Thursday, June 4, 2020

ක්ෂත්‍රීයයන්ගේ සහ බමුණන්ගේ පොසොන්


අතීත ආගමික සංස්ථාව සහ පාලක පැළැන්තිය අතර අන්‍යෝන්‍ය අවබෝධයක් වීය. යුරෝපයේ රටවල රජවරුන් යනු මිනිසුන් පාලනයට දෙවියන්ගෙන් වරම්ගත් භාග්‍යවන්තයන් බව ආගමික පූජකවරුන්ගේ දේශනාව විය. ඇමෙරිකාවේ වහලුන්ට ධර්මය කියාදෙන්නටැයි කියා ගිය මිෂනාරින්ගේ දෙසුම වූයේ දෙවියන්ගේ කැමැත්ත අනුව වහලුන් වහල් හිමියාගේ භාරයට පමුණුවා ඇති බවත් එබැවින් වහල් බවින් පළා යාම පාපයක් බවත්ය. බුද්ධ කාලීන ඉන්දියාව තුලද බ්‍රාහ්මණ ක්ෂත්‍රීය දෙකුලය අතර එවන් අවබෝධයක් වීය. ගැඹුරු දහම් කරුණු තිබුණේ එකී කුල දෙකට පමණක් අවබෝධ කරගත හැකි සංස්කෘතයෙන් වීය. ප්‍රාකෘතය කතා කළ පොදු ජනයාටත් අපබ්‍රංසය කතා කළ ශුද්‍රයින්ටත් නව දැනුම සහ දහම බොහෝ දුරස් වීය. බමුණන් සහ ක්ෂත්‍රීයයන් ඔවුනොවුන් නඩත්තු කරගත්තා පමණක් නොව පාරට්ටු කරගත්හ.

ඉහත කී ආගමික හා පාලක පැලැන්ති අතර කුසන්ධානයේ ප්‍රායෝගික පිළිබිඹුවක් වූයේ ඔවුන් ආගමික ජාතික උත්සව වල ප්‍රසිද්ධ වේදිකාවන්හි එකට පෙනී සිටීමය. ඒ අනුව පූජකයන් බමුණන් යනු දෙවියන්ගේ පණිවුඩකරුවන් බවත් පාලකයන් රජවරුන් හෝ ක්ෂත්‍රීයයන් දහමේ ශාසනයේ සහ දෙවියන්ගේ ආරක්ෂකයන් ලෙස ජනතාවට අනියමින් ඒත්තු ගැන්විණ.

බුදුන් ක්ෂත්‍රීය උත්පත්තියක් ලැබුවද මෙම ජරාජීර්ණ බමුණු සංස්කෘතිය ප්‍රතික්ශේප කළේය. මාර්ටින් වික්‍රමසිංහයන්ට අනුව බුදුන් ධර්ම දේශනාව සදහා වැඩි දෙනෙකුට වැටහෙන ප්‍රාකෘතය තෝරාගන්නේ ඒ අනුවය. බුදු සසුනට ඇතුලත් කරගැනීමට දහම් ඇසීමට උපාසකයෙකු වීමට සමාජයේ පැවැති බමුණු භේද බාධාවක් නොවීය.

නමුත් පසුකාලීනව බෞද්ධාගමික සංස්කෘතිය අවශෝසනය කරගෙන තමන්ගේ යැයි කියමින් කර තබාගෙන යන බමුණු පිළිවෙත් අතර සසුන කුලවාදී වීම මෙන්ම පාලකයන් සහ පූජකයන් අතර කුසන්ධානයද කැපී පෙනෙයි.

2020 ජූනි මස 04 සහ 05 දෙදින කොරෝනා වෛරසය හේතුවෙන් ඇදිරි නීතිය ප්‍රකාශයට පත්කර ඇති අතර මහජනතාවට වීදිය සහ පන්සල තහනම් වෙයි. ඒ අතර ජූනි 04 අගමැතිගේ සහ ජූනි 05 ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ජාතික පොසොන් උත්සවය මිහින්තලාවේ පැවැත්වෙන අතර එය රූපවාහිනී නාලිකා ඔස්සේ හුදී ජන පහන් සංවේගය උදෙසා සජීවීව විසුරුවා හැරීමට නියමිතය.

ශ්‍රද්ධාවන්ත පින්වතුන්ට රූපවාහිනියෙන් ජාතික පොසොන් උත්සවය නරඹමින් රටේ නායකත්වය ආගමික නායකත්වය සමග එකම වේදිකාවක සිට පොසොන් උත්සවය සමරනු බලා සිතේ ඇති වන ශ්‍රද්ධා භක්ති ප්‍රීතියෙන් සාදුකාර දෙමින් පිළිවෙතින් පෙළගැසිය හැකිය. එවන් අවස්ථාවක් ශ්‍රද්ධාවන්ත පින්වතුන්ට සළසා දීම සම්බන්ධයෙන් අදාළ හාමුදුරුවරුන්ට සහ දේසපාලන අධිකාරියට නමස්කාර පූර්වක ස්තූතිය හිමිවිය යුත්තේය.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...