රාවණා කතාන්තරය විශ්වසනීය පුරාවෘතයක් සහ හෙල වැසියන්ගේ මූලාරම්භයක් ලෙස ගනිමින් සිදු කෙරෙන සංවාද කරුණු දැක්වීම් වලට පසුගිය දශකය තුල නව පණක් ලැබී තියෙනවා. මා දුටු ආකාරයට මෙයට මහාචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර රාවණාවාදය සම්බන්ධයෙන් දක්වන ලද මතවාද විශාල හේතුවක් වුණා. මිරැන්ඩෝ ඔබේසේකර, රාවණා ගැන සදහන් වන සෑම සියළු ස්ථානයක්ම එක මිටක් කොට ගෙන ඒවා එකිනෙකට ගලපන්නට උත්සාහ කළා. මෙය ගුරු කොට ගත් ඇතැමෙක් ඉන්පසු රාවණාවාදී පුරාවිද්යාව නැමැති නව පුරාවිද්යාත්මක විෂය ක්ෂේත්රයකටද මං පෙත් විවර කර තිබෙනවා.
අලුත් කසුකුසුවක් නොවේ
මෙය නවීන තාක්ෂණයේ සහ විශේෂයෙන් සමාජ මාධ්යයේ දියුණුවත් සමග වර්තමානයේ වේගයෙන් ජනගත වුවද මේ පිළිබදව කසුකුසුව සිංහල ජන සමාජය තුල කලක ඉදන් පැවතුණු දෙයක්. මාර්ටින් වික්රමසිංහයන් 1947 වසරේදී පළමු වරට එළි දක්වන බුදු සමය හා සමාජ දර්ශනය ග්රන්ථයේ 2 වැනි නිබන්ධනය යටතේ රාවණා කතාව පිළිබදව විශ්ලේෂණාත්මක විචාරයක යෙදෙන්නේ එකල සමාජයේ පැවැති රාවණා කතාන්තරය හෙළයන්ගේ සැබෑ මූලයද යනුවෙන් වූ කසුකුසුවට පිළිතුරක් වශයෙන් යැයි සිතිය හැකියි.
රටක ඉතිහාස කතාව හුදෙක් වාර්තාගත ඉතිහාසය තුලින් පමණක් උකහා ගැනීම නොකළ යුතු බව වික්රමසිංහයන් දක්වනවා. විශේෂයෙන්ම ලිඛිත ඓතිහාසික කතාන්තරයක් අහිමි බැබිලෝනියාව වැනි රට වල ඉතිහාස කතාව සම්පූර්ණයෙන්ම පාහේ පුරාවිද්යාඥයන් විසින් සොයාගනු ලබන ඓතිහාසික මූලාශ්ර සහ පුරාවස්තු ආශ්රයෙන් ගොඩනැගුණු ආකාරය ඔහු දක්වා තිබෙනවා. එහිදී මහානාම හිමියන්ගේ මහාවංසය ඉතිහාසයේ පරම ගුරු කොට සැළකීම නොව එහි ඇති කරුණු ඓතිහාසික නටබුන් හා පුරාවස්තු සමග සමපාත කරමින් ඉතිහාස කතාව මතුකරගන්නට වෑයම් කිරීමේ වටිනාකම ඔහු අවධාරණය කරනවා. එහිදී වාර්තාගත ඉතිහාස කෘතියට වන්දනාමාන කිරීම නොව ඒ සම්බන්ධයෙන් විචාරශීලී විසංයෝජනීය ප්රවේශයක් අවශ්ය වෙනවා.
රුවැති මිනිසා අනංගයාගෙන් පැවතීම
නමුත් ශ්රී ලංකාවේ ඉතිහාසඥයන් ගුඪ දේව කතා මත පදනම් වෙමින් අතීතයේ උන් අතාත්වික ශ්රේෂ්ඨ මිනිසුන් සහ අතාත්වික ශ්රේෂ්ඨ රාජ්යයක් පිළිබදව කියන කතාව වික්රමසිංහයන් උපමා කරන්නේ රුවැති මිනිසකුගේ මුතුන් මිත්තන් සොයන්ට බසින්නා අවසානයෙහි අනංගයා ඒ රුවැති මිනිසාගේ ආදිම මුත්තයයි ඔප්පු කරනු පිණිස තැතනීමට සමාන විහිළුවක් වශයෙන්.
මහානාම හිමියන්ගේ විචාරවත් බව
මහානාම හිමියන්ගේ මහාවංසය බොහෝ දුරට අසා දැනගත් කරුණු මත පදනම් වූ පක්ෂග්රාහී ලියවිල්ලකැයි චෝදනා එල්ල වුවත් එය මහානාම හිමියන් විසින් රචනා කිරීමේදී එකළ හා ඊට පෙර පැවැති හෙළ ඉතිහාසයට සම්බන්ධ පුරාවෘත ජනකතා මහාවංසයේ ඇතුලත් කොට තිබෙනවා. ඒ එකී ජනකතා අන්ධ ලෙස පිළිගනිමින් නොව ඉතිහාසඥයෙකු ලෙස වන්දනාමානයෙන් තොරව ඒ දෙස බලමින් අවබෝධයෙන් යුතුව බව වික්රමසිංහයන් දක්වනවා.
අශ්වයාට නාස් ලණුව
එයට ඔහු දක්වන උදාහරණය අපූරු එකක්. පණ්ඩුකාභය සමයේ ඉතිහාසය ගැන සදහන් කරන මහානාම හිමියන් එහිදී කඩු තුඩකින් අශ්වයෙකුගේ නාසය විද නාස් ලණුව දැමීමක් පිළිබදව සදහන් කරනවා. සාමාන්යයෙන් හරකුන් මෙල්ල කිරීම සදහා නාස් ලණුව දැම්මත් අශ්වයා නැමති සත්වයා විෂයෙහි එය අසාර්ථක ක්රමයක්. එයින් සිදුවන්නේ අශ්වයා තවත් කුලප්පු වීම පමණයි. ඒ අනුව අශ්වයෙකුගේ නාසය විද නාස් ලණුවක් දැම්මේය කියන කතාව මහා එක්කෝ මහානාම හිමියන් පිළිගත්තා විය යුතුයි. එසේ පිළිගෙන ඇත්තේ නම් ඒ නොදැනුවත්කම නිසා. නමුත් දුටුගැමුණු රාජ සමය විස්තර කිරීමේදී මහානාම හිමියන්ට අශ්වයන් පිළිබදව ඇති දැනුමේ අඩුවක් නොමැති බව පෙනී යනවා. ඒ අනුව පණ්ඩුකාභය රජ සමය විස්තර කරද්දී අශ්වයන් පිළිබදව ඇති පෙරකී මෝඩ කතාව මහානාම හිමියන් මහාවංසයේ දැක්වූයේ ඇයි? නිසැකවම ඒ අවිචාරයෙන් නොව උන් වහන්සේ සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්යයනයේදී සොයාගත් ජනකතාව විකෘති කිරීමෙන් තොරව එලෙසින්ම ඇසූ හැටියෙන් ඇතුලත් කිරීම නිසා බවයි වික්රමසිංහයන්ගේ මතය.
රාවණා 11 වන ශත වර්ෂය වනතුරු මහාවංසයේ නැත්තේ ඇයි?
ඒ අනුව වික්රමසිංහයන් තර්ක කරන්නේ මහානාම හිමියන් මහාවංසය ලියන සමයේ යම් ජනප්රවාදයක් පැවැතියේ නම් එය විචාරවත් වේවා අවිචාරවත් වේවා එය සටහන් කර තැබීමේ අවශ්යතාවය මත නිසැකවම මහා වංසයට ඇතුලත් වීමට තිබූ බවයි. නමුත් එසේ සදහන් නොකරන්නේ මන්ද නිසැකවම ඒ සමයෙහි එවැනි පුරාවෘතයක් ජනකතාවක් වත් ලක්දිව නොවූ නිසා බවට වික්රමසිංහයන් තර්ක කරනවා.
රාවණා එන්නේ කොහෙන්ද?
එසේ නම් රාවණා කතාව එන්නේ කොහෙන්ද එහි මූලය කුමක්ද ඒ පිළිබදව වික්රමසිංහයන් පර්යේෂණාත්මක මූලාශ්ර ගණනාවක් ගෙනහැර දක්වනවා.
මෙහි මුල් පොත ලෙස හදුනා ගැනෙන්නේ පැරණි බෞද්ධයන් දෙඩුම් මුල් යුතු ප්රලාප කතාවක් ලෙස අවඥාවෙන් බැහැර කළ රාමායණය. මෙකල රාවණාවාදීන් රාවණා චරිතය රාමායණයෙන් උපුටා ගෙන ඒ ගමන්ම එම චරිතයේ උත්කර්ෂය අඩු කළේ යැයි එය රචනා කළ වාල්මිකීට බැණ වැදීම උපහාස කටයුතු දෙබිඩි පිළිවෙතක් වනවා. ඒ අනුව රාවණා යනු ලොව පහළ වූ වීරයෙකු ධාර්මිකයෙකු හා සූසැට කළාවේ කෙළ පැමිණි අග්රගණ්ය රජෙකු ලෙස මේ පිරිස් දකිනවා.
සිහලුන් රාවණාගේ කතාව වීරත්වය කවා කර තබා ගන්නට පෙර එය ජෛනයන් කරතබාගෙන රැිය එකක් බව පැරණි ජෛන කවි සනාථ කරනවා. ජෛන කවියන් විසින් සංස්කෘත ප්රාකෘත කර්ණාට යන බස් වලින් රචනා කළ රාමායණ කාව්යයන් ගණනාවක් තිබෙනවා. ඒවා විවේචනය කරන පී.ඇල්. නරසිංහාචාර්ය මෙසේ සදහන් කරනවා
''යට කියන ලද කරුණු සළකන්නෙක් විමල සූරි කවියා ධාර්මික ශ්රේෂ්ඨ රජෙකුගේ ස්වරූපය රාවණයාට දීම ගැන පුදුම නොවෙයි. රාවණයා මහා බලසම්පන්න රජෙකි. ශ්රේෂ්ඨයෙකි. අසමසමයෙකි. ශත්රැ විජයෙන් පසු රාවණයා කිත් යසසට හා ධනයට ද අධිපති වෙයි. විද්යාධරයන්ගේ රජවරු ඔහුට වැද වැටෙති. භූලෝකයෙහිම රාවණයාගේ සතුරෙක් නැතිය. ඔහුගේ පුරවැසියෝ ඔහුට තුති පුද පවත්වති. ඔහු යන කවර රටක් වුවද දෙව්ලොවකට හැරෙයි. එහි ධන ධාන්ය හා මැණික්ද සුලභ වෙයි. ඒ රට දුර්භික්ෂ භයෙන් මිදෙයි. පිනට වාසස්ථානයක් වෙයි කදුරැලියෙන් හා කුටජ පුෂ්පයෙන් සැරසුණු පොළොව රාවණයා ළගා වන කළ සුන්දර තරුණ කාන්තාවක සේ සිනාවෙන් පිළිගනියි. පෙර පින් කළ නිසා රාවණයා දැන් කීර්තියෙන් හා ධනයෙන් අනූනව වෙසෙයි. රාවණයා ප්රවර පුරුෂයෙකියි කියමින් විමලසූරී තම වර්ණනාව අවසාන කරයි''
මෙම කොටස වික්රමසිංහයන් උපුටා දක්වන්නේ පී.ඇල් නරසිංහාචාර්යගේ Indian Historical Quarterly පොතේ 10 වන වෙලුමේ 5 වන පරිච්ඡේදයේ 584 වැනි පිටුවෙනි.
එම පොතේම 5 වන වෙලුමේ 590 වැනි පිටුවෙන් වික්රමසිංහයන් පහත කොටස උපුටාගනී
''තුන්වන ජන්මයෙහි රාවණයා සාරසමුච්චය නමැති රටෙහි නරදේව නමින් උපන්නේය. අනතුරු අත් බවෙහි ඔහු සෞධර්ම කල්පයෙහි දෙවියෙක්ව උපන්නේය. රාවණයා මේ දෙවියාව උපන්නේ ලංකාවේ රජ වූ පුලස්ත්ය සහ ඔහුගේ බිරිද වූ මේඝ ද ශ්රී නිසාය''
ඒ අනුව රාවණ මහා වීරත්වයකට නැගීම සිහලුන්ගේ සංකල්පයකට වඩා ජෛනයන්ගේ දෙයක් බව පෙනී යනවා. ඇත්තටම බැලුවොත් රාවණ යනු සිහලුන්ගේ ආදිතම පිය යනුවෙන් එකතු කරන කොටස හැර රාවණා ගැන කියන අන් සියලුම වීරත්වය මුසු කතා ජෛන සංස්කෘතියෙන් ගත් ඒවා බවයි වික්රමසිංහයන් කියන්නේ.
සෙනරත් පරණවිතාන දකින රාවණා
රාම රාවණ කතාව පැරණි දේව කතාවක් බවත් එය කවීන් විසින් හුදෙක් සාහිත්යාලංකාරය උදෙසා වරණගන ලද්දක් බවත් ඒ අනුව සිතා ගත හැකියි. පුරාවිද්යා විශාරද මහාචාර්ය සෙනරත් පරණවිතානයන් වරක් රාජකීය ආසියාතික සම්මේලනයේදී කළ කතාවක කොටසක් වික්රමසිංහයන් උපුටා දක්වනවා. ඒ අනුව පරණවිතානයන් කියන්නේ ලක්දිව රාවණයාගේ ලංකාව නොවේ. රාමායණය කියන ලංකාව කිසි කලෙක නොවූ විරූ මිත්යා ප්රදේශයක් බව තමන් කල්පනා කරන බවයි. (JCBRAS,vol,XXXI,82,328)
එමෙන්ම මාතරදී වරක් පරණවිතානයන් පැවැත්වූ දේශනයකදී අසන්නෙක් රාවණා පිළිබදව යොමු කළ ප්රශ්නයකට ඔහුගේ පිළිතුර වී ඇත්තේ රාමායණය දේව කතාවක් බවත් රාමා රාවණා සීතා ආදීහු ලොව විසූ පුද්ගලයන් නොව ආදිකාලීන කෘෂකයන් විසින් ස්වාභාවික වස්තූන්ද ස්වභා ධර්මතාද ඇසුරු කොටගෙන නිපදවන ලද මිත්යා කතාවක නායකයන් පමණක් බව.
සීතා කවුද යන්නෙන් හෙළිවන රාවණාගේ පදිංචිය
වාල්මිකීගේ රාමායණයේ සීතාගේ උත්පත්තිය ලෙස සදහන් වෙන්නේ ජනක රජු නගුලෙන් බිම හාරන විට සීතා උපන් බවක්. මෙය සදහන් වන්නේ බාලකාණ්ඩ සර්ග 66 පද්ය 23 සහ 24. සීතා යන නමේ අර්ථය පවා නගුලෙන් හෑරුණු රේඛාව ඇති යන්නයි.
පෙරකී ඩී.එල් නරසිංහාචාර්යගේ ග්රන්ථයේ 591 වැනි පිටුවේ ඒ අතාත්වික කතාව තර්කානුකූල කරගත් ආකාරය දක්වා තිබෙනවා. ඊට අනුව රාවණා පිළිබදව උදහසින් මැරුණු මණිමති නම් තැනැත්තියක් රාවණා මැරීමේ අරමුණින් රාවණාට දාව මන්දෝදරීගේ කුසේ පිළිසිදගත් බවත් ඇය උපත ලද වහාම පහළ වූ අසුබ නිමිති මත ඇයව මාරීචා නැමැත්තියකට භාරදුන් බවත් මාරීචා සීතාව මිතිලා නුවර සොහොන් පිටියේ වළ දමා තිබියදී යාග කිරීමට සුදුසු බිමක් සොයා ගිය ජනක රජුට සීතා හමු වූ බව ඒ අනුව කියැවෙනවා. ඒ අනුව ඇතැම් පුරාවෘත අනුව සීතා යනු රාවණාගේම ජෛව විද්යාත්මක දියණියක්. සෙනරත් පරණවිතාන ඉහත දක්වන්නට යෙදුණු රාමායණයේ ලංකාව ශ්රී ලංකාව නොවේ යන තර්කය පෝෂණය කිරීමට එයත් හේතුවක්.
රාවණා ලංකාවේ වාර්තාගත ඉතිහාසයට ඒම
කෙසේ වෙතත් රාවණා කතාව හිසින් ගත් බොහෝ දෙනෙකු එයට ශ්රී ලංකාවේ නගර වල නම් ආදිය ආදේශ කරමින් එම කතාව පෝෂණය කරගන්නට උත්සාහ ගන්නා බවක් පේනවා.
නමුත් වාර්තාගත ඉතිහාසය තුල 11 වන සියවස දක්වාත් ඉන්පසු කඩඉම් පොත් ආදියෙහි මහනුවර යුගය දක්වාත් රාවණා ගැන ශ්රී ලංකා ජනප්රවාද තුල කිසිවක් හමු නොවන බව වික්රමසිංහයන් පෙන්වා දෙනවා.
සීතාඑළිය, වාරියපොල. රාවණා ඇල්ල ආදී නගර නාම රාවණා පුරාවෘත්තය හා බැදී ඇතැයි මේ අය පවසනවා. හුදෙක් එවැනි නම් පැවැතීමෙන් රාවණා ශ්රී ලංකාවේ සිටි බව සනාථ වන්නේ නම්, ඉහත උපුටා දක්වන ලද ජෛන කවි රචනා කළ කවියාගේ නම විමලසූරි. විමලසූරිය යන්න සිංහල නමක්. එසේ නම් සීතාඑලිය, වාරියපොළ, රාවණා ඇල්ල ආදී නගර හා ස්ථාන නාම ශ්රී ලංකාවේ පැවතීම රාවණා ශ්රී ලංකාවේ සිටි බවට සාධක වශයෙන් ගන්නේ නම්, එම තර්කය මතම, විමලසූරි නමින් ජෛනයින් ඉන්දියාවේ සිට තිබීමත් ශ්රී ලංකාවේ විමලසූරිය නමින් මිනිසුන් සිටීමත් සිංහලයාගේ ජෛන සම්භවයක් පිළිබදව යෝජනා කරනවා නොවේද?
නමුත් වාර්තාගත ඉතිහාසය තුල 11 වන සියවස දක්වාත් ඉන්පසු කඩඉම් පොත් ආදියෙහි මහනුවර යුගය දක්වාත් රාවණා ගැන ශ්රී ලංකා ජනප්රවාද තුල කිසිවක් හමු නොවන බව වික්රමසිංහයන් පෙන්වා දෙනවා.
ඒ අනුව මෙම සටහන රාවණා සිහලුන්ගේ ආරම්භකයා ලෙස සිතීම සම්බන්ධයෙන් වික්රමසිංහයන්ගේ මතයෙන් අවසාන කරනවා. එය මා නැවත උපුටා දක්වන්නේ එහි ගැබ්වූ අප්රමාණ උපහාසය නිසාමයි.
රාවණා සිහලුන්ගේ ආදිතමයා වශයෙන් ගැනීම රුවැති මිනිසකුගේ මුතුන් මිත්තන් සොයන්ට බසින්නා අවසානයෙහි අනංගයා ඒ රුවැති මිනිසාගේ ආදිම මුත්තායැයි ඔප්පු කරනු පිණිස තැතනීමට සමාන විහිළුවක්
No comments:
Post a Comment