ශිෂ්ටාචාරගත වීම කියන්නෙ මොකක්ද? ශිෂ්ට සම්පන්න වීම කියල කෙනෙක් කියයි. ඒ තුල සැබැවින්ම තියෙන්නෙ හැම දේටම යම්කිසි ක්‍රමවේදයක් හැදෙන එක. රාමුවක් හැදෙන එක. එතැනින් පස්සෙ කරන කියන හැමදේටම පිළිගත්තු විදියක් තියනව රටාවක් තියනව. ප්‍රත්‍යක්ෂ හෝ උපකල්පිත පිළිගැනීම් තියනව. ඒව මත තමයි එතැනින් ඉදිරියට ගමන.
මේ තුල හැදෙන ගැටලු වලින් පළවෙනි එක තමයි ඔය භාගයක් ප්‍රත්‍යක්ෂ මතත් භාගයක් උපකල්පන මතත් හදාගන්නා රාමුව ඇතුලෙ තමන්ට යම් යම් කාරණා පාලනය කළ හැකියි කියන මනෝ භාවයට මිනිසා එනව. එවිට ඒ රාමුව ඇතුලෙ හැම දේටම පිළිතුරු හෙවිය හැකියි එහෙම කළ යුතුයි කියල මිනිසා හිතන්න ගන්නව. යථාර්ථය නම් ඔහු ඉන්නෙ රාමුවක් ඇතුලෙ. ඒක ඇතුලෙ හැම දේටම පිළිතුරු නෑ. ඊළගට තමයි නොකළ යුතුම දේ කරන්නෙ. ඒ පිළිතුරු නැති ප්‍රශ්න වලට අර රාමුව ඇතුලෙම අද්භූත පිළිතුරු හදාගෙන ඒවයෙන් සැනසෙන්න මිනිසා පුරුදු වෙනව. එහෙම නැත්නම් ඒ රාමුව ඇතුලෙ ඉන්න කෙනෙක් රාමුව ඇතුලෙම ඉන්න තව කෙනෙකුගෙ ප්‍රශ්නෙකට අද්භූත පිළිතරක් දීල ගාස්තුවක් අය කරනව. අර අද්භූත බවත් එක්ක හැදෙනව පූජනීයත්වය. රාමුව ඇතුලෙ ඉන්න මිනිහ අද්භූත පිළිතුරටයි ඒක දීපු මිනිහටයි වදින්න පුදන්න අදහන්න ගන්නව.
මිනිසා එහෙම රාමුවක් තුල යන්න ඕනද? කවුරුහරි මේකයි ක්‍රමය කියල හදපු ක්‍රමවේදයක් තුලම ගිහින් අර මුලින් කියපු භාගයක් ප්‍රත්‍යක්ෂ භාගයක් උපකල්පන මත ගොඩනගපු ස්ථාවරයන්ට අනුව ජීවිතේ සාර්ථකත්වය තීරණය කරගන්නටම ඕනද? ඔය ප්‍රශ්නය පිළිබදව ඉතාම පුළුල්ව සුන්දරව කතා කරන සිනමා නිර්මාණයක් තමයි Captain Fantastic.
දැනුම කියලා අපි අද වටහාගන්න දේ ඇත්තටම දැනුමද? එහෙමත් නැත්නම් අපිට කවුරුහරි හදපු රාමුවක් ඇතුලෙ කවුරුහරිහදල දීපු උත්තරයකට අපි යාන්ත්‍රිකව යමින් ඒකට දැනුම කියල කියනවද?
මම කල්පනා කරන විදියට දැනුම කියන දේ අවබෝධයටත් අවබෝධ තුලින් ප්‍රඥාවන්තභාවයටත් මිනිසා යා යුතුයි. ඒ කියන්නෙ පොතේ ලියල තියන ගැටලුවට පොතේම තියන විසදුම ආදේශ කරගෙන ඒ වගේ ගැටලු දහයකට පොතේ විසදුමම දෙන එක ගැන නෙමෙයි. ඒ ඒ ගැටලුව වෙනස් වෙනස් ගැටලු වශයෙන් අවබෝධ කරගනිමින් ඒවා සියුම් ලෙස විග්‍රහ කරගැනීමටත් පොතේ විසදුම් කියලා නැතත් ඒ ඒ ගැටලුවට අනන්‍ය වූ විසදුම් නිර්මාණය කරගැනීමටත් කෙනෙකුට හැකි විය යුතුයි. එය තමයි සැබෑ අධ්‍යාපනය. මේ අර්ථකථනය එක්ක ගත්තොත් අද ඔය උගත්තු කියාගන්න බොහෝ දෙනෙක් පටිගත කිරීමේ යන්ත්‍ර හෝ හුදෙක් බටු ගිරවු මිසක් උගත්තු නෙවෙයි.
ලෝකය පිළිගත්තු විභාග ක්‍රමය යටතේ හැම විෂයකම මනින්නෙ එකම දේ. ඒ තමයි මතක ශක්තිය. ඇත්තටම ඒකටත් වඩා මතක තියාගන්න දරල තියන උත්සාහය(කොච්චර පාඩම් කරලද කියන එක). අවබෝධය මනින්න දෙන තැන ඉතාම අඩුයි. ඇයි හැම විෂයකදිම මතක ශක්තිය මනින්නෙ? මොකක්ද ඒකෙ පදනම? මතක ශක්තිය මනින්න අවශ්‍යයි නම් ඒකට වෙනම විෂයයක් ඇතුලත් කරනව මිසක් සමාජ අධ්‍යනයෙයි, විද්‍යාවෙයි, බුද්ධ ධර්මයෙයි, ගණිතයෙයි හැමදේම කටපාඩමින් කොච්චර මතකද කියල මනින එක ඇත්තටම විහිළුවක් නෙමෙයිද?
දෙයක් කටපාඩමින් මතක තිබීමයි දෙයක් ගැන දැන සිටීමයි පැහැදිලිවම දෙකක්.
ඔය අසාර්ථක විභාග ක්‍රමය යටතේ බිහිවෙන උගතුන් යැයි කියන ගොඩක් අයගෙන් යම් ප්‍රායෝගික ප්‍රශ්නයක් ඇහුවොත් ඒ අය ඊට කලින් කවුරුහරි දීපු නිර්වචන ගොඩක් සහ විෂය කරුණු ගොඩක් මතකින් කියනවා ඇති. නමුත් විෂය පිළිබදව අවබෝධයක් ඇති චින්තකයෙකුගෙන් ඔබ ඇහුවොත් ඔහු ඒ ගැටලුවට අනන්‍ය විසදුමක් දෙනවා ඇති. ඒකයි ගිරවුන්ගෙයි චින්තකයන්ගෙයි වෙනස.
ලෝකෙ ප්‍රගමණයට චින්තකයන්ගෙ දායකත්වය අත්‍යාවශ්‍යයි. ගිරවුන්ගෙ දායකත්වයත් අවශ්‍යයි අතන තියන පොත අරං දෙන්න අහවල් පිටුවෙ තියන එක මට ඇහෙන්න කියවන්න මේක ගැන පොත් වල තියන හැම දෙයක්ම මට හොයල දෙන්න වගේ වැඩ වලට. නමුත් අලුත් මාවතක් හදන්නෙ හැම විටම චින්තකයෙක්. ගිරවා තමා උගත් දෙය ජීවිත කාලය පුරාම නැවත නැවත කියමින් ඉදලා මැරිලා යනවා.
මේ චිත්‍රපටයෙ එන අම්මගෙයි තාත්තගෙයි අරමුණ තමන්ගෙ දරුවන්ට ලෝකයේ කෘතීම රාමු වලින් පිට ඉදන් ලෝකය ගැන සැබෑ අවබෝධයක් ලබාගන්නට සැළැස්වීම. ඒ හරහා ඔවුන්ව පොහොසත් චින්තනයක් සහිත ශක්තිමත් මිනිසුන් බවට පත් කිරීම. එහිදී ඔවුන්ට මුහුණ දෙන්න වෙන අභියෝග ගැටලු අනන්තයි අප්‍රමාණයි. විශේෂයෙන්ම දරුවන් රාමුගතව හික්මවිය යුතුයැයි හිතන ඔවුන්ගේම ඥාතීන් ආදීන්ගෙන්.
ඒ අභියෝගය සමග ජීවත් වීම ගැන සතුටුදායක හැගීමක් දෙන්න මේ චිත්‍රපටය සමත්. එය නිදහස් චින්තකයෙකු ලෙස හිතන්න මතන්න උත්සාහ කරන්නවත් කැමති හැම කෙනෙකුම නැරඹිය යුතු චිත්‍රපටයක් වෙන්නෙ ඒ නිසා.
මම අම්මෙකුයි තාත්තෙකුයි ගැන සදහන් කළාට මේ චිත්‍රපටයෙ ඇත්තටම අම්මගෙ චරිතය නැහැ. ඇය මියගිහින්. නමුත් ඇගේ නොපෙන්වන චරිතයක ව්‍යංග ප්‍රභාව චිත්‍රපටය පුරාවටම අඩු නැතුව තියෙනවා.
මේක බලන්න අයියෙ කියල මගෙ කුතුහලය අවුස්සපු Anuradha Bulathsinghala මල්ලිට ගොඩක් ස්තූතියි.
No comments:
Post a Comment