මගේ මතකය නිවැරදි නම් සුදේව හෙට්ටිආරච්චි මුලින්ම සිටියේ ගුවන්විදුලි සංස්ථාවේය. කුඩා කල ආසාවෙන් සවන් දුන් ළමා පිටිය වැඩසටහන අතරතුර අතරින් පතර සුදේව හෙට්ටිආරච්චි නම ඇසුණා මතක තිබේ. එහෙත් ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වන්නේ හිරු හෙවත් ඒ.බී.සී සමඟ එක් වීමෙන් පසුවය.
විශේෂයෙන්ම හිරු ටීවී ඔස්සේ විකාශය වූ බලය දේශපාලන සංවාදය ඔස්සේ "සුදේව" වඩාත් ජනතාවට සමීප විය. කෙතරම් සමීප වූවාදැයි කිවහොත් යමක් පැහැදිලි කරන විට බලය වැඩසටහනේ දේශපාලකයින් මෙන් අතර මැද්දෙන් "සුදේව" යනුවෙන් යෙදීමට තරම් එම නම ජනතාවට සමීප විය.
රංගන ද සිල්වා මා මුලින්ම දකින්නේ හිරු ටීවී ඔස්සේය. එහි දිනපතා පුවත්පත් කියවන්නා ලෙසද, මේක පුදුම ලෝකයක් වැඩසටහන ඉදිරිපත් කරන්නා ලෙසද, කොපි chat වැඩසටහන ඉදිරිපත් කරන්නා ලෙසද ඔහු ජනතාව අතරට පැමිණියේය.
සුදේව හෙට්ටිආරච්චි හිරු ටීවී හි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා බව අද දැනගතිමි. හිරු ප්‍රවෘත්ති පිළිබඳව ජනතා ආකල්පය කෙසේද යන්න මම පැහැදිලි කළ යතු නැත. රංගන පිළිබඳව එවන් ආකල්පයක් ඇතිවන්නේ පුවත්පත් කියවන්නා ලෙස ඔහු තමා සේවය කරන ප්‍රවෘත්ති නාලිකාවේ මතය ජනගත කිරීමට ගන්නා උත්සාහය තුල වේ.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාම හිරු වෙතින් ඉවත් වී ස්වර්ණවාහිනියේ උසස් තනතුරු දෙකක් භාරගත් බව අද මාධ්‍ය වාර්තා කර තිබුණි. සුදේව හෙට්ටිආරච්චි සහ රංගන ද සිල්වා යනු ස්වාධීන නිදහස් මාධ්‍යකරුවන් නොව හාම්පුතුන් යටතේ සේවය කළ හුදු මාධ්‍ය කම්කරුවන් පමණක් බව සමහරවිට මෙම පියවරෙන් පසුව පැහැදිලිව පෙනෙනවා ඇත.
මා එහිදී සමහරවිට යන වචනය යෙදුවේ තේරුමක් සහිතව වේ. ස්වර්ණවාහිනිය ශ්‍රී ලංකාවේ අනෙක් සියළුම නාලිකා වලට සාපේක්ෂව පසුගිය කාල වකවානුවේ ස්වාධීනත්වය ආරක්ෂා කරගත් නාලිකාවක් බව අවිවාදිතය. විශේෂයෙන්ම ඔවුන්ගේ ප්‍රවෘත්ති ප්‍රකාශ තුල නැරඹීමට ජුගුප්සාජනක පක්ෂග්‍රාහී බවක් තිබුණේ නැත. ඔවුන්ගේ වැඩසටහන් තුල පවා ටෙලිනාට්‍යත් ඇතුලත්ව අතීතයේ සිටම යම් නිර්මාණාත්මක බරසාර බවක් තිබුණි. එසේ වුවද ස්වර්ණවාහිනියද පෞද්ගලික මාධ්‍ය ආයතනයකි. ඔවුන්ටද ආවේණික න්‍යාය පත්ර නැතැයි කියන්නේ නම් එය මුසාවකි. ස්වර්ණවාහිනිය වුවද තවත් දෙරණක්, තවත් හිරු නාලිකාවක් තවත් සිරසක් බවට පත්වන්නට ගතවිය හැක්කේ නිමේෂයක් බව අමතක නොකළ යුතු වේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සියලුම රූපවාහිනී නාලිකා විශේෂයෙන්ම ප්‍රවෘත්ති ප්‍රකාශයේදී අප්‍රිය උපදවන තරම පක්ෂග්‍රාහී වී ඇති මේ මොහොතේ රටේ ජනප්‍රියතම අපක්ෂපාතී ප්‍රවෘත්ති නාලිකාව යන කිරුළ පුරප්පාඩු වී තිබේ. එය දිනා ගැනීමට ආසන්නතම හැකියාව ඇති නාලිකාව මේ මොහොතේ තත්වය අනුව බලන කල ස්වර්ණවාහිනිය බව අවිවාදිතය.
එසේ වුවද මා මීට පෙර තබන ලද සටහනකදී සැක පහළ කලේ ස්වර්ණවාහිනිය එම අභියෝගය භාරගෙන ඉදිරියට ඒමට ඉදිරිපත් වීමට තරම් නිර්භීත වනු ඇත්තේද යන්න පිළිබඳවය. කෙසේ වෙතත් මෙම නව පියවර අනුව පෙනී යන්නේ ස්වර්ණවාහිනියද තමන්ට ඇති ඒ අවස්ථාව මනාව දැක එය අත්පත් කරගැනීම සඳහා පියවර ගනිමින් සිටින බවයි.
අභ්‍යන්තරය කෙතරම් හිස් වුවද ආකර්ශනීය සහ දක්ෂ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නන් හරහා සහ ප්‍රවෘත්ති මැදිරි ආකර්ශනීය ලෙස සැකසීම හරහා ජනතාව ආකර්ශනය කරගත හැකි බව හිරුටත් වඩා දෙරණ නාලිකාව පසුගිය වසර ක්‍රියාවෙන් ඔප්පු කොට පෙන්නා තිබේ. එබැවින් ස්වර්ණවාහිනිය තබනු ලබන පියවර මම දකින්නේ සාධනීය ප්‍රවණතාවයක් වශයෙනි.
සුදේව සහ රංගන ස්වර්ණවාහිනියට එක්වීමෙන් එය තවත් හිරු නාලිකාවක් වේ යැයි සිතීම අර්ධ සත්‍යයකි. ඔවුන් එයට යම් නවමු බවක් නිසැකවම එක් කරනු ඇත. කෙසේ වෙතත් එකී නවමු බව තුල ස්වර්ණවාහිනිය මෙතෙක් ආරක්ෂා කරගත් ස්වාධීන භූමිකාවට හානි නොපැමිණෙන්නේනම් මැනවි.
දේශපාලන මතයක් ජනගත කිරීම අරමුණු කර නොගත් ප්‍රවෘත්ති වාර්තාකරණය අංක එකේ අරමුණ කොටගත් ස්වාධීන ප්‍රවෘත්ති නාලිකාවක් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍යම මොහොතක ස්වර්ණවාහිනියේ උත්සාහය සාර්ථක වේවායි පතමි.
සුදේව හෙට්ටිආරච්චි සහ රංගන ද සිල්වා ද තමන්ගේ පුද්ගලිකත්වයට ඈඳී ඇති ජඩ මාධ්‍ය ලේබලය ගලවා ගැනීමට මෙය අවස්ථාවක් කොට ගන්නේ නම් මේ මොහොතේ ඊට වඩා සතුටට කරුණක් තවත් නැත.
ප.ලි - සැබෑව එයද එසේත් නැත්නම් මෙම සටහන ලියා අවසන් වූ වහාම ඇතැම් පෝස්ට් වල දුටු පරිදි ඒ.බී.සී මාධ්‍ය ජාලය විසින් ස්වර්ණවාහිනිය මිළදීගැනීමද යන්න තවමත් පැහැදිලි නැත. සිදුවී ඇත්තේ එයනම් මෙය ශ්‍රී ලංකාවේ ස්වාධීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ මළගම බවට කිසිඳු සැකයක් නොමැත.
No comments:
Post a Comment