මරණය තමයි ඕනම සත්වයෙක් මුහුණ දෙන ඔහුට අද්භූතම සහ භයංකරවම දැනෙන සංසිද්ධිය. මානව ඉතිහාසයේ ආරම්භයේදි මිනිසාට මරණය මහා දැවැන්ත ප්රශ්නයක් වන්නට ඇති බවට කිසිම සැකයක් නැහැ. හොදට ඇවිදපු, කතා කරපු, හිනා වෙච්ච, රණ්ඩු වෙච්ච කොටින්ම ජීවයෙන් පිරිලා හිටපු කෙනෙක් හිටි හැටියේ අක්රිය වෙනවා. ප්රතිචාර දැක්වීම නවත්වනවා. ඇහැරෙව්වට ඇහැරෙන්නෙ නෑ. දවස් කීපයක් තියාගත්තොත් කුණු වෙලා ගද ගහන්නත් සතියක් දෙකක් තියාගත්තොත් කුණුවීම එළියට පේන්න ඕජස් ගලන්නත් ඊටත් වඩා තියා ගත්තොත් මස් කෑලි ගැලවිලා ටිකෙන් ටික ඇටකටු මතු වෙන්නත් පටන් ගන්නව. මරණය වෛද්ය විද්යාත්මකව හදුනාගෙන නැති එහි සංසිද්ධිය කුමක්දැයි විද්යාත්මකව විස්තර කිරීමට නොදන්නා කාලෙකදි ඒක කොයිතරම් භයංකර අද්භූත අත්දැකීමක් වන්නට ඇත්දැයි සිතා ගැනීම අපහසු නැහැ.
අනෙක් සත්තුන්ට වඩා දියුණු මොළයක් සහිත මිනිසා ඉතාම කුතුහලයෙන් වගේම භයෙන් මරණය කියන තමාට බරතපතළව සහ භයංකරව දැනෙන ප්රශ්නයට විසදුම හොයනවා. ඒ අතර මැරෙන අය තරු අතරට යනවා ඇති, ගහක් බවට පත්වෙනවා ඇති වගේ තැන් වල ඉදන් දෙවියන් ළගට හෝ අපායට යනවා ඇති වගේ මත දක්වා අවිනිශ්චිතතාවය මත පදනම්ව මිනිසා විසදුම් හොයනවා.
ඒ අතර සිත සනසා ගැනීම සදහා ඉදිරිපත් වූ එක තර්කයක් තමයි මරණින් පසු පැවැත්මක් ඇත්තේය යන අදහස. ආදරය කළ කෙනෙක් මැරුණුට පසු ඔහු අවසන් කියල හිතනවට වඩා ඔහු මීටත් වඩා හොද අලුත් තැනක ඇති, කොහේ හෝ සිට අප දෙස බලාගෙන ඇති කියන හැගීම සුන්දරයි වගේම රොමාන්තික එකක්. ඒ හැගීම වියෝ වේදනාවෙන් සිටින කෙනාට මරණයෙන් පසු සියල්ල ශූන්යයි කියල හිතනකොට දැනෙන හිස් බවට වඩා යම් අස්වැසිල්ලක් ගෙනාව.
ඔය හැගීම උත්තරයක් නැති ප්රශ්නයකට ලැබුණ සුන්දර ඒත් අද්භූත විසදුමක්. අද්භූතත්වයට මිනිස් මොළය ආසයි. යම් අද්භූතත්වයක් සිතට ඇතුල් වූ ගමන් භයානක රසයක් විදිමින් එය තවත් වරණගමින් පුළුල් කරගන්න මොළය සමත්. ඒ අනුව මරණින් මතු තව තැනකට යාම කාලයත් එක්ක තව තවත් වරණැගෙනවා. හොදින් ජීවත් වුණ කෙනෙක් හොද තැනකට සහ නරකින් ජීවත් වූ කෙනෙක් නරක තැනකට යනාදී වශයෙන් එය පුළුල්ව වර්ධනය වෙනවා. ඒ වර්ධනයේ ප්රායෝගික හොද ප්රතිවිපාකයකුත් තියෙනව. ඒ මතු ජීවිතය ගැන භයෙන් මිනිසුන් හොදින් ජීවත් වෙන්නට උත්සාහ ගනීය කියන උපකල්පනය.
සැබැවින්ම සිත කියන්නෙ මොකක්ද? මම කියන හැගීම කොහෙන්ද එන්නෙ? කොහෙන්ද නැති වෙන්නෙ? මරණය කියන්නෙ මොකක්ද? මරණය කියන ක්රියාවලිය සිදුවීමෙන් පසු ශරීරය කුණු වන්නේ ඇයි? වගේ දේවල් සම්බන්ධයෙන් විද්යාත්මක පැහැදිලි කිරීමක් නොදන්නා ආදි මිනිසා ඒ සම්බන්ධයෙන් ඇති අද්භූතම පැහැදිලි කිරීම බදා අල්ලා ගැනීමේ කිසිම පුදුමයක් නැහැ. මොකද මරණය තමයි ඒ කුමක්ද නොදන්නා මිනිසා අත්දකින ඔහුට දැනෙන පරිදි භයංකරම අද්භූතම සංසිද්ධිය.
අදටත් මරණය කුමක්ද යන්න විද්යාත්මකව දැනගත්තත් මරණයේ භයංකර භාවය මිනිසාට හැගෙන ආකාරයේ කිසිම අඩුවක් සිදුවී නැහැ. එසේ සිදුවන්නේ මිනිස් සිතේ ඇතිවන හැගීම් නිසා. ඒ අනුව මරණයට පත්වන කෙනාට නොව සැබැවින්ම ජීවත්ව සිටින ඒ මරණකාරයාගේ සමීපතමයන්ට එය දරාගැනීම ඉතාම අපහසු සමහරවිට ඔවුන් ජීවත්ව ඉන්නා තාක්කල් දරා ගැනීමට අසමත් වන තරමේ බලවත් වේදනාවක් බවට පත්වෙනවා.
මේ හේතුවෙන් වර්තමානයේ මරණය විද්යාත්මකව වටහා ගත්තත් ඒ නීරස පැහැදිලි කිරීමට වඩා පෙරකී පැරණි රොමාන්තික පැහැදිලි කිරීමට මිනිසුන් ඇදී යනවා. ඒ තුල දුක තුනී වන තුරු මළගිය කෙනා වෙනුවෙන් වෙහෙස මහන්සි වීම, වියහියදම් කිරීම හරහා යම්තාක් දුරකට දුක තුනී කරගැනීමටත්, මරණයට පත්වූ අයට පිං ඩිපොසිට් කිරීම හරහා ඔවුන් ජීවතුන් අතර සිටියදී ඔවුන් හා ඔවුන්ට කළ නොපණත්කම් සම්බන්ධයෙන් හිත හදා ගැනීමට පවා අවස්ථාවක් සැළසෙනවා. ඒ අනුව මරණය ගැන තාර්කික චින්තනය තව තවත් අපිට දුරස් වෙනවා.
කෙසේ වෙතත් මරණය පිළිබදව පවත්නා අද්භූත විග්රහයන් හා දෘෂ්ටිවාද හේතුවෙන් ඒ දෘෂ්ටිවාද වල එල්බ ගන්නා බොහෝ දෙනෙකු තමන්ට දැනුම් තේරුම් ඇති වැටහෙන කාලයේ පටන් ජීවත් වන්නේ මරණයේ සෙවණැල්ල යට. දෘෂ්ටිවාද පිළිගන්නා බොහෝ දෙනෙක් "කවදාහෝ මැරෙනවා ඒ හෙට වන්නටත් පුළුවන්" යන විශ්වාසය මත ජීවිතයේ සතුට දුරස් කරගන්නා ආකාරය දකින්න පුළුවන්. සියල්ලේ ඇතිවීම සහ නැතිවීම හෙවත් කල් ඉකුත් වීමේ න්යාය වටහා ගැනීම එකක්. එසේ වනවා යැයි කියමින් ජීවිතයම දොම්නසින් ගත කිරීම තවත් එකක්. මරණය ගැන දෘෂ්ටිවාද හිසින් ගන්නා බොහෝ දෙනෙක් කුමන වචන දමාගත්තත් සැබැවින් කල්ගෙවන්නේ දොම්නසින්.
නමුත් එය දොම්නස නොවන බවත් අධික ප්රීතියට හෝ අධික සන්තාපයට පත්වීම නිෂ්ඵල බව වටහාගැනීමෙන් උපදින උපේක්ෂාව බව කියනවා. එසේ කියුවද බොහෝ දෙනා සැබැවින්ම පත්වන්නේ උපේක්ෂාවට නොව දොම්නසට බව සමීපව නිරීක්ෂණය කළ විට පෙනී යනවා.
සෑම පුද්ගලයෙකුටම මරණයේ ඇති ස්වභාවය වටහාගෙන ඉන් මතු ජීවිතයක් ගැන ලාලසාවකින් හෝ බියකින් තොරව මරණ මොහොත කරා එළඹෙන්නට හැකිනම් එය මහත් සැනසීමක් වනවා ඇති. නමුත් දෘෂ්ටිවාද සමග ඉපැදුණු ඒ සමග ජීවත් වන ඒ සමග මියයන පුද්ගලයන්ට අවුරුදු දහස් ගණනක් තිස්සේ අති සංකීර්ණව විග්රහ කරන දර්ශනයන්ට පවා පාදක වූ මරණය සරළ ස්වභාවික සංසිද්ධියක්ය යන්න දිරවා ගැනීමට පහසු වන්නේ නැහැ.
මරණය පිළිබදව දොම්නසින් කල් ගෙවන්නන් අතර ඇති ප්රධාන ප්රශ්නය තමයි "අවසානයේ මියයනවා නම් කිසිවකින් පලක් තිබේද" යන්න. එයට ඩොරති කැන්ෆීල්ඩ් ෆිෂර් විසින් රචිත කෙටි කතාවක මනා උත්තරයක් ලබා දෙනවා.
"කොලුවො අවුරුදු 88ක් ජීවත් වෙන්න මං අනුගමනය කළ ආදර්ශ පාඨය මොකක්ද කියල මං උඹට කියන්නම්
උඹ ජීවත් වෙනතුරු හොදට ජීවත් වෙයං. මැරෙන දවසට ඔහෙ මැරිච්චාවෙ"
තමන්ගෙ මී මුණුබුරාට එහෙම කියන්නෙ වයස අවුරුදු 88ක් වෙච්ච පෙන්ඩල්ටන් මුත්තා. පෙන්ඩල්ටන් මුත්තා හොදට කාලා බීලා නටලා කෑගහලා ඉන්න වයස අවුරුදු 88දිත් සැණකෙළි බලන්න ගිහින් සංගීතයට තාලෙට නටන ජාතියෙ මිනිහෙක්.
අද රාමුගත අධ්යාපනය සංකල්පය පිළිබදව කතා කරන්න මම මේ සමූහයටම ලියපු ලිපියට මාතෘකා කරගත්තු Captain Fantastic චිත්රපටයෙන් දෙවැනි උදාහරණය ගන්නම්.
එහි ප්රධාන චරිතයේ බිරිදගේ අන්තිම කැමති පත්රය අනුව අවමංගල්ය කටයුතු සම්බන්ධයෙන් ඉල්ලන්නෙ මෙහෙමයි:-
"මාගේ මරණය ස්වභාවික සංසිද්ධියක්ය යන කරුණ බිදෙන කිසිවක් කරන්නට එපා. මාගේ මළ සිරුර පුළුස්සා මිනී අළු කරුණාකර ළගම තිබෙන වැසිකිලි පෝච්චියට දමා ෆ්ලෂ් කරන්න"
❤️
ReplyDelete