ශ්රී ලංකාවේ ජනමාධ්‍ය අතර මුද්‍රිත මාධ්‍ය වලට වඩා ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය වලට හෙවත් රූපවාහිනී මාධ්‍ය වලට වැඩි අගයක් නිතැතින්ම හිමිවේ. එයට හේතු ගණනාවක් ඇත. එකක් ලිවීමේ කියවීමේ හැකියාව ඇතත් ප්‍රවෘත්තිමය සාක්ෂරතාවය අතින් අප රටක් ලෙස සෑහෙන පසුපසින් සිටීමයි. එය වහා විසදිය හැකි ප්‍රශ්නයක් නොවේ. සමාජජ පරිණාමයත් සමග ක්‍රමයෙන් අත්පත් කරගතයුතු තත්වයකි. ඊට අමතරව කියැවීම සදහා මිඩංගු කිරීමට කාල වේලාව නොමැති වීම වඩාත් සවිස්තරාත්මක තොරතුරු ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ ලබාගැනීමට පවත්නා හැකියාව යනාදී හේතු ගණනාවක් මත බොහෝ දෙනා තමන් පරිහරණය කරන එකම ජනමාධ්‍ය උපකරණය ලෙස රූපවාහිනිය භාවිත කරයි.
රාජ්‍ය මාධ්‍ය
ජනතාවට නිවැරදි තොරතුරු ඉක්මනින් ලබාදීම ජනතාවගේ රසවින්දනය උසස් මට්ටමකට ගෙන ඒම ආදී වූ දහසකුත් එකක් වගකීම් රූපවාහිනී නාලිකාවකට පැවරෙන්නේ ඒ අනුවය. රාජ්‍ය මාධ්‍ය තුලින් ලැබෙන තොරතුරු පිළිබදව විශ්වාසය නැතිවී පොඩි පට්ටම් වී බොහෝ කල්ය. එය බොහෝවිට මහජන බදු මුදලින් නඩත්තු වුවද පවත්නා රජයේ නිල ප්‍රකාශකයාගේ භූමිකාව පමණක් ඉටුකිරීම ශ්‍රි ලංකාවේ සිරිතය. ඒ අනුව රාජ්‍ය මාධ්‍ය වලින් වාර්තා කරන යම් පුවතක සත්‍ය අසත්‍යතාවය එම පුවත අදාළ කරුණ පිළිබදව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව වෙනස් වේ. ඒ අනුව රජයේ නාලිකා වල ප්‍රවෘත්ති නරඹන ප්‍රමාණය පෞද්ගලික නාලිකා වලට සාපේක්ෂව සැළකිය යුතු ලෙස අඩුය.
නමුත් රසවින්දනය සහ අනෙකුත් විෂයයන් අතින් ගත්කළ රාජ්‍ය මාධ්‍ය සැළකියයුතු භූමිකාවක් ඉටුකර තිබේ. ජාතික රූපවාහිනියේ විකාශය වූ දඩුබස්නාමානය, කඩුල්ල, අකාල සන්ද්‍යා, වෙද හාමිනේ, ඇල්ල ළග වලව්ව වැනි වර්තමාන පෞද්ගලික නාලිකා වල විකාශය වන ටෙලි නාට්‍ය වලට අලගු තබන්නට හෝ නොහැකි නිර්මාණාත්මක ගුණයෙන් අනූන ටෙලි නිර්මාණ අපගේ මතකයේ රැදී ඇත. එපමණක් නොව සිංහල හඩකැවූ හෝ උපසිරැසි ගැන්වූ උසස් තත්වයේ විදේශීය ටෙලි නාට්‍ය කාටුන් වැඩසටහන් හා චිත්‍රපට අද දක්වාස රාජ්‍ය මාධ්‍ය තුල දැකිය හැකි වීම සන්තෝෂයට කරුණකි.
ටෙලිනාට්‍ය හා චිත්‍රපට වලට අමතරව ඩිස්කවරි වැඩසටහන්, අධ්‍යාපන සේවය, අන්තර්ජාලය ඔබේ නිවසට, ඇගිලි සළකුණ, විනිවිද, ශනිදා/ඉරිදා ආයුබෝවන් සාර සංග්‍රහ වැනි අතීත වැඩසටහන් වල සිට මෑතකදී විකාශය වූ යථාරූප වැනි ඉතා වටිනා කාලීන වැඩසටහන් රාජ්‍ය මාධ්‍ය හරහා අප වෙත තිළිණ විය.
2005 වසර පමණ වන තුරු රටේ දේශපාලනික කටයුතු ප්‍රවෘත්ති ප්‍රකාශය සහ රාජ්‍ය මාධ්‍ය වල විකාශය වන ජනමණ්ඩලී වැනි දේශපාලන සංවාදාත්මක වැඩසටහන් වලට පමණක් සීමා වුණි. නමුත් ඉන්පසු ඉතා කණගාටුදායක ලෙස එතෙක් පැවැති ඉතා සාරවත් වැඩසටහන් දේශපාලනය මගින් ආක්‍රමණය කිරීම දක්නට ලැබුණි. උදාහරණයක් ලෙස ඕනෑම පුද්ගලයෙකුට දැනුම් සම්භාරයක් ඒකරාශී කොටගත හැකි එක දිගට නැරඹීමට සිතෙන ශනිදා/ඉරිදා ආයුබෝවන් වැඩසටහන් සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වූ අතර සාර සංග්‍රහයක ආකෘතියෙන් සම්පූර්ණයෙන්ම පාහේ මිදුණු ඒවා යම් යම් දේවල් පිළිබදව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සන්නිවේදනය කරන වැඩසටහන් බවට පත්විය.
තවත් එවැනි විනාශයට පත් වටිනා වැඩසටහනක් වන්නේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ඉරිදා පෙරවරු 11ට විකාශය වූ විනිවිද වැඩසටහනයි. සාර සංග්‍රහයක ආකෘතිය ගත් එම වැඩසටහන නැරඹීමට එකළ පාසල් සිසුවෙකු වූ මා යොමු වූයේ එහි සෑම දිනකම යම්කිසි ශල්‍යකර්මයක් පිළිබදව විස්තර හා රූපරාමු ඉදිරිපත් කිරීම හේතුවෙනි. ඊට වසර ගණනාවකට පසු විනිවිද වැඩසටහන නැරඹූ මට එය පෙර පැවැති සාරවත් අධ්‍යාපනික සාර සංග්‍රහයමදැයි අදහාගත නොහැකි විය.
එපමණක් නොව කෝපි කඩේ වැනි ටෙලිනාට්‍ය හරහාද ප්‍රවෘත්ති වලින් පසු විනාඩි 5ක කාලයකදී විකාශය වූ ඉතා ජුගුප්සාජනක ලෙස මහින්ද අබේසුන්දර නැමැත්තෙකු විසින් පිටපත ලියූ විපරම හා විමසුම වැඩසටහන් හරහාද ජාතික රූපවාහිනියේ සෝමදාස සූරිය ආරච්චි විසින් පිටපත ලියා ඔහුම රගපෑ හීංආතා වැනි වැඩසටහන් හරහා සම්පූර්ණයෙන්ම ආණ්ඩු බලය දරණ දේශපාලන පක්ෂයේ හෝ බලයේ සිටින පවුලේ මතය ජනගත කිරීම සිදුවිය.
මෙම තත්වය මත පවත්නා ආණ්ඩුවට පක්ෂපාතී නොවූ අය මෙන්ම එයට පක්ෂපාතී අයගෙන් යම් තරමකට දැනුවත් පිරිස්ද ක්‍රම ක්‍රමයෙන් රාජ්‍ය මාධ්‍ය වල දේශපාලන නිර්දේශ ගණනකට නොගන්නා තත්වයට පත්විය. ප්‍රවෘත්ති ප්‍රේක්ෂකයන් ලෙස රාජ්‍ය මාධ්‍ය ඉදිරියේ එක්කාසු වන පිරිස් ඒ අනුව අවම වූ අතර රාජ්‍ය මාධ්‍ය නාලිකා වලට සුසර කිරීම බොහෝ විට සිදුවූයේ යම් තෝරාගත් වැඩසටහනක් නැරඹීම සදහා පමණි.
පෞද්ගලික මාධ්‍ය
රාජ්‍ය මාධ්‍ය කෙරෙහි තබන ලද විශ්වාසය ක්‍රම ක්‍රමයෙන් හීන වී යාමත් සමග යුධ පුවත් හැර අනෙක් තොරතුරු දැනගැනීම සදහා එනම් ප්‍රධාන වශයෙන් ප්‍රවෘත්ති නැරඹීම සදහා රාජ්‍ය මාධ්‍ය අවිශ්වාස කටයුතු බව අප්‍රකාශිත පොදු පිළිගැනීම බවට පත්වීමත් සමග එම අඩුව පිරවීම සදහා පෞද්ගලික මාධ්‍ය කෙරෙහි විශ්වාසයට ජනතාව පෙළඹුණි.
සිරස
මෙහිදී පෞද්ගලික මාධ්‍ය වල ප්‍රේක්ෂකයන් අත්පත් කැරගැනීමේ සටනේ ආරම්භයේදීම පෙරමුණ ගැනීමට සමත් වූ නාලිකාව කිලී මහරාජාට අයත් කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරය යටතේ පාලනය වන සිරස ටීවී විය. එය මුල් කාලීනව මහරාජා ටෙලිවිෂන් නාමය යටතේ එම්.ටී.වී ලෙස ක්‍රියාත්මක වී පසුව ඔවුන්ගේම ගුවන් විදුලි නාලිකාවේ නාමය අනුව යමින් සිර ටීවී බවට පත්විය.
එහි මුල් කාලීන මතකය අතර ශාන්ති වැනි සිංහල හඩකැවූ අවර ගණයේ ඉන්දීය ටෙලිනාට්‍ය මෙන්ම කුඩා දරුවන් වෙනුවෙන් විකාශය වූ රාජුයි රංචුයි වැනි වැඩසටහන්ද, අසාධාරණයට එරෙහිව පෙනී සිටින කාන්තාවක පිළිබදව වූ සිංහල හඩකවන ලද ඉන්දීය ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවක් වූ රාජිනී වැනි වැඩසටහන්ද, ඉතා රසවත් රහස් පරීක්ෂක කතා මාලාවක් වූ මාෂල් වැනි වැඩසටහන්ද, ඉතා උසස් ගණයේ ප්‍රංශ ටෙලි නාට්‍යයක් වූ සෙනෙහසේ අයිතිය වැනි වැඩසටහන්ද මතකයේ රැදී පවතී.
එමෙන්ම ඉතාම අවර ගණයේ විනෝදාත්මක වැඩසටහන් ශ්‍රී ලංකාවට හදුන්වා දීමේ පුරෝගාමීත්වය සිරසට හිමිවේ. ඒ අතර සවනට වදනක්, කාගෙද ගීනද, අහන්න ආසයි ගයන්න, රසට රසක් වැනි වැඩසටහන් පැවැතියේය. නිවේදිකාවන් සහ වැඩසටහන් වලට සහභාගි වන අය සරාගී ලෙස සරසා වැඩසටහන් ඉදිරිපත් කිරීමේ අවර සංස්කෘතියේ නිර්මාතෘ සිරස ටීවීය.
කෙසේ වෙතත් හින්දි සිනමාව ශ්‍රී ලාංකිකයාට සමීප කරවීමේ පුරෝගාමී මෙහෙවර සිදුකරන ලද්දේද සිරස ටීවී විසිනි. ඔවුන් විසින් එක් කලෙක දිනපතා හින්දි චිත්‍රපට විකාශය කළ අතර ඒවා නරඹන්නාගේ රස ඉන්ද්‍රියයන් හොදින් හදුනාගෙන තෝරාගත් ඒවා විය. විකාශය කරන ලද චිත්‍රපට සංඛ්‍යාව අනුව ගත්කල සිරස විසින් විකාශය කරන ලද හින්දි චිත්‍රපට ප්‍රමාණය අසලකටවත් පැමිණීමට වෙනත් කිසිදු නාලිකාවකට හැකියාවක් නොමැත.
නමුත් බොහෝ ඉන්දීය චිත්‍රපට රටක පවත්නා නීතියට ගරු කිරීම වෙනුවට නීතිය පිළිබදව විශ්වාසය පසෙකලා නීතිය අතට ගැනීම දිරිගන්වනසුළු ඒවා වේ. ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩා ලෝලීත්වය ඇතුළු බොහෝ අංශයන්ගෙන් ඉතාම අවර ගණයේ ආක්‍රමණශීලී බවක් පෙන්වන රටකි. එකී අවර ලක්ෂණය අද දක්වාම ඉන්දීය සිනමා නිර්මාණ වල යම් තරමකට දක්නට ලැබේ. එකී මුග්ධ ආක්‍රමණශීලී බව ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයා වෙත චිත්‍රපට මාධ්‍යය හරහා සන්නිවේදනය කැරලීමේ පුරෝගාමියා වීමේ දෝෂාරෝපණයද සිරස ටීවී වෙත එල්ල වීම නොවැලැක්විය හැකිය. ස්වාධීන රූපවාහිනී සේවයේද සෑම ඉරිදා දිනකම දහවල් 1ට හින්දි චිත්‍රපටයක් විකාශය වුවද ඒවා බොහෝ ප්‍රවේශමෙන් තෝරාගත් උසස් රසවින්දනයක් සහිත සිනමා නිර්මාණයන් වූ බව මෙම ලියුම්කරුගේ මතකයයි.
එතැනින් ඔබ්බට බොහෝ රූපමය මාධ්‍ය ප්‍රවණතා ශ්‍රී ලංකාවට හදුන්වාදීමේ පුරෝගාමී මෙහෙය සිරස විසින් ඉටුකර ඇත. උදාහරණයක් ලෙස රියැලිටි සංගීත වැඩසටහන් හරහා ගායන තරු තේරීමේ පළමු ශ්‍රී ලාංකීය වැඩසටහන වන සිරස සුපර් ස්ටාර්, පුංචි පහේ මං, ඔබද ලක්ෂපති මමද ලක්ෂපති, ගැජට් රාලහාමිගේ ලෝක සවාරිය වැනි විදේශ ප්‍රවණතා මත නිෂ්පාදිත වැඩසටහන් ශ්‍රී ලංකාවට හදුන්වා දුන්නේ සිරස විසිනි.
නිවුස් ෆස්ට් හා සටන
වර්ෂ 2009 වැනි කාල වකවානුව වන විට ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබදව රාජ්‍ය මාධ්‍ය කෙරෙහි වූ විශ්වාසය සම්පූර්ණයෙන්ම පාහේ බිදවැටී තිබුණ බව ඉහත සදහන් කරන්නට යෙදුණි. එමෙන්ම දේශපාලන සංවාදාත්මක වැඩසටහන් වශයෙන් පැවැතියේ නිතැතින්ම බොහෝවිට ආණ්ඩු පක්ෂයට පමණක් අවස්ථාව ලැබෙන ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සුදර්මන් රදළියගොඩගේ තුලාව ස්වර්ණවාහිනියේ විකාශය වූ රතුඉර වැනි වැඩසටහන් කිහිපයක් පමණි. ඉතා සීමිත පිරිසක් ටී.එන්.එල් නාලිකාවේ විකාශය වූ චමුදිත සමරවික්‍රම ඉදිරිපත් කළ ජනහඩ වැඩසටහන නැරඹූහ. ඒ රටේ ජනප්‍රිය ප්‍රවෘත්ති ප්‍රකාශකයාගේ භූමිකාව සදහා මෙන්ම රටේ ජනප්‍රිය දේශපාල සංවාද වේදිකාව සදහාද පුරප්පාඩු පැවැතුණි.
සිරස ටීවී නාලිකාව මෙම පුරප්පාඩු දෙකෙන්ම උපරිම ප්‍රයෝජන ලබාගනිමින් ඉතා කෙටි කාලයක් තුල රටේ ජනප්‍රියම ප්‍රවෘත්ති ප්‍රකාශකයා මෙන්ම ජනප්‍රියම දේශපාලන සංවාද වේදිකාව බවට පත්විය. 2010 වර්ෂයේ ජනාධිපතිවරණය වකවානුව වන විට රටේ අතිමහත් බහුතරය පක්ෂ භේදයකින් තොරව වැඩියෙන්ම නැරඹූ ප්‍රවෘත්ති ප්‍රකාශය සිරස ටීවී නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති ප්‍රකාශයයි. එයින්ද නිවුස් ෆස්ට් රාත්‍රි 7 ප්‍රවෘත්ති ප්‍රකාශය විශේෂ විය. පක්ෂග්‍රාහීත්වය අවම වන පරිදි රටේ සියළුම වැදගත් පුවත් වේගවත් ගලායාමක් සහිතව ඒ පැය භාගය තුල ඉදිරිපත් කරන ලදී. ඒ තුල අනවශ්‍ය හෑලි තිබුණේ නැත. ප්‍රවෘත්ති ප්‍රකාශකයා විසින් අතින් දමන විශලේෂණ ආදිය අවම විය. එබැවින් එකල නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති නරඹන කිසිවෙකුට තමන් එම අඩ හෝරාව නාස්ති කළ සෙයක් දැනුණේ නැත. එම අඩපැය එතරම් වේගයෙන් ඵලදායීව ගෙවී ගියේය.
දේශපාලන සංවාදා මණ්ඩප සදහා සිරස මගින් ඉදිරිපත් කරන ලද සටන සංවාද මණ්ඩපය ඊට පෙර ශ්‍රී ලාංකිකයින් දැක නොමැති ආකාරයේ නවමු අත්දැකීමක් විය. එතැනට පැමිණෙන කුමන තරාතිරමක පුද්ගලයෙකුට වුවද අධිකරණයේ හරස් ප්‍රශ්න අසනවාක් මෙන් ඉතා තියුණු හරස් ප්‍රශ්න ඇසීමකට භාජනය වීමට සිදුවිය. එකළ සිරස සටන නැරඹීම යනු ත්‍රාසයෙන් පිරි දෙහෝරාවක් විය.
කැපිටල් මහරාජා ආයතනයේ පිටතට පෙනෙන මුහුණ සිරස ඇතුළු මාධ්‍ය නාලිකා පමණක් වුවද එය වෙනත් සුවිශාල ව්‍යාපාර රාශියක් එකට ගොණුවූ ව්‍යාපාර ගොණුවක් ලෙස සැළකීම වරදක් නොවේ. ඒ අනුව ඔවුන් තුල ඔවුන්ටම ආවේණික න්‍යාය පත්‍ර තිබුණි. කිලී මහරාජා යම් හේතුවක් නිසා එජාප නායක රනිල් වික්‍රමසිංහ සමග ඉතා තදබල ආරෝවක් ඇතිකර ගත්තේය. එයින් පසු ඉතා ඵලදායීව ගෙවුණු ජනප්‍රිය සිරස නිවුස් ෆස්ට් අඩපැයෙන් සැළකිය යුතු විනාඩි ගණනාවක් එජාප නායකත්වයෙන් රනිල් එළැවීමේ ක්‍රියාන්විතය සදහා නාස්ති විය. වයස්ගත කිලී මහරාජාට එක්තරා සිහිනයක් ඇති බව කියනු ලැබේ. ඒ සිහිනය නම් ඔහු මිය යාමට පෙර ඔහුගේ පුත්‍රයාට මචං කිව හැකි ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමේ සිහිනයයි. ඒ සදහා කිලී මහරාජාගේ තෝරාගැනීම වූයේ සජිත් ප්‍රේමදාසය. එතැන් සිට රනිල් එළැවීමට මෙන්ම සජිත් ගෙන ඒමටද නිවුස් ෆස්ට් වටිනා අඩපැයෙන් සැළකිය යුතු කොටසක් නාස්ති කරන්නට පටන් ගැනුණි.
එක්සත් ජාතික පක්ෂය යනු ශ්‍රී ලංකාවේ එක් දේශපාලන පක්ෂයක් පමණය. එහි නායකයා කවුරුන්ද මීළග නායකයා කවුරුන් විය යුතුද යනාදී කරුණු එහි පාක්ෂිකයන්ද ඇතුළත්ව ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 99%කටම වැදගත් කාරණා නොවේ. එබැවින් පක්ෂ අභ්‍යන්තරයේ හුවමාරු වූ ලිපි වල සදහන් වාක්‍ය යටින් රතුපාටින් ඉරි අදිමින් සිරස පටන් ගත් විකාරය බොහෝ දෙනෙකුට කන්දොස්කිරියාවක් බවට පත්වීමට වැඩිකල් ගියේ නැත.
දවසේ වැඩ නිමවා ප්‍රවෘත්ති නැරඹීමට රූපවාහිනිය ඉදිරියේ අසුන් ගන්නා කාර්යබහුල ප්‍රේක්ෂකයාට යම් ප්‍රවෘත්තියක් පිළිබදව ප්‍රවෘත්ති ප්‍රකාශන ආයතනයේ කියැවීම සහ විශ්ලේෂණය කුමක්දැයි දැන ගැනීම බොහෝවිට නොවැදගත්ය. ජනතාව සිර නිවුස් ෆස්ට් වටා එක් රොක් වූයේ එහි ඇති වේගවත් හෑලි නැති ප්‍රවෘත්ති ප්‍රකාශය හේතුවෙන් බව සිරස බොහෝ ඉක්මනට අමතක කර දැම්මේය. එවැනි විශ්ලේෂණ වලට වෙලා තිබෙන අය බොහෝ විට යොමු වන්නේ පුවත් පත් මාධ්‍යයටය. ඔවුන්ගේ ආයතනයේම පඩි ගෙවා නඩත්තු කරන විශ්ලේෂකයන් හරහා එක් එක් පුවත ඉතාමත් නීරස ලෙස විශ්ලේෂණය කිරීම සිරස ආරම්භ කළේය.
මාධ්‍ය නාලිකාවක භූමිකාව ඉක්මවා යමින් සිරස ක්‍රම ක්‍රමයෙන් දේශපාලන පක්ෂයක් බවට පත්වන්නට විය. සුසාර දිනාල් මහින්ද ළගින් තැබූ ඔවුන් එස්.එම්. මරික්කාර් සජිත් ළගින් තබා සුසිල් කිදෙල්පිටිය ෆොන්සේකා ළගින් තැබුවේය. ජෙ ශ්‍රී රංගා රනිල් ළග තබා මහින්ද ළගට යැව්වේය. එසේ ඔවුන් විසින් ස්ථානගත කරන ලද දේශපාලනඥයන්ගේ නොවැදගත් පුවත් පවා ප්‍රවෘත්ති අඩපැයට රිංගවීම ඇරඹුවේය. සිරස විසින් ක්‍රියාත්මක කරන ලද ගම්මැද්ද වැඩසටහනේ කටයුතු දවසේ කාර්ය බහුලම ප්‍රවෘත්ති අඩ පැයේ තවත් මිනිත්තු 7ත් 10ත් අතර ප්‍රමාණයක් නාස්ති කිරීමට පටන්ගැනුණි. එය සැබැවින්ම කිසිවෙකුට වැදගත් වූයේ නැත. ඔයින් මෙයින් 2010දී පමණ රටේ ප්‍රමුඛතම ප්‍රවෘත්ති නාලිකාව වශයෙන් සිටි සිරස 2015 පමණ වන විට බැලීමට අප්‍රිය උපදවන අමු කසළ ගොඩක් බවට පත්වී තිබුණි.
දෙරණ
දෙරණ තම මාධ්‍ය ගමන ඇරඹුවේ මදක් සංයමයකින් යුතුවය. ආරම්භයේදී එහි ප්‍රවෘත්ති ප්‍රකාශයේ පවා එතරම් කළ එළියක් තිබුණේ නැත. නමුත් පක්ෂග්‍රාහී බවක් නැත්තටම නැතැයි හැගී යන පරිදි ඔවුන්ගේ ප්‍රවෘත්ති ප්‍රකාශය මගේ අවධානයට ලක්වූවා මතකය. එකළ සරසවියේ සිට සති අන්තයට ගෙදරට එන මගේ යෝජනාව මත මා නිවසේ සිටින දින වලදී දෙරණ ප්‍රවෘත්ති නැරඹුවේ එහි බැලු බැලුමටම පෙනුණු අපක්ෂපාතී බව හේතුවෙනි.
සිරස අවර ගණයේ ඉන්දීය ටෙලි නාට්‍ය හදුන්වා දුන්නේ යම් සේද අවර ගණයේ සිංහල ටෙලි නාට්‍ය හදුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ දෙරණටය. කිසිදු බරක් පතළක් නැති දිගක් පළලක් නැති කිසිවක් වෙන්නේත් නැති නොවෙන්නේත් නැති අමුතුම ටෙලිනාට්‍ය සංස්කෘතියක් ඔවුන් බිහි කළෝය. එමෙන්ම සිරස සවනට වදනක් අහන්න ආසයි ගයන්න වැනි නිසරු විනෝදාත්මක වැඩසටහන් හරහා හදුන්වා දුන් නිසරු සංස්කෘතිය දෙරණ වඩාත් ඉදිරියට ගෙන ගියේය. එමෙන්ම ඔවුන් දිනපතා විකාශය කරන ත්‍රාසය පමණක් ඇති හැගීම් කුප්පවනසුළු දකුණු ඉන්දීය දෙමළ චිත්‍රපට හරහා ඉන්දීය ක්‍රිකට් ලෝලී මානසිකත්වයට ශ්‍රී ලාංකික සාමාන්‍ය මිනිසා පත්කිරීම සදහාද ඔවුන් විශාල මෙහෙවරක් කරමින් සිටී. කුඩා දරුවන් සදහා විකාශය කෙරෙන කාටුන් වැනි ළමා වැඩසටහන් අතර ගතයුත්තක් ඇත්තේම නැති කාටුන් සහ ළමා වැඩසටහන් විකාශය කිරීම අතින් දෙරණ සිටින්නේ හිණි පෙත්තේය.
ශ්‍රී ලංකාවේ ඇතිවී ඇති බොහෝ ප්‍රශ්න ගැටලු වලට වක්‍රාකාරයෙන් හේතු වී ඇති මිත්‍යාව වැපිරීමේ පුරෝගාමී කාර්ය භාරයක් ඉටුකළ නාලිකාව වන්නේද දෙරණය.
කෙසේ වුවද ඔවුන් විසින් කාලීන වැඩසටහන් සම්බන්ධයෙන් වූ අනන්‍යතාවයක් කාලයත් සමග ගොඩනගා ගන්නා ලදී. විශේෂයෙන්ම දෙරණ 24X7 නාලිකාව හරහා ග්‍රන්ථ සම්බන්ධයෙන් විකාශය වන එක්තරා අපූරු වැඩ සටහනක් දුටුවෙමි. එමෙන්ම සිරස සුපර් ස්ටාර් වැඩසටහනට අභියෝගයක් වන මට්ටමට ඔවුන්ගේ ඩ්රීම් ස්ටාර් වැඩසටහන පත්කිරීමට දෙරණ සමත් වීම අගය කළ යුතුය. කුඩා දරුවන් වෙනුවෙන් වන දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහනද එසේම අවධානයට යොමු වූවකි.
දෙරණ ප්‍රවෘත්ති
සිරස ක්‍රම ක්‍රමයෙන් රටේ ජනප්‍රිය ප්‍රවෘත්ති ප්‍රකාශකයාගේ භූමිකාව හිතා මතා අහිමි කරගනිද්දී ඉතා වේගයෙන් එම ස්ථානය ආක්‍රමණය කොට අත්පත් කරගැනීමට දෙරණ සමත් විය. එහිදී විශේෂ්යෙන්ම ප්‍රවෘත්ති ප්‍රකාශන අංශය ප්‍රවර්ධනය සදහා අධික මුදලක් වියදම් කොට ඒ සදහා වෙනම නාලිකාවක් ඇතිකිරීම, ප්‍රවෘත්ති නිවේදකයන් ලෙස තරුණ ආකර්ශනීය පෙනුමක් ඇති දක්ෂ නිවේදක නිවේදිකාවන් බදවා ගැනීම, ප්‍රවෘත්ති වාර්තාකරුවන්ගේ ජාලය පුළුල් කිරීම වැනි කටයුතු රාශියක් වහ වහා සිදුකිරීමට ඔවුන් සමත් වූහ.
ඔවුන්ට චතුර අල්විස් වැනි සැබෑ දක්ෂතාවයකින් යුත් ප්‍රසන්න පෙනුමකින්ද යුතු පුද්ගලයන් හමුවීම දෛවෝපගතය. අද දෙරණ චතුර අල්විස් නැමැති දක්ෂයා එකිනෙකට වෙනස් වූ භූමිකාවන් 5ක එනම් ප්‍රවෘත්ති නිවේදනය පත්තර කියැවීම ලෝකය සහ ලෝකයෝ ඉදිරිපත් කිරීම සංචාරක චාරිකා සටහන් ඉදිරිපත් කිරීම සහ දේශපාලන සාකච්ඡා සංවාද මෙහෙයවීම යන භූමිකා පහේම එක විට යොදවා ඇත. එම භූමිකා පහම ඔහු අති සාර්ථක ලෙස නිරූපණය කරනවා පමණක් නොව ඔහුට සැළකියයුතු පුද්ගල අනන්‍යතාවයක්ද ගොඩනැගී තිබේ.
ආරම්භයේදී ස්වාධීන ලෙස ආරම්භ වූ දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශය ක්‍රම ක්‍රමයෙන් 2011 වසරෙන් පසුව පමණ පක්ෂග්‍රාහී වන්නට විය. 2015දී එවකට පැවැති පාලක පක්ෂය බලයෙන් පහ වීමත් සමග දෙරණ ඍජුවම එකී පක්ෂයේ අප්‍රකාශිත නිල ප්‍රවෘත්ති නාලිකාව බවට පත්වූයේ අධි වේගයෙනි. කෙසේ වෙතත් ආකර්ශනීය ප්‍රවෘත්ති මැදිරි සිත්ගන්නා සුළු ඉදිරිපත් කිරීමේ රටාව ආදියෙන් ඔවුන් ප්‍රේක්ෂකයා තව තවත් ග්‍රහණය කරගන්නා ආකරය දක්නට ලැබුණි. 2015 පරාජය වූ මහින්ද රාජපක්ෂ පාර්ශවය ඔවුන්ගේ ජයග්‍රාහී ඉෂ්ඨ මන්ත්‍රය ලෙස තෝරාගන්නා ලද ජාතිවාදය ඉතා ප්‍රවේශමෙන් ස්පර්ශ කරමින් එය පෝෂණය කරන තැනකට දෙරණ යාම කණගාටුදායකය.
2018 ඔක්තෝබර් 26 වැනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි අන්දමින් අග්‍රාමාත්‍යවරයෙකු බලයේ සිටියදී මහින්ද රාජපක්ෂව අග්‍රාමාත්‍ය ධුරයට පත්කරන ලද අවස්ථාවේදී දෙරණ ඍජුවම එකී ස්ථාවරය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරනු දක්නට ලැබුණි. ඉන්පසු පාර්ලිමේන්තු බහුතරය පෙන්වීමට අසමත් වීම හේතුවෙන් පාර්ලිමේන්තුව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් විසුරුවා හරින ලදී. එය සම්පූර්ණයෙන්ම අනීතික බවත් අධිකරණය ඉදිරියට ගිය කල නීතිඥවරුන්ගේ භාෂාවෙන් කියන්නේ නම් Black case එකක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන යන්තමට හෝ දන්නා ඕනෑම කෙනෙකු දන්නා කරුණකි.
නමුත් විධායක ජනාධිපතිවරයා ගන්නා ලද පියවරක් වූ හෙයින් එය නිවැරදි කරගැනීම සදහා අධිකරණය ඉදිරියට යාමට සිදුවිය. කෙසේ වෙතත් දෙරණ මාධ්‍ය ජාලය අදාළ නඩුව පිළිබදව වාර්තා කරන ලද ආකාරය කෙතරම් සත්‍ය කරුණු විකෘති කිරීමක් වූයේද යත් දෙරණ බැලීම හේතුවෙන් අදටත් ජනාධිපතිවරයාට කැමති අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේය යන මතයේ සිටින්නෝ ඇතැම් විට මට හමුවෙති. ඔවුන් චෝදනා කරන්නේ අධිකරණය පවා කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කර සත්‍යය යටපත් කොට ඇති බවය. දෙරණේ ප්‍රවෘත්ති විකාශක භූමිකාවේ තරම වටහා ගැනීමට එම උදාහරණය පමණක් වුවද ප්‍රමාණවත්ය.
2019 පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සදහා තීරණාත්මක භූමිකාවක් දෙරණ ඉටු කරන ලදී. ඉන් පසුව පවා ආණ්ඩු පක්ෂයේ ස්ථාවරය කුමක් වේවා එය සාධාරණීකරණය කිරීමට දෙරණ සැදී පැහැදී සිටී. වර්තමානයේ වුවද දෙරණට අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගය පාලනය කර අවසන්ය. කොරියාවේ මහ මැතිවරණය පැවැත්වූ හෙයින් ශ්‍රි ලංකාවේද මැතිවරණය පැවැත්වීමට බාධාවක් නැත. ඇදිරි නීතිය ඉවත් කළ අද දිනයේ පවා ජනතාව විනයවත්ව හැසිරී ඇත. කොරෝනාවෙන් බැටකන දියුණු රටවල් පවා ශ්‍රී ලංකාව ආදර්ශයට ගැනීමට සාකච්ඡා පවත්වති.
දෙරණ දේශපාලන සංවාද සහ පත්තරේ විස්තරේ
දෙරණ නාලිකාවේ විකාශය වන ප්‍රධාන දේශපාලන සංවාද දෙක වන 360 සහ වාද පිටියේ සාර්ථකත්වයට ඒවා මෙහෙයවන චතුර අල්විස් සහ ඩිල්කා සමන්මලී දෙදෙනාගේ පුද්ගල සාධකය ඉතා තදින් බලපා ඇත. ඔවුන් සැබැවින්ම දක්ෂය. එසේම බොහෝ විට නාලිකාවේ දේශපාලන දැක්ම හා සමගාමී වන පරිදි ආරාධිතයාගෙන් උත්තර ලබා ගැනීමට සමත්ය. ජනප්‍රිය ප්‍රවෘත්ති ප්‍රකාශකයාගේ භූමිකාව සිරස අහිමි කරගනිද්දී ඒ හා සමගාමීව ඔවුන්ට අහිමි වූ දේශපාලන සංවාද මණ්ඩපයද දෙරණ විසින් ඩැහැගන්නා ලදී.
දෙරණ නාලිකාවේ පත්තරේ විස්තරේ ඉදිරිපත් කරන ආකාරයද සුවිශේෂීය. එය හුදෙක් පුවත්පත් කියැවීමක්ම නොවේ. ඒ ඒ එක් එක් පුවත කියවන චතුර අල්විස් ඒ පිළිබදව නරඹන්නා සිතිය යුතු මානයද ඒ සමගම කියයි. දෙරණට ඔවුන්ගේ නරඹන්නන් ඔවුන්ගේ දේශපාලන දැක්ම හා සමානුපාතික කරගැනීමට ඒ අනුව වඩාත් පහසු වී තිබේ. එය නරඹා නිවසින් පිටව යන කෙනෙකු ඒ පුවත ගැන කතා කරන්නේ පුවත්පතේ වාර්තා වී තිබූ ආකාරයට වඩා චතුර අල්විස් අතින් දැමූ කොටස මූලික කරගනිමිනි. එය ඉතාම කාර්යක්ෂම මෙන්ම සාර්ථක ප්‍රචාරණ ක්‍රමයකි.
හිරු
හිරු අප බොහෝදෙනෙක් හදුනාගන්නේ ගුවන්විදුලි නාලිකාවක් ලෙසය. එතෙක් ගුවන් විදුලි ක්ෂේත්‍රයේ ප්‍රාසාංගිකයාගේ ස්ථානය අත්පත් කරගෙන සිටි සිරස එෆ්.එම් අභිබවා යමින් එම ස්ථානය අත්පත් කර ගැනීමට දුමින්ද සිල්වාගේ සොයුරු රේන සිල්වාට අයත් ඒ.බී.සී මාධ්‍ය ජාලයේ හිරු එෆ් එම් සහ ෂා එෆ් එම් සමත් විය. එකළ දුමින්ද සිල්වා එක්සත් ජාතික පක්ෂයේ කඩුවෙල ආසන සංවිධායකවරයාය. ඊළාම් යුද්ධය අවසාන භාගයේ පුවතක් වැරදි ලෙස විකාශය කිරීම හේතුවෙන් ඒ.බී.සී මාධ්‍ය ජාලයට අයත් හිරු ඇතුළු ගුවන්විදුලි නාලිකා ගණනාවක් තහනම් කෙරුණි. දුමින්ද සිල්වා පක්ෂය මාරු කොට එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීමත් සමගම එම තහනම ඉවත් කරන ලදී.
එතෙක් ගුවන් විදුලි නාලිකා කෙරෙහි පමණක් අවධානය යොමු කර තිබූ ඒ.බී.සී මාධ්‍ය ජාලය හිරු නමින් රූපවාහිනී නාලිකාවක් අරඹන්නේ පසුකාලීනවය. එහි මුල් කාලයේ විකාශය වූ නිර්මාණාත්මක ගුණයෙන් අනූන සබද බබානිස් වැනි ටෙලි නාට්‍ය මාගේ මතකයේ රැදී තිබේ.
පසුකාලීනව දුමින්ද සිල්වාට භාරත ලක්ෂමන් ඝාතනය මත මරණීය දණ්ඩනය නියම වීම හේතුවෙන් සියල්ලට ඉහළින් සියල්ල දකිමින් සිටි හිරුට සියල්ල නොපෙනී යන්නට පටන්ගත්තේය. ඔවුන්ට ඉන්පසු පෙනුණේ තම අයිතිකරුගේ බාල සොහොයුරා සිරගත වී ඇති බව පමණි. ඔවුන්ගේ ප්‍රකාශ හරහා දුමින්ද සිල්වා නිදහස් කරගැනීමට ඒ මොහොතේ කළ හැකි උපරිම දෙය කුමක්ද ඔවුන් ලවක් දෙවක් නැතිව එය කරමින් සිටී. දෙරණ සම්බන්ධයෙන් පැවසූ බොහෝ කාරණා හිරු සම්බන්ධයෙන්ද එලෙසින්ම අදාළ වේ.
ස්වර්ණවාහිනී
ස්වර්ණවාහිනිය පිළිබදව මාගේ මතකය සිරස පිළිබදව ඇති මතකය තරම්ම පරණය. මුලින්ම මාගේ අවධානය යොමු වන්නේ ස්වර්ණවාහිනියේ විකාශය වූ සාමය සොයා යන සිල්වන් නම් කාටුන් වැඩසටහනට සහ සීනා නම් රූපවාහිනී ටෙලි කතා මාලාවට වේ. ඉන්පසු ඔවුන් ඉදිරිපත් කළ මහා සිංහලේ වංස කතාව ගග දිගේ වැනි වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සනිටුහන් කරගැනීමට සමත් විය. අදටත් ස්වර්ණවාහිනයේ බොහෝ වැඩසටහන් ටෙලිනාට්‍යද ඇතුළුව ඉහළ ගුණත්වයකින් සහ නිර්මාණාත්මක ගුණයකින් යුක්තය.
ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශයද අපක්ෂපාතී බව අතින් අනෙක් සෑම නාලිකාවකටම ඉදිරියෙන් සිටී. විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ කොමිසමේ පවා විශේෂ ඇගයීමට ස්වර්ණවාහිනිය ලක්විය. කෙසේ වෙතත් අනෙක් නාලිකා වලට සාපේක්ෂව ඔවුන්ට ඇත්තේ සෙමෙන් ගමනකි. මැදිරි නවීකරණය නවීන තාක්ෂණය යනාදිය භාවිතයට සිරස හිරු හා දෙරණ නාලිකා තරම් උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. ප්‍රවෘත්ති නාලිකාවකට වඩා ප්‍රාසාංගික නාලිකාවක් වශයෙන් තම අනන්‍යතාවය ආරක්ෂා කරගැනීමට ස්වර්ණවාහිනිය මූලිකත්වය දී ඇති බවක් බොහෝ විට පෙනී යයි. එමෙන්ම දේශපාලනය ප්‍රවෘත්ති හා දේශපාලන සංවාදාත්මක වැඩසටහන් වලින් ඔබ්බට ගෙනයාමෙන් වැලකීමේ ශික්ෂාව උපරිමයෙන් රකින නාලිකාවක් ලෙස ස්වර්ණවාහිනිය අවධානයට යොමුවේ.
TNL
නාලිකාව මාගේ අවධානයට මුලින්ම යොමු වන්නේ එහි විකාශය වූ චමුදිත සමරවික්‍රම ඉදිරිපත් කළ ජනහඩ සංවාදාත්මක වැඩසටහන හේතුවෙනි. මා කුඩා කළ සිටම මාගේ පියාණන් එම වැඩසටහන නරඹනු මම දැක ඇත. ඉන්පසු ඕල්වේස් බ්රේක් ඩවුන් සහ රාමායණය හේතුවෙන් ටී.එන්.එල් නාලිකාව අවධානය දිනා ඇත.
ප්‍රවෘත්ති නාලිකාවක් ලෙස අනෙක් නාලිකා පිළිබදව කතා කිරීමේදී ටී.එන්.එල් පිළිබදවද කතා කළ යුතු බව කියැවුණද ප්‍රවෘත්ති නාලිකාවක් ලෙස එහි වැදගත්කමක් හෝ ජනප්‍රියතාවයක් මා කිසිදාක දැක නැත. යටත් පිරිසෙයින් ටී.එන්.එල් ප්‍රවෘත්ති කිසිදාක නරඹා හෝ නැත.
වැකිය
ඒ අනුව ගත්කළ ශ්‍රී ලංකාවේ අපක්ෂපාතී ජනප්‍රිය ප්‍රවෘත්ති ප්‍රකාශකයාගේ භූමිකාව නැවත වරක් ඇත්තේ පුරප්පාඩු වූ තත්වයක වේ. මේ මොහොතේ පෙනී යන ආකාරයෙන් එය අත්පත් කරගැනීමට වඩාත්ම සුදුස්සා ස්වර්ණවාහිනිය බව පෙනේ. නමුත් ස්වර්ණවාහිනියට එවන් පීඩනයක් දරා ගැනීමේ ශක්‍යතාවයක් ඇත්තේද අභිලාසයක් ඇත්තේද යන්න ගැටලුවකි.