Monday, June 8, 2020

රියැලිටි තරග

ගායක ගායිකාවන් බිහිකරන රියැලිටි වැඩසටහන් සමාජ අවශ්‍යතා සමඟ සමපාත වන්නේ යන්තමිනි. මන්ද කිසිම රටක ගායක ගායිකාවන්ගේ හිඟයක් නොමැත. ඒ අනුව ආර්ථික උපයෝගීතා දෘෂ්ටිකෝණයෙන් ගත්කල රියැලිටි ගායන සහ නර්තන වැඩසටහන් වල වැදගත්කම අඩුය. 
 
කෙසේ වෙතත් දක්ෂතා පිරිපුන් නවක ශිල්පීන්ට ප්‍රසිද්ධිය ලබාගැනීම සඳහා දැනට ඇති ප්‍රායෝගිකම ක්‍රමවේදය එයයි. එබැවින් බොහෝ මාධ්‍ය ආයතන රියැලිටි වැඩසටහන් සංවිධානය කරන අතර ඒවායෙන් ඉදිරියට එන නවක තරු විස්මිත හැකියාවෙන් යුතු අය බවද පිළිගත යුතු වේ. 
 
ගායන තරු තේරීම සඳහා මට මතක ඇති පැරණිම වැඩසටහන ජාතික රූපවාහිනියේ තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාවයි. එහිදී නරඹන්නන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාවක් නොතිබුණි. ගායන තරු තෝරාගැනීම විනිශ්චය මණ්ඩලයක් හරහා සිදුවිය. 
 
මා දන්නා අතීතයට පෙර ජාතික තරුණ සේවා සභාව හරහා ගායන තරු තේරීමේ විවිධ වැඩසටහන් තිබී ඇත. සෝමසිරි මැදගෙදර, චන්ද්‍රලේඛා පෙරේරා, චන්දන ලියනාරච්චි වැනි ගායන තරු බිහිවී ඇත්තේ එවැනි වැඩසටහන් හරහාය. 
 
නරඹන්නාට මනාපය පළකල හැකි රියැලිටි වැඩසටහන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ සිරසය. සිරස ඉදිරිපත් කළ සුපර්ස්ටාර් වැඩසටහනට ඉතා ඉහළ ජනතා ප්‍රතිචාරයක් ලැබුණි. එහි පළමු වටයේ සිටි අවසාන දසදෙනා ඉන්පසු ක්ෂේත්‍රයේ සිටියද නැතද අදටත් නමින්ම මතක තිබේ.
 
ඉන්පසු දෙරණ Dream Star සහ Little Star වැඩසටහන්ද, ජාතික රූපවාහිනියේ රණවිරු රියල් ස්ටාර් ද හිරු නාලිකාවේ හිරු ස්ටාර් වැඩසටහනද ක්‍රියාත්මක විය. 
 
පළමු සිරස සුපර්ස්ටාර් වැඩසටහනේදී එක් ජංගම දුරකථනයකින් ලබා දිය හැකිව තිබුණේ එක් මනාපයක් පමණි. නමුත් පසුකාලීනව හැකිතාක් SMS කරන්න යනුවෙන් පවසන ආකාරය සහ ඒ එක SMS පණිවිඩයක් සඳහා රුපියල් 5ක් හෝ 10ක් වැනි මුදලක් අයකර ගැනීමෙන් රියැටිලි වැඩසටහන් වල උත්පති ව්‍යාපාරික ස්වරූපය ඉහගෙන කෑමක් බවට වර්ධනය වීම දක්නට ලැබුණි.
ඉන්පසු රියැලිටි වැඩසටහන් සඳහා ජනතාව ආකර්ශනය කරගැනීම සඳහා විවිධ උපක්‍රම කරලියට පැමිණියේය. සිරස Voice Teens හි කැරකෙන පුටු, හිරු ස්ටාර්හි SMS හරහා නොව මෘදුකාංගයක් හරහා ඡන්දය දීම, එසැවෙන ඩිජිටල් තිරය ආදිය කැපී පෙනේ.
 
ඒ සියල්ල අතරින් හිරු ස්ටාර් වැඩසටහනේ තරඟකරුවන්ගේ ආර්ථික සමාජයීය අපහසුතා ගැන කියමින් තරඟකරුද ඔහුගේ පවුලේ අය මෙන්ම විනිශ්චය මණ්ඩලයද කඳුළු සැලීම, සිරස රියැලිටි වැඩසටහන් වල තරඟකරුවන් ගායනා කරන අතරතුර විනිසුරු මණ්ඩලයේ අය කෑගැසීම, දැඟලීම, සිට ගැනීම, නැටීම වැනි කටයුතු පිටපතෙහි ඇතුලත් කිරීම වඩාත් කැපී පෙනේ.
 
මේ නව ප්‍රවණතා සියල්ල ඇතැම් නරඹන්නන්ගේ පැසසුමට සතුටට මෙන්ම ඇතැම් අයගේ විවේචනයටද ලක්වනු දැකිය හැකිය. ඒ සම්බන්ධයෙන් සමීපතම උදාහරණය පසුගිය සති අන්තයේ සිරස Voice Teens හි ගීතයක් ගායනා කළ ආදිත්‍යා නම් දැරියකගේ හැසිරීමට සමාජ ජාලා ඔස්සේ එල්ල වන දැඩි විවේචනයයි. 
 
සැබැවින්ම ඒ විවේචන කරන නොකරන සියලුදෙනා වටහාගත යුතු යථාර්ථයක් ඇත. රියැලිටි වැඩසටහනක් යනු ව්‍යාපාරයකි. එහි අරමුණ ජනතාවට විනෝදාස්වාදය සැපයීමයත් වඩා මුදල් ඉපයීමය. ඒ සඳහා රූපවාහිනිය තුලින් අප දකින යථාර්ථයට වඩා සැඟවුණු බොහෝ කාරණා ඇත. ඒ ඒ වැඩසටහනට අවධානය වැඩියෙන් යොමුකරවාගැනීම සඳහා එහි පිටපතෙහි හිතා මතා ඇතුලත් කරන ඉහත සඳහන් කල බාහිර ආටෝපද එම ලාභ අපේක්ෂාවෙන් කරන ව්‍යාපාරයේම කොටසකි. 
 
එබැවින් විවේචනය එල්ල විය යුත්තේ සමස්ථ වැඩපිළිවෙලේ ඇති ලාභය අරමුණු කරගත් ස්වභාවයට මිස එහි අතුරුඵල ලෙස පැන නගින අපට රූපවාහිනිය හරහා පෙනෙන විපරීත ඇබින්දකට නොවේ. 
 
තවත් අතෙකින් එය විවේචනය කරන්නේ කුමකටද? ලාභ ලැබීම ඒ ඒ ආයතන වල අයිතියක් නම් නරඹන්නන්ට එම ලාභයෙන් කොටසක් නොලැබේනම්, නරඹන්නන්ට ලැබෙන එකම දෙය විනෝදාස්වාදය පමණක් නම් එහි අංගවල විපරීතබව විවේචනයට ලක් කිරීම සැබැවින්ම කාලය නාස්තියක් නොවන්නේද? අසාධාරණ තරඟයකදී (ව්‍යාපාරයකදී) සර්ව සාධාරණය බලාපොරොත්තු වීම මෝඩකමකි.
 
ඒ සියල්ල එසේම තිබියදී ඊයේ පෙරේදා සිට විවේචනයට ලක්වන ආදිත්‍යා වැලිවත්ත දැරිය ගායනා කළ ගීත දෙකම ඇය ඉතා විශිෂ්ඨ ලෙස ගායනා කළ බවත් ඇයට "තරුවක්" වීම සඳහා අවශ්‍ය ගායන හැකියාව පමණක් නොව රූප සම්පත්තිය, ශාරීරික හැඩය මෙන්ම ජනතා කතාබහට ලක්වන "තරු හැසිරීම" අඩු නැතිව පිහිටා ඇති බවත් මෙහිලා කිව යුතුමය.

පාතාලය - විමර්ශනාත්මක අධ්‍යයනයක් 1 - පාතාලය හදුනාගැනීම

පාතාල ලෝකයට පාතාල ලෝකය කියන්නේම එය සාමාන්ය ජනයාට සම්පූර්ණයෙන්ම දැකිය නොහැකි සැඟවුණු ක්රියාවලියකින් ධූරාවලියකින් සමන්විත වෙනම පද්ධතියක් වන බැවිනි. බොහෝ විට ඒ පිළිබඳව පාතාල ලොකයට උපක්රමිකව වැදී පර්යේෂණාත්මක අධ්යනයක් කරන කෙනෙකුට පවා එහි දිග පළල, සීමා මායිම් නිෂ්චිතව කීම කළ නොහැක්කකි. 
සමාජ අවශ්යතාවයකට පිළිතුරක්
මානව සමාජයේ ආරම්භක අවධියේ පටන්ම පාතාල කටයුතු සිදුවී තිබේ. ඕනෑම රටක ඕනෑම සංස්කෘතියක පාතාල ක්රියා යම් ප්රතිශතයකින් හෝ අන්තර්ගත වේ. පාතාලය බිහි වන්නේ සමාජ අවශ්යතාවයකට පිළිතුරක් වශයෙනි. සාමාන්ය පිළිගත් ක්රමවේදයක් යටතේ ඉටුකරගත නොහැකි අරමුණු ඉටුකරගැනීම සඳහා පාතාල ක්රියාකාරකම් භාවිතා වේ.
ඉහළ සිට පහළම සමාජ ස්ථරය දක්වා
පාතාලය සමාජයේ ඉහළම මට්ටමේ සුපිරි පැලැන්තියේ සිට පහළම මට්ටම දක්වා ව්යාප්ත වූවකි. එහි විල්ලුද පලස් මත තැබූ සැප පුටු වල වාඩිවී තීරණ ගන්නා God Fatherලාගේ ⁣සිට කිලිටි සරමක් ඇඳගෙන පිහිය ඉණේ රුවාගෙන ගොස් මනුෂ්ය ඝාතනයක් කරන තැනැත්තා දක්වාද එතැනින් පහළට මත්ද්රව්ය සිල්ලරට අලෙවි කරන්නා⁣ හෝ ගණිකාව දක්වාද විවිධ චරිත වෙයි. 
පාතාලය මුලිනුපුටා දැමීම?
පාතාලය සමාජ අවශ්යතාවයකට පිළිතුරක් වන තාක් කල් එය සියයට සියයක් මුලිනුපුටා දැමීම කළ නොහැක්කකි. පාතාලය මුලිනුපුටා දැමීමට නම් මානව අවශ්යතාවන්ගෙන් සියල්ලම පාහේ පිළිගත් ක්රමවේදය යටතේ ඉටුකරගැනීමට හැකියාව ඇති විය යුතුය. ඒ පිළිබදව මෙහි ඉදිරි පරිච්ඡේදයක සාකච්ඡා කෙරේ. නමුත් එය සියයට සියයක් ළගා කරගත නොහැකි තත්වයකි. නමුත් මිනිස් අවශ්යතා දෘෂ්ටිවාදවලට ගැතිවීමෙන් තොරව පිළිගත් සමාජ පද්ධතිය තුලට ගෙන ඒමෙන් පාතාලයේ අවශ්යතාවය යම්තාක් දුරකට ප්රහීන කිරීමට හැකිවනවා ඇත. 
සමාජයේ මත්ද්රව්ය සඳහා සමාජ ඉල්ලුමක් පවත්නා තාක් මත් ද්රව්ය සැපයුම කුමන හෝ මුහුණුවරකින් සිදුවේ. ජනතාවගේ ලිංගික අවශ්යතා පිළිගත් රාමුව තුල ඉටු නොවන තාක් කල් ගණිකාව සමාජයේ අත්යාවශ්ය භූමිකාවක් ඉටුකරන්නෙකු බවට පත්වේ. කෙනෙක් ඉවත් කළ විට ඉතා පහසුවෙන් සමහරවිට ඊට වැඩි ගාස්තුවකට තව කෙනෙකු එතැනට ආදේශ වෙයි. 
පාතාලය ඉහළම සමාජ මට්ටමේදී
ඉහළම සමාජ මට්ටම් වලදී මුදල් ඉපයීම සඳහා මෙන්ම සමාජයේ ඉහළම මට්ටමේදී නිර්මාණය වන මුදල් හා බලය මගින් සියල්ල කළ හැකිය සියල්ල කළ යුතුය යන මනෝභාවය විසින් පාතාලයට අවශ්යතාවයක් නිර්මාණය කරයි. 
පාතාලය නඩත්තු වන බරපැන
ඒ අනුව ශ්රී ලංකාවේ පාතාලය නඩත්තු වන ක්රම ප්රධාන වශයෙන් තුනකි.

1. පාතාල ක්රියාකාරකම් සඳහා අයකරන ගාස්තු

මුදලක් ගෙවා යම්කිසි අපරාධයක් ඝාතනයක්, පහරදීමක්, බිය වැද්දීමක්, මුදල් අයකරගැනීමක් සිදුකර ගැනීමට අවශ්ය අය ගෙවනු ලබන ගාස්තු මෙහිදී පාතාලයේ ආදායම් මාර්ගය වේ. මෙය සාමාන්යයෙන් පාතාලයේ පැවැත්මේ පැරණිතම මූලාශ්රය ලෙස ගත හැකිය.

2. කප්පම්

විවිධ හේතූන් මත සමාජයේ විවිධ තරාතිරම් වල පුද්ගලයන්ට හෝ ඔවුන්ගේ පවුල් වල අයට හෝ හිතවතුන්ට යම් හානියක් පමුණුවන බවට තර්ජනය කර ඒ හානිය නොපැමිණවීම සඳහා මුදල් අයකිරීම, යම්කිසි ව්යාපාරයක හෝ ව්යාපෘතියක ආයෝජිත මුදලින් යම් ප්රතිශතයක් ප්රදේශයේ පාතාල නායකයා ලබාගැනීම මෙන්ම පුද්ගලයන්ගේ රහසිගත තොරතුරු හෙළිදරව් කරන බවට තර්ජනය කොට කප්පම් ලබාගැනීම පාතාලයේ තවත් ප්රධාන ආදායම් මාර්ගයකි.

3. පාතාලය විසින්ම ක්රියාත්මක කරන පාතාල ව්යාපාරික කටයුතු

මෙහිදී විශේෂයෙන්ම සමාජ ඉල්ලුමක් සහිත මත්ද්රව්ය, නීති විරෝධී මත්පැන් හෝ ගණිකා ජාවාරම, ශරීර කොටස් ජාවාරම වැනි ක්රියා ව්යාපාර මට්ටමින් පවත්වාගෙන යමින් එයින් ආදායම් සහ ලාභ ඉපයීමයි. වර්තමානය වන විට පාතාල ලෝකයේ සාම්ප්රදායික ආදායම් මාර්ග වලට වඩා මෙම ක්රමය ප්රධාන ආදායම් මාර්ගය බවට පත්වීමේ ප්රවණතාවය දැකිය හැකිය. එය ශ්රී ලංකාවේ පමණක් නොව සමස්ථ ලෝකයේම පාතාල ලෝකයට අදාළව ඇතිවූ තීරණාත්මක පරිවර්තනයකි. මෙයට අනුගත වීම ප්රතික්ෂේප කළ පාතාල නායකයෝ අහෝසි වී ගියහ. ඒ පරිවර්තනය පිළිබඳව කතා කරන පර්යේෂණාත්මක නිබන්ධන, නවකතා මෙන්ම චිත්රපටද රාශියක් තිබේ. 
පාතාලයේ හැඩය වෙනස් වීම
පාතාල ව්යාපාර කටයුතු පාතාලයේ ප්රධාන ආදායම් මාර්ගය බවට පත්වීමත් සමඟම සමාජ සමීකරණයේ පාතාලයට පැවැති ස්ථානයේද තීරණාත්මක වෙනසක් විය. එනම් මේ පාතාල ව්යාපාරික කටයුතු වලින් උපයන අධික මුදල ඔවුන් සේවක⁣යාගේ තැනසිට හාම්පුතුන්ගේ තැනට ඔසවා තබන ලදී. 
ඒ අනුව මීට පෙර දේශපාලන බලය හා මුදල් බලය තිබූ පැලැන්තියක් විසින් නඩත්තු කරන ලද පාතාලය, පාතාලය විසින් දේශපාලන හා සල්ලිකාර පැලැන්තිය නඩත්තු කරන තත්වයක් දක්වා වෙනස් විය. 
දේශපාලනය හා පාතාලය
මේ තුල දේශපාලනඥයන්ට අධික ලෙස මුදල් ලබා දෙමින් ඔවුන්ගේ මැතිවරණ ප්රචාරක කටයුතු ආදියෙහි බරපැන දැරීමෙන් පාතාලය විසින් දේශපාලනඥයන් ප්රායෝගිකව මිළදී ගැනීම සිදුවිය. පෙරදී අවශ්ය අවස්ථාවට පමණක් කැඳවා වැඩ ගැනීමට පසෙක තබා තිබුණු පාතාලයට ණය වීමෙන් ඔවුන් ආරක්ෂා කිරීමටත් ඔවුන්ගේ පාතාල කටයුතු සඳහා ඍජුව මෙන්ම වක්රව පහසුකම් සැළසීමට සිදුවන තැනට දේශපාලනඥයා පත්විය. 
ඉහළ සිට පහලට තදින් වෙලා ගැනීම
ඒ හරහා සමාජයේ ඉහළම දේශපාලන පැලැන්තියේ සිට එහි පහතම ඉම දක්වා ඉතාම තදින් පාතාලය හා බැඳී ගියේය. මේ දෙපාර්ශවයේම පැවැත්ම අන්යොන්ය වශයෙන් රඳා පවතින එකක් බවටද බොහෝවිට දේශපාලනඥයා පාතාල මුදල් මත රඳා පවතින තැනකටද පත්විය. 
සුපිරි සුදු කරපටි අණදෙන්නන්
මේ හේතුවෙන් පාතාලය මෙහෙයවන එහි ඉහළින්ම සිටින අයට තවදුරටත් පාතාල නායකයන් ලෙස පෙනී සිටීමට තිබූ අවශ්යතාවය අහෝසි වී ගියේය. ඒ සඳහා මුදල් ගෙවා පුද්ගලයන් තබාගත් ඔවුන් සමාජයේ ඉහළමපෙලේ ධන කුවේරයන් දානපතියන් ලෙස පෙනී සිටීමට පටන්ගත්හ. 
වැටුප් ලබන සේවකයන් පමණක් සමාජයට පෙන්වීම
යම් හෙයකින් පාතාල ක්රියාකාරකමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වීම, අධිකරණයට ඉදිරිපත්වීම පමණක් නොව ඇතැම්විට ජීවිතාන්තය දක්වා සිරගත වීමට පවා ඉදිරිපත් වන්නේ පාතාලයේ ඉහළම වැජබෙන සුදු කරපටි අණ දෙන්නන් නොව ඊට බොහෝ පහළ මට්ටමක සිටින වැටුපට සේවය කරන තැනැත්තන් වේ. තාක්ෂණික අර්ථයෙන් ගත්කල එහි වරදක්ද නොපෙනේ. අදාළ අපරාධය කළ තැනැත්තා සිරගත වනවා ඇත. ඔහුගේ පවුලේ නඩත්තුව ආදී වියහියදම් ඉහළින්ම වැජබෙන අපරාධයට අණ දුන් සුපිරි සුදු කරපටි අණ දෙන්නන් බලාගන්නවා ඇත. 
පාතාල මර්ධනය
පාතාල මර්දනය මාතෘකාවක් බවට පත්වන්නේ මෙවැනි වාතාවරණයක් යටතේය. දේශපාලන අධිකාරිය විසින් පාතාල මර්දනය සඳහා පොලීසියට දැඩි උපදෙස් දුන් බව මාධ්ය ඔස්සේ පළවිය. ඊට පසුදාම පාතාල කල්ලි සාමාජිකයෙකු වෙඩි හුවමාරුවකදී මිය ගියේය. මෙය පාතාලය මර්දනය වනවා දකින්නට කැමති සමාජයේ සාමාන්ය වැසියන්ගෙන් සැළකියයුතු කොටසකගේ අමන්දානන්දයට හේතු විය. මෙය බැලු බැල්මට පාතාලය මර්දනයට පාතාලයේම ක්රමය යොදාගැනීමක් ලෙස ගත් පිරිස් එයට ප්රීති ⁣ඝෝෂා කරනු දක්නට ලැබිණි. 
නමුත් පාතාලයේ සැබෑ සැකැස්ම මෙන්ම එකී ඝාතනයේ වියහැකිතාවයන් සළකා බැලීමේදී ප්රීතියකට වඩා පත්වන්නට සිදුවන්නේ විමතියකටය. මන්ද ඒ මියගිය තැනැත්තා පාතාල සාමාජිකයෙකු ලෙස ගත්තද ඔහුගේ මරණය කිසි ලෙසකින් පාතාලය අකර්මණ්ය නොකරයි. ඔහුගේ ස්ථානයට ඉතා පහසුවෙන් තවත් හත්දෙනෙකු පමණ ආදේශ වනවා ඇත. 
අනෙක් කරුණ ඔහුගේ මරණයෙන් ඔහු යොදාගනිමින් සිදුකල වෙනත් මහා පරිමාණයේ අපරාධයක් සම්පූර්ණයෙන්ම වැසීගියා වන්නටද හැකිය. ඒ සියල්ලද පිළිගැනීමට සිදුවන්නේ ඔහු පාතාල සාමාජිකායෙකු බවට පොලීසිය කරන ප්රකාශය පිළිගැනීමෙනි. 
සේයා සදෙව්මි ඝාතන සිද්ධියේදී විශ්වාසය මුළුමනින්ම පාහේ අහිමි කරගත්, කුඩු කන්ටේනර් ගණන් අත්අඩංගුවට ගනිද්දී ඒ කන්ටේනරය ළඟ සිටි උන්ගෙන් එහාට කිසිවකු අනාවරණය කරගැනීමට අසමත් වූ පොලීසිය කරන ප්රකාශයක් මත සමස්ථ නිගමනය පදනම් කරගැනීමේ ඥානාන්විත භාවය නැවත සිතා බැලිය යුතු එකකි. 
ඒ සියල්ල සිදුවද්දී පාතාලයේ සුපිරි සුදු කරපටි අණ දෙන්නන් කිසිදු අතුරු ආන්තරාවකින් තොරව වැජබෙති. සමාජය ඒ කවුරුන්ද යන්න පවා නොදනිති. එය පුදුසයට කරුණක් නොවේ. පාතාලයට පාතාලය කියන්නේ එබැවිනි.

Saturday, June 6, 2020

ගෝන කෝවිලේ රාජා

ගෝන කොවිලේ රාජා නැමති රත්මලානේ හෝටලයකට පහරදීමක් සම්බන්ධයෙන් වන ප්‍රධාන සැකකරුවෙකු මිනුවන්ගොඩ පොලීසිය හා පැවැති වෙඩි හුවමාරුවකදී මිය ගිය බව මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙය නඩු විභාගයකින් තොරව මිනිසුන් මහ මග ඝාතනය කිරීමේ සංස්කෘතියක දෙවැනි නැගිටීමක් (ආයුධ පෙන්නන්නට යාම 2) යැයි කීමට තවමත් කල් වැඩිය. මෙවැනි එක සිද්ධියක් එවන් නිගමනයකට ඒමට කිසිසේත් ප්‍රමාණවත් නැත.
 
නමුත් මෙය නිසැකවම ආයුධ පෙන්නන්නට යාම 2 ලෙස ගත් ඇතැම් පිරිස් එයින් උද්දාමයට පත්වී මත පලකරන ආකාරය මම ජුගුප්සාවෙන් බලා සිටියෙමි. ඒ අතර උගත් යැයි සම්මත අයද වීම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය බිහිකරන උගතුන්ගේ ආකල්පමය දුප්පත්කමේ මනා පිළිබිඹුවකි.
 
මෙය ආයුධ පෙන්නන්නට යාම 2 වුවද නැතද එයින් උද්දාමයට පත් අයට අපේ නිමොලර් නමින් ප්‍රසිද්ධියට පත් දේවගැති මාර්ටින් නිමොලර්ගේ පහත පද පෙළ නැවත මතක් කරන්නට කැමැත්තෙමි:-
 
එදා නට්සිවාදීන් මුලින්ම පැමිණියේ යුදෙව්වන් සොයාය
මම යුදෙව්වෙකු නොවේ
එබැවින් මම නිහඩව සිටියෙමි
ඉන්පසු ඔවුන් කොමියුනිස්ට්වාදීන් ඝාතනය කළහ
මම කොමියුනිස්ට්වාදියෙකු නොවේ
එබැවින් මම නිහඩව සිටියෙමි
ඉන්පසු ඔවුන් පැමිණියේ වෘත්තීය සමිති නායකයන් සොයාය
මම නිහඩව සිටියෙමි
මම වෘත්තීය සමිතියට බැදී නැත
ඉන්පසු ඔවුන් කතෝලිකයන් ඝාතනය කළහ
මම නිහඩව සිටියෙමි
මන්ද මම ප්‍රොතෙස්තන්ත ආගමේ නොවැ
ඊළගට ඔවුන් මා සොයා පැමිණියහ
එවිට මා වෙනුවෙන් කතා කිරීමට
කිසිවෙකු ඉතිරිව සිටියේ නැත

මාර්ටින් වික්‍රමසිංහයන් ට හමුවූ රාවණා

රාවණා කතාන්තරය විශ්වසනීය පුරාවෘතයක් සහ හෙල වැසියන්ගේ මූලාරම්භයක් ලෙස ගනිමින් සිදු කෙරෙන සංවාද කරුණු දැක්වීම් වලට පසුගිය දශකය තුල නව පණක් ලැබී තියෙනවා. මා දුටු ආකාරයට මෙයට මහාචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර රාවණාවාදය සම්බන්ධයෙන් දක්වන ලද මතවාද විශාල හේතුවක් වුණා. මිරැන්ඩෝ ඔබේසේකර, රාවණා ගැන සදහන් වන සෑම සියළු ස්ථානයක්ම එක මිටක් කොට ගෙන ඒවා එකිනෙකට ගලපන්නට උත්සාහ කළා. මෙය ගුරු කොට ගත් ඇතැමෙක් ඉන්පසු රාවණාවාදී පුරාවිද්යාව නැමැති නව පුරාවිද්යාත්මක විෂය ක්ෂේත්රයකටද මං පෙත් විවර කර තිබෙනවා.

අලුත් කසුකුසුවක් නොවේ

මෙය නවීන තාක්ෂණයේ සහ විශේෂයෙන් සමාජ මාධ්යයේ දියුණුවත් සමග වර්තමානයේ වේගයෙන් ජනගත වුවද මේ පිළිබදව කසුකුසුව සිංහල ජන සමාජය තුල කලක ඉදන් පැවතුණු දෙයක්. මාර්ටින් වික්රමසිංහයන් 1947 වසරේදී පළමු වරට එළි දක්වන බුදු සමය හා සමාජ දර්ශනය ග්රන්ථයේ 2 වැනි නිබන්ධනය යටතේ රාවණා කතාව පිළිබදව විශ්ලේෂණාත්මක විචාරයක යෙදෙන්නේ එකල සමාජයේ පැවැති රාවණා කතාන්තරය හෙළයන්ගේ සැබෑ මූලයද යනුවෙන් වූ කසුකුසුවට පිළිතුරක් වශයෙන් යැයි සිතිය හැකියි. 
රටක ඉතිහාස කතාව හුදෙක් වාර්තාගත ඉතිහාසය තුලින් පමණක් උකහා ගැනීම නොකළ යුතු බව වික්රමසිංහයන් දක්වනවා. විශේෂයෙන්ම ලිඛිත ඓතිහාසික කතාන්තරයක් අහිමි බැබිලෝනියාව වැනි රට වල ඉතිහාස කතාව සම්පූර්ණයෙන්ම පාහේ පුරාවිද්යාඥයන් විසින් සොයාගනු ලබන ඓතිහාසික මූලාශ්ර සහ පුරාවස්තු ආශ්රයෙන් ගොඩනැගුණු ආකාරය ඔහු දක්වා තිබෙනවා. එහිදී මහානාම හිමියන්ගේ මහාවංසය ඉතිහාසයේ පරම ගුරු කොට සැළකීම නොව එහි ඇති කරුණු ඓතිහාසික නටබුන් හා පුරාවස්තු සමග සමපාත කරමින් ඉතිහාස කතාව මතුකරගන්නට වෑයම් කිරීමේ වටිනාකම ඔහු අවධාරණය කරනවා. එහිදී වාර්තාගත ඉතිහාස කෘතියට වන්දනාමාන කිරීම නොව ඒ සම්බන්ධයෙන් විචාරශීලී විසංයෝජනීය ප්රවේශයක් අවශ්ය වෙනවා.

රුවැති මිනිසා අනංගයාගෙන් පැවතීම

නමුත් ශ්රී ලංකාවේ ඉතිහාසඥයන් ගුඪ දේව කතා මත පදනම් වෙමින් අතීතයේ උන් අතාත්වික ශ්රේෂ්ඨ මිනිසුන් සහ අතාත්වික ශ්රේෂ්ඨ රාජ්යයක් පිළිබදව කියන කතාව වික්රමසිංහයන් උපමා කරන්නේ රුවැති මිනිසකුගේ මුතුන් මිත්තන් සොයන්ට බසින්නා අවසානයෙහි අනංගයා ඒ රුවැති මිනිසාගේ ආදිම මුත්තයයි ඔප්පු කරනු පිණිස තැතනීමට සමාන විහිළුවක් වශයෙන්.


මහානාම හිමියන්ගේ විචාරවත් බව

මහානාම හිමියන්ගේ මහාවංසය බොහෝ දුරට අසා දැනගත් කරුණු මත පදනම් වූ පක්ෂග්රාහී ලියවිල්ලකැයි චෝදනා එල්ල වුවත් එය මහානාම හිමියන් විසින් රචනා කිරීමේදී එකළ හා ඊට පෙර පැවැති හෙළ ඉතිහාසයට සම්බන්ධ පුරාවෘත ජනකතා මහාවංසයේ ඇතුලත් කොට තිබෙනවා. ඒ එකී ජනකතා අන්ධ ලෙස පිළිගනිමින් නොව ඉතිහාසඥයෙකු ලෙස වන්දනාමානයෙන් තොරව ඒ දෙස බලමින් අවබෝධයෙන් යුතුව බව වික්රමසිංහයන් දක්වනවා.

අශ්වයාට නාස් ලණුව

එයට ඔහු දක්වන උදාහරණය අපූරු එකක්. පණ්ඩුකාභය සමයේ ඉතිහාසය ගැන සදහන් කරන මහානාම හිමියන් එහිදී කඩු තුඩකින් අශ්වයෙකුගේ නාසය විද නාස් ලණුව දැමීමක් පිළිබදව සදහන් කරනවා. සාමාන්යයෙන් හරකුන් මෙල්ල කිරීම සදහා නාස් ලණුව දැම්මත් අශ්වයා නැමති සත්වයා විෂයෙහි එය අසාර්ථක ක්රමයක්. එයින් සිදුවන්නේ අශ්වයා තවත් කුලප්පු වීම පමණයි. ඒ අනුව අශ්වයෙකුගේ නාසය විද නාස් ලණුවක් දැම්මේය කියන කතාව මහා එක්කෝ මහානාම හිමියන් පිළිගත්තා විය යුතුයි. එසේ පිළිගෙන ඇත්තේ නම් ඒ නොදැනුවත්කම නිසා. නමුත් දුටුගැමුණු රාජ සමය විස්තර කිරීමේදී මහානාම හිමියන්ට අශ්වයන් පිළිබදව ඇති දැනුමේ අඩුවක් නොමැති බව පෙනී යනවා. ඒ අනුව පණ්ඩුකාභය රජ සමය විස්තර කරද්දී අශ්වයන් පිළිබදව ඇති පෙරකී මෝඩ කතාව මහානාම හිමියන් මහාවංසයේ දැක්වූයේ ඇයි? නිසැකවම ඒ අවිචාරයෙන් නොව උන් වහන්සේ සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්යයනයේදී සොයාගත් ජනකතාව විකෘති කිරීමෙන් තොරව එලෙසින්ම ඇසූ හැටියෙන් ඇතුලත් කිරීම නිසා බවයි වික්රමසිංහයන්ගේ මතය.

රාවණා 11 වන ශත වර්ෂය වනතුරු මහාවංසයේ නැත්තේ ඇයි?

ඒ අනුව වික්රමසිංහයන් තර්ක කරන්නේ මහානාම හිමියන් මහාවංසය ලියන සමයේ යම් ජනප්රවාදයක් පැවැතියේ නම් එය විචාරවත් වේවා අවිචාරවත් වේවා එය සටහන් කර තැබීමේ අවශ්යතාවය මත නිසැකවම මහා වංසයට ඇතුලත් වීමට තිබූ බවයි. නමුත් එසේ සදහන් නොකරන්නේ මන්ද නිසැකවම ඒ සමයෙහි එවැනි පුරාවෘතයක් ජනකතාවක් වත් ලක්දිව නොවූ නිසා බවට වික්රමසිංහයන් තර්ක කරනවා.

රාවණා එන්නේ කොහෙන්ද?

එසේ නම් රාවණා කතාව එන්නේ කොහෙන්ද එහි මූලය කුමක්ද ඒ පිළිබදව වික්රමසිංහයන් පර්යේෂණාත්මක මූලාශ්ර ගණනාවක් ගෙනහැර දක්වනවා. 

මෙහි මුල් පොත ලෙස හදුනා ගැනෙන්නේ පැරණි බෞද්ධයන් දෙඩුම් මුල් යුතු ප්රලාප කතාවක් ලෙස අවඥාවෙන් බැහැර කළ රාමායණය. මෙකල රාවණාවාදීන් රාවණා චරිතය රාමායණයෙන් උපුටා ගෙන ඒ ගමන්ම එම චරිතයේ උත්කර්ෂය අඩු කළේ යැයි එය රචනා කළ වාල්මිකීට බැණ වැදීම උපහාස කටයුතු දෙබිඩි පිළිවෙතක් වනවා. ඒ අනුව රාවණා යනු ලොව පහළ වූ වීරයෙකු ධාර්මිකයෙකු හා සූසැට කළාවේ කෙළ පැමිණි අග්රගණ්ය රජෙකු ලෙස මේ පිරිස් දකිනවා.

සිහලුන් රාවණාගේ කතාව වීරත්වය කවා කර තබා ගන්නට පෙර එය ජෛනයන් කරතබාගෙන රැිය එකක් බව පැරණි ජෛන කවි සනාථ කරනවා. ජෛන කවියන් විසින් සංස්කෘත ප්රාකෘත කර්ණාට යන බස් වලින් රචනා කළ රාමායණ කාව්යයන් ගණනාවක් තිබෙනවා. ඒවා විවේචනය කරන පී.ඇල්. නරසිංහාචාර්ය මෙසේ සදහන් කරනවා
''යට කියන ලද කරුණු සළකන්නෙක් විමල සූරි කවියා ධාර්මික ශ්රේෂ්ඨ රජෙකුගේ ස්වරූපය රාවණයාට දීම ගැන පුදුම නොවෙයි. රාවණයා මහා බලසම්පන්න රජෙකි. ශ්රේෂ්ඨයෙකි. අසමසමයෙකි. ශත්රැ විජයෙන් පසු රාවණයා කිත් යසසට හා ධනයට ද අධිපති වෙයි. විද්යාධරයන්ගේ රජවරු ඔහුට වැද වැටෙති. භූලෝකයෙහිම රාවණයාගේ සතුරෙක් නැතිය. ඔහුගේ පුරවැසියෝ ඔහුට තුති පුද පවත්වති. ඔහු යන කවර රටක් වුවද දෙව්ලොවකට හැරෙයි. එහි ධන ධාන්ය හා මැණික්ද සුලභ වෙයි. ඒ රට දුර්භික්ෂ භයෙන් මිදෙයි. පිනට වාසස්ථානයක් වෙයි කදුරැලියෙන් හා කුටජ පුෂ්පයෙන් සැරසුණු පොළොව රාවණයා ළගා වන කළ සුන්දර තරුණ කාන්තාවක සේ සිනාවෙන් පිළිගනියි. පෙර පින් කළ නිසා රාවණයා දැන් කීර්තියෙන් හා ධනයෙන් අනූනව වෙසෙයි. රාවණයා ප්රවර පුරුෂයෙකියි කියමින් විමලසූරී තම වර්ණනාව අවසාන කරයි''
මෙම කොටස වික්රමසිංහයන් උපුටා දක්වන්නේ පී.ඇල් නරසිංහාචාර්යගේ Indian Historical Quarterly පොතේ 10 වන වෙලුමේ 5 වන පරිච්ඡේදයේ 584 වැනි පිටුවෙනි.
එම පොතේම 5 වන වෙලුමේ 590 වැනි පිටුවෙන් වික්රමසිංහයන් පහත කොටස උපුටාගනී
''තුන්වන ජන්මයෙහි රාවණයා සාරසමුච්චය නමැති රටෙහි නරදේව නමින් උපන්නේය. අනතුරු අත් බවෙහි ඔහු සෞධර්ම කල්පයෙහි දෙවියෙක්ව උපන්නේය. රාවණයා මේ දෙවියාව උපන්නේ ලංකාවේ රජ වූ පුලස්ත්ය සහ ඔහුගේ බිරිද වූ මේඝ ද ශ්රී නිසාය''
ඒ අනුව රාවණ මහා වීරත්වයකට නැගීම සිහලුන්ගේ සංකල්පයකට වඩා ජෛනයන්ගේ දෙයක් බව පෙනී යනවා. ඇත්තටම බැලුවොත් රාවණ යනු සිහලුන්ගේ ආදිතම පිය යනුවෙන් එකතු කරන කොටස හැර රාවණා ගැන කියන අන් සියලුම වීරත්වය මුසු කතා ජෛන සංස්කෘතියෙන් ගත් ඒවා බවයි වික්රමසිංහයන් කියන්නේ.

සෙනරත් පරණවිතාන දකින රාවණා

රාම රාවණ කතාව පැරණි දේව කතාවක් බවත් එය කවීන් විසින් හුදෙක් සාහිත්යාලංකාරය උදෙසා වරණගන ලද්දක් බවත් ඒ අනුව සිතා ගත හැකියි. පුරාවිද්යා විශාරද මහාචාර්ය සෙනරත් පරණවිතානයන් වරක් රාජකීය ආසියාතික සම්මේලනයේදී කළ කතාවක කොටසක් වික්රමසිංහයන් උපුටා දක්වනවා. ඒ අනුව පරණවිතානයන් කියන්නේ ලක්දිව රාවණයාගේ ලංකාව නොවේ. රාමායණය කියන ලංකාව කිසි කලෙක නොවූ විරූ මිත්යා ප්රදේශයක් බව තමන් කල්පනා කරන බවයි. (JCBRAS,vol,XXXI,82,328)

එමෙන්ම මාතරදී වරක් පරණවිතානයන් පැවැත්වූ දේශනයකදී අසන්නෙක් රාවණා පිළිබදව යොමු කළ ප්රශ්නයකට ඔහුගේ පිළිතුර වී ඇත්තේ රාමායණය දේව කතාවක් බවත් රාමා රාවණා සීතා ආදීහු ලොව විසූ පුද්ගලයන් නොව ආදිකාලීන කෘෂකයන් විසින් ස්වාභාවික වස්තූන්ද ස්වභා ධර්මතාද ඇසුරු කොටගෙන නිපදවන ලද මිත්යා කතාවක නායකයන් පමණක් බව.

සීතා කවුද යන්නෙන් හෙළිවන රාවණාගේ පදිංචිය

වාල්මිකීගේ රාමායණයේ සීතාගේ උත්පත්තිය ලෙස සදහන් වෙන්නේ ජනක රජු නගුලෙන් බිම හාරන විට සීතා උපන් බවක්. මෙය සදහන් වන්නේ බාලකාණ්ඩ සර්ග 66 පද්ය 23 සහ 24. සීතා යන නමේ අර්ථය පවා නගුලෙන් හෑරුණු රේඛාව ඇති යන්නයි.
පෙරකී ඩී.එල් නරසිංහාචාර්යගේ ග්රන්ථයේ 591 වැනි පිටුවේ ඒ අතාත්වික කතාව තර්කානුකූල කරගත් ආකාරය දක්වා තිබෙනවා. ඊට අනුව රාවණා පිළිබදව උදහසින් මැරුණු මණිමති නම් තැනැත්තියක් රාවණා මැරීමේ අරමුණින් රාවණාට දාව මන්දෝදරීගේ කුසේ පිළිසිදගත් බවත් ඇය උපත ලද වහාම පහළ වූ අසුබ නිමිති මත ඇයව මාරීචා නැමැත්තියකට භාරදුන් බවත් මාරීචා සීතාව මිතිලා නුවර සොහොන් පිටියේ වළ දමා තිබියදී යාග කිරීමට සුදුසු බිමක් සොයා ගිය ජනක රජුට සීතා හමු වූ බව ඒ අනුව කියැවෙනවා. ඒ අනුව ඇතැම් පුරාවෘත අනුව සීතා යනු රාවණාගේම ජෛව විද්යාත්මක දියණියක්. සෙනරත් පරණවිතාන ඉහත දක්වන්නට යෙදුණු රාමායණයේ ලංකාව ශ්රී ලංකාව නොවේ යන තර්කය පෝෂණය කිරීමට එයත් හේතුවක්.

රාවණා ලංකාවේ වාර්තාගත ඉතිහාසයට ඒම

කෙසේ වෙතත් රාවණා කතාව හිසින් ගත් බොහෝ දෙනෙකු එයට ශ්රී ලංකාවේ නගර වල නම් ආදිය ආදේශ කරමින් එම කතාව පෝෂණය කරගන්නට උත්සාහ ගන්නා බවක් පේනවා. 

සීතාඑළිය, වාරියපොල. රාවණා ඇල්ල ආදී නගර නාම රාවණා පුරාවෘත්තය හා බැදී ඇතැයි මේ අය පවසනවා. හුදෙක් එවැනි නම් පැවැතීමෙන් රාවණා ශ්රී ලංකාවේ සිටි බව සනාථ වන්නේ නම්, ඉහත උපුටා දක්වන ලද ජෛන කවි රචනා කළ කවියාගේ නම විමලසූරි. විමලසූරිය යන්න සිංහල නමක්. එසේ නම් සීතාඑලිය, වාරියපොළ, රාවණා ඇල්ල ආදී නගර හා ස්ථාන නාම ශ්රී ලංකාවේ පැවතීම රාවණා ශ්රී ලංකාවේ සිටි බවට සාධක වශයෙන් ගන්නේ නම්, එම තර්කය මතම, විමලසූරි නමින් ජෛනයින් ඉන්දියාවේ සිට තිබීමත් ශ්රී ලංකාවේ විමලසූරිය නමින් මිනිසුන් සිටීමත් සිංහලයාගේ ජෛන සම්භවයක් පිළිබදව යෝජනා කරනවා නොවේද?

නමුත් වාර්තාගත ඉතිහාසය තුල 11 වන සියවස දක්වාත් ඉන්පසු කඩඉම් පොත් ආදියෙහි මහනුවර යුගය දක්වාත් රාවණා ගැන ශ්රී ලංකා ජනප්රවාද තුල කිසිවක් හමු නොවන බව වික්රමසිංහයන් පෙන්වා දෙනවා. 

ඒ අනුව මෙම සටහන රාවණා සිහලුන්ගේ ආරම්භකයා ලෙස සිතීම සම්බන්ධයෙන් වික්රමසිංහයන්ගේ මතයෙන් අවසාන කරනවා. එය මා නැවත උපුටා දක්වන්නේ එහි ගැබ්වූ අප්රමාණ උපහාසය නිසාමයි.

රාවණා සිහලුන්ගේ ආදිතමයා වශයෙන් ගැනීම රුවැති මිනිසකුගේ මුතුන් මිත්තන් සොයන්ට බසින්නා අවසානයෙහි අනංගයා ඒ රුවැති මිනිසාගේ ආදිම මුත්තායැයි ඔප්පු කරනු පිණිස තැතනීමට සමාන විහිළුවක්


දේශපාලන ගල් ඉබ්බන්

දේශපාලනයේදී පමණක් නොව යුද්ධයකදී පවා ප්රතිපාර්ශවය ඇතුලේ ගල් ඉබ්බන් ස්ථානගත කිරීම ඉතාම සූක්ෂම යුධෝපක්රමයක් වන්නේය. ඒ හරහා යුද්ධය හෝ අරගලය සතුරු පෙරමුණේ සිට විකෘති කිරීමට කෙනෙකුට අවස්ථාව ලැබේ. 
 
එසේ ස්ථාන ගත කරන පුද්ගලයන් ගල් ඉබ්බන් ලෙස මා විසින් හදුන්වනු ලැබීමට හේතුවක් ඇත. මේ පුද්ගලයන් සතුරු පෙරමුණේ ස්ථානගත වී සිටියද එකී පෙරමුණ වෙනුවෙන් තීරණාත්මක භූමිකාවක් ඉටු නොකරයි. ඔවුන් ගල් ඉබ්බෙකු සේ තමන්ගේ ඝනකම් කටුවේ ආරක්ෂාව යටතේ හිස දෑත් දෙපා සහ වල්ගය සගවා ගෙන සිටින්නේ අවශ්ය අවස්ථාව උදා වන තුරුය.
 
මුහණට මුහුණලා කරන සටනක වේවා වාග් සටනක වේවා දේශපාලන සටනක වේවා ප්රතිපක්ෂයෙන් නැගෙන අභියෝග ප්රශ්න වලට ඒ ආකාරයෙන්ම මුහුණ දීම අපහසු වෙයි. එවන් විටෙක අමාරු ප්රශ්නයක් පිළිතුරු දීමට පහසු ප්රශ්නයක් බවට සංස්කරණය කර නැවත යොමු කිරීම බොහෝවිට සිදුකරන්නේ ප්රතිපක්ෂයේ උපක්රමිකව ස්ථානගත කර ඇති ගල් ඉබ්බන්ය. 
 
එවිට අවිචාරවත්ව සහ අන්ධ පක්ෂපාතීත්වයකින් යුතුව සටන් පෙරමුණ දෙස බලා සිටින දේශපාලන සාක්ෂරතාවයක් හා විවෘත මනසක් නොමැති අයෙකුට පෙනෙන්නේ එය විරුද්ධ පාර්ශවයෙන් යොමු කරන ලද ප්රශ්නයක් විලසිනි. නමුත් සැබැවින්ම එය පිළිතුරු දීමට පහසු සංස්කරණයක් ලෙස ගල් ඉබ්බෙකු ලවා යොමු කරවා ගත්තකි. 
 
ඒ අනුව ප්රතිපක්ෂයෙන් යොමුවන අතිශය වලංගු ප්රශ්නයක් පවා මෝඩ ප්රශ්න ලෙස බාහිරට පෙනෙයි. එයට තමන්ගේ පාර්ශවය වීරත්වයෙන් යුතුව ඉදිරියට පැන පහරදී සුණු විසුණු කළ බවද පෙනෙයි. නමුත් එය සම්පූර්ණයෙන්ම නාටකයකි. එහි තමන්ට භාර කරන කොටස ඉටු කරන ගල් ඉබ්බා ඊළග අවස්ථාව එන තුරු කටුව තුල සැගවෙයි. 
 
එමෙන්ම ප්රශ්නයක් නොමැති අවස්ථාවක වාසිය සදහා ප්රශ්නයක් ඇති බව මවා පෙන්වීමටද යොදාගන්නේ ගල් ඉබ්බන්ය. 
 
උදා:-
A පාර්ශවය සහ B පාර්ශවය අතර දිගුකාලීන එදිරිවාදී කමක් වෙයි. A පාර්ශවයේ නායකත්වය X නැමැත්තා දරයි. X ගේ දේශපාලනික පැවැත්ම තීරණය වන්නේ A හා B පාර්ශවයන් අතර අර්බුදය දිගින් දිගටම පැවතීම මතය. මන්ද දේශපාලනිකව ඉතාම දුප්පත් X අර්බුද නිරාකරණය හැර අන් කිසිවක් නොදනී. එබැවින් A සහ B පාර්ශවයන් අතර අර්බුදයක් පැවැතීම අවසන් වන්නේ යම් දිනෙකද එදින X ගේ පැවැත්මේ අවශ්යතාවයද අවලංගු වී යන්නේය.
මෙය මැනවින් අවබෝධ කරගන්නා X උපක්රමයක් ලෙස B පාර්ශවයේ ස්ථාන දෙකක Y සහ Z ස්ථානගත කර ඇත. එවිට A පාර්ශවයේ ජනතාවට A සහ B අතර අර්බුදයක් ඇතැයි නැවත නැවත පෙන්විය යුතු අවස්ථා වලදී Y සහ Z මාරුවෙන් මාරුවට B පාර්ශවයේ ඉදිමින් උග්ර A විරෝධී සහ B පාක්ෂික අන්තවාදී ප්රකාශ සිදු කරති.
එය අසන අවිචාරවත් A පාර්ශවකරුවන් "අඩේ අර බලාපල්ලා. ඌ කොහොමද එහෙම කියන්නේ? අපේ ගැලවීම X පමණයි. වරෙල්ලා ඌව රකින්න. වරෙල්ලා ඌව ශක්තිමත් කරන්න" යැයි කියමින් X වටා රොද බදිති. අවශ්යතාවය ඉටුවූ වහාම Y සහ Z නැවතත් තම තමන්ගේ ගල් ඉබි කටු තුළ සැගවෙති. නැවත මතුවන්නේ X වෙනුවෙන් නොසන්සුන්තාවයක් ඇතිකළ යුතු අවස්ථා වලදී පමණි.
දේශපාලනික ගල් ඉබ්බන් හදුනාගැනීම පහසු නැත. එය දැඩි විමසිල්ලෙන් බැලුවද යම් අවස්ථා වලදී කළ නොහැක්කි. එසේ ගල් ඉබ්බන් හදුනා ගැනීම සදහා ඇත්තේ එකම ක්රමයක් පමණි.
උදාහරණයේදී කියූ Y සහ Z සිදුකරන ප්රකාශ අත්යවශයෙන්ම A පාර්ශවයේ ජනයා කුප්පන ඒවා වන විට B පෙරමුණේ සිට එකී ප්රකාශ කිරීම B පෙරමුණට ඇති ඵලදායීත්වය සහ ඒ ප්රකාශ මත A පාර්ශවයේ ඇතිවන නොසන්සුන්තාවය B පාර්ශවයට බලපාන ආකාරය තුලනාත්මක ලෙස මැන බැලීමෙන් පමණි එය වටහා ගත හැක්කේ. එය අතිශය සංකීර්ණ ක්රියාවලියකි. 
 
එම තත්වය යටතේ දේශපාලනය යනු කාලීන ප්රවෘත්ති ලෙස පමණක් හදුනාගන්නා බොහෝ දෙනෙකු මෙම ගල් ඉබි සංකල්පය කිසිදා හදුනා නොගන්නවා ඇත. එබැවින් දේශපාලන ගල් ඉබ්බා යනු අවිචාරවත් ජනතාවක් සිටින සමාජයක සැමදා අතිශය ඵලදායී දේශපාලනික උපක්රමයක් වනවා ඇත.

Friday, June 5, 2020

නිරාගමිකයන් සහ නිරාගමික රාජ්‍යය

මේ සංකල්ප දෙක සම්බන්ධයෙන් බොහෝ දෙනක් අනවබෝධයෙන් කටයුතු කරන බවක් පෙනී යනවා. ඒ හේතුවෙන් ඒ සංකල්ප දෙක පැහැදිලි කිරීම සහ ඒ දෙකේ වෙනස පැහැදිලිව ඉරක් ඇද පෙන්වීම අවස්ථානුකූල යැයි මා හිතනවා.

නිරාගමිකයා

නිරාගමිකයෙක් කියන්නේ කුමන හෝ හේතුවක් මත ආගමික විශ්වාසයක් පිළි නොගන්නා කෙනෙක්. ඒ අතර ආගම් පිළිබදව විශ්වාසය බිදී තිබීම ආගමක් හෝ ආගමික සංස්ථාවක් සමග ඇති තරහ හෝ එදිරිවාදී කම වැනි හේතු මත නිරාගමික වූ අය වගේම හේතුවාදය එනම් යමක් උපතින් උරුම වීම, භක්තිය, ශ්රද්ධාව, කර්මයට හෝ සර්වබලධාරියෙකුට ඇති බිය සහ යහපත් ප්රතිවිපාක වලට ඇති ආසාව මත අවිචාරවත්ව පිළිගැනීම ප්රතික්ශේප කරමින්, විවෘත මනසින් යමක් විචාරශීලීව විමසා බලන අය වෙන්නටත් පුළුවන්. ඒ අනුව හේතුවාදීන් එක්තරා ස්වරූපයක නිරාගමිකයන් යැයි කිව හැකි වුවත් නිරාගමිකයන් = හේතුවාදීන් වන්නේ නැහැ.

නිරාගමික රාජ්යය නැමති බිල්ලා

නිරාගමික රාජ්යයක් යනු නිරාගමිකයන්ගෙන් එනම් ආගම් විශ්වාස නොකරන්නන්ගෙන් පිරුණු රටක් බවට අර්ථකථනයක් සෑම තැනම තිබෙනවා මා දුටුවා. ඒ අර්ථකථනය සම්පූර්ණයෙන්ම වැරදියි. නිරාගමික රාජ්යය යනු නිරාගමිකයන්ගේ රාජ්යය ලෙස ගතහොත් ඒ තුල ආගම් ඇදහීම වැනි මිනිසාගේ නිදහස් අයිතිවාසිකම් තහනම් කෙරෙනවා ඇතැයි ඇතිවන බියක් හේතුවෙන් නිරාගමික රාජ්යය බිල්ලෙකු මෙන් පෙනෙන්නට පුළුවන්. සැබැවින්ම නිරාගමික රාජ්යයට ඔය වැරදි අර්ථකථනය ආගමිකයන් විසින් සපයන්නේ නොදැනුවත්ව නොව දැන දැනම හිතාමතාමයි. නිරාගමික රාජ්ය සංකල්පය විනාශකාරී එකක් ලෙස හුවා දක්වා එය ප්රතික්ශේප කිරීමට අවිචාරවත් ජනතාව පෙළඹවීමයි එහි අරමුණ.

සැබැවින්ම නිරාගමික රාජ්යයක් යනු කුමක්ද?

නිරාගමික රාජ්යයක් ලෙස සැබැවින්ම අදහස් වන්නේ රාජ්ය පාලනය සදහා ආගම හෝ ආගමික සංස්ථාව අදාළ කර නොගන්නා රටක්. එවන් රටක ආගමික හේතූන් මත පණවන ලද නීති ඇත්තේ නැහැ. සැමට අදාළ වන්නේ එක නීතියක්. ආගමික විශ්වාස මත යම් වෙනසක් වෙනවා නම් එය රටේ නීතියට පටහැණි නොවන අන්දමින් තමන්ගේ පෞද්ගලිකත්වයේ සීමාව තුල සිටිමින් කරගත යුතු වෙනවා. 
 
ඒ අනුව කිසිම ආගමකට නීතිය තුල විශේෂ පිළිගැනීමක් හෝ රාජ්ය අනුග්රහයක් ලැබෙන්නේ නැහැ. ආගමික උත්සව දිනවල සාමාන්ය දිනයක මෙන්ම මත්පැන්හල් මස් අලෙවිසැල් පමණක් නොව ඕනෑම ආයතනයක් විවෘතව තැබෙනවා. එදින මත්පැන් සහ මස් කෑමෙන් වැලකෙන්නට කැමති අයට නිවාඩු ලබන්නට කැමති අයට පෞද්ගලික මට්ටමින් එය සිදුකරගැනීමේ හැකියාව පවතිනවා මිස ඒ ආගමික විශ්වාසය පිළි නොගන්නා අය ලවාත් බලෙන් ඒවා කරවීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. 
 
පුද්ගල හැදුනුම්පත් උප්පැන්න සහතික හෝ නීතිය ඉදිරියේ පිළිගන්නා කිසිදු ලේඛනයක පුද්ගලයාගේ ආගම ඔහුගේ නිළ අනන්යතාවයේ කොටසක් ලෙස ඇතුලත් වන්නේත් නැහැ. ඒ අනුව ආගම යනු අවශ්ය නම් පිළිගැනීමටත් අකමැතිනම් බැහැර කිරීමටත් හැකි අති පෞද්ගලික කාරණාවක් බවට පත් කෙරෙනවා. 
 
ඒ අනුව සැබැවින්ම නිරාගමික රාජ්යයක් යනු ආගම් නොඅදහන්නන්ගේ රටක් කියනවාට වඩා නිවැරදි වන්නේ රාජ්ය පාලන ක්රමය තුල ආගම හදුනා නොගන්නා රටක් යන්නයි. එහිදී කිසිදු ආගමකට රාජ්ය පිටිවහල නොලැබීම තුල ආගමික විෂමතා මත ගැටුම් කළහකාරී තත්වයන් ඇතිවීම සැළකිය යුතු ලෙස සීමා වෙනවා. කෙසේ වෙතත් ආගමික උත්සවයක් දිනයක යම් ආගමක වත් පිළිවෙත් සහ නීති ඒ ආගමේ නොවන අය මත සහ නිරාගමිකයන් මත බලෙන් පැටවීම කිසිම න්යායක් යටතේ සාධාරණ වන්නේ නැහැ. ආගම අනුව පුද්ගලයන් පංතිකරණයට ලක්කිරීමත් ඒ වගේම අසාධාරණයි. ඒ සියල්ලට පිළිතුර නිරාගමික රාජ්යය සංකල්පය තුල තිබෙනවා. එය ඉතාම වටිනා එමෙන්ම දියුණු රාජ්ය පාලන ක්රමයක් වන්නේ ඒ නිසා. එය සැබැවින්ම ආගමිකයන් නිරාගමිකයන් ඇතුලු සියල්ලන්ගේ උතෝපියාවක්.

Thursday, June 4, 2020

යටගිය දවස හා උඩගිය දවස ලබුගෙඩියේ යාගය

එදවස

යටගිය දවස දඹදිව බ්රාහ්මණයෝ වෛශ්යයන්ගේ ධනයෙන් මහත් වූ පිටියෙක මහත් වූ වේදිකාවක් කරවා ඒ වේදිකා මස්තකයේ ක්ෂත්රියයන්ද තුමූද මුලසුනෙහි වඩා හිදුවා අග්නි, මරුත්, චන්ද්ර, සූර්ය, පර්ජන්ය, මේඝ, විජ්ජු, ඌෂස්, පෘථිවි සහ වරුණාදී මහත් වූ උත්කර්ෂවත් යාග කරන්නෝය. එතැනට පිවිසීමට අවසර නොළද වේණ, නේෂාද, රථකාර, පුක්කුස, චණ්ඩාලාදී ශුද්රයෝ යාගය කෙරෙන මහත් වූ පිටිය දෙසැ දුරින් සිටැ හොරෙන් බල බලා සුසුම් හෙලන්නෝ "අහෝ එයනම් මහත් වූ ආශ්චර්යවත් උත්සවයෙකි. මහ පිනෙකි. මතු ආත්මයෙක බමුණු කුළයේ හෝ කැත් කුලයේ ඉපිද එවන් උත්කර්ශවත් යාගයෙක දෙවියන්ට පමණක් දෙවැනිව ඉද පින ලබන්නට ලැබේවා" යි පතා සාදුකාර දෙන්නෝය.

මෙදවස

නූතන බමුණෝ පුරහද පායන දිනෙක වෛශ්යයන්ගේ ධනයෙන් මහත් වූ සාලා කරවා, ඒවායේ අසූ කෙලක් පළතුරුද, අසූකෙළක් සත් වණක පුෂ්පයෝද ගොඩගසා, විසිකේලක තෛලයේ බහාලූ පාංකඩ දවමින්, නූතන ක්ෂත්රීයයෝ මුලසුනෙහි තබා, මහත් උත්කර්ශයෙන් යාග කරන්නෝය. එතැනට පිවිසුම් අවසරය නොළද නූතන ශුද්රයෝ ඒ මහත් වූ යාග වෛශ්යයන්ගේ විදු සන් පෙට්ටියෙන් දකින්නෝ "අහෝ අපේ පිං පාට කැත් කුලය දිනේවා. මීළග භවයේ අපිද කැත් කුලයේ උපදීවා" යි පතමින් හඩ නගමින් දොහොත් මුදුණින් සාදුකාර දිදී වදින්නෝය.
(උපුටාගැනීම සද්ධර්මරත්නාවලියෙන් නොවේ)

මරණය

මරණය තමයි ඕනම සත්වයෙක් මුහුණ දෙන ඔහුට අද්භූතම සහ භයංකරවම දැනෙන සංසිද්ධිය. මානව ඉතිහාසයේ ආරම්භයේදි මිනිසාට මරණය මහා දැවැන්ත ප්රශ්නයක් වන්නට ඇති බවට කිසිම සැකයක් නැහැ. හොදට ඇවිදපු, කතා කරපු, හිනා වෙච්ච, රණ්ඩු වෙච්ච කොටින්ම ජීවයෙන් පිරිලා හිටපු කෙනෙක් හිටි හැටියේ අක්රිය වෙනවා. ප්රතිචාර දැක්වීම නවත්වනවා. ඇහැරෙව්වට ඇහැරෙන්නෙ නෑ. දවස් කීපයක් තියාගත්තොත් කුණු වෙලා ගද ගහන්නත් සතියක් දෙකක් තියාගත්තොත් කුණුවීම එළියට පේන්න ඕජස් ගලන්නත් ඊටත් වඩා තියා ගත්තොත් මස් කෑලි ගැලවිලා ටිකෙන් ටික ඇටකටු මතු වෙන්නත් පටන් ගන්නව. මරණය වෛද්ය විද්යාත්මකව හදුනාගෙන නැති එහි සංසිද්ධිය කුමක්දැයි විද්යාත්මකව විස්තර කිරීමට නොදන්නා කාලෙකදි ඒක කොයිතරම් භයංකර අද්භූත අත්දැකීමක් වන්නට ඇත්දැයි සිතා ගැනීම අපහසු නැහැ. 
 
අනෙක් සත්තුන්ට වඩා දියුණු මොළයක් සහිත මිනිසා ඉතාම කුතුහලයෙන් වගේම භයෙන් මරණය කියන තමාට බරතපතළව සහ භයංකරව දැනෙන ප්රශ්නයට විසදුම හොයනවා. ඒ අතර මැරෙන අය තරු අතරට යනවා ඇති, ගහක් බවට පත්වෙනවා ඇති වගේ තැන් වල ඉදන් දෙවියන් ළගට හෝ අපායට යනවා ඇති වගේ මත දක්වා අවිනිශ්චිතතාවය මත පදනම්ව මිනිසා විසදුම් හොයනවා. 
 
ඒ අතර සිත සනසා ගැනීම සදහා ඉදිරිපත් වූ එක තර්කයක් තමයි මරණින් පසු පැවැත්මක් ඇත්තේය යන අදහස. ආදරය කළ කෙනෙක් මැරුණුට පසු ඔහු අවසන් කියල හිතනවට වඩා ඔහු මීටත් වඩා හොද අලුත් තැනක ඇති, කොහේ හෝ සිට අප දෙස බලාගෙන ඇති කියන හැගීම සුන්දරයි වගේම රොමාන්තික එකක්. ඒ හැගීම වියෝ වේදනාවෙන් සිටින කෙනාට මරණයෙන් පසු සියල්ල ශූන්යයි කියල හිතනකොට දැනෙන හිස් බවට වඩා යම් අස්වැසිල්ලක් ගෙනාව.
 
ඔය හැගීම උත්තරයක් නැති ප්රශ්නයකට ලැබුණ සුන්දර ඒත් අද්භූත විසදුමක්. අද්භූතත්වයට මිනිස් මොළය ආසයි. යම් අද්භූතත්වයක් සිතට ඇතුල් වූ ගමන් භයානක රසයක් විදිමින් එය තවත් වරණගමින් පුළුල් කරගන්න මොළය සමත්. ඒ අනුව මරණින් මතු තව තැනකට යාම කාලයත් එක්ක තව තවත් වරණැගෙනවා. හොදින් ජීවත් වුණ කෙනෙක් හොද තැනකට සහ නරකින් ජීවත් වූ කෙනෙක් නරක තැනකට යනාදී වශයෙන් එය පුළුල්ව වර්ධනය වෙනවා. ඒ වර්ධනයේ ප්රායෝගික හොද ප්රතිවිපාකයකුත් තියෙනව. ඒ මතු ජීවිතය ගැන භයෙන් මිනිසුන් හොදින් ජීවත් වෙන්නට උත්සාහ ගනීය කියන උපකල්පනය. 
 
සැබැවින්ම සිත කියන්නෙ මොකක්ද? මම කියන හැගීම කොහෙන්ද එන්නෙ? කොහෙන්ද නැති වෙන්නෙ? මරණය කියන්නෙ මොකක්ද? මරණය කියන ක්රියාවලිය සිදුවීමෙන් පසු ශරීරය කුණු වන්නේ ඇයි? වගේ දේවල් සම්බන්ධයෙන් විද්යාත්මක පැහැදිලි කිරීමක් නොදන්නා ආදි මිනිසා ඒ සම්බන්ධයෙන් ඇති අද්භූතම පැහැදිලි කිරීම බදා අල්ලා ගැනීමේ කිසිම පුදුමයක් නැහැ. මොකද මරණය තමයි ඒ කුමක්ද නොදන්නා මිනිසා අත්දකින ඔහුට දැනෙන පරිදි භයංකරම අද්භූතම සංසිද්ධිය.
 
අදටත් මරණය කුමක්ද යන්න විද්යාත්මකව දැනගත්තත් මරණයේ භයංකර භාවය මිනිසාට හැගෙන ආකාරයේ කිසිම අඩුවක් සිදුවී නැහැ. එසේ සිදුවන්නේ මිනිස් සිතේ ඇතිවන හැගීම් නිසා. ඒ අනුව මරණයට පත්වන කෙනාට නොව සැබැවින්ම ජීවත්ව සිටින ඒ මරණකාරයාගේ සමීපතමයන්ට එය දරාගැනීම ඉතාම අපහසු සමහරවිට ඔවුන් ජීවත්ව ඉන්නා තාක්කල් දරා ගැනීමට අසමත් වන තරමේ බලවත් වේදනාවක් බවට පත්වෙනවා. 
 
මේ හේතුවෙන් වර්තමානයේ මරණය විද්යාත්මකව වටහා ගත්තත් ඒ නීරස පැහැදිලි කිරීමට වඩා පෙරකී පැරණි රොමාන්තික පැහැදිලි කිරීමට මිනිසුන් ඇදී යනවා. ඒ තුල දුක තුනී වන තුරු මළගිය කෙනා වෙනුවෙන් වෙහෙස මහන්සි වීම, වියහියදම් කිරීම හරහා යම්තාක් දුරකට දුක තුනී කරගැනීමටත්, මරණයට පත්වූ අයට පිං ඩිපොසිට් කිරීම හරහා ඔවුන් ජීවතුන් අතර සිටියදී ඔවුන් හා ඔවුන්ට කළ නොපණත්කම් සම්බන්ධයෙන් හිත හදා ගැනීමට පවා අවස්ථාවක් සැළසෙනවා. ඒ අනුව මරණය ගැන තාර්කික චින්තනය තව තවත් අපිට දුරස් වෙනවා.
 
කෙසේ වෙතත් මරණය පිළිබදව පවත්නා අද්භූත විග්රහයන් හා දෘෂ්ටිවාද හේතුවෙන් ඒ දෘෂ්ටිවාද වල එල්බ ගන්නා බොහෝ දෙනෙකු තමන්ට දැනුම් තේරුම් ඇති වැටහෙන කාලයේ පටන් ජීවත් වන්නේ මරණයේ සෙවණැල්ල යට. දෘෂ්ටිවාද පිළිගන්නා බොහෝ දෙනෙක් "කවදාහෝ මැරෙනවා ඒ හෙට වන්නටත් පුළුවන්" යන විශ්වාසය මත ජීවිතයේ සතුට දුරස් කරගන්නා ආකාරය දකින්න පුළුවන්. සියල්ලේ ඇතිවීම සහ නැතිවීම හෙවත් කල් ඉකුත් වීමේ න්යාය වටහා ගැනීම එකක්. එසේ වනවා යැයි කියමින් ජීවිතයම දොම්නසින් ගත කිරීම තවත් එකක්. මරණය ගැන දෘෂ්ටිවාද හිසින් ගන්නා බොහෝ දෙනෙක් කුමන වචන දමාගත්තත් සැබැවින් කල්ගෙවන්නේ දොම්නසින්. 
 
නමුත් එය දොම්නස නොවන බවත් අධික ප්රීතියට හෝ අධික සන්තාපයට පත්වීම නිෂ්ඵල බව වටහාගැනීමෙන් උපදින උපේක්ෂාව බව කියනවා. එසේ කියුවද බොහෝ දෙනා සැබැවින්ම පත්වන්නේ උපේක්ෂාවට නොව දොම්නසට බව සමීපව නිරීක්ෂණය කළ විට පෙනී යනවා. 
 
සෑම පුද්ගලයෙකුටම මරණයේ ඇති ස්වභාවය වටහාගෙන ඉන් මතු ජීවිතයක් ගැන ලාලසාවකින් හෝ බියකින් තොරව මරණ මොහොත කරා එළඹෙන්නට හැකිනම් එය මහත් සැනසීමක් වනවා ඇති. නමුත් දෘෂ්ටිවාද සමග ඉපැදුණු ඒ සමග ජීවත් වන ඒ සමග මියයන පුද්ගලයන්ට අවුරුදු දහස් ගණනක් තිස්සේ අති සංකීර්ණව විග්රහ කරන දර්ශනයන්ට පවා පාදක වූ මරණය සරළ ස්වභාවික සංසිද්ධියක්ය යන්න දිරවා ගැනීමට පහසු වන්නේ නැහැ. 
 
මරණය පිළිබදව දොම්නසින් කල් ගෙවන්නන් අතර ඇති ප්රධාන ප්රශ්නය තමයි "අවසානයේ මියයනවා නම් කිසිවකින් පලක් තිබේද" යන්න. එයට ඩොරති කැන්ෆීල්ඩ් ෆිෂර් විසින් රචිත කෙටි කතාවක මනා උත්තරයක් ලබා දෙනවා.
 
"කොලුවො අවුරුදු 88ක් ජීවත් වෙන්න මං අනුගමනය කළ ආදර්ශ පාඨය මොකක්ද කියල මං උඹට කියන්නම්
උඹ ජීවත් වෙනතුරු හොදට ජීවත් වෙයං. මැරෙන දවසට ඔහෙ මැරිච්චාවෙ"
 
තමන්ගෙ මී මුණුබුරාට එහෙම කියන්නෙ වයස අවුරුදු 88ක් වෙච්ච පෙන්ඩල්ටන් මුත්තා. පෙන්ඩල්ටන් මුත්තා හොදට කාලා බීලා නටලා කෑගහලා ඉන්න වයස අවුරුදු 88දිත් සැණකෙළි බලන්න ගිහින් සංගීතයට තාලෙට නටන ජාතියෙ මිනිහෙක්.
 
අද රාමුගත අධ්යාපනය සංකල්පය පිළිබදව කතා කරන්න මම මේ සමූහයටම ලියපු ලිපියට මාතෘකා කරගත්තු Captain Fantastic චිත්රපටයෙන් දෙවැනි උදාහරණය ගන්නම්.
 
එහි ප්රධාන චරිතයේ බිරිදගේ අන්තිම කැමති පත්රය අනුව අවමංගල්ය කටයුතු සම්බන්ධයෙන් ඉල්ලන්නෙ මෙහෙමයි:-
 
"මාගේ මරණය ස්වභාවික සංසිද්ධියක්ය යන කරුණ බිදෙන කිසිවක් කරන්නට එපා. මාගේ මළ සිරුර පුළුස්සා මිනී අළු කරුණාකර ළගම තිබෙන වැසිකිලි පෝච්චියට දමා ෆ්ලෂ් කරන්න"




දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...