Tuesday, April 28, 2020

සනුක



සනුක වික්‍රමසිංහ නැමැති ගායකයෙකු සිටින බව ඔහුගේ ගීත ගණනාවක් අතිශය ජනප්‍රිය වන තුරුම මම දැන නොසිටියෙමි. පසුව යම් ක්‍රිකට් සම්මාන ප්‍රදාන උළෙලකදී ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් කොටස් වශයෙන් ඉදිරිපත් කළ සංගීතමය අංගයකදී තිලකරත්න ඩිල්ෂාන් විසින් සනුකගේ ගීයක කොටසක් ගායනා කලේය. ඔහු කවුදැයි සොයා බලා ඔහුගේ ගීත කීපයක් අසා බලන්නට මට සිත් වෙන්නේ ඒ අනුවය.

සනුක වික්‍රමසිංහ යනු කලක් ශක්ති සංගීත කණ්ඩායමේ සිටි දක්ෂ වාදකයෙකු, ගායකයෙකු සහ සංගීත නිර්මාණ ශිල්පියෙකු වූ සංගීත් වික්‍රමසිංහගේ පුතු බව මම දැනගත්තේ දෙරණ ඔස්සේ විකාශය වූ "ලෙය සහ ලය" වැඩසටහනක් යූ ටියුබ් ඔස්සේ නැරඹීමෙනි.

බොහෝ අය සංගීත් විජේසූරිය දැන සිටියාට සංගීත් වික්‍රමසිංහ නොදන්නවා විය හැක. මා ඔහු මුලින්ම හඳුනාගන්නේ "සඳ මුවා වෙලා වැහි වලාවකින්" ගීතයෙනි. ඒ මීට වසරන 20කටත් ඉහතදී සිරස (එකල) එම්.ටී.වී ඔස්සේ විකාශය වූ රස රිසි ගී තුලිනි. එම ගීතයට අවදධානය යොමුවීමට හේතුව සැබැවින්ම ගීතයේ ඇති සුන්දරත්වයක් හෝ අරුත වැ⁣ටහීම නොව එයට යොදාගෙන තිබූ අශ්ලීල රූප රචනයයි. එනම් ගීතය පසුබිමින් වාදනය වද්දී රූප රචනය ලෙස තිබුණේ ලෝක රූ රැජින හෝ විශ්ව ⁣රූ රැජින තරඟ වල තරඟකාරියන් බිකිණි වලින් සැරසී තරඟවදින අවස්ථා වල එකතුවකි.

එකළ එය අතිශය දුර්ලභය. කුඩා දරුවෙකු ලෙස ඒ දෙස විමතියෙන් බලා සිටි සැටි මට මතක තිබේ. රූප රචනය බලා මතකයේ රැඳුණු ගීතය සජීවී වැඩසටහනකදී සංගීත් වික්‍රමසිංහ විසින් ගයනු බලා සිටියෙමි. මා ඔහු මුළින්ම දකින්නේ එතැනදීය.

හින්දි චිත්‍රපට ගීත බොහෝ ජනප්‍රිය වූ එම කාල වකවානුවේ ප්‍රභූ දේවා රඟන Hamse Hai Muqabala චිත්‍රපටයේ එන Mukkala Muqabala ගීතය එකල අතිශය ජනප්‍රිය වූවකි. මා සංගීත් වික්‍රමසිංහ දෙවැනි වතාවට හඳුනාගන්නේ එම ගීතයේ කාන්තා කොටස ගායනා කරන අයුරු දැකීමෙනි. සජීවී ප්‍රසංගයකදී සංගීත කණ්ඩායමේ විදුලි ඕගනයද වාදනය කරමින් එම අතිශය ජනප්‍රිය ගීතයේ කාන්තා කොටස සංගීත් ගයනු මම ආශක්තව බලා සිටියෙමි.

ඉන්පසු විවිධ ස්ථාන වලදී විවිධ මට්ටම් වලදී සංගීත් වික්‍රමසිංහ මගේ අවධානයට යොමු විය. අනෙක් සංගීතඥයින් සාපේක්ෂව කඩා පනිමින් අවස්ථා ඩැහැගැනීමට ඇති පෙරේතකමක් හෝ ජනප්‍රියතාවය ඇති කෙටි කාලයක එකළඟ නිර්මාණ රාශියක් සිදුකර ජීවිත කාලයකට හරි හම්බ කරගැනීමේ වුවමනාවක් සංගීත්ට තිබුණේ නැත. ඒ වෙනුවට තමන් දායක වන නිර්මාණය තුල සංගීත් ලකුණ ප්‍රවේශමෙන් සහ ඉහළ ගුණත්වයකින් යුතුව තැබීමට ඔහු වඩා කැමති වූ බව පෙනුණි.

සනුක වික්‍රමසිංහ එම දැවැන්ත සහ ස්ථාවර සංගීත පෞරුෂයේ උරුමකරුවාය. සීයාගෙන් පියාට, පියාගෙන් පුතාට වෘත්තිය උරුම වීම ශ්‍රී ලංකාවේ බොහෝ ක්ෂේත්‍ර වල බහුලව දක්නට ලැබෙන ප්‍රවණතාවයකි. එම ක්‍රමයේ හොඳ මෙන්ම නරකද තිබේ. ශ්‍රී ලංකාවේ තරුණ පරපුර දේශපාලනයට පැමිණීම යනු ඇමතිතුමාගේ පුතා ඡන්දය ඉල්ලීම වන තැනට එම උරුම අනුප්‍රාප්ති සංස්කෘතිය අසූචි වැකී ඇත. කෙසේ වෙතත් සංගීත්ගේ පුතා වුණත් නැතත් හඬ හැසිරවීම විෂයෙහි සනුකට අනන්‍ය ප්‍රවීණතාවයක් ඇති බව පිළිගත යුතුය. 

මෙම ලියමන ඇරඹීමට හේතුව සනුකගේ සංගීත උරුමය හෝ ඔහුගේ දක්ෂතාවය සාකච්ඡා කිරීමම නොවේ. ඔහු පසුගිය කාලසීමාවේ ඇතැම් පාර්ශව වල දැඩි විවේචනයට ලක්වනවා දුටිමි. එයට හේතුව වූයේ සිරස ඔස්සේ විකාශය වන Voice Teen වැඩසටහනේ විනිසුරුවරයෙකු ලෙස සිටින විට දෙපා ආසනයේ ඇන්ද මත රඳවාගෙන සිටීමයි. එය සැබැවින්ම බැලු බැල්මට විහිළුවකි. 

එහි තවත් විනිසුරු වරියනි දෙදෙනෙකු වන රයිනි චාරුකා ගුණතිලක සහ අශාන්ති ගීත ගායනය සිදුවන අවස්ථා වලදී කෑගැසීම, ඇතැම් බරසාර ගීත වල අර්ථය විනිසුරු මඩුල්ලේ කිසිවෙකු නොදැන සිටීම, ශාස්ත්‍රීය ගීත ගායනා කරන විට දක්වන සැලකිල්ල අඩුවීම යනාදී බොහෝ දෑ හේතුවෙන් එම වැඩසටහනේ විනිසුරු මඩුල්ලට චෝදනා එල්ල වනවා දුටුවෙමි. 

කලකට පෙර එහි විනිසුරුවරියක වූ අභිශේකා විමලවීර ගීත ගායනය සිදුවන අවස්ථාවකදී ඇයට බොහෝ සීතල දැනෙන බවක් පෙන්වීම වැනි මත් බෙහෙතක් ගෙන ඇතිවාක් මෙන් හෝ එතැන සුරතාන්තයට පත්වූ අයුරින් හැසිරෙන ආකාරයද එවැනම විවේචනයට සහ හාස්‍යයට ලක්වූවා මතකය.

නමුත් මෙතැනදී සනුක වික්‍රමසිංහට එල්ලවූ ප්‍රහාරය ඊට වෙනස් එකකි. ඔහු දෙපා පුටු ඇන්දේ රඳවා තරඟය විනිශ්චය කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සංස්කෘතික විධිමත්වාදීන් විසින් සමාජ ජාලා පුරා යවමින් ඔහුට දැඩි ප්‍රහාරයක් එල්ල කරන ලදී. මාගේ මතකය නිවැරදි නම් එවැනි එක් පෝස්ටුවක හැඳින්වීම් පාඨය ලෙස යොදා තිබුණේ "බොල් පිළිම" යනුවෙනි. 

මෙතැන මගේ සාකච්ඡාව සනුක තරඟයක් විනිශ්චය කිරීමේදී දෙපා උඩ තබාගෙන සිටීම හරිද වැරදිද, ගැලපෙන්නේද යන්න හෝ සනුක ගල් පිළිමයක්ද බොල් පිළිමයක්ද යන්න නොවේ. මෙතැනදී එක්තරා සුවිශේෂී අවධානයට ලක්වෙන යමක් ඔහු සිදුකළේය. එය නම් ඔහුට දමා ගසන ලද ගල් මුල් වලින්ම තම අනන්‍යතාවය සකස් කරගැනීමයි. එනම් ඔහු දෝෂ දර්ශනයට ලක්කරමින් අන්තර්ජාලය පුරා හුවමාරු වූ ඡායාරූපයම එකී තරඟයේදී තම අනන්‍යතා ලකුණ (logo) ලෙස තෝරාගැනීමයි. එය කළාතුරකින් දක්නට ලැබෙන බෙහෙවින් අවධානයට ලක්වන ගුණාංගයකි. 

සනුක හෝ ඔහුගේ කළමනාකරුවා ශ්‍රී ලාංකීය පුරවැසියාගේ මනස ඉතා හොඳින් කියවාගෙන ඇති බවක් එයින් පෙනී යයි. මෙරටදී යමෙකුට වැදගත් වන්නේ ප්‍රසිද්ධිය පමණි. එය හොඳ ප්‍රසිද්ධියක්ද නරක හෝ විවෙිචිත ප්‍රසිද්ධියක්ද යන්න කාලයත් සමඟ අදාළ නොවන තත්වයට පත්වේ. එය වටහාගෙන එයට අනුව හැඩ ගැසීම අනම්‍ය ශ්‍රී ලාංකිකයන් අතර කැපී පෙනෙන අපූර්වත්වයකි. 

අනෙක් කරුණ නම් පුද්ගලයෙකුට තමා වෙත එල්ල වන ගල් මුල් වලින් තම අනන්‍යතා පුවරුව ගොඩනගා එය ධනාත්මක බවට පෙරළා ගැනීමට ඇති ධෛර්යය බෙහෙවින් අගය කළ යුතු වීමයි. 

දෝෂාරෝපණයට ලක්වීමට පෙර සනුක දෙස විශේෂයෙන් නොබැලූ බොහෝ දෙනෙක් දැන් ඔහු දෙස වුවමනාවෙන් බලති. එය ඔහුව තමන්ගේ පෞද්ගලික මානයන් තුල නිර්වචනය කිරීමට උත්සාහ කළ අයට දුන් මනා කම්මුල් පහරක් වන්නේ ඒ නිසාය.

අතීතයේ දී ක්‍රිකට් ක්‍රීඩවේදී මනරම්පහරක් එල්ල වූ විට කියන වචනයකින් මේ සටහන අවසන් කරමි.

#ෂොට_මචං

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...