Wednesday, April 29, 2020

13 Minutes (2015)

1918 නොවැම්බර් 11 වැනි දින ජර්මනිය යටත් වීමත් සමගම පළමුවැනි ලෝක මහා සංග්‍රාමය නිමාව දුටුවේ ඒ හා සමගාමීව පැතිරීගිය ස්පාඤ්ඤ උණ වසංගතය ලෝනයේ අංක එකේ මාතෘකාව බවට පත් කරවමිනි. කෙසේ වෙතත් ජර්මනිය විසින් යුද්ධය අවසන් කරගැනීමේදී ඇති කරගන්නා ලද එකගතාවයන් ලජ්ජාසහගත දීන ඒවා බවට අදහසක් ඒ සමගම ජර්මනියේ ජාතිකවාදී කණ්ඩායම් අතර පැතිරී යන්නට විය. විශේෂයෙන්ම ජර්මනිය යටත් වීමේ ගිවිසුමට අදාළව ජර්මන් යුදෙව් ආමාත්‍යවරුන්ගේ භූමිකාව පාවාදීමක් ලෙස එළිපිටම හදුන්වනු ලැබිණි. 

රට පුරා ප්‍රමුඛතම ප්‍රවණතාවය ජාතිකවාදය බවට පත්විය. තම රටට අසීමිත ලෙස ආදරය කිරීමත් තම ජාතිය අන් සියළුම ජාතීන්ට වඩා ශ්‍රේෂ්ඨ ලෙස සැළකීමත් ජර්මන් ජාතිකයන් ආඩම්බරයෙන් වැළදගෙන වහසිබස් පවා දෙඩූ සටන් පාඨ විය. රට පුරා ජාතිකවාදී දේශකයන් සහ රචකයන් වටා වැඩි වැඩියෙන් ජනතාව ඒකරාශී වන බවක් පෙනුණි. ජනප්‍රිය ජාතිකවාදී දේශකයන් අතර පළමු ලෝක යුද්ධයේදී ජර්මනිය වෙනුවෙන් සටන් වැදුණු ඇඩොල්ෆ් හිට්ලර් කෙමෙන් කෙමෙන් කැපී පෙනෙන්නට විය. 

ඔහු අති දක්ෂ කථිකයෙකු විය. ඔහුට සවන්දෙන ඕනෑම පුද්ගලයෙකු ඔහුගේ වාග් චාතුර්යයෙන් සහ අංග චලන වලින් වශී වීමද ඒ හෙතුවෙන් ජාතිකවාදයෙන් මුසපත් වීමද බොහෝ විට අනිවාර්ය ප්‍රථිඵලයක් වූයේය. 

ඔහු සැබැවින්ම කතා කලේ ඔහුගේ ඇතුලාන්තයෙන්ම ගලා ආ වචන සමුදායක් විය. එබැවින් ඔහුගේ මුවින් පිටවන සෑම වචනයක් පාසාම ඔහු ඒවා විශ්වාස කළ බව අසන්නාට ඒත්තු ගැන්විනි. සැබැවින්ම ඔහු වචන වලට පෙරලන ලද්දේ 1 වැනි ලෝක යුද්ධයේ අමිහිරි අත්දැකීම් ලද රටට මහත් සේ ආදරය කරන ජර්මනිය යටත් වීමෙන් පසු ලැජ්ජාවට පත් අවංක ආත්මයක කැකෑරෙන වෛරයයි. රටේ ජනප්‍රිය මතවාදය වූ ජාතිකවාදය සහ යටත්වීමෙන් පාවාදෙන ලද්දේය යන හැගීම් වලින් මඩනා ලද ජනතාව උගත් නූගත් දුප්පත් පොහොසත් භේදයකින් තොරව ඔහු වටා රොද බදින්නට වූහ. 

ක්‍රම ක්‍රමයෙන් හිට්ලර් ප්‍රමුඛ ජාතික සමාජවාදී පක්ෂය හෙවත් නාසි පක්ෂය ජර්මානු පාර්ලිමේන්තුවේ බලය අත්පත් කරගන්නට විය. 1933 දී ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ චාන්සලර්වරයා බවට පත්වූ අතර එතැන් පටන් දේශපාලන විරුද්ධවාදීන් කෲර අන්දමින් දඩයම් කිරීම ඇරඹුණි. 

රජයේ ප්‍රචාරක යාන්ත්‍රණය හරහා විරුද්ධ පක්ෂ සහ ඒවාට සම්බන්ධ කණ්ඩායම් දේශ ද්රෝහී බලවේග වශයෙන් හුවා දක්වන ලදී. රජයට විරුද්ධව දැනෙසුළු කල්පවත්නා අරගලයක් කළහැකි බව හැගී ගිය ජර්මන් කොමියුනිස්ට්වාදීහු නාසින්ගේ කෲර දඩයමට ඉලක්ක වූහ. එහි ඇති අයුක්තිය අසාධාරණය පිළිබදව කතා කළහැකි වාතාවරණයක් හෝ නොතිබුණි. එක්කෝ එම කතාබහ උපහාසයෙන් නොසළකා හැරුණි. නැත්නම් එම කතාබහ කළවුනට දැඩි දඩුවම් පැමිණවුණි. ඔවුන් දේශපාලන සිරකරුවන් රදවන වහල් කදවුරු වෙත යැවුණි. 

කෙසේ වෙතත් දෙවන ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජයට පත්වීමත් සමග සියලු නරක දෑ කරන ලද්දේ ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රමුඛ නාසි පක්ෂයේ ඉහළ කණ්ඩායම පමණි අන් සියල්ලෝ අහිංසකයන්ය යනුවෙන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය ස්ථාවරයක් ජර්මන් ජාතිකයින් වැඩි දෙනෙකු දරණ ලදී. නමුත් සත්‍යය නම් හිට්ලර් ඔහු විසින් ගන්නා ලද සෑම පියවරක්ම ජාතික සමාජවාදී මූලධර්මය යටතේ ජනතාව හමුවේ සාධාරණීකරණය කෙරුණි. එපමණක් නොව එම ජනතාවගෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හිට්ලර් කරන දෙය නිවැරදි දෙයයි දේශප්‍රේමී දෙයයි යනුවෙන් සැබැවින්ම විශ්වාස කළහ. හිට්ලර්ගේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම පමණක් නොව අදටත් කීදෙනෙකු ඝාතනය වීදැයි  හරිහැටි ගණන් බැලිය නොහැකි හුදු අනුමාන වශයෙන් පමණක් සංඛ්‍යා ප්‍රකාශ කළ හැකි මහා යුදෙව් සංහාරයද බහුතරයක් ජාතිකවාදී ජර්මන් ජනතාව එක්කෝ සක්‍රීයව නැතිනම් නිහඩව සිටීමෙන් අනුමත කරන ලදී. 

කෙසේ වෙතත් හිට්ලර් ගත් මග නිවැරදි නොවන බව විශ්වාස කළ සැළකියයුතු පිරිසක්ද ජර්මනිය තුල වූහ. ඔවුන්ගෙන් ප්‍රමුඛතාවය කොමියුනිස්ට්වාදීන්ට හිමිවේ. ඉහත කී පරිදි ඔවුන් ක්‍රම ක්‍රමයෙන් යටපත් කිරීම ඝාතනය කිරීම හෝ සිරගත කිරීම හේතුවෙන් හිට්ලර් විරෝධී හඩ 1935-37 වැනි කාල වකවානුව වනවිට ජර්මනිය තුල හුදු කෙදිරිල්ලක් බවට පත්වී තිබුණි. 

වර්ෂ 1939 නොවැම්බර් මස 08 වැනි දින මියුනිච්හිදී ජර්මනියේ නායක ඇඩොල්ෆ් හිට්ලර් ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එය සාර්ථක වීනම් එතැන් සිට ලෝකයාට අහිමි වන්නට තිබූ ජීවිත ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් රැක ගැනීමේ හැකියාව තිබුණි. නමුත් හිට්ලර් යම් හේතුවක් මත බෝම්බය පිපිරීමට මිනිත්තු 13කට පෙර එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණි. 

එම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද්දේ ජොහාන් ජෝජ් එල්සර් නැමැති ඔරලෝසු කාර්මිකයෙකි. පළමුව කිසිවක් කීම ප්‍රතික්ශේප කළ එල්සර් පසුව සියල්ල හෙළි කිරීමට තීරණය කරයි.

ජර්මන් බලධාරීන්ගේ පුදුමයට හේතුවන පරිදි ජොහාන් ජෝජ් එල්සර් ක්‍රියාත්මක වී තිබුණේ තනිවමය. ඔහුට කිසිදු දේශපාලන පක්ෂයකට කැරළිකාර කණ්ඩායමකට හෝ විදේශ බලවේගයකට සම්බන්ධතාවයක් තිබුණේ නැත. ඔහුගේ උත්පත්තියෙන් යුදෙව් මිශ්‍රණයක් හෝ ජර්මන් ජාතිකවාදීන් කල්පනා කරන පරිදි ජර්මන් ජාතියට එරෙහි වීමේ කිසිදු හේතුවක් ඔහුට තිබුණේද නැත. ඔහු සම්පූර්ණයෙන්ම ඔරලෝසු කාර්මිකයෙකු ලෙස තමාගේ දැනුම භාවිතා කොට හිට්ලර් ඝාතනය සදහාවූ කාල බෝම්බය සැළසුම් කොට තිබුණි. එයට අවශ්‍ය වෙඩිබෙහෙත් සහ අනෙකුත් අමුද්‍රව්‍ය සැළසුම් සහගතව ඔහු සේවය කළ වැඩපොලෙන් කුා ප්‍රමාණ වලින් සොරකම් කරගෙන තිබුණි. 

පළමුව ජර්මන් බලධාරීන් ඔහු කියන දෙය විශ්වාස කළේ නැත. අවස්ථා ගණනාවක් නැවත නැවතත් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස කියමින් ඉහළ නිලධාරීන් නියෝග කලේ තනි පුද්ගලයෙකු කිසිදු දේශපාලන පසුබිමකින් තොරව එවැන්නක් කළ බව ඔවුන්ට අදහාගත නොහැකි වීම හේතුවෙනි. කෙසේ වෙතත් අවසානයේ එල්සර් විසින් බෝම්බය සැළසුම් කිරීම පියවරෙන් පියවර කඩදාසි වල ඇද එහි ඩෙටනේටර් ආදියෙහි නිදර්ශක තනා පෙන්වීමෙන් පසු ඔහු කී දෙය විශ්වාස කරනවා හැර බලධාරීන්ට වෙනත් විකල්පයක් නොතිබුණි. 

එල්සර් සියයට සියයක්ම සම්පූර්ණයෙන් පිරිසිදු ජර්මන් ජාතිකයෙකු විය. රටේ මහා පෙරළියක් සිදුවෙමින් තිබුණද එයට දේශපාලනිකව සම්බන්ධ වීමේ අවශ්‍යතාවයක් ඔහුට කිසි දිනෙක තිබුණේ නැත. නමුත් ඔහුට ඒ අවාසනාවන්ත සිද්ධීන් දෙස බලා සිටින්නට සිදු වී තිබුණි. ඔහුගේ කොමියුනිස්ට්වාදී මිතුරන් එකින් එකා අත්අඩංගුවට පත්වන සැටි දේශපාලන වහල් කදවුරු වලට ගාල් වන සැටි යුදෙව් ජාතික පෙම්වතෙකු සිටීමේ වරදට ඔහුගේ මිතුරියක් ප්‍රසිද්ධියේ ලජ්ජාවට පත්කරන සැටි හිට්ලර් පාලනය යටතේ ජර්මනිය සිදුකළ නව සොයාගැනීම් ආදිය පිළිබදව චිත්‍රපට ගම් මට්ටමින් පෙන්වා ඒවායේ උද්දාමයෙන් ජනතාව මුසපත් කොට තමන් සමග උරෙනුර ගැටී හැදී වැඩුණු හිතවතුන් සිරගත කරද්දී ඒ පිළිබදව නෑසූ නුදුටු ලෙස සිටින තැනට පත්කළ සැටි යනාදී වශයෙන් ඔහුව පුද්ගලයෙකු ලෙස කලකිරීමට පත්වන බොහෝ දෑ කිසිවක් නොකර බලා සිටීමට ඔහුට සිදුවී තිබුණි.

ඔහු එක්තරා අවස්ථාවක තවත් ඉවසා සිටිය නොහැකි බවටත් මෙය කිසිවෙකු විසින් විසදා දෙන ප්‍රශ්නයක් නොවන බවටත් හිට්ලර් යටතේ ජර්මනිය වැරදි පාරක යමින් මහා විනාශයක් කරා ළගා වෙමින් සිටින හෙයින් ඔහු ජර්මනිය වෙනුවෙන් හොද ජර්මන් ජාතිකයෙකු ලෙස එය සිදුකළයුතු බවටත් තීරණය කර තිබුණි. නමුත් දෛවෝපගත අයුරින් සැළසුම් කළ වේලාවට වඩා මිනිත්තු 13කට පෙර හිට්ලර් එතැනින් නික්ම යාම හේතුවෙන් ඔහුගේ සැලැස්ම අසාර්ථක විය. ලෝකය විසදීමක් දැකීමට පෙර තව තවත් දුක් වේදනා විදිය යුතුව තිබුණි. 

එම ලොමු ඩැහැගන්වන කතා පුවත රැගත් අති විශිෂ්ඨ සිනමා පටය 13 Minutes වේ. එය සිනමා රසිකයෙකු ලෙස වින්දනය කරමින් රංගනය ආලෝකකරණය දෙබස් පසුතල ආදිය ගැන වචනයක් පැවසීමට මම එය නැවත වරක් නැරඹිය යුතුය. මන්ද පළමු වරට නරඹද්දී ඒ සියල්ල පසෙකට විසිවී මෙම සිනමා කෘතියේ කැටිව තිබූ ප්‍රස්තුතය වෙත මම දැඩිව ආශක්ත වීම හේතුවෙනි. 

මෙම සටහනට ඇතුලත් කිරීම සදහා සුදුසු ඡායාරූපයක් මම අන්තර්ජාලයේ සෙව්වෙමි. නමුත් ඒ කිසිවක් මගේ සිතට සරිලන අයුරින් මෙම චිත්‍රපටයේ රැදුණු පණිවුඩය සන්නිවේදනය නොකරන බවක් මට හැගුණි. ඉන්පසු චිත්‍රපටය නැවත ධාවනය කොට චිත්‍රපටයේ හරය වඩාත් උද්දීපනය වන්නේ යැයි මට සිතෙන රූප රාමුව නැවත තෝරා ඉහත දැක්වෙන ඡායාරූපය ස්ක්‍රීන් ෂොට් එකක් වශයෙන් ලබාගෙන මෙහි ඇතුලත් කළෙමි.

දෙවැනි ලෝක යුද්ධය හා ජාතික සමාජවාදය  හා බැදුණු චිත්‍රපට විශාල ප්‍රමාණයක් මම නරඹා ඇත. නමුත් මෙම චිත්‍රපටය තරම් හිතට තදින් කාවැදුණු මා කැළඹූ සිනමා නිර්මාණයක් නොවූ බව අවධාරණය කළ යුතුය.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...