්ද යන්න විග්‍රහ කරගැනීමටය. එය සැබැවින්ම පදනම් වන්නේ බෞද්ධ ඉගැන්වීම් අඩංගු සූත්‍ර දේශනා මත නොව කෙනෙකු බුදු දහම දෙස බලන ආකාරය අනුව වේ.

කෙසේ වෙතත් වර්තමාන සන්දර්භය තුල  බුදු දහම දර්ශනයක්ද ආගමක්ද යන්න හේතුවාදීන් විසින් නොව බෞද්ධයන් විසින් තෝරා බේරාගතයුතු ප්‍රශ්නයකි. එනම් හුදෙක් ශ්‍රද්ධාව, භක්තිය, උපතින් උරුම වීම හෝ කර්මයට ඇති බිය හේතුවෙන් බුදු දහමේ වුවද ඇති සංකල්ප ප්‍රශ්න නොකර විචාරශීලීව විමසීමකින් තොරව යමෙකු පිළිගන්නේද හේ බෞද්ධ ආගම අදහන්නෙකි. බුදු දහමේ ඇති ඉගැන්වීම් පවා ඇදහීමකින් තොරව විචාරශීලීව විමසා බලා අවබෝධය මත පිළිගන්නේ යමෙක්ද හේ බුදු දහම බෞද්ධ දර්ශනය ලෙස දකින්නෙකි.

ඒ අනුව යමෙකු බුදු දහම තුල තිබෙන ඉගැන්වීම් අවිචාරවත්ව විමර්ශනශීලීත්වයකින් තොරව පිළිගනිමින් හෝ අදහමින් බුදු දහම ආගමක් නොව දර්ශනයක්ය කියන්නේ නම් එවැනි පුද්ගලයෙකුගේ එකී ස්ථාවරයන් දෙක ඇත්තේ අන්ත දෙකක බවත් ඒවා සාකල්‍යයෙන්ම එකිනෙක හා ගැටෙන බවත් අවධාරණය කළ යුතුය. 

ආගමක අවශ්‍යතාවය හේතුවාදයට අනුව

ආගමක ප්‍රකාශිත අවශ්‍යතාවය ලෙස කියැවෙන්නේ යම් සමාජයක මිනිසුන් යම්කිසි අවම සදාචාරවත් සීමාවක තබාගැනීම හෙවත් හික්මවා ගැනීම බවය. ඒ සදහා කර්මයට හෝ වෙනත් ස්ථානයක සිට බලා සිටින සර්ව බලධාරියෙකුට ඇති බිය මත පාපයෙන් හෙවත් අයහපත් දෙයින් වැලකීමද අනාගත ජීවිතයේදී හෝ මරණින් මතු පැවැත්මක් ඇති යම් ස්ථානයකදී වඩාත් යහපත් තත්වයක් අත්පත් කරගැනීමේ අරමුණින් යහපත් දෙය සිදුකිරීමද මේ අනුව ආගමට අනුව සිදුකරන ඉගැන්වීමයි.

මේ අයුරින් නොපෙනෙන නොවැටහෙන යම් සීමාවක ඇති අද්භූතත්වයක් මගින් අප විනිශ්චය කැරෙන්නේය යන බිය මත වරදින් වැලකීම හෝ යහපත් දෙය කිරීම යහපත අයහපත අතර වෙනස තම බුද්ධියෙන් නිරාකරණය කරගැනීමට අසමත් බුද්ධි මට්ටමක සිටින අයෙකුට අවශ්‍ය විය හැකිය. නමුත් එය තමාටම නිරාකරණය කරගැනීමට තරම් බුද්ධිමත් දියුණු මිනිසාට යහපත සදහා එවැනි අල්ලස්මය පෙළඹවීමක් හෝ අයහපතින් වැලකීම සදහා බියක් අවශ්‍ය නැත. ඔහු එය බුද්ධිය හා අවබෝධය මත තමා විසින්ම නිරාකරණය කරගන්නවා ඇත.

සමාජ ක්‍රමයේ අත්‍යවශ්‍ය දේශපාලනික භූමිකාවක්

නමුත් ඉතිහාසයේ සිට ආගමේ භූමිකාව අධ්‍යනය කිරීමේදී පැහැදිලි වන්නේ ආගමික සංස්ථාව යනු අධිපතිවාදී කේන්ද්‍රගත සමාජ ක්‍රමයේ අත්‍යවශ්‍ය දේශපාලනික භූමිකාවක් ඉටුකරන කණ්ඩායමක් බවයි. ආගමික ඉගැන්වීම් අනුව ගත් කල යමෙකු රජ ලෙස ඉපදීම හිගන්නෙකුව හෝ කම්කරුවෙකු වී ඉපදීම ඇතැම් අය පොහොසත්ව ඉපදීම ඇතැම් අය දුප්පත්ව ඉපදීම ආදී සියල්ල එක්කෝ සර්ව බලධාරියාගේ කැමැත්ත මත සිදුවී ඇත නැත්නම් පෙර කර්මය මත සිදුවී ඇත. ඒ කුමන ක්‍රමයක් යටතේ සිදුවුවද සමාජයේ දේශපාලනික අසාධාරණය ධර්මතාවයක් ලෙස පිළිගෙන එයට අභියෝග නොකිරීමට ආගම මගින් ආගමිකයාට බල කෙරේ.


ඒ අනුව ආගම හරහා පීඩකයාගේ සමාජ පිරමීඩ වල ඉහළ කෙළවරේ සිටින අයගේ වරප්‍රසාදලත් පැවැත්ම ධර්මානුකූලව සාධාරණීකරණය කරමින් ඔවුන්ගේ පැවැත්ම ස්ථිර කර දේ. එයට ප්‍රතිඋපකාරයක් ලෙස පාලකයා ආගමික සංස්ථාව නඩත්තු කරමින් එහිද පිරමීඩයක් නිර්මාණය කරයි. ඒ අනුව ආගමේ සැබෑ අරුත බව කියැවෙන ආධ්‍යාත්ම සංවර්ධනය පිරිමීඩයේ යටටම සහ ඉහත කී සමාජ අසාධාරණය ප්‍රශ්න නොකර පිළිගැනීම දේශනා කරන අය පිරමීඩයේ උඩටම ස්ථානගත කරන පාලකයා සමාජ විෂමතාවයට සමගාමී විෂමතාවයකින් යුතුව ආගමික පිරමීඩයද නඩත්තු කරයි. ඒ අනුව මේ පිරමීඩ දෙක එකිනෙකා ආරක්ෂා කරගනිමින් ඒවායේ පාදමේ සිටින අඩු වරප්‍රසාදලාභීන්ගේ කර මත වැජබෙති.

එනයින් ගත්කල මෙම අසාධාරණ පිරමීඩ සංස්කෘතිය ඇති සැටියෙන් වටහා ගැනීමට මග පාදන හේතුවාදය ආගමික අර්ථයට වඩා දේශපාලනික අර්ථය තුල අතිශයින් වැදගත් වේ. සැබැවින්ම හේතුවාදීන් යනු ආගම්වාදීන්ට විරුද්ධ කණ්ඩායමකැයි කීම අන්ධයෙකු අලියාගේ ලිංගේන්ද්‍රයෙන් අල්ලා අලියා යනු මෙසේ යැයි කීම වැනි සිනා උපදවන නිර්වචනයකි.





No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...