
කෙසේ වෙතත් ඉස්ලාමීය ආගමික සාහිත්‍යය හා සම්බන්ධයෙන් මෙවන් විකල්ප විසංයෝජනීය සාහිත්‍යයක් බිහිවී ඇති අවස්ථා මට හමුවී නැත. පෙරදිග බෞද්ධ සාහිත්‍යය තුලද ශාස්ත්‍රීය හා දියුණු මට්ටමේදී එවැනි විකල්ප සාහිත්‍යයන් දැකිය හැකිය. ඒවා විවෘත මනසක් නැති බුද්ධි හීන කොටස නොකියවන තරම් ශාස්ත්‍රීය ඒවා වන බැවින් බොහෝවිට හබයක් පැන නොනගී. එවැනි ශාස්ත්‍රීය ලේඛන තිබෙනවාද කියාවත් බොහෝදෙනා දන්නේ නැත. එපමණක් නොව විකල්ප ආගමික කාටල පවා බිහිවී ඇත්තේය. නමුත් ශ්‍රී ලංකාවේ පාඨකයන් අතරින් වැඩි දෙනෙක් බෞද්ධ සාහිත්‍යයෙහි වෛකල්පික දෘෂ්ඨීන්ට සහ සාහිත්‍යමය වෛකල්පික කියැවීම් වලට ගරු කිරීමට තවමත් අසමත් වීම කැපී පෙනේ.
කෙසේවෙතත් කිතුනු ලෝකය තුල වෛකල්පික ආගමික සාහිත්‍යයට විවෘත පිළිගැනීමක් නැතත් එහි පැවැත්මේ අයිතිය පිළිගැනීමක් දක්නට ලැබේ. එම නිදහස් අවකාශය භාවිත කරමින් ලොවට දායාද වූ සාහිත්‍ය කෘතීන් අතර ඩෑන් බ්‍රවුන් විසින් රචිත Da Vinci Code හෙවත් ඩ වින්චි කේතය නම් කෘතිය සුවිශේෂී වේ. සාමාන්‍ය කිතුනු පිළිගැනීම යටතේ අවිවාහක බ්‍රහ්මචාරියෙකු වශයෙන් සැළකෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සැබැවින්ම මේරි මැග්ඩලේන් නැමැති කාන්තාවක් හා විවාහ වී සිටි බවටත් ඒ දෙදෙනාගෙන් පැවත එන දරු පරපුර අදටත් ප්‍රංශයේ ජීවත් වන බවටත් වන ආකර්ශණීය කතාන්තරයක් එම පොතෙහි ඇත. ඩෑන් බ්‍රවුන්ට අනුව කොන්ස්ටන්ටයින් රජුගේ කාල සීමාවේදී බයිබලය ග්‍රන්ථාරූඪ කැරෙන්නේ බයිබලයේ සංස්කාරක මණ්ඩලයට අවශ්‍ය යැයි හැගෙන කොටස් පමණක් තෝරාගනිමින් සැගවිය යුතු යැයි කල්පනා කරන කොටස් සගවමිනි. ඒ අනුව ඩෑන් බ්‍රවුන් ඉදිරිපත් කරන න්‍යාය මගින් සමස්ත කිතුනු ආගමේ පදනම් ලෙස ගැනෙන ජේසුස් ක්‍රිස්තුන්ගේ අවිවාහක බව පිළිබදව ස්ථාවරය මෙන්ම බයිබලයේ පිළිගත හැකි බව පිළිබද විශ්වාසයද සෙලැවෙයි.
යුදෙව්වන් යනු ලෝකයේ බොහෝ ජනවාර්ගිකයන් අතර නොකැමැත්තට විරෝධයට භාජනය වූ
ජන කොට්ඨාශයකි. එයට විවිධාකාර හේතු ඇත. එසේ වුවද ලෝකයේ පැරණිතම
ශිෂ්ටාචාරයක් ලෙස විටින් විට පරාජයට පත් වෙමින් විටින් විට ඉස්මතු වෙමින් ආ
ඔවුන්ගේ ඉතිහාසය අධ්‍යනය කිරීම යනු ලෝක ඉතිහාසයෙන් 70%ක් පමණ අධ්‍යයනය කළා
හා සමාන වේ. මන්ද යුදෙව්වන්ට සබැදි ඓතිහාසික සන්ධිස්ථාන සියල්ලම පාහේ
ශිෂ්ටාචාරගත ලෝක ඉතිහාසයේ සන්ධිස්ථාන ලෙසද අවිවාදිතව පිළිගැනෙන බැවිනි.
යුදෙව්වන් පිළිබද ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 931 දී සිදුවූ සොලමන් රජුගේ මරණයෙනුත් ඈතට දිවෙන බව කියනු ලැබේ. ඒ අනුව ගත් කල එය ලොව දැනට නොනැසී පවත්නා පැරණිතම ආගමික දර්ශනයක් කිහිපයෙන් එකකි.
එවැනි මහා දැනුම් සම්භාරයකින් යුත් යුදෙව්වන්ගේ ඉතිහාසය පිළිබදව අධ්‍යයනය කිරීමට මා තුල ආශාවක් ජනිත කළ මාගේ කොරෝනා නිවාඩුවෙන් සැළකිය යුතු කොටසක් අත්පත් කරගත් ඒ අපූර්ව ග්‍රන්ථය Paul Sussman ගේ The Last Secret of the Temple වේ. එය එන්.පී. විජේරත්න විසින් දෙවොලේ සැගවුණු අබිරහස නමින් සිංහලයට නගා ආශිර්වාද ප්‍රකාශයනයක් ලෙස වෙළෙදපොලට නිකුත් කර තිබේ.
පිටු 667කින් යුත් මෙම මහා ග්‍රන්ථයට යොදා ඇති හෙඩිම මදක් නොමග යවනසුළු බව කිව යුතුය. දෙවොලේ සැගවුණු අබිරහස කියූ පමණින් ඊනිඩ් බ්ලයිටන්ගේ ෆේමස් ෆයිව් කතාන්තර පොතක් වැනි එකක් දෝයි සැකයක් මුල් බැල්මෙන්ම ඇතිවීම නොවැලැක්විය හැකිය. නමුත් එම මුල් බැල්මෙන් ඇති වන හැගීම මෙම පොත සම්බන්ධයෙන් බලවත් අවතක්සේරුවක් වනවා ඇත.

ඓතිහාසික තොරතුරු වලට අමතරය ඊශ්‍රායල පලස්තීන අර්බුදය තුල මෙන්ම ලොව ඕනෑම දේශපාලනික යුධ ගැටුමක ත්‍රස්තවාදයක අන්තර්ගත කටුක සත්‍යය පිළිබදව උදාහරණ ගණනාවක්ද මෙම ග්‍රන්ථයට ඇතුලත් කර ඇත.
යම් ජනඝාතක බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ විට කෙනෙකුට කළ හැකි පහසුම දෙය නම් එය ත්‍රස්තවාදය යැයි නම් කිරීමය. එසේ නම් කළ විට ත්‍රස්තවාදය යන වචනය සමග බැදුණු ලේ පිපාසිත බව හා ම්ලේච්ඡත්වය තුලින් බෝම්බ ප්‍රහාරයට හේතුව එනයින්ම සැපයේ. ත්‍රස්තවාදී ලේබලය ඇලවූ විට ප්‍රහාරයක සැබෑ හේතුව කුමක් විය හැකිද, සැබෑ ඉලක්කය කුමක් විය හැකිද, එය සංකීර්ණ චෙස් ක්‍රීඩාවක කවර ඉත්තා ඇදීමක්ද යනාදී දෑ කල්පනා කිරීමට මහජනයාගෙන් 99%ක්ම පෙළඹෙන්නේ නැත. නමුත් ත්‍රස්තවාදී ප්‍රහාරයන් හුදෙක් මිනී මැරීමේ චේතනාවෙන් අහේතුකව සිදු වන්නේද යන කරුණ යළි යළිත් ප්‍රශ්න කිරීමට මෙම ග්‍රන්ථය කියවන්නා පොළඹවයි.
පලස්තීන සහෝදරත්වය හෝ හමාස් වැනි සංවිධාන එල්ල කරන ප්‍රහාරයන් පලස්තීන නැගී සිටීම ත්‍රස්තවාදී එකකැයි නම් කිරීමට ප්‍රමාණවත් නොවන කල, ඊශ්‍රායලය විසින්ම පලස්තීනයට ත්‍රස්ත ලේබලය ඇලැවිය හැකි අන්දමේ ත්‍රස්තයෙකු නිර්මාණය කර ලෝක ජනයාගේ දැඩි පිළිකුලට භාජනය වන අන්දමේ ප්‍රහාර තමාගේම ජනයා වෙත එල්ල කරගැනීම අභව්‍ය යැයි කෙනෙකුට කිව හැකිය. නමුත් එය පුරාතනයේ පටන් භාවිත වූ උපක්‍රමයකි. සතුරා ළග හෝ සතුරෙකු ලෙස යමෙකු තමා විසින්ම ස්ථානගත කර තමාගේ යුධමය හෝ දේශපාලන ධාරාවට ගැලපෙන අන්දමේ ප්‍රහාර ප්‍රතිවාදී පිලෙන් ලබාගැනීම සැබැවින්ම පැරණි ක්‍රමයකි. එය ලෝකයේ මීට පෙර සිදුවී ඇත. අනාගතයේදීද සිදුවනවා ඇත. යම් රටක් එවැනි උපක්‍රමික මෙහෙයුම් වලදී තමාගේම රටවැසියන් ඉලක්ක නොකරන්නේය යන්න සැබැවින්ම හුදු අනුමානයක් පමණි.
ලෝකයේ සිදුවූ හුදෙක් ලේ පිපාසිතකම මත සිදුවී යැයි සිතා ත්‍රස්තවාදී ගිණුමට බැර කරමින් බැහැර කළ අගක් මුලක් වෙනත් හේතුවක් සොයාගත නොහැකි බොහෝ විට ප්‍රහාරකයා යැයි පෙනෙන පාර්ශවයටම දැඩි ලෙස අවාසිදායක ප්‍රහාරයන් කීයක් එවන් උපක්‍රමික ප්‍රහාරදැයි කවරෙකුටවත් කිසිදාක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගැනීමට නොහැකි වනවා ඇත. නමුත් යුදෙව්වකු වන Paul Sussman ඔහුගේ රට විසින්ම සිදුකරන එවැනි උපක්‍රමික ප්‍රහාරයක් ගැන රචනා කරමින් අපට පුන පුනා කියන්නේ "අහේතුක ප්‍රහාර නැත. ප්‍රහාරය දියත් කරන මෝඩයා සමහරවිට මිත්‍යාදෘෂ්ටිකයින් පරළොව යවා දෙව්ලොව ස්ථානයක් තහවුරු කරගැනීමේ අරමුණින් එය සිදුකළා වීමට ඉඩ තිබුණද ප්‍රහාරයේ සැළසුම්කරුවා එසේ යැයි සිතීම නොමග යවනසුළුය. ප්‍රහාරයක සැබෑ ඉලක්කය, අරමුණ දැන ගැනීමට සමහරවිට සතියක්, මාසයක්, වසරක් ඇතැම් විට දශකයක් ගතවීමට ඉඩ ඇත. එවිට ප්‍රහාරයේ සැබෑ ආරම්භකයා ලබාගත් වාසිය ප්‍රහාරය හා සම්බන්ධ කිරීමට බැරි තරමට ඒ අතර කාරණා කටයුතු සිදුවී තිබෙනවා ඇත" යන කටුක සත්‍යයයි.
පුවත්පත් මෙම අද්විතීය නවකතාව හදුන්වා තිබුණේ "ඩ වින්සි කේතය සදහා වන බුද්ධිමත් පාඨකයන්ගේ පිළිතුරය. විශාල සාරවත් සෑහීමකට පත්විය හැකි පුරාවිද්‍යාත්මක ප්‍රහේලිකාවක්" යනුවෙනි.
සැබැවින්ම එය කියවන්නා බෙහෙවින් පොළඹවනසුළුය. මෙම පොත කියවා අවසන් වී පසෙක තබන විට මම සොලමන් රජුගේ මරණයෙන් පසුව ඔහුගේ රාජධානිය ඊශ්‍රායල් සහ ජුඩා වශයෙන් කොටස්
දෙකකට බෙදීම, ක්‍රි.පූ 732දී සිදුවූ ඇසිරියන් ආක්‍රමණය, කි.පූ 612 දී
සිදුවූ බැබිලේනියානනු ආක්‍රමණය, ක්‍රි.පූ 538 දී සිදුවූ පර්සියානු
ආක්‍රමණය, මහා සයිරස් රජුගේ පාලන කාලය තුල සොලමන් දෙවොල නැවත ඉදිවීම සහ
ටෝරාව (බයිබලයේ මුල් කොටස් පහ) ලියැවීම, ක්‍රි.පූ 334 දී සිදුවූ මහා
ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණය, ක්‍රි.පූ 60 සහ 73 අතර සිදුවූ මහා කැරැල්ල,
රෝමානුවන් ජුඩා දේශයට පලස්තීනය යන නම ලබාදීම, මුලින් යුදෙව් ආගමේ කොටසක්
වශයෙන් පැවැති ක්‍රිස්තියානි ධර්මය වෙනත් දහමක් වශයෙන් වර්ධනය වීම, ඉස්ලාමය
බිහිවීමත් සමගම යුදෙව්වන් සහ ඉස්ලාමිකයන් අතර පැවැති අවබෝධාත්මක
සම්බන්ධතාවය, 1095 දෙවන අර්බන් පාප්වරයා විසින් අරඹන ලද ජන සංහාරක කුරුස
යුද්ධ, 1346 සහ 1353 අතර යුරෝපාකරයේ පැතිරී ගිය කළු වසංගතය පැතිරවූයේ යැයි
සැකපිට සිදුවූ යුදෙව් සංහාරය, බටහිර යුරෝපාකරය හා ඉස්ලාම් ලෝකය අතර
සම්බන්ධිකාරකවරුන් වශයෙන් යුදෙව්වන්ගේ ස්වර්ණමය යුගය, යුක්රේනියානු නැගී
සිටීම, රුසියානු යුදෙව් සංහාර, දෙවන ලෝක යුද්ධය හා සමගාමීව ජර්මනිය ගෙන ගිය
යුදෙව් සංහාරය, ඊශ්‍රායලය බිහි කිරීම, ඊශ්‍රායලයන් විසින් පලස්තීන නිවාස
හා ප්‍රදේශ බලෙන් අත්පත් කරගැනීම, පලස්තීනුවන් විසින් සිදුකරන මරාගෙන මැරෙන
හා අනෙකුත් බෝම්බ ප්‍රහාර දෙපාර්ශවයම සාමය ඇතිකරගැනීමට දරණ ලද උත්සාහයන් වැනි යුදෙව් ඉතිහාසය හා බැදුණු සිදුවීම් රාශියක් මෙම ග්‍රන්ථයට පරිබාහිරව අධ්‍යනය කරන්නට පෙළඹුණෙමි.
එය සැබැවින් අතිශය තෘප්තිදායක කියැවීමකි. පොත කියවන අතරතුර සහ කියවා අවසාන වූ පසු නීතිඥ වෘත්තිය මෙතැනදීම හැර දමා යුදෙව් ඉතිහාසය මුල සිට අධ්‍යයනය කර එකී විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණිකයෙකු වීමේ නොතිත් ආශාවක් මා තුල ජනිත කරවීමට මේ පුදුම පොත සමත් විය.
No comments:
Post a Comment