Monday, June 1, 2020

ලිංගිකත්වය යථාර්ථවාදීව


ශ්‍රී ලංකාව වැනි රටක ලිංගිකත්වය සමාජ ඇරියස් එකක් බවට පත්වන්නේ ඇයිද යන්න ඉතා වලංගු මානව හා සමාජ විද්‍යාත්මක ප්‍රශ්නයක්. ලිංගිකත්වය ගුඪ අබිරහස් සංකල්පයක්ය යන මතය කුඩාකළ සිට සිතේ පැලපදියම් වීමයි ඊට හේතුව.

විවාහය යනුවෙන් සැබැවින්ම හඳුනාගන්නෙ මුල් කාලීන මානවයන්ට අනුව ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම. ඊළඟට දරුවන් හැදීමෙන් වර්ගයා බෝ කිරීම. හැබැයි ප්‍රාථමිකම මට්ටමේදි දරුවන් හැදීමට වඩා ඇත්තටම මූලික වෙන්නෙ ලිංගික තෘප්තිය ලබාගැනීම.

නමුත් සමාජය ක්‍රම ක්‍රමයෙන් සංකීර්ණ වෙලා පවුල කියන සංකල්පය බිහි වීමත් එක්ක ලිංගික තෘප්තිය යනු විවාහයේ එක් අරමුණක් පමණක් බවට ලඝු වෙනවා. එහිදී අවබෝධයක් සහිතව ජීවිත කාලයක් එකට ගත කිරීම, ප්‍රශ්න වලට එකට මුහුණදීම වැනි ලිංගිකත්වයට එහා ගිය බැඳීමක් හැදෙනවා. ඒ වගේම දරුවන්ට පියෙක් වීම මවක් වීම කියන තැනදී ආරෝපණය වන ගරුත්වයත් එක්ක ලිංගිකත්වය විවාහයෙදි තවත් දුරස් අති රහසිගත මාතෘකාවක් වෙනවා.

ඒ සංස්ථා මානසිකත්වය වර්ධනය වීමත් එක්ක ලිංගිකත්වය අත්‍යවශ්‍ය ⁣දෙයක් නොවේ කියන තැනටත් සමාජය එක තැනකදි යනවා. නමුත් සැබෑව ඕනෑම සත්වයෙකු මෙන්ම මනුෂ්‍යයාත් ලිංගිකත්වයට අධික ලෙස ලොල්.

ලිංගිකත්වය සමාජ සදාචාරාමය අවශ්‍යතාවය මත ඈත් කෙරෙද්දි ඒක සිතේ අභ්‍යන්තරයේ එළියට පනින්න තෙරපෙන සිරගත ලාලසාවක් බවට පත්වෙනවා. යම් සිතිවිල්ලක් සිරගත කළ පසු එය වර්ධනය වන වේගය වැඩියි. එය සිතිවිලි වල සාමාන්‍ය ස්වභාවයක්. ඒ අනුව ආචාරසම්පන්න මිනිසා පිටතින් ලිංගික හැඟීමක් ඇත්තේම නැති අභ්‍යන්තරයෙන් දැඩි ලෙස ඊට ලොල් දෙබිඩ්ඩෙක් බවට පත්වෙනවා.

මේ තත්වය සමාජ පරිණාමයත් සමඟ නැවත යථා තත්වයට පත්වනවා ඇති. ඒ තුල ඒඒ සමාජයන් සමාජ පරිණාමයේ අද ඉන්නා තැන අනුව ලිංගිකත්වයට ඒ සමාජයේ ඇති තැන තීරණය වෙනවා. එය ආහාර ජලය මෙන්ම තවත් මූලික අවශ්‍යතාවයක් පමණක් බවට ක්‍රමයෙන් මිනිසා වටහා ගැනීමේදී එය සාමාන්‍යකරණය වෙනවා.

මේ හරහා පැහැදිලිවම ඇසට පෙනෙන විපර්යාස සමාජයේ සිදුවනවා. උදාහරණයක් ලෙස දැඩි ලෙස හික්මවන ලද සමාජයක ඇඳුම් පැළඳුම් වැඩි වැඩියෙන් ශරීරය ආවරණය කරන ඒවා වෙද්දි ලිංගිකත්වය සාමාන්‍යකරණය වූ සමාජයක ඇඳුම් පැළඳුම් කෙටි සහ ලිංගික හැඟීම් උද්දීපනයට උදව් දෙන ඒවා බවට පත්වෙනවා.

ලිංගිකත්වය සාමාන්‍ය දෙයක් ලෙස ගන්නා සමාජයක මුහුදු වෙරළවල් වල විනෝද උද්‍යාන වල මිනිස්සු කෙටි නාන ඇඳුම් වලින් සැරසී සිටීම හෝ නිරුවතින්ම සිටීම එතරම් අරුමයක් වන්නේ නැහැ. කෙනෙකු හිතන්නට පුළුවන් ඒ ශරීර නිරාවරණය ඔවුන්ට සාමාන්‍යකරණය වී ඇති බැවින් එයින් ලිංගික හැඟීමක් නූපදින බව. නමුත් යථාර්ථය වන්නේ එයට වඩා සිරුර නිරාවරණය දැඩි ලිංගික ආකර්ශනයට හේතුවන බව ඇතිසැටියෙන් පිළිගැනීමත් ඒ හරහා එය දකින කෙනෙකුට ලිංගික හැඟීම් උද්දීපනට වීම සාමාන්‍ය අහිංසක ශාරිරික මානසික ප්‍රතික්‍රියාවක් බවට පිළිගැනීම මිස නිරුවත සාමාන්‍යකරණය වීම නොවෙයි. එතනදි නරඹන්නා සහ පෙන්වන්නා යන දෙදෙනාම යම් ලිංගික තෘප්තියක් ලබනවා.

එවන් තත්වයකට පරිණාමය වූ සමාජයක කෙටි ඇඳුමක් ඇඳි තරුණියක දෙස බලා පිරිමියෙකු "ඔයාට ලස්සන දෙපා යුගලක් තියනවා. ඔබ ඇවිදිනකොට ඔබේ තට්ටම් පැද්දෙන ආකාරයට මම ආසයි" වැනි ප්‍රකාශයක් මෙන්ම කාන්තාවක් පිරිමියෙකු දෙස බලා "ඔබගේ දැවැන්ත රහසඟ සහ රෝම වලින් වැසුණු පපුව මාව පිස්සු වට්ටනවා" යැයි කීම අතිශය සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා.

නමුත් සමාජ පරිණාමය තුල පවුල යන සංකල්පය සහ මමත්වය තුල තමාගේ සීමාව ලකුණු කෙරෙන තැනක ඉන්න සමාජයක කාන්තාවකගේ ස්වාමියා නොවන වෙනත් පිරිමියෙකු එවන් ප්‍රකාශයක් කිරීම ලේ වැගිරීමකට පවා හේතුවිය හැකියි, කාන්තාවක් එම ප්‍රකාශය කිරීම ඇය සමස්ථ ජීවිතය පුරාම ගැරහීමට නින්දා අපහාසයට ලක්වීමට හේතුවක් විය හැකියි. ඔය ගැටලු සියල්ල සමාජ පරිණාමය තුල යම් තැනකදී යම් දිනකදී ගැටලු නොවන තැනට පත්වනු ඇති.

එසේ නොවන ශ්‍රී ලංකාව වැනි සමාජයක මා මුලින් සඳහන් කළ සිරගත ලිංගික ලාලසාව දැඩි සීමා කිරීම් වලට යටත්ව රහසිගතව එළියට දාන්න වෙද්දි එය එළියට එන්නෙම ඉතාම ආවේගශීලි ඊර්ෂ්‍යා සහගත ස්වරූපයකින්. එහිදී රහසිගත ලිංගිකත්වය තුල ඉතාම කළහකාරී වීම සහ තමාට නැති අනෙකාට ඇති සතුටට මිනිසුන් දැඩි ලෙස ඊර්ෂ්‍යා සහගත වීම සාමාන්‍ය දෙයක්.

නමුත් මෙම ප්‍රවණතාවය දැන් දැන් ඉතා සෙමෙන් නමුත් වෙනස් වෙමින් යනවා. කොට ගවුම් කොට කලිසම් ස්කිනි ආදිය තරුණියන් අතර ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍යකරණය වෙමින් යනවා. ඉඳලා හිටලා එසේ ඇඳුම් අඳින තරුණියක් තමාගේ නිරාවරණ දෙපා දෙස බලන පිරිමියෙකුට රැව්වත්, එසේ නිරාවරණ දෙපා දෙස බැලීමත් සුන්දර මුහුණ දෙස බැලීමක් වැනි තවත් එක් දෙයක් පමණක් වශයෙන් වටහාගන්නා කෙනා එය එතරම් තැකීමක් කරන්නේ නැහැ.
ලිංගිකත්වය ආහාර ජලය ඔක්සිජන් වැනි තවත් එක් අතිශය ස්වභාවික අවශ්‍යතාවයක් බව මිනිසා ඇති සැටියෙන් තේරුම්ගත් දිනක ලිංගිකත්වයට පණවා ඇති යදම් ගැලවී ගොස් එය සාමාන්‍යකරණය වනු ඇති. එවිට සිරගත හැඟීම් වල සංකූලතා ලෙස උපදින ලිංගිකත්වය සම්බන්ධ විවිධ ගැටළුත් බොහෝ විට මීට වඩා අඩු වනවා ඇති.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...